සැබවින්ම ජීවිත ගලවන්නා වූ රුධිරය
පෙර සඳහන් තොරතුරුවලින් ඇතැම් මූලික කරුණු පැහැදිලි වේ. බොහෝ දෙනෙක් රුධිර ප්‍රවේශන ජීවිත ගලවන යමක් සේ කල්පනා කළද, ඒවා අවදානම්වලින් ගහණය. සෑම වසරකම දහස් සංඛ්‍යාත අය ප්රවේශනවල ප්‍රතිඵලයක් වශයෙන් මිය යති; තවත් බොහෝ දෙනෙක් අතිශයින් රෝගාතුර වී, දීර්ඝ කාලීන එල විපාකයන්ට මුහුණ දෙති. එනිසා භෞතික ස්ථාවරයකින් ගත් කල පවා, ‘ලෙයින් වළකින්ට’ වූ බයිබල් ආඥාවට දැන්ම කීකරු වීම ප්‍රඥාවන්තය.—ක්‍රියා 15:28, 29.
රෝගීන් රුධිරය නොමැති වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලා සිටින්නේ නම්, ඔවුන් අනතුරු බොහොමයකින් ආරක්ෂා වනු ඇත. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් මත මෙය අදාළ කිරීමේ අභියෝගයට මුහුණ දීමට එකඟ වී ඇති දක්ෂ කාය වෛද්‍යවරුන්, වෘත්තීය ශිල්ප ක්‍රම භාවිතා කිරීමේදී, ආරක්ෂාකාරි මෙන්ම කාර්ය සාධක සම්මතයක් වර්ධනය කොට ඇති අතර, මෙය බොහෝ වෛද්‍ය වාර්තාවලින් ඔප්පු කොට තිබේ. රුධිරය නොමැතිව ගුණදායක ප්‍රතිකාර සපයන වෛද්‍යවරුන්, වටිනා වෛද්‍ය මූලධර්ම නොසලකා කටයුතු කරනවා නොවේ. ඒ වෙනුවට, තමාගේ ශරීරයට හා ජීවිතයට කරන්නට යන දෙය පිළිබඳව දැනුවත් තෝරාගැනීමක් ඔහුට කරන්නට හැකිවන පරිදි, අවදානම් හා ප්‍රයෝජන දැනගැනීමට ඇති රෝගියාගේ අයිතියට ඔවුහු ගෞරව පෙන්වති.
සියල්ලන්ම මෙම පිවිසීම හා සමඟ එකඟ නොවන බව අප දන්නා බැවින්, අප මෙම විෂය සම්බන්ධයෙන් සරලමතික වෙනවා නොවේ. හෘදය සාක්ෂිය, ආචාර ධර්ම හා වෛද්‍ය අදහස් උදහස් සම්බන්ධයෙන් ජනයා වෙනස් වෙති. එබැවින් වෛද්‍යවරුන්ද ඇතුළුව වෙනත් අය, රුධිරයෙන් වැළකී සිටීමට වූ රෝගියෙකුගේ තීරණය පිළිගැනීම අපහසු බවට කල්පනා කරන්නට පුළුවන. නිව් යෝක්හි එක්තරා ශල්‍ය වෛද්‍යවරයෙක් මෙසේ ලිව්වේය: “දැනට වසර 15කට පෙර යෞවන ආධුනිකයෙක් හැටියට, ග්රහණී වණයකින් මරණය දක්වා ලේ ගැලූ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකුගේ ඇඳ අසල මා සිටගෙන සිටි අවස්ථාව මට කිසිදා අමතක නොවේ. රෝගියාගේ ඉල්ලීම්වලට ගෞරව කරමින් ප්‍රවේශන කිසිත් දෙනු නොලැබුවත් වෛද්‍යවරයෙක් හැටියට මට දැනුණු මහත් නිෂ්ඵලභාවය මට තවමත් මතකය.”
