පරිච්ඡේද 21
රැකියාවක් ලබා ගැනීමට (හා එහි රැඳී සිටීමට!) මට හැක්කේ කෙසේ ද?
සමීක්ෂණයක් මගින් සීනියර් ස්කොලැස්ටික් සඟරාවේ ප්‍රකාශිත ඇතැම් අමෙරිකානු උසස් පාසල් ජ්‍යේෂ්ඨයන්ගෙන් තමන් “ඉතා වැදගත්” යයි සලකන්නේ කිනම් ජීවිත ඉලක්කයන් දැයි තක්සේරු කිරීමට ඉල්ලා සිටියේ ය. සියයට අසූ-හතරක් මෙසේ ප්‍රතිචාරය දැක්වූහ: “ස්ථිර රැකියාවක් සොයා ගැනීමට හැකි වීම ය.”
පුද්ගලික හෝ ගෙදර දොර වියහියදම්වලට උපකාරවත්වීම සඳහා සමහර විට ඔබ පාසල් වේලාවෙන් පසු රැකියාවක් කිරීමට උනන්දු වෙනවා විය හැක. නැතහොත් පූර්ණ-කාලීන දේව සේවකයෙකු වශයෙන් ඔබේ වියදම් දැරීම සඳහා ඔබ අර්ධ-කාලීන රැකියාවක් සොයනවා විය හැක. (පරිච්ඡේද 22 බලන්න.) කෙසේ වුවත්, ලෝක ව්‍යාප්ත ව පවතින උද්ධමනය සහ දක්ෂතාවයන් අඩු සේවකයන් සඳහා සීමිත ඉල්ලීම් ඇති බැවින්, ඔබ යෞවනයෙකු නම් රැකියා ලබා ගැනීම අසීරු වී තිබේ. එසේ නම්, පහසුවෙන් රැකියාවක් ලබා ගැනීමට ඔබට හැකි වන්නේ කෙසේ ද?
පාසල—රැකියාවක් සඳහා පුහුණු කිරීමේ ක්ෂේත්රයකි
වර්ෂ ගණනාවක අත්දැකීම් ලත්, රැකියාවට බඳවා ගන්නා නිලධාරියෙකු වූ ක්ලීව්ලන්ඩ් ජෝන්ස්, මෙම උපදෙස ඉදිරිපත් කරයි: “හොඳ උසස් අධ්‍යාපනයක් ලබා ගන්න. සුදුසු සේ කියවීමට, ලිවීමට හා කථා කිරීමට ඉගෙන ගැනීමේ වැදගත්කම මෙතෙකැයි කියා නිම කිරීමට මට නොහැක. එමෙන් ම වැඩ කරන ලෝකයේ ජනයා හැසිර වීමට ඔබට හැකි වන පිණිස සුදුසු උචිත බවක් ලබා ගන්න.”
පැමිණීම් සහ පිටවීම් සඳහා කාල සටහන් කියවීමට බස් රියැදුරෙකුට හැකි විය යුතුයි. වැඩ-සම්පූර්ණ කිරීමේ පත්‍ර හෝ ඒ හා සමාන වාර්තා පුරවන ආකාරය කම්කරුවන් විසින් දැන සිටිය යුතුයි. ගණන් සෑදීමට හැකි වීම විකුණුම් ලිපිකරුවන්ගෙන් අපේක්ෂා කෙරේ. ඕනෑ ම අයුරක රැකියාවකට ම වාගේ, අදහස් හුවමාරු කිරීමේ දක්ෂතාවයන් අවශ්‍ය ය. මේවා ඔබට පාසලේ දී හොඳින් උගත හැකි දක්ෂතාවයන් වේ.
නොනවත්වා නියැලීම වාසියකි
“ඔබ පාසල් යාම අවසන් කර රැකියාවක් සොයමින් සිටින්නේ නම් කිසිදා අත් නොහරින්න,” යයි ජෝන්ස් පවසයි. “සම්මුඛ පරීක්ෂණ දෙකකට හෝ තුනකට යාමෙන් පසු ගෙදර ගොස් නිකම් ඔහේ බලා ගෙන නොසිටින්න. ඒ අයුරින් ඔබ ව කිසිදා රැකියාවකට කැඳවනු නොලබනවා ඇත.” සැල් නැමැති යෞවනයා ව කැඳවනු ලැබීමට පෙර ඔහු මාස හතක් පුරා රැකියාවක් සෙවී ය. “ ‘මගේ වැඩේ රැකියාවක් සොයන එකයි,’ යයි මං මට ම කියා ගන්නවා. මාස හතක් පුරා හැම සතියේ දවසක ම මම රැකියාවක් සොයමින් පැය අටක් ගත කරනවා. හැම දවසක ම මම පාන්දරින් පටන් ගෙන සවස හතර දක්වා ‘වැඩ කරනවා.’ බොහෝ රාත්‍රීවල දී මගේ කකුල් වේදනා ගෙන දෙනවා. ඊළඟ දවසේ නැවතත් රැකියාවක් සෙවීමට ‘මා ව ප්‍රකෘතිමත් කරන්නට’ සිදු වෙනවා,” යයි සැල් පැහැදිලි කරයි.
සැල්ගේ සෙවීම අත්හැරීමෙන් වැළැක්වූයේ කුමක් ද? ඔහු මෙසේ පිළිතුරු දෙයි: “මා සේවක කාර්යාලයක සිටින හැම අවස්ථාවක ම, ‘වීර්ය කරන්න,’ යයි යේසුස් වහන්සේ පැවසූ දෙය මම මතකයට නගා ගන්නවා. කවදා හරි මට වැඩ කරමින් ඉන්න පුළුවන් වෙයි, මේ නරක කාලය පහවෙලා යයි කියා මම සිතමින් සිටිනවා.”—ලූක් 13:24.
රැකියා ලබා ගන්නා ස්ථාන
ඔබ ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වන්නේ නම්, ඔබේ රැකියා සොයා යෑම, ප්‍රාදේශීය ගොවි පොළවලින් සහ පළතුරු වතුවලින්, නැතහොත් යම් අයුරක වතු වැඩක් සඳහා සෙවීමෙන් පටන් ගත හැක. ඔබ විශාල නගරයක හෝ පුරයක ජීවත් වන්නේ නම්, ප්රවෘත්ති පත්‍රයේ රැකියා-ඇබෑර්තු යන දැන්වීම් බැලීමට වෑයම් කරන්න. යම් රැකියාවක් සඳහා අවශ්‍ය වන සුදුසුකම් පිළිබඳ ව මෙම දැන්වීම් යම් හෝඩුවාවන් දෙන අතර එම අවශ්‍යතාවයන් පිරවීමට ඔබට හැකි මන්දැයි කියා ඔබේ සේව්‍යයාට පැහැදිලි කර දීම සඳහා ඔබට උපකාරවත් වීමට ඒවාට හැක. දෙමව්පියන්, ගුරුවරුන්, රැකියා නියෝජ්‍ය ආයතනයන්, සේවක කාර්යාලයන්, මිත්‍රයන් සහ අසල් වාසීන්, තොරතුරු ලබා ගත හැකි වෙනත් මූලාශ්රයන් ය.
ඔබේ රැකියාවේ රැඳී සිටීම
අභාග්‍යයකට, ආර්ථික පීඩනයන් විරැකියාව ඇති කරන විට, ප්‍රථමයෙන් ම රැකියාවෙන් නෙරපන්නන් අතර සාමාන්‍යයෙන් ම සිටින්නේ රැකියාවේ නියුතු යෞවනයන් ය. එහෙත් මෙය ඔබට සිදු වීමට ම අවශ්‍ය නැත. “රැකියා අත් නෑර තබා ගන්නා වූ අය වන්නේ, වැඩ කිරීමට කැමැත්තක් දක්වන හා සේව්‍යයා කියන ඕනෑ ම දෙයක් කිරීමට කැමති ආකල්පයක් පෙන්වන අයයි,” කියා ජෝන්ස් මහතා පවසයි.
ඔබේ ආකල්පය නම් ඔබේ මනසේ තත්ත්වයයි—එනම් ඔබේ රැකියාව ගැන මෙන් ම ඔබ යටත් ව වැඩ කරන අය ගැන සහ ඔබ සමඟ වැඩ කරන්නන් ගැන ඔබට හැඟෙන ආකාරයයි. ඔබ කරන සේවයේ ගුණය මගින් ඔබේ ආකල්පය හෙළි කරනු ලබනවා ඇත. ඔබේ සේවයෙන් නිපදවනු ලබන ප්‍රමාණය මත පමණක් නොව නමුත් ඔබේ ආකල්පයේ පදනම මත ද ඔබේ ප්‍රධානියා ඔබේ වටිනාකම විනිශ්චය කරනු ඇත.
“උපදෙස් අනුගමනය කිරීමට ඔබට හැකි බව පමණක් නොව නිරන්තර අධීක්ෂණයක් [supervision] නොමැති ව අවශ්‍ය වී තිබෙන දෙයට වඩා ඔබට කළ හැකි බව ඔබේ සේව්‍යයාට දැනගැනීමට ඉඩ සලස්වන්න. මක්නිසා ද රැකියාවන් සඳහා සේවක සැපයුම අධික නිසා, වැඩකරුවන් අනිවාර්යයෙන් ම එහි වැඩි ම කාලයක් රැඳී සිටින අය විය යුතු වන්නේ නැත, නමුත් නිපදවන්නන් විය යුතු ය,” කියා තවදුරටත් ජෝන්ස් පවසයි.
මෙය සැබෑවක් බව සැල් සොයා ගත්තේ ය. ඔහු මෙසේ පවසයි: “මා සැමවිට ම මගේ සේව්‍යයාට උපකාරවත් වීමට වෑයම් කළා. අවශ්‍ය වූ විට, උපදෙස් අනුගමනය කරන්නත්, මගේ අධීක්ෂකයන්ට ගෞරව කරන්නත් මගේ කාල සටහන වෙනස් කරන්නත්, මං කැමැත්තෙන් සිටියා.” මෙය බයිබලයේ අනුශාසනයන්ගෙන් එකක් වන “ඔබේ ස්වාමීන් වහන්සේට ගෞරව දැක්වීමක් වශයෙන් ඔබේ මෙලොව ස්වාමිවරුන්ට සියලු කාරණාවල දී කීකරු වන්න. මූණිච්චාවට ඔවුන් සතුටු කරන අදහසින් නොව, අවංක සිතින් සේවය කරන්න,” යන්න මතක් කරයි.—කොලොස්සි 3:22, නව අනුවාදය.
බිය මැඩපවත්වා ගැනීම
ඔබ රැකියාවට අලුත් කෙනෙකු නම්, පළමු දවස් කිහිපයේ බිය සාමාන්‍ය චිත්ත වේගයකි. ඔබට මෙසේ සිතෙන්නට පුළුවන: ‘ඔවුන් මට කැමති වෙයි ද? රැකියාව කරන්න මට පුළුවන් වෙයි ද? මගේ වැඩ ගැන ඔවුන් සතුටු වෙයි ද? මා මෝඩයෙකු මෙන් පෙනෙන එකක් නෑ කියා මං සිතනවා.’ මෙහි දී ඔබ සැලකිලිමත් විය යුතුයි, නැතහොත් ඔබේ බිය ඔබේ ඒකාන්ත අනාගත බලාපොරොත්තුව ටිකෙන් ටික ඉවත් කරනු ඇත.
සමාගම ගැන වැඩි ඉගෙනීමක් කිරීමෙන් ඔබේ සකස් වීම ඉක්මන් කිරීමට හා ඔබේ කැලඹීම සන්සුන් කිරීමට ඔබට හැක. බලන්න, සවන් දෙන්න, එමෙන් ම කියවන්න. සුදුසු වේලාවේ දී ඔබේ රැකියාව හා ඔබ කළ වැඩ ගැන සාධාරණ ප්‍රශ්න ඔබේ අධීක්ෂකයාගෙන් අසන්න. එය ඔබ අඥානයෙකු බව පෙනෙන්නට සලස්වන්නේ නැත. ඔබෙන් ම අසන්න, ‘මගේ දෙපාර්තමේන්තුවටත්, මුළු සමාගමේ ම පරමාර්ථයටත්, මගේ රැකියාව සම්බන්ධ වන්නේ කෙසේ ද?’ හොඳ වැඩ පුරුදු ඇති කර ගැනීමට සහ රැකියාවෙන් තෘප්තියට පත්වීම වැඩි දියුණු කර ගැනීමට ඔබට උපකාරවත් වීමට පිළිතුරුවලට හැක.
