124වෙනි පරිච්ඡේදය
භාර දුන් පසු ඇණ ගසනු ලැබීමට රැගෙන යයි
වධ හිංසාවට ලක්ව සිටින යේසුස්ගේ සන්සුන්, ගෞරවනීය ස්වභාවය දැකීමෙන් පැහැදීමක් ඇති වන පිලාත් නැවත වරක් උත්සාහ කරනවා ඔහුව මුදාහැරීමට. එයින් නායක පූජකයන්ගේ කේන්තිය තවත් වැඩි වෙනවා. ඔවුන් තමන්ගේ දුෂ්ට අරමුණට බාධා කිරීමට කිසිම දෙයකට ඉඩ නොදීමට අදිටන් කරගෙනයි සිටින්නේ. ඒ නිසා ඔවුන් නැවත වරක් කෑගසන්නේ, “ඔහුව ඇණ ගසන්න! ඔහුව ඇණ ගසන්න!” කියායි.
එවිට පිලාත්ගේ ප්‍රතිචාරය වන්නේ මෙයයි. “ඔබම මොහුව ගෙන ගොස් කණුවක ඇණ ගසන්න.” (අපරාධකරුවන්ට මරණ දණ්ඩනය දීමට ඔවුන්ට බලය නැති බව යුදෙව්වරුන් කලින් පවසා තිබුණත් ආගමික වශයෙන් සිදු කළ බරපතළ පාප සඳහා එසේ කිරීමට ඔවුන්ට බලය තිබෙනවා විය හැකියි.) ඊළඟට, “මොහු අත කිසි වරදක් ඇති බව මට නම් නොපෙනේ” කියා පිලාත් පවසනවා. ඔහු යේසුස් නිදොස් බව දැන් අඩුම තරමින් පස් වතාවක්වත් ප්‍රකාශ කරලා ඇති.
යුදෙව්වරුන් තේරුම්ගන්නවා දේශපාලනික කාරණා පදනම් කරගනිමින් ඔවුන් එල්ල කරන චෝදනාවලින් කිසිම පලක් නැති බව. ඒ නිසා, මීට පැය කිහිපයකට පෙර සැන්හෙඩ්‍රිනය ඉදිරිපිට පැවැත්වූ නඩු විභාගයේදී ආගමික කාරණා පදනම් කරගනිමින් එල්ල කළ චෝදනාව, එනම් යේසුස් දෙවිට අපහාස කරන්නෙකු බව ඔවුන් නැවතත් සඳහන් කරනවා. “අපට නීතියක් ඇත. මොහු තමාවම දෙවිගේ පුත්‍රයා බවට පත් කරගත් නිසා, ඒ නීතියට අනුව ඔහු මැරුම් කෑ යුතුය” කියා ඔවුන් පවසනවා.
පිලාත් මේ චෝදනාව කලින් අසා නැති නිසා ඔහු තවත් බියට පත් වෙනවා. ඔහුගේ භාර්යාවගේ සිහිනයෙන් හා යේසුස්ගේ නොසැලෙන මානසික ශක්තියෙන් හෙළි වන්නේ යේසුස් සාමාන්‍ය මිනිසෙකු නම් නොවන බවයි. පිලාත් එය තේරුම්ගන්නවා. එහෙත් ඔහු “දෙවිගේ පුත්‍රයා” විය හැකිද? පිලාත් දන්නවා යේසුස් පැමිණෙන්නේ ගලීලයෙන් බව. ඒත් ඔහු ඇත්තටම මීට කලින් ජීවත් වුණාද? පිලාත් ඔහුව නැවත වරක් මාලිගය තුළට ගෙන ගොස් “ඔබ කොතැනින්ද” කියා අසනවා.
යේසුස් කිසි පිළිතුරක් දෙන්නේ නැහැ. ඔහු රජෙක් වුණත් ඔහුගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ නැහැයි කියා ඔහු මීට කලින් පිලාත්ට පවසා තිබුණා. මේ ගැන තවදුරටත් පැහැදිලි කිරීම නිෂ්ඵලයි. යේසුස් පිළිතුරු නොදෙන නිසා පිලාත්ට කේන්ති යනවා. ඔහු එය සලකන්නේ තමාට කරන මදිපුංචිකමක් හැටියටයි. ඔහු කේන්තියෙන් මෙසේ අසනවා. “ඔබ මට කතා කරන්නේ නැද්ද? ඔබව නිදහස් කර හරින්නත් ඔබව කණුවක ඇණ ගසන්නත් මට බලය තිබෙන බව ඔබ දන්නේ නැද්ද?”
