9වෙනි පරිච්ඡේදය
යේසුස්ගේ ළමා කාලය
යේසුස් හැදී වැඩෙන්නේ නාසරෙත්වලයි. නාසරෙත් කියන්නේ තරමක් කුඩා, ජනයාගේ අවධානයට ලක් නොවූ නගරයක්. එය පිහිටා තිබෙන්නේ අලංකාරවත් යෙශ්‍රෙයෙල් මිටියාවතට නුදුරින්, ගලීලය වශයෙන් හඳුන්වනු ලබන කඳුකර ප්‍රදේශයේයි.
යේසුස්ට වයස අවුරුදු දෙකක් පමණ වන විට යෝසෙප් හා මරියා ඔහුව ඊජිප්තුවේ සිට මෙතැනට ගෙනෙනවා. ඔහු මරියාට සිටින එකම දරුවා බව පැහැදිලියි. එහෙත් මෙම තත්වය වැඩි කල් යන්න කලින් වෙනස් වෙනවා. කල් යත්ම, මරියාටයි යෝසෙප්ටයි යාකොබ්, යෝසෙප්, සීමොන් සහ යූදස් යන පුතුන් පමණක් නොව දූවරුනුත් ලැබෙනවා. අන්තිමේදී, යේසුස්ට අඩුම තරමින් බාල සහෝදර සහෝදරියන් හයදෙනෙකුවත් සිටිනවා.
යේසුස්ට වෙනත් ඥාතීනුත් ඉන්නවා. කිලෝමීටර ගණනාවක් ඈත පිහිටි යුදයේ ජීවත් වන ඔහුගේ වැඩිමල් ඥාති සහෝදර යොහන් ගැන අපි දැනටමත් දන්නවා. නමුත් ගලීලයට වඩාත් කිට්ටුවෙන් සලෝමි නම් ඥාතියෙක් සිටිනවා. පෙනෙන විදිහට ඇය මරියාගේ සහෝදරියයි. සලෝමි විවාහ වී සිටින්නේ සෙබදී සමඟයි. ඉතින් ඔවුන්ගේ පුතුන් දෙදෙනා වන යාකොබ් සහ යොහන්, යේසුස්ගේ ඥාති සහෝදරයෝ. කුඩා කාලයේදී යේසුස් මෙම දරුවන් දෙදෙනා සමඟ කිට්ටු ආශ්‍රයක් පැවැත්වූවාද නැද්ද කියා අප දන්නේ නැති වුණත්, පසු කලෙක ඔවුන් කිට්ටුවෙන් ආශ්‍රය කළ බව නම් ස්ථිරයි.
ක්‍රමක්‍රමයෙන් විශාල වන තම පවුල නඩත්තු කිරීමට යෝසෙප්ට වෙහෙස මහන්සි වී වැඩ කරන්න වෙනවා. ඔහු වඩුවෙක්. යෝසෙප් යේසුස්ව හදා වඩා ගන්නේ තමාගේම පුත්‍රයා හැටියට නිසා යේසුස්ව හඳුන්වන්නේ “වඩුවාගේ පුතා” ලෙසයි. යෝසෙප් යේසුස්ට වඩු වැඩත් උගන්වන විට ඔහු එය දක්ෂ ලෙස ඉගෙනගන්නවා. පසු කලෙකදී මනුෂ්‍යයන් ඔහුව “වඩුවා” කියා හඳුන්වන්නේ ඒ නිසයි.
යෝසෙප්ගේ පවුල් ජීවිතය ගොඩනැඟී තිබෙන්නේ යෙහෝවා දෙවිගේ නමස්කාරය වටායි. දෙවිගේ නීතියට එකඟව, යෝසෙප් හා මරියා “ගෙයි හිඳින කලද මඟ යන කලද සයනය කරන කලද නැඟිටින කලද” තම දරුවන්ට ආත්මික උපදෙස් ලබා දෙනවා. නමස්කාර කිරීම සඳහා යෝසෙප් තම පවුල නිතිපතා නාසරෙත්වල තිබෙන සිනගෝගයට ගෙන යන බවට කිසිම සැකයක් නැහැ. නමුත් ඔවුන් උපරිම සතුටක් ලබන්නේ නිතිපතා යෙරුසලමේ පිහිටි යෙහෝවාගේ දේවමාලිගාවට යෑමෙන් බව නිසැකයි. මතෙව් 13:55, 56; 27:56; මාක් 15:40; 6:3; NW; ද්විතීය කථාව 6:6-9.
▪ අඩුම තරමින් යේසුස්ට බාල සහෝදර සහෝදරියන් කීදෙනෙක් සිටිනවාද? ඔවුන්ගෙන් සමහරදෙනෙකුගේ නම් මොනවාද?
▪ අප හොඳින් දන්නා යේසුස්ගේ ඥාති සහෝදරයන් තිදෙනා කවුද?
▪ කල් යත්ම යේසුස් කොයි වගේ වෘත්තියකද නියැලෙන්නේ? ඒ ඇයි?
▪ යෝසෙප් තම පවුලට සපයන්නේ කිනම් අතිවැදගත් උපදෙස්ද?