රුධිරය ජීවිත ගලවන යමක් වීමට තිබූ බව ඔහු විශ්වාස කළ බවට සැකයක් නැත. කෙසේවෙතත් ඔහු එය ලිවීමෙන් වසරකට පසු, ප්‍රවේශන හඳුන්වා දීමට පෙර, ආමාශ හා ආන්ත්රික රක්තපාතයට තිබුණේ “සියයට 2.5ක් පමණක් වූ මරණ අනුපාතයක්” බව ද බ්‍රිටිෂ් ජර්නල් ඔෆ් සර්ජරි (1986 ඔක්තෝබර්) වාර්තා කළේය. ප්‍රවේශන ව්‍යවහාරයට පත්වීමෙන් පසු, ‘විශාල පරිමාණයේ අධ්‍යයනයන් බොහොමයක් සියයට 10ක මරණ අගයක් වාර්තා කරයි.’ හතර ගුණයකින් ඉහළ මරණ අනුපාතයක් මන්ද? පර්යේෂකයන්ගේ යෝජනාව: “මුලින්ම රුධිර ප්‍රවේශන දීම නැවත රුධිරය ගැලීමට අනුබල දෙමින්, රක්තපාතයේදී අධික ලෙස රුධිරය කැටි ගැසීමේ ප්‍රතිචාරය ප්‍රතිවිරුද්ධ අතට හරවන බව පෙනේ.” රුධිරය ගලන වණයක් තිබු එම සාක්ෂිකරු රුධිරය ප්‍රතික්ෂේප කළ විට, ඔහුගේ තේරීම බේරී ජීවත්වීම සඳහා වූ ඔහුගේ බලාපොරොත්තු ඇත්තෙන්ම වැඩි කරන්නට ඇත.
එම ශල්යවෛද්යවරයාම වැඩිදුරටත් මෙසේද පැවසීය: “කාලයාගේ ඇවෑමත්, රෝගීන් බොහෝ දෙනෙකුට ප්‍රතිකාර කිරීමත් කෙනෙකුගේ දෘෂ්ටිය වෙනස් කිරීමට ප්‍රවණතාවක් දක්වන අතර රෝගියා හා ඔහුගේ වෛද්‍යවරයා අතර විශ්වාසයත්, රෝගියෙකුගේ කැමැත්තට ගෞරවය කිරීමට තිබෙන යුතුකමත් අප වටා ඇති අලුත් වෛද්‍ය තාක්ෂණයට වඩා බෙහෙවින් වැදගත් යයි අදදින මට පෙනේ. . . . බලාපොරොත්තු රහිතභාවය, දැන් එම විශේෂිත රෝගියාගේ ස්ථිරසාර ඇදහිල්ල සඳහා ගරුබිය දැක්වීමේ හා ගෞරව කිරීමේ හැඟීමක් උදාකර තිබීම සිත් ගන්නාසුලු දෙයකි.” එම වෛද්‍යවරයා මෙසේ නිගමනය කළේය: “මගේ හැඟීම් හෝ ප්‍රතිඵලය නොසලකා මා නිතර රෝගියාගේ පෞද්ගලික හා ආගමික අභිප්රායන්ට ගෞරව කළ යුතු බව එය මට සිහිපත් කරයි.”
“කාලයාගේ ඇවෑමත්, රෝගීන් බොහෝ දෙනෙකුට ප්‍රතිකාර කිරීමත්” හේතුකොටගෙන වෛද්‍යවරුන් ඒත්තුගත් යමක් ඔබ දැනටමත් වටහා ගෙන තිබෙන්නට පුළුවන. ප්රවීණතම රෝහල්වල හොඳම වෛද්‍ය ප්‍රතිකාර තිබියදීත්, යම් අවස්ථාවක ජනයා මිය යති. රුධිර ප්‍රවේශනය ඇතිව හෝ නැතිව ඔවුහු මිය යති. අප සියල්ලන්ම වයසට යන අතර ජීවිතයේ අවසානය ළඟා වෙමින් පවතී. එය දෛවවාදි සංකල්පයක් නොවේ. එය යථාර්ථවාදි වීමකි. මිය යෑම ජීවිතයේ සැබෑවකි.
