35වෙනි පරිච්ඡේදය
මෙතෙක් කර ඇති සුප්‍රකටම දේශනය
දැන් අප ඉදිරියේ දිස් වන්නේ බයිබල් ඉතිහාසයෙන් සදා නොමැකෙන දසුනක්. යේසුස් කන්දක් උඩ වාඩි වී තම සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනය ඉදිරිපත් කරමින් සිටිනවා. ඔහු සිටින්නේ සමහරවිට කපර්ණවුමට නුදුරින් පිහිටි ගලීල මුහුද අසලයි. යේසුස් මුළු රාත්‍රියේම යාච්ඤා කිරීමෙන් අනතුරුව ප්‍රේරිතයන් වීම සඳහා දැන් තම ගෝලයන් අතරින් 12දෙනෙකුව තෝරාගන්නවා. ඊළඟට ඔවුන් සියලුදෙනා සමඟම ඔහු ඇවිදගෙන එනවා කන්දේ සමතලා භූමියකට.
මේ වන විට යේසුස් හොඳටම මහන්සි වී සිටිනවා කියාත් ඔහුට ටික වේලාවක් නිදාගන්න අවශ්‍යව ඇති කියාත් ඔබ සිතනවා ඇති. නමුත් කිලෝමීටර් 100ක සිට 115ක පමණ දුර කතරක් ගෙවාගෙන යුදයෙන් හා යෙරුසලමෙන් විශාල සෙනඟක් එතැනට පැමිණ සිටිනවා. තවත් සමහර අය පැමිණ සිටින්නේ උතුරට වෙන්න පිහිටා තිබෙන තීර් සහ සීදොන් මුහුදු තීරයේ සිටයි. ඔවුන් පැමිණ සිටින්නේ යේසුස්ට සවන් දීමට හා තම අසනීප සුව කරගැනීමටයි. ඔවුන් අතරේ සාතන්ගේ දුෂ්ට දූතයන් හෙවත් භූතයන්ගෙන් පීඩා විඳින අයද සිටිනවා.
යේසුස් කඳු බෑවුමෙන් ටිකක් පහළට බහිද්දී ඔහුව ස්පර්ශ කිරීම සඳහා ඔහු වටා එක් රොක් වන රෝගීන් සියලුදෙනාවම ඔහු සුව කරනවා. පෙනෙන ආකාරයට, යේසුස් ඉන්පසු කන්දේ වඩා ඉහළ ස්ථානයකට නඟිනවා. ඔහු එතැන වාඩි වී ඔහු ඉදිරියේ සමතලා භූමියේ විසිරී සිටින සෙනඟට උගන්වන්න පටන්ගන්නවා. මේ ගැන ටිකක් සිතා බලන්න! සෙනඟ අතරේ බරපතළ ආබාධයකින් පෙළෙන කිසි කෙනෙක් නැහැ!
මේ පුදුමාකාර ප්‍රාති-හාර්යයන් සිදු කිරීමට බලය තිබෙන ගුරුවරයාට සවන් දීමට සෙනඟ සිටින්නේ පුදුම ආශාවකිනුයි. එහෙත් යේසුස් ප්‍රධාන වශයෙන්ම තම දේශනය ඉදිරිපත් කරන්නේ තම ගෝලයන්ගේ ප්‍රයෝජනය සඳහායි. සමහරවිට ඔහු ළඟින්ම වාඩි වී සිටින්නේ ඔහුගේ ගෝලයන් වෙන්න ඇති. එහෙත් අපටත් එම දේශනයෙන් ප්‍රයෝජන ලබාගත හැකි වන පිණිස මතෙව් සහ ලූක් එය වාර්තා කර තිබෙනවා.
මතෙව් දේශනය පිළිබඳව කරන වාර්තාව ලූක්ගේ වාර්තාවට වඩා හතර ගුණයක් දිගයි. ඒ වගේම, මතෙව් වාර්තා කරන සමහර දේවල් ලූක් වාර්තා කරන්නේ යේසුස් තම සේවයේ වෙනත් අවස්ථාවකදී පැවසූ වදන් හැටියටයි. මතෙව් 6:9-13 සමඟ ලූක් 11:1-4ද, මතෙව් 6:25-34 සමඟ ලූක් 12:22-31ද සැසඳීමෙන් මෙය දැකගත හැකියි. එහෙත් මෙය පුදුම වීමට හේතුවක් නොවෙයි. යේසුස් එකම දේ කිහිප වතාවක්ම ඉගැන්වූ බවට සැකයක් නැහැ. එමෙන්ම ලූක් මේ සමහර ඉගැන්වීම් වාර්තා කිරීමට තෝරාගත්තේ වෙනත් අවස්ථාවකදී ඉගැන්වූ ඒවා ලෙසයි.
යේසුස්ගේ දේශනය එතරම්ම වටින්නේ එහි ඇතුළත් ගැඹුරු ආත්මික කරුණු නිසා පමණක්ම නොවෙයි. එම සත්‍යයන් ඉදිරිපත් කිරීමට ඔහු භාවිත කරන සරල හා පැහැදිලි භාෂාවත් එයට හේතු වෙනවා. එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය අද්දැකීම් ඔහු ප්‍රයෝජනයට ගන්නවා වගේම ඔහු භාවිත කරන්නේ මනුෂ්‍යයන් හොඳින් දන්නා උදාහරණ. ඒ නිසා, දෙවිගේ මාර්ගය තුළ වඩා හොඳ ජීවිතයක් සෙවීමට උත්සුක වන සියලුදෙනාටම ඔහුගේ අදහස් පහසුවෙන්ම තේරුම්ගත හැකියි.
සැබෑ සන්තෝෂය අද්දකින්නේ කවුද?
