110වෙනි පරිච්ඡේදය
දේවමාලිගාවේ සිදු කරන දේවසේවය අවසන්
යේසුස් දේවමාලිගාවට පැමිණ සිටින අන්තිම වතාවයි මේ. ඇත්තෙන්ම, පොළොව මත ප්‍රසිද්ධියේ සිදු කරන තම දේවසේවය තව කෙටි කාලයකින් අවසන් වෙනවා. තව සිදුවීමට ඉතිරිව ඇත්තේ ඔහුගේ නඩු විභාගය හා මරණය සම්බන්ධ සිද්ධීන් පමණයි. එම සිද්ධීන් තව දින තුනකින් සිදුවීමට නියමිතයි. දැන් ඔහු දිගටම ලියන්නන්ව හා පරිසිවරුන්ව හෙළා දකිනවා.
යේසුස් තව තුන් වතාවක්ම ශබ්ද නඟා පවසන්නේ, “ලියන්නෙනි, පරිසිවරුනි, කුහක වූ ඔබට දුක් වේ” කියායි. මුලින්ම ඔහු ඔවුන්ට දුක් වේ කියා ප්‍රකාශ කරන්නේ, ඔවුන් “කුසලානත් දීසියත් පිටතින් පවිත්‍ර කරන නමුත් එහි ඇතුළත කොල්ලකෑමෙනුත්, සංයමයක් නැති හැසිරීම්වලිනුත් පිරී [තිබෙන]” බැවිනුයි. ඒ නිසා ඔහු අවවාද කරන්නේ, “කුසලානත් දීසියත් පිටතින් පවිත්‍ර වන පිණිස පළමුකොට ඒවායේ ඇතුළත පවිත්‍ර කරන්න” කියායි.
ඔහු ඊළඟට ලියන්නන් සහ පරිසිවරුන්ට දුක් වේ කියා ප්‍රකාශ කරන්නේ, පිටතින් ශ්රද්ධාවන්තයයි පෙන්වමින් තමන්ගේ ඇතුළාන්ත දූෂ්‍යකම හා අපවිත්‍රකම සැඟවීමට ඔවුන් උත්සාහ කරන නිසයි. “ඔබ හුණු ගා සුදු කළ සොහොන් ගෙවලට සමානය” කියා ඔහු පවසනවා. “ඒවා පිටතින් අලංකාරව පෙනුණත් එහි ඇතුළත මළවුන්ගේ ඇට කටුවලින්ද සියලු ආකාර අපවිත්‍රකම්වලින්ද පිරී තිබේ.”
අන්තිමේදී, ඔවුන්ගේ කුහකකම මනාව පැහැදිලි වන්නේ ඔවුන් සිදු කරන යහපත් ක්‍රියා වෙතට අන්‍යයන්ගේ අවධානය ඇදගැනීමට ඔවුන් අනාගතවක්තෘවරුන් උදෙසා සොහොන් ගෙවල් තනා ඒවා සැරසීම තුළිනුයි. එහෙත් යේසුස් හෙළි කරන පරිදි, ඔවුන් “අනාගතවක්තෘවරුන්ව මරණයට පත් කළ අයගේ පුත්‍රයන්.” ඇත්තෙන්ම, ඔවුන්ගේ කුහකකම හෙළි කිරීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකු සිටින්නේ අවදානම් තත්වයකයි!
යේසුස් දැන් දිගටම කතා කරමින් ඉතා දැඩි ස්වරයකින් ඔවුන්ව හෙළා දකිනවා. “සර්පයෙනි, පොළොං වංශයෙනි, ඔබ ගෙහෙන්නාවේ විනිශ්චයෙන් කෙසේ පලා යන්නද” කියා ඔහු අසනවා. ගෙහෙන්නාව කියන්නේ යෙරුසලමේ කුණු කසළ ගොඩ දැමීමට පාවිච්චි කරන මිටියාවතක්. ඉතිං යේසුස් පවසමින් සිටින්නේ, දුෂ්ට ක්‍රියාමාර්ගයක් ලුහුබැඳීම නිසා ලියන්නන්ට සහ පරිසිවරුන්ට සදාකාල විනාශය අත් වන බවයි.
ඔහු තම නියෝජිතයන් වශයෙන් යවන අය සම්බන්ධයෙන් යේසුස් මෙසේ පවසනවා. “ඔබ ඔවුන්ගෙන් සමහරදෙනෙකුව මරා, කණුවල ඇණ ගසනවා ඇත. ඇතමෙකුට ඔබේ සිනගෝගවලදී කසයෙන් තළා සෑම නුවරකදීම ඔවුන්ට පීඩා කරනු ඇත. මෙලෙස, ධර්මිෂ්ඨ වූ ආබෙල්ගේ ලේ පටන් ශුද්ධ ස්ථානය හා පූජාසනය අතරේ ඔබ මරණයට පත් කළ [දෙවන ලේකම්හි යෙහෝයාදා වශයෙන් හඳුන්වන] බරකියාගේ පුත් සෙකරියාගේ ලේ දක්වා පොළොවේදී වගුරුවන ලද සියලු ධර්මිෂ්ඨයන්ගේ ලේ ඔබ පිට පැමිණෙන්නේය. මේ සියල්ලම මේ පරම්පරාව පිට පැමිණෙන්නේයයි සැබවින්ම මම ඔබට කියමි.”
