ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • dp 5 පරි. 68-81 පි.
  • ගින්නට නොදැවුණු ඔවුන්ගේ ඇදහිල්ල

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගින්නට නොදැවුණු ඔවුන්ගේ ඇදහිල්ල
  • දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • තර්ජනයක් එල්ල කරන රන් රූපයක්
  • පාවා දීම ප්‍රතික්ෂේප කළ යෙහෝවාගේ සේවකයන්
  • ගිනි උදුනට
  • අදදින ඇදහිල්ලට එල්ල වන තර්ජන
  • ඔයා නමස්කාර කරන දෙවි කවුද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • ඒගොල්ලෝ වඳින්නෙම නැහැ
    මගේ බයිබල් කතන්දර පොත
  • එයාලා රූපයට වැන්දේ නැහැ
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ‘අපේ දෙවිට අපව මුදාගන්ට පුළුවන්’
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
dp 5 පරි. 68-81 පි.

පස්වන පරිච්ඡේදය

ගින්නට නොදැවුණු ඔවුන්ගේ ඇදහිල්ල

1. දෙවි සහ තම මව් බිම කෙරෙහි දක්වන භක්තිය ගැන බොහෝදෙනෙකුට හැඟෙන්නේ කෙසේද?

ඔබේ භක්තිය පිදිය යුත්තේ දෙවිටද, නැත්නම් ඔබ ජීවත් වන රටටද? ‘මම දෙකටම ගරුබුහුමන් කරනවා. මම මගේ ආගමේ කියන විදිහට දෙවිට නමස්කාර කරනවා. ඒ වගේම, මම මගේ මව් බිමටත් භක්තිය පුදනවා’ කියා බොහෝදෙනෙක් කියා සිටියි.

2. බබිලෝනියේ රජ, ආගමික මෙන්ම දේශපාලනික වශයෙන් වැදගත් කාර්යයක් ඉටු කළේ කෙසේද?

2 අදදින ආගමික භක්තිය සහ දේශානුරාගය අතර පැහැදිලි වෙනසක් නැහැ. පුරාණ බබිලෝනියේ එවැනි වෙනසක් තිබුණේම නැහැ. ඇත්තෙන්ම, අභ්‍යන්තර කටයුතු සහ පරිශුද්ධ දේවල් කොතරම් තදින් අත්වැල් බැඳගෙන තිබුණාද කිව්වොත්, ඇතැම් අවස්ථාවලදී ඒවා පැහැදිලිව හඳුනාගත නොහැකි වුණා. මහාචාර්ය චාල්ස් එෆ්. ෆයිෆර් ලිව්වේ, “පුරාණ බබිලෝනියේ රජ උත්තම පූජකයා සහ පාලකයා ලෙස සේවය කළා. ඔහු පුද පූජා පැවැත්වූ අතර, තම යටත්වැසියන් ඔවුන්ගේ ආගමික ජීවිතය ගත කළ යුතු ආකාරය ගැන නීති පැනෙව්වා” කියායි.

3. නෙබුකද්නෙශර් ඉතාමත් ධාර්මික මිනිසෙක් බව පෙන්වන්නේ කුමකින්ද?

3 නෙබුකද්නෙශර් රජ ගැන සලකා බලන්න. ඔහුගේ නමේ අර්ථය, “අහෝ නෙබෝ, රජකමේ හිමිකරුවාව රකින්න!” යන්නයි. නෙබෝ වනාහි, ප්‍රඥාවට සහ කෘෂිකර්මයට අධිපති බබිලෝනීය දෙවියි. නෙබුකද්නෙශර් ඉතාමත් ධාර්මික පුද්ගලයෙක් වුණා. කලින් සඳහන් කළ ආකාරයට, ඔහු බොහෝ දෙවි දේවතාවුන්ට දේවාල ඉදි කර ඒවා අලංකාර කළා. තම යුධ ජයග්‍රහණයන් සඳහා ගෞරවය මුළුමනින්ම පුද කළ මාර්ඩුක්ට ඔහු විශේෂයෙන්ම ණයගැති වුණා.a ඔහුගේ යුධ මෙහෙයුම් සැලසුම් කිරීමේදී පේන කීම් මත දැඩි ලෙස රැඳී සිටි බවද පෙනෙනවා.—එසකියෙල් 21:18-23.

4. බබිලෝනියේ ආගමික ස්වභාවය විස්තර කරන්න.