රුධිරය පිළිබඳව දෙවියන්වහන්සේගේ නීතිය නොසලකා හරින්නන් බොහෝ විට ක්ෂණිකව හෝ කල්ගත වී හෝ අනතුරු අද්දකින බව සාක්ෂි පෙන්වයි; සමහරෙක් ලබාගත් රුධිරයෙන් පවා ඇතැම් විට මිය යති. බේරී ජීවත් වන්නන් නිම නොවන ජීවිතයක් ලබා ගෙන නැත. එනිසා රුධිර ප්‍රවේශන ජීවිතය නිත්යව ගලවා නොගනී.
ආගමික හා⁄හෝ වෛද්‍ය හේතූන් සඳහා රුධිරය ප්‍රතික්ෂේප කරන එහෙත් විකල්ප වෛද්‍ය චිකිත්සාවන් පිළිගන්නා බොහෝ දෙනෙක් හොඳ සුවයක් ලබති. ඔවුන් එසේ තමන්ගේ ජීවිතය තවත් වසර ගණනාවකින් දික්කර ගන්නට පුළුවන. එහෙත් නිමාවක් නොදකිනවා නොවේ.
මනුෂ්‍යයන් අසම්පූර්ණව සිටීමත්, අප ක්‍රමක්‍රමයෙන් මිය යමින් සිටීමත් බයිබලය රුධිරය ගැන පවසන ප්‍රධාන සත්‍යය වෙතට අපව මඟ පෙන්වයි. අප මෙම සත්‍යය තේරුම් ගෙන එය අගය කරන්නේ නම්, රුධිරයට ඇත්ත වශයෙන්ම ජීවිත—එනම් අපගේ ජීවිතය—කල් පවතින ආකාරයකට ගලවා ගත හැකි අයුරු අප දකිනු ඇත.
ජීවිත ගලවන්නා වූ එකම රුධිරය
මුලින් සඳහන් කළ ලෙසින්, මිනිසුන් රුධිරය අනුභව නොකළ යුතු බව දෙවියන්වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයාට වදාළ සේක. ඒ මන්ද? හේතුව රුධිරය ජීවිතය නියෝජනය කිරීමය. (උත්පත්ති 9:3-6) ඉශ්රායෙල්වරුන්ට දුන් ව්‍යවස්ථා සංග්රහයෙහි උන්වහන්සේ මෙය වැඩිදුරටත් පැහැදිලි කළ සේක. ව්‍යවස්ථා සංග්‍රහය ස්ථිර කරනු ලැබූ අවස්ථාවේදී, පූජා කරන ලද සත්ත්වයන්ගේ රුධිරය පූජාසනයක් මත පාවිච්චියට ගනු ලැබීය. (නික්මයාම 24:3-8) එම සංග්රහයෙහි නීති සියලුම මනුෂ්‍යයන් අසම්පූර්ණ බවට වූ සත්‍යය ගෙනහැර දැක්වීය; බයිබලය එය සඳහන් කරන ආකාරයට, ඔවුන් පව්කාරයන්ය. තමන්වහන්සේට පුදකරන ලද සත්ත්ව පූජා මගින් පාප වසාලීමට වූ අවශ්‍යතාව එත්තුගැනීමට ඔවුන්ට හැකි බව දෙවියන්වහන්සේ ඉශ්රායෙල්වරුන්ට පැවසූ සේක. (ලෙවී කථාව 4:4-7, 13-18, 22-30) දෙවියන්වහන්සේ ඒ අවස්ථාවෙහි ඔවුන්ගෙන් ඒ දෙය ඉල්ලා සිටීමටත්, එය අද දවසේ උන්වහන්සේ සත්‍යය නමස්කාරකයන්ගෙන් ඉල්ලා නොසිටීමත් පිළිගත යුතුය. එහෙත් එය දැන් අපට අතිශය වැදගත්කමකින් යුක්ත වේ.
