අටවන පරිච්ඡේදය
මැවුම්කරු තම අනන්‍යතාව හෙළි කරන්නේ අපේ ප්‍රයෝජනය සඳහායි!
ගිගුරුම්ද විදුලි කෙටීම්ද මධ්‍යයෙහි, දශලක්ෂ තුනක පමණ සෙනඟක් සීනයි අර්ධද්වීපයේ පිහිටි දැවැන්ත කන්දක් පාමුල සිටගෙන සිටියා. සීනයි කන්ද වලාකුළුවලින් වැසී ගිය අතර, පොළොව දෙදරුම් කෑවා. කාටද එවැනි අද්දැකීමක් අමතක වන්නේ? ඒ තමයි, මෝසෙස්ගේ මැදිහත් වීමෙන් අහසේ සහ පොළොවේ මැවුම්කරු සමඟ පුරාණ ඉශ්රායෙල් ජාතිය විධිමත් සම්බන්ධතාවකට එළඹුණු අවස්ථාව.—නික්මයාම, 19 පරිච්ඡේදය; යෙසායා 45:18.
කෙසේවෙතත්, විශ්වයේ මැවුම්කරු තනි ජාතියකට, බැලූ බැල්මට සෑහෙන කුඩා ජාතියකට විශේෂ ආකාරයකින් එළිදරව් වන්නේ මන්ද? මෝසෙස් මෙම හෝඩුවාව සැපයුවා: ‘යෙහෝවා නුඹලාට ප්‍රේම කළ නිසාත් නුඹලාගේ පියවරුන්ට දිවුළ දිවිරීම ඉෂ්ට කරන්ට කැමති වූ නිසාත්ය.’—ද්විතීය කථාව 7:6-8, ඇල අකුරු අපේය.
බයිබලයෙහි, විශ්වයේ සහ මිහිපිට ජීවයේ මූලාරම්භය පිළිබඳ කාරණාවලට වඩා තවත් තොරතුරු රැසක් ඇති බව එවැනි ප්‍රකාශයකින් හෙළි වෙනවා. අතීතයෙහි, වර්තමානයෙහි මෙන්ම මතුවට මනුෂ්‍යයා සමඟ මැවුම්කරුගේ කටයුතු ගැන බොහෝ විස්තර එහි අන්තර්ගතයි. ලෝකයේ වැඩියෙන්ම අධ්‍යයනය කර ඇති, වැඩියෙන්ම බෙදාහැර ඇති පොත බයිබලයයි. එමනිසා අධ්‍යාපනයේ වටිනාකම අගය කරන ඕනෑම අයෙක් එහි අන්තර්ගත දේ දැනගත යුතුයි. මුලින්ම අපි බයිබලයෙහි සොයාගත හැකි දේ පිළිබඳව සමස්ත අදහසක් ලබාගනිමු. ප්‍රථමයෙන්, පරණ ගිවිසුමයයි සාමාන්‍යයෙන් හඳුන්වන කොටසට යොමු වෙමු. විශ්වයේ මැවුම්කරු මෙන්ම බයිබලයෙහි කර්තෘගේ පෞද්ගලිකත්වය ගැන වටිනා තීක්ෂ්ණ බුද්ධියක් ලබාගැනීමට මෙය මහෝපකාරි වෙයි.
අපේ මුල්ම මුතුන්මිත්තන්, එනම් අපේ මූලාරම්භය ගැන සාමාන්‍යයෙන් නොදත් කාරණා මැවීම පිළිබඳ බයිබල් වාර්තාවෙහි අන්තර්ගත බව “මැවීම පිළිබඳ ඉපැරණි වාර්තාවක්—ඔබට එය විශ්වාස කළ හැකිද?” යන මැයින් යුත් 6වන පරිච්ඡේදයෙහි අප දුටුවා. බයිබලයෙහි මෙම මුල් පොතට තවත් බොහෝ දෑ ඇතුළත්. මොන වගේ දේවල්ද?
දෙවිවරුන් සහ උප-දෙවිවරුන් මනුෂ්‍යයන් සමඟ කටයුතු කළ වකවානුවක් ගැන ග්‍රීක සහ වෙනත් මිථ්‍යා ප්‍රබන්ධවල සඳහන් වෙනවා. ඒත් සමඟම, මනුෂ්‍යවර්ගයාව සම්පූර්ණයෙන්ම පාහේ අතුගා දැමූ පුරාණ ජලගැලීමක් පිළිබඳව පුරාවෘත්ත ලොව පුරා ඇති බවට මානව විද්‍යාඥයනුත් වාර්තා පළ කර තිබෙනවා. මේවා මිථ්‍යාවන් ලෙස ඔබ පසෙක දමන්නේ හොඳ හේතු ඇතුවයි. එනමුත් මෙවැනි පසුකාලීන මිථ්‍යා කථා සහ පුරාවෘත්ත පිටුපස ඇති සැබෑ ඓතිහාසික කාරණා උත්පත්ති පොතෙහි හෙළි කර ඇති බව ඔබ දැන සිටියාද?—උත්පත්ති 6, 7 පරිච්ඡේද.a
උත්පත්ති පොත කියවද්දී, මැවුම්කරු පවතින බව දැන සිටි, ඔහුගේ කැමැත්ත සැලකිල්ලට ගත් සැබෑ පුරුෂයන් සහ ස්ත්‍රීන් ගැන විස්තරද ඔබට ලැබේවි. මෙම පුද්ගලයන් මනඃකල්පිත අය නොවෙයි, නමුත් අපට සමාන, අපට තේරුම්ගත හැකි පුද්ගලයන්. එමනිසා, මෝසෙස් සඳහන් කළ “පියවරුන්” අතරේ සිටි ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් වැනි පුරුෂයන් දැනහඳුනා ගැනීම අපහට ඉමහත් ප්‍රයෝජනයක් වෙයි. මැවුම්කරු ආබ්‍රහම්ව දැනහඳුනා ගත් අතර, ඔහුව “මාගේ මිත්‍රයා” කියා හැඳින්වූවා. (යෙසායා 41:8; උත්පත්ති 18:18, 19) ඒ මන්ද? යෙහෝවා ආබ්‍රහම්ව නිරීක්ෂණය කර තිබුණා. තවද ආබ්‍රහම් ඇදහිල්ලේ මනුෂ්‍යයෙක් බවට විශ්වාසය ඇති කරගෙන තිබුණා. (හෙබ්රව් 11:8-10, 17-19; යාකොබ් 2:23) දෙවි එළඹිය හැකි පුද්ගලයෙක් බව ආබ්‍රහම්ගේ අද්දැකීමෙන් පැහැදිලි වෙයි. ඔහුගේ බලමහිමයද, හැකියාවන්ද සිතාගන්නවත් බැරි තරම් තේජාන්විත වුවත්, ඔහු නිකම්ම යම් පෞද්ගලිකත්වයක් නොමැති බලවේගයක් හෝ හේතුවක් නොවෙයි. ඔහු සැබෑ පුද්ගලයෙක්. අප වැනි මනුෂ්‍යයන්ට ගෞරවාන්විත සම්බන්ධයක් වර්ධනය කරගත හැකි කෙනෙක්. එවැනි සම්බන්ධයක් නිතැතින්ම අපහට දිගුකාලීනව ප්‍රයෝජන අත් කර දෙයි.
යෙහෝවා ආබ්‍රහම්ට මෙසේ පොරොන්දු වුණා: “නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය.” (උත්පත්ති 22:18) මෙය ගොඩනැඟී තිබෙන්නේ පැමිණෙන ‘වංශයක්’ ගැන ආදම්ගේ කාලයේදී කළ පොරොන්දුව මතයි. (උත්පත්ති 3:15) කාලයාගේ ඇවෑමෙන් යමෙක්, එනම් වංශය පැමිණ සියලු ජනයාට ආශීර්වාදයක් ලැබීමට මං විවෘත කර දෙන බවට වූ බලාපොරොත්තුව යෙහෝවා ආබ්‍රහම්ට පැවසූ දෙයින් සනාථ වුණා. මෙය බයිබලය පුරාම දිවයන ප්‍රධාන තේමාවක් බව ඔබට පෙනී යයි. මෙම පොත මිනිසුන්ගේ විවිධාකාර ලියවිලිවල එකතුවක් නොවන බවද මෙයින් සනාථ වෙනවා. සියලු ජාතීන්ට ආශීර්වාද ගෙන දීමේ අරමුණින්, දෙවි එක් පුරාණ ජාතියක් යොදාගත් බව තේරුම්ගැනීමට බයිබලයෙහි තේමාව දැනගෙන සිටීම ඔබහට උපකාරයක් වෙයි.—ගීතාවලිය 147:19, 20.
ඉශ්රායෙල් සමඟ කටයුතු කරන විට යෙහෝවාට එම පරමාර්ථය තිබුණු නිසා, ‘ඔහු තරාතිරම් නොබලන කෙනෙක්’ කියා පැහැදිලියි. (ක්‍රියා 10:34; ගලාති 3:14) තවද, දෙවි මූලිකවම ආබ්‍රහම්ගේ පැවතෙන්නන් සමඟ කටයුතු කළද, පැමිණ යෙහෝවාට සේවය කිරීමේ ප්‍රස්තාව අන්‍ය ජාතිකයන්ටත් විවෘත වී තිබුණා. (1 රාජාවලිය 8:41-43) මින් ඉදිරියට අප දකින්න යන පරිදි, දෙවි කොතරම් දුරට තරාතිරම් බලන්නේ නැද්ද කියනවා නම්, අපේ ජාතික හෝ වාර්ගික පසුබිම කුමක් හෝ වේවා අප සැමට ඔහුව දැනහඳුනාගෙන ඔහුව සතුටට පත් කිරීමේ ප්‍රස්තාව තිබෙනවා.
මැවුම්කරු සියවස් කිහිපයක් පුරා කටයුතු කළ එම ජාතියේ ඉතිහාසයෙන් අපට බොහෝ දේ උගත හැකියි. එම ඉතිහාසය කොටස් තුනකට බෙදමු. මෙම කොටස් සලකා බලද්දී, “ඔහු සිදුවීමට සලස්වයි සහ ඔහු යමක් බවට පත් වෙයි” යන තම නාමයෙහි අර්ථයට එකඟව යෙහෝවා කටයුතු කළ ආකාරයත්, තම සැබෑ සෙනඟ සමඟ කටයුතු කරද්දී ඔහුගේ පෞද්ගලිකත්වය පැහැදිලි වූ ආකාරයත් සැලකිල්ලට ගන්න.
