ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • fy 12 පරි. 142-152 පි.
  • පවුලකට හානි කරන ගැටලු ජයගැනීමට ඔබට හැක

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලකට හානි කරන ගැටලු ජයගැනීමට ඔබට හැක
  • පවුලේ සන්තෝෂයට රහස
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මත්පැනට ඇබ්බැහි වීමෙන් සිදු කෙරෙන හානිය
  • පවුලේ අයට කුමක් කළ හැකිද?
  • ගෘහස්ථ සැහැසියාව සිදු කරන හානිය
  • ගෘහස්ථ සැහැසියාව වළක්වන අයුරු
  • වෙන් වෙනවාද නැතහොත් එක්ව සිටිනවාද?
  • හානිකර ගැටලුවලට අවසානයක්
  • මත්පැන්වලට ඇබ්බැහි වීම සමඟ කෙරෙන සටනින් ජය ගැනීම
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
පවුලේ සන්තෝෂයට රහස
fy 12 පරි. 142-152 පි.

12වෙනි පරිච්ඡේදය

පවුලකට හානි කරන ගැටලු ජයගැනීමට ඔබට හැක

1. ඇතැම් පවුල්වල පවතින්නේ කුමන සැඟවුණු ගැටලුද?

පරණ මෝටර් රථය සෝදා, ඔප දමා අවසන් වූවා පමණි. පසු කර යන්නන්ට පෙනෙන්නේ එය දිලිසෙන අලුත් එකක් මෙන්ය. එහෙත් මතුපිටට යටින් මලකඩ කෑම හේතුවෙන් වාහනය දිරාපත් වෙමින් තිබේ. ඇතැම් පවුල්ද ඒ හා සමානය. බාහිරෙන් සියල්ල කදිම ලෙස පවතින බවට පෙනෙන්ට තිබුණත්, මදහස පාන මුහුණුවල බිය හා වේදනාව සැඟ වී තිබේ. නිවෙස් තුළ මලකඩ කෑමට ඉවහල් වන මූලද්‍රව්‍ය, කෙමෙන් කෙමෙන් පවුලේ සාමය කා දමමින් තිබේ. මත්පැනට ඇබ්බැහි වීම හා සැහැසියාව, මෙම ප්‍රතිඵලය ඇති කළ හැකි ගැටලු දෙකකි.

මත්පැනට ඇබ්බැහි වීමෙන් සිදු කෙරෙන හානිය

2. (අ) මත්පැන් භාවිතය සම්බන්ධයෙන් බයිබලයේ දෘෂ්ටිය කුමක්ද? (ආ) මත්පැනට ඇබ්බැහි වීම යනු කුමක්ද?

2 පමණ දැන මත්පැන් වර්ග ගැනීම බයිබලයේ හෙළා නොදකින මුත්, එය බීමත්කම හෙළාදකියි. (හිතෝපදේශ 23:20, 21; 1 කොරින්ති 6:9, 10; 1 තිමෝති 5:23; තීතස් 2:2, 3) එහෙත් මත්පැනට ඇබ්බැහි වීම බීමත්කමට වඩා වැඩි දෙයකි; එය මත්පැන් පානයන්හි ඇලී ගැලී සිටීමක් වන අතර, ඒවා පරිභෝජනය කිරීම පාලනය කරගත නොහැකි වීමකි. වැඩිහිටියන් මත්ලෝලීන් විය හැක. යෞවනයන්ද එසේ විය හැකිවීම කනගාටුවට කරුණකි.

3, 4. මත්පැනට ඇබ්බැහි වීම මත්ලෝලියාගේ කලත්‍රයා හා දරුවන් මත ඇති කරවන බලපෑම් විස්තර කරන්න.

3 පවුලේ සාමය බිඳ දැමීමට මත්පැන් අනිසි භාවිතයට හැකි බව බොහෝ කලකට පෙර බයිබලයේ අඟවා තිබිණ. (ද්විතීය කථාව 21:18-21) මත්පැනට ඇබ්බැහි වීමේ විනාශකාරි බලපෑම ක්‍රම ක්‍රමයෙන් මුළු පවුලටම දැනේ. මත්ලෝලියාගේ බීමත්කම නැවැත්වීම සඳහා හෝ ඔහුගේ අසාමාන්‍ය හැසිරීම සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා කලත්‍රයා සෑම ප්‍රයත්නයක්ම දරමින් සිටිය හැක.a මත්පැන් සැඟවීමෙන්, එය ඉවත ලෑමෙන්, ඔහුගේ මුදල් සැඟවීමෙන් හා පවුලට, ජීවිතයට, දෙවියන්වහන්සේට පවා ප්‍රේම කරන්නැයි අයදිමින් ඈ වෑයමක් දරයි—නමුත් මත්ලෝලී තැනැත්තා තවමත් මත්පැන් පානය කරයි. ඔහුගේ බීම පාලනය කිරීමට ඇය ගන්නා තැත දිගින් දිගටම අසාර්ථක වන විට, ඇයට කලකිරීමක් හා බෙලහීන බවක් හැඟේ. ඇය බියෙන්, කෝපයෙන්, වරදකාරිබවෙන්, වහා කලබලයට පත්වීමෙන්, කාන්සාවෙන් සහ ආත්ම-ගෞරවයේ හීනකමෙන් පෙළෙන්ට පටන්ගත හැක.

