පළමුවන පරිච්ඡේදය
දානියෙල් පොත සහ ඔබ
1, 2. (අ) බයිබලයේ දානියෙල් පොතේ ඉදිරිපත් කර ඇති අසාමාන්‍ය සිදුවීම් සමහරක් මොනවාද? (ආ) අපගේ වර්තමාන කාලවලදී, දානියෙල් පොත ගැන පැනනඟින්නේ කිනම් ප්‍රශ්නද?
බලවත් රජෙක් තමාව ව්‍යාකූල කළ සිහිනය හෙළි කර තෝරා දීමට නොහැකි වීම නිසා, තම ශාස්ත්‍රවන්තයන්ව මරා දමන බවට තර්ජනය කරයි. තරුණ පුරුෂයන් තිදෙනෙක් දැවැන්ත රූපයකට නමස්කාර කිරීම ප්‍රතික්ෂේප කරන නිසා, උෂ්ණාධික ගිනි උදුනකට හෙළුවත්, ඔවුන් එයින් ගැළවෙයි. මංගල්‍ය උත්සවයක් මැද, මාළිගාවේ බිත්තිය මත අභිරහස් වචන ලියන අතක් දෙස, සිය ගණනකගේ නෙත ගැටෙයි. දුෂ්ට කුමන්ත්‍රණකරුවන් වයසක මිනිසෙකුව සිංහ ගුහාවකට දැමුවත්, කිසිම සීරීමක් නැතුව ඔහු ගොඩ එයි. දෙවිගේ අනාගතවක්තෘවරයෙක් මෘගයන් සතරදෙනෙකු පිළිබඳ දර්ශනයක් දකින අතර, ඒවායෙහි අදාළත්වය අනාගතයේ අවුරුදු දහස් ගණනක් වෙත ඇදී යයි.
2 මේවා බයිබලයේ දානියෙල් පොතෙන් සොයාගත හැකි සිදුවීම් කිහිපයක් පමණයි. ඒවා බැරෑරුම් ලෙස සැලකිල්ලට භාජන කිරීම වටිනවාද? යුග ගණනාවක් පැරණි මේ පොතෙහි අපේ කාලයට ඇති අදාළත්වය කුමක් විය හැකිද? දැනට අවුරුදු 2,600කට පමණ ඉහතදී වූ සිදුවීම් ගැන අප සැලකිලිමත් විය යුත්තේ මන්ද?
දානියෙල්—වර්තමානය සඳහා ලියැවුණු පැරණි පොතක්
3, 4. මනුෂ්‍යවර්ගයාගේ අනාගතය ගැන බොහෝදෙනෙක් සාධාරණ ලෙස සැලකිලිමත් වන්නේ මන්ද?
3 සියල්ලටම වඩා අදදින වැඩි සැලකිල්ලට භාජන වී ඇති විෂයක් වන ලෝක පාලනතන්ත්‍රය නමැති තේමාවට දානියෙල් පොත වැඩි අවධානයක් යොමු කරනවා. අප ජීවත් වන්නේ දුෂ්කර කාලවල බවට, සැමදෙනාම පාහේ එකඟ වෙනවා. විද්‍යාව සහ තාක්ෂණය විශිෂ්ට ජයග්‍රහණ අත් කරගෙන තිබුණත්, මිනිස් සමාජය අවුල්සහගත ගැටලුවලින් පිරුණු මඩ වගුරක එරෙමින් සිටින බව අඟවන පුවත් වාර්තා අපේ අඳුරු මතකයන් දිනපතාම අලුත් කරවනවා.
