බයිබලයෙන් පිළිතුරක්
අද පවතින යුද්ධවලට දෙවි අනුබල දෙනවාද?
අතීතයේ සිටි රණ ශූරයෙකු වූ දාවිත් රජ මෙසේ පැවසුවා. “ඔහු [දෙවි] මට සටන් කිරීමට උගන්වන්නේය. ඔහුගේ උපකාරය ඇතුව මාගේ දෑතින් මම තඹ දුන්නක් වුවත් නමන්නෙමි.”—ගීතාවලිය 18:34.
දෙවිගේ සේවකයෙකු වූ පාවුල්, ක්‍රිස්තියානීන්ට පැවසුවේ මෙයයි. “අප සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත් වුණත් අප කරන යුද්ධයේදී අප කටයුතු කරන්නේ අපගේ ආශාවන් පිනවීමට කටයුතු කරන මිනිසුන් ලෙස නොවේ. එසේම මෙම යුද්ධයේදී අප භාවිත කරන ‘ආයුධ’ සාමාන්‍ය මිනිසුන් භාවිත කරන ‘ආයුධ’ නොවේ.”—2 කොරින්ති 10:3, 4.
කාලයක් පුරා දෙවිගේ සෙනඟ වුණේ ඊශ්රායෙල්වරුනුයි. යුද්ධ කිරීමට දෙවි ඔවුන්ට අවසර දුන්නා. පසු කාලයේදී දෙවිගේ අනුමැතිය ලත් කණ්ඩායම වුණේ සැබෑ ක්‍රිස්තියානීනුයි. නමුත් දෙවි ඔවුන්ට පැවසුවේ යුද්ධ නොකරන්න කියායි. එසේනම් මේ වෙනසට හේතුව කුමක්ද? ඊට ප්‍රධාන කරුණු තුනක් හේතු වෙනවා.
ප්‍රධාන හේතු තුන
1. ඊශ්‍රායෙල්වරුන්ට තමන්ටම කියා දේශයක් තිබුණා. එය දී තිබුණේ දෙවියි. නමුත් අවට සිටි ජාතීන් මෙම දේශය අල්ලාගැනීමට උත්සාහ කළා. ඒ නිසා දෙවි පැවසුවේ තමාගේ දේශය ආරක්ෂා කරගැනීම සඳහා යුද්ධ කරන්න කියායි. ඒ වගේම යුද්ධ ජය ගැනීමටත් දෙවි උපකාර කළා. (විනිශ්චයකරුවෝ 11:32, 33) අනික් අතට සැබෑ ක්‍රිස්තියානීන්ට දෙවි එසේ නිශ්චිත දේශයක් දී නැහැ. ඔවුන් ලොව පුරා තිබෙන විවිධ රටවල ජීවත් වෙනවා. යම් හෙයකින් ඔවුන් එක් රටකට විරුද්ධව යුද්ධ කරනවා නම් ඉන් සිදු වන්නේ තම සහෝදරයන්ට එරෙහිව නැඟී සිටීමයි. නමුත් බයිබලයේ ඔවුන්ට අණ කර තිබෙන්නේ තම සහෝදරයන්ට ප්‍රේම කිරීමට පමණක් නොව අවශ්‍ය වුවහොත් ඔවුන් වෙනුවෙන් තම ජීවිත වුණත් දීමට සූදානමින් සිටින්න කියායි.—මතෙව් 5:44; යොහන් 15:12, 13.
2. ඊශ්‍රයෙල්වරුන්ට රජ කෙනෙක් සිටියා. ඔහු පාලනය කළේ යෙරුසලමේ සිටයි. ඒ නිසා ඔහුට අයිතිව තිබූ එම දේශය රැකගැනීමට ඔහු යුද්ධ කළා. සැබෑ ක්‍රිස්තියානීන්ටත් රජ කෙනෙක් සිටිනවා. එම රජ වන යේසුස් පාලනය කරන්නේ ස්වර්ගයේ සිටයි. (දානියෙල් 7:13, 14) ඔහු යුද්ධවලට හවුල් නොවන හේතුව ඔහුම මෙසේ විස්තර කළා. “මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ. මගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ වී තිබුණා නම් මා යටතේ සිටි අය මා වෙනුවෙන් සටන් කර මාව යුදෙව්වරුන්ගේ අතට හසු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ.”—යොහන් 18:36.
3. ඊශ්‍රායෙල්වරුන්ගේ රජවරුන් තම රාජ්‍යය නියෝජනය කිරීමට නියෝජිතයන් හෝ තානාපතීන්ව තෝරාගෙන සිටියා. (2 රාජාවලිය 18:13-15; ලූක් 19:12-14) යේසුස්ටත් එවැනි තානාපතීන් සිටිනවා. සැබෑ ක්‍රිස්තියානීන් සියලුදෙනාම යේසුස්ගේ තානාපතීන්. පාවුල් පැවසුවේ “අපි ක්‍රිස්තුස් වෙනුවෙන් තානාපතීන් ලෙස ක්‍රියා කරමින් සිටින්නෙමු” කියායි. (2 කොරින්ති 5:20) අතීතයේ සිටි තානාපතීන්ව යවනු ලැබුවේ රජවරුන් හෝ නායකයන් වෙතටයි. නමුත් යේසුස්ගේ නියෝජිතයන් දේශපාලනික නායකයන්ට පමණක් නොව සියලු ජනයාට දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කරනවා. සාමයට ප්‍රිය කරන ඔවුන් කිසිවිටක අවි ආයුධ අතට ගන්නේ නැහැ. යේසුස් පැවසුවේ ‘රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරන’ බවයි. (මතෙව් 24:14) ඒ වගේම ඔහුගේ නියෝජිතයන්ට ඔහු මෙසේද පැවසුවා. ‘ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න.’—මතෙව් 28:19, 20.
