පරිච්ඡේදය 22
පළමු දුක වන පළඟැටියෝ
1. දේවදූතයන් හොරණෑ පිඹින විට තවත් සිදු වෙන්නේ කුමක්ද? පස්වන හොරණෑවෙන් ප්‍රකාශ වෙන්නේ කුමක්ද?
පස්වෙනි දේවදූතයා දැන් තම හොරණෑව පිඹීමට සූදානම්ව සිටිනවා. මේ වන විට දේවදූතයන් සතරදෙනෙක් දැනටමත් හොරණෑ පිඹ අවසන්. එහිදී වසංගත සතරක් පොළොවේ තුනෙන් කොටසකට පහර දුන් ආකාරය අපි දැක්කා. ඒ තුනෙන් කොටස නම් යෙහෝවා දෙවි විසින් වඩාත්ම දූෂිත කොටස ලෙස සලකන ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවලින් සැදුම් ලත් සංවිධානයයි. ඔවුන්ගේ මරණාසන්න තත්වය හෙළි කර තිදෙබනවා. දේවදූතයන් තම හොරණෑ පිඹින විට පොළොවෙත් ඊට සමානව ප්‍රකාශයක් සිදු වූ ආකාරයත් අපි දැක්කා. දැන් පස්වෙනි දේවදූතයා තම හොරණෑව පිඹ පළමු දුක ගැන ප්‍රකාශ කරන්න සූදානම්. මෙය කලින් සිදු වූ දේවලට වඩා භයංකරයි. එය ඉතා භයානක පළඟැටි වසංගතයකට සම්බන්ධයි. මෙම වසංගතයෙන් අදහස් වන දේ වඩාත් හොඳින් තේරුම්ගැනීමට අපි මුලින්ම වෙනත් බයිබල් පද සෝදිසි කර බලමු.
2. යොහන් දකින පළඟැටි වසංගතයට සමාන වසංගතයක් ගැන විස්තර කරන්නේ කුමන බයිබල් පොතේද? මෙම වසංගත ඉපැරණි ඊශ්‍රායෙලයට බලපෑවේ කෙසේද?
2 ක්‍රිස්තු පූර්ව නවවන සියවසේ ලියනු ලැබූ යෝවෙල් නමැති බයිබල් පොතේ කෘමී වසංගතයක් ගැන විස්තර කරනවා. පළඟැටි වසංගතයක්ද ඊට ඇතුළත් වුණා. එය යොහන් දකින පළඟැටි වසංගතයට සමානයි. (යෝවෙල් 2:1-11, 25)a මෙම වසංගතය සත්‍ය දෙවිට විරුද්ධව කැරලි ගැසූ ඊශ්‍රායෙල් ජාතියට යම් වේදනාවක් ගෙන දුන්නත් පසුතැවිලි වී නැවත යෙහෝවා දෙවි වෙතට හැරී ඒමට යම් පුද්ගලයන්ට ඉන් මඟ පෑදුණා. (යෝවෙල් 2:6, 12-14) ඒ අනාවැකිය ඉටු වූ කාලයේ යෙහෝවා දෙවි තම බලය “සෑම මනුෂ්‍යයන් පිට” වැගිරෙවූ අතර “යෙහෝවාගේ මහත් භයානක දවස එන්ට” පෙර භයංකර ලකුණු හා පෙර නිමිති දකින්න ලැබුණා.—යෝවෙල් 2:11, 28-32.
පළමු සියවසේ සිදු වූ වසංගතය
3, 4. (අ) යෝවෙල් පොතේ 2වන පරිච්ඡේදය ඉටු වුණේ කුමන කාලයේදීද? (ආ) ක්‍රිස්තු වර්ෂ මුල් සියවසේ පළඟැටි වසංගතයක් ඇති වුණේ කොහොමද? එය පැවතියේ කොතරම් කාලයකටද?
3 යෝවෙල් 2වන පරිච්ඡේදයේ සඳහන් දේ යම් ආකාරයකින් ඉටු වුණේ පළමු සියවසේදීයි. මෙය සිදු වුණේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දිනේදී පළමු ක්‍රිස්තියානීන්ට දෙවිගේ බලය ලැබීමත් සමඟයි. ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට බොහෝ භාෂාවලින් “දෙවිගේ මහිමාන්විත දේවල්” ගැන කතා කිරීමට හැකියාව ලැබුණා. ඔවුන්ට සවන් දීම සඳහා විශාල සමූහයක් එක් රොක් වුණා. පුදුමයෙන් බලා සිටි සමූහයාට යෝවෙල් 2:28, 29 උපුටා දක්වමින් පේතෘස් පැහැදිලි කළේ ඔවුන් එහි ඉටුවීම දැන් අද්දකිමින් සිටින බවයි. (ක්‍රියා 2:1-21) නමුත් ඒ ඇරෙන්න සමහරුන්ට පීඩා කරමින් තවත් සමහරුන්ට පසුතැවිලි වෙන්න පෙලඹවූ කෘමී වසංගතයක් ඒ කාලයේදී සිදු වූ බවට කිසිම සාක්ෂියක් නැහැ.
