පරිච්ඡේද 2
මගේ දෙමව්පියන් මා තේරුම් නොගන්නේ මන්ද?
තේරුම් ගනු ලැබීම ඇත්තෙන් ම මානුෂික ගතියකි. තව ද ඔබ ප්‍රිය කරන දේවල් ගැන හෝ ඔබ වැදගත් යයි සිතන දේවල් ගැන ඔබේ දෙමව්පියන් විවේචනාත්මක ස්වභාවයක් දක්වන්නේ නම් හෝ උනන්දුවක් නොදක්වන්නේ නම් ඔබට මහත් කලකිරීමක් දැනෙන්නට පුළුවන.
සංගීතය සම්බන්ධයෙන් තමාගේ තේරීම තම පියා තේරුම් නොගන්නා බව 16 හැවිරිදි රොබට්ට හැඟෙයි. රොබට් පැවසුවේ මෙසේ ය: “ඔහු කරන එක ම දෙය වන්නේ, ‘ඕක වහලා දාන්න!’ යයි කෑගසා කීම ය. එබැවින් මම එයත් ඔහුවත් වහලා දානවා.” එලෙස ම දෙමව්පියන් අඩු තේරුම් ගැනීමක් දක්වන විට බොහෝ යෞවනයෝ තමන්ගේ ම පුද්ගලික ලෝකයක චිත්තවේගී ව තනි වෙති. යෞවනයන් පිළිබඳ ව එක් පුළුල් අධ්‍යයනයක දී, සමීක්ෂණය කරන ලද යෞවනයන්ගෙන් සියයට 26ක් පිළිගත්තේ, “වැඩි කාලයක් නිවසින් පිටත සිටීමට මම උත්සාහ කරමි,” කියා ය.
එබැවින් බොහෝ නිවෙස්වල දෙමව්පියන් සහ යෞවනයන් අතර විශාල භේදයක්, හෝ පරතරයක් පවතී. මෙයට හේතු වන්නේ කුමක් ද?
“බලය” අභිබවා “පැසුණු හිස”
හිතෝපදේශ 20 :29 මෙසේ සඳහන් කරයි: “තරුණයන්ගේ [හෝ තරුණියන්ගේ] පාරට්ටුව ඔවුන්ගේ ශක්තියය, [බලය ය, NW]” එහෙත්, මෙම ශක්තිය හෝ “බලය,” ඔබ සහ ඔබේ දෙමව්පියන් අතර ඇතිවන නොයෙක් ආකාරයේ විරුද්ධකම්වලට පදනමක් දැමිය හැක. හිතෝපදේශය තවදුරටත් මෙසේ පවසයි: “වෘද්ධයන්ගේ අලංකාරය නම් පැසුණු හිසය.” වචනානුසාරයෙන් ම ඔබේ දෙමව්පියන්ට ‘පැසුණු හිසකෙස්’ නොතිබිය හැකි නමුත්, ඔවුහු වයසින් වැඩී සිටින අතර ජීවිතය දෙස වෙනස් ආකාරයකින් බැලීමට නැඹුරු වෙති. ජීවිතයේ සෑම අවස්ථාවක දී ම සතුටුදායක අවසානයක් නොමැති බව ඔවුහු තේරුම් ගනිති. යෞවනයන් වශයෙන් ඔවුන් එක් කලෙක ඉතා අනර්ඝ ලෙස සැලකූ දේවල් දුඃඛදායක පුද්ගලික අත්දැකීම් මගින් මැඩපවත්වා තිබෙන්නට ඇත. අත්දැකීමෙන් බිහි වූ මෙම ප්‍රඥාව නිසා—එනම් “පැසුණු හිස,”—ඇතැම් කාරණාවල දී ඔවුහු හුදෙක් ඔබේ උද්‍යෝගයට හවුල් නොවෙති.
