ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • kl 12 පරි. 108-117 පි.
  • දුෂ්ට ආත්ම බලවේගයන්ට විරුද්ධ වන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දුෂ්ට ආත්ම බලවේගයන්ට විරුද්ධ වන්න
  • සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දුෂ්ට ආත්ම —ඔවුන්ගේ මූලාරම්භය හා ඉලක්කය
  • දුෂ්ට ආත්මයන් ඔබව මුළා කිරීමට තැත් කරන අයුරු
  • භූතවාදයේ නියැලීම බයිබලය හෙළාදැකීමට හේතුව
  • මුලින්ම ආකර්ෂණය පසුව පහර දීම
  • දුෂ්ට ආත්මයන්ට විරුද්ධ වන අන්දම
  • දුෂ්ට ආත්මයන්ට විරුද්ධව කරන ඔබේ සටනේ අඛණ්ඩව නිරත වන්න
  • දේවදූතයන් හා භූතයන් ගැන ඔබ දැනගත යුතු දේ
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • භූතයන්ට විරුද්ධව සටන් කරන්න යෙහෝවා දෙවියන් දෙන උදව් පිළිගන්න
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබ භූතවාදයෙන් වැළකිය යුත්තේ මන්ද?
    2000 පිබිදෙව්!
  • භූතයන් හා සම්බන්ධ ක්‍රියාවලින් වැළකී සිටිය යුත්තේ ඇයි?
    2008 පිබිදෙව්!
තව තොරතුරු
සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
kl 12 පරි. 108-117 පි.

12වන පරිච්ඡේදය

දුෂ්ට ආත්ම බලවේගයන්ට විරුද්ධ වන්න

1. යේසුස්ට දුෂ්ට ආත්මයන් මුහුණට මුහුණ හමු වූ විට, ඔහු ප්‍රතික්‍රියා කළේ කොහොමද?

බව්තීස්ම වීමත් සමඟම යේසුස් ක්‍රිස්තුස් යාච්ඤා කිරීමටත් මෙනෙහි කිරීමටත් යුදයෙහි පාළුකරය බලා ගමන් ගන්නට විය. එහිදී සාතන් නමැති යක්ෂයා තැත් කළේ දෙවිගේ නීතිය උල්ලංගනය කිරීම සඳහා ඔහුව පොලඹවාගැනීමටයි. කෙසේවෙතත්, යක්ෂයාගේ ඇම ප්‍රතික්ෂේප කළ යේසුස්, ඔහුගේ උගුලට හසු වූයේ නැත. යේසුස් මිහිපිට තම දේශනා සේවය කරගෙන යද්දී, නොයෙක් විට වෙනත් දුෂ්ට ආත්මද ඔහුට මුහුණට මුහුණ හමු විය. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම වාගේ ඔහු ඔවුන්ට තරවටු කොට ඔවුන්ට විරුද්ධව වූයේය.—ලූක් 4:1-13; 8:26-34; 9:37-43.

2. අප සලකා බැලීමට යන ප්‍රශ්න මොනවාද?

2 බයිබල් වාර්තාවේ විස්තර කර ඇති මෙම මුණගැසීම්වලින් අපට ඒත්තුගැන්විය යුත්තේ දුෂ්ට ආත්මයන් ඇත්තෙන්ම සිටින බවයි. ඔවුන් මිනිසුන්ව නොමඟ යැවීමට තැත් කරයි. කෙසේවෙතත්, අපට මෙම දුෂ්ට ආත්මයන්ට විරුද්ධ විය හැකියි. නමුත් දුෂ්ට ආත්ම ඇති වූයේ කෙසේද? ඔවුන් මිනිසුන්ව මුළා කිරීමට වෙර දරන්නේ ඇයි? තම පරමාර්ථ අත් කරගැනීමට ඔවුන් යොදාගන්නා උපක්‍රම මොනවාද? මෙවන් ප්‍රශ්නවලට උත්තර සොයාගැනීම, දුෂ්ට ආත්ම බලවේගයන්ට විරුද්ධව සිටීමට අපට රුකුලක් වනු ඇත.

දුෂ්ට ආත්ම —ඔවුන්ගේ මූලාරම්භය හා ඉලක්කය

3. සාතන් නමැති යක්ෂයා ඇති වුණේ කොහොමද?