4 දෙමාපියෙකු මත්පැනට ඇබ්බැහි වීමෙන් ඇති වන ප්‍රතිඵලවලින් දරුවන්ට බේරී සිටිය නොහැක. ඇතමෙක් කායික වධ හිංසාවට ලක් වෙති. වෙනත් අය ලිංගික දූෂණයට ලක් වෙති. දෙමාපියෙකු මත්පැනට ඇබ්බැහි වීම නිසා ඔවුන් තමන්ටම පවා දොස් පවරාගත හැක. මත්ලෝලියාගේ අවිනිශ්චිත හැසිරීම හේතුවෙන් බොහෝවිට අන් අයව විශ්වාස කිරීමට නොහැකි තත්වයකට දරුවන් පත් වී ඇත. නිවසෙහි සිදු වන දේ ගැන පහසුදායක ලෙස කතා කිරීමට ඔවුන්ට නොහැකි නිසා, බොහෝවිට හානිකර කායික විපාක සහිතව දරුවන් තම හැඟීම් යටපත් කරගැනීමට ඉගෙනගත හැක. (හිතෝපදේශ 17:22) එවැනි දරුවන් මෙම ආත්ම-විශ්වාසයේ හෝ ආත්ම-ගෞරවයේ හීනකම වැඩිහිටිභාවය තුළටද ගෙන යා හැක.

පවුලේ අයට කුමක් කළ හැකිද?

5. මත්පැනට ඇබ්බැහි වීම සමඟ කටයුතු කළ හැක්කේ කෙසේද, තවද මෙය දුෂ්කර වන්නේ මන්ද?

5 මත්පැනට ඇබ්බැහි වීම සුව කළ නොහැකියයි බොහෝ අධිකාරිත්වයන් පැවසුවත්, සම්පූර්ණයෙන්ම වැළකී සිටීමේ වැඩසටහනකින් යම් දුරකට සුවවීමක් ලැබිය හැකි බවට වැඩිදෙනෙක් එකඟ වෙති. (මතෙව් 5:29 සසඳන්න.) කෙසේවුවද, ඔහුට ගැටලුවක් තිබෙන බව ඔහු සාමාන්‍යයෙන්ම ප්‍රතික්ෂේප කරන බැවින්, මත්ලෝලියෙකුට උපකාරය පිළිගන්නයයි පැවසීම පහසු මුත් කිරීම අමාරුය. කෙසේනමුත්, මත්පැනට ඇබ්බැහි වීම තමන්ට බලපා තිබෙන ආකාරය සමඟ කටයුතු කිරීමට පවුලේ සාමාජිකයන් පියවර ගන්නා විට, තමාට ගැටලුවක් තිබෙන බව මත්ලෝලියාට වැටහෙන්ට පටන්ගත හැක. මත්ලෝලීන්ට හා ඔවුන්ගේ පවුල්වලට උපකාර කරන පළපුරුදු වෛද්‍යවරයෙක් මෙසේ පැවසීය: “මා හිතන විදිහට ඉතාමත්ම වැදගත් දේ නම්, පවුලේ අය තමන්ගේ වැඩකටයුතු තමන්ට හැකි උපරිමයෙන් ඵලදායී අන්දමින් කරගෙන යෑමයි, මත්ලෝලියාට තමා සහ පවුලේ අනික් අය අතර වෙනසක් තිබෙනවාය යන කාරණයට වඩ වඩාත් මුහුණ දීමට සිදු වෙයි.”

6. මත්ලෝලී සාමාජිකයෙකු සිටින පවුල් සඳහා හොඳම උපදෙස් මූලාශ්‍රය කුමක්ද?

6 ඔබේ පවුලේ මත්ලෝලියෙකු සිටී නම්, හැකි උපරිමයෙන් ඵලදායී ජීවිතයක් ගත කිරීමට ඔබට උපකාර කිරීමට බයිබලයේ ආනුභාව ලත් උපදෙස්වලට හැක. (යෙසායා 48:17; 2 තිමෝති 3:16) මත්පැනට ඇබ්බැහි වීම සමඟ සාර්ථකව කටයුතු කිරීමට පවුල්වලට උපකාරවත් වී ඇති ඇතැම් ප්‍රතිපත්ති සලකා බලන්න.

