උපග්‍රන්ථය
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ—ශල්‍යකර්ම⁄ආචාර ධර්මීය අභියෝගය
අමෙරිකානු වෛද්‍ය සංගමයේ අවසරය ඇතිව ද ජර්නල් ඔෆ් ද මෙඩිකල් එසෝසියේෂන් (JAMA), 1981 නොවැම්බර් 27, 246වන වෙළුම, අංක 21, 2471, 2472 පිටුවලින් නැවත මුද්‍රණය කරන ලදි. හිමිකම් 1981, අමෙරිකානු වෛද්‍ය සංගමය සතුය.
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට ප්‍රතිකාර කරන විට වෛද්‍යවරු සුවිශේෂී අභියෝගයකට මුහුණ දෙති. මෙම ඇදහිල්ලට අයත් සාමාජිකයෝ සමජාත හෝ සමප්‍රභව සම්පූර්ණ රුධිරය, අහුරා තබනු ලබන රතු රුධිරාණු, සුදු රුධිරාණු හෝ පට්ටිකා පිළිගැනීමට එරෙහිව දැඩි ආගමික විශ්වාසයක් ඇතිව සිටිති. ශරීරයෙන් බැහැර සංසරණය දිගටම සිදුනොකෙරේ නම්, බොහෝ දෙනෙක් (රුධිර නොවන ද්‍රව්‍යයෙන් ලිහිසි කරවන) හෘද-පෙනහලු, කාන්දු පෙරීම, හෝ සමාන උපකරණ භාවිතයට ඉඩ දෙනු ඇත්තාහ. සාක්ෂිකරුවන් රුධිරය දැනුවත්ව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඔවුන් වෛද්‍ය නිලධාරීන්ව වගකීමෙන් නිදහස් කිරීමට ප්‍රමාණවත් නීතිමය පියවර ගන්නා බැවින්, වෛද්‍ය නිලධාරීන්හට වගකීම ගැන සැලකිලිමත් වීමට අවශ්‍ය නොවේ. ඔවුහු රුධිර නොවන ප්රතිසම්පාදක තරලයන් පිළිගනිති. මේවාත් වෙනත් සියුම් තාක්ෂණයනුත් භාවිතා කරමින්, වෛද්‍යවරු වැඩිහිටි බාල සාක්ෂිකාර රෝගීන් දෙකොටස මත සියලු ආකාර බරපතළ ශල්‍යකර්මයන් සිදුකරමින් සිටිති. “මුළු පුද්ගලයාට”ම ප්‍රතිකාර කිරීමේ මූල ප්රඥප්තියට එකඟ වන්නා වූ සම්මත ප්‍රතිකාර ක්‍රමයක් මෙවන් රෝගීන් සඳහා මෙසේ වර්ධනය වී ඇත. (JAMA 1981;246:2471-2472)
ප්‍රධාන වෛද්‍ය ප්රශ්නයක්ව පවතින වර්ධනය වන්නා වූ අභියෝගයකට වෛද්‍යවරු මුහුණ දෙති. රුධිර ප්‍රවේශන පිළිනොගන්නා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ මිලියන අඩකට වැඩි සංඛ්‍යාවක් එක්සත් ජනපදයේ සිටිති. සාක්ෂිකරුවන් හා ඔවුන් සමඟ ඇසුරු කරන්නන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතී. කලින්, වෛද්‍යවරුන් හා රෝහල් නිලධාරීන් බොහෝ දෙනෙක් ප්‍රවේශනයක් ප්‍රතික්ෂේප කිරීම නීතිමය ගැටලුවක් ලෙස කල්පනා කොට තමන් වෛද්‍යමය වශයෙන් උචිත දෙය කරගෙන යෑමට අධිකරණයේ අනුමැතිය සෙව්වද, ආකල්පයේ සැලකිය යුතු වෙනසක් සිදුවෙමින් පවතින බව මෑත කාලීන වෛද්‍ය ප්‍රකාශන එළිදරව් කරයි. මෙය හීමෝග්ලෝබින් ඉතා අඩු මට්ටමක් ඇති රෝගීන්ව ශල්‍යකර්මයට භාජන කිරීමෙන් ලද අද්දැකීම්වල ප්‍රතිඵලයක් විය හැකි අතර, දැනුවත් අනුමැතිය පිළිබඳ නීතිමය ප්‍රතිපත්තිය වඩා වැඩියෙන් අවබෝධ කිරීමක්ද පිළිබිඹු කළ හැකිය.