සහකාර සේවකයන් සමඟ පෑහී සිටින්න
අවසානයේ දී සියලු රැකියාවල්, වෙනත් අය සමඟ කටයුතු කිරීමට සම්බන්ධ වේ. වෙනත් අය සමඟ යහපත් සබඳතාවක් පවත්වා ගන්නා ආකාරය දැන සිටීම රැකියාවක රැඳී සිටීම සඳහා අත්‍යවශ්‍ය ය. “පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමග සමාදානයෙන් සිටපල්ලා.” (රෝම 12:18) එසේ කිරීමෙන් රැකියාව සම්බන්ධයෙන් සුළු දේවලට පවා අනවශ්‍ය දබර කිරීම් හෝ කෝප සහගත විරුද්ධ වීම්වලින් වැළකීමට ඔබට උපකාරවත් විය හැක.
සමහර විට ඔබ සමඟ වැඩ කරන අය හට ඔබට වඩා ඉතා වෙනස් පසුතලයන් හා පුද්ගලිකත්වයන් තිබේ. එහෙත් කෙනෙකුගේ වෙනස නිසා ඔහු පහත් යයි නොසිතන්න. වෙනස් ව සිටීමට ඔහුට ඇති අයිතියට ගරු කරන්න. කිසි පුද්ගලයෙකු අඩු ගෞරවයකින් යුත් සැලකීමක් ලැබීමට කැමැති නැත; තමා වැදගැන්මකට නැති කෙනෙකු මෙන් හැඟීමට එය ඔහුට සලස්වයි. තමන් ව වුවමනා ය එමෙන් ම අවශ්‍ය ය—එනම් තමන් වැදගත් කෙනෙකු යන හැඟීම ඇතුව සිටීමට සෑම දෙනා ම කැමති වෙති. ඔබේ සහකාර සේවකයන්ට හා සේව්‍යයාට ගෞරවයෙන් යුතු ව සැලකීමෙන් ඔවුන්ගේ ගෞරවය දිනාගන්න.
ඕපාදූපවලින් වැළකීම
“එය නපුරු බොරු වළකි, මන්ද ඔබේ ප්‍රධානියා ගැන හෝ වෙනත් අය ගැන නුසුදුසු හැඟීමක් දීමට ඕපාදූපවලට හැක,” යයි සැල් පවසයි. තොරතුරු ලබා ගැනීම සඳහා හොඳ ම මූලාශ්‍රය (මූලික ස්ථානය) වන්නේ අනියම් සේ වෙන අය සමඟ කරුණු හුවමාරු කිරීම නොවන අතර, එය ඔබට අප්‍රසන්න ප්‍රතිඵලයක් ගෙන දිය හැක. අනියම් සේ වෙන අය සමඟ කරුණු හුවමාරුවෙන් හට ගැනෙන දූෂමාන ආරංචි සාමාන්‍යයෙන් ම අන්‍යයන්ගේ—සහ ඔබගේ ම හොඳ නමට කැලලක් ගෙනා හැකි බොහෝ අතිශයෝක්ති කර දැක්වීම් ද වේ. එමනිසා, ඕපාදූප කීමට ඇති පෙලඹීම සම්පූර්ණයෙන් ම යටපත් කරන්න.