එම යාගයන් පසුපස පිහිටා තිබුණු මුලධර්මය දෙවියන්වහන්සේම පැහැදිලි කළ සේක: “මාංසයේ පණ [හෝ, ජීවිතය] තිබෙන්නේ ලෙයෙහිය. මම එය නුඹලාගේ ප්‍රාණ උදෙසා පූජාසනය පිට සමඟිකමක් කරන පිණිස නුඹලාට නියම කෙළෙමි. මක්නිසාද සමඟිකමක් සිදුකරන්නේ ලේය, එසේ වන්නේ එහි ප්‍රාණය තිබෙන නිසාය. එබැවින්: නුඹලාගේ කිසිවෙක් ලේ නොකෑයුතුය, . . . යයි මම ඉශ්රායෙල් පුත්‍රයන්ට කීයෙමි.”—ලෙවී කථාව 17:11, 12.
සමඟිකම් කිරීමේ දවස යයි හඳුන්වනු ලැබූ පුරාතන උත්සවයේදී, ඉශ්‍රායෙල්ගේ උත්තම පූජකයා ඔප්පු කරන ලද සත්ත්වයන්ගේ රුධිරය දෙවියන්වහන්සේගේ නමස්කාරයේ කේන්ද්‍රය වූ, දේව මාලිගාවේ වඩාත්ම පරිශුද්ධ වූ ස්ථානයට ගෙන ගියේය. එසේ කිරීම ජනයාගේ පව් වසාලන මෙන් දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටීමේ සංකේතවත් ආකාරයක් විය. (ලෙවී කථාව 16:3-6, 11-16) එම යාගයන් ඇත්ත වශයෙන්ම සියලුම පාප දුරු නොකළ බැවින්, ඒවා සෑම වසරක් පාසාම නැවත නැවතත් කරන්නට සිදුවිය. කෙසේවෙතත්, රුධිරය මෙයාකාරව භාවිතා කිරීම අර්ථවත් ආකෘතියක් තැබීය.
බයිබලයේ මූලික ඉගැන්වීමක් වනුයේ දෙවියන්වහන්සේ සියලු ඇදහිලිවන්තයෙන්ගේ පව් සඳහා පූර්ණ සමඟිකමක් කළ හැකි පරිපූර්ණ යාගයක් අවසානයේදී සපයන බවය. මෙය මිදීමේ මිලය හැටියට හඳුන්වා ඇති අතර, එය පුරෝකථනය කරන ලද මෙසියස්, නැතහොත් ක්‍රිස්තුස්වහන්සේගේ යාගය කෙරෙහි යොමු දක්වයි.
බයිබලය මෙසියස්ගේ කාර්යභාරය, සමඟි කිරීමේ දවසේ කරනු ලැබූ දෙය හා සසඳයි: “ක්‍රිස්තුස්වහන්සේ මතු පැමිණෙන්නා වූ යහපත් දේවල උත්තම පූජකයෙක්ව පැමිණ, වඩා උතුම් වූ වඩා සම්පූර්ණ වූ අතින් නොසෑදුවා වූ [දේවමාලිගාව], . . . මැදින්, එළුවන්ගෙත් වස්සන්ගෙත් ලේ කරණකොටගෙන නොව තමන්ගේම ලේ කරණකොටගෙන, අප උදෙසා සදාකාල මිදීම ලබාගෙන එකම වරක් ශුද්ධස්ථානයට [ස්වර්ගයට] ඇතුල්වූසේක. ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියලු දේවල්ම ලෙයින් පවිත්‍රකරනු ලැබේ යයි කියන්ට පුළුවන්වා වාගේ පෙනේ, ලේ වැගිරීමක්ද නැතුව ක්ෂමාකිරීමකුත් නැත.”—හෙබ්‍රෙව් 9:11, 12, 22.