3 යෙහෝවා දෙවි මිනිසුන් මැවීමට බොහෝ කලකට පෙර ඔහු අතිවිශාල ආත්ම ජීවීන් සංඛ්‍යාවක් මැවීය. (යෝබ් 38:4, 6ආ, 7අ) හයවන පරිච්ඡේදයේ පැහැදිලි කළාක් මෙන්, මිනිසුන් යෙහෝවාට දෙන නමස්කාරය තමාට ලබාගැනීමේ ආශාව මින් එක් දේවදූතයෙක් වර්ධනය කරගත්තේය. එම පරමාර්ථය ලුහුබැඳගිය එම දුෂ්ට දේවදූතයා, දෙවි බොරුකාරයෙක්යයි පළමු ස්ත්‍රියට අඟවන තරමටම මැවුම්කරුට විරුද්ධ වී ඔහුට අපහාස කළේය. එසේනම්, මෙම කැරලිකාර ආත්ම ජීවියා සාතන් (එදිරිවාදියා) නමැති යක්ෂයා (අපහාසකරන්නා) හැටියට ප්‍රසිද්ධ වීම යෝග්‍යයි.—උත්පත්ති 3:1-5; යෝබ් 1:6.

4. නෝවාගේ දවසේ සිටි ඇතැම් දේවදූතයන් පව් කළේ කොහොමද?

4 පසු කාලයේදී, වෙනත් දේවදූතයන්ද සාතන් නමැති යක්ෂයාගේ පැත්ත ගන්නට විය. නෝවා නම් ධර්මිෂ්ඨ මිනිසාගේ කාලයේදී, මොවුන්ගෙන් ඇතමෙක් ස්වර්ගයේ තම සේවය අත්හැර දමා, පොළොවේ ස්ත්‍රීන් සමඟ ලිංගික සබඳතා පැවැත්වීම සඳහා ඇති තම කාමාශාව සන්සිඳුවාලීමට කායික සිරුරුවලින් මූර්තිමත් විය. එම අකීකරු ක්‍රියාමාර්ගය ගැනීමට සාතන් එම දේවදූතයන්ව පෙලඹවූ බවට සැකයක් නැත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන්ට දාව නෙඵිලීම් ලෙස හැඳින්වූ දෙමුහුන් දරුවන් බිහි වූ අතර, මෙම දරුවන් අන්තිමේදී ප්‍රචණ්ඩකාරි පුද්ගලයන් බවට පත් විය. යෙහෝවා මහා ජලගැල්ම ගෙනා විට, දූෂිත වූ මනුෂ්‍යවර්ගයා මෙන්ම අකීකරු දේවදූතයන්ගේ මෙම අස්වාභාවික ජනිතයන්ද ඉන් විනාශ විය. කැරලිකාර දේවදූතයන් විනාශයෙන් බේරුණේ තම මාංසික රූපාකාරය අත්හැර ආත්ම විෂයට ආපසු යෑමෙනුයි. නමුත් දෙවි මෙම භූතයන්ව මැඩපැවැත්වූයේ ආත්මික අන්ධකාරයේ වෙසෙන පිටුවහලුන් හැටියට ඔවුන්ව සැලකීමෙනි. (උත්පත්ති 6:1-7, 17; යූද් 6) කෙසේවෙතත්, “යක්ෂාධිපතිවූ” සාතන්ද ඔහුගේ දුෂ්ට දූතයන්ද, දිගටම තම කැරැල්ල දියත් කරමින් සිටී. (ලූක් 11:15) ඔවුන්ගේ ඉලක්කය කුමක්ද?

5. සාතන් හා ඔහුගේ භූතයන්ගේ පරමාර්ථය කුමක්ද? ජනයාව හසු කරගැනීමට ඔවුන් උපයෝගී කරගන්නේ කුමක්ද?

5 සාතන් හා භූතයන්ගේ නපුරු පරමාර්ථය වන්නේ මිනිසුන්ව යෙහෝවා දෙවිට විරුද්ධ කරවීමයි. එනිසා, මුළු මිනිස් ඉතිහාසය පුරාම මේ දුෂ්ටයන් මිනිසුන්ව නොමඟ යවමින්, භයගන්වමින්, ඔවුන්ට අඩන්තේට්ටම් කොට ඇත. (එළිදරව් 12:9) භූතමය ප්‍රහාර වෙන කවරදාකටත් වඩා දැන් ඉතා කුරිරු බව නවීන දින උදාහරණවලින් තහවුරු වේ. මිනිසුන්ව හසු කරගැනීම සඳහා බොහෝවිට භූතයන් භූතවාදයේ සෑම ස්වරූපයක්ම යොදාගනී. භූතයන් මෙම ඇම භාවිත කරන්නේ කෙසේද? එමෙන්ම ඔබට ඒවායින් ආරක්ෂා විය හැක්කේ කෙසේද?

දුෂ්ට ආත්මයන් ඔබව මුළා කිරීමට තැත් කරන අයුරු

6. භූතවාදය යනු කුමක්ද? එහි ස්වරූප සමහරක් මොනවාද?