4 එසේනම් මෙම වසංගතය සංකේතවත් එකක් බව පැහැදිලියි. එය සිදු වුණේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් මහත් පරිශ්‍රමයක් දරා කළ දේශනා සේවයේ ප්‍රතිඵලයක් වශයෙනුයි.b යෙහෝවා දෙවි මෙම නවක ක්‍රිස්තියානීන් මාර්ගයෙන් යුදෙව්වන්ට ඇරයුම් කළේ පසුතැවිලි වී ඔහුගේ ආශීර්වාද භුක්ති විඳින්න කියායි. (ක්‍රියා 2:38-40; 3:19) මෙයට සවන් දී පියවර ගත් අය දෙවිගේ අනුමැතිය දිනාගෙන මහත් ආශීර්වාද භුක්ති වින්දා. නමුත් මෙම ආරාධනාව ප්‍රතික්ෂේප කළ අයට පළමු සියවසේ ක්‍රිස්තියානීන්ව පෙනුණේ භයානක පළඟැටි හමුදාවක් ලෙසටයි. යෙරුසලමෙන් දේශනා සේවය පටන්ගත් ඔවුන් යූදා දේශයේ සහ සමාරියේ දේශනා කළා. වැඩි කලක් යන්න පෙර ඔවුන් හැම තැනම ව්‍යාප්ත වුණා. යේසුස්ගේ නැවත නැඟිටීම සහ එයට සම්බන්ධ සියලුම සත්‍යයන් ප්‍රකාශ කිරීම නිසා නොඇදහිලිකාර යුදෙව්වන්ට ඉන් මහත් වේදනාවක් ගෙන දුන්නා. (ක්‍රියා 1:8; 4:18-20; 5:17-21, 28, 29, 40-42; 17:5, 6; 21:27-30) ඒ වසංගතය ක්‍රි.ව. 70දී පැමිණි ‘භයානක දවස’ දක්වා පැවතුණා. එම වසරේදී යෙහෝවා දෙවි රෝම හමුදාව යොදාගෙන යෙරුසලම විනාශ කළා. එදා එම දවසෙන් ගැලවුණේ යෙහෝවා දෙවිගේ නාමයට ඇදහිල්ලෙන් අයැදිමින් සිටි සැබෑ ක්‍රිස්තියානීන් පමණයි.—යෝවෙල් 2:32; ක්‍රියා 2:20, 21; හිතෝපදේශ 18:10.
අද තිබෙන පළඟැටි වසංගතය
5. වර්ෂ 1919 පටන් යෝවෙල්ගේ අනාවැකිය ඉටු වී තිබෙන්නේ කෙසේද?
5 මේ අවසාන කාලයේදීත් යෝවෙල්ගේ අනාවැකියේ තවත් ඉටුවීමක් තිබිය යුතුයි. වර්ෂ 1919 සැප්තැම්බර් 1 සිට 8 දක්වා එක්සත් ජනපදයේ ඔහයෝ ප්‍රාන්තයේ සීඩා පොයින්ට් නුවරේ පැවති සමුළුවේදී යෙහෝවා දෙවිගේ බලය ඉතා කැපීපෙනෙන අන්දමින් ක්‍රියාත්මක වුණා. ප්‍රතිඵලයක් ලෙස දෙවිගේ සේවකයන් ලොව පුරා දේශනා කිරීමට සංවිධානය වුණා. ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම් කොතරම් තිබුණත් යේසුස් දැන් ස්වර්ගයේ රජ වී සිටින බව තේරුම්ගත්තේ ඔවුන් පමණයි. ඒ නිසා ඔවුන් වෙහෙස මහන්සිය නොබලා ලොව පුරාම ඒ ශුභාරංචිය පතළ කළා. ඔවුන් නොනවත්වා කළ ඒ සේවය ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවලට මහත් වේදනාවක් ගෙන දුන්නා. එයින් යෝවෙල්ගේ අනාවැකිය ඉටු වූ බව පැහැදිලි වුණා.—මතෙව් 24:3-8, 14; ක්‍රියා 1:8.
6. (අ) පස්වන දේවදූතයා තම හොරණෑව පිඹින විට යොහන් දුටුවේ කුමක්ද? (ආ) මෙම “තාරකාව” සංකේතවත් කරන්නේ කාවද? ඒ ඇයි?
6 ඒ වසංගතය ගැන තවත් විස්තර අපට යෙරුසලමේ විනාශයෙන් වසර 26කට පමණ පසු ලියවුණු එළිදරව් පොතෙහිත් දැනගන්න පුළුවන්. යෝවෙල්ගේ අනාවැකියට අමතරව එහි සඳහන් වී ඇත්තේ මොනවාද? යොහන් මේ වසංගතය ගැන විස්තරය ආරම්භ කරන්නේ මේ වචනවලින්. “පස්වන දේවදූතයාද තම හොරණෑව පිම්බේය. එවිට, අහසෙන් පොළොවට වැටුණු තාරකාවක් මම දුටිමි. අගාධයේ යතුරද ඔහුට දෙන ලදි.” (එළිදරව් 9:1) මේ “තාරකාව” එළිදරව් 8:10හි යොහන් දකින කඩා ‘වැටෙන’ තාරකාවට වඩා වෙනස්. එළිදරව් 9:1හි සඳහන් තාරකාව මේ වන විටත් “පොළොවට වැටුණු” තාරකාවක්. ඉන් අදහස් කරන්නේ පොළොවෙහි යම් දෙයක් සිදු කිරීමට එම තාරකාවට පැවරී ඇති බවයි. මේ ස්වර්ගයේ පුද්ගලයෙක්ද නැත්නම් මිනිසෙක්ද? “අගාධයේ යතුර” ඇති මෙම තැනැත්තා පසුව සාතන්ව “අගාධයට” හෙළන බවත් සඳහන් වෙනවා. (එළිදරව් 20:1-3) මේ අනුව මෙම තැනැත්තා ස්වර්ගයේ සිටින බලවත් කෙනෙක් විය යුතුයි. එළිදරව් 9:11හි කියන්නේ පළඟැටියන්ට ‘රජෙක් සිටින’ බවයි. ඔහුව හඳුන්වා ඇත්තේ “අගාධයේ දේවදූතයා” ලෙසයි. එසේනම් අගාධයේ යතුර ඇති තැනැත්තා අගාධයේ දේවදූතයා විය යුතු බව පැහැදිලියි. අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට ඇත්තේ එක රජ කෙනෙක් පමණයි. ඒ යේසුස්. එමනිසා මෙම තරුව යෙහෝවා දෙවි පත් කර ඇති රජ වන යේසුස් විය යුතුයි.—කොලොස්සි 1:13; 1 කොරින්ති 15:25.