4 ඇත්තෙන්ම, බබිලෝනිය පුරාම ආගමික වාතාවරණයක් පැතිර තිබුණා. විවිධාකාර දෙවි දේවතාවන්ට නමස්කාර කිරීමට ඉදි කර තිබූ දේවාල 50කට අධික සංඛ්‍යාව හේතුවෙන් නුවර ප්‍රසිද්ධ වුණා. අ’නූ (අහසට අධිපති දෙවියා), එන්ලිල් (පොළොව, වාතය සහ කුණාටුවට අධිපති දෙවියා) සහ ඉආ (ජලයට අධිපති දෙවියා) අයත් ත්‍රිත්වය මේ අතර වුණා. සින් (චන්ද්‍ර දෙවි), ෂමාෂ් (හිරු දෙවි) සහ ඉස්තාර් (සශ්‍රීකත්වයේ දේවතාවිය) යන දෙවිවරුන්ගෙන් තවත් ත්‍රිත්වයක් සෑදුණා. ඉන්ද්‍රජාලය, හූනියම් සහ ජ්‍යොතිෂය, බබිලෝනීය නමස්කාරයෙහි ප්‍රධාන තැනක් ගත්තා.

5. බබිලෝනියේ ආගමික වාතාවරණය, යුදෙව් වහලුන්ට එල්ල කළේ කිනම් අභියෝගයක්ද?

5 විවිධාකාර දෙවිවරුන්ට වන්දනාමාන කළ ජනයා අතර විසීම, යුදෙව් වහලුන්ට භයානක අභියෝගයක් වුණා. පරම නීතිදායකයාට විරුද්ධව කැරලිගැසීමට තෝරාගත්තොත්, අනතුරුදායක ප්‍රතිවිපාක අත් වන බව සියවස් කිහිපයකට පෙර මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ට අනතුරු අඟවා තිබුණා. “[යෙහෝවා] නුඹද නුඹ කෙරෙහි නුඹ පත්කරගන්න රජුද නුඹවත් නුඹේ පියවරුන්වත් දැන නොගත් ජාතියක් වෙතට [පමුණුවන්නේය]; එහිදී නුඹ ලීද ගල්ද වූ අන් දෙවිවරුන්ට සේවයකරන්නෙහිය” කියා මෝසෙස් ඔවුන්ට කිව්වා.—ද්විතීය කථාව 28:15, 36.

6. බබිලෝනියේ ජීවත් වීම දානියෙල්, හනනියා, මීෂායෙල් සහ අසරියාට විශේෂ අභියෝගයක් වූයේ මන්ද?

6 යුදෙව්වන් දැන් සිටින්නේ හරියටම එම අසීරු තත්වයේයි. යෙහෝවා කෙරෙහි තම අඛණ්ඩතාව පැවැත්වීම, දානියෙල්, හනනියා, මීෂායෙල් සහ අසරියාට විශේෂයෙන්ම දුෂ්කර වුණා. මේ යෞවන හෙබ්‍රෙව්වන් හතරදෙනාව, රාජ්‍ය සේවය සඳහා පුහුණු කිරීමට විශේෂයෙන්ම තෝරාගෙන තිබුණා. (දානියෙල් 1:3-5) බේල්ටෙෂශර්, ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝ යන බබිලෝනීය නම් ඔවුන්ට දමා තිබුණා මතකද? පෙනෙන විදිහට එසේ කළේ, ඔවුන්ව අලුත් පරිසරයට අනුව හැඩගැසීමට පොලඹවා ගැනීමේ අරමුණ ඇතුවයි.b ඔවුන් දේශයේ දෙවිවරුන්ට නමස්කාර කිරීම ප්‍රතික්ෂේප කළොත්, ඔවුන්ගේ ඉහළ පෙළේ තනතුරු නිසා එය සැමගේම අවධානයට ලක් වන අතර, එය රාජද්‍රෝහි වීමක්ද වෙනවා.

තර්ජනයක් එල්ල කරන රන් රූපයක්

7. (අ) නෙබුකද්නෙශර් පිහිටෙවූ රූපය විස්තර කරන්න. (ආ) රූපය පිහිටුවීමේ අරමුණ වූයේ කුමක්ද?

7 පෙනෙන විදිහට, තම අධිරාජ්‍යයේ එක්සත්භාවය ශක්තිමත් කිරීමේ අටියෙන්, නෙබුකද්නෙශර් දූරා සමභූමියෙහි රන් රූපයක් ඉදි කළා. එය උසින් රියන් 60ක්ද (මීටර් 27ක්) පළලින් රියන් 6ක්ද (මීටර් 2.7ක්) වුණා.c මේ රූපය හුදෙක් කණුවක් නැත්නම් කුලුනක් පමණක් කියා සමහරුන් විශ්වාස කරනවා. සමහරවිට එහි ඉතා ඉහළින් ප්‍රතිමා තලයක් පිහිටුවා, ඒ මත මිනිස් රූපයක ප්‍රතිමාවක්, සමහරවිට නෙබුකද්නෙශර්ව හෝ නෙබෝ දෙවිව නියෝජනය කරන විශාල මිනිස් රූපයක ප්‍රතිමාවක් තබා තිබෙන්න ඇති. එය කුමක් වුවත්, මේ විශාල ස්මාරකය, බබිලෝනීය අධිරාජ්‍යයේ සංකේතයක් වුණා. එහි අරමුණ වූයේ, සියල්ලන්ටම පෙනීමට සහ වැඳ නමස්කාර කිරීමට සැලැස්වීමයි.—දානියෙල් 3:1.

8. (අ) රූපයේ සමාරම්භක උළෙලට ආරාධනා කළේ කාටද? එමෙන්ම රැස්ව සිටි සියලුදෙනාම කළ යුතුව තිබුණේ කුමක්ද? (ආ) රූපයට වැඳ වැටීම ප්‍රතික්ෂේප කිරීමේ වරදට දඬුවම වූයේ කුමක්ද?

8 ඉන්පසු, නෙබුකද්නෙශර් සමාරම්භක උළෙලක් සූදානම් කර ඔහුගේ දිසාපතීන්ද, අධිපතීන්ද, ආණ්ඩුකාරයන්ද, විනිශ්චයකාරයන්ද, භාණ්ඩාගාරිකයන්ද, මන්ත්‍රීවරුන්ද, නීතිඥයන්ද, පළාත්වල සියලු මුලාදෑනීන්ද රැස් කෙරෙව්වා. රාජදූතයා කෑ ගසා මෙසේ කිව්වා: “ජනයෙනි, ජාතීනි, භාෂාවෙනි, හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය නුඹලාට ඇසෙන විට බිම වැටී, නෙබුකද්නෙශර් රජ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාරකරන්ට නුඹලාට අණකරනලද්දේය. බිම වැටී නමස්කාර නොකරන කවුරුනුමුත් එවේලෙහිම ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබන්නේය.”—දානියෙල් 3:2-6.

9. නෙබුකද්නෙශර් පිහිටෙවූ රූපයට වැඳ වැටීම කිනම් වැදගත්කමක් උසුලන්න ඇද්ද?

9 නෙබුකද්නෙශර් මේ මංගල්‍යය පැවැත්වූයේ, යුදෙව්වන් යෙහෝවාට දෙන නමස්කාරය පාවා දීමට ඔවුන්ට බල කරන අටියෙන්යයි සමහරුන් විශ්වාස කරනවා. මෙය විශ්වාස කළ නොහැක්කක් වන්නේ, පෙනෙන විදිහට ඊට ආරාධනා කර තිබුණේ, ආණ්ඩුවේ නිලධාරීන්ට පමණක් වීම නිසායි. මේ අනුව, එහි සිටි යුදෙව්වන් වූයේ ආණ්ඩුවේ යම් නිලයක් හෙබවූ අය පමණයි. මේ අනුව, රූපය ඉදිරියේ වැඳ වැටී නමස්කාර කිරීම, පාලක පංතියේ එක්සත්භාවය ශක්තිමත් කිරීමේ අරමුණෙන් සංවිධානය කළ මංගල්‍යයක් බවයි පෙනෙන්නේ. විශාරද ජෝන් එෆ්. වාල්වෝඩ් මෙසේ සඳහන් කළා: “නිලධාරීන් එසේ පෙනී සිටීමට සැලැස්වීම, එක අතකින් නෙබුකද්නෙශර්ගේ අධිරාජ්‍යයේ බලවත්කම පෙන්වූ අතර, අනිත් අතට, ඔවුන්ගේ මතයට අනුව, ලැබූ ජයග්‍රහණයන් පිටුපස සිටි දෙවිවරුන්ව පිළිගැනීමක් ලෙසද වැදගත්කමක් ඉසිලුවා.”

පාවා දීම ප්‍රතික්ෂේප කළ යෙහෝවාගේ සේවකයන්

10. නෙබුකද්නෙශර්ගේ අණට එකඟ වීම, යුදෙව් නොවූවන්ට ගැටලුවක් නොවූයේ මන්ද?

10 එහි පැමිණ සිටි අය, බොහෝ දෙවිවරුන්ට වැඳ නමස්කාර කළ අය වූ නිසා, නෙබුකද්නෙශර්ගේ රූපයට නමස්කාර කිරීම ඔවුන්ට එතරම් අසීරු දෙයක් වූයේ නැහැ. “රූපවලට නමස්කාර කිරීමට ඔවුන් පුරුදුව සිටි අතර, එක දෙවියෙකුට පමණක් නමස්කාර කිරීමෙන් ඔවුන් සෑහීමට පත් වූයේ නැහැ” කියා බයිබල් විශාරදයෙක් පැවසුවා. “දෙවිවරු බොහොමයක් සිටින බැවින්, වෙනත් ජාතියක හෝ රටක දෙවිකෙනෙකුට වැඳ නමස්කාර කිරීම වැරදි නැතැයි කියා රූප නමස්කාරකයන් අතර පැතිර තිබූ අදහසට මෙය එකඟ වූ” බව ඔහු තවදුරටත් පැවසුවා.

11. ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝ රූපය ඉදිරියේ වැඳ වැටීම ප්‍රතික්ෂේප කළේ මන්ද?

11 කෙසේවෙතත්, යුදෙව්වන්ට, එය වෙනස් යමක් වුණා. ඔවුන්ගේ දෙවි යෙහෝවා ඔවුන්ට මෙසේ අණ කර තිබුණා: “කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ සාදානොගනුව. ඊට නමස්කාර නොකරව. මක්නිසාද නුඹේ දෙවිවූ [යෙහෝවා] වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ . . . දෙවිකෙනෙක්ය.” (නික්මයාම 20:4-6) එමනිසා, තූර්ය රාවය ඇරඹුණු විට රැස්ව සිටි අය රූපය ඉදිරියේ වැඳ වැටුණු අතර, හෙබ්‍රෙව් යෞවනයන් තිදෙනා වන ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝ සිටගෙනම සිටියා.—දානියෙල් 3:7.

12. සමහර කල්දිවරුන් හෙබ්‍රෙව්වන් තිදෙනාට වරද තැබුවේ කුමක් සම්බන්ධයෙන්ද? එමෙන්ම, එසේ කළේ මන්ද?

12 හෙබ්‍රෙව් නිලධාරීන් තිදෙනා රූපයට නමස්කාර කිරීම ප්‍රතික්ෂේප කිරීම, සමහර කල්දිවරුන්ව කුපිත කළා. ඔවුන් වහාම රජු මුණගැසී “යුදෙව්වරුන්ට වරද [තැබුවා].”d හේතු විමසීමට ඔවුන් කිසි උනන්දුවක් දැක්වූයේ නැහැ. පක්ෂපාතී නොවීම සහ රාජද්‍රෝහි වීම ගැන යුදෙව්වන්ට දඬුවම් දීමට තිබූ කැමැත්ත නිසා වරද තැබූ අය කීවේ, “බබිලෝනි පළාතේ කාරණා කෙරෙහි ඔබ විසින් පත්කළ යුදෙව් මනුෂ්‍යයන් වන ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද [ඔබව] නොසලකති. ඔවුන් ඔබගේ දෙවිවරුන්ට සේවය කරන්නේවත් ඔබ විසින් පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාරකරන්නේවත් නැත” කියායි.—දානියෙල් 3:8-12.

13, 14. ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝ ගත් ක්‍රියාමාර්ගයට නෙබුකද්නෙශර් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

13 හෙබ්‍රෙව්වන් තිදෙනා තමාගේ අණට අකීකරු වීම නෙබුකද්නෙශර්ගේ බලාපොරොත්තු කොතරම් සුන් කරන්න ඇද්ද! ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝව බබිලෝනීය අධිරාජ්‍යයේ පක්ෂපාත පාක්ෂිකයන් බවට හරවාගැනීමට ඔහුට හැකි නොවූ බව එයින් පැහැදිලි වුණා. ඔහු ඔවුන්ව කල්දීය ප්‍රඥාවෙහි දැනුවත් කළා නොවේද? ඔහු ඔවුන්ගේ නම් පවා වෙනස් කළා. උදාර අධ්‍යාපනයක් ඔවුන්ට අලුත් නමස්කාර ක්‍රමයක් උගන්වයි කියා හෝ ඔවුන්ගේ නම් වෙනස් කිරීම ඔවුන්ගේ අනන්‍යතාව වෙනස් කරයි කියා නෙබුකද්නෙශර් සිතුවා නම්, ඔහුට සෑහෙන දුරට වැරදී තිබුණා. ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝ, දිගටම යෙහෝවාගේ පක්ෂපාත සේවකයන්ව සිටියා.