6 භූතවාදය යනු කුමක්ද? එනම් භූතයන් නැතහොත් දුෂ්ට ආත්මයන් සමඟ කෙළින්ම හෝ ආත්ම බන්ධනකාරයෙකු මගින් වක්‍රාකාරව සම්බන්ධ වීමයි. දඩයම්කරුවන්ට ඇම ප්‍රයෝජනවත් වන්නා සේ, භූතයන්ට භූතවාදයද ප්‍රයෝජනවත් වේ. ඔවුන් එමගින් ගොදුර ආකර්ෂණය කරගනී. එමෙන්ම සතුන්ව තම උගුලට ඇදගැනීමට දඩයම්කරුවෙක් විවිධ වර්ගයේ ඇම යොදාගන්නාක් මෙන්, දුෂ්ට ආත්මයන්ද මිනිසුන්ව තම පාලනය යටතට ගෙන ඒමට විවිධ ස්වරූප ගන්නා භූතවාදයට අනුබල දේ. (ගීතාවලිය 119:110 සසඳන්න.) පේන කීම, ඉන්ද්‍රජාලය, නිමිති බැලීම, හූනියම් කිරීම, කොඩිවින කිරීම, ආත්ම බන්ධනකාරයන්ගෙන් තොරතුරු විමසීම, මළවුන්ගෙන් විචාරීම වැනි දේවල් මේ ගණයට වැටේ.

7. භූතවාදය කොතරම් ව්‍යාප්ත වී ඇද්ද? ක්‍රිස්තියානියයි කියන රටවල පවා එය වැජඹෙන්නේ ඇයි?

7 ලොව පුරා සිටින මිනිසුන් භූතවාදයට ආකර්ෂණය වන හෙයින් භාවිත කරන ඇම සාර්ථක වී ඇති බව පැහැදිලියි. ගම්මුන් කට්ටාඬියන් වෙත යන අතර, නගරබද අය ජ්‍යොතිඃ ශාස්ත්‍රඥයන්ගෙන් තොරතුරු විමසයි. ක්‍රිස්තියානියයි කියන රටවල පවා භූතවාදය හොඳින් වැජඹෙයි. එක්සත් ජනපදයේ පමණක්, විවිධ භූතවාදී ක්‍රම ගැන පමණක්ම කතා කරන සඟරා 30ක් පමණ බෙදාහැරෙන බවත්, ඒවාට 1,00,00,000කට වැඩි සමස්ත බෙදාහැරීමක් තිබෙන බවත් පර්යේෂණවලින් අඟවයි. භූතවාදී ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා බ්‍රසීල ජාතිකයන් සෑම වසරකම ඩොලර් මිලියන 500කට අධික මුදල් ප්‍රමාණයක් වැය කරයි. නමුත්, එම රටේ භූතවාදයේ නියැලෙන ස්ථානවලට නිතරම යන අයගෙන් සියයට 80ක්ම පූජා මෙහෙයන්ට සහභාගි වන බව්තීස්ම වූ කතෝලිකයන් වේ. සමහර පූජකයන් භූතවාදයේ නියැලෙන බැවින්, ආගමට ලැදි සමහරක් උදවිය සිතන්නේ එහි නියැලීම දෙවිට ප්‍රසන්න දෙයක් කියායි. නමුත් එය ඇත්තක්ද?

භූතවාදයේ නියැලීම බයිබලය හෙළාදැකීමට හේතුව

8. භූතවාදය පිළිබඳ ශුද්ධ ලියවිලිමය දෘෂ්ටිය කුමක්ද?

8 භූතවාදයේ ඇතැම් ස්වරූප යහපත් ආත්ම සමඟ සම්බන්ධ වීමේ මාර්ගයක් බව ඔබට උගන්වා ඇත්නම්, භූතවාදය ගැන බයිබලය පවසන දෙය දැනගැනීමෙන් ඔබ පුදුමයට පත් විය හැකියි. යෙහෝවාගේ සෙනඟට මෙසේ අනතුරු අඟවා තිබුණි: “ආත්ම බන්ධනකාරයන් දෙසටවත් ශාස්ත්‍රකාරයන් දෙසටවත් නොහැරෙන්න; ඔවුන්ගෙන් අපවිත්‍ර නොවන පිණිස ඔවුන් සොයා නොයන්න.” (ලෙවී කථාව 19:31, ඇල අකුරු අපේය; ලෙවී 20:6, 27) “භූතවාදයෙහි නියැලෙන්නන්ගේ” [NW]” අවසානය “ගින්නෙනුත් ගෙන්දගමිනුත් දැවෙන විලෙහි” බව එළිදරව් නමැති බයිබල් පොත අනතුරු අඟවයි. එයින් “දෙවෙනි [සදාකාලික] මරණය” අදහස් කරයි. (එළිදරව් 21:8; 22:15) යෙහෝවා දෙවි භූතවාදයට සම්බන්ධ කිසිවක් අනුමත නොකරයි. (ද්විතීය කථාව 18:10-12) එයට හේතුව කුමක්ද?

