යෞවන අය අසති
තනිවම ජීවත් වෙන්න මම සූදානම්ද?
“මට අවුරුදු 19ක් වෙලත් තාමත් ගෙදර ඉන්න නිසා අනික් අය මාව ගණන් ගන්නේ නැහැ කියලා සමහර වෙලාවට මට හිතෙනවා. මම තනියම ජීවත් වෙන්න පටන්ගන්නකල්ම අනික් අය මං ගැන එහෙම හිතයි.”—කැතී.a
“දැන් මට අවුරුදු 20කට කිට්ටු වෙලත් තවමත් මට කැමති විදිහට දේවල් කරන්න ඉඩක් නැහැ. අම්මයි තාත්තයි මං කියන දේ පොඩ්ඩක්වත් තේරුම්ගන්නේ නැහැ. ඒ නිසා මම ගෙදරින් යන්න තීරණය කළා.”—ෆියෝනා.
නිවසින් පිට වීමට අවශ්‍යයි කියා ඔබට සිතෙන්නත් පෙර සිටම ස්වාධීනව කටයුතු කිරීමේ ආශාව ඔබ තුළ ඇති වෙන්න ඇති. එය සාමාන්‍යයි. ඊට හේතුව මිනිසාගේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිගේ මුල් අරමුණ වුණේ දරුවෙක් වැඩිහිටියෙක් බවට පත් වූ පසු විවාහ වී තම මව සහ පියාගෙන් වෙන් වී ජීවත් වීමයි. (උත්පත්ති 2:23, 24; මාක් 10:7, 8) නමුත් වැඩි නිදහසක් ලබාගැනීමට ඔබ තුළ ආශාවක් ඇති වූ පමණින් නිවසින් පිට වී යෑම සුදුසුයි කියා ඔබ සිතනවාද? ඒ ගැන තීරණයක් ගැනීමට පෙර ඔබ ඒ සඳහා සූදානම්ද කියා හොඳින් කල්පනා කර බලන්න. ඒ සම්බන්ධයෙන් ඔබට උපකාරවත් වන ප්‍රශ්න තුනක් දැන් අපි සාකච්ඡා කරමු.
මම නිවසින් පිටවන්නේ ඇයි?
ඊට හේතුව තේරුම්ගැනීමට පහත සඳහන් ලැයිස්තුව සලකා බලන්න. ඉන්පසු ඔබේ තීරණයට මුල් වූ කරුණු ඉදිරියෙන් අනුපිළිවෙළට අංක යොදන්න.
․․․ ගෙදර ප්‍රශ්න මඟහරින්න
․․․ වැඩි නිදහසක් ලබාගන්න
․․․ යාළුවන්ගෙන් හොඳ පිළිගැනීමක් ලබන්න
․․․ තනිව සිටින යාළුවෙකුට උපකාර කරන්න
․․․ සමාජ සේවය කරන්න
․․․ අද්දැකීම් ලබන්න
․․․ දෙමව්පියන්ට බරක් නොවෙන්න
․․․ වෙනත් ․․․․․
ඉහත සඳහන් එක් හේතුවක්වත් වැරදියි කියා කියන්න බැහැ. නමුත් මෙහිදී ඔබ තේරුම්ගත යුතු දෙය වන්නේ ඔබ නිවසින් පිට වී ගිය පසු සතුටින් සිටීද නැද්ද යන කාරණයට ඔබ යන හේතුව බොහෝ සෙයින් බලපාන බවයි. උදාහරණයකට ඔබ යන්නේ ගෙදර ප්‍රශ්නවලින් නිදහස් වීමට හෝ වැඩි නිදහසක් අවශ්‍ය නිසා නම් නොසිතූ ප්‍රශ්නවලට පසුව ඔබට මුහුණ දෙන්න සිදු වෙයි.
ඩැනියෙල්ට වයස අවුරුදු 20දී ඇය නිවසින් පිට වී ගියා. ඉන් ඇය බොහෝ දේ ඉගෙනගත්තා. ඒ ගැන ඇය මෙහෙම කියනවා. “ගෙදර ඉන්නකොට අපිට සමහර දේවල් කරන්න නිදහස නැති බව ඇත්ත. ඒත් වෙනම ජීවත් වෙන්න පටන්ගත්තම වැඩ වැඩි වෙනකොට සල්ලි නැති වෙනකොට අපිට කරන්න පුළුවන් දේවලුත් කරගන්න බැරි වෙනවා.” කාමන්ද නිවසින් පිට වී මාස හයක් පමණ වෙනත් රටක රැකියාවක් කරන්න ගියා. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “මම ලැබුව අද්දැකීම් ගැන මම සතුටු වෙනවා. ඒත් ගෙදරදී වගේ හැම තිස්සේම අස්පස් කරන්න, කැඩුණු බිඳුණු දේවල් හදන්න, වත්ත සුද්ද කරන්න, රෙදි සෝදන්න වගේ දහසකුත් දේවල් කරන්න තිබුණ නිසා මගේ නිදහස හුඟක් සීමා වුණා.”
වෙනම ජීවත් වෙනකොට වැඩි නිදහසක් මෙන්ම මිතුරන් අතර හොඳ පිළිගැනීමකුත් ලැබෙනවා වෙන්න පුළුවන්. නමුත් බිල් ගෙවන්න, කෑම උයන්න, ගෙවල් අස් කරන්න, ඔබේ වැඩ කරගන්න, මේ හැම දෙයක්ම වගේ කරගන්න වෙන්නේ තනිවමයි. ඒ වගේම ඔබට පාළුවක්ද දැනෙයි. ඒ නිසා අන් අයගේ කීම් අසා නිවසින් පිට වීමට ඉක්මන් වෙන්න එපා! (හිතෝපදේශ 29:20) එම තීරණය ගැනීමට ඔබට හොඳ හේතු තිබුණත් තනිවම ජීවත් වීමට අවශ්‍ය සුදුසුකම්ද ඔබ අත් කරගත යුතුයි.
මම යන්න සූදානම්ද?
වෙනම ජීවත් වීමට යෑම හරියට ඝන වනාන්තරයක කරන චාරිකාවක් වගේයි. කූඩාරමක් හදන්න, ගිනිමැලයක් ගසාගන්න, කෑමක් පිසගන්න හා සිතියමක් කියවන්න දන්නේ නැතුව ඔබ එවැනි චාරිකාවකට මුල පුරයිද? කොහෙත්ම නැහැ! නමුත් බොහෝ යෞවනයන් නිවසින් පිටවන්නේ ජීවිතයට මුහුණ දීමට අත්‍යවශ්‍ය එවැනි සුදුසුකම් නොමැතිවයි.
වරක් ප්‍රඥාවන්ත රජෙක් මෙසේ පැවසුවා. “සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.” (හිතෝපදේශ 14:15) ඔබ නිවසින් පිට වීමට සුදුසුකම් අත් කරගෙන තිබෙනවාද කියා තේරුම්ගැනීමට පහත සඳහන් උපමාතෘකා හතරෙන් ඔබ අත් කරගෙන තිබෙන සුදුසුකම් ඉදිරියෙන් ✓ ලකුණද අත් කරගැනීමට තිබෙන සුදුසුකම් ඉදිරියෙන් ✘ ලකුණද යොදන්න.
◯ මුදල් පරිහරණය “මම කවදාවත් මගේම සල්ලිවලින් කිසිම දෙයක් අරගෙන නැහැ. ඒ නිසා වෙනම ජීවත් වෙනකොට මුදල් හරියට පරිහරණය කරගන්න බැරි වෙයි කියලා මට හරි භයයි” කියා 19 හැවිරිදි සෙරීනා පවසනවා. මුදල් පරිහරණය ගැන ඔබට ඉගෙනගන්න පුළුවන් කොහොමද?
“ප්‍රඥාවන්ත කෙනෙක් උපදෙස්වලට සවන් දී තව තවත් ඉගෙනගනියි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 1:5) ඒ අනුව මුදල් පරිහරණය ගැන ඔබට දෙමාපියන්ගෙන් ඉගෙනගත හැකියි. එක පුද්ගලයෙකුට මාසයකට ගෙවල් කුලී, කෑමවලට, ප්‍රවාහණයට කොතරම් මුදලක් වැය වෙනවාද කියා අසන්න. ඉන්පසු අයවැයකට අනුව මුදල් පරිහරණය කරන ආකාරයත් අසා දැනගන්න. ඇත්තටම අයවැයක් සකස් කරගැනීම එතරම් වැදගත් ඇයි? ඒ ගැන 20 හැවිරිදි කෙවින් මෙහෙම කියනවා. “තනියම ජීවත් වෙන්න පටන්ගත්තට පස්සේ තියෙන වියදම් ගැන හිතනකොට පුදුමත් හිතෙනවා. පරෙස්සම් වුණේ නැත්නම් ණය වෙලා ජීවිත කාලෙම ඒවා ගෙවන්නයි වෙන්නේ.”