අප සියලුදෙනාම කැමති සන්තෝෂයෙන් සිටින්න. මෙය වටහාගෙන සිටින යේසුස් තම කන්ද උඩ දේශනය අරඹන්නේ සැබෑ සන්තෝෂය අද්දකිමින් සිටින අය පිළිබඳව විස්තරයක් කරමිනුයි. අපිට සිතාගත හැකි ලෙසම, මෙය ඉක්මනටම ඔහුට සවන් දෙන විශාල ශ්‍රාවක පිරිසගේ අවධානය ඇදගන්නවා. එහෙත් ඔහුගේ ආරම්භක වචන තුළ එකිනෙකට පරස්පර විරෝධී අදහස් තිබෙන බව බොහෝදෙනෙකුට හැඟෙන්න පුළුවන්.
තම ගෝලයන්ට කතා කරමින් යේසුස් මෙසේ දේශනය ආරම්භ කරනවා. ‘දිලිඳු වූ ඔබ සන්තෝෂවත්ය. මන්ද දෙවිගේ රාජ්‍යය ඔබගේය. දැන් කුසගින්නෙන් සිටින ඔබ සන්තෝෂවත්ය. මන්ද ඔබ තෘප්තිමත් වන්නහුය. දැන් හඬන ඔබ සන්තෝෂවත්ය. මන්ද ඔබ සිනාසෙන්නහුය. මනුෂ්‍ය පුත්‍රයා නිසා මිනිසුන් ඔබට වෛර කරන විට . . . ඔබ සන්තෝෂවත්ය. ඒ දවසේදී ප්‍රීති වන්න. ප්‍රීතියෙන් ප්‍රමෝද වන්න. මන්ද, ස්වර්ගයෙහි ඔබට තිබෙන විපාකය මහත්ය.’
යේසුස් දේශනය ආරම්භ කරන ආකාරය ලූක් වාර්තා කරන්නේ මේ ආකාරයටයි. නමුත් මතෙව්ගේ වාර්තාවට අනුව මෘදු ගුණැති, දයාවන්ත, නිර්මල සිත් ඇති සහ සාමය ඇති කරන අයත් සන්තෝෂවත් බව යේසුස් පවසනවා. යේසුස් සඳහන් කරන ආකාරයට ඔවුන් පොළොව උරුම කරගන්නා නිසාත්, ඔවුන්ට දයාව පෙන්වනු ලබන නිසාත්, දෙවිව දකින නිසාත්, දෙවිගේ පුත්‍රයන් වශයෙන් හඳුන්වනු ලබන නිසාත් ඔවුන් සන්තෝෂවත් වෙනවා.
නමුත් සන්තෝෂවත් වීම යනුවෙන් යේසුස් අදහස් කරන්නේ නිකම්ම විනෝද වන විට ඇති වන හාස්‍යජනක සතුට හෝ ප්‍රීතිය නොවෙයි. සැබෑ සන්තෝෂය ඊට වඩා ගැඹුරු දෙයක්. ජීවිතය ගැන සෑහීමකට පත්වීම හා තෘප්තියට පත්වීම යන අදහස් එතුළ ගැබ් වී තිබෙනවා.
ඉතිං, ඇත්තටම සන්තෝෂයෙන් සිටින්නේ තමන්ගේ ආත්මික අවශ්‍යතාව වටහාගෙන, තමන්ගේ පව්කාර තත්වය ගැන දුක් වී, දෙවිව දැනහඳුනා ගෙන ඔහුට සේවය කරන අය කියා යේසුස් පෙන්වා දෙනවා. දෙවිගේ කැමැත්ත කිරීම නිසා ඔවුන් අනුන්ගේ වෛරයට පාත්‍ර වුණත් පීඩාවලට ලක් වුණත් තමන් දෙවිව සතුටු කරන බවත් සදාකාල ජීවනය නමැති ඔහු දෙන දීමනාව තමන්ට ලැබෙන බවත් දන්නා නිසා ඔවුන් සන්තෝෂයෙන් සිටිනවා.
එහෙත් අද දින සිටින ඇතමෙක් හා සමානව යේසුස්ට සවන් දෙන බොහෝදෙනෙක් විශ්වාස කරන්නේ සන්තෝෂය ලබාගන්න නම් සැප සම්පත්වලින් අඩුවක් නැති විනෝදකාමී ජීවිතයක් ගත කරන්න අවශ්‍ය බවයි. එහෙත් යේසුස් දන්නවා එය සත්‍යයක් නොවෙයි කියා. ඔහු දැන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස්වලින් යුත් ප්‍රකාශයක් කරනවා. සමහරවිට එම ප්‍රකාශවලින් ඔහුට සවන් දෙන බොහෝදෙනෙකු මවිතයට පත් වෙනවා ඇති.
‘ධනවත් වූ ඔබට දුක් වේ. මන්ද දැනටමත් ඔබට සම්පූර්ණයෙන්ම සැනසීම ලැබී තිබේ. දැන් තෘප්තිමත්ව සිටින ඔබට දුක් වේ. මන්ද ඔබට කුසගිනි වනු ඇත. දැන් සිනාසෙමින් සිටින ඔබට දුක් වේ. මන්ද ඔබ හඬා වැලපෙනු ඇත. සියල්ලන් ඔබේ ගුණ කියන විට ඔබට දුක් වේ. මන්ද ඔවුන්ගේ මුතුන්මිත්තෝ බොරු අනාගතවක්තෘවරුන්ට මේ හා සමාන දේවල් කළහ.’