4 මේ ගැන සලකා බලන්න. මිනිසා සඳ මත පා තබා තිබුණත්, භයක් සැකක් නැතුව මිහිතලයේ බොහෝ තැන්වල ඇවිදීමට පුළුවන්කමක් ඔහුට නැහැ. නානාප්‍රකාර නවීන ආම්පන්නවලින් තම නිවස පිරවීමට ඔහුට හැකි වුණත්, පවුල බිඳීයෑමේ තර්ජනය හමුවේ කෙළින් සිටීමට ඔහුට බැහැ. තොරතුරු යුගය දියත් කිරීමට ඔහුට හැකි වුණත්, සමාදානයෙන් එකට ජීවත් වීමට ජනයාට උගන්වන්න ඔහුට හැකි වී නැහැ. ඉතිහාසය පිළිබඳ මහාචාර්ය හියු ටොමස් වරක් මෙසේ ලිව්වා: “දැනුමේ හා අධ්‍යාපනයේ ව්‍යාප්තිය, ආත්ම දමනය ගැන මනුෂ්‍යවර්ගයාට උගන්වා ඇත්තේ අල්ප වශයෙනි. එමෙන්ම එකිනෙකා සමඟ හොඳින් පෑහී සිටීමේ කලාව ගැන උගන්වා තිබෙන්නේ ඊටත් වඩා අල්ප වශයෙනි.”
5. වැඩි වශයෙන් ගත් කල, මිනිස් පාලනතන්ත්‍රයේ ප්‍රතිඵලය වී ඇත්තේ කුමක්ද?
5 සමාජය තුළ යම් පිළිවෙළක් පිහිටුවීම සඳහා ගත් ප්‍රයත්නයක් හැටියට, මිනිසුන් විසින් විවිධාකාර ආණ්ඩුක්‍රම අත්හදා බලා තිබෙනවා. කෙසේවෙතත්, “මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩුකරන” බවට සාලමොන් රජ කළ නිරීක්ෂණයෙහි සත්‍යතාවෙන් මිදීමට කිසිවෙකුට හැකි වී නැහැ. (දේශනාකාරයා 4:1; 8:9) සමහර පාලකයන්ට උතුම් අභිලාෂයන් තිබී ඇති බව අමුතුවෙන් කිව යුතු නැති වුණත්, රෝග සහ මරණය මුලිනුපුටා දැමීමට කිසිම රජෙකුට, ජනාධිපතිවරයෙකුට හෝ ඒකාධිපතියෙකුට හැකියාවක් නැහැ. දෙවි අරමුණු කළ ආකාරයට අපේ පොළොව පාරාදීසයක් බවට පත් කරන්න කිසිම කෙනෙකුට බැහැ.
6. තම කැමැත්ත ඉටු කිරීමට, මිනිස් පාලනතන්ත්‍රයේ සහයෝගය යෙහෝවාට අවශ්‍ය නොවන්නේ මන්ද?
6 එහෙත්, එවැනි දෙයක් කිරීමට මැවුම්කරු කැමැත්තෙන් සිටිනවා පමණක් නොව, එසේ කිරීමට ඔහුට හැකියාවද තිබෙනවා. ඔහු විසින් ‘ජාතීන්ව කළයකින් වැටෙන දිය බින්දුවක් මෙන්ද තුලාවෙහි ධූලි මෙන්ද ගණන්ගනු ලබන’ නිසා, ඔහුට තම අරමුණ ඉටු කරගන්න මිනිස් ආණ්ඩුවලින් අවසර ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. (යෙසායා 40:15) ඔව්, යෙහෝවා මුළු විශ්වයේම පරමාධිපති පාලකයා වන නිසා, මිනිස් ආණ්ඩුක්‍රමවලට වඩා විශාල අධිකාරයක් ඔහු සතුයි. මනුෂ්‍යවර්ගයාගේ සදාකාලික ආශීර්වාදය උදෙසා මිනිස් ආණ්ඩුක්‍රම වෙනුවට බලයට පත් වන්නේ, දෙවිගේ ආණ්ඩුවයි. බයිබලයේ දානියෙල් පොතේ තරම් මේ බව පැහැදිලි කරන වෙන තැනක් සොයාගන්න ලැබෙන එකක් නැහැ.