තරුණ ජිම් මෙසේ පවසයි: “වැදගත් දේවල් මිල දී ගැනීමට හෝ ඒවා සඳහා මුදල් වැය කිරීමට මුදල් ඉතිරි කළ යුතු යයි මගේ දෙමව්පියන්ට (පරිහානි-යුගයේ දරුවන්ට) හැඟේ. නමුත් මාත් දැන් ජීවත් වෙමින් සිටිනවා. . . . මං බොහෝ ගමන් බිමන් යෑමට කැමතියි.” එසේ ය, කෙනෙකුගේ යෞවන “බලය” හා එම තැනැත්තාගේ දෙමව්පියන්ගේ “පැසුණු හිස” අතර විශාල පරතරයක් තිබෙන්නට පුළුවන. එමනිසා ඇඳුම් පැළඳුම්, විරුද්ධ ලිංගයේ අය සමඟ හැසිරීම, මත් ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය, නිවසට නැවත පැමිණිය යුතු වේලාව පැනවීම, ආශ්‍රිතයන්, සහ ගෙදර දොර වැඩ කොටස වැනි කාරණා සම්බන්ධයෙන් බොහෝ පවුල් දුඃඛදායක ලෙස බෙදී පවතී. එම පරම්පරා පරතරය නැති කළ හැක. එහෙත් ඔබේ දෙමව්පියන් ඔබ ව තේරුම් ගනී යයි බලාපොරොත්තු වීමට පෙර, ඔවුන් ව තේරුම් ගැනීමට ඔබ වෑයම් කළ යුතුයි.
දෙමව්පියන් ද මනුෂ්‍යයන් ය
“මා මීට වඩා බාල ව සිටිය දී, මට ස්වභාවයෙන් ම හැඟුණේ මගේ මව ‘පරිපූර්ණ’ බවත්, මට තිබූ දූර්වලකම් හා හැඟීම් කිසිවක් ඇයට නොතිබුණ බවත්,” යයි ජෝන් පවසයි. පසු ව, තනියෙන් දරුවන් සත් දෙනෙකු බලාගැනීමට ඔහුගේ මවට භාර කරමින් ඔහුගේ දෙමව්පියෝ දික්කසාද වූහ. ජෝන්ගේ සහෝදරී වූ ඒප්රිල් මෙසේ සිහිපත් කරන්නී ය: “සියල්ල හොඳින් පවත්වාගෙන යාමට උත්සාහ දැරීමේ දී කලකිරීමක් ඇති වූ නිසා ඈ හඬනවා මා දුටු බව මට මතකයි. අප තුළ වැරදි අදහසක් තිබූ බව එවිට මට වැටහුණි. සැමවිට ම සෑම දෙයක් ම හරි වේලාවටත් හරි අන්දමටත් කිරීමට ඇයට නොහැක. ඇයට හැඟීම් තිබුණ බවත් ඇයත් මනුෂ්‍යයෙකු වූ බවත් අපි දැක්කා.”
ඔබට මෙන් ම ඔබේ දෙමව්පියන්ටත් හුදෙක් මනුෂ්‍ය හැඟීම් තිබෙන බව වටහා ගැනීම ඔවුන් ව තේරුම් ගැනීමට මහත් රුකුලක් වේ. උදාහරණයක් වශයෙන්, ඔබ ව හරියාකාරයෙන් හදා ගැනීමට තමන්ට ඇති හැකියාව පිළිබඳ ව ඔවුන්ට ඉතා අවිශ්වාස හැඟීමක් ඇති විය හැක. නැතහොත්, ඔබ මුහුණ පාන සදාචාර අනතුරු හා පරීක්ෂා සියල්ලක් ගැන කාංසාවෙන් යටපත් වී ඇති බවට හැඟෙන නිසා ඔවුන් ඇතැම් අවස්ථාවල දී පමණට වඩා ප්‍රතික්‍රියා කිරීමට ද නැඹුරු විය හැක. ශාරීරික, මූල්‍යමය හෝ චිත්ත වේගීය දුෂ්කරතා සමඟ ඔවුන් ද සටන් කරමින් සිටිනවා විය හැක. නිදසුනක් වශයෙන්, පියෙකු, තම රැකියාවට අකමැති විය හැකි නමුත්, කිසිදා ඒ ගැන දොස් නොකියන්නට පුළුවන. එබැවින් “මට පාසල පේන්න බෑ,” කියා ඔහුගේ දරුවා පවසන විට අනුකම්පාවෙන් යුතු පිළිතුරක් දෙනවා වෙනුවට “ඔයාට මොකක් ද වෙලා තියෙන්නේ? ඔයගොල්ලන්ට හැම දෙයක් ම පහසු වැඩියි!” කියා ප්‍රතිඋත්තරයක් වශයෙන් කීම පුදුමයක් නොවේ.