පළමුවන කොටස—මැවුම්කරුගේ පාලනය යටතේ සිටි ජාතියක්
ආබ්‍රහම්ගේ පැවතෙන්නන් මිසරයෙහි වහලුන් බවට පත් වුණා. අවසානයේදී දෙවි මෝසෙස්ව තෝරාගත් අතර, ඔහුගේ මූලිකත්වයෙන් පො.යු.පෙ. 1513දී ඔවුන්ට නිදහස ලැබුණා. ඉශ්රායෙල් ජාතියක් බවට පත් වූ විට, ඔවුන්ගේ පාලකයාව සිටියේ දෙවියි. එනමුත් පො.යු.පෙ. 1117දී ජනයා රජ කෙනෙකු ලෙස මනුෂ්‍යයෙකුව ඉල්ලුවා.
ඉශ්රායෙල් සීනයි කන්දෙහි මෝසෙස් සමඟ සිටි අවස්ථාව දක්වා මොන මොන දේවල්ද සිදු වුණේ? අපට පසුබිම සපයන්නේ බයිබලයෙහි උත්පත්ති පොතයි. මීට කලින්, යාකොබ් (ඉශ්රායෙල් කියාත් කියනවා) මිසරයේ ඊසාන දෙසට වෙන්න ජීවත් වූ විට, එවකට ලෝකය පුරා සාගතයක් ඇති වුණා. තම පවුලේ ශුභසිද්ධිය ගැන තැකූ නිසා, ඉමහත් ධාන්‍ය සම්භාරයක් ගබඩා කර තිබූ මිසරයෙන් ආහාර ලබාගැනීමට යාකොබ් කටයුතු කළා. අවුරුදු ගණනාවකට පෙර මියගොස් ඇතැයි සිතූ තම පුත්‍ර යෝසෙප් මිසරයේ ආහාර පරිපාලකයා බව ඔහුට ආරංචි වුණා. යාකොබ්ද ඔහුගේ පවුලද පදිංචිය සඳහා මිසරය බලා ගිය අතර, එහි රැඳී සිටීමට ඔවුන්ට ආරාධනා කරනු ලැබුවා. (උත්පත්ති 45:25–46:5; 47:5-12) කෙසේවෙතත්, යෝසෙප්ගේ මියයෑමෙන් පසු, අලුත් ඵාරාවෝ කෙනෙක් යාකොබ්ගේ පැවතෙන්නන්ව වහලුන් කර, ‘ඔවුන් යෙදූ තද වැඩ වූ බදාම සහ ගඩොල් වැඩ කරණකොටගෙන ඔවුන්ගේ ජීවිතය ඔවුන්ට තික්ත කළා.’ (නික්මයාම 1:8-14) උනන්දුව ගෙන දෙන මෙම වාර්තාව සහ තවත් බොහෝ දේ බයිබලයෙහි නික්මයාම නමැති දෙවන පොතෙහි ඔබට කියවීමට පුළුවන්.
ඉශ්රායෙල්වරුන් දශක ගණනාවක් පුරාම දහ දුක් වින්ද අතර, ‘ඔවුන්ගේ මොරගැසීම සැබෑ දෙවි වෙතට පැමිණුණේය.’ යෙහෝවා වෙතට හැරීම ප්‍රඥාවන්ත ක්‍රියාමාර්ගය වුණා. ආබ්‍රහම්ගේ පැවතෙන්නන් ගැන උනන්දු වූ ඔහු, සියලු ජනයා සඳහා අනාගත ආශීර්වාදයක් සැපයීමට වූ තම අරමුණ ඉටු කිරීමට අදිටන් කරගෙන සිටියා. යෙහෝවා ‘ඉශ්‍රායෙලිතයන්ගේ කෙඳිරිගෑම අසා ඔවුන්ගේ තත්වය සැලකුවා.’ තැළී පොඩි වී සිටින, දුක් විඳින ජනතාව කෙරෙහි මැවුම්කරු අනුකම්පාවෙන් යුතුව සිටින බව මෙයින් පෙනී යනවා. (නික්මයාම 2:23-25) ඉශ්‍රායෙලිතයන්ව වහල්භාවයෙන් මුදාගැනීමට ඔහු මෝසෙස්ව නායකයා ලෙස තෝරාගත්තා. එනමුත්, වහලුන් වූ මෙම සෙනඟට යන්න අවසර ඉල්ලීමට මෝසෙස්ද ඔහුගේ සහෝදර වූ ආරොන්ද මිසරයේ ඵාරාවෝ වෙතට පැමිණි විට, ඔහුගේ මුරණ්ඩු පිළිතුර වූයේ: “ඉශ්රායෙල්වරුන්ට යන්ට හරින ලෙස මා විසින් [යෙහෝවාගේ] බසට ඇහුම්කන් දෙන්ට ඔහු කවුද?” යන්නයි.—නික්මයාම 5:2.
එවැනි අභියෝගයක් එවකට පැවති ශ්‍රේෂ්ඨතම හමුදා බලයේ පාලකයාගෙන් එල්ල වුණත්, විශ්වයේ මැවුම්කරු එවැන්නකින් තැතිගැන්වෙයි කියා ඔබට හිතන්නවත් පුළුවන්ද? දෙවි පීඩා රැසකින් ඵාරාවෝට සහ මිසරවරුන්ට පහර දුන්නා. අන්තිමේදී, දහවන පීඩාවෙන් පසුව, ඉශ්රායෙල්වරුන්ට නිදහස දෙන්න ඵාරාවෝ එකඟ වුණා. (නික්මයාම 12:29-32) මෙලෙස, ආබ්‍රහම්ගේ පැවතෙන්නන් යෙහෝවාව සැබෑ පුද්ගලයෙකු එනම්, තම නිසි කාලයේදී නිදහස සපයන තැනැත්තෙක් ලෙස දැනගත්තා. ඔව්, තම නාමයෙන් ඇඟවෙන පරිදි, යෙහෝවා චමත්කාරජනක අන්දමකින් තම පොරොන්දු ඉටුකරන්නා බවට පත් වුණා. (නික්මයාම 6:3) එනමුත් එම නාමයෙහි අර්ථයට තවත් බොහෝ දේ ඇතුළත් බව, ඵාරාවෝ සහ ඉශ්‍රායෙලිතයන් යන දෙපිරිසම ඉගෙනගැනීමට නියමිතව තිබුණා.
මෙවැනි තත්වයක් හටගත්තේ ඵාරාවෝ තම තීරණය ඉක්මනින්ම වෙනස් කළ නිසයි. පිට වී ගිය දාසයන් පසුපස වියරු ලෙස හඹා ගිය ඵාරාවෝද, ඔහුගේ සේනාවද රතු මුහුද අසලදී ඔවුන් සමීපයට පැමිණියා. ඉශ්රායෙල්වරුන් මුහුද සහ මිසර හමුදාව අතර කොටු වී සිටියා. අනතුරුව යෙහෝවාගේ මැදිහත් වීමෙන් රතු මුහුද මැදින් මඟක් විවෘත කරනු ලැබුවා. මෙය යෙහෝවාගේ අපරාජිත බලයේ ප්‍රකාශයක් වශයෙන් ඵාරාවෝට පිළිගන්න තිබුණා. ඒ වෙනුවට, ඔහුද ඔහුගේ බල ඇණියද ඉශ්රායෙල් සෙනඟව දිගටම ලුහුබැඳ ගියා. එනමුත්, දෙවි මුහුද යථා තත්වයට පැමිණෙවූ කල, ඔහුද ඔහුගේ සේනාවද ගිලී මියගියා. දෙවි මෙම වික්‍රමයන් හරියටම සිදු කළ ආකාරය කුමක්ද කියා නික්මයාම වාර්තාවෙහි සඳහන් වී නැහැ. සිදු වූ දෙයද, ඒවා සිදු වූ අවස්ථාද මිනිසාට පාලනය කළ නොහැකි යමක් වූ නිසා, ඒවාට ප්රාතිහාර්යයන් කියා පැවසීමට හොඳ හේතු තිබෙනවා. විශ්වය මෙන්ම එහි නියමයන් මැවූ තැනැත්තාට එවන් ක්‍රියා කළ හැකි බව සැක කිරීමට කිසිම හේතුවක් නැහැ.—නික්මයාම 14:1-31.
යෙහෝවා තම නාමයෙහි අර්ථයට එකඟව ජීවත් වන ගැළවුම්කරුවෙකු බව මෙම සිද්ධිය ඉශ්රායෙල්වරුන්ට ඒත්තුගැන්වූවා. අපටත් ඒ දෙයම කාවැදිය යුතුයි. කෙසේවෙතත්, මෙම වාර්තාවෙන් දෙවිගේ මාර්ගයන් ගැන තව තවත් දේ අප වටහාගත යුතුයි. නිදසුනකට, ඔහු පීඩාකාරි ජාතියකට විරුද්ධව යුක්තිය ඉෂ්ට කළත්, වංශයේ පෙළපත රකින තම සෙනඟට ප්‍රේමනීය-කරුණාව පෙන්නුවා. දෙවනුව සඳහන් කළ දේ ගත් කල, නික්මයාම පොතෙහි අප කියවන දේ නිකම්ම පුරාණ ඉතිහාස වාර්තාවකට වඩා වැඩි දෙයක් කියා පෙනී යයි. සියල්ලන්ට ආශීර්වාදයක් වන මාර්ගය විවෘත කර දීමට වූ දෙවිගේ අරමුණට එය සම්බන්ධයි.