දානියෙල්—දෙවිගේ ඉමහත් ප්‍රේමය ලැබූ කෙනෙක්
7. දානියෙල් කවරෙකු වීද? එමෙන්ම, යෙහෝවා ඔහුව සැලකුවේ කෙසේද?
7 යෙහෝවා දෙවි තම අනාගතවක්තෘ ලෙස සේවය කළ දානියෙල් කෙරෙහි ඉමහත් සෙනෙහසක් දැක්වුවා. ඇත්තෙන්ම, දෙවිගේ දූතයා ඔහුව විස්තර කළේ, “ඉතා ප්‍රියමනාප කෙනෙක්” හැටියටයි. (දානියෙල් 9:23, NW) “ඉතා ප්‍රියමනාප කෙනෙක්” ලෙස පරිවර්තනය කර ඇති මුල් හෙබ්‍රෙව් වචනයෙන්, “ඉමහත් ප්‍රේමය ලැබූ,” “ඉතා උසස් කොට සැලකූ” හෝ “ප්‍රියතම කෙනෙක්” යන්න පවා අදහස් විය හැකියි. දානියෙල් දෙවිගේ ඇස් හමුයෙහි විශේෂයෙන්ම අනර්ඝ කෙනෙක් වුණා.
8. දානියෙල් බබිලෝනියට පැමිණියේ කෙසේද?
8 මේ ප්‍රේමනීය අනාගතවක්තෘවරයා පිළිබඳ අද්විතීය තොරතුරු අපි කෙටියෙන් සලකා බලමු. පොදු යුගයට පෙර 618දී, බබිලෝනියේ නෙබුකද්නෙශර් රජු යෙරුසලම වැටලුවා. (දානියෙල් 1:1) ඉන් ටික කලකට පසු, දැනඋගත් යුදෙව් තරුණයන්ව, බබිලෝනියේ වහල්භාවයට බලෙන් ගෙන යනු ලැබුවා. ඔවුන් අතර දානියෙල්ද සිටියා. ඒ වකවානුවේදී, ඔහු නහඹරවියේ පසු වෙන්න ඇති.
9. දානියෙල්ටත් ඔහුගේ හෙබ්‍රෙව් මිත්‍රයන්ටත් ලබා දුන්නේ කිනම් පුහුණුවක්ද?
9 “කල්දිවරුන්ගේ අකුරුත් භාෂාවත්” ඉගෙනගැනීමේ අවුරුදු තුනක පුහුණුව සඳහා තෝරාගත් හෙබ්‍රෙව්වන් අතර, දානියෙල්ද ඔහුගේ මිත්‍රයන් තිදෙනා වන හනනියාද මීෂායෙල්ද අසරියාද සිටියා. (දානියෙල් 1:3, 4) මෙය හුදෙක් භාෂා පාඨමාලාවකට වඩා වැඩි යමක් බව සමහර විශාරදයන් විස්තර කරනවා. උදාහරණයක් හැටියට, මහාචාර්ය සී. එෆ්. කයිල් සඳහන් කරන්නේ, “බබිලෝනීය පාසැල්වල ඉගැන්වූ කල්දීය පූජකයන්ගේ සහ උගතුන්ගේ ප්‍රඥාව ලැබීමට දානියෙල්ටත් ඔහුගේ මිත්‍රයන්ටත් නියම වී තිබුණා” කියායි. මෙසේ දානියෙල් සහ ඔහුගේ මිත්‍රයන්ව රාජ්‍ය සේවය සඳහා විශේෂයෙන්ම පුහුණු කර තිබුණා.
10, 11. දානියෙල් සහ ඔහුගේ මිත්‍රයන් මුහුණ දුන්නේ කිනම් අභියෝගවලටද? එමෙන්ම, යෙහෝවා ඔවුන්ට කළේ කිනම් උපකාරයද?