9. අදදින ආත්ම ලෝකයෙන් පැමිණෙන පණිවුඩ යෙහෝවාගෙන් නොවන බව අපට නිගමනය කළ හැක්කේ ඇයි?

9 බයිබලය ලියා සම්පූර්ණ කිරීමට පෙර තොරතුරු දැනුම් දීම සඳහා යෙහෝවා යහපත් ආත්ම නොහොත් ධර්මිෂ්ඨ දේවදූතයන්ව මිනිසුන් වෙතට එවීය. දේවවචනය ලියා අවසන් කිරීමෙන් අනතුරුව, යෙහෝවාට පිළිගත හැකි අයුරින් සේවය කිරීම සඳහා මිනිසුන්ට අවශ්‍ය මඟ පෙන්වීම එමගින් සපයා ඇත. (2 තිමෝති 3:16; හෙබ්‍රෙව් 1:1, 2) තම ශුද්ධ වූ වචනය යොදාගන්නේ නැතුව ආත්ම බන්ධනකාරයන් ලවා දෙවි පණිවුඩ දෙන්නේ නැත. ආත්ම විෂයෙන් එන සැම පණිවුඩයක්ම අද පැමිණෙන්නේ දුෂ්ට ආත්මයන්ගෙනි. භූතවාදයේ නියැලීම නිසා භූතයන්ගෙන් හිරිහැර විඳීමට සිදු විය හැකි අතර දුෂ්ට ආත්මයන් ආවේශ වීමටද පුළුවන. එනිසා, කොයිම භූතවාදී පිළිවෙතකටවත් සම්බන්ධ නොවන හැටියට යෙහෝවා ප්‍රේමනීය ලෙස අපට අනතුරු අඟවයි. (ද්විතීය කථාව 18:14; ගලාති 5:19-21) එපමණක්ද නොව, භූතවාදය සම්බන්ධයෙන් යෙහෝවා දරන දෘෂ්ටිය අප දැන දැනත් එහි තවදුරටත් නියැලෙනවා නම්, අප කැරලිකාර දුෂ්ට ආත්මයන්ගේ පැත්ත ගන්න යන අතර, මෙමගින් අප දෙවිගේ සතුරන් බවට පත් වනු ඇත.—1 සාමුවෙල් 15:23; 1 ලේකම් 10:13, 14; ගීතාවලිය 5:4.

10. පේන කීම යනු කුමක්ද? අප එයින් වැළකී සිටිය යුත්තේ ඇයි?

10 භූතවාදයේ එක් ජනප්‍රිය ස්වරූපයක් වන්නේ පේන කීමයි. මින් අදහස් කරන්නේ ආත්මවල උපකාරය ඇතුව අනාගතය නොහොත් නොදන්නා දේ ගැන දැනගැනීමට තැත් කිරීමයි. ජ්‍යොතිඃ ශාස්ත්‍රය, පළිඟුව බලා පේන කීම, සිහිනවල අර්ථ දැක්වීම, අත බලා ශාස්ත්‍ර කීම, ටැරෝ කාඩ් භාවිතය මගින් ශාස්ත්‍ර කීම, පේන කීමේ ගණයට වැටේ. පේනකීම අවිහිංසක විනෝදයක් ලෙස බොහෝදෙනෙකු සිතුවත්, ශාස්ත්‍ර කියන්නන් හා දුෂ්ට ආත්මයන් උරෙන් උර ගැටී කටයුතු කරන බව බයිබලය පෙන්වයි. උදාහරණයක් හැටියට, එක්තරා තරුණියකට ‘පේන කීමේ’ හැකියාව ලබා දුන් “ශාස්ත්‍ර කියන ආත්මයක්” ගැන ක්‍රියා 16:16-19හි වාර්තා වේ. කෙසේවෙතත් භූතයාව ඇගෙන් දුරු කළ විට, පේන කීමට ඇයට තිබූ හැකියාව නැති වී ගියේය. එසේ නම් පැහැදිලිවම පෙනී යන්නේ, මිනිසුන්ව තම උගුලට ඇදගැනීම සඳහා භූතයන් විසින් පේන කීමද ඇමක් ලෙස යොදාගන්නා බවයි.

11. මළවුන් සමඟ කතා කිරීමට තැත් කිරීම උගුලකට හසුවීමට මඟ පෑදීමක් වන්නේ කොහොමද?