දැන්, බාල මහලු යන දෙකොටසටම අයත් තෝරා ගනු ලබන ශල්‍යකර්ම හා හදිසි අනතුරු රෝග අවස්ථා විශාල සංඛ්‍යාවකට රුධිර ප්‍රවේශන නොමැතිව සැත්කම් කරනු ලැබේ. මෑතකදී, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ නියෝජිතයෝ රටේ විශාලතම වෛද්‍ය ආයතන සමහරක ශල්‍යකර්ම හා පරිපාලන නිලධාරීන් හමු වූහ. මෙම රැස්වීම් අවබෝධය වැඩි කළ අතර ගලායන රුධිරය බේරා ගැනීම, අවයව බද්ධ කිරීම මෙන්ම, වෛද්‍යමය⁄නීතිමය ඝට්ටනයන් වළක්වා ගැනීම පිළිබඳ ප්‍රශ්න නිරවුල් කිරීමට උපකාරවත් විය.
චිකිත්සාවේදී සාක්ෂිකරුවාගේ ස්ථාවරය
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ වෛද්‍ය හා ශල්‍යකර්මීය ප්‍රතිකාර පිළිගනිති. ඇත්ත වශයෙන්ම, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍යවරුන් පවා වෙති. එහෙත් සාක්ෂිකරුවන් වනාහි දැඩි ආගමික විශ්වාසයක් ඇති ජන පිරිසක් වන අතර, ඔවුහු මතු සඳහන් ආකාරයේ බයිබල් වගන්තිවලින් රුධිර ප්‍රවේශනය තහනම් කර ඇතැයි විශ්වාස කරති: “මාංසය එහි ප්‍රාණය වන රුධිරය සමඟ නොකෑ යුතුය.” (උත්පත්ති 9:3-4); “[නුඹ] උගේ ලේ [පිටතට] වගුරුවා එය පස්වලින් වසා දැමිය යුතුය” (ලෙවී කථාව 17:13-14); සහ “වේශ්‍යාකමින්ද බොටුව මිරිකා මැරූ සතුන්ගෙන්ද ලෙයින්ද” වලකින්න (ක්‍රියා 15:19-21).1
මෙම වගන්ති වෛද්‍ය ක්ෂේත්රයට අනුකූල භාෂාවකින් දක්වා නැතත්, ඒවා සම්පූර්ණ රුධිරය, අහුරා තබා ඇති රතු රුධිරාණු හා ප්ලාස්මාව ප්‍රවේශනය කිරීම මෙන්ම සුදු රුධිරාණු හා පට්ටිකා ශරීරගත කිරීම තහනම් කරන්නේ යයි සාක්ෂිකරුවෝ සලකති. කෙසේනමුත්, සාක්ෂිකරුවන්ගේ ආගමික අවබෝධය ඇල්බමින්, ප්‍රතිශක්ති ග්ලෝබියුලින් වර්ග හා රක්තකාමතාව සඳහා සකසා ඇති ද්‍රව්‍ය වැනි සංයෝග භාවිතය සහමුලින්ම තහනම් කරන්නේ නැත; තමාට මේවා පිළිගත හැකිදැයි සෑම සාක්ෂිකරුවෙක්ම පෞද්ගලිකව තීරණය කළ යුතුය.2
ශරීරයෙන් ඉවතට ගත් රුධිරය අහක දැමිය යුතු යයි සාක්ෂිකරුවන් විශ්වාස කරන බැවින්, කලින් ලබාගෙන තැන්පත් කර තැබූ රුධිරය යළිත් ප්‍රවේශනය කිරීම ඔවුහු පිළිනොගනිති. ශල්‍ය කර්මය සිදුවන අතරේදී එක්කාසු කිරීමේ තාක්ෂණික ක්‍රමවලට නැතහොත් රුධිරය ගබඩා කිරීම හා සම්බන්ධ රක්ත තන්වීකරණයට ඔවුහු විරෝධය පාති. කෙසේවෙතත්, බොහෝ සාක්ෂිකරුවෝ ශරීරයෙන් බැහැර සංසරණයට බාධාවක් සිදුනොවේ නම්, කාන්දු පෙරීම හා (රුධිර නොවන ලිහිසි ද්‍රව්‍ය භාවිතා කරන) හෘද-පෙනහලු උපකරණ මෙන්ම ශල්‍ය කර්මය කෙරෙන අතර රුධිරය බේරා ගැනීමට යොදාගන්නා ක්‍රම භාවිතයට අවසර දෙති; මෙහිදී තමාගේ හෘදය සාක්ෂියේ නියමය කුමක්දැයි දැනගැනීමට වෛද්‍යවරයා එම රෝගියා සමඟ සාකච්ඡා කළ යුතුය.2
ඉන්ද්‍රියන් බද්ධ කිරීම ගැන බයිබලය යමක් ඍජුව පවසන්නේ යයි සාක්ෂිකරුවන්ට නොහැඟේ. එබැවින්, ස්වච්ඡ (ඇසේ සුදු ඉංගිරියාව), වෘක්ක (වකුගඩු), නැතහොත් වෙනත් පටක බද්ධ කිරීම් සම්බන්ධ තීරණ එම සාක්ෂිකරුවා විසින්ම ගත යුතුය.