7. පවුලේ සාමාජිකයෙකු මත්ලෝලියෙකු නම්, වගකිව යුත්තේ කවුද?

7 මුළු දොසම තමන් මත පවරාගැනීමෙන් වළකින්න. බයිබලය මෙසේ පවසයි: “එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය,” එමෙන්ම, “අප එක් එක්කෙනා තම තමා ගැන දෙවියන්වහන්සේට ගණන්දෙනවා ඇත.” (ගලාති 6:5; රෝම 14:12) පවුලේ සාමාජිකයන් වගකිව යුතුයයි මත්ලෝලියා කියා සිටීමට වෑයම් කළ හැක. උදාහරණයක් වශයෙන්, ඔහු මෙසේ පැවසිය හැක: “ඔබ මට මීට වඩා හොඳට සැලකුවා නම්, මම නොබී ඉන්න තිබුණා.” අනික් අය ඔහුට එකඟ වන බව පෙන්වතොත්, ඔවුහු ඔහුට දිගටම මත්පැන් පානය කිරීමට දිරිගන්වති. එහෙත් තත්වයන් හෝ වෙනත් අය මගින් අප බලපෑම් ලබා සිටින විට පවා, මත්ලෝලීන් ඇතුළු අප සියලුදෙනාම අප කරන දේට වගකිව යුතුය.—සසඳන්න පිලිප්පි 2:12.

8. මත්ලෝලියාට සිය ගැටලුවේ ඵලවිපාකවලට මුහුණ දීමට උපකාර විය හැකි ඇතැම් ක්‍රම මොනවාද?

8 මත්ලෝලියාගේ බීමත්කමේ ප්‍රතිඵලවලින් ඔහුව ඔබ සැමවිටම ආරක්ෂා කරගත යුතුයයි නොසිතන්න. කෝප වූ කෙනෙකු ගැන සඳහන් බයිබල් හිතෝපදේශයක් මත්ලෝලියාටද එක සමානවම අදාළ කළ හැක: “නුඹ ඔහු මිදුවත් නැවත නැවතත් එසේ කරන්ට ඕනෑ වෙයි.” (හිතෝපදේශ 19:19) මත්ලෝලියාට සිය බීමත්කමේ විපාක දැනෙන්ට ඉඩහරින්න. ඔහු අපිරිසිදු කළ දේ ඔහුටම පිරිසිදු කිරීමට හෝ බීමත්කමේ නියැලුණු අවස්ථාවකින් පසුදින උදෑසන ඔහුටම ඔහුගේ ස්වාමියාට දූරකථනයෙන් දැන්වීමටද ඉඩහරින්න.

9, 10. මත්ලෝලීන්ගේ පවුල්, උපකාර පිළිගත යුත්තේ මන්ද, තවද ඔවුන් විශේෂයෙන්ම සෙවිය යුත්තේ කවරෙකුගේ උපකාරයද?

9 අන්‍යයන් දෙන උපකාරය පිළිගන්න. හිතෝපදේශ 17:17 මෙසේ පවසයි: “මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේමවන්නේය, සහෝදරයෙක් ඉපද සිටින්නෙත් විපත්තියේදී පිහිටවීමටය.” ඔබේ පවුලේ මත්ලෝලියෙකු සිටින විට, විපතක් තිබේ. ඔබට උපකාරය අවශ්‍යය. උපකාරය සඳහා ‘සැබෑ මිතුරෙක්’ කෙරෙහි විශ්වාසය තැබීමට පසුනොබසින්න. (හිතෝපදේශ 18:24) ගැටලුව තේරුම්ගන්නා අය සමඟ හෝ එවැනිම තත්වයකට මුහුණ දී ඇති අය සමඟ කතා කිරීමෙන් කළ යුතු හා නොකළ යුතු දේ පිළිබඳව යෝජනා ලබාගත හැකි වේ. එහෙත් සමබර වන්න. ඔබ විශ්වාස කරන, ඔබේ “රහස්” හෙළි නොකොට තබාගන්නා අය සමඟ කතා කරන්න.—හිතෝපදේශ 11:13.