යේසුස් ගෞරවයෙන් යුතුව මෙසේ පිළිතුරු දෙනවා. “ඔබට ඉහළින් දී නොතිබුණා නම්, මට විරුද්ධව ඔබට කිසි බලයක් නැත.” දෙවි මනුෂ්‍ය පාලකයන්ට භූමික කාරණා හැසිරවීමට අවසර දී තිබෙනවා යන කාරණය ගැනයි ඔහු මෙහිදී සඳහන් කරන්නේ. යේසුස් මෙසේත් පවසනවා. “ඒ නිසා මාව ඔබට භාර දුන් මිනිසාගේ පාපය වඩා බරපතළ වන්නේය.” උත්තම පූජක කායෆස්, ඔහුගේ සගයන් මෙන්ම යූදස් ඉස්කාරියොත් යේසුස්ට කර තිබෙන අසාධාරණකම් නිසා ඔවුන් පිලාත්ට වඩා බරපතළ වරදක් කර තිබෙනවා.
යේසුස් ගැන ඊට වඩා පැහැදීමක් ඇති වන පිලාත් ඔහුට දිව්‍යමය ආරම්භයක් තිබිය හැකියයි සිතා බියපත් වෙමින් නැවතත් ඔහුව නිදහස් කිරීමට වෑයම් කරනවා. එහෙත් යුදෙව්වරුන් පිලාත්ගේ ඉල්ලීම්වලට යටත් වන්නේ නැහැ. ඔවුන් දේශපාලනික කාරණා මත පදනම් වූ චෝදනා නැවත වරක් සඳහන් කරමින් කපටි ලෙස මෙසේ තර්ජනය කරනවා. “ඔබ මොහුව නිදහස් කර හැරියොත්, ඔබ සීසර්ගේ මිත්‍රයෙකු නොවේ. තමාවම රජෙකු බවට පත් කරගන්න සෑම මිනිසෙකුම සීසර්ට විරුද්ධව කතා කරන්නේය.”
ඔවුන් බියගන්වනසුලු ආකාරයකින් තර්ජනය කළත් පිලාත් නැවත වරක් යේසුස්ව පිටතට රැගෙන ගොස් ආයාචනාත්මක ස්වරයකින් මෙසේ පවසනවා. “මෙන්න! ඔබේ රජ!”
එහෙත් ඔවුන් කෑගසන්නේ, “නැති කර දමන්න! නැති කර දමන්න! ඔහුව ඇණ ගසන්න” කියායි.
එවිට, “ඔබේ රජුව මා කණුවක ඇණ ගසන්නද” කියා පිලාත් ඉතා කනගාටුවෙන් අසනවා.
යුදෙව්වරු රෝම පාලනයට කොහෙත්ම කැමති නැහැ. ඇත්තටම ඔවුන් රෝම ආධිපත්‍යය හෙළා දකිනවා! එහෙත් ඔවුන් කුහක ලෙස පවසන්නේ “සීසර් හැර අපට වෙන කිසි රජෙකු නැත” කියායි.
පිලාත් තම දේශපාලනමය ස්ථාවරත්වය හා කීර්තිය අහිමි වෙයි කියා භය වී යුදෙව්වරුන්ගේ කෲර ඉල්ලීම්වලට යටත් වෙනවා. ඔහු යේසුස්ව හේවායන්ට භාර දුන් පසු ඔවුන් යේසුස්ගේ දම් පැහැති වස්ත්‍රය ගලවා ඔහුගේ පිට වස්ත්‍ර ඔහුට අන්දවනවා. ඇණ ගසනු ලැබීම සඳහා යේසුස්ව රැගෙන යද්දී ඔහුට සිදු වෙනවා ඔහුගේම වධකණුව රැගෙන යන්න.