11 හිතාදර පවුල් සාමාජිකයෙකුගේ හෝ කිට්ටු මිතුරෙකුගේ වියෝව ගැන ඔබ සොවින් තැවේ නම්, තවත් ඇමකට ඔබව පහසුවෙන්ම හසු විය හැකියි. ආත්ම බන්ධනකාරයෙක් ඔබට විශේෂ තොරතුරු දීමට ඉඩ ඇත. එසේත් නැත්නම් මියගිය තැතැත්තාගේ කටහඬටම සමාන කටහඬකින් කතා කළ හැකියි. පරෙස්සම් වන්න! මළවුන් සමඟ කතා කිරීමට දරන උත්සාහය උගුලකට මඟ පාදයි. ඇයි? මන්දයත් මළවුන්ට කතා කළ නොහැකි නිසයි. පුද්ගලයෙක් “ස්වකීය භූමියට හැරී යයි; එදාම ඔහුගේ කල්පනා නැතිවේ.” “මළාහු කිසිවක් නොදනිති” කියා දේවවචනය පැහැදිලිව පවසන බව ඔබට සිහි වෙනවාට කිසිම සැකයක් නැත. (ගීතාවලිය 146:4; දේශනාකාරයා 9:5, 10) එපමණක්ද නොව, මළවුන්ගේ කටහඬ අනුකරණය කිරීමත්, මියගිය තැනැත්තා පිළිබඳ තොරතුරු ආත්ම බන්ධනකාරයෙකුට සපයා දීමත් සම්බන්ධයෙන් නම් දරා තිබෙන්නේ භූතයන්ය. (1 සාමුවෙල් 28:3-19) එනිසා, “මළවුන්ගෙන් විචාරන්නෙක්” දුෂ්ට ආත්මයන්ගේ උගුලට හසු වී සිටින අතර, යෙහෝවා දෙවිගේ කැමැත්තට විරුද්ධව ක්‍රියා කරමින් සිටී.—ද්විතීය කථාව 18:11, 12; යෙසායා 8:19.

මුලින්ම ආකර්ෂණය පසුව පහර දීම

12, 13. භූතයන් දිගටම මිනිසුන්ව පරීක්ෂා කරන බවටත් ඔවුන්ට හිරිහැර කරන බවටත් තිබෙන සාක්ෂි මොනවාද?

12 භූතවාදය සම්බන්ධයෙන් දේවවචනයේ ඇති උපදෙස්වලට ඔබ අවනත වන විට, ඔබ භූතයන්ගේ ඇම පිළිකුල් කරමින් සිටී. (සසඳන්න ගීතාවලිය 141:9, 10; රෝම 12:9.) ඔබව හසු කරගැනීමට දුෂ්ට ආත්මයන් දරන වෑයම ඔවුන් අතහැරීමට යන බවක් මින් අදහස් කරයිද? කොහෙත්ම නැත! යේසුස්ව තෙවතාවක්ම පරීක්ෂා කිරීමෙන් අනතුරුව සාතන් “සුදුසු කාලය උදා වන තෙක් ඔහුගෙන් ඉවත්ව ගියේය.” (ලූක් 4:13, NW) මේ හා සමානව, කැරලිකාර ආත්මයන් මිනිසුන්ව ආකර්ෂණය කරගන්නවා පමණක් නොව ඔවුන්ට පහර දෙන අවස්ථාද එමටය.

13 දෙවිගේ සේවක වූ යෝබ්ට සාතන් එල්ල කළ ප්‍රහාරය ගැන අප මීට කලින් කතා කළා ඔබට මතක ඇති. ඔහුගේ සත්ව රැළ අහිමි කළේත් ඔහුගේ සේවකයන්ගෙන් බොහෝදෙනෙකුව මරා දැමුවේත් සාතන්ය. සාතන් යෝබ්ගේ දරුවන්ව පවා මරා දැමීය. ඊළඟට, ඔහු යෝබ්ට ඉතා වේදනාකාරි රෝගයකින් පහර දුන්නේය. නමුත් දෙවි කෙරෙහි තම අඛණ්ඩතාව රැකගත් යෝබ්ට මහඟු ආශීර්වාද ලැබුණි. (යෝබ් 1:7-19; 2:7, 8; 42:12) එවක් පටන් සමහරදෙනෙකුව ගොළුවන් හෝ අන්ධයන් බවට පත් කර තිබෙන භූතයන් මිනිසුන්ට දුක් වේදනා ගෙන ඒමෙන් මහත් වින්දනයක් ලබයි. (මතෙව් 9:32, 33; 12:22; මාර්ක් 5:2-5) නූතන දින වාර්තාවලින් පෙනීයන පරිදි, භූතයන් සමහරුන්ට ලිංගිකව හිරිහැර කරන අතර වෙනත් අයව සිහිවිකල් තත්වයකට පත් කරයි. ඔවුන් තවත් සමහරුන්ව පොලඹවන්නේ මිනීමැරීම හා සියදිවි නසාගැනීම වැනි දෙවිට විරුද්ධ වූ පාපවල නියැලීමටයි. (ද්විතීය කථාව 5:17; 1 යොහන් 3:15) නමුත්, වරක් දුෂ්ට ආත්මයන්ගේ මලපත්වලට හසු වී සිටි දහස් ගණනකට එම ග්‍රහණයෙන් මිදීමට හැකි වී ඇත. මෙය කිරීමට ඔවුන්ට හැකි වී තිබෙන්නේ කෙසේද? වැදගත් පියවර ගැනීමෙන් ඔවුන්ට එසේ මිදීමට හැකි වී ඇත.