10 ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ව විශ්වාස කිරීමට ඉගෙනගන්න. ක්‍රිස්තියානි සභාවේ සිටින වැඩිමහල්ලන් ඉමහත් උපකාරයේ මූලාශ්‍රයක් විය හැක. මෙම මේරූ පුරුෂයෝ දේවවචනය තුළින් දැනුවත් වී, එහි ප්‍රතිපත්ති අදාළ කිරීම සම්බන්ධයෙන් අද්දැකීම් ලද්දෝ වෙත්. “සුළඟින් වැළකෙන්න රැකවරණයක් මෙන් ද කුණාටුවෙන් සැඟවෙන්න ස්ථානයක් මෙන් ද වියළි බිමේ ගලා යන දිය පාරවල් මෙන් ද පාළු පෙදෙසක සෙවණ ගෙන දෙන විශාල පර්වතයක් මෙන් ද” වීමට ඔවුන්ට හැක. (යෙසායා 32:2, නව අනුවාදය) සමස්තයක් වශයෙන් ක්‍රිස්තියානි වැඩිමහල්ලන් සභාව ආරක්ෂා කරනවා පමණක් නොව, නමුත් ඔවුහු සැනසීමක්, නැවුම්බවක් ගෙන දෙන අතර, ගැටලු තිබෙන පුද්ගලයන් කෙරෙහි පෞද්ගලික උනන්දුවක් දක්වති. ඔවුන්ගේ උපකාරයෙන් සම්පූර්ණ ප්‍රයෝජන ලබාගන්න.

11, 12. මත්ලෝලීන්ගේ පවුල්වලට විශිෂ්ටතම උපකාරය සපයන්නේ කවරෙක්ද, තවද එම උපකාරය දෙනු ලබන්නේ කෙසේද?

11 සියල්ලටම වඩා, යෙහෝවඃවහන්සේගෙන් ශක්තිය ලබාගන්න. බයිබලය උණුසුම් ලෙස අපට මෙසේ සහතික කරයි: “ස්වාමීන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටිනසේක, තැළුණු ආත්ම ඇත්තන් ගළවනසේක.” (ගීතාවලිය 34:18) පවුලේ මත්ලෝලී සාමාජිකයෙකු සමඟ ජීවත්වීමේ පීඩන හේතුවෙන් හෘදය බිඳී හෝ ආත්ම ශක්තිය දුර්වල වී ඇති බව ඔබට හැඟේ නම්, ‘යෙහෝවඃවහන්සේ ළංව සිටින’ බව දැනගන්න. ඔබේ පවුලේ කෙතරම් දුෂ්කර තත්වයක් තිබේදැයි උන්වහන්සේ තේරුම්ගන්නාසේක.—1 පේතෘස් 5:6, 7.

12 යෙහෝවඃවහන්සේ ස්වකීය වචනයෙහි පවසන දෙය විශ්වාස කිරීම කාන්සාවෙන් මිදීමට ඔබට උපකාරවත් විය හැක. (ගීතාවලිය 130:3, 4; මතෙව් 6:25-34; 1 යොහන් 3:19, 20) දේවවචනය පාඩම් කිරීමත්, එහි ප්‍රතිපත්තිවලට අනුව ජීවත්වීමත් මගින් ඔබට දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයේ උපකාරය ලබාගැනීමට හැකි අතර, දිනෙන් දින සාර්ථකව මුහුණ දීමට ‘සාමාන්‍ය ඉක්ම වූ බලයෙන්’ ඔබව සන්නද්ධ කිරීමට එයට හැක.—2 කොරින්ති 4:7.b

13. බොහෝ පවුල්වලට හානි පමුණුවන දෙවන ගැටලුව කුමක්ද?

13 මත්පැන් අනිසි භාවිතය බොහෝ පවුල්වලට හානි ගෙනෙන තවත් ගැටලුවකට—එනම් ගෘහස්ථ සැහැසියාවට මඟ පෑදිය හැක.

ගෘහස්ථ සැහැසියාව සිදු කරන හානිය

14. ගෘහස්ථ සැහැසියාව ආරම්භ වූයේ කවදාද, තවද අදදින තත්වය කුමක්ද?

14 මිනිස් ඉතිහාසයේ පළමු සාහසික ක්‍රියාව, සහෝදරයන් දෙදෙනෙකු වූ කායින් හා ආබෙල් සම්බන්ධ වූ ගෘහස්ථ සැහැසියාවේ සිද්ධියකි. (උත්පත්ති 4:8) එදා පටන්, මිනිස්වර්ගයා සියලු ආකාර ගෘහස්ථ සැහැසියාවෙන් පීඩා ලැබ සිටිති. භාර්යාවන්ට පහර දෙන පුරුෂයන්ද, පුරුෂයන්ට ප්‍රහාර එල්ල කරන භාර්යාවන්ද, තම බාල දරුවන්ට කෲර ලෙස පහර දෙන දෙමාපියන්ද සිටින අතර, තම වයසක දෙමාපියන්ට හිංසා පීඩා කරන වැඩුණු දරුවෝද සිටිති.

15. ගෘහස්ථ සැහැසියාව මගින් පවුලේ සාමාජිකයන් චිත්තවේගීයව බලපෑම් ලබන්නේ කෙසේද?

