තුන්වන පරිච්ඡේදය
ජීවයේ මූලාරම්භය කුමක්ද?
අපේ පෘථිවිය ජීවීන්ගෙන් ගහනව පවතී. හිමෙන් වැසුණු උත්තර ධෘවයේ හෝ වේවා, ඇමසන් වර්ෂා වනාන්තරයේ, සහරා කාන්තාරයේ, එවග්ලේඩ්ස් වගුරු බිම්වල, අන්ධකාර සාගර පතුලේ හෝ දීප්තිමත් කඳු මුදුන්වල හෝ වේවා, කොහේ බැලුවත් දකින්න ලැබෙන්නේ නානාවිධ ජීවීන් රාශියක්. ඇත්තෙන්ම ඒ බහුලත්වය අපේ නිරන්තර පුදුමයට හේතුවක් වෙයි.
ජීවීන් දෙස බලද්දී මන කළඹවන විවිධත්වයක් දක්නට තිබෙනවා. එය විවිධ ප්‍රමාණවලින්ද, වර්ගවලින්ද, විශාලත්වයන්ගෙන්ද පවතිනවා. පෘථිවිය මතුපිට, නද දෙමින් එහාට මෙහාට සැරිසරන කෘමි විශේෂයන් දශලක්ෂයක් සිටී. මත්ස්‍ය විශේෂයන් 20,000කට අධික සංඛ්‍යාවක් අප අවට ජලාශවල පිහිනයි. ඉන් සමහරෙක් බත් ඇටයක තරමකිනුත්, තවත් සමහරෙක් ට්‍රක් රථයක් තරම් දිගිනුත් යුක්තයි. ගොඩබිම අලංකාරවත් කරවන ශාක විශේෂයන් අඩුම තරමින් 3,50,000ක්වත් පවතී. ඇතැම් ඒවා අරුම පුදුමයි. තවත් ඒවා විස්මයජනකයි. අපට ඉහළින් කුරුලු විශේෂයන් 9,000කටත් වැඩි ප්‍රමාණයක් පියාසර කරයි. හාත්පස පැතිර පවතින දසුන සහ ඒකීයතාව සකස් වී තිබෙන්නේ මිනිසා ඇතුළු මෙම ජීවීන්ගෙනුයි. එයට තමයි අප ජීවය කියන්නේ.
එනමුත් අප අවට තිබෙන සිත්ගන්නා විවිධත්වයටත් වඩා, පුදුමයට හේතු වන්නේ ඒවා එකිනෙක සම්බන්ධ කරවන පුදුමාකාර ඒකීයතාවයි. ඇමීබාවන් හෝ වේවා මනුෂ්‍යයන් හෝ වේවා, පණ ඇති සියල්ලන්ම පුදුම දනවන අන්තර් ක්‍රියාවලියක් මත රඳා සිටින බව පෘථිවියේ සත්වයන්ව ගැඹුරින් පරීක්ෂා කරන ජෛව රසායනික විද්‍යාඥයන් පැහැදිලි කරයි. ඒ තමයි, නියුක්ලෙයික් අම්ල (DNA සහ RNA) සහ ප්‍රෝටීන අණු අතර දකින සාමූහික ප්‍රයත්නය. මෙම සංරචක හා සම්බන්ධ සංකීර්ණ ක්‍රියාවලීන් ගුමන කුරුල්ලන්, සිංහයන් සහ තල්මසුන්ගේ සෛලවල මෙන්ම අපේ ශරීරයේ සෛල සියල්ලේම පාහේ සිදු වෙනවා. විචිත්‍රවත් මෙන්ම අලංකාරවත් දසුනක් මෙන් පවතින ජීවය, අඛණ්ඩව පවතින මෙම අන්තර් ක්‍රියාවලිය තුළින් බිහි වෙනවා. ඒකීයතාවකින් යුත් මෙම ජෛව ක්‍රියාවලිය බිහි වුණේ කෙසේද? ඇත්තටම, ජීවයේ මූලාරම්භය කුමක්ද?
එක්තරා කාලයකදී පෘථිවියේ කිසිම ජීවයක් නොතිබූ බව ඔබ පිළිගන්නවා ඇති. විද්‍යාත්මක මත මෙන්ම ආගමික පොත් බොහොමයක් එම කාරණය සමඟ එකඟ වෙනවා. කෙසේවෙතත්, පෘථිවිය මත ජීවය හටගත්තේ කෙසේද යන්න පැහැදිලි කිරීමේදී විද්‍යාව සහ ආගම යන මූලාශ්‍ර දෙකම එකිනෙකට වෙනස් වන බව ඔබට තේරෙනවා ඇති.
බුද්ධිමත් මැවුම්කරුවෙක්, එනම් මුල් නිර්මාතෘ මිහිපිට ජීවය බිහි කළ බව හැම අධ්‍යාපනික මට්ටමකම සිටින දශලක්ෂ ගණන් ජනකායකගේ විශ්වාසයව පවතිනවා. ඊට වෙනස්ව, ජීවය පියවරෙන් පියවරට සිදු වූ රසායනික ප්‍රතික්‍රියා හේතුවෙන්, නිකම්ම අහම්බෙන් අජීවී පදාර්ථවලින් බිහි වූ බව විද්‍යාඥයන් බොහෝදෙනෙක් කියා සිටිනවා. කොයි එකද හරි: කලින් එකද, මේකද?
වාදයට හේතු වන මෙම විෂය අපට අදාළ නැති යමක් කියා අප කල්පනා නොකළ යුතු අතර, මෙය වඩාත් අර්ථවත් ජීවිතයක් සෙවීමේදී අපට බලපාන්නේ නැහැ කියා සිතීමත් නුසුදුසුයි. දැනටමත් සඳහන්ව ඇති පරිදි, ජීවමාන මනුෂ්‍යයන් වශයෙන් අපි කොහෙන්ද ආවේ යන්න, මනුෂ්‍යයන් උත්තර ලබාගැනීමට වෙහෙස වී ඇති ඉතා මූලික ප්‍රශ්නයන්ගෙන් එකක් වෙයි.
ජීවයේ මූලාරම්භය නමැති වඩාත් ප්‍රධාන වූ ප්‍රශ්නය කෙරෙහි යොමු වනවා වෙනුවට, විද්‍යා පාඨමාලාවලින් වැඩි හරියක් ජීව ස්වරූප සකස් වූ ආකාරය සහ ඒවා නොනැසී පැවති ආකාරය මතට වැඩි අවධානයක් යොමු කරනවා. ජීවය පැමිණියේ කොහෙන්ද යන්න පැහැදිලි කිරීමට තැත් කරන විට, ‘අවුරුදු දශලක්ෂ ගණනාවක් පුරා, එකිනෙක හා ගැටුණු අණු කොහොමහරි ජීවය නිපදෙව්වා’ වැනි අවිනිශ්චිත ප්‍රකාශන ලෙස ඒවා ඉදිරිපත් වන බව ඔබ දැනටමත් දැක ඇති. එනමුත්, එයින් ඇත්තටම සෑහීමට පත් වෙන්න පුළුවන්ද? ඉන් අදහස් කරන්නේ සූර්යයාගේ, අකුණු ගැසීමේ හෝ ගිනි කඳුවල ශක්තිය හමුවේ, යම් අජීව පදාර්ථ කිහිපයක් චලනය වී, සංවිධානය වී, අන්තිමේදී ජීවත් වන්න පටන්ගත් බවයි. ඒ සියල්ල සිදු වුණෙත් යම් මඟ පෙන්වීමක් නොමැතිවයි. ඒ කියන්නේ අජීව පදාර්ථවලින් ජීවයක් හටගැනීමයි! මොනතරම් විශාල පිම්මක්ද! එවැන්නක් එයාකාරයෙන්ම සිදු වුණා විය හැකිද?