“පුද්ගලික උනන්දුවක්” දක්වන්න
එසේ නම්, ඔබේ දෙමව්පියන්ට හැඟෙන්නේ කෙසේදැයි ඔබට දැනගත හැක්කේ කෙසේ ද? “එක් එක්කෙනා තම තමාගේම කාරණ නොව අනුන්ගේ කාරණත් බලාගැනීමෙනි.” (පිලිප්පි 2 :4) නව යෞවනියක වශයෙන් සිටිය දී ඇය කොයි ආකාර වූවාද යයි ඔබේ මවගෙන් විමසන්න වෑයම් කරන්න. ඇගේ හැඟීම්, ඇගේ ඉලක්කයන් කුමක් වූවා ද? “ඔබ උනන්දු වී සිටින බවත්, ඔබ ඇගේ ඇතැම් හැඟීම්වලට හේතු දැන සිටින බවත්, ඇයට හැඟෙනවා නම්, ඇය ඔබේ හැඟීම් වඩා වැඩියෙන් දැනගැනීමට උත්සාහ කරනු ඇත,” යයි ටීන් සඟරාව පැවසී ය. නිසැක ව ම ඔබේ පියා සම්බන්ධයෙන් ද සත්‍යය එය ම විය හැක.
විරුද්ධත්වයක් ඇති වුවහොත්, ඔබේ දෙමව්පියන්ට කිසි ම හැඟීමක් නැතැයි කියා ඔවුන්ට වැරදි පැවරීමට හදිසි නොවන්න. ඔබෙන් ම මෙසේ අසාගන්න: ‘මගේ දෙමව්පියා අසනීප ව හෝ යම් දෙයක් ගැන කනස්සල්ලෙන් සිටියා ද? මා විසින් නොසිතා කරන ලද දෙයකින් හෝ කියන ලද දෙයකින් සමහර විට ඇගේ හෝ ඔහුගේ සිත රිදෙන්නට ඇත් ද? මා අදහස් කරන දේ ඔවුන් නිකම් ම වැරදි ලෙස තේරුම් ගන්නවා ද?’ (හිතෝපදේශ 12 :18) එම පරම්පරා පරතරය වසා දැමීමට එවන් සංවේදනයක් [Empathy] දැක්වීම හොඳ ආරම්භයකි. ඔබේ දෙමව්පියන් විසින් ඔබ ව තේරුම් ගැනීමට සැලැස්වීම සඳහා ක්‍රියා කිරීමට ඔබට දැන් පටන් ගත හැක! එහෙත්, බොහෝ යෞවන යෞවනියන් එය ඉතා දුෂ්කර කරවයි. කෙසේ ද?
දෙයාකාර ජීවිතයක් ගත කිරීම
තම දෙමව්පියන්ගේ කැමැත්තට විරුද්ධ ව රහසිගත ව පිරිමි ළමයෙකු ආශ්‍රය කිරීමෙන් දාහත්-හැවිරිදි විකී එය ම කරමින් සිටියා ය. ඇගේ පෙම්වතා කෙරෙහි වූ ඇගේ හැඟීම් ගැන ඇගේ දෙමව්පියන් තේරුම් නොගනී කියා ඈ ස්ථීරයෙන් ම සිතුවා ය. නිරායාසයෙන් ම, ඈ සහ ඔවුන් අතර පරතරය පුළුල් විය. “අප එකිනෙකා ව දුකට පත්කරගනිමින් සිටියා. මට ගෙදර ඒම අතිශයින් පිළිකුලක් වුණා” යයි විකී පැවසුවා ය. ඇය විවාහ වීමට තීරණය කළේ—නිවසින් පිටවීමට මොනයම් දෙයක් හෝ කිරීම සඳහායි!