යේසුස් කියන දෙයින් අදහස් කරන්නේ කුමක්ද? ධනවත්ව සිටීම, සිනාසෙමින් විනෝදය ලුහුබැඳීම හා මනුෂ්‍යයන්ගේ ගරුනම්බු ලැබීම දුක ගෙන දෙන්නේ ඇයි? යමෙකුට මේ දේවල් තිබෙන විට හා ඒවා ඉතා අනර්ඝ කොට සලකන විට සැබෑ සන්තෝෂය ගෙන දෙන්නාවූ එකම දෙය වන දෙවිගේ සේවය ඔහුගේ ජීවිතයෙන් ඈත් වන නිසයි. අනික් අතට, යමෙකු දිලිඳුව, කුසගින්නෙන් හා හඬා වැලපෙමින් සිටින පමණින්ම ඔහුට සන්තෝෂය අත් වන බව යේසුස් අදහස් කළේ නැහැ. එහෙත් බොහෝවිට එවැනි කනගාටුදායක තත්වයන්ට මුහුණ දෙන අය යේසුස්ගේ ඉගැන්වීම්වලට ප්‍රතිචාරය දැක්විය හැකියි. එමගින් සැබෑ සන්තෝෂය අත් කරගැනීමේ ආශීර්වාදය ඔවුන්ට හිමි වෙනවා.
යේසුස් ඊළඟට තම ගෝලයන් අමතමින් මෙසේ පවසනවා. “ඔබ පොළොවේ ලුණුය.” ඔවුන් වචනානුසාරයෙන්ම ලුණු බව ඔහු අදහස් කරන්නේ නැති බව නොකිවමනායි. ලුණු සංරක්ෂිත ද්‍රව්‍යයක්. ඒ වගේම, යෙහෝවාගේ දේවමාලිගාවේ පූජාසනය අසල විශාල ලුණු ගොඩක් තිබුණා. එහි සේවය කරමින් සිටි පූජකයන් එයින් ලුණු ටිකක් අරගෙන පූජාවලට එකතු කළා.
යේසුස්ගේ ගෝලයන් “පොළොවේ ලුණු” වන්නේ සංරක්ෂිත ද්‍රව්‍යයක් වන ලුණු හා සමාන බලපෑමක් ඔවුන් මනුෂ්‍යයන් කෙරෙහි ඇති කරන නිසයි. ඇත්තෙන්ම ඔවුන්ගේ පණිවිඩයට ප්‍රතිචාරය දක්වන සියලුදෙනාගේම ජීවිත ආරක්ෂා වෙනවා! එමගින් විඳදරාගැනීම, පක්ෂපාතකම සහ විශ්වාසවන්තකම වැනි ගුණාංග ඔවුන්ගේ ජීවිත තුළ වර්ධනය කිරීමට ඔවුන් පෙලඹෙන අතර ඔවුන් තුළ ආත්මික හා සදාචාරමය දූෂ්‍ය වීමක් ඇතිවීම වළක්වනවා.
යේසුස් ඔහුගේ ගෝලයන්ට තවදුරටත් පවසන්නේ “ලෝකයේ ආලෝකය ඔබයි” කියායි. පහනක් තබන්නේ පහන් රුකක් උඩ මිසක එය බඳුනකින් වසා තබන්නේ නැහැ. ඉතිං යේසුස් මෙසේ පවසනවා. “එලෙසම, ඔබේ ආලෝකය මිනිසුන් ඉදිරියෙහි බබළවන්න.” යේසුස්ගේ ගෝලයන් මෙසේ කරන්නේ ප්‍රසිද්ධියේ සාක්ෂි දැරීමෙන් හා බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව හැසිරෙමින් බබළන ආදර්ශ වීම තුළිනුයි.
තම අනුගාමිකයන් සඳහා උසස් ප්‍රමිතියක්
ආගමික නායකයන් යේසුස්ව සලකන්නේ දෙවිගේ නීතිය කඩ කරන්නෙක් වශයෙනුයි. ඔහුව මරා දැමීමට පවා ඔවුන් මෑතකදී කුමන්ත්‍රණය කර තිබෙනවා. ඉතිං යේසුස් තම කන්ද උඩ දේශනය ඉදිරිපත් කරද්දී මෙලෙස පහදා දෙනවා. “මා ආවේ අනාගතවාක්‍යය හෝ නීතිය නැති කර දමන්නයයි නොසිතන්න. මා ආවේ එය සම්පූර්ණ කිරීමට මිස නැති කර දැමීමට නොවේ.”
දෙවිගේ නීතිය සඳහා යේසුස්ට ඇත්තේ ඉතා ගැඹුරු ගෞරවයක්. ඒ වගේම ඔහු අන්‍යයන්ට උනන්දු කරන්නේත් එවැනි ගෞරවයක් ඇති කරගන්න කියායි. ඔහු මෙහෙමත් පවසනවා. ‘මේ ආඥාවලින් ඉතා සුළු එකක්වත් කඩ කරන හෝ කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන ඕනෑම කෙනෙකු, ස්වර්ග රාජ්‍යය සම්බන්ධයෙන් බලද්දී, ඔහු “සුළුම තැනැත්තා” යයි කියනු ලැබේ.’ ඇත්තෙන්ම, එයින් අදහස් කරන්නේ එවැනි කෙනෙක් කිසි සේත් රාජ්‍යයට ඇතුල් නොවන බවයි.
දෙවිගේ නීතිය කඩ කිරීමට මඟ පාදන ආකල්ප පවා හෙළා දකින යේසුස් එය කිසිවිටෙකවත් නොසලකා හරිනවා කියා නම් පැවසිය නොහැකියි. “ඔබ මිනී නොමැරිය යුතුයි” කියා නීතියේ පවසන බව සඳහන් කරමින් යේසුස් තවදුරටත් මෙසේ පවසනවා. “එහෙත්, මම ඔබට මෙසේ කියමි: තම සහෝදරයා සමඟ දිගින් දිගටම කෝපයෙන් සිටින සෑම කෙනෙකුම අධිකරණයට වගකිව යුතුය.”
සෙසු ආශ්‍රිතයන් සමඟ කෝපයෙන් සිටීම සමහරවිට මිනී මැරීමට පවා තුඩු දිය හැකි තරමටම බරපතළ වන නිසා සාමය ඇති කරගැනීමට කොතරම් දුරට වෙහෙසිය යුතුද යන්න පිළිබඳව යේසුස් නිදර්ශනයකින් පෙන්වා දෙනවා. ඔහු උගන්වන්නේ මෙසේයි. “ඔබේ පඬුර පූජාසනය වෙත ගෙන එන කල, ඔබට විරුද්ධව ඔබේ සහෝදරයාට යම් කාරණාවක් ඇති බව එහිදී ඔබට සිහි වේ නම්, පඬුර පූජාසනය ඉදිරිපිට තබා ගොස් පළමුවෙන් ඔබේ සහෝදරයා හා සමාදාන වන්න. ඉන්පසු ඔබ ඇවිත් පඬුර ඔප්පු කරන්න.”
දස පනතේ සත්වන පනතට අවධානය යොමු කරමින් යේසුස් තවදුරටත් මෙසේ පවසනවා. “‘පරදාර සේවනය නොකළ යුතුයි’ කී බව ඔබ අසා ඇත.” කෙසේවුවද, පරදාර සේවනයට හේතු විය හැකි නිරන්තර නැඹුරුවාවන් හෝ ආකල්පයන් පවා යේසුස් හෙළා දකිමින් මෙසේ කියනවා. ‘එහෙත් කාම ආශාවක් ඇති වන ලෙසින් ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලා සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් ඇය සමඟ සිතින් පරදාර සේවනයේ යෙදී ඇති බව මම ඔබට කියමි.’
යේසුස් මෙහිදී කතා කරමින් සිටින්නේ ක්ෂණිකව පහළ වන දුරාචාරමය සිතුවිල්ලක් ගැන නොවෙයි, ‘දිගින් දිගටම බලා සිටීම’ ගැනයි. එසේ දිගින් දිගටම බලා සිටින විට කාමරාගය ප්‍රවර්ධනය වන අතර අවස්ථාවක් උදා වූ විට එය පරදාර සේවනයට මඟ පෑදිය හැකියි. මෙවැනි දෙයක් සිදුවීම යමෙකුට වැළැක්විය හැක්කේ කෙසේද? ඒ සඳහා දැඩි පියවර ගැනීමට අවශ්‍ය විය හැකි බව පැහැදිලි කරමින් යේසුස් මෙසේ පවසනවා. “ඔබේ දකුණු ඇස ඔබව බාධාවට පත් කරන්නේ නම්, එය උගුලා අහකට විසි කරන්න. . . . ඔබේ දකුණත ඔබව බාධාවට පත් කරන්නේ නම්, එය කපා අහකට විසි කරන්න.”
මනුෂ්‍යයන් බොහෝවිට තමන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා ශරීරයේ රෝගී වූ අවයවයක් ඉවත් කිරීමට කැමැත්තක් දක්වනවා. එහෙත් යේසුස් පවසන පරිදි, දුරාචාර සිතුවිලි සහ ක්‍රියා මඟහැරීම සඳහා ඕනෑම දෙයක්, එනම් ඇසක් හෝ අතක් තරම් අනර්ඝ දෙයක් පවා ‘අහකට විසි කිරීම’ ඊටත් වඩා වැදගත්. එසේ නොකරන්නේ නම්, සදාකාල විනාශය සංකේතවත් කරන (යෙරුසලම අසල පිලිස්සෙමින් පවතින කසළ ගොඩක් වන) ගෙහෙන්නාවට එවැනි අයව විසි කරන බව යේසුස් පැහැදිලි කරනවා.
යේසුස් සාකච්ඡා කරන තවත් දෙයක් වන්නේ අපට අනතුරු කරන හා හිරිහැර කරන පුද්ගලයන් සමඟ කටයුතු කළ යුතු ආකාරය ගැනයි. ඔහු උපදෙස් දෙන්නේ මෙහෙමයි. “දුෂ්ට තැනැත්තාට විරුද්ධ නොවන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුලද හරවන්න.” ප්‍රහාරයකට ලක් වුණ යමෙක් තමාව හෝ තම පවුල ආරක්ෂා නොකළ යුතු බව යේසුස් මෙයින් අදහස් කරන්නේ නැහැ. කම්මුල් පහරක් ගසන්නේ යමෙකුට නින්දා කිරීමට මිස ශාරීරික අනතුරක් කිරීමට නොවෙයි. ඉතිං යේසුස් මෙයින් අදහස් කරන්නේ යමෙක් වචනාර්ථයෙන්ම කම්මුල් පහරක් ගැසීමෙන් හෝ හිත පාරන නින්දාසහගත වචනවලින් පහර දෙමින් දබරයක් ඇවිස්සීමට උත්සාහ කරනවා නම්, එකට එක කිරීම වරදක් වන බවයි.
තම අසල්වැසියාට ප්‍රේම කරන්න යන දේවනීතියට අවධානය යොමු කිරීමෙන් පසු යේසුස් මෙසේ සඳහන් කරනවා. “එහෙත් මම ඔබට කියමි: ඔබේ සතුරන්ට නොකඩවා ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න.” එසේ කිරීම සඳහා ප්‍රබල හේතුවක් සපයමින් ඔහු තවදුරටත් මෙසේ පවසනවා. “ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයන් බව ඔප්පු කරන පිණිස මෙසේ කරන්න. මන්ද ඔහු දුෂ්ටයන්ටත් යහපතුන්ටත් තම හිරු උදා කරවන්නේය.”
තම දේශනයේ මේ කොටස අවසන් කරමින් යේසුස් මෙසේ උපදෙස් දෙනවා. “ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් පරිපූර්ණව සිටින්නා සේම ඔබද පරිපූර්ණව සිටිය යුතුය.” මනුෂ්‍යයන්ට සියයට සියයක් පරිපූර්ණ විය හැකි බව යේසුස් මින් අදහස් කරන්නේ නැහැ. ඒ වෙනුවට, සතුරන්ට පවා ප්‍රේම කිරීම දක්වා තම ප්‍රේමය පුළුල් කිරීමෙන් දෙවිව අනුකරණය කරන්න ඔවුන්ට හැකියි. යේසුස්ගේ එම වදන් ලූක්ගේ වාර්තාවේ සඳහන් වන්නේ මෙසේයි. “ඔබේ පියාණන් දයාන්විතව සිටින්නාක් මෙන් ඔබත් නොකඩවා දයාන්විතව සිටින්න.”
යාච්ඤාව සහ දෙවි කෙරෙහි විශ්වාසය
තම දේශනය දිගටම කරගෙන යද්දී, අනිත් අයගේ අවධානය ඇදගැනීමේ චේතනාවෙන් භක්තිවන්ත ක්‍රියා කරන මනුෂ්‍යයන්ගේ කුහකකම යේසුස් හෙළා දකිමින් මෙසේ පවසනවා. ‘ඔබ පරිත්‍යාගයන් කරන විට, කුහකයන් සිදු කරන්නාක් මෙන් ඔබට පෙරටුවෙන් හොරණෑවක් නොපිඹින්න.’
යේසුස් තවදුරටත් මෙසේද පවසනවා. “තවද, ඔබ යාච්ඤා කරන විට, කුහකයන් කරන්නාක් මෙන් නොකරන්න. මන්ද මිනිසුන්ට පෙනෙන පිණිස, සිනගෝගවලදීත් මං සන්ධිවලදීත් සිටගෙන යාච්ඤා කිරීමට ඔවුහු ප්‍රිය වෙති.” ඒ වෙනුවට ඔහු උපදෙස් දෙන්නේ මෙසේ කිරීමටයි. “ඔබ යාච්ඤා කරන විට, ඔබේ පෞද්ගලික කාමරයට ගොස් දොර වසාගෙන රහසිගතව සිටින ඔබේ පියාණන්ට යාච්ඤා කරන්න.” යේසුස් පවා ප්‍රසිද්ධියේ යාච්ඤා කළ නිසා ඔහු එවැනි යාච්ඤා හෙළා දකින්නේ නැහැ. ඔහු හෙළා දකින්නේ අන්‍යයන්ගේ සිත් ඇදගැනීමට හා ඔවුන්ගේ ප්‍රශංසාවත් ගෞරවයත් ලැබීමට කියන යාච්ඤායි.
යේසුස් තවදුරටත් මෙසේ උපදෙස් දෙනවා. “යාච්ඤා කරන විට, අන්‍යජාතීන් මෙන් එකම දේ නැවත නැවතත් නොකියන්න.” යම් දෙයක් නැවත නැවත පැවසීමම වැරදි බව යේසුස් මින් අදහස් කළේ නැහැ. වරක් යාච්ඤා කරන විට, ඔහු පවා ‘එකම වචනය’ කිහිප වතාවක්ම භාවිත කළා. එහෙත් ඔහු හෙළා දකින්නේ කොන්තය භාවිත කරමින් යාන්ත්‍රිකව යාච්ඤා කියන අය මෙන් කටපාඩම් කළ වාක්‍ය ඛණ්ඩ “නැවත නැවත” කීමයි.
තම සවන් දෙන්නන්ට යාච්ඤා කරන හැටි පෙන්වා දීම සඳහා අයැදීම් සතක් ඇතුළත් ආදර්ශ යාච්ඤාවක් යේසුස් ඔවුන්ට උගන්වනවා. පළමු අයැදීම් තුන ඉතා යෝග්‍ය ලෙස අවධානය යොමු කරවන්නේ දෙවිගේ පරමාධිපත්‍යයට හා ඔහුගේ අරමුණු වෙතටයි. ඒවා දෙවිගේ නාමය විශුද්ධ කිරීමට, ඔහුගේ රාජ්‍යය පැමිණීමට හා ඔහුගේ කැමැත්ත සිදු කිරීමට කරන ඉල්ලීම්. ඉතිරි අයැදීම් සතර පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් කරන ඉල්ලීම්. ඒවා දෛනික ආහාර, පව්වලට සමාව ලැබීම, විඳදරාගත නොහැකි තරමට පරීක්ෂා කිරීමට ඉඩ නොදීම සහ නපුරාගෙන් ගලවාගැනීම හා සම්බන්ධයි.
ඊට පස්සේ, ද්‍රව්‍යමය දේවල් කෙරෙහි අනවශ්‍ය අවධානයක් යොමු කිරීමේ මලපත ගැන යේසුස් සඳහන් කරනවා. ඔහු උනන්දු කරන්නේ මෙසේයි: “මෙලොවෙහි ඔබට වස්තු රැස් කරගැනීම නතර කරන්න. මන්ද, මලකඩද කාවෝද ඒවා නාස්ති කරති. සොරුද කඩා වැද ඒවා සොරාගනිති.” එවැනි වස්තු විනාශ වීමට පුළුවන්. ඒ විතරක් නොවෙයි, දෙවිගේ අනුමැතිය දිනාගැනීම සඳහා ඒවා කිසි සේත් ප්‍රයෝජනවත් වන්නේ නැහැ.