ජීවය අජීව පදාර්ථවලින් ඉබේම වගේ බිහි විය හැකි බවට වූ අදහස එනම් ස්වයංසිද්ධ ජනනය, මධ්‍යතන යුගයේ පොදු විශ්වාසයව පැවති නිසා, එදා එවැනි සංකල්පයක් පිළිගැනීම ඇතැම්විට එතරම් ගැටලුවක් නොවන්න ඇති. කොහොමහරි, 17වන සියවසේදී, නරක් වූ මස්වලට පණුවො ගැහුවේ මැස්සන් එමත බිත්තර දැමුවායින් පසුව බව ඉතාලි ජාතික වෛද්‍ය ෆ්‍රාන්චෙස්කෝ රෙඩී ඔප්පු කළා. මැස්සන්ට මස්වලට වහන්න බැරි වූ විට, ඒ මත පණුවන් බිහි වුණේ නැහැ. මැස්සන් තරම් ලොකු ජීවීන් නිකම්ම බිහි වුණේ නැත්නම්, ආවරණය කළත් නැතත් ආහාරවල දිගටම දකින්න ලැබෙන ක්ෂුද්‍රජීවීන් ගැන කුමක් කිව හැකිද? ක්ෂුද්‍රජීවීන් ඉබේම හට නොගත් බව පසුව පැවැත්වූ පරීක්ෂණවලින් හෙළි වුණත්, එම විෂය දිගටම මතභේදයට තුඩු දුන්නා. ලුවී පාස්චර්ගේ සොයාගැනීම් එළිදැක්කේ එවිටයි.
පැසවීම සහ බෝවන රෝගවලට සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීමට ඉවහල් වූ පාස්චර්ගේ සොයාගැනීම් බොහෝදෙනෙකුට මතකයි. ඉතා කුඩා ජීවීන් ඉබේම බිහි විය හැකිද යන්න නිශ්චය කරගැනීමටත් ඔහු පරීක්ෂණ පැවැත්වූවා. පියවි ඇසට නොපෙනෙන තරම් වූ බැක්ටීරියාවලටවත්, අපවිත්‍ර වීමෙන් ආරක්ෂා වූ ජීවාණුහරණය කළ ජලයෙහි බිහි විය නොහැකි බව පාස්චර් ඔප්පු කළා කියා ඔබ ඇතැම්විට කියවා ඇති. “මෙම සරල පරීක්ෂණයෙන් එල්ල වූ මරු පහරෙන් ස්වයංසිද්ධ ජනනය නමැති මතය කිසිදාක ගොඩගන්න බැරි වෙයි” කියා ඔහු 1864දී දැනුම් දුන්නා. එම ප්‍රකාශය තවමත් සත්‍යයක්ව පවතිනවා. කිසිම පරීක්ෂණයක්, අජීව පදාර්ථවලින් ජීවය නිපදවා නැහැ.
එසේනම් පොළොව මතට ජීවය ආවේ කෙසේද? නවීන කාලවලදී එම ප්‍රශ්නයට උත්තර දීමට දරා ඇති ප්‍රයත්නයන් හැටියට, 1920 ගණන්වල විසූ රුසියානු ජෛව රසායනික විද්‍යාඥ අල්යික්සන්ඩ’ අයි. ඔපරින්ගේ සොයාගැනීම් සඳහන් කළ හැකියි. ඔහු මෙන්ම ඉන්පසුව පැමිණි වෙනත් විද්‍යාඥයන් ජවනිකා තුනකින් යුත් නාට්‍යයක පිටපතකට සමාන කළ හැකි යමක් ඉදිරිපත් කර තිබෙනවා. එයින් පෘථිවි ග්‍රහයා නමැති වේදිකාවේ සිදු වී ඇති බවට කියා සිටින දේ දක්වනු ලබනවා. පළමු ජවනිකාව පෘථිවියේ මූලද්‍රව්‍ය නොහොත් අමුද්‍රව්‍ය, අණු සමූහයන් දක්වා පරිවර්තනය වීම නිරූපණය කරනවා. ඊළඟට පැමිණෙන්නේ විශාල අණු දක්වා පනින පිම්මයි. මෙම නාට්‍යයෙහි අවසාන ජවනිකාව මුල්ම ජීවමාන සෛලය දක්වා වන පිම්ම ඉදිරිපත් කරයි. එනමුත් ඇත්තටම ඒ සියල්ල සිදු වුණේ එලෙසද?
පෘථිවියේ මුල් වායුගෝලය අදදිනට වඩා බෙහෙවින් වෙනස්ව තිබීමට හේතුව පැහැදිලි කිරීම එම නාට්‍යයෙහි මූලිකම අංගයක්. මුක්ත (නිදහස්) ඔක්සිජන් සම්පූර්ණයෙන්ම පාහේ නොතිබුණු බවත්, නයිට්‍රජන්, හයිඩ්‍රජන් සහ කාබන් යන මූලද්‍රව්‍ය සංයෝග වී ඇමෝනියා සහ මීතේන් සෑදුණු බවත් එක් මතයක උපකල්පනය කෙරේ. අකුණු සහ පාරජම්බූල කිරණ මෙම වායූන් සහ ජල වාෂ්පවලින් යුත් වායුගෝලයකට බලපෑ විට, සීනි වර්ග සහ ඇමයිනො අම්ල නිපදවුණු බව එම සංකල්පයෙන් කියැවේ. කෙසේවුවත්, මෙය මතයක් බව සිහියේ තබාගන්න.
මෙම අනුමාන නාට්‍යයට අනුව, මෙවන් අණුක සංයෝග සාගරවලට හෝ වෙනත් ජල කන්දරාවලට සේදී ගියා. කල් යත්ම, සීනි සහ අම්ල වර්ග මෙන්ම වෙනත් සංයෝග එකට සාන්ද්‍රණය වී, “පූර්ව-ජෛව සූපයක්” වැනි මිශ්‍රණයක් සෑදුණා. එහිදී නිදසුනක් ලෙස ඇමයිනො අම්ල සංයෝග වී ප්‍රෝටීන හටගත්තා. මෙම අනුමාන සිදුවීම් වැළ තවත් දික්ගැස්සූ විට, නියුක්ලියොටයිඩ කියා හැඳින්වෙන වෙනත් සංයෝග, දාම ලෙස සෑදී DNA වැනි නියුක්ලෙයික් අම්ලයක් බවට පත් වුණා. පෙනෙන ප්‍රකාරයට මේ සියල්ල මෙම අණුක නාට්‍යයෙහි අවසාන ජවනිකාව සඳහා වේදිකාව සකස් කළා.
ලේඛනගත කර නැති මෙම අවසාන ජවනිකාව ප්‍රේම කතාවක් සේ දැක්වීමට ඇතමෙකු පෙලඹෙන්න පුළුවන්. ප්‍රෝටීන අණු සහ DNA අණු අහම්බෙන් හමු වී, එකිනෙකාව අඳුනාගෙන වැලඳගන්නවා. ඊළඟට, තිරය වැහෙන්න මොහොතකට කලින්, මුල්ම ජීවමාන සෛලය බිහි වෙයි. ඔබ මෙම නාට්‍යය නරඹමින් සිටියා නම්, ‘මෙය සැබෑ ජීවිත කතාවක්ද නැත්නම් ප්‍රබන්ධ කථාවක්ද, පොළොවෙහි ජීවය මෙයාකාරයෙන් ඇත්තටම ආරම්භ වන්න අවකාශයක් තිබුණාද’ කියා කල්පනා කරන්න ඉඩ තිබෙනවා.
