ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 9/15 8-9 පි.
  • සමාව ඉල්ලන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සමාව ඉල්ලන්න
  • 2015 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ප්‍රශ්නය
  • මම සමාව ඉල්ලන්න ඕනෙමද?
    යොවුන් සිතේ ගැටලු
  • ඔබ සැබවින්ම සමාව ඉල්ලිය යුතුද?
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාදානයට රහස සමාව ඉල්ලීමයි
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාව ඉල්ලීම මෙතරම් අමාරු ඇයි?
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2015 පිබිදෙව්!
g 9/15 8-9 පි.
තරහෙන් අහක බලාගෙන ඉන්න බිරිඳට කතා කරන සැමියෙක්

මේ ඔබේ පවුලටයි | සැමියාට සහ බිරිඳට

සමාව ඉල්ලන්න

ප්‍රශ්නය

ඔය දෙන්නා අතර බහින් බස් වීමක් වුණාට පස්සේ ඔයාට මෙහෙම හිතෙයි. ‘මං මොකටද සමාව ඉල්ලන්නේ? මම නෙමෙයිනේ රණ්ඩුව පටන්ගත්තේ.’

ඔයා ඒක අමතක කරලා දාන්න හැදුවත්, සමාව ඉල්ලුවා නම් හොඳයි කියලා සැරින් සැරේට ඔයාට හිතෙයි. ඒත් “මට සමාවෙන්න” කියලා කියාගන්න තමයි අමාරු.

ඇයි එහෙම වෙන්නේ?

උද්ධච්චකම නිසා. ඒ ගැන චාල්ස්a මෙහෙම කිව්වා. “සමහර වෙලාවට ‘මට සමාවෙන්න’ කියලා කියන්න හරි අමාරුයි. මොකද මට හිතෙනවා එහෙම කළොත් මං බාල්දු වෙනවා කියලා.” කෙනෙක් උද්ධච්ච නම් වරදක් පිළිගන්න කැමති වෙන්නේ නැහැ. එයා හිතන්නේ ඒකෙන් තමන්ට ලැජ්ජාවක් වෙයි කියලයි.

හිතන විදිහ නිසා. සමාව ගන්න ඕනෙ ඔයාගේ අතින් වරදක් වෙලා තියෙනවා නම් විතරයි කියලා ඔයාට හිතෙනවා ඇති. බිරිඳක් වන ජිල් කිව්වෙත් මෙහෙමයි. “සම්පූර්ණ වැරැද්ද මගේ අතේ නම් ‘සමාවෙන්න’ කියලා කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් අපි දෙන්නම එකට එක කියාගෙන හිත් රිද්දවාගත්තා නම් ඇයි මං විතරක් සමාව ඉල්ලන්න ඕනේ?”

සමහරවිට වෙච්ච දේට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ ඔයාගේ සැමියා හෝ බිරිඳ කියලා ඔයා දන්නවා නම් කොහොමටවත් සමාව ඉල්ලන්න ඕනේ නැහැ කියලා ඔයාට හිතෙයි. ඒ ගැන සැමියෙක් වන ජෝසෆ් කිව්වෙත් මෙහෙමයි. “තමන්ගේ අතින් කිසිම වරදක් වෙලා නැත්නම් කෙනෙක් සමාව ඉල්ලන්නේ නැත්තේ තමන් නිර්දෝෂයි කියලා ඔප්පු කරන්නයි.”

හැදුණු වැඩුණු පරිසරය නිසා. වරදක් වුණාම සමාව ඉල්ලන පුරුද්ද සමහරවිට ඔයාගේ පවුලේ අයට නැතුව ඇති. පොඩි කාලේ ඉඳලා ඔයා පුරුදු වෙලා තියෙන්නෙත් ඒ විදිහට නම් වැඩිහිටියෙක් වුණාමත් සමාව ඉල්ලන එක ඔයාට ලේසි නැහැ.

මොනවද කරන්න පුළුවන්?

ගින්නක් නිවන්න වතුර දාන සැමියෙක් සහ බිරිඳක්

තරහ නිවන්න සමාව ඉල්ලන්න

අනිත් කෙනා ගැන හිතන්න. කවුරු හරි ඔයාගේ හිත රිද්දපු වෙලාවක, එයා ඇවිත් ඔයාගෙන් සමාව ඉල්ලුවාම දැනුණු විදිහ ඔයාට මතකද! ඔයාගේ සැමියාට හරි බිරිඳට හරි ඒ වගේ සහනයක් දැනෙනවාට ඔයා කැමති නැද්ද? ඔයාගේ අතින් වැරැද්දක් වුණේ නැහැ කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඒත් අනිත් කෙනාගේ හිත රිදිලා ඇති. ඔයා කියපු කරපු දේ නිසා එයාට වෙන ප්‍රශ්නවලටත් මුහුණ දෙන්න වෙලා ඇති. ඒ නිසා සමාව ඉල්ලන්න. ඔයා සමාව ඉල්ලුවොත් එයාට ලොකු සහනයක් දැනෙයි.—ලූක් 6:31 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