7. (අ) “අගාධය” විවෘත කරන විට සිදු වෙන්නේ කුමක්ද? (ආ) “අගාධය” යනු කුමක්ද? එහි කෙටි කලක් ගත කළේ කවුරුන්ද?
7 අගාධයේ දේවදූතයා දැන් කරන දේ ගැන සඳහන් වෙන්නේ මෙයයි. “ඔහු අගාධය ඇරියේය. එවිට, මහත් උදුනක දුම මෙන් දුමක් ඒ වළෙන් නැඟී ඉරත් අවකාශයත් වළේ දුමෙන් අඳුරු විය. ඒ දුමෙන් පළඟැටියෝ පොළොව මතට නික්ම ආවෝය. පොළොවේ ගෝනුස්සන්ට තිබෙන බලය හා සමාන බලයක් උන්ට දෙන ලදි.” (එළිදරව් 9:2, 3) බයිබලයේ “අගාධය” යන වචනයෙන් කිසිම දෙයක් සිදු නොවන අක්‍රියාශීලී තත්වයක් හා මරණය පවා අදහස් වෙනවා. (රෝම 10:7ද, එළිදරව් 17:8ද, එළි 20:1, 3ද බලන්න.) පළමු ලෝක මහා යුද්ධය අවසන් වූ විට (1918-19) යේසුස්ගේ සහෝදරයන්ගේ කුඩා කණ්ඩායම සිටියේ එවැනිම අක්‍රියාශීලී තත්වයකයි. නමුත් පසුතැවිලි වූ ඔවුන්ට දෙවි තම බලය 1919දී ලබා දුන්නා. එවිට අගාධයෙන් නිදහස් වූ පළඟැටියන් මෙන් ඔවුන් තමන්ට පවරා තිබුණු කාර්යය මහත් උද්‍යෝගයෙන් කරන්න පටන්ගත්තා.
8. පළඟැටියන්ව මුදවාහැරීමත් සමඟම නිකුත් වූ මහා ‘දුමෙන්’ අදහස් වෙන්නේ කුමක්ද?
8 අගාධය ඇරීමත් සමඟම “මහත් උදුනක දුම මෙන් දුමක්” ඉහළ නඟිනවා යොහන් දකිනවා.c එවැනි දෙයක් 1919දී සිදු වුණා. ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවලටත් සමස්ත ලෝකයටත් එය අඳුරු කාලයක් වුණා. (යෝවෙල් 2:30, 31 බලන්න.) ක්‍රිස්තියානියයි කියාගත් පල්ලිවල පූජකයන් ඒ කාලයේදී ශුභාරංචිය ගැන දේශනා කිරීමේ කාර්යය නතර කර දමන්න කුමන්ත්‍රණය කරමින් සිටියා. දේවරාජ්‍යයත් ඔවුන් ප්‍රතික්ෂේප කර තිබුණා. එමනිසා පළඟැටි හමුදාවක් මුදාහරිනවා හා සමානව මෙම කාර්යය කිරීමට දෙවි යොහන් පන්තියට බලය දීම මගින් ඔවුන් අද්දුටුවේ මහත් පරාජයක්. දෙවිගේ මඟ පෙන්වීම ඇතුව ක්‍රියා කළ මෙම පළඟැටි සමූහය දෙවිගේ විනිශ්චයන් පිළිබඳව ඉතා බලගතු පණිවුඩ ප්‍රකාශ කරන්න පටන්ගත්තා. ප්‍රතිඵලයක් ලෙස ක්‍රිස්තියානියයි කියාගත් පල්ලි කලු දුමකින් මෙන් අන්ධකාර වුණා. ඔවුන්ගේ ඉරත් අවකාශයත් අඳුරු වුණේ කෙසේද? “ඉර” හා සමානව ඔවුන් ලබා දෙන මඟ පෙන්වීම් ව්‍යාජ ඒවා බව හෙළි වුණා. මීට අමතරව “දැන් ක්‍රියා කරන ස්වභාවය වන ආකාශයේ බලයේ පාලකයා” වන සාතන් ඔවුන්ගේ දෙවි බව පැහැදිලි වූ නිසා ඒ “අවකාශය” එනම් ලෝකය පුරාම දෙවිගේ විනිශ්චයන් ප්‍රකාශයට පත් වුණා.—එෆීස 2:2; යොහන් 12:31; 1 යොහන් 5:19.
පළඟැටියෝ වධ දෙයි!
9. පළඟැටියන්ට ලැබුණු උපදෙස් මොනවාද?