එසේ ම තම දෙමව්පියන් තහනම් කර තිබෙන දේ නොදැනෙන්න කරමින් බොහෝ යෞවනයෝ දෙයාකාර ජීවිතයක් ගත කරන අතර පසු ව තම දෙමව්පියන් ‘තමන් ව තේරුම් නොගනී’ යයි කියමින් වැලපෙති! භාග්‍යයකට මෙන්, වැඩිමල් ක්‍රිස්තියානි ස්ත්‍රියකගෙන් විකී උපකාර ලැබූ අතර ඇය විකීට මෙසේ පැවසුවා ය: “විකී, ඔයාගේ දෙමව්පියන් ගැන ටිකක් සිතා බලන්න . . . ඒ අය ඔයා ව ඇතිදැඩි කළා. ඔයාට මේ සම්බන්ධය හසුරුවා ගන්නට බැරි නම්, අවුරුදු දාහතක් ඔබට ප්‍රේමය දැක්වූවේ නැති ඔයාගේ ම වයසේ කෙනෙකු සමඟ එය හසුරුවා ගන්න ඔයාට පුළුවන් වන්නේ කොහොම ද?”
විකී තමා ගැන ම අවංක ව ම පරීක්ෂාකර බැලුවා ය. තමාගේ ම හෘදය වැරදි බවත් තම දෙමව්පියන් නිවැරදි බවත් ඇය විගස තේරුම් ගත්තා ය. ඇය තම පෙම්වතා සමඟ තිබූ ආශ්‍රය නවතා දමා, ඇය සහ ඇගේ දෙමව්පියන් අතර තිබූ පරතරය නැති කිරීමට පටන් ගත්තා ය. එලෙස ම ඔබේ ජීවිතයේ වැදගත් කොටසක් ඔබ රහසිගත ව ඔබේ දෙමව්පියන්ගෙන් සඟවාගෙන සිටී නම්, ඔවුන් සමඟ අවංක වීමට කාලය මෙය නොවේ ද?—“මගේ දෙමව්පියන්ට මා කියන්නේ කෙසේ ද?” යන අතිරේකය බලන්න.
කථා කිරීමට කාලය වැය කරන්න
‘මගේ පියා සමඟ මා ගත කළ හොඳ ම කාලය එයයි!’ කියා ජෝන් තම පියා සමඟ ගිය විනෝද ගමනක් සම්බන්ධයෙන් පැවසුවේ ය. “මගේ මුළු ජීවිතයේ ම ඔහු සමඟ තනියෙන් පැය හයක් කවදාවත් මං ගත කර නෑ. යාමට පැය හයයි, ඒමට පැය හයයි. කාර් එකේ ගුවන් විදුලි යන්ත්‍රයක් තිබුණේ නෑ. අපි ඇත්තෙන් ම කථා කළා. එය හරියට අප එකිනෙකා ව දැනගත්තා මෙන් වුණා. ඔහු ගැන මා සිතුවාට වඩා බොහෝ දේවල් තිබුණා. එය අප මිත්‍රයන් කළා.” එලෙස ම නිති පතා ඔබේ මව හෝ පියා සමඟ හොඳ කථා බහක් ඇති කරගැනීමට වෑයම් නොකරන්නේ මන්ද?
අනෙකුත් වැඩිහිටියන් සමඟ ද මිත්‍රත්වයක් ඇති කරගැනීම උපකාරවත් වේ. විකී මෙලෙස සිහිපත් කරන්නී ය: “වැඩිමල් අය සමඟ මම කිසි ම සම්බන්ධකමක් පැවැත්තුවේ නෑ. නමුත් මගේ දෙමව්පියන් අනෙකුත් වැඩිහිටි අය සමඟ ආශ්‍රය කරද්දී ඔවුන් සමඟ සිටීමට මං වෑයම් කළා. කල් යද්දී මගේ දෙමව්පියන්ගේ වයසේ සිටි මේ අය සමඟ මම මිත්‍රත්වයක් ඇති කරගත්තා, මෙය මට, වඩා සමබර ආකල්පයක් ලබා දුන්නා. මගේ දෙමව්පියන් සමඟ සාකච්ඡාවන් පවත්වාගෙන යාම වඩා පහසු එකක් වුණා. නිවසේ වාතාවරණය පුදුම සහගත ලෙස වෙනස් වුණා.”
