උතුම් එඬේරාව හඳුනාගත් එඬේරෙක්!
පැවසුවේ එලිම්බෙක් බෙක්මෙනෝව්
එඬේරෙක් වෙන්න මම මුල්ම පියවර තියනකොට මගේ වයස අවුරුදු තුනයි. මට වයස 17ක් වෙනකොට මම අත්දැකීම් ලත් එඩේරෙක්. මම බැටළුවන්ව බලාගත්තේ හුඟක් ආසාවෙන්. ඊටපස්සේ මම වෙනස්ම ආකාරයේ එඬේරෙක් වුණා. ඒ ගැන දැන් මම කියන්නම්.
මම ඉපදුණේ 1972දීයි. අපේ පවුල හුඟක් ලොකුයි. අපි ජීවත් වුණේ කිර්ගිස්තානයේ ඉසික් කෙල් කියන ලස්සන විල අසලයි. ඒ ප්‍රදේශයට හුඟක් සංචාරකයන් එනවා. දැන් මමත් මගේ බිරිඳ වන ගුල්මීරාත් ජීවත් වෙන්නේ කිර්ගිස්තානයේ අගනුවර වන බිෂ්කෙක් නගරයේයි.
බැටළුවන් එක්ක ගෙවුණු ජීවිතය
වසන්ත කාලයේදී මම අපේ මහප්පා එක්ක කඳුකරයේ තියෙන තණබිම්වලට අපේ බැටළුවන්ව ගෙනියනවා. එතකොට මම හුඟක් පොඩියි. අඩි 9,000කටත් වැඩිය නඟින්න තියෙන නිසා ඒ ගමනට දවස් කිහිපයක්ම යනවා. සමහර එඬේරුන් නම් කෙටි පාරවලින් ඉක්මනින්ම කඳුකරයට ගියත් ඒ පාරවල් හුඟක් දුෂ්කරයි. ඒ ගමන බැටළුවන්ටත් හරිම වෙහෙසකරයි. හුඟක් ප්රපාතත් තියෙනවා. ඒ නිසා බැටළුවන්ට අනතුරු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. සමහර වෙලාවට උන් මැරෙනවා.
ඒ වගේ කෙටි පාරවල වෘකයොත් ඉන්නවා. බැරි වෙලාවත් වෘකයෙක් බැටළු ගාලට පැන්නොත් බැටළුවෝ ටික භය වෙලා සීසීකඩ දුවනවා. ඒ නිසා මහප්පා බැටළුවන් ගැන හිතලා ඒ වගේ කෙටි පාරවලින් යන්නේ නැහැ. දවසක් දෙකක් වැඩියෙන් ගත වුණත් මහප්පා උත්සාහ කරන්නේ අනතුරු අඩු පාරකින් බැටළුවන්ව අරගෙන යන්නයි. සමහර වෙලාවට මට ඉක්මනින්ම යන්න ඕනේ. එතකොට මහප්පා මෙහෙම කියනවා. “පුතා, ඔයා ගැන හිතන්න කලින් බැටළුවන් ගැන හිතන්න.”
කඳු මුදුන්වල තියෙන තණබිම් හරිම ලස්සනයි. අපි එතනට ගියාට පස්සේ බැටළුවන්ට රෑට ඉන්න තාවකාලික ගාලක් හදනවා. සමහර එඬේරු නම් ඉර පායන කල්ම හොඳට නිදාගන්නවා. ඒ අය බැටළුවන්ව පිට්ටනිවලට අරන් යනකොට හොඳටම අව්ව වැටිලා.
අව්ව සැර වෙනකොට බැටළුවන්ට හුඟක් මහන්සි නිසා උන් වැඩිය කන්නේ නැහැ. හැමදාම එහෙම වෙනකොට බැටළුවෝ දුර්වල වෙනවා. නමුත් අපේ මහප්පා නම් ඉර පායන්නත් කලින් බැටළුවන්ව පිට්ටනිවලට අරන් යන නිසා උන්ට නිදහසේ කන්න වෙලාව තියෙනවා. සාමාන්‍යයෙන් අපේ ගමේ මිනිස්සු කියනවා, “බැටළුවෝ දිහා බැලුවාම, එඬේරා කවුද කියලා හිතාගන්න පුළුවන්” කියලා. ඇත්තටම අපේ බැටළුවන් දිහා බැලුවම මහප්පා උන්ව කොයි තරම් හොඳට බලාගන්නවාද කියලා තේරෙනවා.
