91වෙනි පරිච්ඡේදය
ලාසරුස්ව නැවත නැඟිටුවයි
දැන් යේසුස් හා ඔහු සමඟ යන අය ලාසරුස්ගේ සොහොන් ගෙය ළඟට පැමිණෙනවා. එය ඇත්තෙන්ම ගල් ලෙනක්. එහි ඇතුල් වන ස්ථානය ගලකින් වසා තිබෙනවා. “ගල අහකට ගන්න” කියා යේසුස් පවසනවා.
යේසුස් කරන්න යන දෙය මාර්තා තවමත් තේරුම් අරගෙන නැහැ. ඒ නිසා විරෝධය පළ කරමින් ඇය පවසන්නේ “ස්වාමිනි, ඔහු මිය ගොස් දවස් හතරක් වන බැවින් දැන් ගඳ ගසනවා ඇති” කියායි.
එහෙත් යේසුස් ඇයගෙන් මෙසේ අසනවා. “ඔබ විශ්වාස කළොත් ඔබ දෙවිගේ මහිමය දකින බව මා ඔබට පැවසුවා නොවේද?”
ඉතිං ගල ඉවත් කරනවා. යේසුස් තම ඇස් ඔසවා මෙසේ යාච්ඤා කරනවා. “පියාණෙනි, ඔබ මට සවන් දී තිබෙන හෙයින් මම ඔබට ස්තුති කරමි. සැමවිටම ඔබ මට සවන් දෙන බව සැබවින්ම මම දැන සිටිමි. නමුත් ඔබ මා එවූ බව අවට සිටගෙන සිටින සමූහයා විශ්වාස කරන පිණිස ඔවුන් නිසා මම එය කීවෙමි.” යේසුස් ප්‍රසිද්ධියේ යාච්ඤා කරන්නේ ඔහු දැන් කිරීමට යන දෙය ඉටු වන්නේ දෙවිගේ බලයෙන් බව සමූහයා දැනගන්නා පිණිසයි. ඉන්පසු ඔහු මහත් හඬකින් මෙසේ පවසනවා. “ලාසරුස්, පිටතට එන්න!”
එවිට, ලාසරුස් පිටතට පැමිණෙනවා. ඔහුගේ අත් පා රෙදි පටිවලින් බැඳ තිබෙන අතර ඔහුගේ මුහුණද රෙදිකඩකින් ඔතා තිබෙනවා. “ඔහුව ලිහා, ඔහුට යන්න හරින්න” කියා යේසුස් පවසනවා.
මරියාව සහ මාර්තාව සැනසීමට පැමිණි යුදෙව්වරුන්ගෙන් බොහෝදෙනෙක් මේ ප්රාතිහාර්යය දැක යේසුස් කෙරෙහි අදහාගන්නවා. එහෙත් තවත් පිරිසක් ගිහින් සිදු වූ දෙය පරිසිවරුන්ට පවසනවා. ඔවුන් සහ නායක පූජකයෝ වහාම කටයුතු සැලසුම් කරනවා යුදෙව් මහාධිකරණය වන සැන්හෙඩ්‍රිනයේ රැස්වීමක් පැවැත්වීමට.
සැන්හෙඩ්‍රිනයේ සාමාජිකයන්ට අයත් වන්නේ, උත්තම පූජකයා ලෙස කටයුතු කරන කායෆස්, පරිසිවරුන්, සද්දුසිවරුන්, නායක පූජකයන් සහ කලින් උත්තම පූජකයන්ව සිටි අයයි. ඔවුන් ඉතා කනගාටුවෙන් මෙසේ පවසනවා. “අපි කුමක් කරමුද? මේ මිනිසා බොහෝ ලකුණු සිදු කරයි. අප මේ ආකාරයට ඔහුට ඉඩහැරියොත්, සියල්ලන්ම ඔහු කෙරෙහි ඇදහිල්ල තබනු ඇත. එවිට රෝමවරුන් පැමිණ අපේ ස්ථානයත් අපේ ජාතියත් පැහැරගන්නවා ඇත.”
යේසුස් “බොහෝ ලකුණු සිදු” කරන බව ආගමික නායකයන් පිළිගත්තත්, ඔවුන් සැලකිලිමත් වන්නේ ඔවුන්ගේම තත්වය හා ඔවුන්ට තිබෙන බලතල ගැන පමණයි. ලාසරුස්ගේ නැවත නැඟිටීම විශේෂයෙන්ම සද්දුසිවරුන්ට ප්‍රබල පහරක් වන්නේ ඔවුන් නැවත නැඟිටීම ගැන විශ්වාස නොකරන නිසයි.
සමහරවිට සද්දුසිවරයෙකු වන කායෆස් දැන් සියල්ලන්ටම ඇසෙන සේ පවසන්නේ මෙසේයි. “ඔබ කිසිම දෙයක් දන්නේ නැත. මුළු ජාතියම විනාශ වනවාට වඩා ජනතාව උදෙසා එක මිනිසෙකු මිය යෑම ඔබට ප්‍රයෝජනවත් බව ඔබ කල්පනා කරන්නේ නැත.”
මෙසේ පැවසීමට කායෆස්ව පෙලඹුවේ දෙවියි. මන්ද පසු කලෙක ප්‍රේරිත යොහන් මෙසේ ලිව්වා. “මෙය [කායෆස්] විසින්ම උපදවා කී දෙයක් නොවේ.” කායෆස් ඇත්තටම අදහස් කළේ ඔවුන්ට හිමි අධිකාරිය හා බලය යේසුස් විසින් තවදුරටත් දුර්වල නොකරන පිණිස ඔහුව මරා දැමිය යුතු බවයි. එහෙත් යොහන් පවසන ආකාරයට, ‘යේසුස් ජාතිය උදෙසා පමණක් නොව නමුත් විසිරී ගිය දෙවිගේ දරුවන්ව එකට රැස් කිරීම සඳහා මැරීමට නියමිත වූ බවට කායෆස් අනාවැකි පළ කළා.’ ඇත්තෙන්ම සියල්ලන්ම වෙනුවෙන් තම පුත්‍රයා මිදීමේ මිලයක් හැටියට මිය යෑම දෙවිගේ අරමුණයි.
කායෆස් දැන්, යේසුස්ව මරා දැමීමට සැලසුම් යොදන්න කියා සැන්හෙඩ්‍රිනයට බලපෑම් කිරීමට සමත් වෙනවා. එහෙත් මේ සැලසුම් ගැන ආරංචි වන යේසුස් එතැනින් පිට වී යනවා. සමහරවිට ඔහුට එම ආරංචිය ලැබෙන්නේ සැන්හෙඩ්‍රිනයේ සාමාජිකයෙක් වන තමා සමඟ සුහදව සිටින නිකදේමස්ගෙන් වෙන්නට ඇති. යොහන් 11:38-54, NW.
▪ ලාසරුස්ව නැවත නැඟිටුවීමට පෙර යේසුස් ප්‍රසිද්ධියේ යාච්ඤා කරන්නේ ඇයි?
▪ මෙම නැවත නැඟිටීම දුටු අය ඊට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?
▪ සැන්හෙඩ්‍රිනයේ සාමාජිකයන්ගේ දුෂ්ටකම හෙළි වන්නේ කුමකින්ද?
▪ කායෆස්ගේ චේතනාව වන්නේ කුමක්ද? එහෙත් දෙවි ඔහුව පාවිච්චි කරන්නේ කුමක් පුරෝකථනය කිරීමටද?