15 ගෘහස්ථ සැහැසියාව සිදු කරන හානිය කායික කැළැල්වලට වඩා දරුණුය. පහර ලැබූ එක් භාර්යාවක් මෙසේ පැවසුවාය: “ඔබට මහත් වරදකාරිබවක් හා ලජ්ජාවක් සමඟින් කටයුතු කිරීමට සිදු වෙනවා. හැම උදයකම පාහේ, එය භයානක සිහිනයක් පමණක් කියා සිතමින් ඔබට ඇඳටම වෙලා ඉන්න වුවමනා වෙනවා.” ගෘහස්ථ සැහැසියාව නිරීක්ෂණය කරන හෝ අද්දකින දරුවන් වැඩෙන විට හා ඔවුන්ට තමන්ගේම පවුල් තිබෙන විට ඔවුන්ද සාහසික විය හැක.

16, 17. චිත්තවේගීය පීඩාව යනු කුමක්ද, තවද පවුලේ සාමාජිකයන් එමගින් බලපෑම් ලබන්නේ කෙසේද?

16 ගෘහස්ථ සැහැසියාව කායික වධ හිංසාවලට පමණක් සීමා නොවේ. බොහෝවිට පහර දෙන්නේ වාචිකවය. හිතෝපදේශ 12:18 මෙසේ පවසයි: “කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ.” ගෘහස්ථ සැහැසියාව පිළිබිඹු කරන මෙම ‘ඇනීම්වලට,’ නොයෙක් නම් කියා බැණවැදීම මෙන්ම නිතර විවේචනය කිරීම, පහත් ලෙස නින්දා කිරීම හා කායික සැහැසියාව පිළිබඳ තර්ජනද ඇතුළත්ය. චිත්තවේගීය සැහැසියාවේ තුවාල නොපෙනෙන අතර, බොහෝවිට අනික් අය දකින්නේ නැත.

17 දරුවෙකුව නිතර විවේචනය කිරීම හා ඔහුගේ හැකියාවන්, බුද්ධිය හෝ පුද්ගලයෙකු වශයෙන් ඔහුගේ අගය බාල කිරීමෙන් චිත්තවේගීයව පහර දීම විශේෂයෙන්ම කනගාටුවට කරුණකි. එවැනි වාචික බැණවැදීම්වලින් දරුවෙකුගේ ආත්ම විශ්වාසය විනාශ විය හැක. සියලු දරුවන්ට හික්මවීම අවශ්‍ය බව සැබෑය. එහෙත් බයිබලය පියවරුන්ට මෙසේ උපදෙස් දෙයි: “නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරල්ලා.”—කොලොස්සි 3:21.

ගෘහස්ථ සැහැසියාව වළක්වන අයුරු

18. ගෘහස්ථ සැහැසියාව පටන්ගන්නේ කොතැනින්ද, තවද බයිබලය, එය නැවැත්වීමට මාර්ගය කුමක් බව දක්වයිද?

18 ගෘහස්ථ සැහැසියාව පටන්ගන්නේ හෘදයේ හා මනසේය; අප ක්‍රියා කරන ආකාරය පටන්ගන්නේ අප සිතන ආකාරය අනුවය. (යාකොබ් 1:14, 15) සැහැසියාව නවතාලීමට, හිංසා පීඩා කරන්නා තමා සිතන ආකාරය වෙනස් කරගැනීම අවශ්‍යය. (රෝම 12:2) එය කළ හැකි දෙයක්ද? එසේය. මිනිසුන්ව වෙනස් කිරීමට දේවවචනයට බලය තිබේ. “බිඳ හෙළීමට තරම් බලසම්පන්න” විනාශකාරි අදහස් පවා උගුලා දමන්ට එයට හැක. (2 කොරින්ති 10:4, නව අනුවාදය; හෙබ්‍රෙව් 4:12) බයිබලය පිළිබඳ ඒකාන්ත දැනුමක් ජනයා තුළ කෙතරම් පූර්ණ වෙනසක් ඇති කිරීමට ඉවහල් විය හැකිද කිවහොත්, එය විස්තර කර තිබෙන්නේ, ඔවුන් අලුත් පෞද්ගලිකත්වයක් පැළඳගන්නවා හා සමානවය.—එපීස 4:22-24; කොලොස්සි 3:8-10.

19. ක්‍රිස්තියායෙකුට විවාහ කලත්‍රයෙකු ගැන කුමන දෘෂ්ටියක් තිබිය යුතුද, තවද සැලකිය යුත්තේ කෙසේද?