නිවසින් පිට වූ පසු තත්වය ගැන කලින්ම දැනගන්න ඔබ කැමතිද? එසේනම් මෙය අත්හදා බලන්න. ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් යම් කලකට ඔබේ කෑම බීම, ඉඳුම් හිටුම් සහ වෙනත් වියදම් සඳහා යන මුදල සෑම මාසයකම ඔබේ දෙමාපියන්ට දෙන්න. එසේ කිරීම ඔබට අමාරු නම් හෝ ඊට ඔබ අකමැති නම් ඉන් පෙනෙන්නේ නිවසින් පිට ඔබට තනිවම ජීවත් වීමට සුදුසුකම් මදි බවයි.—2 තෙසලෝනික 3:10, 12.
◯ ගෙදරදොරේ වැඩ නිවසින් පිට ජීවත් වීමට තමා බිය වන ප්‍රධාන හේතුව නම් තනිවම තමාගේ ඇඳුම් සෝදාගැනීමට නොහැකි වීම කියා 17 හැවිරිදි බ්‍රයන් පවසනවා. එසේනම් ඒ සඳහා කළ හැක්කේ කුමක්ද? විසි හැවිරිදි ඒරන් මෙවැනි යෝජනාවක් කරනවා. “ඔබ ජීවත් වෙන්නේ නිවසින් පිට කියලා හිතාගෙන, කඩේට ගිහින් ඔබේම සල්ලිවලින් බඩු අරන් තනියම උයන්න. ඔබේ ඇඳුම් ඔබම සෝදලා මැදගන්න. ඒ වගේම කාමරයද පිරිසිදු කරගන්න. පවුලේ කෙනෙක්ගේ උදව් නැතුව තනිවම ගමන්බිමන් යන්න පුළුවන්ද කියලා බලන්න.” එම යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ඔබට ප්‍රයෝජන දෙකක් ලැබෙනවා. (1) ඔබේ දේවල් තනිවම කරන්න ඔබ ඉගෙනගන්නවා. (2) ඔබේ දෙමාපියන් කරන වැඩ අගය කරන්න ඔබ පෙලඹෙනවා.
◯ අන් අය සමඟ පෑහී කටයුතු කිරීම දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් සමඟ පෑහී කටයුතු කිරීම අපහසු නිසා මිතුරෙකු සමඟ ජීවත් වීම වඩා පහසුයි කියා ඔබට සිතෙන්න පුළුවන්. නමුත් 18 හැවිරිදි ඊව් පවසන දේ ගැන ටිකක් හිතන්න. “මගේ යාළුවෝ දෙන්නෙක් වෙනම ජීවත් වෙන්න පටන්ගත්තා. ඒ දෙන්නා අඹ යාළුවෝ. එක් කෙනෙක් හරිම පිළිවෙළයි, ඒ වගේම දෙවිට හරිම ළැදියි. ඒත් අනික් කෙනා එහෙම නැහැ. ඒ නිසා පස්සේ ඒ දෙන්නා අතර ප්‍රශ්න ඇති වෙන්න පටන්ගත්තා.”
දහඅට හැවිරිදි එරීන්ටත් ගෙදරින් පිට වෙලා ජීවත් වෙන්න අවශ්‍ය වුණත් ඇය මෙහෙම කියනවා. “අනික් අයත් එක්ක පෑහිලා කටයුතු කරන්නත් ප්‍රශ්න විසඳගන්නත් අනික් අයගේ අදහස්වලට ගරු කරන්නත් ගෙදරින්ම ඉගෙනගන්න පුළුවන්. ගෙදර අය එක්ක තියෙන ප්‍රශ්නයක් නිසා ගෙදරින් පිට වෙන අය ඉගෙනගන්නේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි ප්‍රශ්නවලින් පළා යන්නයි.”