විවාහය රැකගන්න. සමාව ඉල්ලන එක මදිකමක් කියලා හිතන්න එපා. ඒක ඔයා විවාහය රැකගන්න කරන දෙයක් කියලා හිතන්න. කෙනෙක් තමන් ගැන ඕනෑවට වඩා හිතන්නේ නැත්නම් වරදක් වුණාම ඉක්මනින්ම සමාව ඉල්ලලා සමාදාන වෙනවා. තරහින් ඉන්න කෙනෙක්ව දිනාගන්න එක “ශක්තිමත් නුවරක් අල්ලාගැනීමට වඩා අසීරු” දෙයක් කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 18:19) ඒ නිසා අපි, අපි ගැන හිතන්නේ නැතුව අපේ විවාහය ගැන හිතනවා නම් ප්‍රශ්නයක් දුර දිග ගිහින් පවුලේ සමාදානයට ඒක බාධාවක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ.—ෆිලිප්පි 2:3 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

කල් දාන්න එපා. වැරැද්ද සම්පූර්ණයෙන්ම ඔයාගේ අතේ නෙමෙයි නම් සමාව ඉල්ලන එක ලේසි නැහැ. ඒත් ඔයාගේ වැරදි වහගන්න අනිත් කෙනාගේ වැරදි පාවිච්චි කරන්න එපා. කාලයත් එක්ක ප්‍රශ්නේ අමතක වෙලා යයි කියලා හිතලා සමාව ඉල්ලන්න අදිමදි කරන්නත් එපා. සමාව ඉල්ලන්න ඔයා මුල් පියවර ගන්නවා නම් අනිත් කෙනාටත් සමාව ඉල්ලන්න ඒක උදව්වක් වෙයි.—මතෙව් 5:25 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

අවංක වෙන්න. වරදක් සාධාරණීකරණය කරනවා කියන්නේ සමාව ඉල්ලනවා කියන එක නෙමෙයි. “මං හිතුවේ නැහැ ඔයාට ඕකට ඔච්චර හිත රිදෙයි කියලා” වගේ දේවල් කියන එකත් සමාව ඉල්ලීමක් නෙමෙයි. ඔයා කරපු කියපු දෙයකින් අනිත් කෙනාගේ හිත රිදුණා නම් ඒ වරද පිළිගන්න.

ඇත්ත තත්වය තේරුම්ගන්න. හැමෝගෙම අතින් වගේ ඔයාගේ අතිනුත් වැරදි වෙනවා කියන එක පිළිගන්න. සමහර අවස්ථාවලදී ඔයාගේ අතින් වරදක් වුණේ නැහැ කියලා ඔයා හිතුවත් අනිත් කෙනාට ඒක බලපාපු විදිහ හරියටම ඔයා දන්නේ නැතුව ඇති. බයිබලයෙත් මෙහෙම කියනවා. “නඩුවකදී පළමුවෙන් පෙනී සිටින්නා නිවැරදියයි පෙනේ. එහෙත් ඉන්පසුව එතැනට පැමිණ සාක්ෂි දෙන තැනැත්තා සැබෑ තත්වය හෙළි කර දෙයි.” (හිතෝපදේශ 18:17) ඔයාගේ අතිනුත් අඩුපාඩු වෙනවා කියලා තේරුම්ගත්තාම අනිත් කෙනාගෙන් සමාව ඉල්ලන්න ලේසියි.

a සමහර නම් වෙනස් කර ඇත.

මූලික බයිබල් ප්‍රතිපත්ති

  • “අනුන් ඔබට කරනවාට ඔබ කැමති දේ එලෙසින්ම ඔවුන්ටත් කරන්න.”—ලූක් 6:31.

  • “නිහතමානීව අන් අය ඔබට වඩා උතුම් කියා සිතන්න.”—ෆිලිප්පි 2:3.

  • “ප්‍රශ්නය ඉක්මනින් නිරවුල් කරගන්න.”—මතෙව් 5:25.

ජේසන් සහ ඇලෙක්සැන්ඩ්‍රා

ජේසන් සහ ඇලෙක්සැන්ඩ්‍රා

“දෙන්නට දෙන්නා සමාව ඉල්ලන්නේ නැත්නම්, සමාව දෙන්නේ නැත්නම් විවාහය තුළ ප්‍රශ්න වැඩියි. දෙන්නටම ඉන්න වෙන්නෙත් ලොකු පීඩනයකින්. ඒත් සමාව ඉල්ලනවා නම් ප්‍රශ්න විසඳගන්න හරි ලේසියි. ඇත්තටම කිව්වොත් ඒක ආදරේ පෙන්නන්න තියෙන හොඳ ක්‍රමයක්.”

කායි සහ ජූලියා

කායි සහ ජූලියා

“අපි සමාව ඉල්ලන්න ඕනේ ආයෙත් සතුට, සමාදානය ඇති කරගන්න. ඒ නිසා අනිත් කෙනාගේ හිත රිදිලා නම් එයාව සනසවන්න ඔයාට කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න