19වෙනි පරිච්ඡේදය
සමරිතානු ස්ත්‍රියකට ඉගැන්වීම
යුදයේ සිට ගලීලය වෙත යන අතරතුරේදී යේසුස් හා ඔහුගේ ගෝලයන් ගමන් කරන්නේ සමාරිය දිස්ත්‍රික්කය හරහායි. ගමනෙන් වෙහෙසට පත් වී සිටින නිසා ඔවුන් මධ්‍යාහ්නයේ පමණ සිකාර් නුවරේ ළිඳක් අසල නැවතී ගිමන් හරිනවා. මෙම ළිඳ හෑරුවේ සියවස් ගණනකට පෙර යාකොබ් විසිනුයි. අද පවා නවීන දින නැබ්ලස් නුවර අසල එය දැකගත හැකියි.
යේසුස් මෙහි විවේක ගන්න අතරතුරේදී ඔහුගේ ගෝලයන් ආහාර මිල දී ගැනීම සඳහා නුවරට යනවා. ඒ අතරතුරේදී සමරිතානු ස්ත්‍රියක් පැමිණෙනවා වතුර අදින්න. එවිට, “මට බොන්න වතුර ටිකක් දෙන්න” කියා ඔහු ඇගෙන් ඉල්ලා සිටිනවා.
සාමාන්‍යයෙන් යුදෙව්වරුන් හා සමරිතානුවන් අතර තියෙන මුල්බැසගත් අගතිය නිසා ඔවුන් එකිනෙකා සමඟ කොහෙත්ම කතා බහ කරන්නේ හෝ ගනු දෙනු කරන්නේ හෝ නැහැ. ඒ නිසා ස්ත්‍රිය මවිතයට පත් වෙලා, “යුදෙව්වෙකු වන ඔබ, සමරිතානු ස්ත්‍රියක වන මගෙන් බොන්න වතුර ටිකක් ඉල්ලන්නේ කොහොමද” යනුවෙන් යේසුස්ගෙන් අසනවා.
එවිට යේසුස් පිළිතුරු දෙන්නේ මෙසේයි. “‘මට බොන්න වතුර ටිකක් දෙන්න’ කියා ඔබට පවසන්නේ කවුද කියා ඔබ දැන සිටියා නම්, ඔබ ඔහුගෙන් ඉල්ලනවා ඇත. එවිට ඔහු ඔබට ජීවනදායක වතුර දෙනවා ඇත.”
“මහත්මයාණෙනි, වතුර අදින්න බාල්දියක්වත් ඔබට නැත. ළිඳත් ගැඹුරුය. එබැවින් ඔබට මේ ජීවනදායක වතුර කොහෙන්ද? මේ ළිඳ අපට දුන්නේ අපේ මුතුන්මිත්තා වන යාකොබ්ය. ඔහුද, ඔහුගේ පුත්‍රයෝද, ඔහුගේ සත්තුද මෙයින් බීවෝය. ඔබ ඔහුට වඩා උතුම්ද” කියා ඇය අසනවා.
එවිට යේසුස් පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “මේ වතුර බොන සියලුදෙනාටම නැවත පිපාසය ඇති වන්නේය. මා දෙන වතුර බොන කිසිවෙකුට කිසි කලක පිපාසය ඇති නොවන්නේය. නමුත් මා ඔහුට දෙන වතුර සදාකාල ජීවනය දෙන පිණිස, ඔහු තුළ වතුර උනන දිය උල්පතක් වන්නේය.”
“මහත්මයාණෙනි, මට ඒ වතුර දෙන්න. එවිට මට පිපාසය ඇති වන්නේවත් වතුර අදින්න මෙතැනට නිතර එන්න සිදු වන්නේවත් නැත” කියා ස්ත්‍රිය ප්‍රතිචාර දක්වනවා.
යේසුස් දැන් “ගොස් ඔබේ ස්වාමිපුරුෂයා කැඳවාගෙන මෙතැනට එන්න” කියා ඇයට පවසනවා.
එවිට ඇය පිළිතුරු දෙන්නේ “මට ස්වාමිපුරුෂයෙක් නැත” කියායි.
යේසුස් ඇය පැවසූ දේ නිවැරදියයි සනාථ කරමින් මෙසේ පවසනවා. “‘මට ස්වාමිපුරුෂයෙක් නැත’ යයි ඔබ පැවසුවා හරිය. මන්ද, ඔබට ස්වාමිපුරුෂයෝ පස්දෙනෙක් සිටියහ. ඔබ සමඟ දැන් සිටින තැනැත්තා ඔබේ ස්වාමිපුරුෂයා නොවේ.”