මහා පරිමාණයේ ශල්‍යකර්ම කළ හැක්කකි
රුධිර නිෂ්පාදිත භාවිතා කිරීම පිළිබඳව සාක්ෂිකරුවන්ගේ ස්ථාවරය “වෛද්‍යවරුන්ට බාධාවක්” බව පෙනෙන නිසා ශල්‍ය වෛද්‍යවරුන් බොහෝවර සාක්ෂිකරුවන්ට ප්‍රතිකාර කිරීමට මැලි වුවද, බොහෝ වෛද්‍යවරුන් තත්ත්වය දෙස බලන්නට තෝරාගෙන ඇත්තේ සිය දක්ෂතාවට අභියෝග කරන තවත් සංකීර්ණතාවන්ගෙන් එකක් හැටියට පමණි. සාක්ෂිකරුවන් කලිලය (ශ්ලේෂාභය) හෝ ස්ඵටිකාභ ප්රතිසම්පාදන තරලයන්ට හෝ විද්යුද්දහන ශිල්පයට, මන්දාතතිය රක්ත පීඩන නිර්වින්දනයට3 හෝ මන්දතාපයට විරුද්ධ නොවන නිසා, මේවා සාර්ථක ලෙස භාවිතා කර ඇත. හෙටස්ටාච්,4 අන්තශ් ශෛරික යකඩ ඩෙක්ස්ට්රාන් විශාල ප්‍රමාණයක් විදිනු ලැබීම,5,6 හා “ධ්වනික සැත”7 යනාදියේ වත්මන් හා අනාගතික භාවිතය බලාපොරොත්තු උපදවන අතර ආගමික වශයෙන්ද විරුද්ධත්වයකට තුඩු නොදෙයි. තවද, මෑතක සොයා ගන්නා ලද ෆ්ලුවෝරින් හා සංයෝජනය වූ රුධිර විකල්පයක් (ෆ්ලුවොසෝල්-DA) ආරක්ෂා සහිත හා කාර්ය සාධක බවට සනාථ වන්නේ නම්,8 එහි භාවිතයද සාක්ෂිකරුවන්ගේ විශ්වාසයට විරුද්ධ නොවනු ඇත.
