ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • kl 15 පරි. 140-149 පි.
  • දෙවිට ගරු කරන පවුලක් ගොඩනැඟීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිට ගරු කරන පවුලක් ගොඩනැඟීම
  • සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ප්‍රීතිමත් විවාහයක් ගොඩනැංවීමට අවශ්‍ය මෙවලම්
  • දෙවි පිළිබඳ වූ දැනුමට එකඟව දරුවන් ඇති දැඩි කිරීම
  • “දක්ෂ මඟ පෙන්වීම” අත් කරගැනීම
  • විවාහය රැකගන්න
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • විවාහය දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • ඔබගේ විවාහය කල්පවතින එක්වීමක් කරගන්න
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සතුට පිරුණ යුග දිවියකට ඔවදන්
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
kl 15 පරි. 140-149 පි.

15වන පරිච්ඡේදය

දෙවිට ගරු කරන පවුලක් ගොඩනැඟීම

1-3. විවාහයටත් දෙමාපියභාවයටත් පොදු වූ ගැටලු විසඳීමට සමහරුන්ට නොහැකි වන්නේ ඇයි? උපකාර සැපයීමට බයිබලයට හැක්කේ ඇයි?

ඔබටම කියා නිවසක් ගොඩනැඟීමට ඔබ සැලසුම් කරනවායයි සිතන්න. ඔබ මුලින්ම ඉඩමක් මිල දී ගනී. ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තු පොදි බැඳගෙන සිටින ඔබට, එය ඔබේ ඇස් පණාපිටම මැවී පෙනෙයි. නමුත් ඔබට මෙවලම්වත්, ඉදි කිරීමේ දස්කම්වත් නැත්නම්? ඔබ දරන වෑයම ගඟට කැපූ ඉනි මෙන් වනු ඇත.

2 බොහෝ යුවළයන් විවාහ දිවියට පා තබන්නේ සතුටින් පිරි පවුලක් ගැන සිහින මවමිනි. නමුත් එවන් දෙයක් ගොඩනඟාගැනීමට අවශ්‍ය මෙවලම්වත්, දස්කම්වත් ඔවුන්ට නැත. විවාහ මංගල්‍ය දිනය ගෙවී ටික දවසකට පසු නිෂේධාත්මක ලක්ෂණ ඉස්මතු වේ. දබර, සණ්ඩු සරුවල් දින චර්යාවේ සුපුරුදු දෙයක් බවට පත් වේ. විවාහයක් ගත කිරීමට දස්කම් නැති ඔවුන්ට දරුවන් ඉපදෙන විට, දෙමාපිය වගකීම් දැරීමේ දස්කම්ද තමන්ට නැති බව නවක පියාට හා මවට පෙනී යයි.

3 නමුත් බයිබලයේ උපකාරය ලබාගැනීමට හැකිවීම සතුටට කරුණකි. එහි දක්වා ඇති ප්‍රතිපත්ති ප්‍රීතිමත් පවුලක් ගොඩනඟාගැනීමට හැකි කරවන මෙවලම් බඳුය. (හිතෝපදේශ 24:3) එය ඉටු වන්නේ කෙසේදැයි අපි බලමු.

ප්‍රීතිමත් විවාහයක් ගොඩනැංවීමට අවශ්‍ය මෙවලම්

4. විවාහයක අනිවාර්යයෙන්ම ගැටලු ඇති වන්නේ ඇයි? බයිබලයේ දක්නට ඇති ප්‍රතිපත්ති මොනවාද?

4 විවාහක යුවළක් කොතරම් හොඳින් ගැළපෙන බව පෙනුණත්, චිත්තවේගීය සැකැස්ම, ළමා වියේ අද්දැකීම් හා පවුලේ පසුබිම අතින් ඔවුන් එකිනෙකාට වෙනස් වේ. එනිසා, විවාහයෙන් පසුව ගැටලු අනිවාර්යයෙන්ම ඇති වේ. ඒවා සමඟ කටයුතු කළ හැක්කේ කෙසේද? හොඳයි, ඉදිකරන්නෙක් ගෙයක් ගොඩනඟද්දී ඔහු පිඹුරුපත් සෝදිසි කර බලයි. ඒවා අනුගමනය කළ යුතු මාර්ගදර්ශක වේ. ප්‍රීතිමත් පවුලක් ගොඩනැංවීමට අවශ්‍ය දිව්‍ය ප්‍රතිපත්ති බයිබලයේ දක්නට ඇත. මින් කිහිපයක් අපි දැන් සලකා බලමු.