දුෂ්ට ආත්මයන්ට විරුද්ධ වන අන්දම

14. පළමු සියවසේ සිටි එපීසයේ ක්‍රිස්තියානීන්ගේ ආදර්ශයත් මතකයේ තබාගනිමින්, ඔබට දුෂ්ට ආත්මයන්ට විරුද්ධ විය හැක්කේ කොහොමද?

14 දුෂ්ට ආත්මයන්ට විරුද්ධ වෙමින් ඔවුන්ගේ මලපත්වලින් ඔබටත් ඔබේ පවුලටත් ආරක්ෂා විය හැක්කේ කෙසේද? ඇදහිලිවන්තයන් වීමට පෙර භූතවාදයේ නියැලුණු එපීසයේ විසූ පළමු සියවසේ ක්‍රිස්තියානීන් ඒ සඳහා ඒකාන්ත පියවර ගත්තේය. “යන්ත්‍ර මන්ත්‍ර අභ්‍යාසකළ බොහෝ දෙනෙක්ද තමුන්ගේ පොත් එක්කොට ගෙනැවිත් සියල්ලන් ඉදිරියෙහි පුළුස්සාදැමුවෝය” කියා අපට කියවීමට ඇත. (ක්‍රියා 19:19) ඔබ භූතවාදයේ නියැලී නොතිබෙනවා වුණත්, භූතවාදයට සම්බන්ධ ඕනෑම දෙයක් ඉවත් කළ යුතුයි. පොත් පත්, සඟරා, වීඩියෝ පටි, පෝස්ටර්, සංගීත පටිගත කිරීම් හා භූතවාදී අරමුණු සඳහා භාවිත කරනු ලබන වස්තු මීට ඇතුළත් වේ. පිළිමද, ආරක්ෂාව සඳහා පළඳිනු ලබන යන්ත්‍ර හා වෙනත් ආයිත්තම්ද, භූතවාදයේ නියැලෙන්නන්ගෙන් ලැබී තිබෙන තෑගි බෝගද මීට ඇතුළත්ය. (ද්විතීය කථාව 7:25, 26; 1 කොරින්ති 10:21) මෙය මෙසේ නිදර්ශනය කළ හැකියි. තායිලන්තයේ විවාහක යුවළක් දිගු කාලයක් පුරා භූතයන්ගෙන් හිරිහැර විඳින්නට විය. නමුත් පසු කලෙකදී ඔවුන් භූතවාදයට සම්බන්ධ වස්තු ඉවත් කළේය. ඇති වූ ප්‍රතිඵලය? භූතමය ප්‍රහාරවලින් සහනයක් ලැබූ ඔවුන්, ඉන් අනතුරුව සැබෑ ආත්මික ප්‍රගතියක් ලැබීය.

15. දුෂ්ට ආත්ම බලවේගවලට විරුද්ධ වීම සඳහා ගත හැකි තවත් වැදගත් පියවරක් කුමක්ද?

15 දුෂ්ට ආත්මයන්ට විරුද්ධ වීම සඳහා ගත හැකි තවත් වැදගත් පියවරක් වන්නේ දෙවිගෙන් ලද සම්පූර්ණ ආත්මික යුදායුද කට්ටලය පැළඳගැනීමට වූ ප්‍රේරිත පාවුල්ගේ උපදෙස පිළිපැදීමයි. (එපීස 6:11-17) දුෂ්ට ආත්මයන්ට විරුද්ධව ක්‍රිස්තියානීන් ගන්නාවූ ආරක්ෂක පියවර තර කරගත යුතුයි. මෙම පියවරට ඇතුළත් වන්නේ කුමක්ද? පාවුල් මෙසේ පැවසීය: “ඒ සියල්ල ඇර, ඇදහිල්ල නමැති පලිහ අරගන්න. එයින් නපුරාගේ සියලු ගිනිහෙල්ල නිවන්ට නුඹලාට පුළුවන්වන්නේය.” ඇත්තෙන්ම, ඔබේ ඇදහිල්ල ශක්තිමත් වන තරමටම, දුෂ්ට ආත්ම බලවේගයන්ට එරෙහි වීම සඳහා ඔබ සතු හැකියාවද වැඩි වේ.—මතෙව් 17:14-21.

