ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 12/15 10-11 පි.
  • මෙන්න තල්මස්සු ඇවිල්ලා . . .

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මෙන්න තල්මස්සු ඇවිල්ලා . . .
  • 2015 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මුහුදේ රැඟුම් පාන සද්දන්තයෝ
  • අනිත් අයට නැති පෙනුමක්!
  • කෑම කන්නේ මෙහෙමයි
  • වටින කියන තල්මහෙක්
  • මහ සයුරේ දැවැන්තයෝ
    2009 පිබිදෙව්!
  • කිමිදුම් ශූර තාර හොට තල්මසා
    නිර්මාණයක්ද?
  • මොල්ලි තල්මසාගේ අවල් පත
    2013 පිබිදෙව්!
  • ඩොල්ෆින් මත්ස්‍යයාගේ තෙල් තට්ටුව
    2011 පිබිදෙව්!
තව තොරතුරු
2015 පිබිදෙව්!
g 12/15 10-11 පි.
තල්මස් අම්මා කෙනෙක් සහ පැටියෙක්

මෙන්න තල්මස්සු ඇවිල්ලා . . .

බ්‍රසීලයේ ශාන්ත කතරිනා මුහුදු තීරයේ හැම අවුරුද්දකම ජූලි මාසයේ මුල ඉඳන් හරිම සුන්දර දසුනක් දැකගන්න පුළුවන්. ඒ සදර්න් රයිට් වේල් කියලා හඳුන්වන තල්මසුන් වර්ගය ඒ අවට නොගැඹුරු මුහුදේ දැකගන්න ලැබෙන නිසයි. ගැබ්බර තල්මස් අම්මලා සැතපුම් ගාණක් දුර ගෙවාගෙන මේ මුහුදු තීරයට එන්නේ පැටවුන් බිහි කරන්නයි. ඒ නිසා මාස කිහිපයක් යන කල් ඒ ප්‍රදේශයේ ඉන්න අය හා සංචාරකයන් මේ තල්මසුන් හා උන්ගේ පැටව් රැඟුම්පාන හැටි බලන්නේ හරිම ආසාවෙන්.a

මුහුදේ රැඟුම් පාන සද්දන්තයෝ

මේ තල්මසුන්ගේ ගැහැනු සතෙක්ගේ දිග මීටර් 16ක් විතර වන අතර බර ටොන් 80ක් විතර වෙනවා. උන්ගේ ශරීරය සම්පූර්ණයෙන්ම වගේ කලු පාට වුණත් සමහරුන්ගේ බඩේ සුදු පාට පුල්ලි දකින්න පුළුවන්. උන්ගේ ඔළුවේ ප්‍රමාණය ඇඟෙන් හතරෙන් එකක්. සමහර තල්මසුන්ට තියෙනවා වගේ පිට වරලක් මේ තල්මසුන්ට නැහැ. සාමාන්‍යයෙන් මාළු පීනද්දී වලිගය ගසන්නේ දෙපැත්තට. ඒත් මේ තල්මසුන් ඉදිරියට පීනන්නේ වී අකුරේ හැඩයට තියෙන උගේ විශාල වලිග වරල ඉහළට පහළට ගහලයි. ඒ වගේම යන දිශාව වෙනස් කරගන්නේ අවල්පත් පාවිච්චි කරලා.

කොච්චර සද්දන්ත වුණත් මේ තල්මසුන් ඇඟ එහෙට මෙහෙට නමමින් රැඟුම් පාන විදිහ හරිම අපූරුයි. උන් හුඟ වෙලාවක් වලිග වරල විතරක් පේන්න වතුරෙන් උඩට මතු කරලා දිය යට පීනනවා. තවත් වෙලාවක වලිග වරලෙන් වතුරට හයියෙන් ගහමින් සෙල්ලම් කරනවා. ඒ විතරක් නෙමෙයි වතුරෙන් උඩට පැනලා කරණමක් ගහලා ආයෙත් මුහුදට වැටෙනවා. ඒ වෙලාවට වතුර ඉහළට විසි වෙන විදිහ හුඟක් ඈතින් ඉන්න කෙනෙකුට වුණත් දකින්න පුළුවන්.

අනිත් අයට නැති පෙනුමක්!

මේ තල්මසුන්ගේ ඔළුව උඩ සහ ඔළුව වටේට සුදු පාටට හෝ කහ පාටට හුරු ගනකම් විශාල ගැටිති දකින්න පුළුවන්. ඒ ගැටිති මත කූනිස්සන් වගේ කුඩා ජීවීන් වර්ගයක් පොකුරු විදිහට රැඳිලා ඉන්නවා. උන්ට කියන්නේ තල්මස් උකුණන් කියලා. තල්මසුන් ගැන අධ්‍යයනය කරන කෙනෙක් මෙහෙම කිව්වා. “හරියට මිනිසුන්ගේ ඇඟිලි සලකුණු එක් කෙනෙක්ගෙන් එක් කෙනෙක්ට වෙනස් වගේ තල්මසුන්ගේ ඔළුවේ තියෙන ගැටිති පිහිටලා තියෙන රටාව එකෙක්ගෙන් එකෙක්ට වෙනස්. ඒ නිසා තල්මසුන්ව වෙන් කරලා හඳුනගන්න අපිට පුළුවන්. අපි තල්මසෙක්ව දැක්කම උගේ ඔළුවේ තියෙන ගැටිති පේන විදිහට ෆොටෝ එකක් ගන්නවා. ඒවා උදව් වෙනවා තල්මසුන්ව වෙන් කරලා හඳුනගන්න.”