එවිට, “මහත්මයාණෙනි, ඔබ අනාගතවක්තෘවරයෙකු බව මට වැටහේ” කියා ස්ත්‍රිය පුදුමයෙන් පවසනවා. ඉන්පසු, ආත්මික දේවල් ගැන ඇයට තිබෙන උනන්දුව හෙළි කරමින් ඇය සඳහන් කරන්නේ මෙසේයි. සමරිතානුවන් “නමස්කාර කළේ මේ [අසල පෙනෙන්ට තිබෙන ගෙරිසිම්] කන්දේදීය. නමුත් ඔබ [යුදෙව්වරුන්] සැමෝම කියන්නේ ජනයා නමස්කාර කළ යුත්තේ යෙරුසලමේදී කියාය.”
එහෙත් යේසුස් පෙන්වන පරිදි වැදගත් වන්නේ නමස්කාර කරන ස්ථානය නොවෙයි. “සැබෑ නමස්කාර කරන්නන් විසින් පියාණන්ට ආත්මයෙන්ද සත්‍යතාවෙන්ද නමස්කාර කරන පැය පැමිණෙන්නේය. එය දැනටමත් පැමිණ තිබේ. සැබවින්ම පියාණන් තමන්ට නමස්කාර කරන පිණිස එබඳු අයව සොයන්නේය. දෙවි ආත්මයක්ය. ඔහුට නමස්කාර කරන්නන් ආත්මයෙන්ද සත්‍යතාවෙන්ද නමස්කාර කළ යුතුය” කියා ඔහු පවසනවා.
මෙම වචනවලින් ස්ත්‍රියට ගැඹුරු පැහැදීමක් ඇති වෙනවා. “ක්‍රිස්තුස් ලෙස හඳුන්වන මෙසියස් පැමිණෙන බව මම දනිමි. ඒ තැනැත්තා ආවාම කිසිවක් නොසඟවා සියල්ල අපට ප්‍රකාශ කරන්නේය” යනුවෙන් ඇය පවසනවා.
එවිට යේසුස්, “ඔබට කතා කරන මම ඔහුය” කියා ප්‍රකාශ කරනවා. ඒ ගැන සිතා බලන්න! මේ ස්ත්‍රිය වතුර ගැනීමට මධ්‍යාහ්නයේ පැමිණෙන්නේ ඇගේ ජීවන රටාව නිසා ඇයව හෙළා දකින නුවර ස්ත්‍රීන්ව මඟහැරීමට විය හැකියි. නමුත් පුදුමාකාර විධියකින් ඇය යේසුස්ගෙන් අනුග්‍රහය ලබනවා. ඔහු ඇයට ඍජුවම පවසන්නේ වෙන කිසිවෙකුට ප්‍රසිද්ධියේ නොපැවසූ යමක්. ඉන් ඇති වන ප්‍රතිඵලය කුමක්ද?
සමරිතානුවන් බොහෝදෙනෙක් විශ්වාස කරයි
ආහාර රැගෙන සිකාර් සිට ආපසු පැමිණෙද්දී ගෝලයන් දකිනවා යේසුස් යාකොබ්ගේ ළිඳ අසල සමරිතානු ස්ත්‍රියක් සමඟ කතා කරමින් සිටින බව. ගෝලයන් එතැනට පැමිණෙන විට ඇය වතුර කළය එහි දමා නුවරට යනවා.
යේසුස් ඇයට පැවසූ දේවල් ගැන දැඩි උනන්දුවක් ඇතුව නුවරේ වෙසෙන මනුෂ්‍යයන්ට ඇය පවසන්නේ මෙසේයි. “මා කළ සියල්ල මට පැවසූ මිනිසාව ඇවිත් බලන්න.” ඊළඟට, කුතුහලය අවුස්සන ආකාරයකින් ඇය මෙසේ අසනවා. “සමහරවිට මොහු ක්‍රිස්තුස් විය නොහැකිද?” එම ප්රශ්නය ඉදිරිපත් කිරීමෙන් එහි අරමුණ ඉටු වෙනවා. තමන්ගේ ඇස්වලින්ම යේසුස්ව දැකගැනීමට අවශ්‍ය නිසා දැන් මනුෂ්‍යයන් ඔහුව සොයා යනවා.
මේ අතරතුරේදී ගෝලයන් යේසුස්ට පෙරැත්ත කරනවා තමන් නුවරෙන් ගෙනා ආහාර අනුභව කරන්න කියා. එහෙත් ඔහු පිළිතුරු දෙන්නේ මෙසේයි. “ඔබ නොදන්නා කෑමක් කන්න මට තිබේ.”