9 මේ පළඟැටියන්ට ලැබුණු උපදෙස් මොනවාද? යොහන් මෙසේ සඳහන් කරනවා. “පොළොවේ පැළෑටිවලටවත් කිසිම ශාකයකටවත්, ගසකටවත් අනතුරු නොකර, තම නළල්වල දෙවිගේ මුද්‍රාව නැති මිනිසුන්ට පමණක් අනතුරු කරන්නැයි උන්ට කියන ලදි. තවද, මාස පහකට ඔවුන්ට වධ දීමට පළඟැටියන්ට අවසර දෙන ලදි. නමුත් ඔවුන්ව මරන්නට ඔවුන්ට අවසර දුන්නේ නැත. ඔවුන්ගේ වධ වේදනාව මිනිසෙකුට ගෝනුස්සෙකු ඇන්න විට ඇති වන වේදනාවට සමාන විය. ඒ දවස්වලදී මිනිසුන් මරණය සොයන නමුත්, ඔවුන්ට එය කිසිසේත් සම්බ නොවන්නේය. ඔවුන් මැරෙන්න ආශා කරන නමුත් මරණය ඔවුන් කෙරෙන් පලා යන්නේය.”—එළිදරව් 9:4-6.
10. (අ) මෙම පළඟැටියන් ප්‍රධාන ලෙස වධ දෙන්නේ කාටද? පහර ලබන අයට සිදු වෙන්නේ කුමක්ද? (ආ) මෙය මොන ආකාරයේ වේදනාවක්ද? (පාදසටහනද බලන්න.)
10 පළඟැටියන් පහර දෙන්නේ ‘පොළොවේ පැළෑටිවලටවත් කිසිම ශාකයකටවත් ගසකටවත්’ නෙවෙයි. එයින් අදහස් කරන්නේ පොදු ජනයාට හෝ ඔවුන්ගේ ප්‍රධානීන්ට මෙම වසංගතය බල නොපාන බවයි. (එළිදරව් 8:7 බලන්න.) මෙම පළඟැටියන් පහර දෙන්නේ තම නළල්වල දෙවිගේ මුද්‍රාව නැති අයටයි. ඒ කියන්නේ තමන් දෙවිගේ සේවකයන් බව කියා සිටියත් දෙවිගේ අනුමැතිය නැති ක්‍රිස්තියානියයි කියාගත් පල්ලිවල අයටයි. (එෆීස 1:13, 14) මෙම පළඟැටියන් සමූහය වධ දීම සඳහා ප්‍රධාන ලෙස ඉලක්ක කරගෙන සිටින්නේ ක්‍රිස්තියානියයි කියාගත් පල්ලිවල පූජකයන්වයි. තමන්ගේ සාමාජිකයන්ව ස්වර්ගයට යවනවා තියා ඔවුන්ටවත් ස්වර්ගයට යන්න බැරි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලබන විට මෙම අහංකාර පූජකයන්ට එය මොන තරම් වධ වේදනාවක් වෙන්න ඇද්ද!d ඔවුන් හරියට ‘අන්ධ මිනිසෙකුට මඟ පෙන්වීම සපයන තවත් අන්ධ මිනිසෙක්’ වගෙයි.—මතෙව් 15:14.
11. (අ) දෙවිගේ සතුරන්ට වධ වේදනා දෙන්න පළඟැටියන්ට අවසර ලැබෙන්නේ කොතරම් කාලයකටද? මෙය ඇත්තටම කෙටි කාලයක් නොවෙන්නේ ඇයි? (ආ) මෙම වේදනාව කොතරම් ප්‍රබලද?
11 මෙම වේදනාව මාස පහක් පුරා පවතිනවා. මාස පහක් කියන්නේ කෙටි කාලයක් වුණත් පළඟැටියෙකුට නම් එය කෙටි කාලයක් නෙවෙයි. පළඟැටියෙකුගේ මුළු ආයු කාලය මාස පහක්. මේ අනුව නවීන දින පළඟැටියන් දෙවිගේ සතුරන්ට තම ජීවිත කාලය පුරාම වධ වේදනා ගෙන දෙනවා. මෙම පළඟැටියන්ගේ “ප්‍රහාරය” නිසා ඇත්තටම කවුරුත් දිවි නසාගත් බවට වාර්තා වී නැහැ. නමුත් අපට පැහැදිලි වෙන්නේ ඔවුන් කොතරම් ප්‍රබල වේදනාවක් විඳිනවාද කියායි. එය හරියට ගෝනුස්සන් සමූහයකට හසු වෙනවා වගෙයි. බැබිලෝනිය අතට පත් වූ නොඇදහිලිකාර ඊශ්‍රායෙල්වරුන් සම්බන්ධයෙන් යෙරෙමියාත් ඒ හා සමාන දෙයක් දුටුවා. ඔහු පැවසුවේ වහල් වූ ඊශ්‍රායෙල්වරුන් ජීවත් වෙනවාට වඩා මිය යෑම හොඳයි කියා ඔවුන් කල්පනා කළ බවයි.—යෙරෙමියා 8.3; දේශනාකාරයා 4:2, 3ද බලන්න.
12. ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල ආගමික නායකයන්ව මරා නොදමා, ඔවුන්ට වධ වේදනා පමණක් දීමට පළඟැටියන්ට අවසර දී ඇත්තේ ඇයි?
