29වෙනි පරිච්ඡේදය
සබත් දවසේදී යහපත් වැඩ කිරීම
දැන් ක්‍රි.ව. 31 වසන්ත සමයයි. යුදයේ සිට ගලීලයට ගිය ගමනේදී යේසුස් ළිඳ අසලදී සමාරියේ ස්ත්‍රිය සමඟ කතා කළ අවස්ථාවේ සිට දැන් මාස කීපයක් ගත වෙලා.
ගලීලය පුරාම ඉගැන්වීමෙන් පසු දැන් යේසුස් නැවත වරක් යුදයට ගොස් එහි සිනගෝගවල දේශනා කරනවා. කලින් පැවති පාස්කුවෙන් පසුව යුදයේ ගත කළ මාස කිහිපය පිළිබඳවත් මේ සංචාරය තුළදී ඔහු යුදයේ කරන දේවල් පිළිබඳවත් ඒ තරම්ම විස්තරයක් බයිබලයේ දී නැහැ. ඔහු ගලීලයේ කළ සේවය පිළිබඳව බයිබලයේ කර තිබෙන විස්තරයට වඩා මෙය හාත්පසින්ම වෙනස්. මින් පැහැදිලි වන්නේ ගලීලයේදී ලැබුණ තරම්ම හොඳ ප්‍රතිචාරයක් යුදයේදී නොලැබුණ බවයි.
වැඩි කල් යන්න කලින් යේසුස් ක්‍රි.ව. 31 පාස්කුවට සහභාගි වීම සඳහා යුදයේ අගනුවර වන යෙරුසලමට ගමන් කරනවා. නුවරේ බැටළු දොරටුව ළඟ බෙත්සාතා නම් වූ පොකුණක් දැකගත හැකියි. එතැනට අසනීප, අන්ධ සහ කොර මිනිසුන් බොහෝදෙනෙක් පැමිණෙනවා. ඔවුන් විශ්වාස කරන්නේ පොකුණේ වතුර කැලඹෙන විට එය තුළට බැස්සොත් මනුෂ්‍යයන්ට සුවය ලැබිය හැකි බවයි.
මෙය සබත් දවසක්. යේසුස් දකිනවා වසර 38ක් පුරා රෝගීව සිටි මනුෂ්‍යයෙක් පොකුණ ළඟ සිටිනවා. ඒ තැනැත්තා සෑහෙන්න කාලයක් තිස්සේ අසනීපව සිටින බව දැන ‘ඔබ සනීප වෙන්න කැමතිද’ කියා යේසුස් ඔහුගෙන් අසනවා.
ඔහු යේසුස්ට පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “මහත්මයාණෙනි, වතුර කැලඹෙන විට මාව පොකුණට බස්සවන්න කිසිවෙක් නැත. මා යද්දී, මට කලින් වෙන කෙනෙක් බසින්නේය.”
යේසුස් ඔහුට මෙහෙම පවසනවා. “නැඟිට, ඔබේ යහනත් රැගෙන ඇවිදින්න.” එවෙලේම සුවය ලබන ඒ මිනිසා තම යහන රැගෙන ඇවිදින්න පටන්ගන්නවා!
එහෙත් යුදෙව්වන් ඔහුව දකින විට ඔවුන් පවසන්නේ මෙහෙමයි. “මේ සබත් දවසක්ය. ඔබ යහන උසුලාගෙන යෑම නීති විරෝධීයි.”
ඒ මනුෂ්‍යයා ඔවුන්ට පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “මාව සනීප කළ තැනැත්තාම, ‘ඔබේ යහන රැගෙන ඇවිදින්න’ කියා මට කීවේය.”
“‘එය රැගෙන ඇවිදින්න’ කියා ඔබට පැවසූ මිනිසා කවුද” කියා ඔවුන් අසනවා. සෙනඟ නිසා යේසුස් එතැනින් ඉවත් වෙලා ගිහින්. සුවය ලැබූ මනුෂ්‍යයා යේසුස්ගේ නමවත් දන්නේ නැහැ. එහෙත් පසුව දේවමාලිගාවේදී යේසුස්ව මුණගැසෙන විට තමාව සුව කළේ කවුද කියා ඒ මනුෂ්‍යයා දැනගන්නවා.
ඉතිං සනීප වූ මනුෂ්‍යයා යුදෙව්වන්ව හමු වී තමාව සුව කළේ යේසුස් බව කියනවා. මෙය දැනගත් විට යුදෙව්වන් යනවා යේසුස්ව හමු වෙන්න. ඒ ඇයි? ඔහු මේ පුදුමාකාර දේවල් කරන්නේ කොහොමද කියා දැනගැනීමටද? නැහැ. ඔවුන් යන්නේ මේ යහපත් දේවල් සබත් දවසේදී කරන නිසා ඔහුට දොස් පවරන්නයි. ඔවුන් යේසුස්ට පීඩා කරන්නත් පටන්ගන්නවා! ලූක් 4:44; යොහන් 5:1-16, NW.
▪ යේසුස් යුදයට ගිය අන්තිම වතාවේ සිට කොපමණ කාලයක් ගත වී තිබෙනවාද?
▪ බෙත්සාතා ලෙස හඳුන්වන පොකුණ එතරම් ජනප්‍රිය ඇයි?
▪ පොකුණ අසලදී යේසුස් සිදු කරන ප්රාතිහාර්යය කුමක්ද? ඒ සම්බන්ධව යුදෙව්වන්ගේ ප්‍රතිචාරය කුමක්ද?