10 දානියෙල් සහ ඔහුගේ ආශ්‍රිතයන් අද්දැක්කේ මොනතරම් වෙනසක්ද! යුදයේදී, ඔවුන් යෙහෝවාගේ නමස්කාරකයන් සමඟ ජීවත් වුණා. දැන් ඔවුන්, මිථ්‍යා දෙවිදේවතාවුන් අදහන්නන්ට මැදිව සිටිනවා. එසේ වුණත්, තරුණ දානියෙල්, හනනියා, මීෂායෙල් සහ අසරියා ඊට භය වුණේ නැහැ. ඇදහිල්ලට අභියෝග කරන මේ තත්වය හමුවේ පවා සැබෑ නමස්කාරය තදින් අල්ලාගෙන සිටීමට ඔවුන් අධිෂ්ඨාන කරගත්තා.
11 නෙබුකද්නෙශර් රජ බබිලෝනියේ ප්‍රධාන දෙවියා වූ මාර්ඩුක්ගේ ජ්වලිත බැතිමතෙක්ව සිටින නිසා, මෙය පහසු දෙයක් වෙන්න යන්නේ නැහැ. රජ ඉල්ලා සිටි දේවල්, යෙහෝවාගේ නමස්කාරකයෙකුට කොහෙත්ම පිළිගැනීමට නොහැකි ආකාරයේ ඒවා වුණා. (උදාහරණයක් වශයෙන්, දානියෙල් 3:1-7 බලන්න.) එහෙත්, දානියෙල්ටත් ඔහුගේ මිත්‍රයන් තිදෙනාටත් යෙහෝවාගේ මඟ පෙන්වීම නොමඳව ලැබුණා. ඔවුන්ගේ තුන් අවුරුදු පුහුණුවේදී, “සියලු ආකාර ලියවිලි ගැනත් ශාස්ත්‍ර ගැනත් දැනගැන්මද ඥානයද” ලබා දීමෙන් දෙවි ඔවුන්ට ආශීර්වාද කළා. ඊට අමතරව, දර්ශන සහ සිහිනවල අර්ථය තේරුම්ගැනීමේ හැකියාව දානියෙල්ට දානය කෙරුණා. පසුව, මේ තරුණ පුරුෂයන් සතරදෙනාව පරීක්ෂණයට ලක් කළ විට, “තමාගේ මුළු රාජ්‍යයෙහි සිටි සියලු මන්ත්‍රකාරයන්ටත් අනවිනකාරයන්ටත් වඩා ඔවුන් දස ගුණයක් සමර්ථ” බව රජුට පෙනී ගියා.—දානියෙල් 1:17, 20.
දෙවිගේ පණිවිඩ ප්‍රචාරය කරමින්
12. දානියෙල්ට තිබූ විශේෂ පැවරුම කුමක්ද?
12 බබිලෝනියේ ඔහු ගත කළ අවුරුදු ගණනාව පුරා, නෙබුකද්නෙශර් සහ බේල්ෂශර් වැනි රජවරුන් උදෙසා දෙවිගේ පණිවිඩකරුවා ලෙස දානියෙල් සේවය කළා. දානියෙල්ගේ පැවරුම තීරණාත්මක එකක් වුණා. යෙහෝවා තම අතකොළුව හැටියට නෙබුකද්නෙශර්ව පාවිච්චි කරමින්, යෙරුසලම විනාශ කිරීමට ඔහුට ඉඩහැරියා. කාලයාගේ ඇවෑමෙන්, බබිලෝනියද විනාශ වීමට නියමිතව තිබුණා. සැබවින්ම, දානියෙල් පොත, මහෝත්තමයා මෙන්ම “මනුෂ්‍යයන්ගේ රාජ්‍යය” කෙරෙහි බලය පවත්වන්නා හැටියට යෙහෝවා දෙවිව මහිමවත් කරනවා.—දානියෙල් 4:17.
13, 14. බබිලෝනියේ වැටීමෙන් පසු, දානියෙල්ට සිදු වූයේ කුමක්ද?