මේ වන විට නීසාන් 14වන සිකුරාදා උදා වෙලා. දැන් සමහරවිට මධ්යාහ්නයටත් ළඟ ඇති. බ්‍රහස්පතින්දා උදේ පාන්දර අවදි වූ පසු යේසුස්ට නිදාගන්න අවස්ථාවක් ලැබී නැහැ. ඔහු එක දිගටම වේදනාකාරී අද්දැකීම් රාශියකට මුහුණ දී තිබෙනවා. එහෙම නම්, වධකණුවේ බර දරමින් සිටින විට ඔහුගේ ශක්තිය හීන වී බිමට වැටීම පුදුමයක් නොවෙයි. එවිට, එතැනට දුර බැහැර ප්‍රදේශයකින් පැමිණ සිටින අප්‍රිකාවේ සිරේනියේ සීමොන්ට එය රැගෙන යෑමට පවරනු ලබනවා. ඔවුන් ගමන් කරමින් සිටියදී, ඔවුන් පසුපස ස්ත්‍රීන් ඇතුළු මහත් සෙනඟක් යන අතර ඔවුන් ශෝකයෙන් තමන්ගේ පපුවට ගසමින් වැලපෙනවා.
යේසුස් ස්ත්‍රීන් දෙසට හැරී පවසන්නේ, “යෙරුසලමේ දූවරුනි, මා නිසා තවත් නොහඬන්න. ඒ වෙනුවට ඔබ නිසාත් ඔබේ දරුවන් නිසාත් හඬන්න. මන්ද, බලන්න! ‘වඳ ස්ත්‍රීන්ද දරුවන් බිහි නොකළ කුසද කිරි නොදුන් පියයුරුද සන්තෝෂවත්ය!’ කියා මිනිසුන් පවසන දවස් පැමිණෙන්නේය. . . . මන්ද, ගසෙහි තෙතමනය ඇති කල ඔවුන් මේ දේ කරන්නේ නම්, එය වියළුණු විට කුමක් සිදු වේද?”
යේසුස් ගස කියා යොමු දක්වන්නේ යුදෙව් ජාතියටයි. යේසුස් තවමත් ඔවුන් අතරේ සිටින නිසාත් ඔහු කෙරෙහි විශ්වාස කරන සුළු පිරිසක් සිටින නිසාත් එය තුළ යම් තෙතමනයක් හෙවත් ප්‍රාණවත් බවක් තවමත් තිබෙනවා. එහෙත් මොවුන්ව දේශයෙන් ඉවතට ගත් විට ඉතිරි වන්නේ ආත්මික වශයෙන් මළ ගසක් පමණයි. ඔවුන් අප්‍රාණික ජාතියක් බවට පත් වෙනවා. දෙවිගේ වධකයන් ලෙස ක්‍රියා කරන රෝම හමුදා යුදෙව් ජාතිය විනාශ කරන විට ඇත්තටම වැලපීමට සිදු වේවි! යොහන් 19:6-17; 18:31; ලූක් 23:24-31; මතෙව් 27:31, 32; මාක් 15:20, 21; NW.
▪ දේශපාලනික කාරණා පදනම් කරගෙන එල්ල කරන චෝදනාවලින් පලක් නැහැයි කියා වටහාගත් විට ආගමික නායකයන් යේසුස්ට විරුද්ධව එල්ල කරන්නේ කුමන චෝදනාවද?
▪ පිලාත් තවත් බියට පත් වන්නේ මන්ද?
▪ යේසුස්ට සිදු වන දේ සම්බන්ධයෙන් වඩා බරපතළ ලෙස වග කිව යුත්තේ කවුරුන්ද?
▪ යේසුස්ව මරණයට පත් කිරීමට භාර දෙන මෙන් පූජකයන් පිලාත්ව පොලඹවන්නේ කෙසේද?
▪ යේසුස් තමා වෙනුවෙන් හඬන ස්ත්රීන්ට කියන්නේ කුමක්ද? ගසේ “තෙතමනය” හා ඊළඟට එහි ‘වියළි’ බව ගැන කතා කරන විට ඔහු එයින් අදහස් කරන්නේ කුමක්ද?