16. ඔබට ඔබේ ඇදහිල්ල ශක්තිමත් කරගත හැක්කේ කොහොමද?

16 ඔබට ඔබේ ඇදහිල්ල ශක්තිමත් කරගත හැක්කේ කෙසේද? බයිබලය දිගටම අධ්‍යයනය කිරීමෙන් හා එහි උපදෙස් ඔබේ ජීවිතයට අදාළ කරගැනීමෙනි. කෙනෙකුගේ ඇදහිල්ල කොයිතරම් ශක්තිමත්ද යන්න බොහෝදුරට රඳා පවතින්නේ, එහි පදනමේ ස්ථිරසාරභාවය එනම් දෙවි පිළිබඳ දැනුම මතයි. බයිබලය අධ්‍යයනය කරද්දී, ඔබ ලබාගත්, එමෙන්ම හෘදයට ඇතුල් කරගෙන ඇති නිවැරදි දැනුමෙන් ඔබේ ඇදහිල්ල ගොඩනැඟී තිබෙන බවට ඔබ එකඟ වන්නේ නැද්ද? (රෝම 10:10, 17) එනිසා, ඔබ මෙම අධ්‍යයනයේ දිගටම නියැලෙමින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යෑම පුරුද්දක් කරගැනීමත් සමඟ, ඔබේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් වනු ඇති බව නිසැකයි. (රෝම 1:11, 12; කොලොස්සි 2:6, 7) එය භූතමය ප්‍රහාරවලට එරෙහිව බලවත් ආරක්ෂාවක් වේවි.—1 යොහන් 5:5.

17. දුෂ්ට ආත්ම බලවේගවලට විරුද්ධ වීම සඳහා තවදුරටත් ගත හැකි වැදගත් පියවරවල් මොනවාද?

17 දුෂ්ට ආත්ම බලවේගයන්ට විරුද්ධ වීමට අදිටන් කරගෙන ඇති පුද්ගලයෙකුට තවත් කුමන පියවර ගත හැකිද? එපීසයේ ක්‍රිස්තියානීන් භූතවාදයෙන් පිරුණු නගරයකයි ජීවත් වූයේ. එනිසා, ඔවුන් ආරක්ෂා විය යුතු විය. එබැවින් පාවුල් ඔවුන්ට මෙසේ පැවසීය: “සියලු කාලවලදී [ආත්මය] කරණකොටගෙන යාච්ඤාකරන්න.” (එපීස 6:18) අප ජීවත් වන්නේ භූතයන්ගෙන් ගහන වූ ලෝකයක නිසා, දුෂ්ට ආත්මයන්ට විරුද්ධව සිටීමට දෙවිගේ ආරක්ෂාව ඉල්ලා ඉතා උනන්දුවෙන් යාච්ඤා කිරීම අත්‍යවශ්‍යයි. (මතෙව් 6:13) ක්‍රිස්තියානි සභාවේ පත් කර ඇති වැඩිමහල්ලන්ගේ ආත්මික උපකාර හා යාච්ඤා මෙහිදී මහෝපකාරි වේ.—යාකොබ් 5:13-15.

දුෂ්ට ආත්මයන්ට විරුද්ධව කරන ඔබේ සටනේ අඛණ්ඩව නිරත වන්න

18, 19. භූතයන් පුද්ගලයෙකුට නැවතත් හිරිහැර කළොත් කළ හැක්කේ කුමක්ද?

18 කෙසේවෙතත්, මෙම මූලික පියවර ගැනීමෙන් අනතුරුව පවා, දුෂ්ට ආත්මයන්ගේ හිරිහැරවලට සමහරු ලක් වී ඇත. උදාහරණයක් හැටියට, අයිවරි කෝස්ට්හි එක් මිනිසෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කොට තමා ළඟ තිබූ යන්ත්‍ර, සුර වැනි සෑම දෙයක්ම විනාශ කර දැමීය. එතැන් සිට හොඳ ප්‍රගතියක් ලැබූ ඔහු, තම ජීවිතය යෙහෝවාට කැප කොට, අනතුරුව බව්තීස්ම විය. නමුත්, ඔහුගේ බව්තීස්මයෙන් සතියකට පසුව, භූතයන් නැවත ඔහුට හිරිහැර කිරීමට පටන්ගත්තේය. එපමණක්ද නොව, ඔහුගේ අලුත් විශ්වාසය අත්හරින්නයයි කියන කටහඬවල් ඔහුට ඇසුණි. මෙවැන්නක් ඔබට සිදු වුණොත් එයින් අදහස් වන්නේ යෙහෝවාගේ ආරක්ෂාව ඔබට නැතිව ගොස් ඇති බවද? නැත, එසේ නොවෙයි.