14 නෙබුකද්නෙශර් රජු මහත් සේ කුපිත වුණා. ඔහු වහාම ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝව ගෙනෙන්න අණ කළා. “එම්බා ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ, නුඹලා මාගේ දෙවිවරුන්ට සේවයනොකොට, මා විසින් පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර නොකර සිටින්නේ අදහසක් පිටද?” නෙබුකද්නෙශර් මේ වචන පැවසුවේ අදහාගැනීමට බැරි තරම් පුදුමයකින් බවට කිසිම සැකයක් නැහැ. ‘අකීකරු වුණොත්, දැඩි දඬුවමක් ක්‍රියාත්මක කරන්න නියමිතව තිබුණු එතරම්ම පැහැදිලි අණක්, මේ වගේ බුද්ධිමත් පුරුෂයන් තුන්දෙනෙක් නොසලකා හරින්නේ කොහොමද?’ කියා ඔහු සිතුවා විය හැකියි.—දානියෙල් 3:13, 14.

15, 16. නෙබුකද්නෙශර් හෙබ්‍රෙව්වන් තිදෙනාට කිනම් ප්‍රස්තාවක් විවෘත කළාද?

15 මේ හෙබ්‍රෙව්වන් තිදෙනාට තවත් අවස්ථාවක් ලබා දෙන්න නෙබුකද්නෙශර් කැමති වුණා. “ඉතින් නුඹලා සූදානම්ව සිට, හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය නුඹලාට ඇසෙන විට, බිම වැටී මා විසින් සාදා තිබෙන රූපයට නමස්කාර කළොත්, යහපති. නුමුත් නුඹලා නමස්කාර නොකළොත්, එකෙණෙහිම නුඹලා ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබනවා ඇත; එවිට මාගේ අත්වලින් නුඹලා ගළවන දෙවියෝ කවුද” කියා ඔහු කිව්වා.—දානියෙල් 3:15.

16 පෙනෙන විදිහට, (දානියෙල් දෙවන පරිච්ඡේදය වාර්තා කළ) සිහිනයෙන් දුටු රූපය පිළිබඳ පාඩම නෙබුකද්නෙශර්ගේ මනසේ සහ හෘදයේ වැඩි කලක් රැඳී තිබුණේ නැහැ. ‘සැබවින්ම නුඹලාගේ දෙවි දෙවිවරුන්ගේ දෙවිය, රජවරුන්ගේ ස්වාමීන්ය’ කියා දානියෙල්ට ඔහු විසින්ම කියූ දෙය ඔහුට අමතක වෙන්න ඇති. (දානියෙල් 2:47) තමා හෙබ්‍රෙව්වන්ට දෙන්න යන දඬුවමින් බේරාගන්න යෙහෝවාටවත් බැහැයි කියමින්, පෙනෙන විදිහට, නෙබුකද්නෙශර් දැන් සිටියේ යෙහෝවාට අභියෝග කරමින්.

17. රජ දුන් ප්‍රස්තාවට ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝ ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

17 ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝට කාරණය ගැන දෙවරක් සිතන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඔවුන් වහාම මෙසේ පිළිතුරු දුන්නා: “මේ ගැන ඔබට කිසි උත්තරයක් දෙන්ට අපට ඕනෑ නැත. ඇවිළෙන ගිනි උදුනෙන් ගළවන්ට නම් අප සේවයකරන අපේ [දෙවිට] පුළුවන; රජ්ජුරුවෙනි, [ඔහු] ඔබගේ අතින් අප [ගළවන්නේය]. එසේ නොකළත්, රජ්ජුරුවෙනි, ඔබගේ දෙවිවරුන්ට අප සේවයකරන්නේවත් ඔබ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාරකරන්නේවත් නැති බව ඔබ දැනගත මැනව.”—දානියෙල් 3:16-18.

ගිනි උදුනට

18, 19. හෙබ්‍රෙව්වන් තිදෙනාව ගිනි උදුනට දැමූ විට සිදු වූයේ කුමක්ද?

