133වෙනි පරිච්ඡේදය
දෙවි ඉල්ලා සිටින සියල්ල යේසුස් ඉටු කරයි
වික්‍රමාන්විත රජු වන යේසුස් ක්‍රිස්තුස් විසින් සාතන් හා ඔහුගේ අධර්මිෂ්ඨ ලෝකය විනාශ කරනු ලබද්දී එය මොන තරම් සතුටට කාරණයක් වනු ඇද්ද! එවිට, අපි සියලුදෙනාම ඉතා ආශාවෙන් බලා සිටින යේසුස්ගේ සාමකාමි දහස් අවුරුදු පාලනය ඇරඹේ!
යේසුස්ගේ හා ඔහුගේ හවුල් රජවරුන්ගේ මඟ පෙන්වීම යටතේ අර්මගෙදොන් නමැති ධර්මිෂ්ඨ යුද්ධයෙන් බේරී ජීවත් වන අය යුද්ධයේ සුන් බුන් ඉවත් කරනු ඇති. බේරී මිහිපිට ජීවත් වන අය කලකට දරුවන් බිහි කරාවියයි සිතිය හැකියි. මේ දරුවන්ද පොළොව ඉතා මනහර උයනක් බවට පත් කිරීමේ ප්‍රීතිදායක කාර්යයෙහි හවුල් වේවි.
කල් යත්ම මෙම සුන්දර පාරාදීසය තුළ සතුටින් ජීවත් වීමට හැකි වන පිණිස යේසුස් දශලක්ෂ ගණනාවක් සොහොන් ගෙවල්වලින් නැඟිටුවනවා. ඔහු එසේ කරන්නේ ඔහු කළ මේ පොරොන්දුවට එකඟවයි. ‘සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ ඔවුහු පිටතට එන්නෝය.’
යේසුස් විසින් නැවත නැඟිටුවනු ලබන අය අතර යේසුස් වධකණුව මත සිටිද්දී ඔහු සමඟ මිය ගිය අපරාධකරුද සිටින බව නිසැකයි. “සැබවින්ම මම අද ඔබට කියමි, ඔබ මා සමඟ පාරාදීසයේ සිටින්නෙහිය” කියා යේසුස් ඔහුට පොරොන්දු වූ බව ඔබට මතක ඇති. එම මිනිසා යේසුස් සමඟ රජෙකු වශයෙන් පාලනය කිරීමට ස්වර්ගයට යන්නේ නැහැ. ඒ වගේම, ඔහු සමඟ පාරාදීසයේ ජීවත් වීම සඳහා යේසුස් නැවතත් මනුෂ්‍යයෙකු වෙන්නට යන්නෙත් නැහැ. එසේනම්, යේසුස් අපරාධකරුවෙකුව සිටි එම මිනිසා සමඟ පාරාදීසයෙහි සිටින්න යන්නේ කුමන අර්ථයෙන්ද? එනම්, ඊළඟ පිටුවෙහි නිදර්ශනය කර ඇති පරිදි, පාරාදීසයේ ජීවත් වීම සඳහා ඔහුව නැවත නැඟිටුවමින් ඔහුගේ ශාරීරික හා ආත්මික අවශ්‍යතා සැපිරීම මගිනුයි.
ඒ ගැන සිතා බලන්න! අර්මගෙදොන් යුද්ධයෙන් බේරී ජීවත් වන අය, ඔවුන්ගේ දරුවන් හා ඔහුට කීකරු වන නැවත නැඟිටුවන ලද මිලියන ගණනක් ඇතුළු මුළු මිනිස් පවුලම යේසුස්ගේ ප්‍රේමණීය රැකවරණය යටතේ පරිපූර්ණත්වය කරා ළඟාවීමට නියමිතයි. යෙහෝවා තම රාජකීය පුත්‍රයා වන, යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ආත්මික අර්ථයකින් මිනිසා සමඟ වාසය කරනවා. තවද ස්වර්ගයෙන් යොහන්ට ඇසුණු හඬ පැවසූ පරිදි, “[දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුලක්ම පිස දමන්නේය, මරණයද තවත් නොවන්නේය, වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.” මිහිපිට වෙසෙන කිසිවෙකු දුක් විඳින්නේවත් අසනීප වන්නේවත් නැහැ.