පැමිණිලිකරුවෙකුට කිසි කෙනෙකු කැමති නොවන බවත් මතක තබා ගන්න. රැකියාව සම්බන්ධ ව යම් දෙයක් ඔබේ සිතට වද දෙනවා නම්, අනියම් සේ අන් අය තුළින් එය පතුරුවා නොහරින්න. ගොස් ඔබේ අධීක්ෂකයා සමඟ කථා කරන්න. කෙසේ වුවද, බලවත් කෝපයකින් ඔහුගේ කාර්යාලයට කඩා පැන දුරදිග නොබලා වචන පිට කර, පසු ව කනගාටු වීමට සිදු වීමෙන් වළකින්න. තව ද, පුද්ගලික නිග්රහයන් කිරීමේ උගුලෙන් ද වළකින්න. සැබෑ කාරණා මත රැඳී සිටින්න. ගැටලුව ගැන විස්තර කිරීමේ දී ඔබට හැකි අන්දමින් පැහැදිලි ව හා අවංක ව පැහැදිලි කරන්න. ‘මට ඔබේ උපකාරය අවශ්‍යයි . . . ’ නැතහොත්, ‘මා වැරදි වෙන්න පුළුවන්, නමුත් මට . . . ගැන හැඟෙන්නේ මේ විධියටයි.’
නියමිත වේලාවට පැමිණීම වැදගත් ය
රැකියාවක රැඳී සිටීමට ජනයා අසමත් වන්නේ මන්දැයි යන්න සඳහා මහත් හේතු දෙකක් වන්නේ ප්‍රමාද වී සේවයට පැමිණීම සහ සමහර දවස්වල සේවයට නොපැමිණීම ය. විශාල කාර්මික පුරයක් උදෙසා සේවක පුහුණු කිරීමේ අධ්‍යක්ෂකයෙක් තරුණ සේවකයන් ගැන මෙසේ පැවසී ය: “ඔවුන් උදෑසනින් නැගිටීමට ඉගෙන ගත යුතුයි, අණ පිළිගන්නා ආකාරය ඉගෙන ගත යුතුයි. ඔවුන් මේ දේවල් කිසිදා ඉගෙන ගන්නේ නැත්නම්, එය හුදෙක් විරැකියාවේ තත්ත්වය හැම කල්හි ම පැවතීමට සලස්වන්නකි.”
නියමිත වේලාවට පැමිණීම ගැන සැල් අසීරු මාර්ගයකින් පාඩමක් ඉගෙන ගත්තේ ය. “ප්‍රමාද වීම නිසා මගේ මුල් රැකියාව මාස තුනකට පසු මට අහිමි වුනා, වෙනත් රැකියා සොයා ගැනීමට, මෙය වඩා අසීරු කළා,” යයි කියා ඔහු සුසුම් ලෑවේ ය.
අවංකකමේ වටිනාකම
සේවකයන් අලුතෙන් බඳවා ගන්නා නිලධාරියෙකු වූ ජෝන්ස් මෙසේ පවසයි: “කෙනෙකු හට රැකියාවක රැඳී සිටීම සඳහා අවංක භාවය උපකාරවත් වේ.” අවංක ව සිටීම යන්නට ඇතුළත් වන්නේ ද්‍රව්‍යමය දේවල් සොරකම් කිරීමෙන් වැළකී සිටීම පමණක් නොව නමුත් වැඩිපුර විවේකයන් ගැනීමෙන් කාලය සොරා ගැනීමෙන් ද වැළකීම ය. අවංක සේවකයෙකු අගේ කොට සහ විශ්වාසවන්ත ලෙස සලකනු ලබයි. උදාහරණයක් ලෙස, ඇඳුම් ගබඩාවක සේවය කළා වූ යෙහෝවඃ වහන්සේගේ එක් යෞවන සාක්ෂිකරුවෙකු අවංකකම සඳහා හොඳ නමක් ලබා තිබුණි.
ඔහු මෙසේ සිහිපත් කරයි, “දවසක්, ගබඩා කාමරයේ වෙන ඇඳුම් අතර එක ඇඳුමක් සඟවලා තිබෙන බව පාලකයා සොයා ගත්තා. සේවකයන්ගෙන් එක්කෙනෙක් ගබඩාවෙන් සොරකම් කිරීමේ යෙදී සිටියා. වහන වේලාව වන විට මම උඩ තට්ටුවේ පාලකයාගේ කාර්යාලය වෙත ගියා, එවිට මා ව පුදුමයට පත් කරමින් සේවකයන් සැමෝ ම එහි සිටියා. පරීක්ෂා කර බැලීම සඳහා සියලු සේවකයන් ව එහි රඳවා ගෙන තිබුණා. පරීක්ෂාවට භාජනය නොකළා වූ එක ම සේවකයා වුණේ මා පමණයි.”