13 බබිලෝනියේ වැටීම දක්වා, දශක හතක පමණ කාලයක් දානියෙල් රජ වාසලෙහි දිගින් දිගටම සේවය කළා. පොදු යුගයට පෙර 537දී, බොහෝ යුදෙව්වන් තම නිජබිමට නැවත යෑම සියැසින් දුටුවත්, ඔහු ඔවුන් සමඟ එහි ගිය බවට බයිබලය සඳහන් කරන්නේ නැහැ. අඩුම තරමින් ඔහු, පර්සියානු අධිරාජ්‍යයේ ප්‍රාරම්භකයා වූ කෝරෙෂ් රජුගේ පාලනයේ තුන්වන අවුරුද්ද දක්වාවත් ඉතා ක්‍රියාශීලීව සිටියා. ඒ වන විට, ඔහුගේ වයස අවුරුදු 100කට කිට්ටු වෙන්න ඇති!
14 බබිලෝනියේ වැටීමෙන් පසු, දානියෙල් තම ජීවිතයේ වඩාත්ම කැපීපෙනුණු සිදුවීම් ලිව්වා. මෙම ලේඛනය දැන් ශුද්ධ වූ බයිබලයේ විශිෂ්ට කොටසක් වන අතර, එය දානියෙල් පොත වශයෙන් හඳුන්වනු ලබනවා. එහෙත්, මේ පැරණි පොතට අප අවධානය දිය යුත්තේ ඇයි?
අංග දෙකයි, එක පණිවිඩයයි
15. (අ) බයිබලයේ දානියෙල් පොත කිනම් අංග දෙකෙන් සමන්විතද? (ආ) දානියෙල්හි වෘත්තාන්තමය කොටස අපට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?
15 දානියෙල්ගේ මේ අද්විතීය පොත එකිනෙකට වෙනස් වූ අංග දෙකකින් යුක්තයි. එකක් වෘත්තාන්තමය වන අතර අනික අනාවැකිමය වෙයි. අපගේ ඇදහිල්ල ගොඩනැංවීමට දානියෙල් පොතේ මේ අංග දෙකටම හැකියි. ඒ කෙසේද? බයිබලයෙහි වඩාත්ම හැඟීම් දනවන ජීවමාන වාර්තාවන් අතරෙහිලා ගණන් ගැනෙන මේ වෘත්තාන්තමය කොටස්, යෙහෝවා දෙවි කෙරෙහි තම අඛණ්ඩතාව දිගටම පවත්වන අයට ඔහු ආශීර්වාද කර, ඔවුන්ව රැකබලා ගන්න බව අපට කියා දෙන නිසායි. ජීවිතයේ තර්ජනාත්මක පරීක්ෂණ හමුවේ පවා දානියෙල් සහ ඔහුගේ මිත්‍රයන් තිදෙනා නොසැලී සිටියා. අදදිනත්, යෙහෝවාට පක්ෂපාතව සිටීමට කැමති සියලුදෙනාම, ඔවුන්ගේ ආදර්ශය සමීප ලෙස සලකා බැලීම මගින් ශක්තිමත් වේවි.
16. දානියෙල්හි අනාවැකිමය කොටස්වලින් අප ඉගෙනගන්නේ කිනම් පාඩමද?
