131වෙනි පරිච්ඡේදය
අන්තිමට පෙනී සිටි අවස්ථා හා ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දිනය
යේසුස් තම ප්‍රේරිතයන් 11දෙනාව ගලීලයේ එක්තරා කන්දක් මත හමුවීමට සැලසුම් කර තිබෙනවා. එම රැස්වීම ගැන වෙනත් ගෝලයන්ටත් දැනුම් දී ඇති බව පැහැදිලියි. ඉතිං 500කට අධික පිරිසක් එක්රැස් වී සිටිනවා. යේසුස් එතැනට ඇවිත් ඔවුන්ට උගන්වන්න පටන්ගනිද්දී ගෝලයන්ට මොන තරම් ප්‍රීතියක් දැනෙන්න ඇද්ද කියා කල්පනා කර බලන්න!
යේසුස් මෙම විශාල සෙනඟට කාරණා කිහිපයක්ම පැහැදිලි කරනවා. ඉන් එකක් නම්, දෙවි ස්වර්ගයෙත් පොළොවෙත් සියලුම බලතල තමන්ට දී තිබෙනවා යන කාරණයයි. ඔහු ඔවුන්ට මෙසේ උනන්දු කරනවා. “එබැවින් ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න. පියාණන්ගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයෙන් ඔවුන්ව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්න ඔවුන්ට උගන්වන්න.”
ඒ ගැන මොහොතකට සිතා බලන්න! ගෝලයන් සෑදීමේ කාර්යයෙහි සහභාගි වීමට පුරුෂයන්, ස්ත්‍රීන් හා දරුවන් යන සියලුදෙනාම එක හා සමානව පැවරුම් ලබනවා. ඔවුන් විසින් කරනු ලබන දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කටයුතු නැවැත්වීමට විරුද්ධවාදීන් වෑයම් කරන බව නිසැකයි. එහෙත් යේසුස් ඔවුන්ට මෙම සැනසිලිදායක වචන පවසනවා. “බලන්න! සමාජ ක්රමයේ අවසාන කාල පරිච්ඡේදය දක්වා මම ඔබ සමඟ සැමදා සිටිමි.” යේසුස් තම ගෝලයන් සමඟ රැඳී සිටින්නේ ශුද්ධාත්මය ලබා දීම මගිනුයි. මෙසේ, ඔවුන්ගේ දේවසේවය ඉටු කිරීමට අවශ්‍ය උපකාරය ඔවුන්ට ලැබෙනවා.
යේසුස් තම නැවත නැඟිටීම සිදු වූ දා සිට දින 40ක කාලයක් පුරා කිහිප වතාවක්ම තම ගෝලයන්ට පෙනී සිටිනවා. එම අවස්ථාවලදී, ඔහු දේවරාජ්‍යය පිළිබඳව උගන්වමින් ඔවුන්ට අවධාරණය කරන්නේ ඔහුගේ ගෝලයන් වශයෙන් ඔවුන්ට තිබෙන වගකීම් ගැනයි. එක් අවස්ථාවකදී ඔහු තම අර්ධ සහෝදර යාකොබ්ටත් පෙනී සිට, නොඇදහිලිකරුවෙකු වන ඔහුට තමා ඇත්තටම ක්‍රිස්තුස් බව ඒත්තුගන්වනවා.
ප්‍රේරිතයන් තවමත් ගලීලයෙහි සිටියදී, යේසුස් ඔවුන්ට උපදෙස් දෙන්නේ ආපසු යෙරුසලමට යන්න කියායි. එහිදී ඔවුන්ව හමු වී ඔහු මෙසේ පවසනවා. “යෙරුසලමෙන් ඉවත්ව නොයන්න. ඔබ මගෙන් ඇසූ පියාණන් පොරොන්දු වූ දේ ගැන බලා සිටින්න. මන්ද යොහන් වතුරෙන් බව්තීස්ම කළේය. නමුත් වැඩි කලක් යෑමට මත්තෙන් ඔබව ශුද්ධාත්මයෙන් බව්තීස්ම කරනවා ඇත.”
පසුව, නැවත වරක් යේසුස් තම ප්‍රේරිතයන්ව මුණගැසී ඔවුන්ව නුවරින් පිටතට ගෙන යමින් බෙතානියට ළඟා වන තෙක්ම ඔවුන් සමඟ ගමන් කරනවා. බෙතානිය පිහිටා ඇත්තේ ඔලීව කන්දේ නැඟෙනහිර බෑවුමෙයි. ඔහු නොබෝ කලකින් ස්වර්ගයට යන බව යේසුස් මේ වන විට කිහිප වතාවක්ම පවසා තිබුණත්, පුදුමයකට මෙන් ඔවුන් තවමත් විශ්වාස කරන්නේ ඔහුගේ රාජ්‍යය පොළොව මත පිහිටුවනු ලබන බවයි. ඒ නිසා, ඔවුන් මෙසේ විමසනවා. “ස්වාමිනි, ඔබ ඊශ්රායෙලයට රාජ්‍යය නැවත පිහිටුවන්නේ මේ කාලයේදීද?”
