55වෙනි පරිච්ඡේදය
ගෝලයන් බොහෝදෙනෙක් යේසුස්ව අත්හරියි
ස්වර්ගයෙන් බැස ආ සැබෑ වූ කෑම වශයෙන් තමා ඉටු කරන කාර්යය පිළිබඳව යේසුස් කපර්ණවුමේ සිනගෝගයක උගන්වමින් සිටිනවා. මීට කලින්, ගලීල මුහුදේ නැඟෙනහිර පැත්තේ සිට ඔහුව හමුවීමට පැමිණි ජනයා සමඟ ඔහු ආරම්භ කළ සාකච්ඡාවම යේසුස් දැන් තවත් ඉදිරියට ගෙන යන බව පැහැදිලියි. එම ජනයා, ආශ්චර්යවත් ලෙස තමන්ට සපයා දුන් රොටි සහ මසුන් අනුභව කළේ එහිදීයි.
යේසුස් තවදුරටත් මෙසේ පවසනවා. “ලෝකයේ ජීවනය උදෙසා මා දෙන ආහාරය නම්, මාගේ මාංසයය.” යේසුස් මීට දෙවසරකට පෙර, එනම් ක්‍රි.ව. 30 වසන්ත සමයේදී නිකදේමස්ට පැවසුවේ දෙවි ලෝකයාට මොනතරම් ප්‍රේම කළාද කිව්වොත් ඔහු ගැලවුම්කරුවෙකු වශයෙන් තම පුත්‍රයාව දුන් බවයි. ඉතිං යේසුස් දැන් පෙන්වමින් සිටින්නේ, ඔහු නොබෝ කලකින් කරන ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීම මගින්, සංකේතාත්මක වශයෙන් ඔහුගේ මාංසය කෑමට ගන්නා ඕනෑම මනුෂ්‍යයෙකුට සදාකාල ජීවනය ලබාගත හැකි බවයි.
එහෙත්, ජනයා යේසුස්ගේ වචන නිසා බාධාවට පත් වෙනවා. ඔවුන් අසනවා, “මේ මිනිසා, අපට කන පිණිස ඔහුගේ මාංසය දෙන්නේ කෙසේද” කියා. ඔහුගේ මාංසය කෑමට ගන්නේ සංකේතාත්මක ආකාරයකින් බව ඔහුගේ අසන්නන්ට පැහැදිලි කර දෙන්න යේසුස් වෑයම් කරනවා. ඒ නිසා, ඔහු මෙය අවධාරණය කිරීම සඳහා තවත් යමක් පවසනවා. ඇත්තෙන්ම, ඔහු පවසන දේ වචනානුසාරයෙන්ම ගත්තොත් එය ඔහු කලින් කී දේට වඩා පිළිකුල්සහගතයි.
“ඔබ මනුෂ්‍ය පුත්‍රයාගේ මාංසය කා ඔහුගේ රුධිරය නොබොන්නහු නම්, ඔබ තුළ ජීවනය නැත. මාගේ මාංසය කන්නාවූ මාගේ රුධිරය බොන්නාවූ තැනැත්තාට සදාකාල ජීවනය ලැබෙන්නේය. තවද, මම අන්තිම දවසේදී ඔහුව නැවත නැඟිටුවන්නෙමි. මන්ද මගේ මාංසය නම් සැබෑ ආහාරයය. මගේ රුධිරය නම් සැබෑ බීමය. මාගේ මාංසය කන්නාවූ මාගේ රුධිරය බොන්නාවූ තැනැත්තා මා සමඟ එකඟත්වයෙන් සිටින අතර, මමද ඔහු සමඟ එකඟත්වයෙන් සිටින්නෙමි” කියා යේසුස් ප්‍රකාශ කරනවා.
ඔහු කතා කරමින් සිටින්නේ මිනීමස් කෑම ගැන නම් යේසුස්ගේ ඉගැන්වීම ඉතා පිළිකුල්සහගත වන බව ඇත්තයි. නමුත් යේසුස් මෙහිදී නියම අර්ථයෙන්ම මස් කන්න කියාවත් රුධිරය බොන්න කියාවත් දිරිගන්වන්නේ නැති බව පැහැදිලියි. ඔහු මෙහිදී අවධාරණය කිරීමට වෑයම් කරන්නේ, සදාකාල ජීවනය ලබාගැනීමට නම්, ඔහු අනාගතයේදී තම පරිපූර්ණ මනුෂ්‍ය ශරීරය පුද කරමින් හා ජීවන රුධිරය වගුරුවමින් කරන පූජාව කෙරෙහි සියලුදෙනාම ඇදහිල්ල තැබිය යුතු බවයි. එහෙත්, ඔහුගේම ගෝලයන්ගෙන් බොහෝදෙනෙක් පවා, ඔහුගේ ඉගැන්වීම වටහාගැනීමට උත්සාහ නොකර මෙසේ විරෝධය පානවා. “මෙය මහ පුදුම කතාවකි. මෙයට සවන් දිය හැක්කේ කාටද?”