පොරොන්දු දේශයකට
මිසරය හැර යෑමෙන් පසු, මෝසෙස් සහ ජනයා කාන්තාරය හරහා සීනයි කන්ද දක්වා ගමන් කළා. එහිදී සිදු වූ දේවල්, ඉන්පසු සියවස් ගණනාව පුරා දෙවි එම ජාතිය සමඟ කටයුතු කළ ආකාරයට බලපෑවා. ඔහු නීති සැපයුවා. ඊට යුග ගණනාවකටත් පෙර අපේ විශ්වයේ පදාර්ථ පාලනය කරන නීති මැවුම්කරු සම්පාදනය කර තිබුණු බව අමතක නොකළ යුතුයි. එම නීති තවමත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එනමුත් සීනයි කන්දේදී ඔහු මෝසෙස්ව යොදාගත්තේ ජාතියකට බලපාන නීති සපයන්නයි. දෙවි කළ දේ මෙන්ම ඔහු සැපයූ ව්‍යවස්ථා සංග්‍රහය නික්මයාම පොතෙන්ද, ඉන් අනතුරුව තිබෙන ලෙවී කථාව, ගණන් කථාව සහ ද්විතීය කථාව යන පොත් තුනෙන්ද කියවීමට අපට පුළුවන්. මෝසෙස් යෝබ් නමැති පොත ලිවූ බවත් විශාරදයන් විශ්වාස කරනවා. මෙම පොතෙහි අඩංගු වැදගත් දේවල් සමහරක් 10වන පරිච්ඡේදයේදී සලකා බලනවා.
වර්තමාන කාලයේ වුණත්, මෙම සම්පූර්ණ ව්‍යවස්ථා සංග්‍රහයේ ප්‍රධාන සදාචාරමය මාර්ග දර්ශකය වන දස පනත සම්බන්ධව ලොව පුරා වෙසෙන දශලක්ෂ සංඛ්‍යාත ජනකායකට අවබෝධයක් ඇති අතර, එය අනුගමනය කිරීමට ඔවුන් වෑයම් දරනවා. කෙසේවෙතත්, විශිෂ්ටත්වය වෙනුවෙන් කීර්තියක් උසුලන වෙනත් මාර්ග දර්ශක බොහොමයක් එම ව්‍යවස්ථා සංග්‍රහයට ඇතුළත්. පැනවූ බොහෝ රෙගුලාසි එවකට ඉශ්‍රායෙලිතයන්ගේ ජීවිතය වටා කේන්ද්‍රගතව තිබුණු බව තේරුම්ගත යුතුයි. සෞඛ්‍යය, සනීපාරක්ෂාව සහ රෝග පිළිබඳ නීති බොහොමයක් මීට ඇතුළත් වෙනවා. මුලදී මෙවන් නීති පුරාණ ජනකායක් සඳහා සම්පාදනය කළත්, ප්‍රවීණයන් පසුගිය සියවස හෝ දෙක තරම් මෑතක අනාවරණය කර ඇති විද්‍යාත්මක කාරණා පිළිබඳ දැනුමක් ඒවායින් පිළිබිඹු වෙනවා. (ලෙවී කථාව 13:46, 52; 15:4-13; ගණන් කථාව 19:11-20; ද්විතීය කථාව 23:12, 13) අවට සිටි ජාතීන් දැන සිටි දේට වඩා බෙහෙවින් උත්කෘෂ්ට දැනුමක් සහ ප්‍රඥාවක් පුරාණ ඉශ්‍රායෙලිතයන්ට දුන් නීතිවල පිළිබිඹු වී තිබුණේ කෙසේදැයි යමෙකු විසින් ඇසීම සුදුසුයි. එම නීති මැවුම්කරුගෙන් නික්මුණා යන්න මෙය සඳහා සාධාරණ පිළිතුරකි.
පවුලේ පෙළපත ආරක්ෂා කිරීමටත්, වංශයේ පැමිණීම සිදු වන තෙක් අනුගමනය කළ යුතු ආගමික යුතුකම් නියම කිරීමටත් මෙම නීති දායක වුණා. දෙවි ඉල්ලා සිටි සියල්ල කරන්න එකඟ වීමෙන්, එම ව්‍යවස්ථාවට එකඟව ජීවත් වීමේ වගකීම ඔවුන් තම කර පිටට ගත්තා. (ද්විතීය කථාව 27:26; 30:17-20) ඔවුන්ට එම ව්‍යවස්ථාව අංග සම්පූර්ණව රකින්න බැරි වන බව පිළිගත යුතු වුවත්, ඒ කාරණයෙන් පවා යහපත් අරමුණක් ඉටු වුණා. ව්‍යවස්ථාව ‘දෙන ලද්දේ පොරොන්දුව ලැබූ වංශය එන තෙක් නීති විරෝධී ක්‍රියා මේයයි පෙන්වා දෙන පිණිස’ යන පැහැදිලි කිරීම පසුකාලීන නීතික ප්‍රවීණයෙක් ඉදිරිපත් කළා. (ගලාති 3:19, 24, නව අනුවාදය) එමනිසා, ව්‍යවස්ථා සංග්‍රහය ඔවුන්ව ජාතියක් වශයෙන් වෙන් කර තැබූ අතර, වංශය හෙවත් මෙසියස් සඳහා ඔවුන්ට තිබෙන අවශ්‍යතාව සිහිගන්වමින්, ඔහුව සාදරයෙන් පිළිගැනීමට ඔවුන්ව සූදානම් කළා.
සීනයි කන්ද පාමුල රැස්ව සිටි ඉශ්‍රායෙලිතයන්, දෙවිගේ ව්‍යවස්ථා සංග්‍රහයට අනුකූලව ජීවත් වීමට එකඟ වුණා. මේ අනුව ඔවුන් බයිබලයෙහි හඳුන්වා ඇති පරිදි ගිවිසුමක් හෝ එකඟ වීමක් යටතට පැමිණියා. එම ගිවිසුම තිබුණේ එම ජාතියත් දෙවිත් අතරයි. මෙම ගිවිසුමට කැමැත්තෙන්ම ඇතුළත් වුණත්, ඔවුන් මුරණ්ඩු ජාතියක් බව ප්රත්යක්ෂ වුණා. උදාහරණයක් හැටියට, දෙවිව නියෝජනය කිරීමට ඔවුන් රන් වස්සෙක් ඇඹුවා. රූප නමස්කාරය දස පනත කෙළින්ම උල්ලංගනය කළ නිසා, එසේ කිරීම පාපයක් වුණා. (නික්මයාම 20:4-6) තවද ඔවුන් තම ආහාරපානාදි සැපයුම් ගැන මැසිවිලි නැඟුවා; දෙවි පත් කළ නායකයාට (මෝසෙස්ට) එරෙහිව කැරලි ගැසුවා; රූප නමස්කාර කළ විදේශික ස්ත්‍රීන් සමඟ දුරාචාරයෙහි යෙදීමට ඇද වැටුණා. එනමුත් මෝසෙස්ගේ කාලයෙන් බොහෝ සෙයින් බැහැර වූ යුගයක ජීවත් වන අපට එය සැලකිල්ල සඳහා හේතුවක් විය යුත්තේ මන්ද?
මෙයද නිකම්ම පැරණි ඉතිහාස වාර්තාවක් නොවන බව පැහැදිලියි. ඉශ්‍රායෙලිතයන්ගේ කෙළෙහි ගුණ නොතකන ක්‍රියාවන් සහ දෙවිගේ ප්‍රතිචාරය පිළිබඳ බයිබල් වාර්තාවලින් සැල වන්නේ ඔහු සැබවින්ම සැලකිල්ල දක්වන කෙනෙක් බවයි. ඉශ්රායෙල්වරුන් යෙහෝවාව ‘නැවත නැවතත්’ පරීක්ෂා කළ බවත්, ඔහුට ‘දුක දැනෙන්න’ සැලැස්සූ බවත්, ‘වේදනා ගෙන දුන්’ බවත් බයිබලයෙහි සඳහන් වෙනවා. (ගීතාවලිය 78:40, 41, NW) එබැවින්, මැවුම්කරුට හැඟීම් ඇති බවටත්, මනුෂ්‍යයන් කරන දේ ගැන සැලකිල්ලෙන් සිටින බවටත් අපට සහතික විය හැකියි.
අපේ දෘෂ්ටිකෝණයට අනුව දේවල් දෙස බැලුවොත්, ඉශ්රායෙල් කළ වැරදි හේතුවෙන් දෙවි තම ගිවිසුම අහෝසි කොට, තම පොරොන්දුවේ ඉටුවීම දැකීමට වෙනත් ජාතියක් තෝරාගනී කියා අපට සිතෙන්න පුළුවන්. එහෙත් දෙවි එසේ කළේ නැහැ. ඒ වෙනුවට, ඉතා දරුණු වරදකරුවන්ට දඬුවම් කළද, සමස්තයක් වශයෙන් තම හිතුවක්කාර ජාතිය කෙරෙහි දයාව දැක්වූවා. ඔව්, තම ඇදහිලිවන්ත මිතුරා වන ආබ්‍රහම්ට දුන් පොරොන්දුවට දෙවි පක්ෂපාතව සිටියා.
වැඩි කලක් යෑමට මත්තෙන්, ඉශ්රායෙල් ජාතිය බයිබලයෙහි පොරොන්දු දේශය ලෙස හැඳින්වෙන කානාන් දේශය අබියසට පැමිණියා. එය සදාචාර අතින් පිරිහුණු ක්‍රියාවන්වලට නතු වූ ප්‍රබල ජනතාවකගෙන් ජනාකීර්ණ වී තිබුණා. ඔවුන්ගේ කටයුතුවලට බාධා නොපමුණුවමින් මැවුම්කරු වසර 400ක් ගෙවී යෑමට ඉඩ දී තිබුණද, අනතුරුව, දේශය පුරාණ ඉශ්‍රායෙල්ගේ අතට පත් කිරීමට ඔහු යුක්තිසහගත ලෙස තෝරාගත්තා. (උත්පත්ති 15:16; 132-3 පිටුවල “ස්වකීය ගෞරවය රක්ෂා කරන දෙවිකෙනෙක්—කුමන අරුතින්ද?” යන්නද බලන්න.) පෙර සූදානමක් වශයෙන්, මෝසෙස් ඔත්තුකාරයන් 12දෙනෙකු දේශය පුරා යැව්වා. ඉන් දසදෙනෙක්, ගැළවීමට යෙහෝවා සතු බලය කෙරෙහි ඇදහිල්ලේ ඌනතාවක් පෙන්නුවා. ඔවුන්ගෙන් ලැබුණු වාර්තාව හේතුවෙන් ජනයා දෙවිට විරුද්ධව කොඳුරන්න පටන්ගත් අතර, මිසරය වෙත නැවත හැරී යන්න ඔවුන් කුමන්ත්‍රණය කළා. එහි ප්‍රතිඵලය වූයේ, පාළුකරයේ අවුරුදු 40ක් පුරා ගමන් කිරීමට වූ දෙවිගේ නියමයට යටත් වන්න ඔවුන්ට සිදුවීමයි.—ගණන් කථාව 14:1-4, 26-34.