මෙසේ අප රුධිරය පිළිබඳව දෙවියන්වහන්සේගේ දෘෂ්ටිය ඇතිව සිටිය යුත්තේ මන්දැයි පැහැදිලි වේ. මැවුම්කරුවාණන් හැටියට වූ උන්වහන්සේ සතු අයිතියට එකඟව, එහි තනි ප්රයෝජනවත්භාවය උන්වහන්සේ තීරණය කර ඇත. පුරාතනයේ ජීවත් වූ ඉශ්රායෙල්වරුන් සත්ත්ව හෝ මනුෂ්‍ය රුධිරය ලබා නොගැනීමෙන් සෞඛ්‍යමය ප්‍රයෝජන ලබන්නට ඇතිමුත් වඩාත්ම වැදගත් කරුණ එය නොවීය. (යෙසායා 48:17) තමන්ගේ ජීවිත ගෙනයෑමට රුධිරය භාවිතා කිරීමෙන් ඔවුන් වැළැක්විය යුතු වූයේ, මූලිකව ඊට පටහැනිව ක්‍රියා කිරීම සෞඛ්‍යයට හානිදායක වූ නිසා නොව, නමුත් එය දෙවියන්වහන්සේට අශුද්ධ වූ නිසාය. ඔවුන් රුධිරයෙන් වැළකී සිටිය යුතු වූයේ, එය දූෂ්‍යව තිබූ නිසා නොව, නමුත් එය සමාව ලබාගැනීමෙහිලා ඉතා අනර්ඝ වූ නිසාය.
ප්‍රේරිත පාවුල් එම මිදීමේ මිලය ගැන පැහැදිලි කිරීමක් කළේ මෙසේය: “ඒ ප්‍රේමවන්තයාණන්වහන්සේ තුළ, උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට, උන්වහන්සේගේ [ක්‍රිස්තුස්වහන්සේගේ] ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය.” (එපීස 1:7) එහි දක්නට ලැබෙන මුල් ග්‍රීක් වචනය නිසි ලෙස “ලේ” යනුවෙන් පරිවර්තනය කර ඇතිමුත් බයිබල් අනුවාද ගණනාවක් “දිවි පිදීම” නැතහොත් මරණය යන වචනය ප්‍රතිසම්පාදනය කිරීමෙන් වැරැද්දක් කරයි. එබැවින්, රුධිරය පිළිබඳව අපගේ මැවුම්කරුවාණන්ගේ දෘෂ්ටිය කෙරෙහි අවධාරණයත් උන්වහන්සේ ඊට සම්බන්ධ කර ඇති යාගික අගයත් පාඨකයන්ගේ අවධානයෙන් ගිලිහී යන්නට පුළුවන.
ක්‍රිස්තුස්වහන්සේ පරිපූර්ණ මිදීමේ යාගයක් හැටියට මියගිය නමුත් දිගටම මැරී නොසිටි බවට වූ සත්‍යය වටා බයිබලයේ තේමාව ගෙතී තිබේ. සමඟි කිරීමේ දවසේ දෙවියන්වහන්සේ පැනවූ ආකෘතිය අනුගමනය කරමින්, යේසුස්වහන්සේව “අප උදෙසා දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි . . . පෙනී සිටින පිණිස” ස්වර්ගයට ඔසවාගනු ලැබූ සේක. තම පූජනීය රුධිරයේ අගය උන්වහන්සේ එහිදී ඉදිරිපත් කළ සේක. (හෙබ්‍රෙව් 9:24) ‘දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පාගා දමා, උන්වහන්සේගේ ලේ සාමාන්‍ය අගයකින් යුත් දෙයක් සේ සිතීමට’ පාදක වන ඕනෑම ක්රියාමාර්ගයකින් අප වැළකී සිටිය යුතු බව බයිබලය අවධාරණය කරයි. දෙවියන්වහන්සේ සමඟ අපට හොඳ සම්බන්ධතාවක් හා සාමයක් පවත්වා ගත හැක්කේ මෙයාකාරයෙන් පමණකි.—හෙබ්‍රෙව් 10:29; කොලොස්සි 1:20.