19 නමුත්, පරිපූර්ණ මිනිසා වූ යේසුස් ක්‍රිස්තුස්ට දිව්‍යාරක්ෂාව තිබුණත්, දුෂ්ට ආත්ම ජීවියෙක් වන සාතන් නමැති යක්ෂයාගේ කටහඬ ඔහුට ඇසුණි. එවන් අවස්ථාවකදී කළ යුත්තේ කුමක්දැයි යේසුස් පෙන්වීය. ඔහු යක්ෂයාට මෙසේ කීවේය: “සාතන් අහක්ව යව”! (මතෙව් 4:3-10) ඒ හා සමානව, ආත්ම විෂයෙන් ඇසෙන කටහඬවලට ඔබ සවන් නොදිය යුතුයි. යෙහෝවාගේ උපකාරය පැතීමෙන් දුෂ්ට ආත්මයන්ට විරුද්ධ වන්න. ඔව්, දෙවිගේ නම කියා හඬනඟා යාච්ඤා කරන්න. හිතෝපදේශ 18:10 මෙසේ පවසයි: “[යෙහෝවාගේ] නාමය බලකොටුවක්ය; ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්ෂිත වෙයි.” එසේ කළ අයිවරි කෝස්ට්හි ක්‍රිස්තියානි මිනිසාට දුෂ්ට ආත්මයන් හිරිහැර කිරීම නැවැත්විය.—ගීතාවලිය 124:8; 145:18.

20. සාරාංශයක් හැටියට ගත් කල, දුෂ්ට ආත්මයන්ට විරුද්ධ වීමට ඔබට කළ හැක්කේ කුමක්ද?

20 යෙහෝවා දුෂ්ට ආත්මයන්ට පැවතීමට ඉඩහැර ඇතත්, ඔහු තම බලය විශේෂයෙන්ම තම සෙනඟ වෙනුවෙන් විදහාපා ඇත. ඊට අමතරව ඔහුගේ නාමයද පොළොව පුරා ප්‍රකාශ කරමින් සිටී. (නික්මයාම 9:16) ඔබ දෙවිට සමීපව සිටින තාක් කල් දුෂ්ට ආත්මයන් ගැන භයවීමට හේතුවක් නැත. (ගණන් කථාව 23:21, 23; යාකොබ් 4:7, 8; 2 පේතෘස් 2:9අ, 10අ) ඔවුන්ගේ බලය සීමිතයි. නෝවාගේ දවසේදී දඬුවම් ලැබූ ඔවුන්ව මෑතකදී ස්වර්ගයෙන් නෙරපා දැමූ අතර, දැන් ඔවුන් අවසාන විනිශ්චය ලැබීමට නියමිතව සිටී. (යූද් 6; එළිදරව් 12:9; 20:1-3, 7-10, 14) ඇත්තෙන්ම, ඉතා ළඟදී තමන්ට අත් වන විනාශය ගැන ඔවුන් සිටින්නේ භයෙන් වෙවුලමිනි. (යාකොබ් 2:19) එනිසා දුෂ්ට ආත්මයන් යම් ආකාරයක ඇමකින් ඔබව ආකර්ෂණය කරගැනීමට හෝ ඔබට විරුද්ධව ඕනෑම අන්දමකින් පහර දීමට තැත් කළත්, ඔවුන්ට විරුද්ධ වීමට ඔබට හැකියි. (2 කොරින්ති 2:11) භූතවාදයේ සෑම ස්වරූපයකින්ම වැළකී සිටින්න. දේවවචනයේ උපදෙස් අදාළ කරගනිමින්, යෙහෝවාගේ අනුමැතිය ලබාගැනීමට උත්සාහ කරන්න. ඔබේ ජීවිතය රඳා පවතින්නේ දුෂ්ට ආත්ම බලවේගයන්ට විරුද්ධ වීම මතයි. එනිසා, අප්‍රමාදව එසේ කරන්න!

ඔබේ දැනුම මැන බලන්න

දුෂ්ට ආත්ම මිනිසුන්ව මුළා කිරීමට තැත් කරන්නේ කොහොමද?

බයිබලය භූතවාදය හෙළාදකින්නේ ඇයි?

දුෂ්ට ආත්ම බලවේගවලින් පුද්ගලයෙකුට මිදිය හැක්කේ කොහොමද?

දුෂ්ට ආත්මවලට ඔබ දිගටම විරුද්ධ විය යුත්තේ ඇයි?

[110වන පිටුවේ පින්තූරය]

විවිධ ස්වරූප ගන්නා භූතවාදය පිළිබඳ ඔබේ දෘෂ්ටිය කුමක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න