මෙම විනිශ්චයෙන් කුමක්ද ඉටු වුණේ? යෙහෝවා ඔවුන්ගේ හිතුවක්කාරකම මර්දනය කළ අතීතය සිහි කරන්න කියා මෝසෙස් තම මරණයට කලින් ඉශ්රායෙල් පුත්‍රයන්ට අවවාද කළා. මෝසෙස් ඔවුන්ට කිව්වේ මෙයයි: “මනුෂ්‍යයෙකු තමාගේ පුත්‍රයාට දඬුවම් කරන්නාක් මෙන් නුඹේ දෙවිවූ [යෙහෝවා] නුඹට දඬුවම්කරන බව නුඹේ සිතින් කල්පනාකරන්න.” (ද්විතීය කථාව 8:1-5) ඔවුන් යෙහෝවාට නිග්‍රහයක් ඇති වන ආකාරයකින් කටයුතු කර තිබුණද, ඔහු ඔවුන්ව රැකබලා ගත්තේ, ඔවුන් ඔහු මත රඳා සිටින බව නිරූපණය කරමිනුයි. නිදසුනකට, ඔවුන් නොනැසී ජීවත් වුණේ, ඔහු මී පැණි මිශ්‍ර තුනී රොටි රසැති, ආහාරයට ගත හැකි ද්‍රව්‍යයක් වූ මන්නා සැපයූ නිසයි. ඇත්තටම ඔවුන් පාළුකරයේ ගත කළ කාලයෙන් බොහෝ දේ ඉගෙනගන්න තිබුණු බව පැහැදිලියි. තම දයාන්විත දෙවිට කීකරු වී ඔහු මත රඳා සිටීමේ වැදගත්කම ඉන් ඔප්පු වන්න තිබුණා.—නික්මයාම 16:13-16, 31; 34:6, 7.
මෝසෙස්ගේ මරණයෙන් පසු, ඉශ්රායෙල්හි නායකයා වීමට දෙවි යෝෂුවාව පත් කළා. අභීත වූ, පක්ෂපාත වූ මෙම පුරුෂයා ඉශ්රායෙල් ජාතිය කානාන් දේශයට ගෙන ගොස්, එඩිතරව එම දේශය යටත් කිරීමෙහි ව්‍යාපාරයක් දියත් කළා. කෙටි කාලපරිච්ඡේදයක් ඇතුළත, යෝෂුවා රජවරුන් 31දෙනෙකු පරාජය කළ අතර, පොරොන්දු දේශයෙන් වැඩි හරියක පදිංචි වුණා. හැඟීම් දනවන මෙම ඉතිහාස වාර්තාව යෝෂුවා පොතෙන් ඔබට සොයාගත හැකියි.
මිනිස් රජෙකු නොමැති පාලනයක්
පාළුකරයෙහි තාවකාලිකව පදිංචිව සිටි මුළු කාලය පුරාද, පොරොන්දු දේශයෙහි පදිංචි වූ මුල් භාගයේද, ජාතියට නායකයන් ලෙස සිටියේ මෝසෙස් සහ අනතුරුව යෝෂුවාය. යෙහෝවා ඔවුන්ගේ පරමාධිපති වූ නිසා, ඉශ්‍රායෙලිතයන්ට මිනිස් රජෙකු අවශ්‍ය වුණේ නැහැ. නුවරේ දොරටුවල නඩු ඇසීම සඳහා වැඩිමහල්ලන් පත් කිරීමට ඔහු විධිවිධානය යෙදුවා. ඔවුන් විනය පැවැත්වූ අතර, ජනයාට ආත්මික උපකාර සැපයුවා. (ද්විතීය කථාව 16:18; 21:18-20) ද්විතීය කථාව 25:7-9හි සඳහන් නීතිය මත පදනම් නඩුවක් එවැනි වැඩිමහල්ලන් විසින් හැසිරෙවූ ආකාරය ගැන චිත්තාකර්ෂණීය දසුනක් රූත් නමැති පොතෙහි සපයා ඇත.
ගෙවීගිය අවුරුදු දෙස බලද්දී, එම ජාතිය නැවත නැවතත් දෙවිට අකීකරු වීමෙන් සහ කානානීය දෙවිවරුන්ගේ පිහිට පැතීමෙන්, නිතරම දෙවිගේ අප්‍රසාදයට ලක් වුණා. කෙසේවෙතත්, ඔවුන් අසීරු තත්වයකට පත්ව, යෙහෝවාගෙන් පිහිට අයැද සිටි විට, ඔහු ඔවුන්ව සිහි කළා. ඉශ්රායෙල්වරුන්ට නිදහස දීමට, පීඩාකාරි අසල්වාසි ජාතීන්ගේ ග්රහණයෙන් ඔවුන්ව මුදවන්න ඔහු විනිශ්චයකරුවන්ව යොදාගත්තා. මෙම එඩිතර විනිශ්චයකරුවන්ගෙන් 12දෙනෙකුගේ වීර වික්‍රමයන් විනිශ්චයකාරයන්ගේ පොත යන්නෙහි විචිත්‍රවත්ව ඉදිරිපත් කර තිබෙනවා.—විනිශ්චයකාරයන් 2:11-19; නෙහෙමියා 9:27.
එම වාර්තාවෙහි මෙසේ පැවසේ: “ඒ දවස්වල ඉශ්රායෙල්හි රජෙක් නොසිටියේය. එක් එක් මනුෂ්‍ය තෙමේ තම තමාගේ ඇස් හමුයෙහි හරිව තිබුණු දේ කෙළේය.” (විනිශ්චයකාරයන් 21:25) ව්‍යවස්ථාවෙහි දක්වා තිබූ ප්‍රමිති ජාතියේ ප්‍රයෝජනය සඳහා තිබුණු බැවින්, වැඩිමහල්ලන්ගේ උපකාරය සහ පූජකයන්ගේ උපදෙස් අනුව, “තමාගේ ඇස් හමුයෙහි හරිව තිබුණු දේ” කර, ඒ ගැන සෑහීමට පත්ව සිටින්න ජනයාට පදනමක් තිබුණා. තවද, ව්‍යවස්ථා සංග්‍රහයෙන් මණ්ඩපයක් නොහොත් ජංගම දේවමාළිගාවක් සඳහා අවශ්‍යතාව පිරිමැසුණු අතර, එහිදී පූජා ඔප්පු කරනු ලැබුවා. සැබෑ නමස්කාරය කේන්ද්‍රගත වී තිබුණේ එතැනයි. එවකට සිටි ජාතිය එක්සත් කර තැබීමට මෙය ඉවහල් වුණා.
දෙවන කොටස—රජවරුන් යටතේ සමෘද්ධිය
සාමුවෙල් ඉශ්රායෙල් විනිශ්චයකාරයාව සිටි කාලයේදී, ජනයා මනුෂ්‍ය රජෙකුව ඉල්ලා සිටියා. සාවුල්, දාවිත් සහ සාලමොන් යන මුල් රජවරුන් තිදෙනා අවුරුදු 40 බැගින් පො.යු.පෙ. 1117 සිට 997 දක්වා රජකම් කළා. ඉශ්රායෙල් ධනයෙන් සහ තේජස්ශ්‍රීයෙන් හිණි පෙත්තටම නැඟුණු අතර, මතු පැමිණෙන වංශයේ රජකමට සූදානම් වීම සඳහා මැවුම්කරු වැදගත් පියවර කිහිපයක් ගත්තා.
විනිශ්චයකරුවෙකු සහ අනාගතවක්තෘවරයෙකු වශයෙන් සාමුවෙල් ඉශ්රායෙල්හි ආත්මික ශුභසිද්ධිය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළා. එනමුත් ඔහුගේ පුත්‍රයන් ඔහුට වඩා වෙනස් වුණා. කෙසේවෙතත් අවසානයේදී, ජනයා සාමුවෙල්ගෙන් මෙසේ ඉල්ලා සිටියා: “ඉතින් සියලු ජාතීන්ට මෙන් අප විනිශ්චයකරන පිණිස අපටත් රජෙකු පත්කළ මැනව.” ඔවුන්ගේ ඉල්ලීමෙන් ඇත්තටම අදහස් කළ දේ යෙහෝවා සාමුවෙල්ට මෙසේ පැහැදිලි කළා: “ඔවුන්ගේ [ජනයාගේ] හඬට ඇහුම්කන්දෙන්න. මක්නිසාද ඔව්හු නුඹ එපාකළා නොව, මා ඔවුන් කෙරෙහි රජකම් නොකරන පිණිස මා එපාකළෝය.” මෙම පියවරෙන් අත් වන කනගාටුදායක ප්‍රතිවිපාක යෙහෝවා කලින්ම දුටුවා. (1 සාමුවෙල් 8:1-9) කෙසේවෙතත්, ඔවුන්ගේ ඉල්ලීමට එකඟව, ඉශ්රායෙල් කෙරෙහි රජ වශයෙන් නිහතමානී පුරුෂයෙකු වූ සාවුල්ව පත් කළා. මුලින්ම හොඳ ගුණාංග විදහාපෑවත්, රජ බවට පත්වීමෙන් පසු, සාවුල් හිතුවක්කාරව කටයුතු කිරීමට නැඹුරුවාවක් දැක්වූ අතර, දෙවිගේ ආඥා නිසි ලෙස පැවැත්වූයේ නැහැ. රජකම යෙහෝවාට ප්‍රසන්න පුරුෂයෙකුට භාර දෙනු ලබන බව දෙවිගේ අනාගතවක්තෘ දැන්වූවා. හෘදයෙන්ම කීකරු වීම මැවුම්කරු කොතරම් අගය කරනවාද යන්න මෙයින් අපට ඒත්තුගැන්විය යුතුයි.—1 සාමුවෙල් 15:22, 23.