උත්පත්තිය විද්‍යාගාරයේ?
එක්දහස් නවසිය පනස් ගණන්වල මුල් භාගයේ, විද්‍යාඥයන් අල්යික්සන්ඩ’ ඔපරින්ගේ මතය පරීක්ෂණයට ලක් කරන්න පටන්ගත්තා. ජීවය හටගන්නේ ජීවයෙන් පමණක් බවට වූ සත්‍යය ස්ථාපිත යමක් වුවත්, අතීතයේ තත්වයන් වෙනස්ව පැවතියා නම්, ජීවය අජීව තත්වයකින් සෙමෙන් බිහි වන්න ඇතැයි කියා විද්‍යාඥයන් මතයක් ඉදිරිපත් කළා. එය ඔප්පු කළ හැකි යමක් වුණාද? හැරල්ඩ් යූරේගේ විද්‍යාගාරයේ වැඩ කරමින්, විද්‍යාඥ ස්ටැන්ලි එල්. මිල’, (ප්‍රාථමික වායුගෝලයේ තිබෙන්න ඇතැයි උපකල්පනය කළ) හයිඩ්‍රජන්, ඇමෝනියා, මීතේන් සහ ජල වාෂ්ප ගෙන, (සාගරය නියෝජනය කිරීමට) පතුලේ උතුරන ජලය තිබෙන ප්ලාස්කුවකට ඒවා දමා වාෂ්ප තුළින් (අකුණුවලට සමාන) විදුලි ගිනි පුපුරු යැව්වා. සතියක් ඇතුළත, රතු පාටට හුරු ඇලෙනසුලු ද්‍රව්‍යයක අංශුමාත්‍ර දකින්න ලැබුණා. එය පරීක්ෂණයට ලක් කළ මිල’ සොයාගත්තේ ප්‍රෝටීනවල සාරය වන ඇමයිනො අම්ලවලින් එය පිරී තිබුණු බවයි. මෙම පරීක්ෂණය ගැන ඔබත් අසා ඇති. මන්ද මිහිපිට ජීවය ආරම්භ වුණ ආකාරය පැහැදිලි කිරීමට විද්‍යා අත්පොත්වල සහ පාසැල් පාඨමාලාවල එය යොදාගෙන ඇති නිසයි. එනමුත් එය ඒ වගේ පැහැදිලි කිරීමක් සපයා දෙනවාද?
ඇත්තටම මිල’ගේ පරීක්ෂණයේ වටිනාකම අදදින සෑහෙනදුරට ප්‍රශ්න කරනු ලබනවා. (36-7 දක්වා පිටුවල ඇති “පුළුල්ව පිළිගත්තත් ප්‍රශ්නාර්ථයක්” යන කොටස බලන්න.) කෙසේවෙතත්, ඉන් ලැබුණු බවට පෙනී ගිය සාක්ෂි වෙනත් පරීක්ෂණවලට මඟ පෑදූ අතර, නියුක්ලෙයික් අම්ලවල (DNA හෝ RNA) සොයාගත හැකි සංරචකත් ඒවායින් නිපදවුණා. පෙනෙන විදිහට අණුක නාට්‍යයේ මුල්ම ජවනිකාවට සමාන ආකෘතියක් සෑදීමට ඔවුන් සමත් වූ බැවින්, එම ක්ෂේත්‍රයට සම්බන්ධ (ජීවයේ මූලාරම්භය පිළිබඳ විද්‍යාඥයන් ලෙස ඇතැම්විට හඳුන්වන) විශේෂඥයන් තුළ ශුභවාදී හැඟීමක් පහළ වුණා. විද්‍යාගාරයේ පරීක්ෂණවලින් ඉතිරි ජවනිකා දෙකේ ප්‍රතිරූප ඊළඟට දකින්න ඉඩ තිබෙන බව පෙනී ගියා. එක් රසායනික විද්‍යා මහාචාර්යවරයෙක් මෙසේ කියා සිටියා: “පරිණාමය නමැති ක්‍රියාවලිය තුළින් ප්‍රාථමික ජීව පද්ධතියක් ආරම්භ වූ ආකාරය ළඟදීම පැහැදිලි කරන්න හැකි වෙයි කියා පෙනී යනවා.” තවද විද්‍යා ලේඛකයෙක් මෙම නිරීක්ෂණය කළා: “මේරි ෂෙලීගේ පොතේ චරිතයක් වූ ආචාර්ය ෆ්‍රැංකන්ස්ටයින් වැනි විද්‍යාඥයන් ළඟදීම තම විද්‍යාගාරවල ජීවීන් මවා දක්වමින්, එමගින් උත්පත්තිය සිදු වූ ආකාරය සවිස්තරව දක්වයි කියා උගතුන් අනුමාන කළා.” බොහෝදෙනෙකු සිතුවේ, ජීවයේ ස්වයංසිද්ධ මූලාරම්භය පිළිබඳ අභිරහස නිරාකරණය කර තිබූ බවයි.—38වන පිටුවෙහි ඇති “දකුණත, වමත” යන කොටස බලන්න.
මත වෙනස් වුණත්, ප්‍රහේලිකා දිගටම පවතී
කෙසේවෙතත්, එවක් පටන් ගෙවී ගිය වසර ගණනාව තුළදී එම ශුභවාදී හැඟීම අතුරුදහන් වී තිබෙනවා. දශක ගණනාවක් ගෙවී ගොස් තිබුණත්, ජීවයේ රහස් තවමත් මඟහැරී තිබෙනවා. තම පරීක්ෂණයෙන් වසර 40කට පමණ පසු, මහාචාර්ය මිල’ සයන්ටිෆික් අමෙරිකන් නමැති පුවත්පතට මෙසේ කිව්වා: “ජීවයේ මූලාරම්භය පිළිබඳ ගැටලුව, මමයි තවත් පුද්ගලයන් වැඩිදෙනෙකුයි හිතුවාටත් වඩා ඉතා අමාරුයි කියලයි දැන් මට පේන්නේ.” වෙනත් විද්‍යාඥයනුත් මෙලෙස තමන්ගේ ආකල්පයන් වෙනස් කරගෙන තිබෙනවා. නිදසුනක් ලෙස 1969දී, ජීව විද්‍යා මහාචාර්ය ඩීන් එච්. කෙන්යන්, ජෛව රසායන පූර්ව නියමය (ඉංග්‍රීසියෙන්) යන පොතෙහි සම කර්තෘ වුණා. එනමුත් “යම් සහායක් නොමැතිව පදාර්ථ සහ ශක්තිය ජෛව පද්ධතීන්වලට ඉබේම සංවිධානය වීම මූලිකවම බැලුවොත් සැබෑ විය නොහැක්කක්” බව ඔහු වඩාත් මෑතකදී නිගමනය කළා.