19 විවාහ කලත්‍රයා ගැන දෘෂ්ටිය. දේවවචනය මෙසේ පවසයි: “පුරුෂයන් විසින්ද තමුන්ගේ භාර්යාවන්ට තමුන්ගේම ශරීරවලට මෙන් ප්‍රේමකටයුතුය. තමාගේ භාර්යාවට ප්‍රේමකරන තැනැත්තේ තමාටම ප්‍රේමකරන්නේය.” (එපීස 5:28) ස්වාමිපුරුෂයෙකු “දුර්වල භාජන[ය]වූ” තම භාර්යාවට “ගෞරව” දිය යුතු බවද බයිබලයේ පැවසේ. (1 පේතෘස් 3:7) භාර්යාවන්ට “තම පුරුෂයන්ට ප්‍රේම කිරීමටත්,” ඔවුන්ට “ගැඹුරු ගෞරවයක් දැක්වීමටත්” අවවාද කර ඇත. (තීතස් 2:4, NW; එපීස 5:33, NW ) ස්වාමිපුරුෂයෙකු තම භාර්යාවට කායිකව හෝ වාචිකව පහර දේ නම් ඔහු ඇයට ඇත්තෙන්ම ප්‍රේමය හා ගෞරවය දෙන බව කිසියම් දේව-බියැති ස්වාමිපුරුෂයෙකුට ඇත්තෙන්ම තර්ක කළ නොහැක. තවද තම ස්වාමිපුරුෂයාට නිරතුරුවම බැණවදින හෝ ඇනුම්පද කියන භාර්යාවකට, ඔහුට සැබවින්ම ප්‍රේමය හා ගෞරවය දක්වනවායයි පැවසිය නොහැක.

20. දෙමාපියන් තම දරුවන් සඳහා වගකිව යුත්තේ කවරෙකු ඉදිරියේද, තවද තම දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන් යථාර්ථවාදී නොවන අපේක්ෂා තබා නොගත යුත්තේ මන්ද?

20 දරුවන් ගැන සුදුසු ආකල්පයක්. දරුවන් තම දෙමාපියන්ගෙන් ප්‍රේමය හා අවධානය ලැබීම වටී, එසේය, එය අවශ්‍යය. දේවවචනය දරුවන්ව හඳුන්වන්නේ “ස්වාමීන්වහන්සේ දෙන උරුමයක්” සහ “විපාකයක්” වශයෙනි. (ගීතාවලිය 127:3) එම දරුවා රැකබලා ගැනීමට යෙහෝවඃවහන්සේ ඉදිරියේ දෙමාපියන්ට වගකීමක් තිබේ. බයිබලය “බාලයාගේ දේවල් [ගතිගුණ, NW ]” ගැන හා ළමයෙකුගේ “මෝඩකම” ගැන කතා කරයි. (1 කොරින්ති 13:11; හිතෝපදේශ 22:15) තම දරුවන් තුළ මෝඩකමක් තිබෙන බව දැනගන්ට ලැබුණොත් දෙමාපියන් පුදුම නොවිය යුතුය. බාලයෝ වැඩිහිටියෝ නොවෙත්. දරුවෙකුගේ වයස, පවුලේ පසුබිම හා හැකියාව සඳහා යෝග්‍ය දෙයට වඩා වැඩි දෙයක් දරුවන්ගෙන් දෙමාපියන් නොඉල්ලිය යුතුය.—උත්පත්ති 33:12-14 බලන්න.

21. වයසක දෙමාපියන්ට සැලකීම හා ඔවුන් සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් දේවභක්තික මාර්ගය කුමක්ද?

21 වයසක දෙමාපියන් පිළිබඳ දෘෂ්ටිය. ලෙවී කථාව 19:32 මෙසේ පවසයි: “පැසුණු හිසකේ ඇත්තා ඉදිරියෙහි නැගිට සිටපන්න, මහල්ලාගේ මුහුණට ගෞරවකරපන්න.” මෙසේ වයසක අය සඳහා ගෞරවය හා වැඩි සැලකිල්ලක් දැක්වීමට දේවනීතියේ දිරිගන්වා තිබේ. වයසක දෙමාපියෙකු අනවශ්‍ය ලෙස දේවල් ඉල්ලා සිටින බවට පෙනී යනවා නම්, එසේ නැතහොත් අසනීපව හා ඇතැම්විට ඉක්මනින් දේවල් නොකර, මන්දගාමීව සිතනවා නම්, මෙය අභියෝගයක් විය හැක. තවදුරටත්, “ස්වකීය මවුපියන්ට ප්‍රත්‍යුපකාරකරන්ට” දරුවන්ට සිහිගන්වා ඇත. (1 තිමෝති 5:4) සමහරවිට ඔවුන්ට මූල්‍යමය වශයෙන් පවා සපයමින්, ගෞරවයෙන් යුතුව සැලකීම මින් අදහස් වනු ඇත. වයසක දෙමාපියන්ට කායිකව හෝ වෙනත් අන්දමකින් පීඩා කිරීම බයිබලය අපට ක්‍රියා කිරීමට පවසන මාර්ගයට හාත්පසින්ම පටහැනිය.