ඉශ්රායෙල්හි ඊළඟ රජ වීමට සිටි දාවිත්, යූදා ගෝත්‍රයේ පවුලක බාලම පුත්‍රයා විය. පුදුමයට හේතු වන මෙම තේරීම සම්බන්ධයෙන් දෙවි සාමුවෙල්ට මෙසේ පැවසුවා: “මිනිසා නෙත හා ගැටෙන දේ දකින්නේය. නමුත් යෙහෝවා හෘදයෙහි ඇති දෑ බලන්නේය.” (1 සාමුවෙල් 16:7, NW) මැවුම්කරු අපේ බාහිර පෙනුම දෙස නොව, අපේ ඇතුළාන්තය දෙස බලනවා කියා දැනගැනීම දිරිගන්වන්නක් නොවේද? කෙසේවෙතත්, සාවුල් කාරණා දෙස බැලුවේ වෙනත් විදිහකටයි. යෙහෝවා අනාගත රජු ලෙස දාවිත්ව තෝරාගත් මොහොතේ සිට, සාවුල්ගේ මුළු අභිප්රායව තිබුණේ කෙසේ හෝ දාවිත්ව ඝාතනය කිරීමයි. එවැනි දෙයක් සිදු වන්න යෙහෝවා ඉඩ දුන්නේ නැහැ. අවසානයේදී පිලිස්තියවරුන් යනුවෙන් හැඳින්වූ සටන්කාමී සෙනඟකට විරුද්ධව කළ සටනකදී සාවුල්ද, ඔහුගේ පුත්‍රයන්ද මියගියා.
දාවිත් හෙබ්‍රොන් නුවරේ සිට රජු ලෙස පාලනය කළා. අනතුරුව ඔහු යෙරුසලම යටත් කොට, තම අගනුවර එතැනට මාරු කළා. දෙවි ආබ්‍රහම්ගේ පැවතෙන්නන්ට පොරොන්දු වූ දේශයේ උපරිම සීමාව දක්වාම ඉශ්රායෙල්හි දේශ සීමා පුළුල් කිරීමටද ඔහු සමත් වුණා. මෙම කාලපරිච්ඡේදය (සහ පසුකාලීන රජවරුන්ගේ ඉතිහාසය) ගැන බයිබලයෙහි ඓතිහාසික පොත් හයක ඔබට කියවන්න පුළුවන්.b දාවිත්ගේ ජීවිතය ගැටලුවලින් තොර එකක් නොවූ බව ඒවායින් හෙළි වෙනවා. උදාහරණයක් ලෙස, කාම තෘෂ්ණාවට හසු වූ ඔහු, රූමත් බැත්-ෂෙබා සමඟ කාමමිථ්‍යාචාරයෙහි යෙදී, තම පාපය වසං කිරීමට වෙනත් වැරදි ක්‍රියාවලද නියැලුණා. යෙහෝවා යුක්තියේ දෙවිකෙනෙක් නිසා, දාවිත්ගේ වරද නොසලකා හැරියේ නැහැ. එනමුත් දාවිත්ගේ හෘදයාංගම පසුතැවිල්ල හේතුවෙන්, ව්‍යවස්ථාවේ දණ්ඩනය දැඩි සේ නියම කළ යුතු බව දෙවි ඉල්ලා සිටියේ නැහැ. කෙසේවෙතත්, තම පාප හේතුවෙන් දාවිත්ට පවුල් ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදු වුණා.
එක පිට එක පැමිණි මෙම දුක් කම්කටොලු සියල්ලේදී, දාවිත් දෙවිව පුද්ගලයෙකු වශයෙන්, හැඟීම් ඇති කෙනෙකු වශයෙන් දැනහඳුනා ගත්තා. දාවිත් ලියූ දේ සලකන්න: ‘යෙහෝවා තමන්ට යාච්ඤා කරන සියල්ලන්ට ළංව සිටින්නේය. ඔවුන්ගේ මොරගැසීම අසා ඔවුන් ගළවන්නේය.’ (ගීතාවලිය 145:18-20, ඇල අකුරු අපේය.) දාවිත් රචනා කළ අලංකාර ගීතිකාවල ඔහුගේ අවංකකම මෙන්ම භක්ත්‍යාදරය මැනවින් ප්‍රකාශ වන අතර, ගීතාවලිය නමැති පොතෙන් අඩක් පමණ ඒවායින් සෑදී තිබෙනවා. මෙම ගීතිකාවලින් දශලක්ෂ ගණන් ජනයා සැනසීමක් සහ දිරිගැන්වීමක් ලබා තිබෙනවා. ගීතාවලිය 139:1-4න් පැහැදිලි වන ආකාරයට, දෙවිට දාවිත් කෙතරම් සමීපව සිටියාද කියා සලකා බලන්න: ‘අහෝ යෙහෝවා, ඔබ මා විමසා බලා දැනගත්තේය. ඔබ මාගේ හිඳීමද නැඟිටීමද දන්නේය, දුරදීම මාගේ සිතිවිල්ල ඔබට තේරෙයි. . . . මක්නිසාද යෙහෝවා, ඔබ මුළුමනින්ම නොදන්නාවූ කිසි වචනයක් මාගේ දිවේ නැත්තේය.’
දාවිත් විශේෂයෙන්ම දැනගෙන සිටියේ ගැළවීම සඳහා දෙවි සතු බලය ගැනයි. (ගීතාවලිය 20:6; 28:9; 34:7, 9; 37:39) එය අද්දුටු සෑම මොහොතකදීම, යෙහෝවා කෙරෙහි ඔහුගේ විශ්වාසය තව තවත් තියුණු විය. ඒ බවට සාක්ෂි ගීතාවලිය 30:5; 62:8 සහ 103:9හි ඔබට දැකගත හැකියි. එසේ නැතහොත්, බැත්-ෂෙබා සමඟ පව් කළ නිසා, තරවටු ලැබුවායින් පසු දාවිත් රචනා කළ ගීතාවලිය 51 කියවා බලන්න. මැවුම්කරුට අපේ අදහස් විවෘතව ප්‍රකාශ කරන්න පුළුවන් බව දැනසිටීමත්, ඔහු අහංකාර නොවූ, මෘදුව සවන් දීමට කැමති කෙනෙක් බව ස්ථිර වීමත් මොනතරම් සහනයක්ද! (ගීතාවලිය 18:35; 69:33; 86:1-8) දාවිත් එවැනි අගයක් අත් කරගත්තේ ඔහු අද්දුටු දේවලින් පමණක් නොවේ. “ඔබගේ සියලු ක්‍රියා භාවනාකරමි. ඔබගේ හස්තකර්ම මෙනෙහිකරමි” යයි ඔහු ලිව්වා.—ගීතාවලිය 63:5; 143:5.
යෙහෝවා දාවිත් සමඟ සදාකාලික රාජ්‍යයක් සඳහා විශේෂ ගිවිසුමක් ඇති කළා. දාවිත්ට එම ගිවිසුමේ වැදගත්කම ඇතැම්විට සම්පූර්ණයෙන්ම නොතේරුණද, පසුව බයිබලයෙහි වාර්තා වී ඇති තොරතුරුවලින් අපට පෙනී යන්නේ, පොරොන්දු වංශය දාවිත්ගේ පෙළපතින් පැමිණෙන බව දෙවි දක්වමින් සිටි බවයි.—2 සාමුවෙල් 7:16.
ප්‍රඥාවන්ත සාලමොන් රජ සහ ජීවිතයේ අරුත
දාවිත්ගේ පුත් සාලමොන් තමන්ගේ ප්‍රඥාව සම්බන්ධයෙන් නම් දැරුවෙකි. එයින් ප්‍රයෝජන ලබාගැනීමට හිතෝපදේශ සහ දේශනාකාරයා නමැති ඉතා ප්‍රායෝගික පොත් දෙක අපට කියවිය හැකියි.c (1 රාජාවලිය 10:23-25) හරියට ප්‍රඥාවන්ත සාලමොන් රජ කළාක් මෙන්, තම ජීවිතයට යම් අරුතක් සොයමින් සිටින ජනයාට දේශනාකාරයා පොත මහෝපකාරි වෙයි. රාජකීය පවුලකට උපන් මුල්ම ඉශ්රායෙලිත රජ වශයෙන්, සාලමොන්ට තම ජීවිතය කැමති ආකාරයෙන් ගත කිරීමට අසීමිත ප්‍රස්තා තිබුණා. ඔහු දැවැන්ත ඉදි කිරීමේ ව්‍යාපෘති දියත් කළා; සිත්ගන්නා විවිධත්වයකින් යුත් ආහාර අනුභව කළා; සංගීතයේ රසය වින්දා; එමෙන්ම කැපීපෙනෙන පුද්ගලයන්ගේ ඇසුර භුක්ති වින්දා. කෙසේවෙතත්, ඔහු ලියූ දේ සලකා බලන්න: “නුමුත් මාගේ අත්වලින් කළාවූ සියලුම කර්මාන්තද කරන්ට මා වෙහෙස ගත්තාවූ වැඩද දෙස බැලූ විට ඒ සියල්ල නිෂ්ඵලකමක්ව . . . තිබෙන බව . . . දුටුමි.” (දේශනාකාරයා 2:3-9, 11) එහෙයින් අවසාන වශයෙන් ඔහු එළඹුණේ කුමන නිගමනයටද?
සාලමොන් මෙසේ ලීවා: ‘සියල්ල අසන ලදි, මුළු කාරණයේ තීන්දුව නම් මේය: දෙවිට භයව ඔහුගේ ආඥා පවත්වන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය. මක්නිසාද යහපත් වේවා, නපුරු වේවා, සියලු ක්‍රියාද සියලු රහස් දේද දෙවි විනිශ්චයට පමුණුවන්නේය.’ (දේශනාකාරයා 12:13, 14) මීට එකඟව, ජනයාට දෙවිව නමස්කාර කළ හැකි තේජාන්විත දේවමාළිගාවක් ඉදි කිරීමේ සත් වසරක ව්‍යාපෘතියක සාලමොන් නියැලුණා.—1 රාජාවලිය 6වන පරිච්ඡේදය.
අවුරුදු බොහොමයකට සාලමොන්ගේ පාලනයෙහි සාමය සහ සමෘද්ධිය දකින්න ලැබුණා. (1 රාජාවලිය 4:20-25) කෙසේවෙතත්, තම පිය වූ දාවිත් තරම්ම, ඔහුගේ හෘදය යෙහෝවා කෙරෙහි පූර්ණව පැවතියේ නැහැ. සාලමොන් විදේශ භාර්යාවන් බොහෝදෙනෙකුව සරණ පාවාගත් අතර, ඔවුන්ගේ දෙවිවරුන් වෙත තම හෘදය නම්මාගැනීමට ඔවුන් දැරූ උත්සාහයට යටත් වුණා. අවසානයේදී යෙහෝවා මෙසේ තීන්දු කළා: “මම සැබවින්ම රාජ්‍යය නුඹෙන් [උදුරන්නෙමි]. . . . මගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් මා විසින් තෝරාගත් යෙරුසලම නිසාත් නුඹේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි.”—1 රාජාවලිය 11:4, 11-13.
