ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • T-20 2-6 පි.
  • සිතට සහනයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සිතට සහනයක්
  • සිතට සහනයක්
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සැනසිල්ල ලබා දිය හැකි අයුරු
  • යළි කිසිවෙක් කලකිරීමට පත් වෙන්නේ නැහැ
  • උපකාරය පිරිනමන්නේ කෙසේද?
    2001 පිබිදෙව්!
  • ‘සියලු සැනසිල්ලේ දෙවිගෙන්’ ලැබෙන උපකාරය
    2009 පිබිදෙව්!
  • මට මෙතරම් අසහනයක් ඇති වන්නේ මන්ද?
    යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • කලකිරිලා ඉන්න මට බයිබලෙන් සහනයක් ලබාගන්න පුළුවන්ද?
    බයිබලයෙන් උත්තර
තව තොරතුරු
සිතට සහනයක්
T-20 2-6 පි.

සිතට සහනයක්

කාලයක් පුරා මිනිසුන් දුක් වේදනා අද්දකින විට හෝ බියෙන් ජීවත් වන විට ඔවුන් මානසික පීඩනයට ලක් වෙනවා. ඔවුන් ආදරය කරන කෙනෙක් මිය යෑම, විවාහය දෙකඩ වීම, රැකියාව අහිමි වීම හෝ කාලයක් පුරා අසනීපවලින් පෙළීම වැනි දේවල් ඊට හේතු විය හැකියි. මානසික පීඩනයට තවත් හේතුවක් වෙන්නේ තමන් වටින්නේ නැති කෙනෙක් කියා සිතීමයි. තමන් කරන සෑම දෙයක්ම අසාර්ථක වන නිසා අන් අය තමන් කෙරෙහි තබා තිබූ බලාපොරොත්තු ඉටු කිරීමට නොහැකි වන විට සමහර අයට එලෙස හැඟෙනවා. ඕනෑම කෙනෙක් පීඩාකාරී තත්වයන්ට මුහුණ දිය හැකියි. ඒත් එයින් ගැලවීමට මඟක් නැහැයි කියා හෝ කිසි බලාපොරොත්තුවක් නැහැයි කියා පෙනෙන විට දරුණු ලෙස මානසික පීඩනයෙන් පෙළෙන්න ඉඩ තිබෙනවා.

ඈත අතීතයේ සිටි අයටත් එසේ හැඟී තිබෙනවා. දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වූ යෝබ් නමැති පුද්ගලයා අසනීප හා නොයෙකුත් විපත්වලට මුහුණ දුන් කෙනෙක්. ඔහු සිතුවේ දෙවි ඔහුව අත්හැර තිබෙනවා කියායි. ඒ නිසා ඔහුට ජීවිතය තිත්ත වුණා. (යෝබ් 10:1; 29:2, 4, 5) දෙවිගේ තවත් විශ්වාසවන්ත සේවකයෙක් වූ යාකොබ් තම පුත්‍රයාගේ මරණය නිසා බොහෝ සෙයින් කලකිරීමට පත් වුණා. ජීවත් වෙනවාට වඩා මිය යෑම හොඳයි කියා ඔහු සිතුවා. (උත්පත්ති 37:33-35) තමන් අතින් සිදු වූ බරපතළ වරදක් නිසා සිතේ වේදනාවෙන් දාවිත් රජ මෙසේ විලාප නැඟුවා. “දවස මුළුල්ලේ මම දුකින් ඇවිද්දෙමි. මාගේ මුළු ඇඟම හිරිවැටී ඇත.”—ගීතාවලිය 38:6, 8; 2 කොරින්ති 7:5, 6.

අද දිනත් බොහෝදෙනෙක් මානසික පීඩනය අද්දකින්නේ තමන්ට කළ නොහැකි තරම් එදිනෙදා ජීවිතයේ දහසකුත් වැඩ රාජකාරිවලින් හෙම්බත් වී සිටින නිසයි. අධික පීඩනය හා සිත්තැවුල් නිසා කෙනෙකුගේ මොළයේ තිබෙන රසායනික ක්‍රියාකාරිත්වයට බලපෑමක් සිදු විය හැකියි. එයින් කෙනෙක් කලකිරී මානසික පීඩනයට ගොදුරු වෙයි.—හිතෝපදේශ 14:30 බලන්න.

එම තත්වය පුදුම වීමට හේතුවක් නොවෙයි. මන්ද බයිබලයේ සඳහන් ලෙස අප ජීවත් වෙන්නේ ‘අවසාන කාලයේදීයි.’ එය “ඉතා අසීරු, අනතුරු සහිත කාලයක්” කියාද එහි සඳහන් වෙනවා. (2 තිමෝති 3:1-5) යේසුස් ක්‍රිස්තුස් පැවසුවේ අන්තිම කාලයේදී ‘බිහිසුණු දේවල් දකින්න’ ලැබෙනවා කියායි.—ලූක් 21:7-11; මතෙව් 24:3-14.

‘මුළු මිනිස් වර්ගයාම මේ දක්වා එක්ව කෙඳිරිගාමින් හා වේදනා විඳිමින් සිටිනවා’ කියා මීට අවුරුදු 1,900කට පෙර බයිබල් ලේඛකයෙක් පැවසුවා. (රෝම 8:22) ඒ කාලයේදීත් ජනයා බොහෝ දුක් පීඩාවලට මුහුණ දුන්නා. හුඟදෙනෙක් කලකිරී සිටියා. ඒ නිසා “කලකිරී සිටින අයව සනසවන්න කියා” ඔහු ඒ අයට උනන්දු කළා.—1 තෙසලෝනික 5:14.

සැනසිල්ල ලබා දිය හැකි අයුරු

ෆිලිප්පි නගරයේ එපෆ්‍රොදිතස් නම් දෙවිට සේවය කළ පුද්ගලයෙක් සිටියා. ඔහුගේ මිත්‍රයන් යේසුස්ගේ නියෝජිතයෙක් වූ පාවුල්ට අවශ්‍ය දේවල් සැපයීම සඳහා එපෆ්‍රොදිතස්ව රෝමයට යැවූ අවස්ථාවේදී ඔහු අසනීප වුණා. ඔහු ‘අසනීපයෙන් සිටි බව [ඔහුගේ මිත්‍රයන්ට] ආරංචි වූ නිසා ඔහු කලකිරීමට’ පත් වුණා. තම මිත්‍රයන්ගේ බලාපොරොත්තු සුන් කළා කියා ඔහුට හැඟුණු නිසා ඔහු සිටියේ දුකෙන්. (ෆිලිප්පි 2:25-27; 4:18) පාවුල් ඔහුට උපකාර කළේ කොහොමද?

පාවුල් ඔහුව නැවත ෆිලිප්පියට යවන විට ඔහු අතේ මෙසේ ලියා යැව්වා. “ඔබ සාමාන්‍යයෙන් ස්වාමීන්ගේ අනුගාමිකයන්ව සාදරයෙන් පිළිගන්නා ආකාරයට [එපෆ්‍රොදිතස්වත්] සාදරයෙන් පිළිගන්න. එවැනි පුරුෂයන්ට නිසි ගෞරවය දක්වන්න.” (ෆිලිප්පි 2:28-30) පාවුල් ඔහුව අගය කළ නිසාත් ෆිලිප්පියේ අය ඔහුව සාදරයෙන් පිළිගත් නිසාත් ඔහුට මහත් සහනයක් දැනෙන්න ඇති.

කලකිරී සිටින අයට සැනසිලිදායක ලෙස කතා කිරීම තමයි කළ හැකි හොඳම දේ කියා එයින් පැහැදිලි වෙනවා. මානසික පීඩනයෙන් පෙළුණු කාන්තාවක් පැවසූ මේ දෙයින් එය සැබෑ බව ඔප්පු වෙනවා. “අනික් අය මං ගැන සැලකිලිමත් වෙනවා කියලා මට දැනෙන්න ඕනේ. ‘මට ඔයාගේ දුක තේරෙනවා. ඔයාගේ ප්‍රශ්න විසඳෙයි’ කියලා කවුරු හරි කෙනෙක් කියනවා අහන්න ලැබෙනවා නම් ඒ ඇති.”

කලකිරීමට පත් වී සිටින කෙනෙක් තම සිත්තැවුල් ගැන බියක් සැකක් නැතුව පැවසීමට විශ්වාසවන්ත පුද්ගලයෙකුව සොයාගැනීමට මුල් පියවර ගත යුතුයි. එම පුද්ගලයා සවන් දීමට කැමති, ඉවසිලිවන්ත කෙනෙක් වීම වැදගත්. ඔහු හෝ ඇය කිසිවිටෙකත් කලකිරී සිටින කෙනාට දේශනයක් දීම හෝ ‘ඔයා ඔය විදිහට හිතන්න එපා.’ එහෙමත් නැත්නම් ‘ඒක වැරදි සිතුවිල්ලක්’ කියා කීම සුදුසු දෙයක් නොවෙයි. එවැනි කෙනෙකුගේ සිත ඉක්මනින්ම වේදනාවට පත් වෙනවා. ඒ නිසා එවැනි දේවල් කීමෙන් එම පුද්ගලයාට තමන් ගැන තව තවත් කලකිරීමක් ඇති වෙයි.

මානසික පීඩනයෙන් සිටින කෙනෙකුට හැඟෙන්නේ තමන් වටින්නේ නැහැ කියායි. (යෝනා 4:3) නමුත් යමෙකු සැලකිලිමත් විය යුත්තේ දෙවි එක් එක් පුද්ගලයන් ගැන සැලකිලිමත් වන ආකාරය ගැනයි. යේසුස්ව ‘මිනිසුන් විසින් සුළු කොට එපා කරනු ලැබුවා.’ නමුත් එය දෙවි ඉදිරියේ ඔහුට තිබූ වටිනාකම අඩු වීමට හේතුවක් වුණේ නැහැ. (යෙසායා 53:3) දෙවි තම පුත්‍රයාට සැලකූ ලෙසම ඔබටත් සලකන බව අමතක කරන්න එපා.—යොහන් 3:16.

පීඩනයට පත්ව සිටි අය ගැන යේසුස්ට අනුකම්පාවක් දැනුණා. ඔවුන් කොතරම් වටිනා අයද කියා තේරුම්ගන්න යේසුස් ඔවුන්ට උපකාර කළා. (මතෙව් 9:36; 11:28-30; 14:14) කිසිදු වටිනාකමක් නැති ගේ කුරුල්ලෙකු පවා දෙවිට අගෙයි කියා යේසුස් පැහැදිලි කළා. ඔහු පැවසුවේ “දෙවිට උන්ගෙන් එකෙකුවත් අමතක වෙන්නේ නැහැ” කියායි. දෙවිගේ කැමැත්ත කිරීමට වෑයම් කරන මිනිසුන්ව දෙවි ඊටත් වඩා කොතරම් අගය කරයිද! එවැනි අය ගැන යේසුස් මෙසේ පැවසුවා. “ඔබේ හැම කෙස්ගසක්ම දෙවි ගණන් කර තිබෙනවා.”—ලූක් 12:6, 7.

ඇත්තයි. තම දුර්වලකම් සහ වැරදි ගැන අනවශ්‍ය ලෙස ළත වෙමින් සිටින කෙනෙකුට තමන්ව දෙවිට එතරම් වටිනවා කියා පිළිගැනීම පහසු දෙයක් නොවිය හැකියි. දෙවිගේ ප්‍රේමය හා සැලකිල්ල ලැබීමට තරම් තමන් වටින්නේ නැහැ කියා ඔහුට හැඟෙන්න පුළුවන්. ‘අපගේ සිත් අපට දොස් නඟයි’ කියා බයිබලයෙත් සඳහන් වෙනවා. දෙවිට අපව වටින්නේ නැහැ කියා එයින් අදහස් කරනවාද? කොහෙත්ම නැහැ. වැරදි කිරීමට නැඹුරුවාවක් තිබෙන අප, අප ගැන වැරදි ලෙස සිතීමට හෝ අප වටිනාකමක් නැති අය කියා සිතීමට ඉඩ තිබෙන බව දෙවි තේරුම්ගන්නවා. ඒ නිසා බයිබලයේ අපට මෙවැනි සහනදායි වදන් කියවීමට තිබෙනවා. ‘අපට වඩා හොඳින් දෙවි අපගේ සිත් ගැන දන්නවා. ඔහු සියලු දේ දන්නා කෙනෙක්.’—1 යොහන් 3:19, 20.

අපේ දෙවි වන යෙහෝවා බලන්නේ අපේ වැරදි දෙසම නොවෙයි. අප අද්දකින තත්වයන්, අප ජීවත් වන ආකාරය අපේ සිතුවිලි යන සියලු දේ ඔහු දන්නවා. අප පව්කාරයන් නිසා අසනීප වී මිය යන බැවින් අපට කළ හැකි දේ සීමිත බවත් ඔහු දන්නවා. අප අතින් සිදු වන වැරදි ගැන අප දුක් වීමෙන් පෙන්වන්නේ අපට ඇත්තෙන්ම ඒ දේවල් කිරීමට කැමැත්තක් නැති බවයි. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “මිනිස් වර්ගයාට නිෂ්ඵල ජීවිතයක් උරුම වුණේ” ඔවුන්ගේම කැමැත්ත නිසා නොවෙයි. ඒ නිසා අපගේ අසරණ තත්වය ගැන අනුකම්පාවක් දක්වන දෙවි, අප අතින් වැරදි සිදු වෙන්නේ අප දුර්වල නිසා බව තේරුම්ගන්නවා.—රෝම 5:12; 8:20.

“යෙහෝවා දෙවි දයාන්විතය. කරුණාවන්තය” කියා අපට බයිබලයේ සහතිකයක් දී තිබෙනවා. ඒ වගේම “බස්නාහිර නැඟෙනහිරෙන් බොහෝ ඈත්ව තිබෙන්නා සේ ඔහු අපේ වැරදිද අපෙන් දුරස් කරන්නේය. ඔහු අපේ ස්වභාවය හොඳින් දන්නේය. අපව දූවිල්ලෙන් සෑදූ බව ඔහු සිහි කරන්නේය” කියාත් බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 103:8, 12, 14) ඇත්තෙන්ම යෙහෝවා දෙවි ‘සියලු සැනසිල්ලේ දෙවියි. අපගේ සියලු පීඩාවලදී අපව සනසන්නේ ඔහුයි.’—2 කොරින්ති 1:3, 4.

මානසික පීඩනයක් අද්දකින අයට අවශ්‍ය සහනය ලැබෙන්නේ දයාන්විත දෙවි වන යෙහෝවාට ළං වීමෙන් සහ ඔහු ඉල්ලා සිටින ආකාරයට ‘සියලු බර ඔහුට භාර දීමෙනුයි.’ දෙවිට හැකියි ‘පීඩාවට පත් වූ අසරණයන්ගේ සිත් සනසා ඔවුන්ව ශක්තිමත් කරන්න.’ (ගීතාවලිය 55:22; යෙසායා 57:15) ඒ නිසා බයිබලයේ අපට මෙසේ යාච්ඤා කරන්න කියා දිරිගන්වනවා. “ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම [යෙහෝවා දෙවි] පිට තබන්න.” (1 පේතෘස් 5:7) යාච්ඤා හා කන්නලව් කිරීමෙන් දෙවිට ළං වී ‘ඔහු ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන්.’—ෆිලිප්පි 4:6, 7; ගීතාවලිය 16:8, 9.

ඒ වගේම මානසික පීඩනයට ලක් වූ කෙනෙකුට එදිනෙදා ජීවිතයේ යම් වෙනස්කම් කරගැනීමෙන් යම් සහනයක් අද්දැකිය හැකියි. ව්‍යායාම් කිරීම, පෝෂ්‍යදායි ආහාර ගැනීම, නැවුම් වාතාශ්‍රය හා විවේකය ගැනත් ඔවුන් සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම වැඩි කාලයක් රූපවාහිනිය බැලීමෙන් වැළකී සිටීම වැදගත්. ව්‍යායාම් සඳහා ඇවිදින්න කියා එක් කාන්තාවක් එවැනි අයට උනන්දු කළා. කලකිරී සිටි එක් ස්ත්‍රියක් “මට ඇවිදින්න ආස නැහැ” කියා පැවසූ විට එම කාන්තාව සන්සුන්ව නමුත් ස්ථිරව මෙහෙම කිව්වා. “නැහැ. ඔයා ඇවිදින්නම ඕනේ.” පසුව සිදු වූ දේ ගැන ඇය මෙසේ පවසනවා. “අපි කිලෝමීටර් හයක් ඇවිද්දා. අපි ඇවිදලා එද්දී එයාට හොඳටම මහන්සියි. ඒත් එයාට සුවයක් දැනුණා. ඇවිදලා බලනකල්ම ඒකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන ඔබ විශ්වාස කරන එකක් නැහැ.”

සමහර අවස්ථාවලදී ප්‍රතිකාර ගත්තත් මානසික පීඩනය මුළුමනින්ම සුව කරන්න බැහැ. “මම කලකිරීමෙන් ගොඩ එන්න හැම දෙයක්ම කළා. ඒත් සුවයක් ලැබුණේ නැහැ” කියා මැදිවියේ පසු වන කාන්තාවක් පැවසුවා. අද දින අන්ධ ගොළු බිහිරි අයව මුළුමනින්ම සුව කරන්න බැහැ. ඒ වගේම මානසික පීඩනයෙන් පෙළෙන සමහර අයවද මුළුමනින්ම සුව කරන්න බැහැ කියා අපි තේරුම්ගත යුතුයි. නමුත් එවැනි අයට බයිබලය නිතිපතා කියවීමෙන් සැනසීමක් ලැබෙන අතර ජීවිතයට බලාපොරොත්තුවක්ද ලැබෙයි. මිනිසුන් අද්දකින සියලු අසනීපවලට සදාකාලික සුවයක් ලැබෙන බවට එහි පොරොන්දු වී තිබෙනවා.—රෝම 12:12; 15:4.

යළි කිසිවෙක් කලකිරීමට පත් වෙන්නේ නැහැ

මේ සමාජයේ අවසාන කාලයේදී නොයෙක් භයානක සිදුවීම් වන බව යේසුස් පැහැදිලි කළා. ඊටපසු ඔහු මෙසේද පැවසුවා. “ඒ දේ සිදු වෙන්න පටන්ගන්නා විට ඔබ ධෛර්යය උපදවාගෙන නැඟිටින්න. ඔබේ හිස් ඔසවන්න. මන්ද ඔබේ ගැලවීම ළඟයි.” (ලූක් 21:28) යේසුස් කතා කරමින් සිටියේ දෙවි මේ පොළොව පාරාදීසයක් කරන කාලය ගැනයි. ඒ කාලයේදී “පාපය හා මරණය නිසා දිරාපත් වී යන මිනිස් වර්ගයාට එම ග්‍රහණයෙන් නිදහස් වී, දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක් භුක්ති විඳීමට” හැකි වෙයි.—රෝම 8:21.

එදාට අතීතයේ විඳි සියලු දුක් ගැහැටවලින් නිදහස් වී සෑම දිනකම හිතේ සැහැල්ලුවෙන් එදිනෙදා කටයුතුවල නිරත විය හැකියි. එය මොන තරම් සහනයක්ද! කිසිවෙකුවත් මානසික පීඩනය අද්දකින්නේ නැහැ. සියලු මනුෂ්‍ය වර්ගයාට දෙවි දී තිබෙන බලාපොරොත්තුව මෙයයි. “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළිදරව් 21:3, 4.

බයිබල් පද රැගෙන තිබෙන්නේ ශුද්ධ බයිබලය—නව ලොව පරිවර්තනය නමැති පරිවර්තනයෙනි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න