මේ තල්මසුන්ට දත් නැති නිසා උන්ගේ වයස හරියටම කියන්න බැහැ කියලා ජීව විද්‍යාඥයන් කියනවා. අඩුම තරමින් උන් අවුරුදු 65ක්වත් ජීවත් වෙනවා ඇති කියලයි ඔවුන් අනුමාන කරන්නේ.b

කෑම කන්නේ මෙහෙමයි

තල්මසුන්ගේ කටේ උඩු ඇන්දේ දෙපැත්තේම ඉහළ සිට පහළට එල්ලී තියෙන ශක්තිමත් කෙඳි විශේෂයක් තියෙනවා. බඩගිනි වුණාම උන් කරන්නේ කට ඇරගෙන ජලයේ පිහිනන එකයි. එතකොට වතුරත් එක්ක ඉස්සන්, කූනිස්සන් වැනි පුංචි සතුන් උගේ කට ඇතුළට එනවා. කට වහද්දී වතුර පෙරිලා උඩු ඇන්දේ දෙපැත්තේම තියෙන කෙඳිවල ඒ සත්තු රැඳෙනවා. ඒ සත්තු තමයි උන් කෑමට ගන්නේ. ඒ විදිහට එක තල්මසෙක් දවසකට පුංචි සත්තු ටොන් දෙකක පමණ ප්‍රමාණයක් ආහාරයට ගන්නවා.

මේ තල්මසුන් ග්‍රීෂ්ම ඍතුව ගත කරන්නේ ඇන්ටාක්ටිකාව අවට මුහුදෙයි. ඒ කාලයේදී තමයි උන් හොඳට කාලා ශරීරයේ මේදය තැන්පත් කරගන්නේ. උන්ට අවශ්‍ය උණුසුම ලබාගන්නෙත් සංක්‍රමණය කරද්දී අවශ්‍ය පෝෂණය ලබාගන්නෙත් ශරීරයේ තැන්පත් වන ඒ මේදයෙන්.

වටින කියන තල්මහෙක්

18වෙනි සියවසේ ඉඳන් මේ තල්මසුන්ව විශාල වශයෙන් දඩයම් කරලා තියෙනවා. දඩයම්කරුවන්ට මේ තල්මසාව අල්ලන්න හරිම ලේසියි. මොකද ඌ පීනන්නේ හෙමිහිට. අනිත් තල්මසුන් වගේ නෙමෙයි ඌ මැරුණම වතුරේ පාවෙනවා. ඒ උගේ ඇඟේ තියෙන තෙල් තට්ටුව නිසයි. ඒ නිසා පුංචි ලී බෝට්ටුවකින් වුණත් ඌව ගොඩට ඇදගෙන එන්න පුළුවන්.

ඒ විතරක් නෙමෙයි උන්ගෙන් ලබාගන්න තෙල්වලට සහ උන්ගේ කටේ තියෙන කෙඳිවලට ඒ කාලේ ලොකු ඉල්ලුමක් තිබුණා. වීදි ලාම්පු පත්තු කරන්න සහ ග්‍රීස් වගේ ද්‍රව්‍ය හදන්න ඒ තෙල් පාවිච්චි කළා. සමහර කාන්තා ඇඳුම් හදන්න, අශ්වයන්ව මෙහෙයවන කස හදන්න වගේම කුඩ හදන්නත් ඒ කෙඳි පාවිච්චි කළා. එක තල්මහෙක්ගේ කෙඳි විකුණලා ලබාගත්ත ආදායම උන්ව දඩයම් කරන්න ගිය මුළු වියදම පිරිමහගන්න ප්‍රමාණවත් වුණා.

20වෙනි සියවසේ මුල් භාගයේ මේ තල්මසුන්ව ඉවක් බවක් නැතුව දඩයම් කරපු නිසා උන්ගේ ගණන එන්න එන්නම අඩු වුණා. තල්මසුන්ව දඩයම් කරන එක නතර වුණේ ඒ නිසයි. බ්‍රසීලයේ තල්මසුන්ව දඩයම් කරන අන්තිම ස්ථානයත් 1973දී වහලා දැම්මා. කාලයක් යද්දී සමහර තල්මස් විශේෂ නැවත දකින්න ලැබුණත් තවත් විශේෂයන් අදටත් වඳ වී යාමේ තර්ජනයට මුහුණ දෙනවා.

මේ පෘථිවියේ ඉන්න ජීවීන්ගේ සංකීර්ණත්වයට හා විවිධත්වයට හොඳම උදාහරණක් තමයි සදර්න් රයිට් වේල් කියන තල්මසා. ජීවීන්ව නිර්මාණය කරපු කෙනා කොච්චර ප්‍රඥාවන්ත, බලවත් කෙනෙක්ද කියන්න මේ සත්වයා කදිම සාක්ෂියක්. ඒ නිර්මාතෘ වෙන කවුරුත් නෙවෙයි යෙහෝවා දෙවියන්.—ගීතාවලිය 148:7.

a මේ තල්මසුන් පැටවු බිහි කරන්න ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, උරුගුවේ හා ඕක්ලන්ඩ් දූපත් අවට මුහුදටත් එනවා.

b මේ තල්මසුන් වර්ගයේ විශේෂ තුනක් ඉන්නවා කියලා විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. මේ ලිපියේ කතා කරපු විශේෂයට අමතරව තවත් විශේෂ දෙකක් උතුරු අර්ධ ගෝලයේ ජීවත් වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න