එමනිසා, යේසුස් මෙසේ පවසනවා. “ඒ වෙනුවට, ස්වර්ගයෙහි ඔබට වස්තු රැස් කරගන්න.” මෙය කළ හැක්කේ දෙවිගේ සේවය ඔබගේ ජීවිතයේ පළමු තැනට දැමීමෙනුයි. එමගින් දෙවි සමඟ ඇති කරගන්නා හොඳ නම හෝ එතුළින් ලැබෙන උතුම් දීමනා කිසිවෙකුට පැහැරගත නොහැකියි. ඊළඟට යේසුස් මෙසේ පවසනවා. “ඔබේ වස්තුව කොතැනද, ඔබේ සිතත් එතැනම වන්නේය.”
තවදුරටත් ද්‍රව්‍යවාදයේ මලපත ගැන සඳහන් කරමින් යේසුස් මෙම උපමාව කියා දෙනවා. “ශරීරයේ පහන නම් ඇසය. එබැවින් ඔබේ ඇස සරල නම්, ඔබේ මුළු ශරීරය දීප්තිමත් වන්නේය. නමුත් ඔබේ ඇස දුෂ්ට නම්, ඔබේ මුළු ශරීරය අඳුරු වන්නේය.” නිසි ලෙස ක්‍රියා කරන ඇසකින් ශරීරයට ලැබෙන ප්‍රයෝජනය හරියට අඳුරු ස්ථානයක තබා තිබෙන ආලෝකය විහිදුවන පහනක් වගෙයි. එහෙත් නිවැරදිව පේන්න නම් ඇස සරලව තබාගත යුතුයි. එයින් අදහස් වන්නේ එය එක දෙයක් මත පමණක් කේන්ද්‍රගත විය යුතුයි කියායි. ඇස නිසි ලෙස කේන්ද්‍රගත වී නැත්නම් වැරදි විනිශ්චයන්වලට එළඹීමට සහ දෙවිට කරන සේවයට ඉදිරියෙන් ද්‍රව්‍යමය ලුහුබැඳීම් තැබීමට එය හේතු වෙනවා. එහි ප්‍රතිඵලය නම් ‘මුළු ශරීරයම’ අඳුරු වීමයි.
යේසුස් බලපෑමෙන් යුත් උපමාවක් යොදාගනිමින් මෙම විෂය අවසන් කරනවා. “ස්වාමිවරුන් දෙදෙනෙකුගේ දාසයෙකු වීමට කිසිවෙකුට නොහැක. මන්ද ඔහු එක් කෙනෙකුට වෛර වී අනික් තැනැත්තාට ප්‍රේම කරනවා ඇත. නැතහොත් ඔහු එක් කෙනෙකුට ඇලුම් වී අනික් තැනැත්තාව හෙළා දකිනවා ඇත. ඔබට ධනයටත් දෙවිටත් දාසයෙකු විය නොහැක.”
යේසුස් එම උපදේශය දීමෙන් පසුව, තම සවන් දෙන්නන්ට සහතික කරන්නේ ඔවුන් දෙවිගේ සේවයට මුල් තැන දෙනවා නම් තම ද්‍රව්‍යමය අවශ්‍යතා ගැන කනස්සලු විය යුතු නැහැයි කියායි. ඔහු මෙහෙම පවසනවා. “අහසේ කුරුල්ලන් දෙස හොඳින් බලන්න. උන් බීජ වපුරන්නේවත් කපන්නේවත් ගබඩාවලට රැස් කරන්නේවත් නැත. නමුත් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් උන් පෝෂණය කරන්නේය.” ඊළඟට ඔහු මෙසේ අසනවා. “ඔබ උන්ට වඩා වටින්නේ නැද්ද?”
ඊළඟට, යේසුස් තණබිම්වල ලිලී මල් පෙන්වමින් “සලමොන් සිය සියලු තේජසින් යුක්තව සිටියදී පවා මේ මලකට සමානව පැළඳ සිටියේ නැත” කියා පවසනවා. ඔහු තවදුරටත් පවසන්නේ මෙසේයි. ‘ඇදහිල්ල හීන තැනැත්තෙනි, තණබිමේ පැළෑටි දෙවි මෙසේ පළඳවන්නේ නම්, ඔබව පළඳවන්න ඔහු ඊටත් වඩා සතුටු නොවන්නේද?’ එමනිසා යේසුස් එම විෂය මේ ආකාරයට අවසන් කරනවා. “එබැවින් ‘කුමක් කමුද?’ කියාවත් ‘කුමක් බොමුද?’ කියාවත් ‘කුමක් අඳිමුද?’ කියාවත් කිසිවිටක කනස්සලු නොවන්න. මක්නිසාද . . . මේ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නේය. එබැවින් පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න. එවිට මේ අන් සියලු දේත් ඔබට දෙනු ලැබේ.”
ජීවනයට යන මඟ
ජීවනයට යන මඟ නම් යේසුස්ගේ ඉගැන්වීම් පිළිපැදීමයි. එහෙත් මෙය කිරීම පහසු දෙයක් නොවෙයි. උදාහරණයක් හැටියට, පරිසිවරුන් අන්‍යයන්ව සැර පරුෂ ලෙස විනිශ්චය කිරීමට නැඹුරුවාවක් දක්වනවා. බොහෝදෙනෙක් ඔවුන්ව අනුකරණය කරනවත් ඇති. එබැවින් යේසුස් තම කන්ද උඩ දේශනයේදී මෙම අවවාදය සපයනවා. “විනිශ්චය කිරීම නතර කරන්න. එවිට ඔබවද විනිශ්චය කරනු නොලබන්නේය. මන්ද ඔබ යම් ආකාරයකින් විනිශ්චය කරන්නේද එයාකාරයෙන්ම ඔබවත් විනිශ්චය කරනු ලබනවා ඇත.”
මිනිසුන්ව ඕනෑවට වඩා විවේචනයට ලක් කරන පරිසිවරුන්ගේ මඟ පෙන්වීම අනුගමනය කිරීම අනතුරුදායකයි. ලූක්ගේ වාර්තාවට අනුව, මෙම අවදානම යේසුස් පහදා දෙන්නේ මෙසේයි. “අන්ධයෙකුට මඟ පෙන්වන්න අන්ධයෙකුට හැකිද? දෙදෙනාම වළක වැටෙනවා නොවේද?”