ඔවුන්ව නිවැරදි කරන්න යනවා වෙනුවට, යේසුස් මෙසේ පිළිතුරු දෙනවා. “පියාණන් තමාගේම පාලනය යටතේ තබාගත් වේලාවන් හෝ නියමිත කාලවල් ගැන දැනගැනීම ඔබට අයිති නැත.” ඊළඟට, ඔවුන් කළ යුතු කාර්යය නැවත වරක් අවධාරණය කරමින් ඔහු මෙසේ පවසනවා. “ඔබ මතට ශුද්ධාත්මය පැමිණි විට ඔබට බලය ලැබෙනවා ඇත. එවිට ඔබ යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වාද මා ගැන සාක්ෂිකරුවෝ වන්නහුය.”
ඔවුන් බලා සිටියදීම, යේසුස් ස්වර්ගය දෙසට නැඟ යන අතර, ඔහු එකපාරටම වලාකුළකින් වැසී යනවා. මෙතෙක් මනුෂ්‍යයෙකු ලෙස මූර්තිමත් වී සිටියත් ඔහු දැන් එම ශරීරය පසෙක දමමින් ආත්ම පුද්ගලයෙක් වශයෙන් ස්වර්ගයට නඟිනවා. එකොළොස් දෙනා නෙත් අයා අහස දෙස බලා සිටිද්දී, සුදු වස්ත්‍ර පැළඳගත් මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔවුන් ළඟින් පෙනී සිටිනවා. ඒ, මූර්තිමත් වූ දේවදූතයන් දෙදෙනෙක්. ඔවුන් මෙසේ අසනවා. “ගලීලයේ මනුෂ්‍යයෙනි, ඔබ අහස දෙස බලා සිටින්නේ මන්ද? ඔබ කෙරෙන් අහසට ඔසවාගනු ලැබූ මේ යේසුස්, අහසට යනවා ඔබ දුටු ආකාරයෙන්ම එන්නේය.”
යේසුස් මොහොතකට කලින් පොළොව හැර ගියේ මහත් ජනකායක් ඉදිරියේ නොවෙයි. එම සිද්ධිය දුටුවේ ඔහුගේ විශ්වාසවන්ත අනුගාමිකයන් පමණයි. ඔහු නැවත පැමිණෙන්නෙත් ඒ ආකාරයටමයි. ඔහු මහත් ජනකායක් ඉදිරියේ උත්සවශ්‍රීයෙන් පැමිණෙන්නේ නැහැ. ඔහු රාජ්‍යය බලයෙන් යුක්තව නැවත පැමිණ සිටින බව අවබෝධ කරගන්නේ ඔහුගේ විශ්වාසවන්ත අනුගාමිකයන් පමණයි.
ප්‍රේරිතයන් ඔලීව කන්දෙන් බැස, කිද්‍රොන් මිටියාවත හරහා ගොස් ආපසු යෙරුසලමට ඇතුල් වෙනවා. යේසුස් අණ කළ ලෙස ඔවුන් එහි රැඳී සිටිනවා. දවස් දහයකට පසු, ගෝලයන් 120දෙනෙකු පමණ යෙරුසලමෙහි උඩුමහල් කාමරයක එක්රැස්ව සිටින්නේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී පවත්වන යුදෙව්වරුන්ගේ උත්සවය සඳහායි. එකවිටම, මුළු ගෙය පුරා තද හුළඟක් හමන්නාක් මෙන් ශබ්දයක් ඇසෙනවා. ඉන්පසු, ගිනි දළු වැනි වූ දිව්ද පෙනේ. එම දිව් රැස්ව සිටින සියලුදෙනා මත පැමිණෙන අතර ගෝලයන් සියල්ලෝම විවිධ භාෂාවලින් කතා කිරීමට පටන්ගන්නවා. යේසුස් තමා වගුරුවන බවට පොරොන්දු වූ ශුද්ධාත්මය මෙයයි! මතෙව් 28:16-20; ලූක් 24:49-52; 1 කොරින්ති 15:5-7; ක්‍රියා 1:3-15; 2:1-4; NW.
▪ සමුගැනීමට කලින් ගලීලයේ කන්දකදී, යේසුස් උපදෙස් දුන්නේ කාටද? මෙම උපදෙස් මොනවාද?
▪ යේසුස් තම ගෝලයන්ට සහනය දෙන්නේ කෙසේද? ඔහු ඔවුන් සමඟ රැඳී සිටීමට යන්නේ කෙසේද?
▪ තම නැවත නැඟිටීමෙන් පසු කොපමණ කාලයක් පුරා යේසුස් තම ගෝලයන්ට පෙනී සිටිනවාද? ඔහු ඔවුන්ට උගන්වන්නේ කුමක්ද?
▪ තම මරණයට පෙර තමාගේ ගෝලයෙකු නොවී සිටි කවරෙකු ඉදිරියේද යේසුස් පෙනී සිටින්නේ?
▪ තම ප්‍රේරිතයන් සමඟ යේසුස් පවත්වන්නේ කුමන අන්තිම රැස්වීම් දෙකද? මේ අවස්ථාවලදී සිදු වන්නේ කුමක්ද?
▪ යේසුස් පිටත්ව යන ආකාරයෙන්ම නැවත එනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
▪ ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී සිදු වන්නේ කුමක්ද?