5. විවාහය තුළ පක්ෂපාත වීමේ ඇති වැදගත්කම බයිබලයේ අවධාරණය කෙරෙන්නේ කොහොමද?

5 පක්ෂපාතකම. යේසුස් මෙසේ පැවසුවේය: ‘දෙවි එක් කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවා.’a (මතෙව් 19:6) ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද [දෙවි විනිශ්චය කරන්නේය].” (හෙබ්‍රෙව් 13:4) එනිසා තම කලත්‍රයාට විශ්වාසවන්තව බැඳී සිටීමට යෙහෝවා ඉදිරියේ තමන්ට වගකීමක් ඇති බව විවාහකයන්ට හැඟී යා යුතුයි.—උත්පත්ති 39:7-9.

6. විවාහයක් රැකගැනීමට පක්ෂපාතකම උපකාරවත් වන්නේ කොහොමද?

6 පක්ෂපාතකමෙන් විවාහයට ගෞරවයත් සුරක්ෂිතභාවයත් අත් වේ. තත්වය කුමක් වෙතත්, තමන් එකිනෙකාට සහයෝගය දක්වන බව, පක්ෂපාත කලත්‍රයන් හොඳින් දනී. (දේශනාකාරයා 4:9-12) මොවුන්, ගැටලුවක ඉව වැටුණු සැණින් කලත්‍රයාව අත්හරින අයට වඩා කොතරම් වෙනස්ද! තමන් ‘වැරදි කෙනාව තෝරාගත් බවත්,’ ‘කලින් තිබුණ ආදරය නැති වෙලා’ කියා සිතීමටත් එවන් පුද්ගලයන් ඉක්මන් වේ. එකම පිළියම අලුත් කලත්‍රයෙකු සොයාගැනීමයයි ඔවුන් සිතයි. නමුත් මින් එක කලත්‍රයෙකුටවත් නිසි ලෙස සකස් වීමට අවස්ථාවක් නොලැබේ. ඒ වෙනුවට සිදු වන්නේ, අපක්ෂපාතව එසේ ක්‍රියා කරන අය එම ගැටලුම නව යුගදිවියටත් ගෙනයෑමයි. කදිම නිවසක් ඇති පුද්ගලයෙකුට තම වහල තෙමෙන බව පෙනේ නම්, ඔහු නිසැකවම එය හරිගැස්වීමට වෑයම් කරනු ඇත. ඔහු නිකම්ම අලුත් නිවසකට යන්නේ නැත. ඒ හා සමානව, විවාහ ඝට්ටනයට හේතු වන විෂයන් නිරාකරණය කරගන්නේ කලත්‍රයා වෙනස් කිරීමෙන් නොවේ. ගැටලු පැනනඟින විට, විවාහයෙන් ඉවත් වීමට වෑයම් නොකොට, එය රැකගැනීමට වෙහෙස මහන්සි වන්න. මෙලෙස පක්ෂපාතී වීම, විවාහය ආරක්ෂා කරගැනීමටත්, පවත්වාගෙන යෑමටත්, ආදරයෙන් රැකබලා ගැනීමටත් වටිනා යමක් සේ සැලකීමට ඉවහල් වේ.

7. විවාහකයන්ට අදහස් හුවමාරු කිරීම බොහෝවිට දුෂ්කර වන්නේ ඇයි? ‘අලුත් පෞද්ගලිකත්වයෙන්’ සැරසී සිටීම උපකාරවත් විය හැක්කේ කොහොමද?