රුධිර ප්‍රවේශනය නොකර සාක්ෂිකරුවන්ට කරන ලද හෘත්වාහිනී ශල්‍යකර්ම 542 සම්බන්ධයෙන් 1977දී, ඔට් හා කූලී9 වාර්තා කළ අතර මෙම ක්‍රියා පිළිවෙළ “පිළිගත හැකි අඩු අවදානමක් සහිතව” කළ හැකි යයි නිගමනය කළහ. අපගේ ඉල්ලීමට අනුකූලතාව දක්වමින්, කූලී මෑතක ශල්‍යකර්ම 1,026ක සංඛ්‍යාලේඛන පිළිබඳව පුනරීක්ෂණයක් කළේය. ඉන් 22%ක් බාල වයස්කරුවන්හට කරන ලදි. ඔහුගේ තීරණය වූයේ “යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාර කණ්ඩායමට අයත් රෝගීන්ගේ ශල්‍යකර්ම හේතුවෙන් ඇතිවන අවදානම අන්‍යයන් හා සසඳන කල සැලකිය නොයුතු බව” යන්නය. සමානාකාරයෙන්, වෛද්‍ය උපාධිය ලද මයිකල් ඊ. ඩිබේකී, දන්වා සිටියේ, “[සාක්ෂිකරුවන් හා සම්බන්ධ වන්නා වූ] තත්ත්වයන් බොහොමයක රුධිර ප්‍රවේශන නොමැතිව ශල්‍යකර්ම සිදු කිරීමේ අවදානම, අප රුධිර ප්‍රවේශන භාවිතා කරන රෝගීන් සමඟ සැසඳීමේදී වෙනසක් නැති බවය” (පෞද්ගලික අදහස් හුවමාරුවක්, මාර්තු 1981). විෂය බද්ධ ග්‍රන්ථවල සාර්ථකව කරන ලද දරුණු මෞත්‍රලිංගික10 හා සන්ධ්යාස්ථික ශල්යචිකිත්සාවන්11 ගැනත් සඳහන්ව ඇත. වෛද්‍ය උපාධිය ලද ජී. ඩීන් මැක්ඉවන් හා වෛද්‍ය උපාධිය ලද ජේ. රිචර්ඩ් බොවන්, අපර සුෂුම්නා විලයනය “[සාක්ෂිකාර] බාලයන් 20දෙනෙකු කෙරෙහි සාර්ථකව සිදු කළ” බව ලියති (ප්‍රකාශයට පත් නොකරන ලද දත්ත, අගෝස්තු 1981). ඔවුහු තවදුරටත් මෙසේද පවසති: “රුධිර ප්‍රවේශනයක් ප්‍රතික්ෂේප කරන්නට ඇති රෝගියාගේ අයිතියට ගෞරව කිරීමේ දර්ශනයක් ශල්‍ය වෛදවරයා ස්ථාපිත කිරීමට අවශ්‍යව ඇත, නමුත් රෝගියාට ආරක්ෂාවක් සලසන ආකාරයේ ශල්‍යකර්ම ක්‍රියා පිළිවෙළක් තවදුරටත් ඉටු කළ යුතුය.”
“හදිසි අනතුරු හේතුවෙන් විශාල රුධිර ප්‍රමාණයක් අහිමි වූ” යෞවනයන් සම්බන්ධ වූ රෝග අවස්ථා ඇතුළුව, රෝග අවස්ථා සම්බන්ධව සාර්ථක ප්‍රතිඵල හර්බ්ස්මන්12 වාර්තා කරයි. “රුධිර අවශ්‍යතා සම්බන්ධයෙන් ගත් කල, සාක්ෂිකරුවන් යම් ප්‍රමාණයක අවාසිදායක තත්ත්වයක සිටියි. “එහෙත් ප්රතිසම්පාදනයට රුධිර භාවිතය වෙනුවට අපට විකල්පයන් තිබෙන බවත් ඉතා පැහැදිලි බව ඔහු පිළිගනී.” “නීතිමය විපාකයන් කෙරෙහි ඇති බිය” නිසා රෝගීන් හැටියට සාක්ෂිකරුවන්ව භාර ගැනීමෙන් තමන් සීමා වී සිටින්නේ යයි බොහෝ ශල්‍ය වෛද්‍යවරුන්ට හැඟෙන බැව් නිරීක්ෂණය කරමින්, මෙය බරපතළ ලෙස සැලකිය යුතු වලංගු කාරණයක් නොවන බව ඔහු පෙන්වයි.
