4වෙනි පරිච්ඡේදය
අවිවාහක වුවත් ගැබිනි මවක්
මරියා ගැබ්ගෙන දැන් මාස තුනක් ගත වෙලා. ඇය ගැබ්ගත් විගසම එලිසබෙත්ගේ නිවසට ගිය බව ඔබට මතක ඇති. නමුත් දැන් ඇය ආපසු නාසරෙත්හි පිහිටි ඇගේ නිවසට පැමිණ සිටිනවා. වැඩි කල් නොගොස් ඇය ගැබ්ගෙන සිටින බව සැම කෙනෙකුටම දැනගන්න ලැබේවි. ඇය සිටින්නේ මොන තරම් මානසික පීඩනයකින්ද කියා සිතා බලන්න!
මරියා යෝසෙප් නම් වඩුවා සමඟ විවාහ ගිවිසගෙන සිටින නිසා තවත් ප්‍රශ්න රැසක් මතු වෙන්න පුළුවන්. ඊශ්‍රායෙලිතයන්ට දෙවි දුන් නීතියට අනුව, පුරුෂයෙකු සමඟ විවාහ ගිවිසගෙන සිටින ස්ත්‍රියක් සිය කැමැත්තෙන්ම තවත් පුරුෂයෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වුවොත්, ඇයට ගල් ගසා මරා දමන බව මරියා දන්නවා. එහෙම නම්, තමා ගැබ්ගෙන සිටින බව ඇය යෝසෙප්ට පැහැදිලි කරන්නේ කොහොමද?
යෝසෙප් මාස තුනක කාලයක් පුරා මරියාව දැක නැහැ. ඉතිං ඇයව නැවත දැකගන්න ඔහු මහත් ආශාවකින් සිටිනවා කියා සිතන්න පුළුවන්. සමහරවිට ඔවුන් හමු වුණ විගසම මරියා ඇගේ තත්වය ගැන ඔහුට පැවසුවා විය හැකියි. ඇය ගැබ්ගෙන සිටින්නේ දෙවිගේ ශුද්ධාත්මය මාර්ගයෙන් කියා පැහැදිලි කිරීමට ඇය දැඩි උත්සාහයක් දරන්නත් ඇති. එහෙත්, මෙය විශ්වාස කරන්න යෝසෙප්ට කොයි තරම් අමාරුද කියා ඔබට තේරුම්ගත හැකියි.
මරියා හොඳ නමක් දරන ස්ත්‍රියක් බව යෝසෙප් දන්නවා. ඇත්තෙන්ම ඔහු ඇයට ගොඩක් ආදරෙයි. නමුත් ඇගේ තත්වය ගැන පැහැදිලි කරන්න ඇය කොයි තරම් වෑයම් කළත්, ඔහුට පෙනෙන විදිහට ඇගේ කුසේ සිටින්නේ වෙන පුරුෂයෙකුගේ දරුවෙක්. කොහොම වුණත්, ඇයව ගල් ගසා මරා දමනවාටවත් ඇයට ප්‍රසිද්ධියේ නින්දා කරනවාටවත් යෝසෙප් කැමති නැහැ. ඒ නිසා යෝසෙප් තීරණය කරනවා ඇයව රහසිගතව දික්කසාද කරන්න. ඒ කාලයේ විවාහ ගිවිසගෙන සිටි අයව සැලකුවේ විවාහකයන් ලෙසයි. එම ගිවිසුම අවලංගු කිරීමට නම් දික්කසාද වීමට සිදු වුණා.
පසුව, මේ දේවල් ගැන කල්පනා කරමින් සිටිද්දී යෝසෙප් නින්දට වැටෙන අතර යෙහෝවාගේ දූතයෙක් ඔහුට සිහිනයකින් පෙනී මෙසේ පවසනවා. “දාවිත්ගේ පුත් යෝසෙප්, ඔබේ බිරිඳ වන මරියාව නිවසට කැන්දාගෙන යන්ට භය නොවන්න. මන්ද ඈ තුළ පිළිසිඳගත් දරුවා පිළිසිඳගෙන ඇත්තේ ශුද්ධාත්මය මාර්ගයෙනි. ඈ පුතෙකු බිහි කරන්නීය. ඔහු තම ජනයාව ඔවුන්ගේ පාපවලින් ගලවාගන්නා හෙයින්, ඔබ ඔහුට යේසුස් යන නම තැබිය යුතුය.”
යෝසෙප් අවදි වන විට, ඔහු මොන තරම් කෘතඥපූර්වක වෙනවාද! ඔහු ප්‍රමාද නොවී දේවදූතයා නියම කළ ලෙස මරියාව තමාගේ නිවසට ගෙන යනවා. ප්‍රසිද්ධියේ සිදු කරන මෙම ක්‍රියාවෙන් සංකේතවත් කරන්නේ යෝසෙප් හා මරියා දැන් නීත්‍යනුකූලව විවාහ වී සිටින බවයි. එය විවාහ මංගල්‍යයක් පැවැත්වීම හා සමාන ක්‍රියාවක්. එහෙත් යේසුස් ඉපදෙන තෙක්, යෝසෙප් මරියා සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැහැ.
දැන් මරියා දෙස බලන්න! ඇගේ දරුවා ලැබෙන්න දැන් කාලයයි. එහෙත් යෝසෙප් ඇයව බූරුවෙකු පිට නංවාගෙන ගමනක් යනවා. ඔවුන් දෙදෙනා යන්නේ කොහේටද? මරියාට දරුවා ලැබෙන්න ඔන්න මෙන්න තිබියදී ඔවුන් ගමනක් යන්නේ ඇයි? ලූක් 1:39-41, 56, NW; මතෙව් 1:18-25, NW; ද්විතීය කථාව 22:23, 24.
▪ මරියා ගැබ්ගෙන සිටින බව දැනගත් විට යෝසෙප්ට ඇති වන්නේ කෙබඳු හැඟීම්ද? ඒ ඇයි?
▪ ඔවුන් විවාහ වී නොසිටියත් මරියාව දික්කසාද කිරීමට යෝසෙප්ට හැක්කේ ඇයි?
▪ යෝසෙප් හා මරියාගේ විවාහ මංගල්‍යය සංකේතවත් කරන්නේ ප්‍රසිද්ධියේ කරන කුමන ක්‍රියාවකින්ද?