7 අදහස් හුවමාරුව. බයිබලයේ හිතෝපදේශයක මෙසේ පැවසේ: “මන්ත්‍රණය නැති කල යෝජනා නිෂ්ඵලවන්නේය.” (හිතෝපදේශ 15:22) නමුත්, සමහර විවාහක යුවළයන්ට අදහස් හුවමාරු කිරීම පහසු දෙයක් නොවේ. ඒ මන්ද? මන්දයත් අදහස් හුවමාරු කරගන්නා විලාසය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසයි. වරදවා තේරුම්ගැනීමටත් බලාපොරොත්තු සුන්වීමටත් බොහෝ අවස්ථාවලදී මඟ පාදන්නේ මෙම කරුණයි. කෙනෙකු ඇති දැඩි වූ ආකාරය මෙහිදී වැදගත් සාධකයක් වේ. උදාහරණයක් හැටියට, සණ්ඩු සරුවල් කරන දෙමාපියන් සිටින වාතාවරණයක කෙනෙකු ඇති දැඩි වූවා විය හැකියි. දැන් විවාහ වූ වැඩිහිටියන් වශයෙන්, තම කලත්‍රයාට කාරුණික හා ප්‍රේමනීය අන්දමින් කතා කළ යුතු ආකාරය ඔවුන් නොදන්නවා විය හැකියි. කෙසේවෙතත්, ‘අඬදබරවලින් පිරුණු ගෙදරක්’ බවට ඔබේ නිවහන පිරිහී යා යුතු නැත. (හිතෝපදේශ 17:1, NW) ‘අලුත් පෞද්ගලිකත්වයෙන්’ සැරසී සිටින්න කියා අවධාරණය කර ඇති බයිබලයේ තික්තකමත්, කෝලාහලත්, අපහාසත් හෙළා දැක ඇත.—එපීස 4:22-24, NW, එපී 4:31.

8. ඔබ ඔබේ කලත්‍රයා සමඟ එකඟ නොවන අවස්ථාවකදී අපට උපකාරවත් විය හැක්කේ කුමක්ද?

8 එකඟ නොවීම් ඇති වන විට කළ හැක්කේ කුමක්ද? කෝපය ඇවිස්සෙන බවක් පෙනෙන්ට තිබේ නම්, ඔබ හිතෝපදේශ 17:14හි ඇති මෙම උපදේශය අනුගමනය කිරීම ප්‍රයෝජනදායක වේ: “තරඟය ඇවිස්සෙන්ට පළමුවෙන් එය අත්හරින්න [එයින් ඉවත් වෙන්න, NW].” ඔව්, ඔබත් ඔබේ කලත්‍රයාත් සන්සුන් වන තුරු, ඔබට එම සාකච්ඡාව තාවකාලිකව අත්හිටුවිය හැකියි. (දේශනාකාරයා 3:1, 7) කෙසේවෙතත්, ‘ඇසීමට ඉක්මන් වීමටත්, කතා කිරීමට හා උදහස් වීමට ප්‍රමාද වීමටත්’ වෑයම් කරන්න. (යාකොබ් 1:19) ඔබේ ඉලක්කය වන්නේ කාරණය නිරවුල් කරගැනීම මිස වාදයෙන් ජයගැනීම නොවෙයි. (උත්පත්ති 13:8, 9) ඔබවත් ඔබේ කලත්‍රයාවත් සන්සුන් කරවන වචන හා කතා කිරීමේ විලාසයක් තෝරාගන්න. (හිතෝපදේශ 12:18; 15:1, 4; 29:11) ඒ සියල්ලටත් වැඩියෙන් කෝපාවිෂ්ට ස්වභාවයක දිගටම නොසිටින්න. ඒ වෙනුවට, නිහතමානීව එකට යාච්ඤා කිරීම තුළින් දෙවි සමඟ අදහස් හුවමාරු කිරීමෙන් පිහිට පතන්න.—එපීස 4:26, 27; 6:18, 20ආ.

9. අදහස් හුවමාරුව සිතෙන් ආරම්භ වන බව කිව හැක්කේ ඇයි?

9 බයිබලයේ හිතෝපදේශයක මෙසේ පැවසේ: “ඥානවන්තයාගේ සිත ඔහුගේ මුඛයට උගන්වා, ඔහුගේ තොල්වලට ඉගෙනගැන්ම එකතුකරයි.” (හිතෝපදේශ 16:23) එසේනම්, සාර්ථක අදහස් හුවමාරුවකට දොර විවෘත කරන යතුර තිබෙන්නේ, මුඛයේ නොව, සිතෙහිය. ඔබේ කලත්‍රයා සම්බන්ධයෙන් ඔබේ ආකල්පය කුමක්ද? “එකිනෙකා කෙරෙහි දයාවෙන්” කටයුතු කිරීමටයි බයිබලය ක්‍රිස්තියානීන්ට දිරිගන්වන්නේ. (1 පේතෘස් 3:8) ඔබේ විවාහක සහකරුවා හෝ සහකාරිය ඛේදනීය තත්වයකට මුහුණ දෙන විට ඔබට මෙය කළ හැකිද? එසේ කළ හැකි නම්, පිළිතුරු දිය යුත්තේ කෙසේදැයි දැනගැනීමට එය ඔබට රුකුලක් වේ.—යෙසායා 50:4.