නීතිමය සම්බන්ධයන් හා බාල වයස්කරුවන්
වෛද්‍යවරුන් හා රෝහල් වගකීමෙන් නිදහස් කරන්නා වූ අමෙරිකානු වෛද්‍ය සංගමයේ ආකෘති පත්‍රයට13 සාක්ෂිකරුවන් එකහෙළාම අත්සන් තබන අතර සාක්ෂිකරුවන්ගෙන් වැඩි දෙනෙක්, වෛද්‍ය හා නීතිමය බලධාරීන්ගේ උපදෙස් ලබා පිළියෙළ කළ, දිනය හා සාක්ෂිය සහිත වෛද්‍ය අවදි පත්‍රයක් තමුන් ළඟ තබාගෙන සිටිති. මෙම ලියවිලි රෝගියා (නැතහොත් ඔහුගේ වත්කම්) මත වලංගුව ක්‍රියාත්මක වන අතර, වෛද්‍යවරුන්හට ආරක්ෂාවක් පිරිනමයි. මන්දයත් මෙවන් අයිතිවාසිකම් ඉවතලන බවට සඳහන් ප්‍රකාශයකට අත්සන් තබා ඇති විට, අවප්රයෝග පරිපාටිකරයකට “පිටුවහලක් නොලැබෙන්නේ යයි පෙනෙන” බව විනිසුරු වොරන් බර්ගර් ප්‍රකාශ කළේය. මීට අමතරව, “අනිවාර්ය වෛද්‍ය ප්‍රතිකාර හා ආගමික නිදහස” පිළිබඳ විග්රහයක මේ පිළිබඳ අදහස් දක්වමින්, පැරිස්14 ලිව්වේ මෙසේය: “එම විස්තර පත්‍රිකාව සෝදිසි කළ එක් විස්තර ලියන්නෙක් වාර්තා කළේ, ප්‍රවේශනයක් ලබන්නට අකමැති වූ රෝගියෙකු මත වෛද්‍යවරයෙකු විසින් එය බල කිරීමට අපොහොසත්වීම හේතුවෙන් අපරාධ චෝදනාවට තමා යටත්වන්නට සිදුවේවි යන ප්‍රකාශය සනාථ කරන කිසිඳු පදනමක් මට සොයා ගැනීමට හැකි වී නැත. මෙම අවදානම ඇත්තටම සිදුවිය හැකි දෙයක් වනවාට වඩා සජීවී නීතික මනසක උත්පාදනයක් වන බව පෙනේ.
බාලවයස්කරුවන්ට සාත්තු කිරීම වඩාත් වැඩි සැලකිල්ලට භාජන වන්නකි, මෙය බොහෝ විට දරුවන්-නොසලකා හැරීමේ ව්‍යවස්ථාව යටතේ මව්පියන්ට විරුද්ධව නීතිමය වශයෙන් ක්‍රියා කිරීමට හේතුවේ. එහෙත් සාක්ෂිකරුවන්ගේ රෝග තත්ත්වයන් හොඳින් දන්නා වෛද්‍යවරු හා නීතිඥයෝ, සාක්ෂිකාර මව්පියන් සිය දරුවන් සඳහා හොඳ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන බව විශ්වාස කරන බැවින්, එවන් ක්‍රියාවන් ප්‍රශ්න කරමින් සිටිති. මව්පියන් හැටියට තමන්ගේ වගකීම පැහැර හැරීමට නැතහොත් එය විනිශ්චයකරුවෙකුට හෝ වෙනත් තුන්වන පක්ෂයකට පැවරීමට නොකැමතිව, සාක්ෂිකරුවෝ පවුලේ ආගමික විශ්වාසයන්ට සැලකිල්ල යොමු කරන ලෙස ඉල්ලා සිටිති. කැනේඩියානු වෛද්‍ය සංගමයේ හිටපු සභාපති වෛද්‍ය ඒ. ඩී. කෙලි ලිව්වේ15 මෙසේය: “බාල වයස්කරුවන්ගේ මව්පියන්ට හා සිහිය නැති රෝගීන්ගේ කිට්ටුතම ඥාතීන්ට රෝගියාගේ කැමැත්ත තේරුම් කර දීමේ අයිතිය ඇත. . . . සිය මව්පියන්ගේ රැකවරණයෙන් දරුවෙක්ව ඉවත් කිරීමට පෙ.ව. 2.00ට එක්රැස් වූ අනිශ්චිත උසාවියක පරිපාටිකරය මම අගේ කොට නොසලකමි.”