බොහෝ ක්‍රිස්තියානි යෞවනයෝ එවැනි ම අත්දැකීම් ලබා සිටි අතර අගය කළ සේවකයන් බවට පත්වී සිටියහ. එසේ නම්, වැඩක් සොයා ගත් විට මහන්සි වී වැඩ කරන්න. නොනැවතී එහි ම යෙදී සිටින්න. අත් නොහරින්න. ඔබ ඉතා වෙහෙස වී සෙව්වා වූ රැකියාව ලද විට, එහි රැඳී සිටීමට මහන්සි වී වැඩ කරන්න!
සාකච්ඡාව සඳහා ප්‍රශ්න
◻ රැකියාවක් සොයා ගැනීම සඳහා ඔබේ පාසල් වැඩ ඔබේ හැකියාවට බලපෑ හැක්කේ කෙසේ ද?
◻ රැකියාවක් සොයා යන විට නොනවත්වා එහි ම යෙදී සිටීම වැදගත් වන්නේ මන්ද?
◻ රැකියාවක් සොයන විට බැලීමට තිබෙන සමහර ස්ථාන මොනවා ද, මුණගැසිය හැකි අය කවරහු ද?
◻ රැකියා සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීම සඳහා ඇතැම් හෝඩුවාවන් මොනවා ද?
◻ රැකියාවෙන් නෙරපීමෙන් ඔබ ව ආරක්ෂා කර ගැනීමට ඔබට කළ හැක්කේ කුමක් ද?
[166 පිටුවෙහි හුවා දැක්වීම]
“සුදුසු සේ කියවීමට, ලිවීමට හා කථා කිරීමට ඉගෙන ගැනීමේ වැදගත්කම මෙතෙකැයි කියා කීමට මට නොහැක”
[170 පිටුවෙහි හුවා දැක්වීම]
“ ‘ මගේ වැඩේ රැකියාවක් සොයන එකයි,’ යයි මම මට ම කියා ගන්නවා”
[168 සහ 169 පිටුවල ඇති කොටුව]
රැකියා සම්මුඛ පරීක්ෂණයන්ට මුහුණ දීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය
“ පළමුවෙන් ම ඇති කරන හැඟීම් කල්පවතින හැඟීම් බව, රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට යාමට ප්‍රථම, මතක තබා ගන්න,” යයි රැකියා පිළිබඳ උපදේශක ක්ලිව්ලන්ඩ් ජෝන්ස් අවවාද කරයි. සම්මුඛ පරීක්ෂණයකට ජීන්ස් හා ක්‍රීඩා සපත්තු ඇඳීමෙන් වළකින ලෙස ඔහු අවවාද කරන අතර පිරිසිදු ව සහ පිළිවෙළකට සිටීමේ අවශ්‍යතාවය හුවා දක්වයි. පුද්ගලයෙකු වැඩ කරන්නේ පුද්ගලයෙකු අඳින ආකාරයට කියා සේව්‍යයෝ බොහෝ විට අවසාන නිගමනයකට එළඹෙති.
කාර්යාල රැකියාවක් සඳහා ඉල්ලුම් කරන විට, ව්‍යාපාරික තැනැත්තෙකු සැරසෙන ආකාරයට සැරසෙන්න. කර්මාන්ත ශාලාවක රැකියාවක් සඳහා ඉල්ලුම් කරන විට, පිරිසිදු, මදින ලද කලිසමක් සහ කමිසයක් ඇඳ, ඒ සමඟ කදිම පෙනුමක් ඇති සපත්තු ද පළඳින්න. ඔබ ස්ත්‍රියක නම්, විනීත ව සැරසී, රූප ලාවණ්‍ය ද්‍රව්‍ය සුළු වශයෙන් භාවිතා කරන්න. තව ද කාර්යාල රැකියාවක් සඳහා ඉල්ලුම් කරන්නේ නම්, සම්ප්රදාය ගරුක ඇඳුම් පැළඳුම් ඇඳ සුදුසු පාවහන් පළඳින්න.