තුන්වන කොටස—බෙදුණු රාජ්‍යය
පොදු යුගයට පෙර 997දී සාලමොන්ගේ මරණයෙන් පසු, උතුරු ගෝත්‍ර දහය වෙන්ව ගියා. ඔවුන්ගෙන් ඉශ්රායෙල් රාජ්‍යය බිහි විය. අෂූරිවරුන් පො.යු.පෙ. 740දී එය යටත් කළා. යෙරුසලමෙහි රජවරුන් ගෝත්‍රයන් දෙකක් කෙරෙහි පාලනය කළා. යූදා නම් වූ මෙම රාජ්‍යය, පො.යු.පෙ. 607දී බබිලෝනිවරුන් යෙරුසලම යටත් කොට, එහි වැසියන් වහලුන් ලෙස ගෙන යන තෙක් පැවතුණා. ඉන්පසුව යෙරුසලම 70 වසරකට පාළුව පැවතියා.
සාලමොන් මියගිය විට, ඔහුගේ පුත් රෙහොබොවම් බලයට පැමිණ ජනතාව කෙරෙහි පීඩිත පාලනයක් ඇරඹුවා. මෙය කැරැල්ලකට මඟ පෑදූ අතර, ගෝත්‍ර දසයක් වෙන් වී ඉශ්රායෙල් රාජ්‍යය බිහි වුණා. (1 රාජාවලිය 12:1-4, 16-20) ගෙවී ගිය කාලය දෙස බලද්දී, මෙම උතුරු රාජ්‍යය සැබෑ දෙවිට විශ්වාසවන්තව සිටියේ නැති බව පැහැදිලි වෙනවා. ජනතාව රන් වස්සෙකුගේ රූපය දැරූ පිළිමයකට හෝ වෙනත් බොරු නමස්කාරයකට නිතරම පාහේ ඇද වැටුණා. ඇතැම් රජවරුන්ව ඝාතනය කොට, ඔවුන්ගේ රාජවංශයන් රජකම පැහැරගන්නන් විසින් පහ කරනු ලැබුවා. ජාතිය දිගටම ඇදහිල්ල අත්හැර කටයුතු කළොත්, ඉමහත් ඛේදවාචකයකට මුහුණ දෙන්න සිදු වන බව අනතුරු ඇඟවීමට අනාගතවක්තෲන්ව නැවත නැවතත් එවීමෙන් යෙහෝවා ඉමහත් ඉවසීමකින් කටයුතු කළා. මෙම උතුරු රාජ්‍යයට යොමු කළාවූ පණිවිඩ පැවසූ අනාගතවක්තෲන් ලියූ පොත් දෙකකි, හොෂෙයා සහ ආමොස්. අවසානයේදී, පො.යු.පෙ. 740දී දෙවිගේ අනාගතවක්තෲන් පුරෝකථනය කළ ඛේදවාචකය ගෙන ඒමට අෂූරිවරුන් අවතීර්ණ වුණා.
දකුණු රාජ්‍යයෙහි, දාවිත්ගේ වංශයේ රජවරුන් 19දෙනෙක් පො.යු.පෙ. 607 දක්වා යූදා කෙරෙහි අඛණ්ඩව පාලනය කළා. ආසා, යෙහෝෂාපාට්, හෙසකියා සහ යොෂියා යන රජවරුන් තම ආදි පිය වූ දාවිත් මෙන් පාලනය කොට, යෙහෝවාගේ අනුමැතිය ලැබුවා. (1 රාජාවලිය 15:9-11; 2 රාජාවලිය 18:1-7; 22:1, 2; 2 ලේකම් 17:1-6) මෙම රජවරුන්ගේ පාලන සමයේදී, යෙහෝවා ජාතිය පිටට ආශීර්වාද වැගුරුවා. ඉංග්‍රීසි ජාතිකයාගේ විචාරක විවරණාත්මක බයිබල් විශ්වකෝෂය (ඉංග්‍රීසියෙන්) මෙම නිරීක්ෂණය ඉදිරිපත් කළා: “දිව්‍ය නියෝගයක් අනුව පැවති යූදාහි දේවමාළිගාවත්, එහි පූජක තන්ත්රයත්, ලිඛිත ව්‍යවස්ථාවත් එහි සැබෑ දිව්‍යාණ්ඩු රජ ලෙස එකම සැබෑ දෙවි යෙහෝවාව පිළිගැනීමත් යූ[දා] හා බැඳි විශිෂ්ට වූ ගතානුගතික ලක්ෂණ විය. . . . ව්‍යවස්ථාවට මෙලෙස ඇලී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස, . . . ප්‍රඥාවන්ත වූ, යහපත් වූ රජවරුන් කිහිපදෙනෙකුගෙන් යුත් අඛණ්ඩ රාජ්‍ය පෙළපතක් බිහි විය. . . . එබැවින්, වැඩි ජනතාවක් සිටි ඇගේ උතුරු සොහොයුරියට වඩා දිගු කලක් පැවතීමට යූ[දා] සමත් විය.” එහෙත්, මෙම යහපත් රජවරුන්ට වඩා, දාවිත්ගේ මාර්ගයෙහි ගමන් නොකළ සෑහෙන රජවරුන් පිරිසක් සිටියා. කෙසේ නමුත්, ‘තම නාමය තබන්ට තමා විසින් තෝරාගත් නුවර වූ යෙරුසලමේ තම මෙහෙකරු වූ දාවිත්ට තමා ඉදිරියෙහි නිතරම පහනක් තිබෙන පිණිස’ යෙහෝවා දිගටම කටයුතු මෙහෙයෙව්වා.—1 රාජාවලිය 11:36.
විනාශයේ අබියසට
සැබෑ නමස්කාරයෙන් ඉවත්ව ගිය යූදාහි එක් රජෙකි, මනස්සේ. “ඔහු තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජාකෙළේය, මායම්ද ශාස්ත්‍ර බැලීම්ද භාවිතාකරමින් ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද පත්කෙළේය. ඔහු [යෙහෝවා] කෝපකරවන හැටියට [ඔහුගේ] ඇස් හමුයෙහි නපුරුවූ බොහෝ දේ කෙළේය.” (2 රාජාවලිය 21:6, 16) ‘යෙහෝවා විනාශ කර දැමූ ජාතීන්ට වඩා නපුරුකම් කරන හැටියට’ මනස්සේ රජ තම ජනයාව මුළා කළා. මනස්සේටද, තම සෙනඟටද පුන පුනා අනතුරු ඇඟවීමෙන් පසු, මැවුම්කරු මෙසේ ප්‍රකාශ කළා: ‘මනුෂ්‍යයෙක් තැටියක් පිස දමන්නාක් මෙන් යෙරුසලම පිස දමන්නෙමි.’—2 ලේකම් 33:9, 10; 2 රාජාවලිය 21:10-13.
මූලික පියවරක් වශයෙන්, මනස්සේව අල්ලා තඹ විලංගුලා වහලෙකු හැටියට ගෙනයෑමට යෙහෝවා අෂූරිවරුන්ට ඉඩ දුන්නා. (2 ලේකම් 33:11) වහල්ව සිටිද්දී, මනස්සේ ප්‍රකෘති සිහියට පැමිණ ‘තමාගේ පියවරුන්ගේ දෙවි ඉදිරියෙහි ඉතා යටහත්’ විය. යෙහෝවා ප්‍රතික්‍රියා කළේ කෙසේද? ‘දෙවි ඔහුට ඇහුම්කන් දී ඔහුගේ කන්නලව්ව අසා යෙරුසලමටත් ඔහුගේ රාජ්‍යයටත් නැවත ඔහුව පැමිණෙව්වේය. එවිට යෙහෝවා, දෙවි බව මනස්සේ දැනගත්තේය.’ මනස්සේ රජ සහ ඔහුගේ මුනුපුරා වූ යොෂියා රජ යන දෙදෙනාම, අවශ්‍ය ප්‍රතිසංස්කරණයන් සිදු කළා. කෙසේවෙතත්, මහා පරිමාණ සදාචාර සහ ආගමික පිරිහීමකින් ජාතිය සදහටම අහක් වුණේ නැහැ.—2 ලේකම් 33:1-20; 34:1–35:25; 2 රාජාවලිය 22වන පරිච්ඡේදය.
සිදු වන දේ පිළිබඳව තම දෘෂ්ටිය ප්‍රකාශ කිරීමට යෙහෝවා ජ්වලිත අනාගතවක්තෲන් යැවූ බවට වූ කාරණය සැලකිල්ලට ගැනීම වටී.d යෙරෙමියා යෙහෝවාගේ මෙම වදන් පළ කළා: “නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් පිටත්ව ආ දා සිට අද දක්වා, දවස්පතා අලුයම නැගිට, මාගේ සියලු සේවකයන්වූ අනාගතවක්තෘවරුන් නුඹලා ළඟට එවීමි.” එනමුත් ජනයා දෙවිට සවන් නොදුන් අතර, තම ආදි පියවරුන්ට වඩා නපුරු ලෙස ක්‍රියා කළා. (යෙරෙමියා 7:25, 26) ඔහු ‘ස්වකීය සෙනඟට අනුකම්පා කළ නිසා’ ඔවුන්ට නැවත නැවතත් අනතුරු ඇඟෙව්වා. කෙසේවෙතත්, ඔවුන් දෙවිට පිටුපෑවා. එමනිසා පො.යු.පෙ. 607දී යෙරුසලම විනාශ කොට දේශය වනසා දැමීමට ඔහු බබිලෝනිවරුන්ට ඉඩ දුන්නා. එසේ පාළු වී අවුරුදු 70ක් ඉකුත්ව ගියා.—2 ලේකම් 36:15, 16; යෙරෙමියා 25:4-11.