ඇත්තෙන්ම, “ජීවයේ රසායනික මූලාරම්භයන් පිළිබඳව දැනට පවතින සෑම මතයකම මූලික දෝෂයක්” ඇති බවට කෙන්යන්ගේ තක්සේරුව, විද්‍යාගාරවල සිදු කර ඇති පරීක්ෂණවලින් පැහැදිලි වෙයි. මිල’ සහ වෙනත් අය ඇමයිනො අම්ල සංශ්ලේෂණය කළායින් පසු, විද්‍යාඥයන් මිහිපිට ජීවයට අත්‍යවශ්‍ය අංග දෙකක් වන ප්‍රෝටීන මෙන්ම DNA සෑදීමෙහි නියැලුණා. නාමමාත්‍ර පූර්ව-ජෛව තත්වයන් යටතේ පරීක්ෂණ දහස් ගණනක් පැවැත්වීමෙන් පසු, ප්‍රතිඵලය වූයේ කුමක්ද? ජීවයේ මූලාරම්භය පිළිබඳ අභිරහස: වර්තමාන මතයන් නැවත තක්සේරු කර බැලීම (ඉංග්‍රීසියෙන්) යන්නෙහි මෙසේ සඳහන් කරයි: “ඇමයිනො අම්ල සංශ්ලේෂණය කිරීමේදී ලබාගත් සැලකිය යුතු සාර්ථකත්වය සහ ප්‍රෝටීන සහ DNA සංශ්ලේෂණය කිරීමේදී නිතරම පාහේ දකින අසාර්ථකත්වය අතර කැපීපෙනෙන වෙනසක් දකින්න ලැබෙනවා.” පසුව සඳහන් ප්‍රයත්නයන් “සම්පූර්ණයෙන්ම අසාර්ථක” වී තිබෙනවා.
යථාර්ථවාදීව බැලුවොත්, නිකම්ම මුල්ම ප්‍රෝටීනය සහ නියුක්ලෙයික් අම්ල (DNA හෝ RNA) අණු බිහි වුණේ කෙසේද යන්නට වඩා වැඩි යමක් මෙම අභිරහසෙහි ගැබ්ව තිබෙනවා. ඒවා එකට ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්නත් ඊට ඇතුළත් වෙනවා. “දැනට පෘථිවියේ තිබෙන ජීවයේ පැවැත්ම හැකි කරවන්නේ එම අණු දෙක අතර තිබෙන සම්බන්ධය මගින් පමණයි” කියා නව බ්‍රිටැනිකා විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) පවසයි. කෙසේවෙතත් එම සම්බන්ධය සිදු වුණේ කෙසේද යන්න, “ජීවයේ මූලාරම්භයට අයත් තීරණාත්මක මෙන්ම විසඳා නැති ගැටලුවක්ව” පවතින බව එම විශ්වකෝෂය සඳහන් කරයි. ඇත්තෙන්ම, එය සැබෑවක්.
“ජීවය සඳහා සාමූහික ප්‍රයත්නයක්” (45-7 පිටු) නමැති අ උපග්‍රන්ථයේ, අපේ සෛලවල ප්‍රෝටීන සහ නියුක්ලෙයික් අම්ල අතර සිදු වන අරුම පුදුම සාමූහික ප්‍රයත්නය පිළිබඳ මූලික තොරතුරු සමහරක් පුනරීක්ෂණය කෙරේ. අපේ ශරීර සෛල නමැති ලොවට එයාකාරයෙන් එබී බැලීම පවා, මෙම ක්ෂේත්‍රයෙහි විද්‍යාඥයන් කර තිබෙන කාර්යය ප්‍රශංසා කිරීමට හේතුවක් වෙනවා. අපෙන් වැඩිදෙනෙකු කල්පනා නොකරන නමුත්, අපේ ජීවිතයෙහි හැම මොහොතකම පාහේ ක්‍රියාත්මක වන අතිශයින් සංකීර්ණ ක්‍රියාවලීන් මතට ඔවුන් ආලෝකය හෙළා තිබෙනවා. කෙසේවෙතත්, වෙනත් දෘෂ්ටිකෝණයකින් බලන කල, මේ සියල්ල බිහි වුණේ කෙසේද කියන ප්‍රශ්නයට ආපසු යන්න අපට සලස්වන්නේ, අවශ්‍ය ඇදහිය නොහැකි තරම් වූ සංකීර්ණත්වය සහ පූර්ණ නිරවද්‍යතාවයි.
ජීවය මුලින්ම පැමිණි ආකාරය පිළිබඳ නාට්‍යය සඳහා පිළිගත හැකි උපකල්පිත සිදුවීම් වැළක් විධිමත්ව සකස් කිරීමෙහි කාර්යය, ජීවයේ මූලාරම්භය ගැන හදාරන විද්‍යාඥයන් අත්හැර නැතැයි ඔබ දන්නවා ඇති. කෙසේවෙතත් ඔවුන්ගේ අලුත්ම පිටපත් ඒත්තුගන්වනසුලු ඒවා සේ පෙනී යන්නේ නැහැ. (48වන පිටුවේ “‘RNA ලෝකයෙන්ද’ තවත් ලෝකයකින්ද?” යන මැයින් යුත් ආ උපග්‍රන්ථය බලන්න.) නිදසුනක් ලෙස, ජර්මනියේ මයින්ට්ස්හි ජෛව රසායන ආයතනයෙහි ක්ලෞස් ඩෝස මෙසේ නිරීක්ෂණය කළා: “මෙම ක්ෂේත්‍රයට අදාළ ප්‍රධාන මතයන් සහ පරීක්ෂණ පිළිබඳව දැනට කරනු ලැබූ සාකච්ඡා සියල්ලම පාහේ ජය පරාජයකින් තොරව අවසන් වෙනවා, එසේ නැතහොත් නොදන්නා බවට වූ ප්‍රකාශයකින් අවසන් වෙනවා.”
ජීවයේ මූලාරම්භය ගැන 1996දී පැවැත්වූ අන්තර්ජාතික සම්මන්ත්‍රණයේදී පවා විසඳුම් දකින්න ලැබුණේ නැහැ. ඒ වෙනුවට, රැස්වී සිටි 300කට ආසන්න විද්‍යාඥයන් පිරිස “[DNA සහ RNA] අණු මුලින්ම බිහි වුණේ කෙසේද යන්න පිළිබඳවත් ඒවා තමුන්ම ප්‍රජනන කරන සෛල දක්වා පරිණාමය වුණේ කෙසේද යන්න පිළිබඳවත් පැවති ප්‍රහේලිකාව නිරාකරණය කරන්න පොර බැදූ බව” සයන්ස් ජ’නලය වාර්තා කළා.
අපේ සෛලවල අණුක මට්ටමේ සිදු වන දේවල් අධ්‍යයනය කිරීමට පමණක් නොව, ඒවා පැහැදිලි කිරීමට උත්සාහ දැරීමේදී පවා, බුද්ධිය සහ උසස් අධ්‍යාපනයක් අවශ්‍ය වුණා. එසේනම්, ඉතා සංකීර්ණ පියවරවල්, “පූර්ව-ජෛව සූපයක්” තුළ මෙහෙයවීමකින් තොරව, ස්වයංසිද්ධව මෙන්ම අහම්බෙන් සිදු වූ බව විශ්වාස කිරීම සාධාරණද? එසේ නැතහොත් එයට ඊට වැඩි යමක් සම්බන්ධව පවතිනවාද?
ප්‍රහේලිකා මන්ද?