◯ ආගමික කටයුතු සමහර අය නිවසින් පිට වී යන්නේ ඔවුන් දෙමාපියන්ගේ ආගමික වත්පිළිවෙත්වලට අකමැති නිසයි. තවත් අය ගෙදරින් පිට ජීවත් වීමට පටන්ගත්තත් දිගටම බයිබලය අධ්‍යයනය කරමින් ඒ අනුව ජීවත් වෙන්න තමන්ට හැකියි කියා සිතනවා. නමුත් පසුව එම හොඳ පුරුදු ගිලිහී ගොස් දෙවි කෙරෙහි ඇති විශ්වාසයද කෙමෙන් කෙමෙන් බිඳ වැටෙනවා. එවැනි තත්වයක් වළක්වාගත හැක්කේ කෙසේද?—1 තිමෝති 1:19.
ඔබේ දෙමාපියන් අදහන ආගම සත්‍යයද නැද්ද කියා සොයා බලා තීරණය කිරීමේ අයිතිය ඔබට තිබෙනවා. යෙහෝවා දෙවිද කැමති වන්නේ ඔබ ඔහු ගැන හොඳින් සොයා බලා විශ්වාස කරනවාටයි. (රෝම 12:1, 2) ඒ නිසා ඔබ දෙමාපියන් සමඟ සිටින කාලයේදීම සැලැස්මකට අනුව බයිබලය අධ්‍යයනය කිරීම හා අනිකුත් නමස්කාර කටයුතුවල හවුල් වීම පුරුද්දක් කරගන්න. ඒ සඳහා මෙය අත්හදා බලන්න. ඔබේ දෙමාපියන්ගේ උනන්දු කිරීමකින් තොරව නමස්කාර කටයුතු මාසයක් පමණ තනිවම කරන්න පුළුවන්ද කියා බලන්න.
මගේ ඉලක්කය කුමක්ද?
සමහර අය නිවසින් පිටවන්නේ ප්‍රශ්නවලින් පැන යෑමට හෝ වැඩි නිදහස් ලබාගැනීමටයි. ඔවුන් මූලික අවධානය දෙන්නේ ඔවුන්ගේ ප්‍රශ්නයට පමණක් නිසා ඉදිරිය ගැන සිතන්නේ නැහැ. එය හරියට රියදුරෙක් පැති කණ්ණාඩිය දෙස පමණක් බලමින් ගමන් කරනවා හා සමානයි. එසේ කිරීමේදී ඔහුට ඉදිරියේ ඇති දේවල් පෙනෙන්නේ නැහැ. ඉන් ඔබට ගත හැකි පාඩම කුමක්ද? නිවසේ ප්‍රශ්නවලින් පැන යෑම ගැන පමණක් සිතනවා වෙනුවට ඉදිරියේදී ඔබ කරන්න යන දේ ගැනත් හොඳින් සිතන්න. එසේ කිරීමෙන් ඔබේ අනාගතය සාර්ථක කරගත හැකියි.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර සිටින සමහර යෞවනයන් නිවසින් පිට වී වෙනත් රටවලට පවා ගොස් ඇත්තේ වැදගත් අරමුණු සඳහායි. එනම් දෙවි ගැන අන් අයට ඉගැන්වීමට, නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමට හා ඔවුන්ගේ ශාඛා කාර්යාල ඉදි කිරීමටයි. තවත් අයට හැඟෙන්නේ තමන් විවාහ වීමට පෙර යම් කලකට නිවසින් පිට වී ජීවත් විය යුතු බවයි.b
නිවසින් පිට වී ගොස් ඔබ කිරීමට බලාපොරොත්තු වන දෙයක් මෙහි සඳහන් කරන්න. ․․․․․
කෙනෙක් වැඩිහිටියෙකු වූ පසුවත් ඔහුගේ වැඩකටයුතු කරන්නේ දෙමාපියන් නම් ඔහු නිවසින් පිට වූ දාට ඔහුගේ වැඩකටයුතු කරගැනීමට ඔහුට නොහැකි විය හැකියි. නමුත් ඒ ගැන සිතා නිවසින් පිට වීමට ඉක්මන් වෙන්න එපා. තීරණයක් ගැනීමට පෙර සෑම පැත්තක් ගැනම හොඳින් සිතන්න. බයිබලයේ ඒ ගැන මෙවැනි උපදෙසක් දෙනවා. “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි. එහෙත් දුර දිග නොබලා ක්‍රියා කරන්නා දිලිඳෙකු බවට පත් වෙයි.” (හිතෝපදේශ 21:5) ඒ නිසා නිවැරදි තීරණයක් ගැනීම සඳහා දෙමාපියන්ගේ උපදෙස් පතන්න. (හිතෝපදේශ 23:22) ඒ ගැන යාච්ඤා කරන්න. ඒ වගේම මෙතෙක් සාකච්ඡා කළ බයිබල් ප්රතිපත්තිද සැලකිල්ලට ගන්න.