දෙවිගේ ක්‍රියාවන් පිළිබඳ මෙම කෙටි සමාලෝචනය, තම ජාතිය කෙරෙහි දෙවි දැක්වූ සැලකිල්ල සහ ඔහු යුක්තිසහගතව කටයුතු කළ අන්දම හඳුනාගැනීමට අපට උපකාර කළ යුතුයි. හරියට නොසැලකිලිමත් කෙනෙකු කටයුතු කරන්නාක් මෙන්, ජනතාව ඕන දෙයක් කරගන්න තෙක් ඔහු පැත්තකට වී බලාගෙන සිටියේ නැහැ. ඔවුන්ට උපකාර කරන්න ඔහු ක්‍රියාශීලී උත්සාහයක් දැරුවා. ‘ඉතින් යෙහෝවා, ඔබ අපේ පියාය. අපි සියල්ලෝ ඔබගේ අතේ කර්මාන්තයය’ කියා යෙසායා පැවසුවේ මන්දැයි ඔබට දැන් ඒත්තුගත හැකියි. (යෙසායා 64:8) මීට එකඟව, අදදින බොහෝදෙනෙක් මැවුම්කරුව “පියා” කියා අමතන්නේ, ඔහු ප්‍රේමනීය, උනන්දුව දක්වන මිනිස් පියෙක් මෙන් ප්‍රතිචාරය දක්වන නිසයි. කෙසේවෙතත්, අප ගන්නා ක්රියාමාර්ගයටත් එහි ප්රතිඵලවලටත් අප වගකිව යුතු බවද ඔහු තේරුම්ගෙන සිටී.
ඉශ්රායෙල් ජාතිය බබිලෝනියේ 70 වසරක වහල්භාවයක් අද්දැකීමෙන් පසු, යෙරුසලම යළි පිහිටුවීමට වූ තම පොරොන්දුව යෙහෝවා දෙවි ඉටු කළා. ජනයාට නිදහස ලබා දුන් අතර, ‘යෙරුසලමෙහි යෙහෝවාගේ ගෘහය නැවත ගොඩනැඟීමට’ තම මව්බිම කරා ආපසු යෑමට අවසර දෙන ලදි. (එස්රා 1:1-4; යෙසායා 44:24–45:7) මෙම යළි පිහිටුවීම, දේවමාළිගාව නැවත ගොඩනැඟීම සහ ඉන් අනතුරුව සිදු වූ දේවල් ගැන බයිබල් පොත්e කිහිපයකම විස්තර සැපයේ. ඉන් එකකි, දානියෙල්. මෙය විශේෂයෙන්ම සිත්ගන්නක්. මන්ද, වංශය නොහොත් මෙසියස් හරියටම පැමිණෙන්නේ කවදාද යන්න හා අපේ කාලයේ ලෝක සිදුවීම්ද එහි පුරෝකථනය කර ඇති නිසයි.
දේවමාළිගාව සෑහෙන කාලයකින් පසු නැවත ගොඩනැඟුවත්, යෙරුසලම ඉතා නින්දාසහගත තත්වයකයි පැවතුණේ. ඇගේ පවුරුද, දොරටුද ගරා වැටෙමින් තිබුණා. එමනිසා යුදෙව්වන්ව දිරිගන්වා සංවිධානය කිරීමට, යෙහෝවා නෙහෙමියා වැනි පුරුෂයන්ව පත් කළා. අපට නෙහෙමියා 9වන පරිච්ඡේදයෙහි කියවිය හැකි යාච්ඤාවක්, යෙහෝවා ඉශ්‍රායෙලිතයන් සමඟ කටයුතු කළ අන්දම මනාව කැටි කොට දක්වයි. යෙහෝවා “කමාවෙන්නාවූ, දයාබරවූ, අනුකම්පාවෙන් පූර්ණවූ, ඉවසිලිවන්තවූ [කෝපවීමට ප්‍රමාද වන, NW], කරුණාභරිතවූ දෙවිකෙනෙක්” බව එම යාච්ඤාවේ පෙන්නුම් කරනවා. එම යාච්ඤාවෙන් තවදුරටත් පැහැදිලි වන්නේ, යෙහෝවා තම යුක්තියේ පරිපූර්ණ ප්‍රමිතියට එකඟව ක්‍රියා කරන බවයි. විනිශ්චයක් ඉටු කරන්න තම බලය පෑමට හොඳ හේතු තිබියදීත්, යුක්තිය ප්‍රේමයෙන් මෘදු කිරීමට ඔහු සූදානම්ව සිටියි. ඔහු සමබර මෙන්ම අගය කළ හැකි ආකාරයකින් මෙසේ කරන බැවින්, ප්‍රඥාව අවශ්‍ය බව පැහැදිලියි. ඉශ්රායෙල් ජාතිය සමඟ මැවුම්කරු කටයුතු කළ ආකාරය අපව ඔහු වෙතට ළං කළ යුතු අතරම, ඔහුගේ කැමැත්ත කිරීමට උනන්දුවක් දැක්වීමට අප තුළ පෙලඹීමක් ඇති කළ යුතු බව හොඳින්ම පැහැදිලියි.
බයිබලයෙහි මෙම කොටස (පරණ ගිවිසුම) නිම වෙද්දී, යෙරුසලමෙහි දේවමාළිගාවක් සහිත යූදා රාජ්‍යය යළි පිහිටුවා හමාරයි. එනමුත් එසේ සිදුව ඇත්තේ මිථ්‍යාදෘෂ්ටික පාලනයක් යටතේය. එසේ නම්, දෙවි ‘සදාකාලයටම’ පාලනය කරන ‘වංශයක්’ පිළිබඳව දාවිත් සමඟ කළ ගිවිසුම ඉටු වන්නේ කෙසේද? (ගීතාවලිය 89:3, 4; 132:11, 12) දෙවිගේ ජනයාට නිදහස ලබා දී, මිහිපිට දිව්‍යාණ්ඩු (දෙවි පාලනය කරන) රාජ්‍යයක් පිහිටුවන ‘අධිපතියා වූ ආලේප ලත් තැනැත්තෙකුගේ’ අවතීර්ණ වීම යුදෙව්වන් ඒ වන විටත් අපේක්ෂා කරමිනුයි සිටියේ. (දානියෙල් 9:24, 25) කෙසේවෙතත්, යෙහෝවාගේ අරමුණව තිබුණේ එයද? එසේ නැත්නම්, පොරොන්දු වූ මෙසියස් ගැළවීමක් ලබා දෙනු ඇත්තේ කෙසේද? තවද මෙය අදදින අපට බලපාන්නේ කෙසේද? මෙම අතිවැදගත් වූ විෂයන් මීළඟ පරිච්ඡේදයෙහි සලකා බලනවා.
[පාදසටහන්වල]
a බයිබල් පොත්වල නම් තද අකුරින් දක්වා ඇත්තේ, ඒවායෙහි අඩංගු දෑ පිළිබඳ විස්තර පහසුවෙන් සොයාගැනීමට ආධාරකයක් ලෙසිනි.
b ඒවා නම්: 1 සාමුවෙල්, 2 සාමුවෙල්, 1 රාජාවලිය, 2 රාජාවලිය, 1 ලේකම් සහ 2 ලේකම්.
c ඔහු සාලමොන්ගේ ගීතිකාවද ලිව්වා. එය තරුණියක් සාමාන්‍ය එඬේරෙකු කෙරෙහි දැක්වූ ලැදියාව අවධාරණය කරන ප්‍රේම ගීතයක්.
d එවැනි දේවානුභාවය ලත් පණිවිඩ බයිබල් පොත් කිහිපයකම අඩංගුය. යෙසායා, යෙරෙමියා, විලාප ගී, එසකියෙල්, යෝවෙල්, මීකා, හබක්කුක්, ශෙපනියා මීට ඇතුළත්ය. ඔබදියා, යෝනා සහ නාහූම් යන පොත් දෙවිගේ සෙනඟට බලපාන අයුරින් කටයුතු කළ අවට ජාතීන් වෙතට යොමු කරනු ලැබුවා.
e ඉතිහාසය සහ අනාවැකි සහිත පොත්වලට එස්රා, නෙහෙමියා, එස්තර්, හග්ගයි, සෙකරියා සහ මලාකී ඇතුළත්ය.
[126, 127වන පිටුවේ කොටුව]
ප්රාතිහාර්යයන්—ඔබට ඒවා විශ්වාස කළ හැකිද?
“විදුලි ආලෝකය සහ ගුවන්විදුලිය භාවිත කරන, ඒ අතරම නූතන වෛද්‍ය සහ ශල්‍යකර්මීය සොයාගැනීම් උපයෝගි කරගන්නා අපට, අදෘශ්‍යමාන ජීවීන් සහ ප්රාතිහාර්යයන්ගෙන් යුත් නව ගිවිසුමේ ලෝකය විශ්වාස කිරීම අමාරුයි.” අදදින බොහෝදෙනෙකු ප්රාතිහාර්යයන් ගැන දරන මතය, ජර්මානු දේවධර්මාචාර්ය රූඩොල්ෆ් බූල්ට්මාන්ගේ එම වදන්වලින් පිළිබිඹු වෙනවා. දෙවි රතු මුහුද දෙබෑ කළ ආකාරය ආදි බයිබලයෙහි වාර්තා වී ඇති ප්රාතිහාර්යයන් ගැන ඔබටත් හැඟෙන්නේ එසේමද?
සංක්ෂිප්ත ඔක්ස්ෆඩ් ශබ්දකෝෂය (ඉංග්‍රීසියෙන්) “ප්රාතිහාර්යය” යන්න නිර්වචනය කරන්නේ, “අධිස්වාභාවික ප්‍රභවයක් හේතුවෙන් සිදු වන යම් අද්භූත සිද්ධියක්” ලෙසිනි. මෙවැනි අද්භූත සිද්ධියක් ස්වාභාවික පිළිවෙතට පටහැනිව දිවයන නිසා, ප්රාතිහාර්යයන් විශ්වාස කිරීමට බොහෝදෙනෙක් කැමැත්තක් දක්වන්නේ නැහැ. කෙසේවෙතත්, ස්වාභාවික නීතියක් උල්ලංගනය කරන යම්කිසි දෙයක්, ස්වභාවධර්මයේ අදාළ වෙනත් නීති ඇසුරෙන් පහසුවෙන්ම පහදා දිය හැකියි.