වර්ෂ ගණනාවක් තුළ ප්‍රඥාව ලබා ගෙන තිබෙන අය සමඟ ආශ්‍රය කිරීමෙන් ජීවිතය කෙරෙහි පටු, සීමිත බලාපොරොත්තුවක් ඇති වීම ද වළක්වයි. ඔබේ යෞවන තුල්‍යයන් සමඟ පමණක් ඔබ ආශ්‍රය කරනවා නම් එය සිදුවිය හැක.—හිතෝපදේශ 13 :20.
ඔබේ හැඟීම් ප්‍රකාශ කරන්න
“මම මගේ හෘදයෙන් ම කෙළින් කථා කරන අතර මාගේ තොල්වලින් පිටවන දැනගැන්ම අවංක ව ම කියන්නෙමි,” යයි යෞවන එලීහු ප්‍රකාශ කළේ ය. (යෝබ් 33 :3, ද හෝලි බයිබල් ඉන් ද ලැන්ග්වේජ් ඔෆ් ටුඩේ, විලියම් බෙක් විසිනි) ඇඳුම්, තහංචි පැනවීම් හෝ සංගීතය වැනි කාරණා ගැන ඔබේ දෙමව්පියන් සමඟ ඔබ ගැටෙන විට ඔබ කථා කරන්නේ එයාකාරයෙන් ද?
තම මව සම්පූර්ණයෙන් ම අසාධාරණ බව යෞවන ග්‍රෙගරිට හැඟුණේ ය. තමාට හැකි පමණ නිවසින් පිට වී සිටීමෙන් ඔවුන් අතර තිබූ දැඩි විරුද්ධවාදිකම සමඟ ඔහු පොර බැදුවේ ය. එහෙත් පසු ව ඇතැම් ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගේ අවවාදය අනුව ඔහු ක්‍රියා කළේ ය. ඔහු පවසන්නේ, “මට හැඟුණු ආකාරය ගැන මවට පැවසීමට මං පටන් ගත්තා. ඈ දැන සිටියා යයි නිකම් ම නොසිතා, යම් දේවල් කිරීමට මට වුවමනා වූයේ ඇයි කියා මම ඇයට පැවසුවා. මා වැරදි දෙයක් කිරීමට වෑයම් කරමින් නොසිටි බවත්, ඈ මට කුඩා දරුවෙකු මෙන් සැලකු නිසා මට කෙතරම් වේදනාවක් ඇති වුණා ද කියාත්, මා ඇයට පැහැදිලි කළා, බොහෝ විට මං මගේ හෘදයෙන් ම කථා කළා. එවිට ඈ තේරුම් ගන්නට පටන් ගත් අතර දේවල් සෙමින් සෙමින් හොඳ අතට හැරුණා.”
‘හෘදයෙන් ම කෙළින්’ කථා කිරීමෙන් වැරදි ලෙස තේරුම් ගැනීම් බොහොමයක් හරිගස්වා ගැනීමට උපකාරවත් වන බව එලෙස ම ඔබට දැනගන්නට පුළුවන් වෙයි.
