44වෙනි පරිච්ඡේදය
බිහිසුණු කුණාටුවක් නිසල කිරීම
වෙරළෙහි සිටි සමූහයාට ඉගැන්වීම සහ ඉන්පසු තම ගෝලයන්ට පෞද්ගලිකවම උපමා පහදා දීම වැනි කාර්යයන්වල යෙදෙමින් යේසුස් කාර්යබහුල දවසක් ගත කර තිබෙනවා. සවස් වන විට ඔහු පවසනවා, “අපි එගොඩට යමු” කියා.
ගලීල මුහුදේ නැඟෙනහිර වෙරළෙහි පිහිටා තිබෙන්නේ දෙකපොලිසය නම් ප්රදේශයයි. ග්‍රීක් භාෂාවෙන් ඩෙකා කියන්නේ “දහයටයි.” පොලිස් කියන්නේ “නගරයටයි.” දෙකපොලිසයේ නුවරවල් ග්‍රීක සංස්කෘතියේ කේන්ද්‍රස්ථානයක්. එහෙත් එහි යුදෙව්වරුන් බොහෝදෙනෙකු ජීවත් වනවාට සැකයක් නැහැ. කෙසේවෙතත්, එම ප්‍රදේශයේ යේසුස් තම ක්‍රියාකාරකම් සිදු කරන්නේ ඉතාමත් සීමිතවයි. පසුව අප දැකීමට යන පරිදි, මෙම ගමනේදීත් වැඩි වේලාවක් එහි රැඳී සිටීමට ඔහුට හැකි වන්නේ නැහැ.
තමාව බෝට්ටුවෙන් එගොඩට ගෙන යන මෙන් යේසුස් ඉල්ලා සිටින විට, ගෝලයන් ඔහුව එතැනට රැගෙන යනවා. එහෙත් ජනයාගේ අවධානයට ලක් වෙනවා ඔවුන් පිටත්ව යනවා කියා. වෙනත් අයද විගස තම බෝට්ටුවලට නඟිනවා ඔවුන් යන තැනට යෑමට. එගොඩට යෑම සඳහා වැඩි දුරක් ගමන් කරන්න අවශ්‍ය නැහැ. ඇත්තෙන්ම කියනවා නම්, ගලීල මුහුද කියන්නේ කිලෝමීටර් 20කට වඩා දිග සහ වැඩිම වුණොත් කිලෝමීටර් 12ක් පමණ පළල විශාල විලක් පමණයි.
යේසුස් විඩාවට පත් වී සිටීම පුදුමයක් නොවෙයි. ඒ නිසා, ගමන ආරම්භ වී වැඩි වේලාවක් යන්න කලින් ඔහු බෝට්ටුවේ පිටුපස කෙළවරේ හාන්සි වී කොට්ටයක් මත හිස තබාගෙන තද නින්දකට වැටෙනවා. ප්‍රේරිතයන් කිහිපදෙනෙක් ගලීල මුහුදේ බොහෝ වර මසුන් අල්ලා තිබෙන නිසා බෝට්ටු යාත්‍රා කිරීම ඔවුන්ට පළපුරුදු දෙයක්. ඒ නිසා බෝට්ටුව යාත්‍රා කරන එක ඔවුන් භාරගන්නවා.
එහෙත් පසුව පෙනී යන්නේ මෙය පහසු ගමනක් නොවන බවයි. මුහුදු මට්ටමෙන් මීටර් 213ක් පමණ පහළින් පිහිටි විලේ මතුපිට පවතින අධික උෂ්ණත්වය නිසාත්, ඒ අවට පිහිටි කඳුවල ශීතාධික වාතාශ්‍රයක් පවතින නිසාත්, සමහර අවස්ථාවලදී සැඩ සුළං පහතට හමා ඇවිත් හිටිහැටියේ විලේ දරුණු කුණාටු ඇති කරවනවා. දැන් සිදු වන්නේත් එවැනිම දෙයක්. වැඩි වේලාවක් යන්න කලින් රැල්ල වේගවත්ව බෝට්ටුවට පහර දෙන අතර බෝට්ටුව ගිලෙන තරමටම එතුළ ජලය පිරෙනවා. ඒත් යේසුස් නැඟිටින බවක් පේන්න නැහැ!