දෙවි පළමු මිනිස් යුවළ වන ආදම්ට සහ ඒවට බෝ වී පොළොව පූර්ණ කරන්න කියා පැවසූ අවස්ථාවේදී අරමුණ කළ දේ යේසුස්ගේ දහස් අවුරුදු පාලනය අවසන් වන විට සම්පූර්ණයෙන්ම ඉටු කර තිබෙන බවට නිසැකයි. පොළොව පුරාම ධර්මිෂ්ඨ පරිපූර්ණ මිනිසුන් ජීවත් වේවි. මෙය ඉටු කරනු ඇත්තේ යේසුස්ගේ මිදීමේ මිල පූජාවේ ප්‍රයෝජන සෑම කෙනෙකුට අත් කර දීම මගිනුයි. ඒ කාලයේදී, ආදම්ගෙන් උරුම වූ පාපය නිසා කිසිවෙකු මිය යන්නේ නැහැ!
මෙසේ, යෙහෝවා තමාගෙන් ඉල්ලූ සෑම දෙයක්ම යේසුස් ඉටු කරනු බව නොඅනුමානයි. අවුරුදු දහස අවසානයේදී, යේසුස් යළි තම පියාට රාජ්‍යයද පරිපූර්ණත්වයට පත් කරන ලද මිනිස් පවුලද භාර දීමට නියමිතයි. ඉන් අනතුරුව, ආගාධයේ එනම්, මරණය බඳු අක්‍රියාශීලී තත්වයක සිටින සාතන්වත් ඔහුගේ භූතයන්වත් දෙවි නිදහස් කරනවා. මෙසේ කරන්නේ කිනම් අරමුණක් ඇතුවද?
අවුරුදු දහස අවසන් වන විට, පාරාදීසයේ ජීවත් වන බහුතරයක්ම නැවත නැඟිටුවන ලැබූ අය වේවි. ඒ වන තෙක්, ඔවුන්ගේ ඇදහිල්ල පරීක්ෂාවට ලක් වී නැහැ. මිය යෑමට පෙර, ඔවුන් දෙවිගේ පොරොන්දු නොදැන සිටි බැවින්, ඒවා කෙරෙහි ඇදහිල්ල ප්‍රකාශ කිරීමට ඔවුන්ට ප්‍රස්තාවක් ලැබුණේ නැහැ. ඒ වගේම, නැවත නැඟිටුවනු ලැබීමෙන් අනතුරුව පාරාදීසය තුළ විරුද්ධවාදිකම් නොමැතිව බයිබල් සත්‍යයන් ඉගෙනගෙන දෙවිට සේවය කිරීම එතරම් අපහසු දෙයක් නොවෙයි. එහෙත් දෙවිට සේවය කිරීමෙන් ඔවුන්ව වැළැක්වීමට සාතන්ට අවස්ථාවක් ලබා දුන්නොත්, ඔවුන් පරීක්ෂණය යටතේ පක්ෂපාතව සිටීවිද? සාතන්ව මුදාහරින්නේ මෙම ප්‍රශ්නයට පිළිතුරක් සැපයීම සඳහායි.
යේසුස්ගේ දහස් අවුරුදු පාලනයෙන් පසු නිශ්චිතව සඳහන් කර නොමැති මනුෂ්‍යයන් සංඛ්‍යාවක් සාතන් දෙවිගෙන් ඉවතට හරවන බව යොහන්ට දෙන ලද එළිදරව්ව තුළ පැහැදිලි කර තිබෙනවා. එහෙත්, අන්තිම පරීක්ෂණය අවසන් වූ පසු සාතන්ව, ඔහුගේ භූතයන්ව හා ඔහු මුළා කළ සියල්ලන්වම සදහටම විනාශ කරනු ලබනවා. හැම අතින්ම පරීක්ෂා කරනු ලැබූ පක්ෂපාත බේරී ජීවත් වන්නන්ට තම ස්වර්ගික පියාණන්ගේ ආශීර්වාද සදහටම භුක්ති විඳීමට ඉන් හැකියාව ලැබේවි.
දෙවිගේ මහිමවත් අරමුණු ඉටු කිරීම සම්බන්ධයෙන් යේසුස් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබෙන අතර, තවදුරටත් එසේ කරන බව පැහැදිලියි. දෙවිගේ ශ්‍රේෂ්ඨ ස්වර්ගික රජු ලෙස ඔහු ඉටු කරන දෙය නිසා අපට මොන තරම් පුදුමාකාර අනාගතයක් භුක්ති විඳිය හැකිද කියා සිතා බලන්න! ඒ වගේම, ඔහු මිනිසෙකුව සිටියදී කළ සියල්ලද අපට අමතක කළ නොහැකියි.