තම ගෝලයන් බොහෝදෙනෙක් මැසිවිලි නඟිමින් සිටින බව දැන, යේසුස් මෙහෙම කියනවා. “මෙය ඔබව බාධාවට පත් කරනවාද? එසේනම් මනුෂ්‍ය පුත්‍රයා කලින් සිටි තැනට නැඟ යනවා දුටුවොත් ඔබට කුමක් වේවිද? . . . මා ඔබට පැවසූ කියමන් ආත්මික වන අතර ජීවනදායකය. නමුත් විශ්වාස නොකරන සමහරු ඔබ අතරේ සිටිති.”
යේසුස් තවදුරටත් මෙසේ පවසනවා. “මා වෙතට පැමිණීමට පියාණන් යමෙකුට අවසර දී තිබුණොත් මිස, අන් කිසිවෙකුට මා වෙතට පැමිණීමට බැරි බව මා ඔබට කීවේ ඒ නිසාය.” ඉන්පසු, ඔහුගේ ගෝලයන් කිහිපදෙනෙක්ම අහක් වී ඔහුව අනුගමනය කිරීම නතර කරනවා. එතකොට, යේසුස් තම ප්‍රේරිතයන් 12දෙනා වෙතට හැරී, “ඔබටත් යන්න ඕනේද” කියා අසනවා.
පේතෘස් ඊට ප්‍රතිචාර දක්වන්නේ මෙහෙමයි. “ස්වාමිනි, අප කා ළඟට යන්නද? සදාකාල ජීවනයේ වචන ඇත්තේ ඔබ ළඟය. තවද ඔබ දෙවිගේ ශුද්ධ තැනැත්තා බව අපි අදහමු. එමෙන්ම ඒ බව දැනගෙන සිටිමු.” ඒ වන විට, පේතෘස් හා අනිත් ප්‍රේරිතයන් මේ කාරණය සම්බන්ධයෙන් යේසුස් ඉගැන්වූ දේ මුළුමනින්ම වටහාගෙන නොසිටියා වන්නට ඇති. එසේ නම්, එය පක්ෂපාතකම පිළිබිඹු කළ මොන තරම් කදිම ප්‍රකාශයක්ද!
පේතෘස්ගේ ප්‍රතිචාරයෙන් සතුටට පත් වුණත්, යේසුස් මෙහෙම පවසනවා. “ඔබ දොළොස්දෙනාව තෝරාගත්තේ මා නොවේද? ඒත් ඔබෙන් කෙනෙක් අපහාස කරන්නෙක්ය.” ඔහු කතා කරමින් සිටින්නේ යූදස් ඉස්කාරියොත් ගැනයි. සමහරවිට මේ අවස්ථාවේදී, යූදස් වැරදි ක්‍රියාමාර්ගයකට යොමුවීමට ‘පටන්ගෙන’ තිබුණ බව යේසුස් වටහාගන්න ඇති.
මීට ටිකකට කලින්, තමාව රජෙකු වශයෙන් පත් කිරීමට ජනයා ගත් උත්සාහය යේසුස් ප්‍රතික්ෂේප කර තිබුණ නිසා ඔවුන් මෙසේත් තර්ක කරනවා ඇති. ‘මෙසියස්ගේ නියම තත්වය මොහු භාරගන්නේ නැත්නම්, මොහු මෙසියස් වෙන්නේ කොහොමද?’ මෙයත් ජනයාගේ සිත්වලින් තවමත් ගිලිහී නොගිය කාරණයක්. යොහන් 6:51-71; 3:16; NW.
▪ යේසුස් තමන්ගේ මාංසය දෙන්නේ කවුරුන් සඳහාද? ඔවුන් ‘ඔහුගේ මාංසය කන්නේ’ කොහොමද?
▪ මනුෂ්‍යයන් කලබල වන්නේ යේසුස් තවදුරටත් කියන කිනම් වචන නිසාද? නමුත් ඔහු අවධාරණය කරමින් සිටින්නේ කුමක්ද?
▪ බොහෝදෙනෙකු යේසුස්ව අනුගමනය කිරීම නතර කරද්දී පේතෘස් ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද?