මම ඕනෑවට වඩා දුක් වෙනවාද?
“මම හැදී වැඩුණේ එංගලන්තයේ. මගේ තාත්තා හමුදාවේ වැඩ කරපු කෙනෙක්. කුඩා කාලයේ ඉඳන් මට උගන්වලා තිබුණේ මගේ හැඟීම් ප්‍රසිද්ධියේ පෙන්නන්න එපා කියලා. මගේ හිතට දුකක් දැනෙන හැම වෙලාවෙම තාත්තා දත්මිටි කාගෙන මෙහෙම කියනවා. ‘අඬන්න විතරක් ලෑස්ති වෙන්න එපා!’ ඒ වගේම මගේ අම්මා කවදාවත් අපිව තුරුලු කරගෙන ඉඹිනවා මට මතක නැහැ. (මට සහෝදර සහෝදරියෝ තුන්දෙනෙක් හිටියා.) මගේ තාත්තා මැරෙන කොට මට අවුරුදු 56යි. මට ලොකු දුකක් දැනුණත් මම ඇඬුවේ නැහැ.” එසේ ලිව්වේ වියෝදුක අද්දැක්ක කෙනෙක්.
සමහර සංස්කෘතීන්වලට අයත් පුද්ගලයන් තම හැඟීම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා. ඒ නිසා ඔවුන් සතුටින්ද දුකින්ද ඉන්නේ කියා අන් අය දන්නවා. ඒත් යුරෝපය ඇතුළු තවත් සමහර රටවල සිටින අය විශේෂයෙන්ම පුරුෂයන් ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න පුරුදු වී නැහැ. එසේනම් ඔබ ආදරය කරන කෙනෙක් මිය ගිය විට ඒ දුක ප්‍රකාශ කරන එක වැරදිද? ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ කුමක්ද?
ඇඬු අය ගැන බයිබලයේ සඳහන් දේ
බයිබලය ලිවීමට දෙවි යොදාගත්තේ මධ්‍යධරණී මුහුදේ නැඟෙනහිරට වෙන්න පිහිටි ප්‍රදේශවල විසූ හෙබ්‍රෙව් ජාතිකයන්වයි. ඔවුන් සාමාන්‍යයෙන් තම හැඟීම් නොසඟවා ප්‍රකාශ කළා. උදාහරණයකට තම දුක්බර හැඟීම් ප්‍රකාශ කළ අය ගැන වාර්තා බයිබලයේ සඳහන් වෙනවා. දාවිත් රජ දුක් වූ ආකාරය ගැන සලකා බලන්න. ඔහුගේ පුත්‍රයා වන අම්නොන් මිය ගිය අවස්ථාවේදී දාවිත් ‘මහත් හඬින් ඇඬුවා’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (2 සාමුවෙල් 13:28-39) රජකම පැහැරගැනීමට තැත් කළ තම පුත්‍ර අබ්සලොම් මිය ගිය අවස්ථාවේදීත් දාවිත් රජ දුක් වුණා. “එය අසා රජ [දාවිත්] කැලඹුණේය. ඔහු දොරටුවට ඉහළින් තිබූ කාමරයට ගොස් එහෙට මෙහෙට ඇවිදිමින්, ‘අනේ අබ්සලොම්, අනේ මගේ පුතේ අබ්සලොම්. ඔබ වෙනුවට මම මැරුණා නම් හොඳයි. අනේ මගේ පුතේ අබ්සලොම්’ කියමින් හඬා වැලපුණේය.” (2 සාමුවෙල් 18:33) සාමාන්‍යයෙන් ඕනෑම පියෙක් දුක් වන ආකාරයට දාවිත් රජත් දුක් වුණා. දරුවෙක් දෙමාපියන්ට කලින් මිය යෑම අසාමාන්‍ය දෙයක්. ඒ නිසා දරුවෙකුගේ මරණය දෙමාපියන් කිසිදා බලාපොරොත්තු නොවන දෙයක්.
යේසුස් තම මිත්‍ර ලාසරුස් මිය ගිය අවස්ථාවේදී කටයුතු කළේ කෙසේද? ඔහුගේ සොහොන් ගෙය ළඟට යන විට යේසුස් ඇඬුවා කියා බයිබලයේ වාර්තා වෙනවා. (යොහන් 11:30-38) පසු කාලයේදී මරියා මග්දලේනා යේසුස්ගේ සොහොන් ගෙය ළඟ සිටගෙන ඇඬුවා. (යොහන් 20:11-16) සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් මෙන් සැබෑ ක්‍රිස්තියානීන්ද තමන් ආදරය කළ කෙනෙකුගේ වියෝව නිසා දුක් වෙනවා. නමුත් බයිබලයේ සඳහන් නැවත නැඟිටීම පිළිබඳව දන්නා සැබෑ ක්‍රිස්තියානීන් ඒ ගැන නොදන්නා අය මෙන් සනසවන්න බැරි ලෙස අඬා වැලපෙන්නේ නැහැ.—1 තෙසලෝනික 4:13, 14.
අඬන එක වැරදිද?
ඔබ දුක ප්‍රකාශ කරන්නේ කොහොමද? ඔබ දුක පෙන්වීමට ලැජ්ජා වෙනවාද? ඒ ගැන අද සිටින උපදේශකයන් නිර්දේශ කරන දේ බයිබලයේ බොහෝ කාලයකට පෙර සඳහන් කළ දේ හා සමානයි. උපදේශකයන් පවසන්නේ දුක නොසඟවා ප්‍රකාශ කරන්න කියායි. දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් වූ යෝබ්, දාවිත් හා යෙරෙමියා ඊට කදිම උදාහරණයි. ඔවුන් තම දුක සිතේ තද කරගෙන සිටියේ නැහැ. ඔබත් වියෝදුකින් සිටින විට අන් අයගෙන් වෙන්ව සිටීමට වෑයම් නොකර ඔබේ දුක ප්‍රකාශ කරන්න. (හිතෝපදේශ 18:1) දුක ප්‍රකාශ කරන විදිහ සංස්කෘතිය හා ආගමික විශ්වාසයන්ට අනුව වෙනස් වෙනවා.a
හඬා දුක තුනී කරගන්න ඕනේ කියා ඔබට සිතෙනවාද? එසේනම් එහි කිසිදු වරදක් නැහැ. එය සාමාන්‍ය දෙයක්. ලාසරුස් මැරුණු අවස්ථාවේ සිදු වූ දේ සලකා බලන්න. ‘යේසුස්ට මහත් වේදනාවක් දැනී ඔහුගේ දෑස් කඳුළින් පිරී ගියා’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (යොහන් 11:33, 35) එයින් අපට පැහැදිලි වෙන්නේ වියෝදුකින් සිටින විට හඬා දුක ප්‍රකාශ කිරීම සාමාන්‍ය දෙයක් බවයි.
ආදරය කළ කෙනෙක් අහිමි වූ විට කඳුළු සැලීම සාමාන්‍යයි
තම බිලිඳු දියණිය වන රේචල්ගේ මරණය නිසා දුක් වන ඈන් නමැති මවගේ අද්දැකීමෙන් ඉහත කී කාරණය පැහැදිලි වෙනවා. ඇගේ ස්වාමිපුරුෂයා මෙසේ පවසනවා. “අවසන් කටයුතු සිදු කරන අවස්ථාවේදී මමවත් ඈන්වත් ඇඬුවේ නැහැ. අනික් හැමෝම ඇඬුවා.” ඔහු කියූ දේ ගැන ඈන් මෙසේ පවසනවා. “ඒත් සති කිහිපයක් ගියාට පස්සෙයි මට දුව නැති අඩුව දරාගන්න බැරුව ගියේ. එදා මම මුළු දවසේම ඇඬුවා. ඊටපස්සේ තමයි මට සහනයක් දැනුණේ. මම නම් හිතන්නේ වියෝදුකින් ඉන්න අයට අඬන්න ඉඩ දෙන්න ඕනේ කියලා. අනික් අය ‘අඬන්න එපා’ කියලා කියයි. ඒත් ඒකෙන් සහනයක් ලැබෙන්නේ නැහැ.”
තවත් අයට හැඟෙන ආකාරය
ක්වානීටාගේ අද්දැකීම සලකා බලන්න. ඇගේ දරුවන් පස්දෙනෙක්ම ගබ්සා වුණා. ඇයට නැවත වතාවක් දරුවෙක් ලැබෙන්න සිටියා. ඒත් හදිසියේ සිදු වූ රිය අනතුරක් නිසා ඇයට රෝහල්ගත වෙන්න සිදු වුණා. ඒ වෙලාවේ ඇයට දරුවා ගැන ලොකු භයක් දැනුණා. ඊට සති දෙකකට පසු ඇගේ දරුවා අඩු මාසයෙන් ඉපදුණා. ඇගේ කුඩා දියණිය වන වැනෙස්සා ඉපදෙන කොට ඇගේ බර ග්‍රෑම් 900යි. “මම දැන් අම්මා කෙනෙක් නේද කියලා හිතුණු නිසා මට ලොකු සතුටක් දැනුණා” කියා ක්වානීටා පවසනවා.
ඒත් ඇගේ සතුට වැඩි කල් පැවතුණේ නැහැ. දින හතරකට පසුව ඇගේ දියණිය මිය ගියා. ඒ ගැන ක්වානීටා මෙසේ පවසනවා. “මට අම්මා කියලා අඬගහන්න දරුවෙක් නැහැයි කියලා හිතන කොට මට ලොකු දුකක්, තනිකමක් දැනුණා. වැනෙස්සා වෙනුවෙන් ලෑස්ති කරලා තිබුණ කාමරය දකිද්දී එයාට මහපු පුංචි පුංචි ඇඳුම් දකිද්දී මගේ දුක දරාගන්න බැරුව ගියා. මාස කිහිපයක් යන කල් එයා ඉපදුණු දවසේ වෙච්ච හැම දෙයක්ම මට නිතර නිතර මතක් වුණා. මම හැමෝගෙන්ම ඈත් වෙලා තනියෙන් ඉන්න ආස කළා.”
ඇය ඕනෑවට වඩා දුක් වුණා කියා ඔබට සිතෙනවාද? සමහරවිට ඔබට එසේ සිතෙන්න පුළුවන්. නමුත් ඒ හා සමාන අද්දැකීම් ලබා තිබෙන අයට නම් එසේ සිතෙන්නේ නැහැ. අලුත උපන් බිලිඳෙකු අහිමි වීම නිසා දැනෙන දුක, කාලයක් පුරා එකට ජීවත් වූ කෙනෙකු මිය ගිය විට දැනෙන දුක තරම්ම දරුණුයි කියා ඔවුන් පවසනවා. දරුවෙක් ඉපදෙන්න පෙර සිටම දෙමාපියන් ඒ දරුවාට ආදරය කරනවා. ඒ කාලයේදී මවයි දරුවයි අතර විශේෂ බැඳීමක් ඇති වෙනවා. ඒ නිසයි බිලිඳා මිය ගිය විට තමන් සමඟ කාලයක් ජීවත් වූ දරුවෙක් මිය ගියා වගේ මවට දැනෙන්නේ. ඒ දේ තේරුම්ගැනීමට අප වෑයම් කළ යුතුයි.
කෝපයක් දැනීම හා සිත වධ දීම
අවුරුදු හයක් වයසැති තම පුතා හදිසියේ හෘද රෝගයක් නිසා මිය ගිය විට එක් මවකට හැඟුණු ආකාරය ඇය මෙසේ පවසනවා. “පුතා මැරුණා කියලා දැනගත්තාම මගේ ජීවිතය නතර වුණා වගෙයි මට දැනුණේ. මට ඒක විශ්වාස කරන්න බැරි වුණා. මගේ පුතාව බේරගන්න තිබ්බා කියලා මගේ හිත මට හැමතිස්සේම වධ දුන්නා. මගේ මහත්තයා එක්කත් වෛද්‍යවරු එක්කත් මට කේන්ති ගියා. පුතාගේ තත්වය බරපතළයි කියලා එයාලා තේරුම්ගත්තේ නැහැ.”
සමහර අයට කෝපයක් ඇති වෙන්නේ ඔවුන්ට දැනෙන දුක නිසයි. සමහරවිට වෛද්‍යවරුන් හා හෙදියන් මිය ගිය කෙනා ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න තිබුණා කියා සිතන නිසා කෝපයක් ඇති විය හැකියි. එසේත් නැත්නම් මිතුරන් හා නෑදෑයන් කරන කියන දේවල් වැරදියි කියා සිතෙන නිසා කෝපයක් ඇති විය හැකියි. තවත් සමහරුන්ට මිය ගිය තැනැත්තා තම සෞඛ්‍යය ගැන සැලකිලිමත් නොවුණු නිසා කෝපයක් ඇති විය හැකියි. ඒ ගැන ස්ටෙලා නමැති තැනැත්තිය මෙසේ පවසනවා. “මට මගේ මහත්තයත් එක්ක කේන්තියක් ඇති වුණා. මොකද එයාට එච්චර ලෙඩ තිබිලත් වෛද්‍යවරුන්ගේ උපදෙස් එයා පිළිපැද්දේ නැහැ.” තවත් අයට කෝපයක් ඇති වෙන්නේ මරණයෙන් පසු තමන්ට හැම වගකීමක්ම දරන්න සිදු වන නිසයි.
සමහර අයට දැනෙන කෝපය නිසා ඔවුන්ගේ සිත වධ දෙනවා. මරණයට හේතුව තමන් කියා තවත් අය සිතිය හැකියි. “මම එයාව ඉක්මනටම වෛද්‍යවරයෙක් ළඟට අරගෙන ගියා නම්,” “තවත් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගත්තා නම්” එසේත් නැත්නම් “මීට වඩා පරෙස්සම් වෙන්න කියලා එයාට කිව්වා නම්” එයාව බේරගන්න තිබුණා කියා ඔවුන් සිතනවා විය හැකියි.
දරුවෙකුගේ මරණය දෙමාපියන්ට දරාගත නොහැකි වේදනාවක්. ඔවුන්ගේ හැඟීම් තේරුම්ගෙන උපකාර කිරීම වැදගත්
වෙනත් හේතු නිසාත් සමහර අයට සිත වධ දිය හැකියි. විශේෂයෙන්ම මරණය සිදු වුණේ හදිසියේම නම්, එවැනි අවස්ථාවක මිය ගිය පුද්ගලයා සමඟ අමනාප වී සිටියා නම් හෝ බහින් බස් වීමක් සිදු වුණා නම් එය ඔවුන්ට මතක් විය හැකියි. ඔහුට හෝ ඇයට මීට වඩා හොඳින් සලකන්න තිබුණා කියා සිතමින් ඔවුන් ළත වෙනවා විය හැකියි.
සමහර මව්වරුන්ට වියෝදුක තුනී වීමට බොහෝ කාලයක් ගත වෙනවා. දරුවෙක් මිය ගිය විට දෙමාපියන්ට විශේෂයෙන්ම මවට ලොකු අඩුවක් දැනෙනවා කියා ප්‍රවීණයන්ද පවසනවා.
ස්වාමිපුරුෂයා හෝ භාර්යාව මිය ගිය විට
ස්වාමිපුරුෂයාගේ හෝ භාර්යාවගේ මරණය තවත් ආකාරයක දරාගත නොහැකි වේදනාවක්. ඔවුන් දෙදෙනා හැමදෙයක්ම එක්ව කළා නම් විශේෂයෙන්ම එය දරාගැනීමට අපහසු වෙයි. ඔවුන් එකට කළ හැම දෙයක්ම එතැනින් අවසන් වෙනවා.
තම ස්වාමිපුරුෂයා හෘදයාබාධයකින් හදිසියේ මිය ගිය විට තමන්ට හැඟුණු දේ යූනිස් මෙසේ පවසනවා. “මුල් සතියේ මට කිසි දෙයක් හිතාගන්න බැරි වුණා. හැම දේම නතර වුණා වගෙයි මට දැනුණේ. මට රසක් දැනුණේවත් ගඳ සුවද දැනුණේවත් නැහැ. මට ටිකක් හරි හිත හදාගන්න පුළුවන් වුණේ වෛද්‍යවරු ඔහුව බේරගන්න කොයි තරම් උත්සාහ කළාද කියලා මම දැක්ක නිසයි. ඒ වෙලාවේ මට ලොකු අසරණකමක් දැනුණා.”
ඇය දුක තුනී කරගැනීමට ඇඬුවාද? ඒ ගැන ඇය මෙහෙම කියනවා. “ඔව්. මම හොඳටම ඇඬුවා. විශේෂයෙන්ම මට එවලා තිබුණු හැම කාඩ්පතක්ම කියවද්දී මට ඇඬුණා. ඒක මට ලොකු සහනයක් වුණා. ඒත් අනික් අය කොහොමද කියලා අහන කොට නම් මට ඒක දරාගන්න බැරි වුණා.”
යූනිස් දුක දරාගෙන ජීවිතයට මුහුණ දුන්නේ කොහොමද? “මට නොදැනුවත්වම මම ජීවිතයට මුහුණ දෙන්න පටන්ගත්තා. ඒත් ජීවිතය සතුටින් ගත කරන්න ගොඩක් ආස කළ මගේ මහත්තයා මා ළඟ නැහැයි කියලා හිතන කොට මට ලොකු දුකක් දැනෙනවා” කියා ඇය පවසනවා.
“ඔබම තීරණයක් ගන්න”
එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “ඔබ කටයුතු කරන්නේ කොහොමද කියා ඔබම තීරණයක් ගන්න. අනික් අය කියන කියන ආකාරයට කටයුතු කරන්න ගියොත් ඔබේ දුක තුනී වෙන්න කාලයක් ගත වෙයි. මන්ද වියෝදුක දැනෙන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. සමහර අයට සිතෙන්න පුළුවන් ඔබ දුක් වෙනවා වැඩියි කියා හෝ දුක් වෙනවා මදියි කියා. ඔවුන් ඒ ගැන ඔබට පැවසීමට පවා ඉඩ තිබෙනවා. ඒ ගැන අමනාප නොවී ඔවුන්ට සමාව දී අමතක කර දමන්න.”—Leavetaking—When and How to Say Goodbye.
එක් එක් පුද්ගලයා මරණයක් සිදු වූ විට කටයුතු කරන ආකාරය වෙනස්. නමුත් කෙනෙක් තමන්ට දැනෙන දුකින් ගොඩ ඒමට උත්සාහ නොකර සිටිනවා නම් එය අනතුරුදායක විය හැකියි. එවැනි අවස්ථාවක මිතුරන්ගේ උපකාරය අවශ්‍යයි. බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.” ඒ නිසා උපකාරය පැතීමටත් ඔබ සිටින තත්වය ගැන තව කෙනෙකුට පැවසීමටත් අඬන්නත් ලැජ්ජා වෙන්න එපා.—හිතෝපදේශ 17:17.
යමෙකු මිය ගිය විට දුකක් දැනීම සාමාන්‍යයි. ඔබ දුක් වෙනවා කියා අන් අය දැනගැනීමෙහි වරදක් නැහැ. නමුත් පිළිතුරු ලබාගත යුතු තවත් ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. එම ප්‍රශ්න නම්, ‘මම ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද? කෝපයක් දැනීම හා සිත වධ දීම සාමාන්‍ය දෙයක්ද? එවැනි හැඟීම් ඇති වුණොත් මම කළ යුත්තේ කුමක්ද? මට දැනෙන පාළුව හා දුක දරාගැනීමට උපකාරවත් වෙන්නේ කුමක්ද?’ ඊළඟ කොටසින් එම ප්‍රශ්නවලටත් වෙනත් ප්‍රශ්නවලටත් පිළිතුරු සොයාගත හැකියි.
a උදාහරණයකට නයිජීරියාවේ යොරුබා වැසියන් යමෙකු මරණයෙන් පසු නැවත ඉපදෙනවා කියා විශ්වාස කරනවා. ඒ නිසා මවකට දරුවෙක් අහිමි වූ විට ඒ ගැන දුක් වුණත් ඒ දුක පවතින්නේ කෙටි කාලයකටයි. ඔවුන් අතර මෙවැනි කියමනක් තිබෙනවා. ‘දිය හැළුණාට ලබුකැටේ බිඳුණේ නැහැ.’ ලබුකැටෙන් අදහස් කළේ මවවයි. දිය හැළුණාට නැතහොත් දරුවා මිය ගියාට පුනරුත්පත්තියෙන් මවට ඒ දරුවාවම නැවත ලබාගත හැකියි කියා ඔවුන් විශ්වාස කරනවා. පුනරුත්පත්තිය හා අමරණීය ආත්මය වැනි ඉගැන්වීම් බයිබලයට එකඟ නැති නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒවා විශ්වාස කරන්නේවත් ඒ චාරිත්‍ර පිළිපදින්නේවත් නැහැ.—දේශනාකාරයා 9:5, 10; එසකියෙල් 18:4, 20.