කනගාටුවට කරුණ වන්නේ මේ පණිවිඩයට බොහෝදෙනා විරුද්ධව කටයුතු කිරීමයි. නමුත් පාවුල් පැවසුවේ “ක්‍රිස්තුස් යේසුස්ගේ යහපත් හේවායෙකු ලෙස දුක් විඳීමට පසුබට නොවන්න” කියායි. (2 තිමෝති 2:3) ඒ නිසා යේසුස්ගේ හේවායන් වන සැබෑ ක්‍රිස්තියානීන් සතු ප්‍රධානම ආයුධය වන්නේ දේවවචනයයි.—එෆීස 6:11-17.
එක් ජාතියක තැන ගත් විවිධ ජාතීන්
පුරාණ ඊශ්‍රායෙල්වරුන් සමඟ දෙවි විශේෂ ගිවිසුමක් ඇති කරගෙන තිබුණා. (නික්මයාම 19:5) එම ගිවිසුමට දසපනත සහ තවත් බොහෝ නීතිද ඇතුළත් වුණා. ඒවා ලබා දුන්නේ ඔවුන්ට සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීමට සහ දෙවිට පරිශුද්ධ සේවයක් පිරිනැමීම සඳහායි. මෙම නීති ලබා දීම සඳහා දෙවි පාවිච්චි කළේ ඔහුගේ සේවකයෙකු වූ මෝසෙස්වයි. (නික්මයාම 19:3, 7, 9; 20:1-17) නමුත් ඊශ්‍රායෙල්වරුන්ගෙන් බහුතරයක් එම ගිවිසුම කඩ කළා. ඒ වගේම අනාගතවක්තෘවරුන්වද මරා දැමුවා. මේ හේතු නිසා ඔවුන්ට දෙවි තෝරාගත් ජාතිය ලෙස සිටීමට හැකි වුණේ වසර 1,500ක පමණ කාලයක් පමණයි.—2 ලේකම් 36:15, 16; ලූක් 11:47, 48.
අවසානයේදී දෙවි ඔහුගේ පුත්‍රයා වන යේසුස්වද මේ පොළොවට එව්වා. ඔහු ඉපදුණේ යුදෙව්වෙක් ලෙසයි.a ඊශ්‍රායෙල්වරුන් ඔහුවද ප්‍රතික්ෂේප කළා. ඒ නිසා ඔවුන් සමඟ තිබුණු ගිවිසුම දෙවි අහෝසි කළා. (එෆීස 2:13-18; කොලොස්සි 2:14) ඉන්පසුව දෙවි, යේසුස් මාර්ගයෙන් ක්‍රිස්තියානි සභාව පිහිටෙව්වා. එදා සිට දෙවිගේ සෙනඟ අතර විවිධ ජාතීන් සිටිනවා.—ක්‍රියා 10:35.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කටයුතු කරන්නේ යේසුස්ගේ මුල් අනුගාමිකයන් කටයුතු කළ ආකාරයටමයි. ඔවුන්ද කිසිම ආකාරයක යුද්ධයකටවත් දේශපාලන කටයුතුවලටවත් හවුල් වන්නේ නැහැ. ඔවුන් ප්‍රසිද්ධ වී සිටින්නේ සාමකාමී සෙනඟක් ලෙසයි. (මතෙව් 26:52; ක්‍රියා 5:42) ඒ වගේම සම්පූර්ණයෙන්ම යුද්ධ නැති කිරීමටත් සැබෑ සාමය ඇති කිරීමටත් හැකි වන්නේ දෙවිගේ රාජ්‍යයට පමණයි යන පණිවිඩය ඔවුන් ප්‍රකාශ කරනවා. බයිබලයේ සඳහන් වන ආකාරයට අද සිදු වන දේවලින් ඔප්පු වන්නේ දෙවිගේ රාජ්‍යය අත ළඟ බවයි. (2 තිමෝති 3:1-5) ඒ නිසා ඔවුන් කරන සේවයට මොන තරම් බාධා ආවත් ඔවුන් සියලුදෙනාට ආරාධනා කරන්නේ “දෙවි සමඟ සමාදාන වන්න” කියායි.—2 කොරින්ති 5:20.
[පාදසටහන]
a ඊශ්‍රායෙලයේ යූදා ගෝත්‍රයට අයත් අයව හැඳින්වූයේ යුදෙව්වන් ලෙසයි. නමුත් පසු කාලයේදී සියලුම ඊශ්‍රායෙල්වරුන්ව හැඳින්වූයේ යුදෙව්වන් ලෙසයි.—එස්රා 4:12.
මේ ගැන ඔබ සිතුවාද?
● ක්‍රිස්තියානීන් වර්ධනය කරගත යුතු ගුණාංගය කුමක්ද?—යොහන් 13:34, 35.
● ක්‍රිස්තියානීන් ළඟ තිබෙන ආයුධය කුමක්ද?—එෆීස 6:17.
● ක්‍රිස්තියානීන් දේශනා කරන වැදගත් පණිවිඩය කුමක්ද?—මතෙව් 24:14; 2 කොරින්ති 5:20.
[23වන පිටුවේ පින්තූරය]
විවිධ ජාතීන්ගෙන් සමන්විත යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යුද්ධවලටවත් දේශපාලන කටයුතුවලටවත් හවුල් වන්නේ නැහැ