18 සාමාන්‍ය ප්‍රමාණයට වඩා හත් ගුණයකින් උදුන රත් කරන්න කියා කෝපයට පත් නෙබුකද්නෙශර් තම සේවකයන්ට අණ කළා. ඉන්පසු ඔහු, ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝව බැඳ, “ඇවිළෙන ගිනි උදුනට හෙළන්ට” ඇතැම් “බලවත් මනුෂ්‍යයන්ට” අණ කළා. සමහරවිට ඔවුන්ව ඉක්මනින් පිලිස්සී යෑම සඳහා මේ හෙබ්‍රෙව්වන්ව සාමාන්‍ය ඇඳුම් පිටින්ම ගින්නට වීසි කිරීමෙන් ඔවුන් රජුගේ අණ ක්‍රියාත්මක කළා. කෙසේවෙතත්, ගිනි දැල්වල සැර නිසා මියගියේ රජුගේ අනුචරයනුයි.—දානියෙල් 3:19-22.

19 එහෙත්, අසාමාන්‍ය දෙයක් සිදු වෙමින් තිබුණා. ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝ ඇවිළෙන ගිනි උදුන මැද සිටියත්, ගිනි දැල්වලට ඔවුන් පිලිස්සුණේ නැහැ. නෙබුකද්නෙශර් කොතරම් පුදුම වන්න ඇද්දැයි කියා නිකමට සිතා බලන්න! ඔවුන්ව තදින් බැඳ බුර බුරා නැඟෙන ගින්න මැදට හෙළුවත්, ඔවුන් තවමත් ජීවතුන් අතර. ඒ මදිවට ඔවුන් ගින්න මැද එහාට මෙහාට ඇවිදිමින් සිටියා! එහෙත්, නෙබුකද්නෙශර් තවත් දෙයක් දැක්කා. “අප විසින් මනුෂ්‍යයන් තුන්දෙනෙකු බැඳ ගින්නට හෙළුවා නොවේද” කියා ඔහු රජ වාසලේ උසස් නිලධාරීන්ගෙන් ඇසුවා. ඔවුන්ද “එසේය, රජ්ජුරුවෙනි” යයි පිළිතුරු දුන්නා. “අන්න, මනුෂ්‍යයන් සතර දෙනෙක් නිදහස්ව, කිසි උපද්‍රවයක් නැතුව, ගින්න මැද ඇවිදිනවා මට පෙනෙයි; සතරවෙනියාගේ පෙනීම වනාහි දෙවියන්ගේ පුත්‍රයෙකුට සමානයයි” ඔහු මොරගැසුවා.—දානියෙල් 3:23-25.

20, 21. (අ) ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝ උදුනෙන් එළියට පැමිණි විට, නෙබුකද්නෙශර් දුටුවේ කුමක්ද? (ආ) නෙබුකද්නෙශර්ට පිළිගන්න සිද්ධ වුණේ කුමක්ද?

20 නෙබුකද්නෙශර් ගිනි උදුනේ දොරකඩට ළංවී, “මහෝත්තම [දෙවිගේ] මෙහෙකරුවන් වන ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ, පිටතට එන්න” කියා පැවසුවා. හෙබ්‍රෙව්වන් තිදෙනා ගින්න මැදින් පිටතට පැමිණියා. මේ ආශ්චර්යය ඇසින් දුටු දිසාපතීන්, අධිපතීන්, ආණ්ඩුකාරයන් සහ උසස් නිලධාරීන් ඇතුළු සියලුදෙනා අන්දුන් කුන්දුන් වූ බවට කිසිම සැකයක් නැහැ. ඔවුන්ට පිලිස්සුණු ගඳ වැදිලාවත්, ඔවුන්ගේ හිසකේ පිලිස්සී තිබුණේවත් නැහැ. ඒක හරියට මේ තරුණ පුරුෂයන්ව ගින්නට කොහෙත්ම හෙළුවේ නැති ගානයි!—දානියෙල් 3:26, 27.