සාමාන්‍යයෙන් උන් කාලා විවේක ගන්නවා. උන්ව පරීක්ෂා කරන්න ඒක හොඳ අවස්ථාවක්. අපි එහෙම කරන්නේ මැස්සෝ ඇවිත් බැටළුවන්ගේ පෙකණියේ බිත්තර දාන නිසයි. මැස්සෝ බිත්තර දැම්මට පස්සේ බැටළුවාගේ පෙකණිය ඉදිමෙනවා. ඉක්මනින්ම ඒක අඳුනගත්තේ නැත්නම් ඒ වේදනාවෙන්ම බැටළුවා මැරෙන්නත් පුළුවන්. ඒ නිසා අපි හැමදාම උන්ව හොඳට පරීක්ෂා කරනවා. ඒකට හුඟක් කාලයක් වගේම මහන්සි වෙන්නත් ඕනේ. ඒත් ඒ මහන්සිය අපතේ යන්නේ නැහැ. මොකද නිරෝගී බැටළු රැළක් තියාගන්න පුළුවන්.
හවස් වෙනකොට අපි බැටළුවන්ව නැවත අරන් ඇවිත් ගණන් කරලා ගාලට දානවා. සමහර වෙලාවට තුන් හතරදෙනාත් එකට ඇතුල් වෙනවා. අපේ ගාලේ හුඟක් බැටළුවෝ හිටියත් අපට හොඳ පළපුරුද්දක් තිබුණ නිසා උන්ව ගණන් කිරීම අපට අමාරු වුණේ නැහැ. ඒ නිසා විනාඩි 15ක් හෝ 20ක් වගේ කාලයකදී බැටළුවෝ 800ක් විතර ගණන් කරන්න පුළුවන්.
බැරි වෙලාවත් එකෙක් හරි අඩු වෙලා තිබුණොත් අපේ මහප්පා තුවක්කුවත් අරන් ඌව හොයන්න යනවා. වැස්ස අඳුර කියලා එයා බලන්නේ නැහැ. එකෙක්ව වුණත් හොයන්න එයා හුඟක් මහන්සි වෙනවා. එයා බැටළුවාට හයියෙන් කතා කරනකොට වන සත්තු භයේ දුවනවා. ඒත් බැටළුවාට ඒ හඬ ඇහෙනකොට ඌට මොන තරම් ආරක්ෂාවක් දැනුණාද කියලා ඌව දැක්කගමන්ම කියන්න පුළුවන්.
එක එක බැටළුවා එක එක විදිහයි. ඒ අනුව අපි උන්ට නම් දානවා. සාමාන්‍යයෙන් ඕනෑම රැළක අකීකරු බැටළුවෝ ඉන්නවා. සමහර වෙලාවට අනික් බැටළුවොත් අකීකරු එකා වගේ කටයුතු කරන්න හදනවා. ඒ නිසා එඬේරා කොහොම හරි උත්සාහ කරන්නේ අකීකරු එකාව නැවත කීකරු එකෙක් කරන්නයි. උදාහරණයකට ඒ වගේ බැටළුවෙක්ව අනික් බැටළුවන්ගෙන් වෙන් කරලා තියනවා. ඒ කාලය අතරතුර සමහර බැටළුවෝ නැවත හොඳ වෙනවා. එහෙම නොවෙන අයව අපි අපේ කෑම මේසයට ගන්නවා.
වෙනස් පැවරුමක්
වර්ෂ 1989දී මම සටන් කලාව ඉගෙනගෙන ඒ පැත්තෙන් දක්ෂයෙක් වුණා. පසුව 1990දී මම සෝවියට් හමුදාවට බැඳිලා රුසියාවට ගියා. මේ අතර කාලයේදී මාත් එක්ක සටන් කලාව ඉගෙනගත්ත අනික් අය මැර කල්ලියක් හදාගෙන තිබුණා. නිවාඩුවට මම ගෙදර ගිය වෙලාවෙ ඒගොල්ලන් කිව්වා ‘ඔයා අපිත් එක්ක එකතු වෙන්න, එතකොට ඕන තරම් සල්ලි හම්බ කරන්න පුළුවන්’ කියලා. ඒ කාලයේදී තමයි මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැහුණේ.