ශල්‍යකර්මයක, විකිරණ චිකිත්සාවක හෝ රසායනික චිකිත්සාවකදී විය හැකි අවදානම-ප්‍රයෝජන නිශ්චය කිරීම වැනි අවස්ථාවන්ට මුහුණ දෙන විට, සිය දරුවන්ගේ සාත්තුව නිශ්චය කිරීම සම්බන්ධයෙන් මව්පියන්ට අයිතියක් ඇති බව නොකිවමනාය. ප්‍රවේශනයේ අවදානම පිළිබඳ ප්‍රශ්නයෙන් ඔබ්බට යන්නා වූ සදාචාර හේතූන් උදෙසා,16 ආගමික වශයෙන් තහනම් කර නොමැති චිකිත්සාවන් පාවිච්චි කරන ලෙස සාක්ෂිකාර දෙමව්පියෝ ඉල්ලා සිටිති. මෙය පවුලක මූලික විශ්වාසයන් කඩ කරන්නා වූ ආක්රමණකාරි ක්‍රියා පිළිවෙළකින් විය හැකි කල්පවතින මානසික හා සමාජීය හානිය නොසලකා නොහරිමින්, “සම්පූර්ණ පුද්ගලයාටම” ප්‍රතිකාර කිරීමේ වෛද්‍ය මූලප්‍රඥප්තිය සමඟ එකඟ වේ. බොහෝ විට, සාක්ෂිකරුවන් පිළිබඳව අද්දැකීම් ලද රට පුරා ඇති විශාල මධ්‍යස්ථාන, සාක්ෂිකරුවන්ට ප්‍රතිකාර කිරීමට නොකැමති ආයතනවල සිටින රෝගීන්ව, ළමා රෝගීන්ව පවා මාරු කිරීම පිළිගනී.
වෛද්‍යවරයාගේ අභියෝගය
තමා විසින් ප්‍රයෝජනයට ගත හැකි සියලුම තාක්ෂණයන් යොදා, ජීවිතය හා ශරීර සෞඛ්‍ය ආරක්ෂා කිරීමට කැප වී සිටින වෛද්‍යවරයෙකුට, සාක්ෂිකාර රෝගියෙකුට ප්‍රතිකාර කිරීම, පිළිගත හැකි ලෙසින්, උභතෝකෝටික ප්‍රශ්නයක් වන්නට පුළුවන. කතුවැකියක් තුළින් සාක්ෂිකරුවන් මත මහා පරිමාණයේ ශල්‍යකර්මයන් පිළිබඳව ලිපි මාලාවකට ලියූ පෙරවදනකදී හාර්වි17 පිළිගත්තේ, “මගේ වැඩවලට බාධා පමුණුවන්නා වූ එම විශ්වාසයන් ඇත්තටම මා කෝපයට පත් කරයි” යනුවෙනි. එහෙත් ඔහු තවදුරටත් මෙසේද කියා සිටියේය: “ඇතැම් විට අපටත් පහසුවෙන් අමතක වන දෙය නම්, ශල්‍යකර්මය පුද්ගලයන්ගේ පෞද්ගලික තාක්ෂණයන් මත රැඳී පවතින ශිල්පයක් බවය. තාක්ෂණයන් වැඩි දියුණු කර ගත හැකිය.”
ෆ්ලෝරිඩාවේ, ඩේඩ් ප්‍රාන්තයේ පිහිටි කාර්ය බහුල හදිසි අනතුරු රෝහලක් සාක්ෂිකරුවන්ට “ප්‍රතිකාර කිරීම එකහෙළා ප්‍රතික්ෂේප කිරීමේ පොදු ප්‍රතිපත්තියක්” තබා ගෙන සිටි බවට වූ කලඹවන වාර්තාවක් මහාචාර්ය බොලූකිගේ18 සැලකිල්ලට භාජන විය. “මෙම කණ්ඩායමට අයත් රෝගීන්ට කරන ශල්‍යකර්ම බොහොමයක් සාමාන්‍යයට වඩා අවදානමෙන් අඩු” යයි ඔහු ගෙනහැර දැක්වීය. ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “නවීන වෛද්‍ය විද්‍යාවේ උපකරණයක් තමාට යොදා ගත නොහැකි බව එම ශල්‍ය වෛද්‍යවරයාට හැඟෙන්නට පුළුවන් වුවත් . . . මෙම රෝගීන් මත ශල්‍යකර්ම සිදු කිරීමෙන් ඔවුන්ට බොහෝ දෑ ඉගෙන ගත හැකි බව මගේ විශ්වාසයයි.”