21 යෙහෝවා මහෝත්තම දෙවි බව පිළිගැනීමට, මේ සිද්ධිය නෙබුකද්නෙශර් රජුට බල කර තිබුණා. ‘ෂද්‍රක්ගේද මේෂක්ගේද අබේද්-නෙගෝගේද දෙවිට ප්‍රශංසා වේවා; මක්නිසාද ඔහු ස්වකීය දූතයා එවා, තමන් කෙරෙහි විශ්වාස කළාවූ, තමුන්ගේම දෙවිට මිස වෙන කිසි දෙවිකෙනෙකුට සේවය කරන්ටවත් නමස්කාර කරන්ටවත් නොයෙදෙන පිණිස, රජුගේ වචනය කඩ කර තමුන්ගේ ශරීර භාර දුන්නාවූ, ස්වකීය මෙහෙකරුවන් ගැළෙව්වේය’ කියා ඔහු ප්‍රකාශ කළා. ඉන්පසු රජු මේ වෙනස් නොවන අනතුරු ඇඟවීමද කළා. ඔහු කීවේ, “ෂද්‍රක්ගේද මේෂක්ගේද අබේද්-නෙගෝගේද [දෙවිට] විරුද්ධව දෝෂ කියන සියලු සෙනගද ජාතීන්ද භාෂාවන්ද කැබෙලිකොට, ඔවුන්ගේ ගෙවල් කසළගොඩක් කරන හැටියට නියමයක් කරමි. මක්නිසාද මේ ආකාරයෙන් ගළවාගන්ට පුළුවන්වූ වෙන දෙවිකෙනෙක් නැත” කියායි. ඊට අමතරව, හෙබ්‍රෙව්වන් තිදෙනාව රාජ්‍ය අනුග්‍රහය ඇතුව “බබිලෝනි පළාතෙහි උත්තමයන්” බවට පත් කළා.—දානියෙල් 3:28-30.

අදදින ඇදහිල්ලට එල්ල වන තර්ජන

22. යෙහෝවාගේ වර්තමාන සේවකයන්, ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝට සමාන තත්වයන්ට මුහුණ දෙන්නේ කෙසේද?

22 අදදින සිටින යෙහෝවාගේ නමස්කාරකයන් ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝ හා සමාන තත්වයන්ට මුහුණ දෙනවා. දෙවිගේ සේවකයන්ව, වචනයේ පරිසමාප්තියෙන්ම වහලුන් බවට පත් කරන්නේ නැහැ. එහෙත්, තම අනුගාමිකයන් “ලෝකයාට අයිති නැති” බව යේසුස් කිව්වා. (යොහන් 17:14) ඔවුන් අවට සිටින අයගේ බයිබලයට පටහැනි චාරිත්‍ර, ආකල්ප සහ ක්‍රියාවන් ඈඳා නොගැනීම හේතුවෙන් ඔවුන් සිටින්නේ, “විදේශිකයන්” ලෙසයි. ක්‍රිස්තියානීන් “මේ ලෝකයේ ආකාරයට සමාන නොවී” සිටිය යුතුයයි ප්‍රේරිත පාවුල් ලිව්වා.—රෝම 12:2.

23. හෙබ්‍රෙව්වන් තිදෙනා ස්ථිරභාවය විදහාපෑවේ කෙසේද? එමෙන්ම ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කරන්න අදදින ක්‍රිස්තියානීන්ට හැක්කේ කෙසේද?

23 මේ හෙබ්‍රෙව්වන් තිදෙනා බබිලෝනීය ක්‍රමයට හැඩගැසීම ප්‍රතික්ෂේප කළා. ඔවුන්ට පුළුල් කල්දීය අධ්‍යාපනයක් ලැබුණත්, ඔවුන්ව සොලවන්න ඒවාට හැකි වුණේ නැහැ. ඔවුන්ගේ නමස්කාරය සාකච්ඡා කර වෙනස් කළ හැකි එකක් වූයේ නැහැ. එපමණක්ද නොව, ඔවුන්ගේ පක්ෂපාතකම රැඳී තිබුණේ යෙහෝවා මතයි. අදදින ක්‍රිස්තියානීන්ට ඒ හා සමානම නිසැකකමක් අවශ්‍යයි. ලෝකයේ අයට වඩා ඔවුන් වෙනස් වීම ගැන, ඔවුන් ලජ්ජා විය යුතු නැහැ. ඇත්තෙන්ම, “ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය.” (1 යොහන් 2:17) එම නිසා මියැදෙමින් තිබෙන මේ දේවල පිළිවෙළට හැඩගැසීම මෝඩකමක් මෙන්ම නිෂ්ඵල දෙයක්.

24. සැබෑ ක්‍රිස්තියානීන්ගේ ස්ථාවරය, හෙබ්‍රෙව්වන් තිදෙනාගේ එකට සමාන වන්නේ කෙසේද?