10, 11. ස්වාමිපුරුෂයෙකුට 1 පේතෘස් 3:7හි උපදෙස් අදාළ කරගත හැක්කේ කොහොමද?

10 ගෞරවයෙන් යුතුව සැලකීම. “වඩා දුර්වල භාජනවූ භාර්යාවන් [ස්ත්‍රීන්, NW] සමඟ දැනගැන්මේ හැටියට [වාසය කිරීමට]” ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයන්ට පවසා තිබේ. (1 පේතෘස් 3:7) භාර්යාවගේ අගය තේරුම්ගැනීම, ගෞරව කිරීමට ඇතුළත් වේ. තම භාර්යාව සමඟ “දැනගැන්මේ හැටියට” වාසය කරන ස්වාමිපුරුෂයෙකු, ඇගේ හැඟීම්, හැකියාවන්, බුද්ධිය හා ගෞරවය ඉහළින් තකයි. යෙහෝවා ස්ත්‍රීන්ව සලකන අන්දමත්, ඔහුගේ කැමැත්ත පරිදි ඔවුන්ට සැලකිල්ල දැක්විය යුතු අන්දමත් ඔහු ඉගෙනගත යුතුයි.

11 ඔබේ නිවසේ, ඉතා සියුමැලි වූ ප්‍රයෝජනවත් භාජනයක් තිබුණායයි සිතන්න. ඔබ එය පරෙස්සමින් පාවිච්චි කරන්නේ නැද්ද? ඇත්තටම ප්‍රේරිත පේතෘස් “වඩා දුර්වල [භාජනය]” යන යෙදුම භාවිත කළේ ඊට සමාන අදහසක් අවධාරණය කිරීමටයි. එමෙන්ම තම ආදරණීය භාර්යාවන්ට මුදුමොළොක් ප්‍රේමයක් පෙන්වීමට මෙය ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයන්ව පෙලඹවිය යුතුය.

12. තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ලෙස ගෞරව කරන බව භාර්යාවට පෙන්විය හැක්කේ කොහොමද?

12 නමුත් භාර්යාවන්ට බයිබලය සපයන්නේ කෙබඳු උපදෙසක්ද? පාවුල් මෙසේ ලීවේය: භාර්යාව “තම ස්වාමි පුරුෂයාට ගැඹුරු ගෞරවයක් පෙන්විය යුතුය.” (එපීස 5:33, NW) තම ස්වාමිපුරුෂයා තමාව වැදගත් කොට සලකන බවත්, තමා කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් පෙන්වන බවත් භාර්යාවකට හැඟිය යා යුතුවාක් මෙන්, තම භාර්යාව තමාට ගෞරව කරන බවද ස්වාමිපුරුෂයාට හැඟිය යුතුයි. ස්වාමිපුරුෂයා ක්‍රිස්තියානියෙකු වුවත් නැතත්, ගෞරවයෙන් කටයුතු කරන භාර්යාව කිසිදු තැකීමකින් තොරව ඔහුගේ වැරදි ප්‍රචාරය නොකරනු ඇත. ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව විවේචනය කිරීමෙන් හෝ නිග්‍රහ කිරීමෙන් ඔහුට අවමන් නොකරනු ඇත.—1 තිමෝති 3:11; 5:13.

13. විවිධ අදහස් සාමකාමීව ඉදිරිපත් කළ හැක්කේ කොහොමද?

13 නමුත් මින් අදහස් කරන්නේ භාර්යාවකට ඇගේ අදහස් ප්‍රකාශ කළ නොහැකි බව නොවෙයි. ඇගේ හිතට වද දෙන යම් කාරණයක් ඇත්නම්, ගෞරවයෙන් යුතුව එය පෙන්වා දිය හැකියි. (උත්පත්ති 21:9-12) ඇය ස්වාමිපුරුෂයාට අදහස් ඉදිරිපත් කිරීමේ විලාසය ඔහු වෙත පන්දුවක් විසි කිරීමකට සමාන කළ හැකියි. එය පහසුවෙන් ඔහුට අල්ලාගැනීමට හැකි වන පරිද්දෙන් ඔහු වෙත හෙමින් දැමිය හැකියි. අනෙක් අතට තුවාල වන තරමටම ඔහුට එයින් දමා ගැසිය හැකියි. එකිනෙකාට විරුද්ධව චෝදනා එල්ල කරන්නේ නැතුව, කලත්‍රයන් දෙදෙනා කාරුණිකව හා මෘදුව අදහස් හුවමාරු කරගන්නවා නම් එය කොතරම් ප්‍රසන්නද!—මතෙව් 7:12; කොලොස්සි 4:6; 1 පේතෘස් 3:3, 4.