එකඟ නොවීම් හැසිර වීම
කෙසේ වුවද, ඔබ දේවල් දෙස බලන ආකාරයට ම විගස ඔබේ දෙමව්පියන් දේවල් දෙස බැලීමට පටන් ගනී යයි මින් අදහස් නොවේ. එබැවින් ඔබ ඔබේ චිත්ත වේගයන් දමනය කර තබාගත යුතු ය. “අඥානයා තමාගේ මුළු උදහස පිටතට ගෙනෙයි; එහෙත් ප්‍රඥාවන්තයා ඒක නවත්වා ගනියි; [අවසානය දක්වා සන්සුන් ව සිටියි. NW]” (හිතෝපදේශ 29 :11) ඔබේ අදහස්වල යෝග්‍යතාවය ගැන සන්සුන් ව සාකච්ඡා කරන්න. “අනිත් සෑම දෙනා ම එසේ කරයි!” යයි වාද නොකර වැදගත් කාරණය තුළ රැඳී සිටින්න.
ඇතැම් විට ඔබේ දෙමව්පියන් නැහැ යයි පවසනු ඇත. ඔවුන් ඔබ ව තේරුම් නොගන්නා බව මින් අදහස් නොවේ. එහෙත් මහත් විපතක් වැළැක්වීමට ඔවුන්ට අවශ්‍ය වනවා විය හැක. “මගේ මව මට තදින් ක්‍රියා කරයි, යම් දෙයක් මට කරන්න බැරි බව පවසන විට නැත්නම් නියමිත වේලාවකට මා නිවසට පැමිණිය [යුතු බව] ඈ මට කියන විට එය මට හිරිහැරයකි. නමුත් හද පත්ළෙන් ම ඇය සැබවින් ම සැලකිල්ලක් දක්වයි. . . . ඇය මා රැකබලා ගනී,” යයි 16 හැවිරිදි යුවතියක් එකඟ වූවා ය.
අන්‍යෝන්‍ය තේරුම් ගැනීම මගින් පවුලකට ගෙන දෙන සුරක්ෂිතය හා උණුසුම් භාවය වචනයෙන් විස්තර කළ නොහැක. වේදනාව ඇති වේලාවක දී එය නිවස සාම භූමියක් කරවයි. එහෙත් සම්බන්ධ ව සිටින සෑම දෙනාගේ අතින් ම නියම උනන්දුවක් අවශ්‍ය වේ.
සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න
◻ බොහෝ විට යෞවනයන් හා දෙමව්පියන් එකිනෙකා අතර ගැටුම් ඇති කරගන්නේ මන්ද?
◻ ඔබේ දෙමව්පියන් පිළිබඳ වඩා හොඳ තේරුම් ගැනීමක් ඔවුන් ගැන ඔබ සලකන ආකාරයට බලපාන්නේ කෙසේ ද?
◻ ඔබේ දෙමව්පියන් ව වඩා හොඳින් තේරුම් ගැනීමට ඔබට හැකි වන්නේ කෙසේ ද?
◻ දෙයාකාර ජීවිතයක් ගත කිරීම ඔබ සහ ඔබේ දෙමව්පියන් අතර ඇති පරතරය වැඩි කරන්නේ මන්ද?
◻ ඔබට බරපතළ ප්‍රශ්න තිබෙන විට ඔබේ දෙමව්පියන්ට ඒවා දන්වා සිටීම වඩා හොඳ වන්නේ මන්ද? ඔවුන්ට ඒවා පැවසීමට ඔබට හැක්කේ කෙසේ ද?
◻ ඔබ ව වඩා හොඳින් තේරුම් ගැනීමට ඔබේ දෙමව්පියන්ට උපකාර කිරීමට ඔබට හැක්කේ කෙසේ ද?
[22 පිටුවෙහි ඇති පින්තූරය]
“ඔබ උනන්දු වී සිටින බවත්, ඔබ ඇගේ ඇතැම් හැඟීම්වලට හේතු දැන සිටින බවත්, [ඔබේ මවට] හැඟෙනවා නම්, ඇය ඔබේ හැඟීම් ගැන වඩා වැඩියෙන් දැනගැනීමට උත්සාහ කරනු ඇත.”—’ ටීන් සඟරාව
[20 සහ 21 පිටුවල ඇති කොටුව]
මගේ දෙමව්පියන්ට මා කියන්නේ කෙසේ ද?
