24වෙනි පරිච්ඡේදය
යේසුස් පොළොවට පැමිණි හේතුව
යේසුස් කපර්ණවුමේ තම ගෝලයන් සතරදෙනාත් සමඟ ගත කළ දවස කාර්යබහුල එකක්. එය අවසන් වුණේ සවස් වරුවේදී කපර්ණවුමේ මනුෂ්‍යයන් තම නිවෙස්වල සිටින සෑම රෝගියෙක්ම සුව කරගැනීම සඳහා ඔහු වෙතට රැගෙන ඒමත් සමඟයි. යේසුස්ට තනිව සිටීමට කාලයක් තිබුණෙම නැහැ.
දැන් පසුවදා හිමිදිරි පාන්දරයි. එළිය වැටෙන්න කලින් යේසුස් අවදි වී තනිවම පාළු තැනකට යනවා. එසේ කරන්නේ තම පියාට පෞද්ගලිකව යාච්ඤා කරන්න පුළුවන් වන ලෙසයි. එහෙත් යේසුස්ට තනිවම සිටින්න ලැබෙන්නේ සුළු වේලාවකට පමණයි. ඔහු නැති බව දකින විට පේතෘස් හා අනිත් අය ඔහුව සොයා එනවා.
යේසුස්ව සම්බ වූ විට පේතෘස් ඔහුට පවසන්නේ මෙසේයි. “සියලුදෙනාම ඔබව සොයති.” කපර්ණවුමේ මනුෂ්‍යයන් කැමති වන්නේ යේසුස් තමන් සමඟ නැවතී සිටිනවාටයි. යේසුස් ඔවුන් වෙනුවෙන් කර තිබෙන දේවල් ඔවුන් ඇත්තටම අගය කරනවා! නමුත් යේසුස් මූලික වශයෙන් පොළොවට පැමිණියේ ආශ්චර්යවත් සුව කිරීම් කරන්නද? මේ ගැන ඔහු පවසන්නේ කුමක්ද?
එක් බයිබල් වාර්තාවකට අනුව යේසුස් තම ගෝලයන්ට පිළිතුරු දෙන්නේ මෙසේයි. “අපි වෙන තැනකට යමු. අසල පිහිටි ගම්බද නුවරවලත් මා විසින් දේශනා කරන පිණිස එතැනට යමු. මන්ද මා පිටත්ව ආවේ මේ සඳහාය.” තමන් සමඟ නැවතී සිටින්න කියා මනුෂ්‍යයන් යේසුස්ට පෙරැත්ත කළත් ඔහු ඔවුන්ට මෙසේ පවසනවා. “මා වෙනත් නුවරවලදීත් දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කළ යුතුය. මන්ද, මාව එවන ලද්දේ ඒ සඳහාය.”
ඔව්, යේසුස් පොළොවට පැමිණියේ විශේෂයෙන්ම තම පියාගේ නාමය පිට පැමිණි කැළල ඉවත් කිරීමටත් සියලුම මනුෂ්‍ය ආපදා සදහටම තුරන් කිරීමටත් යන දෙවිගේ රාජ්‍යය පිළිබඳව දේශනා කිරීමටයි. එහෙත් තමාව එවන ලද්දේ දෙවි විසින් බව ඔප්පු කිරීමට යේසුස් ආශ්චර්යවත් සුව කිරීම්ද සිදු කරනවා. මේ ආකාරයටම, සියවස් ගණනකට පෙර මෝසෙස්ද දෙවිගේ සේවකයා වශයෙන් තමන්ගේ සුදුසුකම් සනාථ කිරීම සඳහා ප්රාතිහාර්යයන් සිදු කළා.
දැන් යේසුස් වෙනත් නුවරවලත් දේශනා කිරීම සඳහා ඔහුගේ ගෝලයන් සතරදෙනා කැටුව කපර්ණවුමෙන් පිටත් වී යනවා. මෙම සතරදෙනා නම් පේතෘස් හා ඔහුගේ සහෝදර අන්දෘ, යොහන් සහ ඔහුගේ සහෝදර යාකොබ්. ඊට සතියකට කලින්, යේසුස්ගේ මුල්ම සංචාරක හවුල් වැඩකරුවන් වීම සඳහා ඔවුන්ට ආරාධනයක් ලැබුණ බව ඔබට මතක ඇති.
තම ගෝලයන් සතරදෙනාත් සමඟ යේසුස් ගලීල ප්‍රදේශයේ කළ දේශනා සේවය විශිෂ්ට ආකාරයකින් සාර්ථක වෙනවා. ඇත්තෙන්ම, ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳ පුවත මුළු සිරියාව පුරාද පැතිර ගිහින්. ගලීලය, යුදය හා යොර්දාන් ගඟෙන් එගොඩ සිට පැමිණෙන මහත් සමූහයන් යේසුස් හා ඔහුගේ ගෝලයන් පසුපස යනවා. මාක් 1:35-39; ලූක් 4:42, 43; මතෙව් 4:23-25; NW; නික්මයාම 4:1-9, 30, 31.
▪ කපර්ණවුමේ යේසුස් ගත කළ කාර්යබහුල දවසට පසුවදා උදෑසන සිදු වන්නේ කුමක්ද?
▪ යේසුස්ව පොළොවට එව්වේ ඇයි? ඔහුගේ ප්රාතිහාර්යයන් මගින් ඉටු වන අරමුණ කුමක්ද?
▪ යේසුස් ගලීල ප්‍රදේශයේ දේශනා කිරීම සඳහා යන ගමනට හවුල් වන්නේ කවුරුන්ද? යේසුස්ගේ ක්‍රියාකාරකම්වලට ලැබෙන ප්‍රතිචාරය කුමක්ද?