අන්‍යයන්ව දැඩි ලෙස විවේචනය කිරීම සහ ඔවුන්ගේ සුළු සුළු වැරදි සොයා ඒවා විශාල කර දැක්වීම බරපතළ වරදක්. එබැවින් යේසුස් මෙසේ අසනවා. “ඔබේ සහෝදරයාට කතා කොට, ‘ඔබේ ඇසෙන් රොඩ්ඩ ඉවතට ගන්න මට ඉඩ දෙන්න’ කියා ඔබට කිව හැක්කේ කෙසේද? කුහකය! පළමුවෙන් ඔබේම ඇසෙන් පරාලය ඉවතට ගන්න. එවිට ඔබේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ ඉවතට ගන්න පුළුවන් කෙසේදැයි ඔබට පැහැදිලිව පෙනෙනවා ඇත.”
අන්‍යයන් සමඟ කටයුතු කිරීමේදී යේසුස්ගේ ගෝලයන් විචාර බුද්ධිය කිසි සේත් පාවිච්චි නොකළ යුතු බවක් මින් අදහස් කරන්නේ නැහැ. මන්ද ඔහු පවසන්නේ “ශුද්ධ දේ බල්ලන්ට නොදෙන්න. ඔබේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න” කියායි. දෙවිගේ වචනයේ සත්‍යයන් ශුද්ධයි. උපමාලංකාරයෙන් පවසනවා නම් ඒවා මුතු වගෙයි. එහෙත් බල්ලන් හෝ ඌරන් වැනි සමහර පුද්ගලයන් මෙම අනර්ඝ සත්‍යයන් සඳහා අගය කිරීමක් දක්වන්නේ නැත්නම්, යේසුස්ගේ ගෝලයන් ඔවුන්ව අත්හැර වඩාත් හොඳ ප්‍රතිචාරයක් දක්වන අයව සෙවිය යුතුයි.
යේසුස් මීට කලින් තම කන්ද උඩ දේශනයේදී යාච්ඤාව ගැන සාකච්ඡා කර තිබුණත්, නොකඩවාම එහි යෙදී සිටීමේ අවශ්‍යතාව ඔහු දැන් අවධාරණය කරනවා. ඔහු උනන්දු කරන්නේ “නොකඩවාම ඉල්ලන්න. එවිට ඔබට දෙනු ලැබේ” කියායි. යාච්ඤාවලට පිළිතුරු දීම සඳහා දෙවි කොතරම් කැමැත්තෙන් සිටිනවාද කියා නිදසුනකින් පැහැදිලි කරමින් යේසුස් මෙසේ අසනවා. “ඔබ අතරේ සිටින කිසිම මිනිසෙක් තමාගේ පුත්‍රයා රොටි ඉල්ලුවොත් ඔහුට ගලක් දෙන්නේද? . . . එබැවින්, ඔබ දුෂ්ට වුවත්, ඔබේ දරුවන්ට හොඳ තෑගි දෙන්නේ කෙසේද කියා ඔබ දන්නහුය. එසේ නම්, ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්, තමන්ගෙන් ඉල්ලන්නන්ට හොඳ දේ ඊටත් වඩා කොපමණ වැඩියෙන් නොදෙන්නේද?”
ඊළඟට, සාමාන්‍යයෙන් රන් අණ ලෙස හඳුන්වනු ලබන හැසිරීම හා සම්බන්ධ ප්‍රකට ප්‍රතිපත්තියක් උගන්වමින් යේසුස් මෙසේ පවසනවා. “එබැවින් අනුන් ඔබට කරනවාට ඔබ කැමති සියල්ලම, ඔබත් එලෙසම ඔවුන්ට කළ යුතුය.” මෙම ප්‍රතිපත්තියට අනුව ජීවත් වීමට ඇතුළත් වන එක් දෙයක් වන්නේ අන්‍යයන් ඔබව සලකනවාට ඔබ කැමති ආකාරයෙන්ම ඔවුන්ව සලකමින් ඔවුන්ට යහපත්කම් කිරීම සඳහා නිශ්චිත පියවර ගැනීමයි.
ජීවනයට යන මඟ පහසු නොවන බව යේසුස්ගේ මෙම උපදේශයෙන් හෙළි වෙනවා. “පටු දොරටුවෙන් ඇතුල් වන්න. මන්ද විනාශය කරා යන පාර පළල්ය, බොහෝ ඉඩ කඩද ඇත. එයින් ඇතුල් වන්නෝද බොහෝය. නමුත් ජීවනය කරා යන පාර අවහිරය, එහි දොරටුව පටුය. එය සොයාගන්නේ ස්වල්පදෙනෙකුය.”
නොමඟ යෑමට ඇති අවදානම විශාලයි. ඒ නිසා යේසුස් මෙසේ අනතුරු අඟවනවා. “බොරු අනාගතවක්තෘවරුන් ගැන සෝදිසියෙන් සිටින්න. ඔවුන් බැටළු වෙස්ගෙන ඔබ වෙතට පැමිණියත් ඔවුහු ඇතුලතින් කෑදර වෘකයෝය.” හොඳ ගස් සහ නරක ගස් ඒවායේ පලවලින් හඳුනාගැනීමට පුළුවන් වගේම, බොරු අනාගතවක්තෘවරුන්වද ඔවුන්ගේ හැසිරීමෙන් හා ඉගැන්වීම්වලින් හඳුනාගත හැකියි.