14. විවාහයේදී බයිබල් ප්‍රතිපත්ති අදාළ කිරීම සම්බන්ධයෙන් ඔබේ කලත්‍රයා එතරම් උනන්දුවක් නොදක්වන්නේ නම් ඔබ කළ යුත්තේ කුමක්ද?

14 ඔබට දැන් පෙනී ගිය පරිදි, සතුටින් පිරි විවාහයක් ගොඩනැංවීම සඳහා බයිබල් ප්‍රතිපත්ති ඔබට මහෝපකාරි වේ. නමුත් බයිබලය සම්බන්ධයෙන් ඔබේ කලත්‍රයා උනන්දුවක් දක්වන්නේ නැත්නම්? ඔබේ වගකීම් සම්බන්ධයෙන් ඔබ දෙවි පිළිබඳ දැනුම අදාළ කරගතහොත් දේවල් රැසක් ඉටු කරගත හැකියි. පේතෘස් මෙසේ ලීවේය: “භාර්යාවරුනි, නුඹලාගේ පුරුෂයන්ගෙන් සමහරෙක් වචනයට අකීකරුව සිටිතත්, ඔවුන් නුඹලාගේ පිරිසිදුවූ යටහත් හැසිරීම දුටුවාම, වචනය නැතුව භාර්යාවන්ගේ හැසිරීම කරණකොටගෙන දිනාගන්නා පිණිස, ඔවුන්ට යටත්වෙන්න.” (1 පේතෘස් 3:1, 2) බයිබලය සැලකිල්ලට නොගන්නා භාර්යාවක් සිටින ස්වාමිපුරුෂයෙකු සම්බන්ධයෙන්ද මෙයම අදාළ වේ. ඔබේ කලත්‍රයා කුමක් කිරීමට තෝරාගත්තත්, ඔබව වඩා හොඳ කලත්‍රයෙකු බවට පත් කිරීමට බයිබලයේ ප්‍රතිපත්තිවලට ඉඩ දෙන්න. දෙවි පිළිබඳ දැනුමට ඔබව වඩා හොඳ මාපියෙකු බවට පත් කිරීමේ හැකියාවද ඇත.

දෙවි පිළිබඳ වූ දැනුමට එකඟව දරුවන් ඇති දැඩි කිරීම

15. ඇතැම්විට, දරුවන් ඇති දැඩි කිරීමේ වැරදි සහගත ක්‍රම එක් පරම්පරාවකින් තවෙකකට උරුම වන්නේ කොහොමද? මෙම චක්‍රය බිඳිය හැක්කේ කොහොමද?

15 කියතක් මිටියක් තිබූ පමණින්ම කෙනෙක් දක්ෂ වඩුවෙක් බවට පත් නොවේ. ඒ හා සමානව, දරුවන් සිටින නිසාම කෙනෙකු දක්ෂ මාපියෙක් බවට පත් වන්නේද නැත. දැනුවත්ව හෝ නොදැනුවත්ව දෙමාපියන් බොහෝවිට තම දරුවන්ව ඇති දැඩි කරන්නේ තමන්ව ඇති දැඩි කළ ආකාරයටමයි. මෙසේ දරුවන් ඇති දැඩි කිරීමේ වැරදි සහගත ක්‍රම එක් පරම්පරාවකින් තවෙකකට උරුම වේ. පැරණි හෙබ්‍රෙව් හිතෝපදේශයක මෙසේ පැවසේ: “පියවරු ඇඹුල් මිදිඵල කන්නෝය, [නමුත්] දරුවන්ගේ දත් හිරිවැටෙන්නේය.” එහෙයින්, තම දෙමාපියන් ස්ථාපිත කළ මාර්ගයම අනුකරණය කිරීමට පුද්ගලයෙකු බැඳී නැති බව ශුද්ධ ලියවිල්ලේ පෙන්වයි. යෙහෝවාගේ අණපනත්වලට එකඟ වන වෙනස් මාර්ගයක් ඔහුට තෝරාගත හැකියි.—එසකියෙල් 18:2, 14, 17.