රුධිරයෙන් ගලවන ලද ජීවිතය ප්‍රීතියෙන් භුක්ති විඳින්න
දෙවියන්වහන්සේ රුධිරය ගැන පවසන දෙය අප තේරුම් ගන්නා විට, එහි ඇති ජීවිත ගලවන වටිනාකම උදෙසා දිය හැකි උතුම්ම ගෞරවය ඊට දෙන්නට අප පටන් ගනු ඇත. ‘අපට ප්‍රේමකරන්නා වූ, තමන්ගේම ලෙයින් අපේ පාපවලින් අප මිදුවා වූ’ තැනැන්වහන්සේ හැටියට ශුද්ධ ලියවිල්ල ක්‍රිස්තුස්වහන්සේව විස්තර කරයි. (එළිදරව් 1:5; යොහන් 3:16) එසේය, යේසුස්වහන්සේගේ රුධිරය කරණකොටගෙන, අපට අපගේ පාප උදෙසා පූර්ණ හා කල් පවතින සමාවක් ලබා ගත හැකිය. ප්‍රේරිත පාවුල් ලිව්වේ මෙසේය: “ලේ කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලැබූ අපි උන්වහන්සේ කරණකොටගෙන . . . උදහසෙන් ගලවනු ලබන්නෙමුව.” කල් පවතින ජීවිතය රුධිරය කරණකොටගෙන මුදා ගත හැක්කේ එයාකාරයෙනි.—රෝම 5:9; හෙබ්‍රෙව් 9:14.
ක්‍රිස්තුස්වහන්සේ ‘කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය’ කියා යෙහෝවඃ දෙවියන්වහන්සේ බොහෝ කලකට පෙර සහතිකයක් දුන් සේක. (උත්පත්ති 22:18) පොළොව පාරාදීසයක් බවට යළි පත්කිරීමද එම ආශීර්වාදයන්ට ඇතුළත් වේ. එවිට ඇදහිලිවන්ත මනුෂ්‍ය වර්ගයා තවදුරටත් අසනීප, මහලු වීම හෝ මරණයෙන් පවා පීඩා නොලබනු ඇත; දැන් වෛද්‍ය නිලධාරින් අපට ලබා දිය හැකි තාවකාලික උපකාර, අතිශයින් ඉක්මවා යන, ආශීර්වාදයන් ඔවුහු ප්‍රීතියෙන් භුක්ති විඳිනු ඇත්තාහ. “උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය” යන මවිතකර පොරොන්දුව අපට ඇත්තේය.—එළිදරව් 21:4.
එසේ නම්, දෙවියන්වහන්සේගේ සියලු අවශ්‍යතා අප හෘදයට ගැනීම කොතරම් ප්‍රඥාවන්තද! වෛද්‍ය තත්ත්වයන්හිදී පවා රුධිරය වැරදි ආකාරයට පාවිච්චි නොකරමින්, ඒ පිළිබඳ උන්වහන්සේගේ ආඥාවන්ට කීකරු වීම ඊට ඇතුළත් වේ. අප හුදෙක් එම මොහොතට පමණක් ජීවත් වනවා නොවේ. ඒ වෙනුවට, මනුෂ්‍ය පරිපූර්ණත්වය තුළ සදාකාලික ජීවිතය පිළිබඳ අපගේ අනාගතික අපේක්ෂාවද ඇතුළුව ජීවිතය සඳහා අපගේ උසස් සැලකිල්ල අපි පිළිබිඹු කරමු.
[25වන පිටුවේ කොටුව]
දේව ජනයා රුධිරයෙන් සිය ජීවිත රැක ගැනීමට ප්‍රතික්ෂේප කළේ, එසේ කිරීම සෞඛ්‍යයට අහිතකර වූ නිසා නොව, නමුත් එය අශුද්ධ වූ නිසාය, රුධිරය දූෂ්‍යව තිබූ නිසා නොව, නමුත් එය අනර්ඝ වූ නිසාය.
[24වන පිටුවේ පින්තූරය]
“උන්වහන්සේගේ [යේසුස්වහන්සේගේ] ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය”—එපීස 1:7
[26වන පිටුවේ පින්තූරය]
යේසුස්වහන්සේගේ රුධිරයෙන් ජීවිත ගලවා ගැනිම, භූමික පාරාදීසයක නිමක් නොමැති, සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මාවත විවෘත කරයි