යමෙක් තමාගේ ගෝලයෙකු වන්නේ, ඔහු කරන දෙයින් මිසක ඔහු නිකම්ම පවසන දෙයින් නොවන බව යේසුස් තවදුරටත් පැහැදිලි කරනවා. යේසුස් තම ස්වාමියා බව ඇතැම් අය කියා සිටියත් ඔවුන් තම පියාගේ කැමැත්ත කරන්නේ නැත්නම් ඔහු ඔවුන්ව සලකන ආකාරය පිළිබඳව මෙසේ පැහැදිලි කරනවා. “මම, ඔබව කිසි කලක නොහැඳින්නෙමි! නීති විරෝධී ක්‍රියා කරන්නෙනි, මා වෙතින් අහක්ව යන්නයයි ඔවුන්ට ප්‍රකාශ කරමි.”
අන්තිමේදී, යේසුස් සදා මතකයේ රැඳෙන ආකාරයකින් තම දේශනය නිමාවකට පත් කරමින් මෙසේ පවසනවා. ‘මාගේ මේ වචන අසා ඒවා පිළිපදින සෑම කෙනෙකුවම, පර්වතය මත තම ගෙය ගොඩනැඟූ නුවණැති මිනිසෙකුට සමාන කරනු ලැබේ. වැසි වැස, ගං වතුර ගලා, තදින් සුළං හමා, ඒ ගෙට ගැසීය. නමුත්, එය පර්වතය මත පිහිටා තිබුණු බැවින් බිඳ වැටුණේ නැත.’
අනෙක් අතට, යේසුස් මෙසේ ප්‍රකාශ කරනවා. ‘මාගේ මේ වචන අසා ඒවා පිළි නොපදින සෑම කෙනෙකුවම, වැලි මත තම ගෙය ගොඩනැඟූ නුවණ නැති මිනිසෙකුට සමාන කරනු ලැබේ. වැසි වැස, ගං වතුර ගලා, තදින් සුළං හමා, ඒ ගෙට ගැසීය. එය බිඳ වැටිණ. එහි කඩා වැටීමද මහත් විය.’
යේසුස් තම දේශනය අවසන් කරන විට ඔහු උගන්වන ආකාරය ගැන සමූහයා මවිතයට පත් වෙනවා. මන්ද ඔවුන්ගේ ආගමික නායකයන් මෙන් නොව, බලය ලත් කෙනෙක් මෙනුයි ඔහු උගන්වන්නේ. ලූක් 6:12-23; මතෙව් 5:1-12; ලූක් 6:24-26; මතෙව් 5:13-48; 6:1-34; 26:36-45; 7:1-29; ලූක් 6:27-49; NW.
▪ යේසුස් තම සදා නොමැකෙන දේශනය දෙන විට සිටින්නේ කොතැනද? එතැනට පැමිණ සිටින්නේ කවුද? එය පටන්ගැනීමට ටිකකට කලින් සිදු වුණේ කුමක්ද?
▪ ලූක් මේ දේශනයේ ඇතැම් ඉගැන්වීම් වෙනත් අවස්ථාවකදී පැවසූ ඒවා ලෙස වාර්තා කර තිබීම පුදුමයක් නොවන්නේ ඇයි?
▪ යේසුස්ගේ දේශනය එතරම් අනර්ඝ වීමට හේතුව කුමක්ද?
▪ සැබෑ සන්තෝෂය අද්දකින්නේ කවුද? ඒ ඇයි?
▪ දුක අද්දකින්නේ කවුරුන්ද? ඒ ඇයි?
▪ යේසුස්ගේ ගෝලයන් “පොළොවේ ලුණු” සහ “ලෝකයේ ආලෝකය” වන්නේ කොහොමද?
▪ දෙවිගේ නීතිය කෙරෙහි යේසුස් ගැඹුරු ගෞරවයක් දක්වන්නේ කොහොමද?
▪ මිනී මැරීම හා පරදාර සේවනයේ හේතුකාරකයන් මුලින් උදුරා දැමීමට යේසුස් සපයන්නේ කිනම් උපදේශද?
▪ අනික් කම්මුල හැරවීම ගැන සඳහන් කරද්දී යේසුස් ඉන් අදහස් කරන්නේ කුමක්ද?
▪ දෙවි පරිපූර්ණව සිටින්නාක් මෙන්, අපටත් පරිපූර්ණව සිටිය හැක්කේ කොහොමද?
▪ යාච්ඤාව පිළිබඳව යේසුස් සපයන්නේ කුමන උපදෙස්ද?
▪ ස්වර්ගයෙහි වස්තු වඩා උතුම් වන්නේ ඇයි? ඒවා ලබාගත හැක්කේ කොහොමද?
▪ යමෙකුට ද්‍රව්‍යවාදය මඟහැරීමට උපකාර කිරීම සඳහා දී තිබෙන්නේ කුමන උපමාද?
▪ කනස්සලු වීමට අවශ්‍යතාවක් නැතැයි යේසුස් පවසන්නේ ඇයි?
▪ අන්‍යයන් විනිශ්චය කිරීම ගැන යේසුස් පවසන්නේ කුමක්ද? නමුත් මනුෂ්‍යයන් සමඟ කටයුතු කිරීමේදී තම ගෝලයන් විචාර බුද්ධිය පාවිච්චි කළ යුතු බව ඔහු පෙන්වන්නේ කොහොමද?
▪ යාච්ඤාව පිළිබඳව යේසුස් තවදුරටත් පවසන්නේ කුමක්ද? හැසිරීම සම්බන්ධව ඔහු දෙන ප්‍රතිපත්තිය කුමක්ද?
▪ ජීවනයට යන මඟ පහසු නොවන බවත් නොමඟ යෑමේ අවදානමක් තිබෙන බවත් යේසුස් පෙන්වන්නේ කොහොමද?
▪ යේසුස් තම දේශනය අවසන් කරන්නේ කොහොමද? එහි බලපෑම කුමක්ද?