නිදර්ශනයකට, ටෝකියෝ සරසවියේ භෞතිකඥයන් දෙදෙනෙක් යම් තරමකට ජලය පිරවූ තිරස් අතට තිබුණු නළයකට ඉතා ප්‍රබල චුම්බක ක්ෂේත්රයක් ඇති කළ බව නියූ සයන්ටිස්ට් සඟරාව වාර්තා කරයි. ජලය ක්ෂණිකව නළයේ කොන්වලට ඇදී ගියෙන්, නළයෙහි මැද ජලය තිබුණේ නැහැ. වර්ෂ 1994දී සොයාගත් මෙම සංසිද්ධිය ක්‍රියාත්මක වන්නේ, ජලය යම් දුරකට පාරචුම්බක, එනම් චුම්බකයන් විකර්ෂණය කරන ද්‍රව්‍යයක් වන නිසයි. ඉතා ප්‍රබල චුම්බක ක්ෂේත්රයක සිට වඩා අඩු චුම්බක ක්ෂේත්රයක් ඇති තැනකට ජලය ගමන් කිරීමේ මෙම ස්ථාපිත සංසිද්ධියට මෝසෙස් බලපෑම යන නම පටබැඳී තිබෙනවා. නියූ සයන්ටිස්ට් මෙසේ නිරීක්ෂණය කළා: “ඔබට අවශ්‍ය තරමේ චුම්බකයක් ඇත්නම්, ජලය එහා මෙහා ගෙනයෑම සුළු දෙයක්. තවද ඔබ එසේ කළොත්, ඔබට කරන්න බැරි දෙයක් නැති තරම්ය.”
කෙසේවෙතත්, ඉශ්රායෙල්වරුන් සඳහා රතු මුහුද දෙබෑ කරද්දී දෙවි උපයෝගි කරගත්තේ කුමන ක්රමයද කියා නිශ්චිතවම කිව නොහැකි බව පිළිගත යුත්තකි. එනමුත් ස්වභාවධර්මයාගේ සෑම නීතියක් ගැනම මැවුම්කරුට ඇත්තේ හසළ දැනුමක්. තමා සම්පාදනය කළ එක් නීතියක් යොදාගෙන, තවත් නීතියක ඇතැම් අංග පාලනය කිරීම ඔහුට හරිම පහසු කාර්යයක්. විශේෂයෙන් අදාළ නීති මිනිසාට සම්පූර්ණයෙන් තේරුම්ගන්න බැරි වන විට, එහි ප්‍රතිඵලය ඔහුට ප්රාතිහාර්යයක් හා සමාන වෙයි.
කියෝටෝ සරසවියේ විශ්‍රාම ලත් විශාරද ආකිරා යාමාඩා බයිබලයෙහි ප්රාතිහාර්යයන් ගැන මෙසේ පවසයි: “යමෙක් සම්බන්ධ වී සිටින විද්‍යා ක්ෂේත්රයේ දෘෂ්ටිකෝණයට (හෝ පවතින විද්‍යා දැනුමට) අනුව [ප්රාතිහාර්යයක්] දැනට තේරුම්ගත නොහැකි බව පැවසීම නිවැරදි වුවද, උසස් නූතන භෞතික විද්‍යාවෙන් හෝ උසස් නූතන බයිබල් ගවේෂණයෙන් දැනගත් දේ පදනම් කරගෙන එය සිදු වූයේ නැතැයි නිගමනය කිරීම වැරදිය. තව අවුරුදු දහයකින්, අදදින නූතනයයි සැලකෙන විද්‍යාව, අතීතයට අයත් විද්‍යාවක් බවට පත් වෙයි. විද්‍යාව වඩ වඩා වේගයෙන් දියුණු වන්න දියුණු වන්න, ‘අවුරුදු දහයකට පෙර සිටි විද්‍යාඥයන් මෙන්න මේ වගේ දේවල් විශ්වාස කළා’ යන විහිළුවලට ලක්වීමේ ඉඩ කඩ වැඩි වෙයි.”—විද්‍යා යුගයට පිවිසුණු දෙවියන්, ඉංග්‍රීසියෙන්.
ස්වභාවධර්මයේ නීති සියල්ලම සම්බන්ධීකරණය කිරීමේ හැකියාව සතු මැවුම්කරු වශයෙන්, ප්රාතිහාර්යයන් සිදු කිරීමට තම බලය යොදාගන්න යෙහෝවාට පුළුවන්.
[132, 133වන පිටුවේ කොටුව]
ස්වකීය ගෞරවය රක්ෂා කරන දෙවිකෙනෙක්—කුමන අරුතින්ද?
‘ස්වයම් ගෞරව රක්ෂක නම් වූ යෙහෝවා ස්වකීය ගෞරවය රක්ෂා කරන්නාවූ දෙවිකෙනෙක්.’ නික්මයාම 34:14හි එම අදහස අපට කියවිය හැකියි. එනමුත් එහි ගැබ්ව ඇත්තේ කෙබඳු අරුතක්ද?
“ස්වයම් ගෞරව රක්ෂක” ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනයට “තනිභක්තිය තරයේ ඉල්ලා සිටින, එදිරිවාදිකමක් නොඉවසන” යන අරුත් ගැබ් වී තිබෙනවා. මෙය යෙහෝවාගේ මැවිල්ලට ඒකාන්ත ලෙස බලපායි. මන්ද, තම නාමය සහ නමස්කාරය සම්බන්ධයෙන් ඔහු තම ගෞරවය රකින බැවිනි. (එසකියෙල් 39:25, න.අ.) තම නාමයෙන් නියෝජනය වන දේ ඉටු කරගැනීමට ඔහු දක්වන ජ්වලිතය නිසා, මනුෂ්‍යවර්ගයා සඳහා ඔහුගේ අරමුණ ඉටු කරන බව සහතික විය හැකියි.
නිදසුනක් ලෙස, කානාන් දේශයෙහි වාසය කළ ජනතාව පිට ඔහු ගෙනා විනිශ්චය මොහොතකට සලකා බලන්න. එක් විශාරදයෙක් මෙම තැතිගන්වනසුලු විස්තරය ඉදිරිපත් කරයි: “බාල්, අෂ්ටාරොත් සහ වෙනත් කානානීය දෙවිවරුන්ගේ නමස්කාරයට බෙහෙවින් සීමාව ඉක්මවූ අසංවර උත්සව සම්බන්ධව තිබුණා. ඔවුන්ගේ දේවස්ථාන දුෂ්චරිතයේ මධ්‍යස්ථාන වුණා. . . . කානානිවරුන් නමස්කාර කළේ දුරාචාරයෙහි නියැලීමෙනි. . . . ඉන්පසුව ඔවුන් එම දෙවිවරුන්ටම පූජාවක් වශයෙන් ඔප්පු කිරීමට තම කුලුඳුල් දරු දැරියන්ව ඝාතනය කළා.” පූජා කළ දරුවන්ගේ මෘත ශරීර සමන්විත බඳුන් පුරාවිද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. ආබ්‍රහම්ගේ කාලයේදී පවා කානානිවරුන්ගේ අවකල් ක්‍රියා දෙවිගේ අවධානයට යොමු වුණත්, වෙනස් වීමට ඇති තරම් කාලයක් දෙමින්, ඔහු අවුරුදු 400ක් පුරා ඔවුන් සම්බන්ධයෙන් ඉවසිලිවන්තව කටයුතු කළා.—උත්පත්ති 15:16.
තම අවකල් ක්‍රියාවල බැරෑරුම්කම කානානිවරුන් තේරුම්ගත්තාද? සෑම මනුෂ්‍යයෙකුම සතු හෘදය සාක්ෂියක් ඔවුන්ටත් තිබුණා. එය, සදාචාරය සහ යුක්තිය පිළිබඳ හැඟීමක් සඳහා සර්වලෝක පදනමක් හැටියට නීතිවේදීන් පවා පිළිගන්නවා. (රෝම 2:13-16) ඒ වුණත්, කානානිවරුන් දිගටම දරුවන් පූජා කිරීමේ පිළිකුල්සහගත පිළිවෙත අනුගමනය කළ අතර, නීච ලිංගික ක්‍රියාවලද නිරත වුණා.
සමබර යුක්තියකින් ක්‍රියා කරන යෙහෝවා තීරණය කළේ දේශය පවිත්‍ර කළ යුතු බවයි. මෙය සමූලඝාතනයක් ලෙස සැලකිය නොහැකියි. දෙවිගේ උසස් ප්‍රමිතිවලට කැමැත්තෙන්ම අවනත වූ කානානිවරුන් පුද්ගලයන් වශයෙන් සහ සාමූහික වශයෙන් සිය දිවි රැකගත්තා. මීට නිදසුන් ලෙස රාහාබ් සහ ගිබියොන්වරුන්ව ගත හැකියි. (යෝෂුවා 6:25; 9:3-15) රාහාබ් මෙසියස් දක්වා විහිදී ගිය රාජකීය පෙළපතට සම්බන්ධ වූ අතර, යෙහෝවාගේ මාළිගාවේ සේවය කිරීමේ වරප්‍රසාදය ගිබියොන්වරුන්ට ලැබුණා.—යෝෂුවා 9:27; එස්රා 8:20; මතෙව් 1:1, 5-16.
මේ අනුව, සැබෑ කරුණු පදනම් කරගෙන, සම්පූර්ණ මෙන්ම පැහැදිලි පින්තූරය දැකගැනීමට යමෙක් උත්සාහ කරන විට, යෙහෝවා ප්‍රශංසනීය, යුක්තිසහගත සහ තම ඇදහිලිවන්ත මැවිලිවලට ප්‍රයෝජනයක් ගෙන දෙන අයුරින් නිසි ආකාරයකින් තම ගෞරවය රක්ෂා කරන කෙනෙක් බව දැකගැනීම පහසුයි.
[123වන පිටුවේ පින්තූරය]
මැවුම්කරු වහල් සෙනඟකට නිදහස දී, තම අරමුණ ඉටු කිරීමට ඔවුන්ව යොදාගත්තා
[129වන පිටුවේ පින්තූරය]
සීනයි කන්ද පාමුලදී පුරාණ ඉශ්රායෙල් ජාතිය මැවුම්කරු සමඟ ගිවිසගත් සබඳතාවක් ඇති කරගත්තා
[130වන පිටුවේ පින්තූරය]
මැවුම්කරුගේ අසමසම නීති රැකීම ඔහුගේ සෙනඟට උපකාර කළා පොරොන්දු දේශය උපරිම ලෙස භුක්ති විඳින්න
[136වන පිටුවේ පින්තූරය]
දාවිත් රජුගේ අගනුවර තිබූ යෙරුසලමේ පවුරට දකුණු දෙසින් පිහිටි ප්‍රදේශය ඔබට දැකිය හැකියි