පුංචි කාලයේ ඉඳලාම මගේ හිතේ තිබුණ ප්‍රශ්න රැසකට ඔවුන් බයිබලයෙන්ම පිළිතුරු දුන්නා. උදාහරණයකට, මිනිස්සු මැරෙන්නේ, මුල් මිනිසා වුණ ආදම්ගේ අකීකරුකම නිසා කියලා ඔවුන් මට පෙන්නුවා. (රෝම 5:12) ඒ වගේම සැබෑ දෙවිගේ නම යෙහෝවා කියලත් ඔහු අපිව පාපයෙන් ගලවාගන්න යේසුස්ව මේ පොළොවට එව්වා කියලත් අපි යෙහෝවා දෙවිව සහ යේසුස්ව විශ්වාස කරනවා නම් අපිට මේ පොළොව මත සදාකාල ජීවිතයක් ලබාගන්න පුළුවන් කියලත් මම ඉගෙනගත්තා.—ගීතාවලිය 37:11, 29; 83:18; යොහන් 3:16, 36; 17:1-5; එළිදරව් 21:3, 4.
සාක්ෂිකරුවන් මගේ ප්‍රශ්නවලට බයිබලයෙන්ම පිළිතුරු පෙන්වන හැම අවස්ථාවකදීම “ඒක නම් ඇත්ත” කියලා මම මටම කියාගන්නවා. ටික කාලෙකට පස්සේ මම මගේ සටන් පන්තියේ යාළුවෝ එක්ක ආශ්‍රය කරන එක නතර කළා. ඒ අය මාව ඒගොල්ලන්ගේ කල්ලියට ගන්න කොච්චර උත්සාහ කළත් මම මගේ අධිෂ්ඨානය වෙනස් කළේ නැහැ.
අපේ ගමේ ඇදහිල්ලෙන් සුව කරන කාන්තාවක් හිටියා. අම්මව හම්බ වෙන්න එයා නිතරම එනවා. දවසක් මම ගෙදර යනකොට ඒ ගැහැනු කෙනා ඇවිත් හිටියා. එයා මට මෙහෙම කිව්වා. ‘ඔයාට විශේෂ හැකියාවක් තියෙනවා. ඒ නිසා මුස්ලිම් පල්ලියට ගිහින් සුරයක් ගන්න. ඔයාගේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න ඔයාට ඒ සුරය උදව් වෙයි.’ එයා මට කියන්න හැදුවේ සුව කිරීමේ හැකියාවක් මට තියෙනවා ඒකෙන් ප්‍රයෝජන ගන්න කියලයි.
ඊළඟ දවසේ මම ඒ ගැන සාක්ෂිකරුවන්ට කිව්වා. ඒ දේවල් භූතයන්ට සම්බන්ධයි කියලත් යෙහෝවා දෙවි ඒවා හෙළාදකිනවා කියලත් ඒ අය මට බයිබලයෙන්ම පෙන්නුවා. (ද්විතීය කතාව 18:9-13) භූතයන්ගේ බලපෑම නිසා දවස් කිහිපයක්ම මට නිදාගන්න ලැබුණේ නැහැ. පස්සේ සාක්ෂිකරුවන් මට කියලා දුන්නා දෙවිට යාච්ඤා කරන්නේ කොහොමද කියලා. ඒ විදිහට කළ නිසා භූතයන්ගේ බලපෑමෙන් නිදහස් වෙන්න මට පුළුවන් වුණා. ඒකෙන් මම තේරුම්ගත්තා මගේ එඬේරා යෙහෝවා දෙවි කියලා.
බයිබලයෙන් මම දාවිත් රජ ගැන ඉගෙනගත්තා. ඔහු යෞවන කාලයේදී එඬේරෙක්. ඔහු රචනා කළ හුඟක් ගීතිකා මගේ හිතට තදින් කාවැදුණා. ඔහු යෙහෝවා දෙවිව හඳුන්වන්නේ “මාගේ එඬේරා” කියලයි. (ගීතාවලිය 23:1-6) ඒ වගේම යේසුස්ව හඳුන්වන්නේ “බැටළු එඬේරා” කියලයි. (හෙබ්‍රෙව් 13:20) ඔහු වගේ දෙවිට සේවය කරන්න මටත් ආශාවක් ඇති වුණා. ඒ නිසා 1993 බිෂ්කෙක් නගරයේ තිබුණ සමුළුවකදී මම බව්තීස්ම වුණා.