වරදක් නොසඟවා ඔබේ දෙමව්පියන්ට පැවසීමේ කාර්යය ප්‍රිය දෙයක් නොවේ. යෞවන වින්ස් මෙසේ පවසයි: “ මගේ දෙමව්පියන් මා ව බොහෝ සෙයින් විශ්වාස කරනවා කියා මම කල්පනා කළ නිසාත් ඔවුන් ව රිදවීමට මම අකමැති වූ නිසාත් ඔවුන් කරා යාම අපහසු දෙයක් වුණා.”
වැරදි සැඟවීමට සොයන යෞවනයෝ බොහෝ විට පලුදු වූ හෘදය සාක්ෂියක වේදනා විඳිති. (රෝම 2:15) ඔවුන්ගේ වැරදි ඉසිලිය නොහැකි තරමට ඉතා “ අධික බරක්,” බවට පත්විය හැක. (ගීතාවලිය 38:4) අනිවාර්යයෙන් ම වාගේ, බොරු කියා තම දෙමව්පියන් රැවටීමට ඔවුන්ට බලකරනු ලබන අතර, එමගින් තවදුරටත් වැරදි කරති. මෙසේ දෙවියන් වහන්සේ සමඟ ඇති ඔවුන්ගේ සම්බන්ධය පලුදු වේ.
බයිබලය මෙසේ පවසයි: “ තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේ ය; එහෙත් ඒවා කියා දී අත්හරින්නාට කරුණාව ලැබේ.” (හිතෝපදේශ 28:13) දහනව හැවිරිදි බෙටී පවසන ආකාරයට: “ කොහොම වුණත් යෙහෝවඃ වහන්සේට සෑම දෙයක් ම දැකිය හැකි ය.”
කාරණාව බරපතළ වරදක් හා සම්බන්ධ වේ නම්, යාච්ඤා කිරීම මගින් ඔබේ වරද ප්‍රකාශ කර, යෙහෝවඃ වහන්සේගෙන් ක්ෂමාව අයදින්න. (ගීතාවලිය 62:8) ඊළඟට, ඔබේ දෙමව්පියන්ට කියන්න. (හිතෝපදේශ 23:26) ඔවුන් ජීවිතයේ අත්දැකීම් ලබා තිබෙන හෙයින් ඔබේ වැරදි හදාගෙන ඒවා නැවත කිරීමෙන් වැළකී සිටීමට ඔබට නොයෙක් විට උපකාර කිරීමට ඔවුන්ට හැකි වේ. “ ඒ ගැන කථා කිරීමට සැබවින් ම ඔබට උපකාර කිරීමට එයට හැකි වන අතර අවසානයේ දී ඔබේ මනසෙන් එය අහක් කිරීම සහනයකි,” යයි 18 හැවිරිදි ක්‍රිස් වාර්තා කරයි. ගැටලුව වන්නේ, ඔබේ දෙමව්පියන්ට ඔබ පවසන්නේ කෙසේ ද යන්න ය්.
බයිබලයේ “ කලට සුදුසු වචනය” ගැන පවසයි. (හිතෝපදේශ 25:11; සසඳන්න දේශනාකාරයා 3:1, 7.) එය කුමන අවස්ථාවේ විය හැකි ද? ක්‍රිස් තවදුරටත් මෙසේ පවසයි: “ රාත්‍රි ආහාරය එන තෙක් බලාගෙන ඉඳලා ඔහුට කථා කිරීමට මට වුවමනා බව මම පියාට පවසනවා.” තනි දෙමව්පියෙකුගේ පුතෙක් වෙනත් වේලාවක එය මෙසේ අත්හදා බැලී ය: “ මම සාමාන්‍යයෙන් මවට කථා කරන්නේ නින්දට යන්න පෙරයි; ඒ අවස්ථාවේ දී ඈ වඩා නිස්කලංක ව සිටිනවා. ඇය වැඩ ඇරී නිවසට පැමිණුනහම, කලබලකාරී ගතියකින් සිටියා.”