ජීවය ඉබේම බිහි වූ බව ඔප්පු කිරීමට සියවස් භාගයක් පුරා කර තිබෙන අනුමාන මෙන්ම දරා ඇති ප්‍රයත්නයන් දහස් ගණනාව දෙස පුද්ගලයෙකුට බැලිය හැකියි. යමෙක් එසේ කළොත්, නොබෙල් ත්‍යාගලාභී ෆ්‍රැන්සස් ක්‍රික් සමඟ එකඟ වීම එතරම් අපහසු කාර්යයක් නොවෙයි. ජීවයේ මූලාරම්භය පිළිබඳ මතයන් ගැන කතා කරමින්, ක්‍රික් මෙසේ නිරීක්ෂණය කළා: “සෑබෑ කාරණා නම් ඇත්තේ ටිකයි, හැබැයි අනුමාන කිරීම්වලට නම් කෙළවරක් නැහැ.” මේ අනුව සංවිධානය කළ විද්‍යාගාරයක පවා හදිස්සියේ බිහිවීමට බැරි තරමටම ජීවය සංකීර්ණ වැඩි බව සැබෑ කාරණා පරීක්ෂා කර බලන විද්‍යාඥයන් විසින් නිගමනය කිරීම තේරුම්ගත හැකියි. කිසිම පාලනයක් නොමැති පරිසරයක එවන් දෙයක් සිදු විය නොහැකි බව නොකිවමනායි.
ජීවය ඉබේම බිහි විය හැකි බව උසස් විද්‍යාවට ඔප්පු කරන්න බැරි නම්, ඇතැම් විද්‍යාඥයන් එවන් මතයන්වල එල්බගෙන සිටින්නේ ඇයි? දශක කිහිපයකට පෙර, ජීවයේ සම්භවය (ඉංග්‍රීසියෙන්) යන පොතෙහි මහාචාර්ය ජේ. ඩී. බ’නල් මේ සම්බන්ධයෙන් යම් ආලෝකයක් හෙළනවා: “[ජීවයේ ස්වයංසිද්ධ ජනනය නමැති] මෙම විෂයට විද්‍යාත්මක ක්‍රමයේ දැඩි නීති අදාළ කළොත්, කතාවේ ස්ථාන කිහිපයකදීම ජීවය බිහි විය නොහැකි ආකාරය නිරූපණය කළ හැකියි. තිබෙන බාධා අතිමහත්ය. ජීවය බිහිවීමට ඇති ඉඩ කඩ බෙහෙවින් අඩුය.” කෙසේවෙතත්, “ස්වයංසිද්ධ ජනනයට පක්ෂව සිටින අයව කනගාටුවට පත් කරවමින්, නානාවිධ ස්වරූපවලින් සහ ක්‍රියාකාරකම්වලින් යුත් ජීවය මිහිපිට කෙසේ හෝ පවතී. තවද එහි පැවැත්ම සනාථ කිරීමට අපට අදාළ තර්කයන් අපේ වාසියට හරවාගැනීමට සිදු වන” බව ඔහු තවදුරටත් පැවසුවා. ඇත්තෙන්ම තත්වය හොඳ අතට හැරී නැහැ.
එම තර්කයෙන් අදහස් වන දේ ගැන සලකා බලන්න. එය හරියටම මෙසේ පවසනවා වගෙයි: ‘විද්‍යාත්මකව බැලුවොත් ජීවයට ඉබේම බිහි වෙන්න බැහැයි කියන එක නිවැරදියි. එනමුත් සිදු විය හැකි දේ හැටියට අප සලකා බලන්න යන එකම දේ ස්වයංසිද්ධව බිහි වන ජීවය නිසා, ජීවය ස්වයංසිද්ධව බිහි වුණ බවට වූ කල්පිතයට අනුබල දීම සඳහා, තර්කයන් අපේ වාසියට හරවාගැනීම අවශ්‍යයි.’ එවන් තර්කයකින් ඔබ සෑහීමට පත් වෙනවාද? එලෙස තර්ක කිරීමට, සැබෑ කාරණා සෑහෙනදුරට “අපේ වාසියට හරවාගැනීම” අවශ්‍ය වන්නේ නැද්ද?
කෙසේවෙතත්, ජීවයේ මූලාරම්භය පිළිබඳව පවතින දර්ශනයකට සරිලන පරිද්දෙන් සැබෑ කාරණා තම වාසියට හරවාගැනීමේ අවශ්‍යතාවක් නොදකින දැන උගත්, ගෞරවනීය විද්‍යාඥයනුත් සිටිනවා. ඔවුන් සාධාරණ නිගමනයකට එළඹීම සඳහා සැබෑ කාරණාවලට ඉඩහරිනවා. සැබෑ කාරණා මොනවාද? නිගමනය කුමක්ද?
තොරතුරු සහ බුද්ධිය
වාර්තාමය වැඩසටහනකදී සම්මුඛ සාකච්ඡාවකට කැඳවූ පෝලන්ත විද්‍යා ශාස්ත්‍රාලයේ වෘක්ෂවිද්‍යා ආයතනයෙහි ප්‍රසිද්ධ ප්‍රවේණි විද්‍යාඥ මහාචාර්ය මචේ ගීඅ’ර්ටීක් මෙසේ පිළිතුරු දුන්නා:
“ජානවල අන්තර්ගත මහත් තොරතුරු සම්භාරය දැන් අපේ අවධානයට හසු වී තිබෙනවා. එම තොරතුරුවලට ස්වයංසිද්ධව බිහි වෙන්න පුළුවන් ආකාරය විද්‍යාවට කොහෙත්ම පැහැදිලි කරන්න බැහැ. ඒවාට අහඹු සිදුවීම්වල ප්‍රතිඵලයකින් බිහි වෙන්න බැහැ; බුද්ධියක් අවශ්‍යමයි. නිකම්ම අකුරු මිශ්‍ර කළ පළියට වචන නිපදවෙන්නේ නැහැ.” ඔහු මෙලෙසද පැවසුවා: “උදාහරණයක් හැටියට, සෛලයේ ඇති ඉතා සංකීර්ණ වූ DNA, RNA, ප්‍රෝටීන ආකෘති නිපදවීමේ පද්ධතිය මුල සිටම සම්පූර්ණව තියෙන්න ඇති. එසේ නොවුවහොත් ජීව පද්ධතීන්වලට පැවතිය නොහැකියි. තිබෙන එකම තර්කානුකූල පැහැදිලි කිරීම වන්නේ මෙම ඉමහත් තොරතුරු සම්භාරය යම් බුද්ධියකින් පැමිණි බවයි.”
ජීවයේ පුදුමයන් ගැන වැඩියෙන් ඉගෙනගන්නා තරමට, ජීවයේ මූලාරම්භයට බුද්ධිමත් ප්‍රභවයක් අවශ්‍යයි යන නිගමනයට එකඟ වීම වඩාත් තර්කානුකූල වෙනවා. මොන ප්‍රභවයද?
කලින් සඳහන් කළ පරිද්දෙන්, මිහිපිට ජීවය උත්කෘෂ්ට බුද්ධියක් මගින්, එනම් නිර්මාතෘවරයෙකු විසින් උත්පාදනය කරන්න ඇතැයි දැන උගත් පුද්ගලයන් දශලක්ෂ ගණන්දෙනෙක් නිගමනය කරනවා. ඔව්, කාරණය සාධාරණව පරීක්ෂා කර බැලීමෙන් පසු, අපේ විද්‍යාත්මක යුගයේදී පවා, “ජීවනයේ උල්පත ඔබ සමඟය” කියා දෙවි ගැන බොහෝ කලකට පෙර පැවසූ බයිබල් කවියා සමඟ එකඟ වීම සාධාරණ බව ඔවුන් පිළිගෙන තිබෙනවා.—ගීතාවලිය 36:9.