වෙනසක් සිදු කළ රැස්වීමක්
පස්සේ කාලෙකදී මගේ නෑදෑයන් ඇතුළුව අපේ ගමේ තවත් 70දෙනෙක් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඒ සඳහා අපි රැස් වුණේ ඉසික් කෙල් විල ළඟයි. මේ අතර අපේ ගම්සභාවේ සභාපතිත් හිටියා. එයා අපේ නෑදෑයෙක්. බයිබලයේ තියෙන දේවල් ගැන දැනගන්න ඔහුටත් ලොකු ආශාවක් තිබුණා. ඒ නිසා ඒ ගැන මුළු ගමටම පැහැදිලි කරන්න කියලා ඔහු විශාල රැස්වීමක් සංවිධානය කළා. ඒත් අපි බයිබලයේ තියෙන දේවල් උගන්වනවාට ගමේ ආගමික නායකයන් නම් කැමති වුණේ නැහැ. ඒ අය හිටියේ හුඟක් කේන්තියෙන්. ඒ නිසා එදාට අපේ වැඩවලට විරුද්ධව දේවල් කරන්න කියලා ඔවුන් ගමේ අයව අවුස්සලා තිබුණා.
අපි සැලසුම් කළ රැස්වීමට 1,000ක් විතර ඇවිත් හිටියා. ළඟපාත ගම් තුනක අයත් හිටියා. අපේ රැස්වීම පටන් අරන් විනාඩි පහක්වත් යන්න ලැබුණේ නැහැ ඒකට බාධා කිරීමේ අරමුණෙන් සභයේ හිටිය කෙනෙක් එක එක ප්‍රශ්න අහන්න පටන්ගත්තා. ටික වෙලාවක් යනකොට හැමෝම වගේ අපිට ගහන්න ලෑස්ති වුණා.
ඒ වෙලාවේ මගේ අයියා කෙනෙක් එතන හිටියා. එයා ගමේ චණ්ඩියෙක්. ඒ නිසා කවුරුත් අපිට ගහන්න ළං වුණේ නැහැ. පස්සේ කාලෙකදී ඒ රැස්වීමට සහභාගී වුණ අයගෙන් හුඟක්දෙනෙක් සාක්ෂිකරුවන් බවට පත් වුණා. අද වෙනකොට අපේ ගමේ සාක්ෂිකරුවන් 50දෙනෙකුටත් වැඩියෙන් ඉන්නවා.
ජීවිතයේ එක් සංධිස්ථානයක්
වර්ෂ 1993දී රුසියාවේ මොස්කව් නගරයේ පැවැත් වුණ සාක්ෂිකරුවන්ගේ සමුළුවට මාස කිහිපයකට කලින් මට ගුල්මීරා කියන සාක්ෂිකාරියව මුණගැහුණා. ඇය හැදුණේ වැඩුණේ කිර්ගිස්තානයේ. ගුල්මීරාගේ පවුලේ මුලින්ම බයිබලය පාඩම් කරන්න පටන්ගත්තේ එයාගේ අම්මා. ඒ 1988දියි. අම්මා පාඩම් කළේ ඇක්සැමෙයි කියන සාක්ෂිකාරියත් එක්කයි. හැත්තෑ ගණන්වලදී කිර්ගිස්කානයේ පළමු සාක්ෂිකාරිය වුණේ ඇක්සැමෙයි.
ඊටපස්සේ ගුල්මීරාත් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. වර්ෂ 1990දී ගුල්මීරාත් එයාගේ අම්මත් බව්තිස්ම වුණා. ගුල්මීරා ඉක්මනින්ම දෙවිට පූර්ණකාලීනව සේවය කිරීමට තෝරාගත්තා.
මට ගුල්මීරාව හමු වෙලා තිබුණේ කිහිප වතාවක් විතරයි. ඒත් මම හිතුවා එයා මට හොඳ සහකාරියක් වෙයි කියලා. ඒ ගැන කියන්න 1995 මාර්තු මාසයේදී මම ගුල්මීරාගේ ගෙදර ගියා. ඒගොල්ලන්ගේ ගෙදරට කිලෝමීටර් 160ක් විතර යන්න තියෙනවා. ඒ වෙලාව ගුල්මීරා මට මෙහෙම කිව්වා. ‘හෙට මම රුසියානු ශාඛා කාර්යාලයේ සේවය කරන්න යනවා.’ ඒක මට හිතාගන්නවත් බැරි වුණා. ඒකට හේතුව ශාඛා කාර්යාලය තියෙන්නේ අපි ඉන්න ප්‍රදේශයේ ඉඳලා කිලෝමීටර් 5,630කටත් වඩා ඈතින්.