16. ඔබේ පවුල රක්ෂා කිරීම වැදගත් වන්නේ ඇයි? මීට ඇතුළත් වන්නේ කුමක්ද?

16 දරුවන්ට අවශ්‍ය කරන නිසි මඟ පෙන්වීමත් සැලකිල්ලත් ලබා දීම ක්‍රිස්තියානි දෙමාපියන්ගෙන් යෙහෝවා අපේක්ෂා කරයි. පාවුල් ලීවේ මෙසේය: “යමෙක් තමාගේ අය, ප්‍රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.” (1 තිමෝති 5:8) කොතරම් බලගතු වචනද! දරුවන්ගේ ශාරීරික, ආත්මික හා චිත්තවේගීය අවශ්‍යතා සපුරාලන්නෙකු හැටියට ඔබේ වගකීම් ඉටු කිරීම දේවභක්තික පුද්ගලයෙකු සතු වරප්‍රසාදයක් හා වගකීමකි. තම දරුවන්ට ප්‍රීතිමත් වාතාවරණයක් ඇති කිරීමට දෙමව්පියන්ට උපකාරවත් වන ප්‍රතිපත්ති බයිබලයේ සපයා ඇත. මින් සමහරක් සලකා බලන්න.

17. දෙවිගේ නීතිය ඔබේ දරුවන්ගේ හදවතේ පැලපදියම් වීමට නම් අවශ්‍ය වන්නේ කුමක්ද?

17 කදිම ආදර්ශයක් තබන්න. ඉශ්‍රායෙලයේ දෙමාපියන්ට මෙසේ අණ කොට තිබුණි: “[දෙවිගේ වදන්] නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, නුඹ ගෙයි හිඳින කලද මග යන කලද නුඹ සයනයකරන කලද නැගිටින කලද ඒවා ගැන කථා කරන්න.” දෙමාපියන් තම දරුවන්ට දෙවිගේ ප්‍රමිති ඉගැන්වීම අවශ්‍ය විය. නමුත් මෙම නියෝගයට කලින් මෙම ප්‍රකාශය කර තිබුණි: “මා විසින් අද නුඹට අණකරන මේ වචන නුඹේ සිතේ තිබේවා.” (ද්විතීය කථාව 6:6, 7) දෙමාපියන්ට තමන් ළඟ නැති දෙයක් දරුවන්ට දීමට නොහැකියි. ඔබේ දරුවන්ගේ සිත්වල දෙවිගේ නීති පැලපදියම් වනවාට ඔබ කැමති නම්, ඒවා පළමුකොට ඔබේ සිතේ පැලපදියම්ව තිබිය යුතුයි.—හිතෝපදේශ 20:7; සසඳන්න ලූක් 6:40.

18. ප්‍රේමය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්, යෙහෝවා දෙමාපියන් සඳහා කදිම ආදර්ශයක් තබා ඇත්තේ කොහොමද?

18 ඔබ ප්‍රේම කරන බව තහවුරු කරන්න. යේසුස්ගේ බව්තීස්මයේදී, යෙහෝවා මෙසේ ප්‍රකාශ කළේය: “නුඹ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය; නුඹ කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි.” (ලූක් 3:22) මෙසේ තම පුත්‍රයාව පිළිගත් යෙහෝවා, ඔහු කෙරෙහි වූ තම අනුමැතිය නොවළහා ප්‍රකාශ කරමින්, තම ප්‍රේමය තහවුරු කළේය. යේසුස් පසුව ඔහුගේ පියාට මෙසේ පැවසුවේය: “ලෝකය මැවීමට පළමුවෙන් ඔබ මට [ප්‍රේම කළේය].” (යොහන් 17:24) එසේනම්, දේවභක්තික දෙමාපියන් හැටියට ඔබ ඔබේ දරුවන්ට ප්‍රේම කරන බව වචනයෙන් හා ක්‍රියාවෙන් පෙන්නුම් කරන්න. මෙය නිරතුරුවම කරන්න. “ප්‍රේමය ගොඩනංවන” බව සැමවිටම සිහියේ තබාගන්න.—1 කොරින්ති 8:1, NW.