ඇතැම් විට මෙසේ පැවසීමට ඔබට හැක: “ අම්මා, තාත්තා, මා තුළ වධ දෙන යමක් තිබෙනවා.” තව ද ඔබ ගැන සැලකිලිමත් වීමට නොහැකි වන තරමට ම ඔබේ දෙමව්පියන් ඉතා වැඩ බහුල ව සිටින බව පෙනෙනවා නම් කුමක් ද? මෙසේ පවසන්නට ඔබට පුළුවන, “ මම දන්නවා ඔබලාට වැඩ අධිකයි, නමුත් මා තුළ ඇත්තෙන් ම වධ දෙන යමක් තිබෙනවා. අපට ඒ ගැන කථා කරන්න පුළුවන් ද?” ඉන් පසු ඔබට මෙසේ ඇසිය හැක: “ කථා කිරීමට ලජ්ජා සිතූ යම් දෙයක් ඔබ කවදා හෝ කර තිබෙනවා ද?”
දැන් පැමිණෙන්නේ දුෂ්කර කොටසයි: එනම් ඔබේ දෙමව්පියන්ට වරද ගැන පැවසීම. ඔබේ වරදේ බරපතළකම සැහැල්ලු නොකර හෝ වඩා අප්‍රසන්න තොරතුරුවලින් සමහරක් නොකියා හැරීමට උත්සාහ නොකර යටහත් පහත් ව “ සත්‍යය කථා කරන්න.” (එපීස 4:25; සසඳන්න ලූක් 15:21.) යෞවනයන්ට පමණක් විශේෂ අර්ථයක් අඟවන වදන් භාවිතා නොකොට, ඔබේ දෙමව්පියන්ට තේරුම් ගත හැකි වදන් භාවිතා කරන්න.
නිරායාසයෙන් ම, මුල දී ඔබේ දෙමව්පියන්ට වේදනාවක් සහ කලකිරීමක් දැනෙන්නට පුළුවන. එබැවින් බලවත් හැඟීම් පිරුණු සැර වචනවලින් ඔබට පහර ලැබේ නම් පුදුම වෙන්න හෝ කෝප වෙන්න එපා! ඔවුන් කලින් දුන් අනතුරු ඇඟවීම්වලට ඔබ ඇහුම්කන් දී තිබුණා නම්, ඔබ ඇතැම් විට මෙම තත්ත්වයේ නොසිටිනු ඇත. එබැවින් සන්සුන් ව සිටින්න. (හිතෝපදේශ 17:27) ඔබේ දෙමව්පියන්ට ඇහුම්කන් දී ඔවුන් අසන ප්‍රශ්න කුමන ආකාරයෙන් ඇසුවත් ඒවාට පිළිතුරු සපයන්න.
නිසැක ව ම කාරණා හරිගැස්වීමට ඔබේ බලවත් උනන්දුව ඔවුන්ගේ සිතේ ගැඹුරු හැඟීමක් ඇති කරයි. (2 කොරින්ති 7:11 සසඳන්න.) එහෙත්, යම් ඉතා යෝග්‍ය හික්මවීමක් පිළිගැනීමට සූදානම් ව සිටින්න. “ කිසි දඬුවමක් ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මමිඦ්ඨකමේ සමාදාන ඵල හටගන්නේය.” (හෙබ්‍රෙව් 12:11) ඔබට ඔබේ දෙමව්පියන්ගේ උපකාරය හා මේරූ අවවාදය ලබා ගැනීමට අවශ්‍ය වන අන්තිම අවස්ථාව මෙය නොවිය හැකි බවත් මතක තබාගන්න. සුළු ගැටලුවල දී ඔවුන් කෙරෙහි විශ්වාසය තැබීමේ පුරුද්ද ඇති කර ගන්න, එවිට විශාල ගැටලු ඇතිවන විට, ඔබේ මනසේ තිබෙන දේ ඔවුන්ට පැවසීමට ඔබට භය ඇති නොවේ.
[21 පිටුවෙහි ඇති පින්තූර]
ඔබේ දෙමව්පියන් වඩා පිළිගන්නා සුලු චිත්ත රාමුවක සිටිය හැකි වේලාවක් තෝරා ගන්න