ඔබ දැනටමත් ඒ පිළිබඳව ස්ථිර නිගමනයකට එළඹී තිබුණත් නැතත්, පෞද්ගලිකව ඔබ සම්බන්ධ වන පුදුමයන් කිහිපයකට අපි අවධානය යොමු කරමු. මෙසේ කිරීම බෙහෙවින් සෑහීම ගෙන දෙන්නක් වන අතර, අපේ ජීවිතයට බලපාන මෙම කාරණය මතට සෑහෙන ආලෝකයක් හෙළිය හැකියි.
[30වන පිටුවේ කොටුව]
අහඹු සිදුවීමකට කොතරම් හේතු මැවිය යුතුද?
“ආදිතම සූපයේ සිට මිනිසා දක්වා සෑම දෙයක්ම බිහි වුණේ වෙනත් කිසිම දෙයකින් නොව අහම්බෙන් පමණයි.” ජීවයේ මූලාරම්භය ගැන කතා කරමින් එසේ පැවසුවේ නොබෙල් ත්‍යාගලාභී ක්‍රීස්ට්‍යාන් ඩ’ ඩූව’ නමැත්තායි. කෙසේවුවත්, ජීවය ඇති වූයේ අහඹු සිදුවීමකින්යයි කියා සිටීම තර්කානුකූලද?
අහඹුව කියන්නේ කුමක්ද? කාසියක් උඩට වීසි කරද්දී පෙරළෙන පැත්ත තීරණය වන්නේ අහම්බෙනි. මෙම අහඹු සිදුවීමට ඇතැම් අය ගණිත සම්භාවිතාව සම්බන්ධ කරනවා. කෙසේවෙතත්, ජීවයේ මූලාරම්භය සම්බන්ධයෙන් ගනිද්දී, විද්‍යාඥයන් බොහෝදෙනෙක් “අහඹුව” යොදාගන්නේ එම අර්ථයෙන් නොවෙයි. විශේෂයෙන් හේතුව කුමක්ද කියා නොදන්නා විටකදී “හේතුව” වැනි වඩාත් නිශ්චිත වචනයකට ආදේශයක් වශයෙන් “අහඹුව” යන අවිනිශ්චිත වචනය යොදාගැනේ.
“අප හේතුකාරකයක් ගැන කතා කරනවා වගේ ‘අහඹුවකට’ පෞද්ගලිකත්වයක් දීම, විද්‍යාත්මක සංකල්පයක සිට අර්ධ-ආගමික මිථ්‍යාදෘෂ්ටික සංකල්පයක් දක්වා නීති විරෝධී මාරුවක් කිරීමට සමාන” බව ජෛව භෞතිකඥ ඩොනල්ඩ් එම්. ම’කෙයි සඳහන් කරයි. සමානාකාරයෙන්, රොබට් සී. ස්ප්‍රඋල් මෙසේ ගෙනහැර දක්වයි: “නොදන්නා හේතුවට මෙතරම් කලක් ‘අහඹුව’ කියා කීම හේතුවෙන්, ආදේශයක් කරනු ලැබූ බව අමතක කිරීමට ජනයා පටන්ගන්නවා. . . . ‘අහඹුව නොදන්නා හේතුවට සමානයි’ යන උපකල්පනය බොහෝදෙනෙකුට දැන් අදහස් වන්නේ ‘අහඹුව හේතුවට සමානයි’ වශයෙනුයි.”
නිදසුනක් ලෙස, නොබෙල් ත්‍යාගලාභී ජාක් එල්. මෝනෝ අහඹුව-හේතුවට-සමානයි යන තර්කය භාවිත කළා. “කිසිම දෙයකින් පාලනය නොවූ, කිසිම මඟ පෙන්වීමකින් තොරව සිදු වූ අහඹුව, පරිණාමය නමැති පුදුම දනවන ක්‍රියාවලියෙහි මුලව පවතී” කියා ඔහු ලිව්වා. “පිළිසරණක් විය නොහැකි දැවැන්ත විශ්වයේ තමා තනිව සිටින බව මිනිසා කෙසේ හෝ දැන් දනියි. ඔහු බිහිව ඇත්තෙත් අහම්බෙනි.” ඔහු ‘අහම්බෙන්’ කියා කියන බව සැලකිල්ලට ගන්න. මෝනෝ වෙනත් බොහෝදෙනෙකු කරන දේ කරයි. එනම් ඔහු අහඹුව, ජීවයේ හේතුව දක්වා ඉහළ නංවනවා. ජීවය මිහිපිටට පැමිණි මාධ්‍යය හැටියට ඉදිරිපත් කරන්නේ අහඹුවයි.
ඇත්තෙන්ම “අහඹුව” “විස්තර කළ නොහැකි සිදුවීම්වල පෞද්ගලිකත්වයක් නැති, අරමුණක් නැති උපකල්පිත තීරකයා” බව ශබ්දකෝෂවල පෙන්වා තිබෙනවා. මේ අනුව, ජීවය අහම්බෙන් පැමිණි බව යමෙක් කියනවා නම්, නොදන්නා හේතුකාරක බලයක් මගින් එය පැමිණි බව ඔහු කියා සිටී. ඇතැම් අය “අහඹුවට” පෞද්ගලිකත්වයක් ආරූඪ කරමින්, ඊට මැවුම්කාරයා කියා කියනවා විය හැකිද?
[35වන පිටුවේ කොටුව]
“ස්ටැන්ලි මිල’ගේ රසායනික ද්‍රව්‍යවල මිශ්‍රණවලට වඩා [කුඩාම බැක්ටීරියාව] පවා මිනිසාට සමානකම් දක්වනවා. ඊට හේතුව එම ජෛව රසායන පද්ධතියේ සංඝටකම එයටත් තිබෙන නිසයි. එමනිසා ඇමයිනො අම්ල මිශ්‍රණයක සිට එම බැක්ටීරියාව දක්වා යෑමට වඩා, බැක්ටීරියාවක සිට මිනිසෙකු දක්වා පියවරක් ගැනීම වඩාත් පහසු කාර්යයක් වෙයි.”—ජීවවිද්‍යා මහාචාර්යවරියක් වන ලින් මාගූලිස්
[36වන, 37වන පිටුවේ කොටුව⁄පින්තූරය]
පුළුල්ව පිළිගත්තත්, ප්‍රශ්නාර්ථයක්
වර්ෂ 1953දී ස්ටැන්ලි මිල’ කළ පරීක්ෂණය, අතීතයෙහි ඇතැම්විට ස්වයංසිද්ධ ජනනය සිදු වූ බවට සාක්ෂියක් හැටියට බොහෝවිට පාවිච්චි කරනවා. කෙසේවෙතත්, ඔහුගේ පැහැදිලි කිරීම කොතරම් වලංගුද යන්න රඳා පවතින්නේ පෘථිවියේ ප්‍රාථමික වායුගෝලය “ඔක්සිහාරක” වී තිබුණා යන උපකල්පනය මතයි. ඒ කියන්නේ නිදහස් (රසායනිකව සංයෝග නොවූ) ඔක්සිජන් අවම ප්‍රමාණයක් පමණයි එහි අඩංගු වී තිබුණේ. ඇයි?
නිදහස් ඔක්සිජන් සෑහෙන ප්‍රමාණයක් පැවතියා නම්, ‘ඇමයිනො අම්ල කිසිම ආකාරයකින් නොසෑදෙන අතර, යම් හෙයකින් සෑදුණත්, ඒවා විගස වියෝජනය වන බව,’ ජීවයේ මූලාරම්භය පිළිබඳ අභිරහස: වර්තමාන මතයන් නැවත තක්සේරු කර බැලීම ගෙනහැර පායි.a ප්‍රාථමික යනුවෙන් හඳුන්වන වායුගෝලය ගැන මිල’ කළ උපකල්පනයට තිබුණේ කොතරම් ස්ථිර පදනමක්ද?