12 දෙවිගේ මේ සතුරන්ව නොමරා වේදනා දීමට පමණක් අවසර දී තිබෙන්නේ ඇයි? පළමුවන දුකට අයත් මේ දේවලින් සිදු වෙන්නේ ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල බොරු සහ ඔවුන් කර ඇති දුෂ්ට ක්‍රියා හෙළි කිරීමක් පමණයි. ඔවුන්ගේ අන්ධකාර වූ මලානික තත්වය සම්පූර්ණයෙන්ම හෙළි වෙන්නේ ස්වාමීන්ගේ දවස දිගටම ගෙවෙද්දීයි. මෙම දුකට අයත් වෙන්නේ මෙයයි. නමුත් සියලුම මනුෂ්‍යයන්ගෙන් තුනෙන් එකක් මරනු ලබන්නේ දෙවන දුක ප්‍රකාශ වන විටයි.—එළිදරව් 1:10; 9:12, 18; 11:14.
සටනට සැරසී සිටින පළඟැටියෝ
13. මෙම පළඟැටියන්ගේ පෙනුම කොයි වගේද?
13 මෙම පළඟැටියන්ගේ පෙනුම ඉතාමත් විශේෂයි. යොහන් මෙසේ සඳහන් කරනවා. “පළඟැටියන්ගේ පෙනුම, යුද්ධයට සූදානමින් සිටින අශ්වයන්ට සමානය. උන්ගේ හිස් මත, රනින් කළ ඔටුනුවලට සමාන යමක් තිබිණ. උන්ගේ මුහුණු මිනිසුන්ගේ මුහුණු මෙන් විය. නමුත් ස්ත්‍රීන්ගේ හිසකෙස් වැනි වූ හිසකෙස් උන්ට තිබිණ. උන්ගේ දත් සිංහයන්ගේ දත් මෙන් විය. යකඩ ළය වැසුම් වැනි වූ ළය වැසුම් උන්ට තිබිණ. උන්ගේ පියාපත්වල ශබ්දය, යුද්ධ කිරීමට දිව යන්නාවූ බොහෝ අශ්වයන්ගෙන් යුත් අශ්ව රථවල ශබ්දයට සමානය.”—එළිදරව් 9:7-9.
14. යොහන් විස්තර කරන මෙම පළඟැටියන් 1919දී නැවතත් ක්‍රියාශීලී වූ ක්‍රිස්තියානීන්ට ගැළපෙන්නේ ඇයි?
14 මෙම විස්තර 1919දී නැවත ක්‍රියාශීලී වූ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට ගැළපෙනවා. මොවුන් හරියට අශ්වයන් මෙන් ඉතා උද්‍යෝගයෙන් සටනට සැරසී සිටියා. ඒ පාවුල් විස්තර කළ ආකාරයට සත්‍යය උදෙසා කරන සටනකටයි. (එෆීස 6:11-13; 2 කොරින්ති 10:4) ඔවුන්ගේ හිස්වල රන් ඔටුනුවලට සමාන යමක් ඇති බව යොහන් පවසනවා. ඔවුන් තවමත් සිටින්නේ පොළොවෙයි. ඒ නිසා රජවරුන්ට හිමි නියම රන් ඔටුනු පැළඳීම ඔවුන්ට සුදුසු දෙයක් නෙවෙයි. (1 කොරින්ති 4:8; එළිදරව් 20:4) නමුත් ඔවුන් රජු වන යේසුස්ගේ සහෝදරයන් වූ නිසාත්, අවසානය දක්වා විශ්වාසවන්තව සිටීමේ පදනම මත ඔවුන්ට ස්වර්ගයේ ඔටුනු වෙන් කර තබා තිබුණු නිසාත්, ඔවුන්ට 1919දී යම් ආකාරයක රාජකීය පෙනුමක් ලබා දීම සුදුසු දෙයක් වුණා.—2 තිමෝති 4:8; 1 පේතෘස් 5:4.
15. (අ) පළඟැටියන්ගේ යකඩ ළය වැස්මවලින් අදහස් වෙන්නේ කුමක්ද? (ආ) උන්ගේ මුහුණු මිනිසුන්ගේ මුහුණුවලට සමාන කර තිබෙන්නේ ඇයි? (ඇ) උන්ට ස්ත්‍රීන්ට සමාන හිසකෙස් තිබීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ඈ) උන්ගේ දත් සිංහයන්ගේ දත්වලට සමාන කර ඇත්තේ ඇයි? (ඉ) උන් විශාල ශබ්දයක් ඇති කරන්නේ කෙසේද?