ඒ වෙනකොට මමත් පූර්ණකාලීණ සේවය පටන්ගෙනයි තිබුණේ. කිර්ගීස් භාෂාවෙන් සඟරා පොත් පත් තිබුණේ නැති නිසා මම රුසියානු භාෂාව ඉගෙනගන්න පටන්ගත්තා. ගුල්මීරායි මමයි අවුරුදු තුනක් පුරා ආශ්‍රය කළේ ලියුම්වලින්. ඒ වගේම තෝරාගත්ත බයිබල් කොටස් කියවලා ඒකෙ තියෙන අදහස් ලියුම් මාර්ගයෙන් බෙදාගන්නත් අපි සැලසුම් කළා. මේ කාලය අතරතුර කිර්ගිස්තාන් භාෂාවෙන් ආරම්භ කළ පළමු සභාවේ සේවය කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ සභාව තිබුණේ බැලික්චි නගරයේයි.
අපි කළ සේවය
වර්ෂ 1998දී අපි විවාහ වුණා. ඊටපස්සේ අපිට රුසියානු ශාඛා කාර්යාලයේ සේවය කරන්න ආරාධනාවක් ලැබුණා. රුසියානු භාෂාව ඉගෙනගත්ත එක ගැන මම ඒ වෙලාවෙ හුඟක් සතුටු වුණා. පස්සේ කාලෙකදී කිර්ගිස්තානු පරිවර්තන කණ්ඩායම එක්ක වැඩ කරන්නත් මට අවස්ථාව ලැබුණා. පරිවර්තන වැඩවල යෙදෙන්න මට ඉවසීමත් ප්‍රඥාවත් දෙන්න කියලා මම දෙවිට යාච්ඤා කළා. ඒ වගේම ගුල්මීරාත් මාත් එක්කම වැඩ කළ නිසා එයාගෙනුත් මට ලැබුණේ ලොකු සහයෝගයක්.
වර්ෂ 2004දී අපේ පරිවර්තන කණ්ඩායම බිෂ්කෙක්වලට මාරු කළා. ඒ වගේම කිර්ගිස්තානයේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු භාරව සිටින කමිටුවේ සේවය කරන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ වෙනකොට කිර්ගිස්තානයේ කිර්ගීස් භාෂාව කතා කරන සභාවන් හතකුත් රුසියානු භාෂාව කතා කරන සභාවන් 30කට අධික සංඛ්‍යාවකුත් තිබුණා. අද වෙනකොට කිර්ගීස් භාෂාව කතා කරන සභා 20කට වැඩියෙන් තියෙනවා. කිර්ගිස්තානයේ සාක්ෂිකරුවන් 4,800ක් ඉන්නවා. ඔවුන්ගෙන් සියයට 40ක්ම සිටින්නේ කිර්ගීස් භාෂාව කතා කරන සභාවලයි.
අපේ සේවයට හුඟක් ප්‍රයෝජනවත් වෙන නිසා මමයි ගුල්මීරායි ඉංග්‍රීසි ඉගෙනගත්තා. ඒ නිසා 2008දී අපිට ඇමරිකාවේ තියෙන සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයට එන්න කියලා ආරාධනාවක් ලැබුණා. එහිදී මට විශේෂ පාසැලකටත් සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා.
මමත් ගුල්මීරාත් දැන් ඉතාමත් සතුටින් කිර්ගිස්තානයේ සේවය කරනවා. අපේ අද්දැකීමෙන් අපි දැනගත්තා ඇත්තටම යෙහෝවා දෙවි ප්‍රේමණීය එඬේරෙක් කියලා. ඒ වගේම මේ බයිබල් පදය ඇත්තක් කියලත් මම මගේ ජීවිතයෙන්ම අද්දැක්කා. “යෙහෝවා දෙවි මාගේ එඬේරාය. මට කිසි හිඟයක් නොවන්නේය. ඔහු සරු තණබිම්වල මා සතපවන්නේය. සිසිල් දිය ගලා බසින නිසංසල තැන්වලට මා ගෙන යන්නේය. ඔහු මා ප්‍රාණවත් කරන්නේය. තම නාමය උදෙසා ඔහු ධර්මිෂ්ඨ මාවත්වල මා ගෙන යන්නේය.”—ගීතාවලිය 23:1-3.
[23වන පිටුවේ පින්තූරය]
අපේ බැටළු රැළ
[23වන පිටුවේ පින්තූරය]
බැටළුවෝ ඔක්කොම ඉන්නවාද කියලා බලන්න හැමදාම හවසට අපි උන්ව ගණන් කරනවා
[24වන පිටුවේ පින්තූරය]
ගුල්මීරා එක්ක