යේසුස් කැමැත්තෙන්ම පොළොවට පැමිණ, තම පියාණන් පිළිබඳව අපට ඉගැන්වූවා. ඒ විතරක් නොවෙයි, ඔහු දෙවිගේ අනගි ගුණාංග පිළිබිඹු කිරීම සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් තැබුවා. ඔහුගේ පුදුමාකාර නිර්භීතකම හා ශක්තිය මෙන්ම ඔහුගේ අසමසම ප්‍රඥාව, අභීත නායකත්වය, අතිදක්ෂ ඉගැන්වීමේ හැකියාව, දයානුකම්පාව හා සංවේදනය ගැන සිතද්දී අපේ සිත ඔහු වෙතට ඇදී යන්නේ නැද්ද? එමෙන්ම, අපට ජීවනය ලබාගත හැකි එකම මාර්ගය වන මිදීමේ මිලය සැපයීමේදී ඔහු වින්ද වේදනාව ගැන කල්පනා කරද්දී අපේ හදවත අගයෙන් පිරී යන බව නිසැකයි!
යේසුස්ගේ ජීවිතය පිළිබඳව කර තිබෙන මෙම අධ්‍යයනයේදී, ඔහු මොන තරම් ශ්‍රේෂ්ඨ චරිතයක්ද කියා මනාව පැහැදිලි වී තිබෙනවා. ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය පුදුම දනවන්නක්. එය අසමසමයි. රෝම ආණ්ඩුකාර පොන්තියස් පිලාත්ගේ මෙම වචන ප්රතිනාද කිරීමට අපිද පෙලඹෙන බව නිසැකයි. “මෙන්න! ඒ මිනිසා!” ඔව්, මේ “මිනිසා,” ඇත්තෙන්ම මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයායි!
ආදම්ගෙන් උරුම වී තිබෙන පාපයෙන් හා මරණයෙන් අපට මිදිය හැක්කේ යේසුස්ගේ මිදීමේ පූජාව පිළිගැනීමෙනුයි. තවද, එමගින් යේසුස් අපගේ ‘සදාකාල පියාණන්’ කරගැනීමටද අපට පුළුවන්. සදාකාල ජීවනය ලැබීමට යන සියලුදෙනාම දෙවි ගැන පමණක් නොව, ඔහුගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් ගැනද දැනුම ලබාගත යුතුයි. මෙම පොත කියවීම හා අධ්‍යයනය කිරීම එබඳු ජීවනදායක දැනුම ලබාගැනීම සඳහා ඔබට මහඟු උපකාරයක් වේවි කියා අපේ බලාපොරොත්තුවයි! 1 යොහන් 2:17; 1:7; යොහන් 5:28, 29; 3:16; 17:3; 19:5; ලූක් 23:43; NW; උත්පත්ති 1:28; 1 කොරින්ති 15:24-28; එළිදරව් 20:1-3, 6-10; 21:3, 4; NW; යෙසායා 9:6.
▪ අර්මගෙදොන් යුද්ධයෙන් බේරී ජීවත් වෙන අයට හා ඔවුන්ගේ දරුවන්ට ලැබෙන ප්‍රීතිමත් වරප්‍රසාදය කුමක්ද?
▪ අර්මගෙදොන් යුද්ධයෙන් බේරී ජීවත් වෙන අයටත් ඔවුන්ගේ දරුවන්ටත් අමතරව පාරාදීසය භුක්ති විඳින්ට යන්නේ කවුරුන්ද? යේසුස් ඔවුන් සමඟ සිටිනු ඇත්තේ කිනම් අර්ථයකින්ද?
▪ අවුරුදු දහස අවසානයේදී තත්වය කුමක් වේවිද? එවිට යේසුස් කුමක් කරනු ඇද්ද?
▪ සාතන්ව ආගාධයෙන් මුදනු ලබන්නේ ඇයි? අන්තිමේදී ඔහුට සහ ඔහුව අනුගමනය කරන සියල්ලන්ට කුමක් සිදු වේවිද?
▪ යේසුස්ව අපගේ ‘සදාකාල පියාණන්’ කරගත හැක්කේ කෙසේද?