‘වෙන කවුරුන් හෝ ඔහුට කෑමට යමක් ගෙනැවිත් දුන්නාද’ කියා ගෝලයන් එකිනෙකාගෙන් අසනවා. එවිට යේසුස් පැහැදිලි කරන්නේ මෙහෙමයි. “මාගේ කෑම නම් මා එවූ තැනැත්තාගේ කැමැත්ත කර, ඔහුගේ කාර්යය සම්පූර්ණ කිරීමය. අස්වැන්න නෙළීමට තව මාස හතරක් තිබේයයි ඔබ කියන්නේ නැද්ද?” එහෙත් ආත්මික අස්වැන්න නෙළීම කෙරෙහි අවධානය යොමු කරමින් යේසුස් මෙසේ පවසනවා. “ඔබේ ඇස් ඔසවා, අස්වැන්න නෙළීම සඳහා කෙත් සුදු පාටට තිබෙන හැටි බලන්න. දැනටමත්, කපන්නා කුලී ලබමින්, සදාකාල ජීවනය සඳහා පල රැස් කරමින් සිටියි. එසේ කරන්නේ වපුරන්නාත්, කපන්නාත් එක්ව ප්‍රීතිමත් වන පිණිසය.”
සමහරවිට සමරිතානු ස්ත්‍රිය සමඟ කළ ඔහුගේ සාකච්ඡාවෙන් ඇති වන උදාර බලපෑම යේසුස් දැනටමත් දකිනවා ඇති. එය නම් ඇගේ සාක්ෂිය නිසා බොහෝදෙනෙක් ඔහු කෙරෙහි ඇදහිල්ල තැබීමයි. නගරවාසීන්ට ඇය සාක්ෂි දරන්නේ මෙසේයි. “මා කළ සියල්ල ඔහු මට පැවසුවේය.” ඒ නිසා සිකාර් නුවරේ වෙසෙන මනුෂ්‍යයන් යේසුස් සිටින ළිඳ ළඟට පැමිණ ඔවුන්ට තවත් කියා දෙන ලෙස ඉල්ලා සිටිනවා. යේසුස් ආරාධනය පිළිගෙන දවස් දෙකක් එහි නැවතිලා ඉන්නවා.
සමරිතානුවන් යේසුස්ට සවන් දීමත් සමඟම තවත් බොහෝදෙනෙක් ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වනවා. එවිට ඔවුන් ස්ත්‍රියට පවසන්නේ මෙයයි. “දැන් අප අදහන්නේ ඔබේ කීම නිසා නොවේ. මන්ද අපම ඇසූ අතර, මේ මිනිසා ලෝකයේ ගැලවුම්කරු බව අපි ස්ථිරවම දන්නෙමු.” ක්‍රිස්තුස් ගැන සාක්ෂි දරද්දී අපේ සවන්දෙන්නන්ට ඔහු පිළිබඳව තවදුරටත් සෙවීමට කුතුහලය අවුස්සන ආකාරයෙන් සාක්ෂි දැරීම සම්බන්ධයෙන් සමරිතානු ස්ත්‍රිය අපට කදිම ආදර්ශයක් සපයන්නේ නැද්ද?
අස්වැන්න නෙළීමට, පෙනෙන විදිහට පලස්තීනයේ වසන්ත සමයේ බාර්ලි අස්වැන්න නෙළීමට තව මාස සතරක් තිබෙන බව මතකයට නඟන්න. ඉතිං එය දැන් නොවැම්බර් හෝ දෙසැම්බර් මාසය වෙන්න ඇති. මින් අදහස් කරන්නේ ක්‍රි.ව. 30 පාස්කුවෙන් පසු යේසුස් හා ඔහුගේ ගෝලයන් උගන්වමින් හා බව්තීස්ම කරමින් යුදයෙහි මාස අටක් පමණ ගත කළ බවයි. ඔවුන් දැන් තම ගම වන ගලීලය බලා පිටත් වෙනවා. ඔවුන් එතැනට යන විට සිදු වන්නේ කුමක්ද? යොහන් 4:3-43, NW.
▪ යේසුස් සමරිතානු ස්ත්‍රිය සමඟ කතා කරන විට ඇය පුදුම වන්නේ ඇයි?
▪ ජීවන වතුර හා නමස්කාර කළ යුතු ස්ථානය පිළිබඳව යේසුස් ඇයට උගන්වන්නේ කුමක්ද?
▪ තමා කවරෙක්ද යන වග යේසුස් ඇයට හෙළි කරන්නේ කොහොමද? මේ හෙළි කිරීම පුදුමසහගත දෙයක් වන්නේ ඇයි?
▪ සමරිතානු ස්ත්‍රිය සාක්ෂි දරන්නේ කෙසේද? එයින් ඇති වන ප්‍රතිඵලය කුමක්ද?
▪ යේසුස්ගේ ආහාරය අස්වැන්නට සම්බන්ධ වන්නේ කොහොමද?
▪ ක්‍රිස්තු වර්ෂ 30 පාස්කුවෙන් පසු යේසුස් යුදයේ කොපමණ කාලයක් සේවය කළාද යන්න ගණනය කළ හැක්කේ කොහොමද?