කෙසේවෙතත් වැදගත්ම ප්රශ්නය වන්නේ ‘මම ගෙදරින් පිට වීමට සූදානම්ද’ කියන එක නොව ‘මගේ වැඩකටයුතු තනිවම කරගන්න මට පුළුවන්ද’ යන්නයි. දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර ‘ඔව්’ නම් නිවසින් පිට වී ජීවත් වීමට ඔබට සුදුසුකම් තිබෙනවා විය හැකියි.
[පාදසටහන්වල]
a සමහර නම් වෙනස් කර ඇත.
b සමහර සංස්කෘතීන්වල විශේෂයෙන්ම ගැහැනු දරුවන් විවාහ වන තුරු සිටින්නේ දෙමාපියන් සමඟයි. ඒ සම්බන්ධයෙන් බයිබලයේ කිසිවක් පවසන්නේ නැහැ.
සිතා බලන්න
● පවුල තුළ යම් යම් ගැටලු තිබුණත් නිවසේම සිටීම ඔබට ප්‍රයෝජනවත් වන්නේ කිනම් පැතිවලින්ද?
● පවුලේ සාමාජිකයන්ටත් අනාගතයේදී ඔබටත් ප්‍රයෝජනවත් වන කුමන දේවල් නිවසේ සිටින කාලයේදී ඔබට කළ හැකිද?
[11වන පිටුවේ කොටුව⁄පින්තූර]
යෞවනයන් පවසන දේ
“නිවසේදී ඔබේ දෙමාපියන් දෙන වගකීම් ඉටු කරන්න ඉගෙනගන්න එක හොඳයි. එතකොට වෙනම ජීවත් වෙන්න ඒක හොඳ පුහුණුවක්.”
“වැඩි නිදහසක් ඕනේ කියලා හිතෙන එක සාමාන්‍යයි. නමුත් ඒකම හේතුවක් කරගෙන ගෙදරින් පිට වෙලා යනවා නම් ඒකෙන් පේන්නේ ගෙදරින් පිටවෙලා යන්න ඔයා තාම සුදුසු තත්වයක නැහැ කියන එකයි.”
[පින්තූර]
සාරා
ඒරන්
[13වන පිටුවේ කොටුව]
දෙමාපියෙනි මේ ඔබටයි
කලින් සඳහන් කළ සෙරීනා නිවසින් පිට වී ජීවත් වීමට බියක් දක්වනවා. ඊට හේතුව ගැන ඇය මෙහෙම කියනවා. “මම මගේ සල්ලිවලින් මොනවා හරි ගන්න ගියොත් තාත්තා කියනවා ‘ඒක මගේ වගකීම, මම ඔයාට ඒක අරන් දෙන්නම්’ කියලා. ඒ නිසා ගෙදරකට අවශ්‍ය දේවල් සල්ලි දීලා ගන්නේ කොහොමද කියලා මම හරියට දන්නේ නැහැ.” ඔහු එහෙම කරන්නේ හොඳ චේතනාවෙන් බවට කිසිම සැකයක් නැහැ. නමුත් එය අනාගතය සඳහා ඇයට හොඳ පුහුණුවක්ද?—හිතෝපදේශ 31:10, 18, 27.
දරුවන් වෙනුවෙන් සෑම දෙයක්ම කරන්නේ ඔබද? එසේ කිරීමෙන් ඔවුන්ට ලැබිය යුතු පුහුණුව ඔබ ඔවුන්ට අහිමි කරනවාද? එය තේරුම්ගැනීමට කලින් ලිපියේ අපි සාකච්ඡා කළ සුදුසුකම් හතර සම්බන්ධයෙන් ඔබ ඔබේ දරුවන්ව කොතරම් පුහුණු කර තිබෙනවාද කියා කල්පනා කර බලන්න.