15 මේ දර්ශනයේ පළඟැටියන්ට යකඩ ළය වැස්මවල් තිබෙනවා. ඉන් සංකේතවත් කරන්නේ ඔවුන් දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අඛණ්ඩව ඇලී සිටින බවයි. (එෆීස 6:14-18) ඔවුන්ට තිබෙන්නේ මිනිසුන්ට හා සමාන මුහුණු. ඉන් ප්‍රේමය නමැති ගුණාංගය කියාපානවා. එයට හේතුව මිනිසාව මවා තිබෙන්නේ ප්‍රේමණීය දෙවිගේ ස්වරූපයෙන්. (උත්පත්ති 1:26; 1 යොහන් 4:16) ඔවුන්ගේ හිසකෙස් ස්ත්‍රීන්ගේ හිසකෙස් වගේමයි. මින් පෙන්වන්නේ ඔවුන් තමන්ගේ රජුට එනම් අගාධයේ දේවදූතයාට යටත් බවයි. ඔවුන්ගේ දත් සිංහයෙකුගේ දත් වගේ. සිංහයෙක් තම දත් යොදාගන්නේ මස් ඉරා දැමීමටයි. වර්ෂ 1919 පටන් මස් හා සමාන සත්‍යයේ බැරෑරුම් කාරණා වටහාගැනීමට යොහන් පන්තියට නැවතත් හැකි වී තිබෙන ආකාරය මින් කියාපානවා. විශේෂයෙන්ම “යුදා ගෝත්‍රයේ සිංහයා” ලෙස සැලකෙන යේසුස් ක්‍රිස්තුස්ගේ රාජ්‍යය ගැන සත්‍යයන් වටහාගැනීමට ඔවුන්ට හැකි වී තිබෙනවා. සිංහයා නිර්භීතකමටත් හොඳ සංකේතයක්. ඇත්තෙන්ම දේවරාජ්‍යය පිළිබඳ පණිවුඩය පිළිගෙන පොත් පත් මාර්ගයෙන් එය පොළොව පුරාම පතළ කිරීමට විශාල නිර්භීතකමක් අවශ්‍ය වී තිබෙනවා. මෙම පළඟැටියන්ගෙන් මහත් ශබ්දයකුත් නිකුත් වෙනවා. එය හරියට “යුද්ධ කිරීමට දිව යන්නාවූ, බොහෝ අශ්වයන්ගෙන් යුත් අශ්ව රථවල ශබ්දය” වගෙයි. මින් අදහස් වෙන්නේ මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන්ට සමානව ඔවුනුත් නිහඬව නොසිටින බවයි.—1 කොරින්ති 11:7-15; එළිදරව් 5:5.
16. පළඟැටියන්ට “ගෝනුස්සන්ට මෙන් වලිග හා විෂ දළ” තිබීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
16 පළඟැටියන් සිදු කරන මෙම දේශනා සේවය ඔවුන් කටින් කියන දේට පමණක් සීමා වී නැහැ. යොහන් මෙසේ පැහැදිලි කරනවා. “තවද, ගෝනුස්සන්ට මෙන් වලිග සහ විෂ දළ උන්ට තිබේ. මාස පහක් මිනිසුන්ට අනතුරු කිරීමට උන්ගේ බලය තිබුණේ උන්ගේ වලිගවලය.” (එළිදරව් 9:10) මින් අදහස් වෙන්නේ කුමක්ද? යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමට තමන්ගේ කටවල් සහ වෙනත් මුද්‍රිත පොත් පත් යොදාගෙන දේවවචනය පදනම් කරගත් සත්‍යයන් ප්‍රබලව ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ පණිවුඩය ගෝනුස්සන්ගේ විෂට සමාන වෙන්නේ යෙහෝවා දෙවිගේ පළිගැනීමේ දවස ගැන ඔවුන් අනතුරු අඟවන නිසයි. (යෙසායා 61:2) දෙවිට විරුද්ධව කටයුතු කරන දැඩි සිත් ඇති සියලුම අයට මහත් වේදනාවක් ගෙන දෙමින් දෙවිගේ විනිශ්චයන් ප්‍රකාශ කිරීමේ කාර්යයක් දෙවි මෙම පළඟැටි සමූහයට පවරා තිබෙනවා. ඔවුන්ගේ මුළු ආයු කාලය නිම වෙන්න කලින් ඒ කාර්යය ඉටු වෙනවා.
17. (අ) බයිබල් ශිෂ්‍යයන්ගේ සාක්ෂි දැරීම 1919 සිට තවත් ප්‍රබල වුණේ කෙසේද? (ආ) පූජක පක්ෂය වධ වේදනාවලට ලක් වුණේ කෙසේද? ඔවුන් ප්‍රතිප්‍රහාර එල්ල කළේ කෙසේද?
17 වර්ෂ 1919දී පැවැත්වූ සමුළුවකදී අලුත් සඟරාවක් නිකුත් වන බව නිවේදනය කළ විට මෙම පළඟැටි සමූහය ප්‍රීතියෙන් ඉපිල ගියා. එය සති දෙකකට වරක් නිකුත් කළ සඟරාවක්. එය සැලසුම් කර තිබුණේ බයිබල් ශිෂ්‍යයන් දරන සාක්ෂිය තවත් ප්‍රබල කිරීමටයි.e වර්ෂ 1918-1919 අතර කාලයේදී එක්සත් ජනපදයේ සිටි බයිබල් ශිෂ්‍යයන්ට බොහෝ පීඩා ගෙනා පූජක පන්තියේ දෙබිඩි ප්‍රතිපත්තිය 1920 සැප්තැම්බර් 29වෙනිදා පළ වූ එහි 27වන කාලපයේ හෙළි කර තිබුණා. ඒ වගේම 1920 ගණන්වල හා 1930 ගණන්වල පළ කළ ලිපි සහ කාටූන් විශේෂාංග තුළින් පූජක පන්තියට මහත් වධ වේදනාවක් ඇති කළා. එතුළින් පූජක පන්තිය දේශපාලනයට ඇඟිලි ගසන ආකාරය විශේෂයෙන්ම ෆැසිස්ට්වාදී හා නාට්සි පාලකයන් සමඟ ඔවුන් ගිවිසුම් ගසාගත් ආකාරය හෙළි කරනු ලැබුවා. මෙයට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් පූජකයන් ‘පනතෙන් නපුර යොදාගත්’ අතර දෙවිගේ සේවකයන්ට විරුද්ධව මැර පිරිස් උසිගැන්නුවා.—ගීතාවලිය 94:20.