22. ගෘහස්ථ සැහැසියාව ජයගැනීමට අවශ්‍ය ප්‍රධාන ගුණාංගය කුමක්ද, තවද එය ක්‍රියාවට නැංවිය හැක්කේ කෙසේද?

22 ආත්ම-දමනය වර්ධනය කරගන්න. හිතෝපදේශ 29:11 මෙසේ පවසයි: “අඥානයා තමාගේ මුළු උදහස පිටතට ගෙනෙයි; එහෙත් ප්‍රඥාවන්තයා ඒක නවත්වාගනියි [අන්තිමය දක්වා සන්සුන්ව සිටියි, NW ].” ඔබේ ආත්ම ශක්තිය පාලනය කළ හැක්කේ කෙසේද? ඇතුළාන්තයෙන් කලකිරීමට ඉඩහරිනවා වෙනුවට, පැනනඟින දුෂ්කරතා විගස විසඳාගැනීමට ක්‍රියා කරන්න. (එපීස 4:26, 27) ඔබගේ ආත්ම දමනය නැති වී යන බව හැඟේ නම්, එතැනින් ඉවතට යන්න. ඔබ තුළ ආත්ම දමනය ඇති කරගැනීමට දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මය ඉල්ලා යාච්ඤා කරන්න. (ගලාති 5:22, 23) ඇවිදින්ට යෑම හෝ යම් කායික ව්‍යායාමයක යෙදීම ඔබේ චිත්තවේගයන් පාලනය කිරීමට උපකාරවත් විය හැක. (හිතෝපදේශ 17:14, 27) ‘කෝපයට ප්‍රමාදවීමට’ වෑයම් කරන්න.—හිතෝපදේශ 14:29.

වෙන් වෙනවාද නැතහොත් එක්ව සිටිනවාද?

23. යම් ක්‍රිස්තියානියෙකු නොනවත්වා, පසුතැවිලි නොවී කෝපයෙන් සාහසික ලෙසද, එමෙන්ම සමහරවිට කලත්‍රයාට හෝ දරුවන්ට කායික වධ හිංසාද පමුණුවයි නම්, කුමක් සිදු විය හැකිද?

23 බයිබලය “සතුරුකම්, විවාදය, . . . ක්‍රෝධ” දෙවියන්වහන්සේ විසින් හෙළාදකිනු ලබන ක්‍රියා අතරට දමන අතර, “මෙබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන” බව ප්‍රකාශ කරයි. (ගලාති 5:19-21) මෙබැවින්, යම් ක්‍රිස්තියානියෙකු නොනවතා, පසුතැවිලි නොවී කෝපයෙන් සාහසික ලෙසද, එමෙන්ම සමහරවිට කලත්‍රයාට හෝ දරුවන්ට කායික වධ හිංසාද පමුණුවයි නම්, එලෙස ක්‍රියා කරන කෙනෙකුව ක්‍රිස්තියානි සභාවේ ඇසුරෙන් කපාහැරිය හැක. (2 යොහන් 9, 10 සසඳන්න.) මෙයාකාරයෙන් පීඩාකාරි පුද්ගලයන්ගෙන් සභාව පිරිසිදුව තබාගැනේ.—1 කොරින්ති 5:6, 7; ගලාති 5:9.

24. (අ) පීඩාවට ලක් වූ කලත්‍රයන් කෙසේ ක්‍රියා කිරීමට තෝරාගත හැකිද? (ආ) සැලකිලිමත් මිත්‍රයන්ට හා වැඩිමහල්ලන්ට පීඩාවට ලක් වූ කලත්‍රයෙකුට උපකාර කළ හැක්කේ කෙසේද, නමුත් ඔවුන් නොකළ යුත්තේ කුමක්ද?

24 බිඳක්වත් වෙනස් වන බවක් නොපෙන්වන පීඩාකාරි කලත්‍රයෙකුගෙන් දැනට පහර ලබමින් සිටින ක්‍රිස්තියානීන් ගැන කුමක් කිව හැකිද? ඇතැම් අය යම් හේතුවක් නිසා පීඩාකාරි කලත්‍රයා සමඟ සිටීමට තෝරාගෙන ඇත. තම කායික, මානසික හා ආත්මික තත්වය—සමහරවිට ජීවිතය පවා—අනතුරෙහි තිබෙන බව හැඟීම නිසා වෙනත් අය පිට වී යෑමට තෝරාගෙන ඇත. මෙවැනි තත්වයන්හිදී ගෘහස්ථ සැහැසියාවට ගොදුරු වූ තැනැත්තෙකු තෝරාගන්නා දෙය යෙහෝවඃවහන්සේ ඉදිරියේ ගන්නා පෞද්ගලික තීරණයකි. (1 කොරින්ති 7:10, 11) හොඳ අභිප්‍රායකින් යුත් මිතුරන්, නෑදෑයන් හෝ ක්‍රිස්තියානි වැඩිමහල්ලන් උපකාරය හා උපදෙස් දීමට කැමති විය හැකි මුත්, යම් විශේෂිත ක්‍රියාමාර්ගයක් ගත යුතුයයි ඔවුන් ගොදුරු වී සිටින තැනැත්තාට බල නොකළ යුතුය. එය ඔහුටම හෝ ඇයටම ගැනීමට තිබෙන තීරණයකි.—රෝම 14:4; ගලාති 6:5.