සෙකරියා ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයන්ට හික්මවීම ලබා දුන් නිසා, “ඔවුහු රජුගේ ආඥාව පිට ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කොට [යෙහෝවාගේ] ගෘහයේ මළුවේදී ඔහුට ගල්ගැසුවෝය.” එහෙත්, යේසුස් පුරෝකථනය කරන පරිදි, එසේ වගුරුවන ලද ධර්මිෂ්ඨ ලේ සඳහා ඊශ්‍රායෙල්වරුන්ට වන්දි ගෙවීමට සිදු වෙනවා. වසර 37කට පසුව, ක්‍රි.ව. 70දී, රෝම හමුදාව යෙරුසලම විනාශ කර දමා, යුදෙව්වරුන් දශලක්ෂයකට අධික සංඛ්‍යාවක් මරුමුවට පත් කළ අවස්ථාවේදී ඔවුන් එසේ වන්දි ගෙවනවා.
මෙම බියකරු තත්වය ගැන කල්පනා කරද්දී, යේසුස්ට දැනෙන්නේ දැඩි වේදනාවක්. ඔහු නැවත වරක් මෙසේ ප්‍රකාශ කරනවා. “යෙරුසලම, යෙරුසලම, . . කිකිළියක් තම පැටවුන් තම පියාපත් යටට එකතු කරගන්නාක් මෙන් ඔබේ දරුවන්ව එකතු කරගන්න මා කී වරක් කැමති වූයෙම්ද! නමුත් ඔබ ඊට කැමති වූයේ නැත. බලන්න! ඔබේ ගෘහය ඔබට අත්හරිනු ලැබේ.”
යේසුස් මෙසේත් පවසනවා. “යෙහෝවාගේ නාමයෙන් එන තැනැත්තා ආශීර්වාද ලද්දේය!’ යි ඔබ කියන තුරු මෙතැන් පටන් ඔබ මා කිසිසේත් දකින්නේ නැතැයි මම ඔබට කියමි.” එය සිදු වන්නේ ක්‍රිස්තුස් පැමිණ සිටින කාලයේදීයි. එනම්, ඔහු තම ස්වර්ගික රාජ්‍ය පාලනය අරඹන විටයි. ඒ අවස්ථාවේදී මනුෂ්‍යයන් ඔහුව දකිනු ඇත්තේ ඇදහිල්ල නමැති ඇස්වලිනුයි.
දේවමාලිගාවේ මුදල් බඳුන්වලට සෙනඟ මුදල් දමන හැටි හොඳින් දැකබලා ගත හැකි ස්ථානයකට යේසුස් දැන් ගමන් කරනවා. ධනවතුන් බොහෝ කාසි දමනවා. නමුත් ඒ අතර, දිලිඳු වැන්දඹුවක් ඇවිත් ඉතා සුළු වටිනාකමකින් යුත් කුඩා කාසි දෙකක් දමනවා.
යේසුස් ගෝලයන්ව තමන් ළඟට කැඳවා මෙසේ පවසනවා. “සැබවින්ම මම ඔබට කියමි, මේ දිලිඳු වැන්දඹුව, මුදල් බඳුන්වලට මුදල් දැමූ අනික් සියල්ලන්ට වඩා දැම්මාය.” එහෙම වෙන්නේ කොහොමද කියා ඔවුන් සමහරවිට කල්පනා කරනවා ඇති. ඒ නිසා, යේසුස් මෙසේ පැහැදිලි කරනවා. “ඒ සියලුදෙනාම දැම්මේ තමන්ට වැඩිපුර තිබුණු දෙයිනි. නමුත් ඇයට අග හිඟකම් තිබියදීත් තමන් සතුව තිබුණු සියල්ල, එනම් ජීවිතය ගෙන යෑමට තිබුණු සියල්ල දැම්මාය.” මෙසේ පැවසීමෙන් පසු, යේසුස් අවසාන වතාවට දේවමාලිගාවෙන් පිට වී යනවා.
දේවමාලිගාවේ විශාලත්වය හා අලංකාරය ගැන විස්මයට පත් වන ඔහුගේ ගෝලයෙක් පවසන්නේ මෙසේයි. ‘ගුරුතුමෙනි, බලන්න! මේ ගල් දිහා! මේ ගොඩනැඟිලි දිහා!’ඇත්තෙන්ම වාර්තා කර ඇති පරිදි, එම ගල්වල දිග මීටර් 11කටත් පළල මීටර් 5කටත් උස මීටර් 3කටත් වඩා වැඩියි!
එවිට යේසුස් පිළිතුරු දෙන්නේ,“මේ මහත් ගොඩනැඟිලි ඔබට පෙනෙනවාද? මෙහි ගලක් පිට ගලක් කිසිසේත් ඉතිරි නොවන ලෙස ඒවා සියල්ලම බිම හෙළනු ලබන්නේය” කියායි.
මේ දේවල් පැවසීමෙන් පසු, යේසුස් සහ ඔහුගේ ගෝලයන් කිද්‍රොන් මිටියාවත හරහා ගොස් ඔලීව කන්දට නඟිනවා. මෙතැන් සිට ඔවුන්ට තේජාන්විත දේවමාලිගාව හොඳින් දැකබලා ගත හැකියි. මතෙව් 23:25–24:3; මාක් 12:41–13:3; ලූක් 21:1-6; NW; 2 ලේකම් 24:20-22.
▪ දේවමාලිගාවට යන තම අන්තිම ගමනේදී යේසුස් කරන්නේ කුමක්ද?
▪ ලියන්නන්ගේ හා පරිසිවරුන්ගේ කුහකකම හෙළි වන්නේ කෙසේද?
▪ ‘ගෙහෙන්නාවේ විනිශ්චය’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
▪ වැන්දඹුව ධනවතුන්ට වඩා වැඩියෙන් සම්මාදම් දැමුවායයි යේසුස් පවසන්නේ ඇයි?