ලෝක පාලකයන්ටත් පණිවුඩයක්
18. පළඟැටියන්ට කරන්න තිබුණේ කුමන කාර්යයද? පස්වෙනි හොරණෑව පිඹීමේ ප්‍රතිඵලය වුණේ කුමක්ද?
18 නවීන දින පළඟැටියන්ට විශේෂ කාර්යයක් භාර දී තිබුණා. දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමත්, ආගම්වල කරන බොරු හෙළි කිරීමත්, නැති වූ බැටළුවන්ව සෙවීමත් එම කාර්යයට ඇතුළත් වුණා. පළඟැටියන්ගේ මෙම කාර්යය ලෝකයේ සියලුදෙනාගේ දැඩි අවධානයට ලක් වුණා. දේවදූතයන් පිම්බ හොරණෑවලට එකඟව යොහන් පන්තිය දිගටම ප්‍රකාශ කළේ ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලි දෙවිගේ දැඩි විනිශ්චය ලැබීමට සුදුසු බවයි. පස්වෙනි හොරණෑවේ ශබ්දයට එකඟව 1926 මැයි 25 සිට 31 දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවරේ පැවති බයිබල් ශිෂ්‍යයන්ගේ සමුළුවකදී දෙවිගේ මෙම විනිශ්චයේ එක්තරා විශේෂ කාරණයක් අවධාරණය කළා. ඒ සඳහා ඔවුන් ඇති කරගත් සම්මුතිය වුණේ “ලෝක පාලකයන්ට සාක්ෂියක්” යන්නයි. ඒත් සමඟම ලන්ඩනයේ රෝයල් ඇල්බට් හෝල් නම් ශාලාවේ ඉදිරිපත් කළ ප්‍රසිද්ධ කථාවේ තේමාව වුණේ “ලෝක බලවතුන් දෙදරුම් කන්නේ ඇයි? විසඳුම කුමක්ද?” යන්නයි. ඇති කරගත් සම්මුතියේ සහ ඉදිරිපත් කළ කතාවේ සියලුම තොරතුරු ඊළඟ දින ලන්ඩනයේ ප්‍රසිද්ධ පුවත්පතක පළ වුණා. පසුව මෙම පළඟැටියන් මෙම සම්මුතිය පත්‍රිකාවක් ලෙස පිටපත් මිලියන 50ක් බෙදාහැරියා. පූජක පක්ෂයට එයින් දැනුණු වේදනාව මොන තරම්ද කියා සිතාගත හැකියි. අවුරුදු ගණනාවකට පසුව පවා එංගලන්තයේ වැසියන්ට එම ප්‍රබල ප්‍රකාශය අමතක වී තිබුණේ නැහැ.
19. සටන සඳහා පළඟැටියන් තවත් සන්නද්ධ වුණේ කොහොමද? ලෝකයේ පූජකයන් කළ ප්‍රකාශය ගැන පවසනු ලැබුවේ කුමක්ද?
19 දෙවිගේ විනිශ්චයන් ප්‍රකාශ කිරීමේ සටන සඳහා මෙම පළඟැටියන් තවත් සන්නද්ධ වුණේ එම සමුළුවේදී නිකුත් කළ අලුත් පොතක් මාර්ගයෙනුයි. (නම, Deliverence) එළිදරව් පොතේ සඳහන් ‘පිරිමි’ දරුවාගෙන් නියෝජනය වන දේවරාජ්‍යය 1914දී බිහි වූ බව ඔප්පු කරන සියලුම සාක්ෂි එහි දක්වා තිබුණා. (මතෙව් 24:3-14; එළිදරව් 12:1-10) මීට අමතරව ‘ලෝකයේ හොඳම දේශකයන් අතර’ සිටින අය ලෙස සලකනු ලැබූ පූජකයන් අටදෙනෙකු විසින් 1917දී ලන්ඩන් නුවරේ ප්‍රසිද්ධ කළ ප්‍රකාශයක තොරතුරු පිළිබඳවත් එහි අදහස් දක්වා තිබුණා. මෙම පූජකයන් බැප්ටිස්ට්, ප්‍රෙස්බිටේරියන්, මෙතෝදිස්ත යනාදි ප්‍රධාන රෙපරමාදු සභාවල නියෝජිතයන් වුණා. එම ප්‍රකාශයේ සඳහන් වී තිබුණේ “ලෝකයේ දකින්න තිබුණු අර්බුදකාරී තත්වයන් පැහැදිලි වෙන්නේ අන්‍යජාතීන්ගේ කාලවල අවසානය ළඟ” බවයි. ඒ වගේම “යේසුස්ගේ එළිදරව් වීම ඕනෑම මොහොතක සිදු විය හැකි” බවයි. මෙම පූජකයන් පවා යේසුස් පැමිණ සිටින බවට ලකුණ තේරුම්ගෙන තිබුණා. නමුත් ඔවුන් ඊට එකඟව පියවර ගත්තාද? බයිබල් ශිෂ්‍යයන්ගේ අලුත් පොතේ පැවසුවේ මෙයයි. “පුදුමයට හේතුවක් වෙන්නේ මෙම ප්‍රකාශයට අත්සන් තැබූ පූජකයන් එය පසුව ප්‍රතික්ෂේප කිරීමයි. අප ලෝකයේ අවසානයට ළඟා වී ඇති බවත් අප යේසුස් පැමිණ සිටින කාලයේ ජීවත් වන බවත් ඔවුන් එකහෙළාම ප්‍රතික්ෂේප කළා.”