19, 20. දරුවන්ව නිසි ලෙස හික්මවීමට ඇතුළත් වන්නේ කුමක්ද? දෙමාපියන්ට යෙහෝවාගේ ආදර්ශයෙන් ප්‍රයෝජන ගත හැක්කේ කොහොමද?

19 හික්මවීම. ප්‍රේමයෙන් යුතුව කරන හික්මවීමේ වැදගත්කම බයිබලයේ අවධාරණය කර ඇත. (හිතෝපදේශ 1:8) අද, තම දරුවන්ට මඟ පෙන්වීමට ඇති ඔවුන්ගේ වගකීම පැහැර හරින දෙමාපියන්, හෙට ඛේදනීය ප්‍රතිවිපාකවලට මුහුණ දෙනවා නොඅනුමානයි. නමුත් අනික් අන්තයට යෑමට එරෙහිවද දෙමාපියන්ට අවවාද කොට ඇත. පාවුල් මෙසේ ලීවේය: “පියවරුනි, නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරන්න.” (කොලොස්සි 3:21) දරුවන්ව ඕනෑවට වඩා හික්මවීමෙන් හෝ ඔවුන්ගේ අඩුපාඩුකම් නැවත නැවත උලුප්පා දැක්වීමෙන් හෝ ඔවුන්ගේ ප්‍රයත්නයන් විවේචනයට ලක් කිරීමෙන් දෙමාපියන් වැළකී සිටිය යුතුයි.

20 හික්මවීම සම්බන්ධයෙන් අපේ ස්වර්ගික පිය වූ යෙහෝවා දෙවි කදිම ආදර්ශයක් තබයි. ඔහුගේ නිවැරදි කිරීම් අන්තයටම නොයයි. දෙවි තම සෙනඟට මෙසේ පැවසුවේය: “යුතු පමණට නුඹලාට දඬුවම් කරන්නෙමි.” (යෙරෙමියා 46:28, න.අ.) මේ කාරණය සම්බන්ධයෙන් දෙමාපියන් යෙහෝවාව අනුකරණය කළ යුතුයි. සීමාව ඉක්මවා යන, එමෙන්ම නිවැරදි කිරීමේ හා ඉගැන්වීමේ අරමුණෙන් පිට පනින හික්මවීමෙන් නිසැකවම කෝපය ඇවිස්සෙයි.

21. දෙමාපියන්ගේ හික්මවීම බලපෑමෙන් යුතුද නැද්ද කියා ඔවුන්ට තීරණය කළ හැක්කේ කොහොමද?

21 තමන් හික්මවන ආකාරය බලපෑමෙන් යුත් එකක්ද නැද්ද කියා දෙමාපියන් තීරණය කරන්නේ කෙසේද? ඔවුන්ට තමන්ගෙන්ම මෙසේ ඇසිය හැකියි: ‘මං හික්මවන විදිහෙන් ඉටු වෙන්නේ මොකක්ද?’ ඉන් යමක් ඉගැන්විය යුතුයි. තමාව හික්මවන්නේ මන්දැයි ඔබේ දරුවාට තේරුම් යා යුතුයි. නිවැරදි කිරීමෙන් පසුව ඇති වන ඵලවිපාක ගැනත් දෙමාපියන් සැලකිලිමත් විය යුතුයි. හික්මවීම නිසා දරුවෙකු තුළ මුලින්ම අමනාපයක් ඇති විය හැකි බව ඇත්තයි. (හෙබ්‍රෙව් 12:11) නමුත් හික්මවීම නිසා දරුවෙකුට කිසිම විටෙක භයක් හෝ එපාවීමේ හැඟීමක් ඇති නොවිය යුතුයි. එමෙන්ම තමා සහජයෙන්ම දුෂ්ටයෙක් කියාද නොහැඟිය යුතුයි. තම සෙනඟව නිවැරදි කිරීමට පෙර යෙහෝවා ඔවුන්ට මෙසේ පැවසීය: “මා නුඹ සමග සිටින නිසා භය නොවන්න.” (යෙරෙමියා 46:28) දෙමාපියකු වශයෙන් ඔබ ඔහු හෝ ඇය සමඟ ප්‍රේමයෙන් හා සහයෝගයෙන් දිගටම කටයුතු කරන බව හැඟෙන ආකාරයකින් දරුවාව නිවැරදි කළ යුතුයි.