වැඩි වන්නා වූ වෛද්‍යවරුන් සංඛ්‍යාවක්, සාක්ෂිකාර රෝගියා ගැටලුවක් හැටියට සලකනු වෙනුවට, තත්ත්වය වෛද්‍ය අභියෝගයක් හැටියට භාර ගනිති. මෙම අභියෝගයට මුහුණ දීමෙහිලා ඔවුහු මෙම කණ්ඩායම සඳහා රට මුළුල්ලේ ඇති බොහෝ වෛද්‍ය මධ්‍යස්ථානවලදී පිළිගනු ලබන එක්තරා සම්මත ක්‍රියා මාර්ගයක් වර්ධනය කරගෙන ඇත්තාහ. ඒ සමඟම මෙම වෛද්‍යවරු රෝගියාගේ පූර්ණ සුවසෙත සඳහා හොඳම ප්‍රතිකාරය සපයමින් සිටිති. ගාඩ්නර් සහ වෙනත් අය19 නිරීක්ෂණය කරන පරිදි: “රෝගියාගේ ශාරීරික රෝගයට සුවය ලැබෙතත්, රෝගියා දකින පරිදි, දෙවියන්වහන්සේ සමඟ තම ආත්මික ජීවිතය පාවාදෙනු ලැබේ නම්, ප්‍රයෝජන කාටද, මන්දයත් මෙය කිසිම තේරුමක් නැති, මරණයටත් වඩා දරුණු විය හැකි ජීවිතයකට මඟ පෙන්වන බැවිනි.”
තමන්ගේ ස්ථිර වූ විශ්වාසය වෛද්‍යමය වශයෙන් යම් ප්‍රමාණයක අවදානමක් එකතු කළ හැකි බව හා තමන්ට දෙනු ලබන සාත්තුවෙහි සංකීර්ණත්වයන් ඇති කළ හැකි බව සාක්ෂිකරුවෝ පිළිගනිති. ඒ අනුව, ඔවුහු තමන් ලබන්නා වූ සාත්තුව සඳහා අසාමාන්‍ය අගය කිරීමක් පිළිබිඹු කරති. ගැඹුරු ඇදහිල්ලේ ඉතා වැදගත් සංඝටක හා ජීවත්වීමට අධිකතර කැමැත්තක් ඇතිව සිටීමට අමතරව, ඔවුහු වෛද්‍යවරුන් හා වෛද්‍ය සේවක පිරිස සමඟ සතුටින් සහයෝගීව කටයුතු කරති. එසේ, රෝගියා හා වෛද්‍යවරයා යන දෙදෙනාම මෙම අද්විතීය අභියෝගයට මුහුණ දීමෙහි එක්සත් වෙති.
ආශ්‍රේය ග්රන්ථ
1. Jehovah’s Witnesses and the Question of Blood. Brooklyn, NY, Watchtower Bible and Tract Society, 1977, pp. 1-64.
2. The Watchtower 1978;99 (June 15):29-31.
3. Hypotensive anesthesia facilitates hip surgery, MEDICAL NEWS. JAMA 1978;239:181.
4. Hetastarch (Hespan)—a new plasma expander. Med Lett Drugs Ther 1981;23:16.
5. Hamstra RD, Block MH, Schocket AL:Intravenous iron dextran in clinical medicine. JAMA 1980;243:1726-1731.
6. Lapin R: Major surgery in Jehovah’s Witnesses. Contemp Orthop 1980;2:647-654.
7. Fuerst ML: ‘Sonic scalpel’ spares vessels. Med Trib 1981;22:1,30.
8. Gonzáles ER: The saga of ‘artificial blood’: Fluosol a special boon to Jehovah’s Witnesses. JAMA 1980;243:719-724.
9. Ott DA, Cooley DA: Cardiovascular surgery in Jehovah’s Witnesses. JAMA 1977;238:1256-1258.
10. Roen PR, Velcek F: Extensive urologic surgery without blood transfusion. NY State J Med 1972;72:2524-2527.
11. Nelson CL, Martin K, Lawson N, et al: Total hip replacement without transfusion. Contemp Orthop 1980;2:655-658.
12. Herbsman H: Treating the Jehovah’s Witness. Emerg Med 1980;12:73-76.
13. Medicolegal Forms With Legal Analysis. Chicago, American Medical Association, 1976, p. 83.
14. Paris JJ: Compulsory medical treatment and religious freedom: Whose law shall prevail? Univ San Francisco Law Rev 1975;10:1-35.
15. Kelly AD: Aequanimitas Can Med Assoc J 1967;96:432.
16. Kolins J: Fatalities from blood transfusion. JAMA 1981;245:1120.
17. Harvey JP: A question of craftsmanship. Contemp Orthop 1980;2:629.
18. Bolooki H: Treatment of Jehovah’s Witnesses: Example of good care. Miami Med 1981;51:25-26.
19. Gardner B, Bivona J, Alfonso A, et al: Major surgery in Jehovah’s Witnesses. NY State J Med 1976;76:765-766.