20. (අ) පළඟැටි හමුදාව සහ ඔවුන්ගේ රජ සම්බන්ධව පූජක පන්තිය ගෙන ඇති තීරණය කුමක්ද? (ආ) පළඟැටි හමුදාවේ නායකයා ලෙස යොහන් දකින්නේ කාවද? ඔහුගේ නාමය කුමක්ද?
20 දෙවිගේ රාජ්‍යය ගැන ප්‍රචාරය කරනවා වෙනුවට ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල පූජකයන් තීරණය කර තිබෙන්නේ සාතන්ගේ ලෝකයේම රැඳී සිටීමටයි. පළඟැටි හමුදාව සහ ඔවුන්ගේ රජ සමඟ කිසිම සම්බන්ධයක් පවත්වන්න ඔවුන්ට වුවමනාවක් නැහැ. ඒ පළඟැටි හමුදාවේ රජ ගැන යොහන් දකින්නේ මෙයයි. “උන්ට රජෙක් සිටියි. ඒ අගාධයේ දේවදූතයාය. හෙබ්‍රෙව් භාෂාවෙන් ඔහුගේ නම අබද්දොන්ය [තේරුම, “විනාශය”]. ග්‍රීක භාෂාවෙන්, අපොලියොන්ය [තේරුම, විනාශ කරන්නා].” (එළිදරව් 9:11) “අගාධයේ දේවදූතයා” සහ “විනාශ කරන්නා” හැටියට යේසුස්, ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලි පිට ඉතා දරුණු දුකක් මුදාහැර තිබෙනවා. නමුත් තවත් දේවල් සිදුවීමට නියමිතයි!
[පාදසටහන්වල]
a යෝවෙල් 2:4, 5, 7 (මෙහිදී කෘමීන් අශ්වයන් ලෙසත්, සේනාවක් ලෙසත්, මිනිසුන් ලෙසත් විස්තර කර ඇති අතර උන්ගෙන් අශ්ව රථවල ශබ්දයක් නැඟෙන බවත් සඳහන් වෙනවා) හා එළිදරව් 9:7-9 බලන්න; යෝවෙල් 2:6, 10 (කෘමී වසංගතයෙන් සිදු වන භයානක ප්‍රතිඵල විස්තර කරනවා) හා එළිදරව් 9:2, 5 බලන්න.
b “United Against Nations in the Valley of Decision” in the December 1, 1961, issue of The Watchtower.
c අගාධය යනු යම් ආකාරයක නිරාගින්නක් සහිත තැනක් බවට ඔප්පු කරන්නට මේ බයිබල් පද යොදාගත නොහැකියි. යොහන් පවසන්නේ තමා දකින දුම මහා උදුනක දුම “මෙන්” දුමක් වන බවයි. (එළිදරව් 9:2) ඇත්තටම අගාධයේ ගින්දර තිබෙනවා ඔහු දුටු බව සඳහන් වෙන්නේ නැහැ.
d මෙහිදී වධ වේදනාව සඳහා භාවිත කර ඇති ග්‍රීක වචනය (බාසානිට්සෝ) සැබෑ වධ වේදනාවකට ඇතැම් අවස්ථාවලදී භාවිත කළත්, කෙනෙකුට මානසිකව දැනෙන වධ වේදනාවටත් භාවිත කළ හැකියි. නිදසුනක් වශයෙන් 2 පේතෘස් 2:8හි ලොත් සොදොම් නගරයේ දුටු නපුරු ක්‍රියා නිසා “වේදනාවෙන් පෙළුණේය” කියා සඳහන් වෙනවා. ඒ වගේම ක්‍රිස්තුස් යේසුස්ගේ මුල් ගෝලයන් දේශනා කළ දේවල් නිසා එදා සිටි ආගමික නායකයන්ද මානසික වේදනාවක් වින්දා.
e මෙම සඟරාවේ නම The Golden Age වූ අතර 1937දී Consolation යන නමින්ද පසුව 1946දී Awake! යන නමින්ද වෙනස් කළා. එය සිංහලෙන් පිබිදෙව්! ලෙස දැන් පළ වෙනවා.
[143වන පිටුවේ පින්තූරය]
පස්වෙනි හොරණෑව පිඹීමත් සමඟම දුක් තුනෙන් පළමු දුක ඇති වෙනවා
[146වන පිටුවේ පින්තූරය]
ඔබගේ ඊගස් තියුණුය. රජුගේ සතුරන්ගේ හෘදයට ඒවා ඇනී තිබේ. (ගීතාවලිය 45:5) මෙම වාක්‍යය සහිතව ඉහත දක්වා ඇති කාටූන් චිත්‍රය 1930 ගණන්වල නිතරම වාගේ පළ වූ කාටූන්වලින් එකක්. “දෙවිගේ මුද්‍රාව නැති මිනිසුන්ට” ඒවායින් දැඩි වේදනාවක් ඇති වුණා
[147වන පිටුවේ පින්තූර]
ලන්ඩනයේ රෝයල් ඇල්බට් හෝල් නම් ශාලාව: අලුත් පොතක් නිකුත් කළේත් “ලෝක පාලකයන්ට සාක්ෂියක්” යන සම්මුතිය ස්ථිර කරගත්තේත් මෙහිදීයි