“දක්ෂ මඟ පෙන්වීම” අත් කරගැනීම

22, 23. ප්‍රීතිමත් පවුලක් ගොඩනැංවීමට අවශ්‍ය මඟ පෙන්වීම ඔබට අත් කරගත හැක්කේ කොහොමද?

22 ප්‍රීතිමත් පවුලක් ගොඩනැංවීමට අවශ්‍ය මෙවලම් යෙහෝවා සපයා තිබීම ගැන අප ඔහුට කෘතඥපූර්වක විය යුතුයි. නමුත් මෙවලම් තිබීම පමණක්ම නොසෑහේ. අප ඒවා නිසි ලෙස භාවිත කිරීමට පුරුදු පුහුණු විය යුතුයි. උදාහරණයක් හැටියට, ඉදිකරන්නෙක් තම මෙවලම් හැසිරවීමේදී වැරදි ශිල්ප ක්‍රම පුරුදු විය හැකියි. ඔහු සමහරක් ඒවා සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රමයට භාවිතා කළ හැකියි. මෙවන් තත්වයන් යටතේ, ඔහු යොදාගන්නා ක්‍රමවල ප්‍රතිඵලයක් හැටියට බාල නිර්මාණයක් බිහි විය හැකියි. ඒ හා සමානව ඔබේ පවුල තුළට නොදැනුවත්වම වාගේ පිවිස ඇති අහිතකර පුරුදු දැනටමත් ඔබේ අවධානයට හසුව තිබෙනවා විය හැකියි. මේවායින් සමහරක් තදින් ගැඹුරටම කාවැදී තිබෙනවා වන්න පුළුවන. ඒවා වෙනස් කිරීමට අමාරු යමක් විය හැකියි. කෙසේවෙතත්, බයිබලයේ සඳහන් මෙම අවවාදය පිළිපදින්න: “ඥානවන්තයා අසා ඉගෙනගැන්ම වැඩිකරගන්නේය; නුවණ ඇත්තා හොඳ ගුරුකම් [දක්ෂ මඟ පෙන්වීම, NW] ලබා ගන්නේය.”—හිතෝපදේශ 1:6.

23 දෙවි පිළිබඳ දැනුම දිගින් දිගටම ලබාගැනීමෙන් දක්ෂ මඟ පෙන්වීම අත් කරගැනීමට ඔබට හැකියි. පවුල් ජීවිතයට අදාළ වන බයිබල් ප්‍රතිපත්ති ගැන සාවධානව සිටින්න. එමෙන්ම සකස් විය යුතු අවස්ථාවලදී එසේ කරන්න. විවාහක කලත්‍රයන් හා දෙමාපියන් වශයෙන් කදිම ආදර්ශයක් තබන මේරූ ක්‍රිස්තියානීන්ව ආදර්ශයට ගන්න. ඔවුන් සමඟ කතාබහ කරන්න. ඒ සියල්ලටම වැඩියෙන් ඔබේ සිත කලබල කරවන දේවල් ගැන යෙහෝවාට යාච්ඤාවෙන් කියන්න. (ගීතාවලිය 55:22; පිලිප්පි 4:6, 7) ඔහුට ගෞරවය ගෙන දෙන ප්‍රීතිමත් පවුල් ජීවිතයක් භුක්ති විඳීම සඳහා ඔබට අවශ්‍ය උපකාරය ලබා දීමට ඔහුට හැකියි.

[පාදසටහන්වල]

a නැවත විවාහ වීමට ඉඩ කඩ සලසන දික්කසාද වීම සඳහා ඇති එකම ශුද්ධ ලියවිලිමය පදනම වන්නේ “වේශ්‍යාකම,” එනම් විවාහයෙන් පිටත ලිංගික සම්බන්ධකම් පැවැත්වීමයි.—මතෙව් 19:9.

ඔබේ දැනුම මැන බලන්න

පක්ෂපාතකම, අදහස් හුවමාරුව, ගෞරවය කිරීම හා වැදගත් කොට සැලකීම ප්‍රීතිමත් විවාහයකට දායක වන්නේ කොහොමද?

තම දරුවන්ට ප්‍රේම කරන බව දෙමාපියන්ට තහවුරු කළ හැක්කේ කොහොමද?

නිසි හික්මවීමට ඇතුළත් සාධක මොනවාද?

[147වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න