තම පරීක්ෂණයෙන් වසර දෙකකට පසු පුළුල්ව පිළිගත් වාර්තාවක, මිල’ මෙසේ ලිව්වා: “පෘථිවිය බිහි වූ විට ඊට ඔක්සිහාරක වායුගෝලයක් තිබුණාද නැද්ද යන්න අප නොදන්නා දෙයක්. එනිසා මෙම අදහස් ඇත්තටම උපකල්පනයන් පමණක් බව කිව යුතුයි. . . . කිසිම ඍජු සාක්ෂියක් දැනට ලැබී නැහැ.”—අමෙරිකානු රසායනික සමාජයේ ජ’නලය (ඉංග්‍රීසියෙන්), 1955 මැයි 12.
ඉන්පසුවවත් සාක්ෂි ලැබී තිබෙනවාද? විද්‍යා ලේඛක රොබට් සී. කොවන් අවුරුදු 25කට පමණ පසු මෙසේ වාර්තා කළා: “තම උපකල්පන සමහරක් නැවතත් තක්සේරු කර බලන්න විද්‍යාඥයන්ට සිදු වී තිබෙනවා. . . . හයිඩ්‍රජන් සපිරි, බෙහෙවින් ඔක්සිහාරක වායුගෝලයක් තිබුණු බවට වූ මතය සනාථ කිරීමට සාක්ෂි නැති තරම්. එනමුත් ඇතැම් සාක්ෂි එම මතයට විරුද්ධව කතා කරයි.”—ටෙක්නොලජි රිවියූ, 1981 අප්‍රියෙල්.
එවක් පටන් සාක්ෂි ලැබී ඇද්ද? වර්ෂ 1991දී ජොන් හෝගන් සයන්ටිෆික් අමෙරිකන්හි මෙසේ ලිව්වා: “වායුගෝලය සම්බන්ධව යූරේ සහ මිල’ කළ උපකල්පනයන් පිළිබඳව පැවති සැකය වැඩි වී තිබෙනවා. විද්‍යාගාරවල පරීක්ෂණ සහ පරිගණක ආධාරයෙන්, ප්‍රාථමික වායුගෝලයක් නැවත පිළියෙළ කිරීමෙන් යෝජනා කරන්නේ, . . . වර්තමානයේ වායුගෝලීය ඕසෝන් ස්තරයක් මගින් බාධා කරනු ලබන සූර්යයාගෙන් නික්මෙන පාරජම්බූල විකිරණය හේතුවෙන් වායුගෝලයේ හයිඩ්‍රජන් මත පදනම් අණු විනාශයට ලක් වන බවයි. . . . එමනිසා ඇමයිනො අම්ලවල සංශ්ලේෂණයට මෙන්ම ජීවයට මඟ පාදන වෙනත් සංඝටකවලට එවන් වායුගෝලයක් [කාබන්ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන්] පැවතීම හිතකර වන්නේ නැහැ.”
පෘථිවියේ මුල් වායුගෝලය ඔක්සිහාරක, එනම් අවම ඔක්සිජන් ප්‍රමාණයක් අඩංගු බව පැවසීමට බොහෝදෙනෙක් නැඹුරු වන්නේ ඇයි? සිඩ්නි ඩබ්. ෆොක්ස් සහ ක්ලෞස් ඩෝස අණුක පරිණාමය සහ ජීවයේ මූලාරම්භය (ඉංග්‍රීසියෙන්) යන්නෙහි මෙසේ පිළිතුරු දෙයි: “රසායනික පරිණාමය . . . බොහෝදුරට ඔක්සිජන් මගින් බාධාවට පමුණුවනු ලබන බව විද්‍යාගාර පරීක්ෂණවලින් පෙන්නුම් කරන නිසාත්,” ඇමයිනො අම්ල වැනි සංයෝග, “ඔක්සිජන් තිබෙන විට, එය භූ විද්‍යා කාලාන්තරයන්වලදී ස්ථාවර නැති” නිසාත්, වායුගෝලයෙහි ඔක්සිජන් නොතිබුණු බව පැවසිය හැකියි.
මෙය එක තැන කැරකෙන තර්කයක් වගේ නෙවෙයිද? මුල් වායුගෝලය ඔක්සිහාරක එකක් බවට පවසා ඇත්තේ, එසේ නොපැවතියා නම් ජීවයේ ස්වයංසිද්ධ ජනනය සිදු නොවන නිසයි. එනමුත් එය ඔක්සිහාරක එකක් වූ බවට කිසිම සහතිකයක් නැහැ.
හැබැයි, තවත් බලපවත්වන තොරතුරකුත් තිබෙනවා: වායු මිශ්‍රණය වායුගෝලයද, විදුලි ගිනි පුපුරු අකුණුද, උතුරන ජලය සාගරයද නියෝජනය කරනවා නම්, පරීක්ෂණය සකස් කරන, එය ක්‍රියාත්මක කරවන විද්‍යාඥයා කාවද නියෝජනය කරන්නේ?
[පාදසටහන]
a ඔක්සිජන් වහා ප්‍රතික්‍රියා කරනසුලුයි. නිදසුනක් ලෙස, එය යකඩ සමඟ සංයෝග වී මලකඩ සාදයි, හයිඩ්‍රජන් සමඟ සංයෝග වීමෙන් ජලය සාදයි. ඇමයිනො අම්ල බිහි වෙමින් පැවති අවස්ථාවේදී නිදහස් ඔක්සිජන් සෑහෙන ප්‍රමාණයක් තිබුණා නම්, ඓන්ද්‍රීය අණුවල බිහිවීමත් සමඟම, ඒවා ඔක්සිජන් සමඟ සංයෝග වී, ප්‍රතිඵලයක් ලෙස බිඳී යාවි.
[38වන පිටුවේ කොටුව]
දකුණත, වමත
දකුණතට මෙන්ම වමතට දමන අත්වැසුම් තිබෙන බව අප දන්නවා. ඇමයිනො අම්ල අණු සම්බන්ධයෙනුත් මෙය සැබෑවක්. දන්නා ඇමයිනො අම්ල 100න් ප්‍රෝටීනවලට භාවිත කරන්නේ 20ක් පමණයි. ඒ හැමෙකක්ම වමත් වර්ගයේ ඒවායි. පූර්ව-ජෛව සූපයක ඇතැම්විට සිදු වූවායයි සිතෙන දෙය අනුකරණය කිරීමක් වශයෙන් විද්‍යාඥයන් විද්‍යාගාරවල ඇමයිනො අම්ල සාදන විට, දකුණතේ මෙන්ම වමත් වර්ගයෙහි එක සමාන අණු සංඛ්‍යාවක් ඇති බව ඔවුන් සොයාගන්නවා. ද නියූ යෝක් ටයිම්ස් මෙසේ වාර්තා කරයි: “50ට 50 අනුපාතයකට අනුව මෙලෙස විකාශනය වුණත්, වමත් වර්ගයේ ඇමයිනො අම්ල මත පමණක් රඳා සිටින ජීවයට මෙය ගැළපෙන දෙයක් නොවෙයි.” ජීවීන් වමත් වර්ගයේ ඇමයිනො අම්ලවලින් පමණක් සෑදී තිබෙන්නේ ඇයි යන්න “මහත් අභිරහසක්ව” පවතී. උල්කාශ්මවලින් සොයාගනු ලබන ඇමයිනො අම්ලවල පවා “වමත් වර්ගයේ ඒවාවල අතිරික්තයන් පෙන්නුම් කළා.” “ජෛවීය ඇමයිනො අම්ල මොන වර්ගයේ ඒවාද යන්න තීරණය කිරීමේදී පෘථිවියෙන් බැහැර යම් බලපෑමක්, යම්කිසි කාර්යයක් ඉටු කරන්න ඇතැයි” ජීවයේ මූලාරම්භය හා සම්බන්ධ ගැටලු අධ්‍යයනය කරන ආචාර්ය ජෙෆ්රි එල්. බේඩා පැවසුවා.