පළපුරුදු යාත්‍රිකයන් කිහිපදෙනා බෝට්ටුව පාලනය කරන්න මහත් සටනක යෙදෙනවා. මීට කලින් ඔවුන් කුණාටුවලදී බෝට්ටුව යාත්‍රා කර තිබෙන බවට කිසිම සැකයක් නැහැ. එහෙත් මේ අවස්ථාවේදී නම් ඔවුන්ට කිසිවක් කර කියාගත නොහැකියි. ඔවුන්ගේ ජීවිත අවදානම් තත්වයක තිබෙන නිසා ඔවුන් දැන් යේසුස්ව අවදි කරනවා. ඔවුන් කලබල වී පවසන්නේ, ‘ස්වාමිනි, අප ගිලෙන්නයි යන්නේ! ඔබට ඒ ගැන ගානක්වත් නැද්ද? අපව බේරගන්න. අප ගිලෙන්නයි යන්නේ’ කියායි.
එවිට යේසුස් නැඟිට “නිශ්ශබ්ද වන්න! නිශ්චල වන්න!” කියා සුළඟට හා මුහුදට අණ කරනවා. එවිට චණ්ඩ මාරුතය නැවතී, මුහුද නිශ්චල වෙනවා. පසුව ඔහු තම ගෝලයන් වෙතට හැරී, ‘ඔබ මෙතරම් භය වන්නේ ඇයි? ඔබට තවමත් කිසිම ඇදහිල්ලක් නැද්ද’ කියා අසනවා.
එවිට ගෝලයන් අතිශයින් භය වී එකිනෙකාගෙන් මෙසේ අසනවා. “ඇත්තටම මොහු කවුද? මන්ද ඔහු සුළඟට හා ජලයට පවා අණ දෙයි. එවිට ඒවා ඔහුට කීකරු වන්නේය.”
යේසුස් විදහාපෙන්වන්නේ මොන තරම් මහත් බලයක්ද! අපේ රජුට ස්වභාව ධර්මයේ මූලධාතුන් කෙරෙහි බලය තිබෙන බවත්, ඔහුගේ රාජ්‍ය පාලනය තුළදී ඔහුගේ මුළු අවධානය පොළොව වෙතට යොමු කර තිබෙන විට බියකරු ස්වාභාවික විපත්තිවලින් තොරව සියලු මනුෂ්‍යයන් සුරක්ෂිතව වාසය කරන බවත් දැනගන්න ලැබීම මොන තරම් අස්වැසිල්ලක්ද!
කුණාටුව නතර වී ටික වේලාවකට පසුව, යේසුස් හා ඔහුගේ ගෝලයෝ සුරක්ෂිතව නැඟෙනහිර වෙරළට ගොඩ බසිනවා. සමහරවිට, අනික් බෝට්ටුවල ගමන් කළ අය එම දරුණු කුණාටුවට හසු නොවී සුරක්ෂිතව ආපසු ගෙවල් කරා යන්න ඇති. මාක් 4:35–5:1; මතෙව් 8:18, 23-27; ලූක් 8:22-26; NW.
▪ දෙකපොලිසය යන්නෙහි අර්ථය කුමක්ද? එය පිහිටා තිබෙන්නේ කොතැනද?
▪ ගලීල මුහුදෙහි ඇති වන දරුණු කුණාටුවලට හේතු වන භෞතික සාධක මොනවාද?
▪ යාත්‍රා කිරීම සම්බන්ධයෙන් තමන් ලබා තිබෙන දක්ෂතා යොදාගෙන බේරීමට නොහැකි වන විට ගෝලයන් කරන්නේ කුමක්ද?