හානිකර ගැටලුවලට අවසානයක්

25. පවුල සඳහා යෙහෝවඃවහන්සේගේ අරමුණ කුමක්ද?

25 යෙහෝවඃවහන්සේ ආදම් සහ ඒව විවාහයෙන් එක් කළ විට, මත්පැනට ඇබ්බැහි වීම හෝ සැහැසියාව වැනි හානිකර ගැටලු මගින් පවුල් විනාශ වී යෑමට, කිසිවිටක අරමුණු නොකළසේක. (එපීස 3:14, 15) පවුල වනාහි, ප්‍රේමයෙන් හා සාමයෙන් සමෘද්ධිමත් වූ තැනක්ද, එහි සෑම සාමාජිකයෙකුටම මානසික, චිත්තවේගීය හා ආත්මික අවශ්‍යතා පිරිමැසූ තැනක්ද වන්ට තිබිණ. කෙසේවුවද, පාපයේ ආරම්භයත් සමඟ පවුල් ජීවිතය විගස පිරිහී ගියේය.—දේශනාකාරයා 8:9 සසඳන්න.

26. යෙහෝවඃවහන්සේගේ අවශ්‍යතාවන්ට එකඟව ජීවත්වීමට වෑයම් කරන අයට තිබෙන්නේ කුමන අනාගතයක්ද?

26 පවුල සඳහා යෙහෝවඃවහන්සේගේ අරමුණ අත්නොහැර තිබීම සතුටට කරුණකි. “කිසිවෙක් . . . භයගන්වන්නේ නැතුව, . . . සුවසේ වාසය” කිරීමට ජනයාට හැකි සාමකාමී නව ලොවක් හඳුන්වා දීමට උන්වහන්සේ පොරොන්දු වනසේක. (එසකියෙල් 34:28) ඒ කාලයේදී, මත්පැනට ඇබ්බැහි වීම, ගෘහස්ථ සැහැසියාව සහ අදදින පවුල්වලට හානි සිදු කරන අනික් සියලුම ගැටලු පහව යනු ඇත. ජනයා මදහස පාන්නේ බිය හා වේදනාව සැඟවීමට නොව, නමුත් ඔවුන් “මහත් සමාදානයෙන් ප්‍රීතිමත්” වන නිසාය.—ගීතාවලිය 37:11.

a අප, මත්ලෝලියා පිරිමියෙකු ලෙස යොමු දැක්වුවත්, මත්ලෝලියා ස්ත්‍රියක වන විටද මෙහි දැක්වෙන ප්‍රතිපත්ති ඒ හා සමානව අදාළ වේ.

b ඇතැම් රටවල, මත්ලෝලීන්ට හා ඔවුන්ගේ පවුල්වලට උපකාර කිරීම සඳහා විශේෂයෙන් කැප වූ ප්‍රතිකාර මධ්‍යස්ථාන, රෝහල් සහ සුවවීමේ වැඩසටහන් තිබේ. එවන් උපකාරයක් පතනවාද නැද්ද යන්න පෞද්ගලික තීරණයකි. වොච් ටවර් සමිතිය යම් විශේෂිත ප්‍රතිකාරයක් නිර්දේශ කරන්නේ නැත. කෙසේවුවද, උපකාරය පැතීමේදී ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති පාවා දෙන දේවලට සම්බන්ධ නොවීමට සැලකිලිමත් විය යුතුය.

දැඩි හානි පමුණුවන ගැටලු වළකාලීමට පවුල්වලට . . . මෙම බයිබල් ප්‍රතිපත්ති උපකාර වන්නේ කෙසේද?

යෙහෝවඃවහන්සේ මත්පැන් අනිසි භාවිතය හෙළාදකිනසේක.—හිතෝපදේශ 23:20, 21.

සෑම පුද්ගලයෙකුම තම ක්‍රියාවලට වගකිව යුතුය.—රෝම 14:12.

ආත්ම දමනය නොමැතිව දෙවියන්වහන්සේට පිළිගත හැකි අයුරින් අපට සේවය කළ නොහැක.—හිතෝපදේශ 29:11.

අව්‍යාජ ක්‍රිස්තියානීහු තම වයසක දෙමාපියන්ට ගෞරව කරති.—ලෙවී කථාව 19:32.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න