මුදල් පරිහරණය කිරීම. රජයට ගෙවිය යුතු විවිධ බදු මුදල් ගෙවීම සඳහා අදාළ පෝරමයක් පුරවන ආකාරය ඔබේ දරුවන් දන්නවාද? (රෝම 13:7) මුදල් පරිහරණය කිරීමේදී ණය නොවී සිටීම ගැන ඔවුන්ව දැනුවත් කර තිබෙනවාද? (හිතෝපදේශ 22:7) ඔවුන්ගේ ආදායමට අනුව අයවැයක් සකස් කරගෙන ඒ අනුව වියදම් කිරීමට පුහුණු කර තිබෙනවාද? (ලූක් 14:28-30) ඔවුන්ම ඉපැයූ මුදලින් යමක් මිල දී ගෙනෙන විට ඒ ගැන ඔවුන්ට සතුටක් දැනෙනවාද? ඔවුන්ගේ කාලය හා මුදල් අන් අයට උපකාර කිරීම වෙනුවෙන් කැප කරන විට ලැබෙන සතුට ඔවුන් අද්දැක තිබෙනවාද?—ක්‍රියා 20:35.
ගෙදර දොරේ වැඩ. ඔබේ දුවට පමණක් නොව පුතාටත් කෑම වේලක් හදාගන්න පුළුවන්ද? තමන්ගේ ඇඳුම් සෝදාගෙන ඒවා මැදගන්න ඔබ ඔවුන්ට උගන්වා තිබෙනවාද? නිවසේ තිබෙන වාහනය හෝ යතුරුපැදිය ඔවුන් භාවිත කරනවා නම් එහි රෝදයක් මාරු කිරීම හෝ එන්ජින් එකේ තෙල් මාරු කිරීම වැනි සරල දෙයක් කිරීමට ඔවුන්ට පුළුවන්ද?
අන් අය සමඟ පෑහී කටයුතු කිරීම. ඔබේ වැඩිහිටි දරුවන් අතර යම් මතගැටීම් ඇති වන සෑමවිටකම ඒවා විසඳන්නේ හෝ අවසන් තීරණය දෙන්නේ ඔබද? එසේත් නැත්නම් එකඟ නොවීම් සාමකාමීව කතාබහ කර විසඳාගන්නා ආකාරය ගැන ඔබ ඔවුන්ට උගන්වා තිබෙනවාද?—මතෙව් 5:23-25.
ආගමික කටයුතු. ඔබේ ආගම අදහන්න කියා ඔවුන්ට බල කරනවාද? නැත්නම් එය විශ්වාස කිරීම සඳහා තර්කානුකූල හේතු ඉදිරිපත් කරනවාද? එමෙන්ම ඔවුන්ගේ ආගමික විශ්වාසයන් ගැන හා සදාචාරය ගැන මතු වන ප්‍රශ්නවලට සැමවිටම පිළිතුරු දෙනවා වෙනුවට ඔවුන්ගේ “සිතීමේ හැකියාව” භාවිත කරන්නත් ‘වටහාගැනීමේ හැකියාව භාවිත කරමින් හරි වැරැද්ද නිවැරදිව හඳුනාගන්නත්’ ඔවුන්ට උපකාර කරනවාද? (හිතෝපදේශ 1:4; හෙබ්‍රෙව් 5:14) ඔවුන් තුළ හොඳ අධ්‍යයන පුරුදු ඇති වෙනවා දකින්න ඔබ කැමති නැද්ද?
ඔබේ දරුවන්ව එසේ පුහුණු කිරීමට බොහෝ කාලයක් හා ශ්‍රමයක් වැය වන බව ඇත්තයි. නමුත් ඔබ එසේ කරනවා නම් ඔබේ දරුවන් ලොකු මහත් වී නිවසින් සමුගන්නා විට පුංචි දුකක් ඇති වුණත් ඊට වඩා සතුටක් ඔබ අද්දකියි!
[12වන පිටුවේ පින්තූරය]
වෙනම ජීවත් වීමට යෑම හරියට ඝන වනාන්තරයක තනිව කරන චාරිකාවක් වගේයි. ඒ සඳහා ඔබට සුදුසුකම් අවශ්‍යයි