රැකියා සම්මුඛ පරීක්ෂණයක් සඳහා සැමවිට ම තනි ව ම යන්න යයි ජෝන්ස් උපදෙස් දෙයි. සම්මුඛ පරීක්ෂණයට යන විට ඔබ ඔබේ මව හෝ මිතුරන් ව කැටුව යනවා නම්, ඔබ නොමේරූ කෙනෙකු යයි සේව්‍යයා නිගමනය කරන්නට ඉඩ තිබේ.
‘ මම මීට කලින් සේවා අත්දැකීම් ලබා තිබේ දැයි සේව්‍යයා මගෙන් ඇසුවොත්, මා පිළිතුරු දෙන්නේ කෙසේ ද?’ යයි ඔබ සිතිය හැක. පුරසාරම් දොඩන්න එපා. වැඩි කර කියන විට සේව්‍යයෝ බොහෝ විට දැනගනිති. අවංක වන්න.
ඔබට එය නොවැටහිය හැකිමුත්, ඔබ ඔබේ ප්‍රථම “ සැබෑ” රැකියාව සොයමින් සිටිනවා වුවත් කලින් ඔබට සේවා අත්දැකීම් තිබුණා වෙන්නට පුළුවන. නිවාඩු කාලයේ දී කෙදිනක හෝ ඔබට රැකියාවක් තිබුණෙහි ද? නැතහොත් ඔබ කවදා හෝ ළදරුවෙකු බලා ගෙන තිබේ ද? ඔබේ නිවස තුළ පවුලේ වැඩකටයුතු සඳහා සැලකිලිමත්වීමට ඔබට ස්ථාවර වැඩ කොටසක් පවරා තිබුණෙහි ද? ඔබ නමස්කාර කරන ස්ථානයේ යම් කටයුත්තක් සම්බන්ධයෙන් සැලකිලිමත්වීමට ඔබට වගකීමක් පවරා තිබුණෙහි ද? ඔබ කවදා හෝ ප්‍රසිද්ධියේ කථා කිරීමේ පුහුණුව ලබා තිබේ ද? එසේ නම්, සම්මුඛ පරීක්ෂණයේ දී මේවා සඳහන් කළ හැක, නැතහොත් වගකීම ඉසිලිය හැකි බව පෙන්නුම් කිරීමට ඔබේ ඉල්ලුම් පත්‍රයේ වෙනත් සුදුසුකම් ලයිස්තු ගත කළ හැක.
සේව්‍යයෝ සැලකිලිමත් වන වෙනත් වැදගත් දෙයක් වන්නේ ඔවුන්ගේ සමාගම කෙරෙහි සහ ඉදිරිපත් කර ඇති රැකියාව කෙරෙහි ඔබ කෙතරම් උනන්දුවක් දක්වනවා ද යන්න ගැන ය. ඔබට වැඩ කිරීමට අවශ්‍ය බවත්, ඔබට එය කළ හැකි බවත්, ඔබ ඔවුන්ට ඒත්තු ගැන්විය යුතුයි. “ ඉන්-මට-ලැබෙන්නේ-කුමක්-ද” යන ආකල්පය, සම්මුඛ පරීක්ෂකයන්ගේ සැලකිල්ල විගස ඔබ වෙතින් ඉවතට හරවනු ඇත.
පූර්ණ- හෝ අර්ධ-කාලීන රැකියාවක් සඳහා ඉල්ලුම් කර එය ලබා ගැනීම ඔබට සාර්ථක ව මුහුණ දීමට හැකි අභියෝගයකි. තව ද එම රැකියාව හුදෙක් ඔබට ම පමණක් නොව, අන්‍යයන්ට ද උපකාර කිරීම සඳහා මෙවලමක් වශයෙන් භාවිතා කළ විට ලැබෙන තෘප්තිය, අතුරු ප්‍රයෝජනයක් බවට පත්වේ.