16 ඉතිහාසයේ ගමන් මඟ අවුරුදු සියගණනකට නොව, දහස්ගණනකට පෙරාතුව පවා යෙහෝවා දැන සිටින බව පෙන්වීම මගින් දානියෙල්හි අනාවැකිමය කොටස අපගේ ඇදහිල්ල ශක්තිමත් කරනවා. උදාහරණයක් හැටියට, පුරාණ බබිලෝනීය යුගයේ සිට “අන්තිම කාලය” දක්වාම පැවත ඇති ලෝක අධිරාජ්‍යයන්ගේ නැඟීම සහ වැටීම ගැන දානියෙල් සවිස්තර තොරතුරු සපයනවා. (දානියෙල් 12:4) දෙවි තම පත් කළ රජ සහ ඔහුගේ ආශ්‍රිතයන් වන “ශුද්ධවන්තයන්” අතට භාර දී ඇති සදාකාලයටම පවතින දේවරාජ්‍යය වෙතට දානියෙල් අපගේ අවධානය යොමු කරවනවා. මේ ආණ්ඩුව අපගේ පෘථිවිය සඳහා වූ යෙහෝවාගේ අරමුණ මුළුමනින්ම ඉෂ්ට කර, දෙවිට සේවය කිරීමට කැමති සියලුදෙනාටම ආශීර්වාද ගෙනෙනවා.—දානියෙල් 2:44, 45; 7:13, 14, 22.
17, 18. (අ) දානියෙල් පොත සමීපව පරීක්ෂා කිරීමෙන් අපගේ ඇදහිල්ල ශක්තිමත් වන්නේ කෙසේද? (ආ) බයිබලයේ මෙම අනාවැකිමය පොත පිළිබඳ අධ්‍යයනයකට මුලපුරන්න කලින්, කිනම් කාරණයට අප අවධානය යොමු කළ යුතුද?
17 අනාගත සිදුවීම් ගැන දැනුම යෙහෝවා තමන්ටම තබාගෙන නොසිටීම ගැන අප ඔහුට ස්තුතිපූර්වක විය යුතුයි. ඒ වෙනුවට, ‘රහස් එළිදරව් කරන්නා’ ඔහුයි. (දානියෙල් 2:28) බයිබලයේ දානියෙල් පොතේ වාර්තා වී ඇති අනාවැකිවල ඉටුවීම අප සලකා බැලීමත් සමඟම, දෙවිගේ පොරොන්දු කෙරෙහි අපගේ ඇදහිල්ල ශක්තිමත් වෙයි. එමෙන්ම දෙවි තම අරමුණ නියමිත වේලාවට සහ ඔහු විසින් තෝරාගත් ඉතා නිවැරදි ක්‍රමයට ඉටු කරන බව අපට තව තවත් ස්ථිර වෙන්න යනවා.
18 බයිබලයේ දානියෙල් පොත විවෘත හෘදයකින් අධ්‍යයනය කරන සියලුදෙනාම ඇදහිල්ලෙහි වර්ධනය වෙන්න යනවා. කෙසේවෙතත්, මේ පොත පිළිබඳ ගැඹුරු පරීක්ෂණයක් කිරීමට මුලපුරන්න කලින්, මෙය සැබවින්ම විශ්වාසවන්තද නැද්ද යන්නට සාක්ෂි සලකා බැලිය යුතුය. එහි අනාවැකි ඇත්තෙන්ම ලියනු ලැබුවේ ඒවා ඉටුවීමෙන් පසුව බව කියමින්, සමහර විවේචකයන් දානියෙල් පොතට පහර එල්ල කර තිබෙනවා. වපර ඇසින් බලන ඔවුන්ගේ කියමන් යුක්තිසහගතද? මීළඟ පරිච්ඡේදය මේ කාරණය වෙත අවධානය යොමු කරනවා.
ඔබ වටහාගත්තේ කුමක්ද?
• දානියෙල් පොත වර්තමානය සඳහා ලියැවුණු පොතක් වන්නේ මන්ද?
• දානියෙල් සහ ඔහුගේ මිත්‍රයන් තිදෙනා බබිලෝනීය රාජ්‍ය සේවයට සම්බන්ධ වූයේ කෙසේද?
• බබිලෝනියේදී, දානියෙල්ගේ විශේෂ පැවරුම කුමක් වීද?
• දානියෙල්ගේ අනාවැකියට අප අවධානය යොමු කළ යුත්තේ මන්ද?
[4වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]
[11වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]