[40වන පිටුවේ කොටුව]
“අතිශයින් ජෛවීය වූ මිනිසා තුළ බිහි වූ මෙන්ම නිර්මාණය වූ යමක් අජෛවී ලෙස සංශ්ලේෂණය වූ බව . . . මෙම පරීක්ෂණවලින් කියාපාන්න බලනවා. එසේ කර තිබෙන්නේ මිනිසා බොහෝදුරට වහල් වී සිටින අදහස් සනාථ කිරීමට දරන ප්‍රයත්නයක් ලෙසයි.”—ජෛව පද්ධතීන්වල මූලාරම්භය සහ විකාශනය (ඉංග්‍රීසියෙන්).
[41වන පිටුවේ කොටුව⁄පින්තූරය]
“හිතාමතාම බුද්ධිමත්ව කළ ක්‍රියාවක්”
බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥ ශ්‍රීමත් ෆ්‍රෙඩ් හොයිල්, විශ්වයත් එහි තිබෙන ජීවයත් අධ්‍යයනය කිරීම සඳහා දශක ගණනාවක් වැය කර තිබෙනවා. මිහිපිට ජීවය අජටාකාශයෙන් පැමිණියාය යන අදහස පවා ඔහු පිළිගෙන තිබෙනවා. කැලිෆෝනියාවේ තාක්ෂණ ආයතනයෙහි දේශන ඉදිරිපත් කරමින්, ප්‍රෝටීනවල ඇති ඇමයිනො අම්ලවල අනුපිළිවෙළ ගැන ඔහු සාකච්ඡා කළා.
හොයිල් මෙසේ ලිව්වා: “ජීවවිද්‍යාවට තිබෙන විශාලම ගැටලුව වන්නේ, නිශ්චිත ආකාරයකින් සම්බන්ධ වී ඇති ඇමයිනො අම්ල දම්වැලකින් ප්‍රෝටීනයක් සෑදී ඇත්තේ කොහොමද යන කාටත් පෙනෙන සත්‍යතාව නොව, නමුත් එම ඇමයිනො අම්ල නිශ්චිත ලෙස පිළියෙළ වීම එම දාමයට කැපීපෙනෙන ගුණයන් දානය කරන්නේ කෙසේද යන්නයි. . . . ඇමයිනො අම්ල අහඹු ආකාරයකින් සම්බන්ධ වී තිබුණා නම්, ජීවමාන සෛලයක අරමුණු ඉටු කරගැනීමට කිසිම ප්‍රයෝජනයක් නැති සැලසුම් විශාල සංඛ්‍යාවක් තිබේවි. සාමාන්‍ය එන්සයිමයකට පුරුක් 200කින් යුත් දාමයක් ඇති බවත්, එක එක පුරුක ආකාර 20කින් සැකසීමට ඉඩ ඇති බවත් සලකා බලන විට ප්‍රයෝජනයක් නොමැති සැලසුම් සංඛ්‍යාව අතිවිශාලයි කියා පහසුවෙන්ම පෙනී යනවා. මේ සංඛ්‍යාව විශාලම දූරේක්ෂවලින් දැකගත හැකි සියලුම මන්දාකිණිවල පරමාණු සංඛ්‍යාවටත් වඩා වැඩියි. මේ කිව්වේ එක එන්සයිමයක් ගැනයි. ඇත්තෙන්ම ඒවා 2,000කටත් වැඩිය තිබෙන අතර, ප්‍රධාන වශයෙන් එකිනෙකට හාත්පසින්ම වෙනස් අරමුණක් ඒවායින් ඉටු වෙනවා. එමනිසා තත්වය දැන් තිබෙන එක දක්වා වර්ධනය වුණේ කොහොමද?”
හොයිල් තවදුරටත් මෙසේ පැවසුවා: “ජීවය ස්වභාවධර්මයාගේ අන්ධ බලයන් තුළින් බිහි වූවා යන අදහන්න බැරි තරම් කුඩා වූ සම්භාවිතාව පිළිගන්නවා වෙනුවට, ජීවයේ මූලාරම්භය හිතාමතාම බුද්ධිමත්ව කළ ක්‍රියාවක් කියා උපකල්පනය කිරීම වඩාත් හොඳ බව පෙනේ.”
[44වන පිටුවේ කොටුව]
මහාචාර්ය මයිකල් ජේ. බීහී මෙසේ පැවසුවා: “තම ගවේෂණය බුද්ධිමත් නොවන හේතුවලට සීමා කරන්න බැඳී නැති බව හැඟෙන පුද්ගලයෙකුට එළඹිය හැකි සරලම නිගමනය නම්, ජෛව රසායනික පද්ධතීන් රාශියක් නිර්මාණය කරනු ලැබූ බවයි. ඒවා නිර්මාණය කළේ ස්වභාවධර්මයාගේ නීතිවලින්වත්, අහම්බෙන්වත්, අවශ්‍යතාව නිසාවත් නොවෙයි; ඒවා සැලසුම් කරනු ලැබුවා. . . . පෘථිවියේ සිටින වඩාත්ම සරල ජීවීන් ගත්තොත්, ඒවායෙහි වඩාත්ම තීරණාත්මක සංරචකයන් බලද්දී, ඒවා බුද්ධිමත් ක්‍රියාකාරකම්වල නිමැවුමක් වෙයි.”
[42වන පිටුවේ රූප සටහන/පින්තූරය]
(මුද්‍රිත පිටපත බලන්න)
සෑම ශරීර සෛලයක් වටාම තිබෙන සංකීර්ණ ලෝකය සහ ඉතා සියුම් ක්‍රියාකාරිත්වයන් දෙස මද බැල්මක් හෙළුවත්, එය මේ සියල්ල බිහි වූයේ කෙසේද යන ප්‍රශ්නය මතු කරවයි
• සෛල පටලය
සෛලයට ඇතුල් වන සහ පිට වන දේ පාලනය කරයි
• න්‍යෂ්ටිය
සෛලයේ පාලක මධ්‍යස්ථානය
• රයිබසෝම
ප්‍රෝටීන සාදනු ලබන ස්ථානය
• න්‍යෂ්ටිකාව
රයිබසෝම සාදනු ලබන ස්ථානය
• වර්ණදේහ
සෛලයේ DNA, එනම් ප්‍රවේණි සැලැස්ම ඒවායෙහි අඩංගුයි
• මයිටොකොන්ඩ්‍රියම
සෛලයට ශක්තිය සපයන අණුවල නිෂ්පාදන මධ්‍යස්ථානය
[33වන පිටුවේ පින්තූරය]
ජීවයට මුල් වන සංකීර්ණ අණු, යම් පූර්ව-ජෛව සූපයක ස්වයංසිද්ධව ජනනය විය නොහැකි බව බොහෝ විද්‍යාඥයන් දැන් පිළිගන්නවා