[171 පිටුවෙහි ඇති කොටුව]
රැකියා සම්මුඛ පරීක්ෂණයක දී කළ යුතු දේ
වැඩුණු කෙනෙකු, කාර්යෙහි දක්ෂ කෙනෙකු සේ සිටින්න. සුදුසු ගෞරවයකින් සේව්‍යයාට ආචාර කරන්න. ඔහුට “ අඹ යාලුවෙකුට මෙන් හෝ මිත්රයෙකුට මෙන්,” අමතන්නේ නැති ව “ මහත්මයා,” කියා අමතන්න.
පොළොව මත පිහිටන සේ පා ස්ථිර ව තබා, පුටුවෙහි ඍජු ව හිඳ ගන්න; සාවධාන ව සිටින බව පෙන්වන්න. සන්සුන් ව, තැන්පත් ව හා පහසුවෙන් සිටීම සඳහා කලින් සැලසුම් කිරීම ඔබට උපකාරවත් වනු ඇත.
ප්‍රශ්නයකට පිළිතුරු දීමට ප්‍රථම කල්පනා කරන්න. ආචාරසම්පන්න ව, නිවැරදි ව, අවංක ව හා කෙලින් කථා කරන්නෙකු ව සිටින්න. සම්පූර්ණ තොරතුරු දෙන්න. පාරට්ටු කර නොගන්න.
ඔබේ සියලු රැකියා, වැඩ කළ දිනයන්, වේතනයන්, ඔබ කළා වූ වැඩවල ආකාරය, ඉවත් වී යාමට හේතු, ඇතුළත් කරන ලද යොමු පතක් ඔබ ළඟ තබා ගන්න.
ඔබ ඉල්ලුම් කරන රැකියාව ඉදිරියට කර ගෙන යෑම සඳහා ඔබේ පුහුණුව හා සේවා අත්දැකීම් ඔබට උපකාරවත් වන ආකාරය පෙන්වීමට සූදානම් ව සිටින්න.
චරිත සහතිකයන් සඳහා, ඔබ සහ ඔබේ වැඩ ගැන දන්නා විශ්වාසවන්ත පුද්ගලයන් තිදෙනෙකුගේ නම් (සහ සම්පූර්ණ ලිපින) දෙන්න.
නිසැක ව ම, උද්යෝගශීලී ව, සිටින්න, නමුත් පුරසාරම් දොඩන්න එපා. හොඳ ඉංග්‍රීසි (හෝ සිංහල) භාවිතා කර, පැහැදිලි ව කථා කරන්න. වුවමනාවට වඩා කථා කරන්න එපා.
සැලකිලිමත් ව සවන් දෙන්න; ආචාරශීලී සහ උපායශීලී වන්න. සියල්ලට ම වඩා, ඔබේ අනාගත සේව්‍යයා සමඟ වාදයන්ට පැටලෙන්න එපා.
සේව්‍යයා උනන්දුව සිටින්නේ ඔබ රැකියාවට කෙතරම් සුදුසු ද යන්න ගැන පමණකි. පුද්ගලික, නිවසේ හෝ මුදල් ගැටලු සඳහන් කරන්න එපා.
ඔබට රැකියාව නොලැබෙන බව පෙනෙන්නට තිබේ නම්, වෙළඳ සමාගමේ තිබිය හැකි වෙනත් රැකියා සම්බන්ධයෙන් සේව්‍යයාගේ උපදෙස ලබා ගන්න.
සම්මුඛ පරීක්ෂණය අවසන් වූ වහා ම සේව්‍යයා වෙත කෙටි ස්තුති-පූර්වක ලිපියක් යවන්න.a
[අධෝලිපි]
a මූලාශ්‍රය: න්යූ යෝර්ක් නගරයේ වෘත්තීය සේවා කාර්යාලයේ හව් ටු “ සෙල් යෝර්සෙල්ෆ්” ටු ඇන් එම්ප්ලෝයර් යන විවරණිකාවෙනි.
[167 පිටුවෙහි ඇති පින්තූර]
පාසලේ දී ඔබ ඉගෙන ගන්නා දක්ෂතාවයන් රැකියාවන් කෙරෙහි වටිනා බව දිනක ඔප්පු විය හැක