24 ක්‍රිස්තියානීන් සියලුම ආකාරයේ රූප වන්දනාවට මෙන්ම එහි සූක්ෂ්ම ආකාරවලට එරෙහිව පරෙස්සම් විය යුතුයි.e (1 යොහන් 5:21) ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝ කීකරු ලෙස සහ ගෞරවාන්විතව රන් රූපය ඉදිරියේ සිටගෙන සිටියත්, එය ඉදිරියේ වැඳ වැටීම නිකම්ම ගෞරවය පෙන්වීමකට වඩා වැඩි යමක් වුණා. එමෙන්ම, එය නමස්කාරයක් මෙන්ම ඊට හවුල් වීමක්ද වන අතර, යෙහෝවාගේ උදහසටද හේතු වන බව ඔවුන් තේරුම්ගත්තා. (ද්විතීය කථාව 5:8-10) ජෝන් එෆ්. වාල්වෝඩ් මෙසේ ලියනවා: “එය කොඩියට ආචාර කිරීමට සමාන කළ හැකියි. එනමුත්, ආගමික සහ ජාතික ස්ථාවරයන් සම්මිශ්‍රණය වී තිබුණු නිසා, ඊට ආගමික නැඹුරුවාවක්ම තිබෙන්න ඇති.” අදදිනත්, සැබෑ ක්‍රිස්තියානීන් රූප වන්දනාව සම්බන්ධයෙන් එවැනිම ස්ථාවරයක් ගන්නවා.

25. ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝගේ සැබෑ ජීවිත කතාවෙන් ඔබ ඉගෙනගත් පාඩම කුමක්ද?

25 යෙහෝවාට තනි භක්තිය දෙන්න අධිෂ්ඨාන කරගෙන සිටින සියලුදෙනාටම ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝ පිළිබඳ බයිබල් වාර්තාව විශිෂ්ට ආදර්ශ පාඩමක් සපයනවා. ‘ගින්නේ උෂ්ණය නිවූ’ අය ඇතුළු ඇදහිල්ල පැවැත්වූ බොහෝදෙනෙක් ගැන කතා කරද්දී, පැහැදිලිවම මේ හෙබ්‍රෙව්වන් තිදෙනා ගැන ප්‍රේරිත පාවුල්ගේ මනසේ තිබෙන්න ඇති. (හෙබ්‍රෙව් 11:33, 34) එවැනි ඇදහිල්ලක් අනුකරණය කරන අයට යෙහෝවා ආශීර්වාද කරනවා. හෙබ්‍රෙව්වන් තිදෙනාව ගිනි උදුනෙන් ගළවාගත්තා. එහෙත්, අඛණ්ඩතාව රකින්නන් ලෙස තම ජීවිත නැති කරගත් සියලුම පක්ෂපාත අයව ඔහු නැවත නැඟුටුවන බවටත්, සදාකාල ජීවනයේ ආශීර්වාද දෙනු ඇති බවටත් අපට නිසැක විය හැකියි. මෙයින් කුමක් වුවත්, යෙහෝවා ‘තම ශුද්ධවන්තයන්ගේ ප්‍රාණ ආරක්ෂා කරන්නේය; දුෂ්ටයන්ගේ අතින් ඔවුන් ගළවන්නේය.’—ගීතාවලිය 97:10.

[පාදසටහන්වල]

a බබිලෝනීය අධිරාජ්‍යයේ ප්‍රාරම්භකයා ලෙස සැලකෙන මාර්ඩුක්, දේවත්වයෙහිලා සලකන නිම්රොද් බව සමහරු විශ්වාස කරනවා. කෙසේවෙතත්, මෙය ස්ථිර ලෙසම කිව නොහැකියි.

b “බේල්ටෙෂශර්” යන්නෙහි අරුත “රජුගේ ජීවිතය රකින්න” යනුයි. “ෂද්‍රක්” යන්නෙහි අරුත සමහරවිට, සුමේරියානු චන්ද්‍ර දෙවි වන “අකුගේ අණ” යනුයි. “මේෂක්” සමහරවිට යොමු දක්වන්නේ, සුමේරියානු දෙවියෙකුටයි. “අබේද්-නෙගෝ” යන නමෙහි අර්ථය නෙබෝ හෝ “නෙගෝගේ සේවකයා” යන්නයි.

c එහි අතිවිශාලත්වය හේතුවෙන් සමහර බයිබල් විශාරදයන් විශ්වාස කරන්නේ එය ලීවලින් සාදා රන් ආලේප කළ බවයි.

d ‘වරද තැබීම’ ලෙස පරිවර්තනය කර ඇති ඇරමයික වාක්‍යඛණ්ඩයේ අර්ථය නම්, නින්දා කිරීම මගින් පුද්ගලයෙකුව හරියට ‘විකා කෑම’ නැතහොත් ඔහුව හපයක් බවට පත් කිරීමයි.

e උදාහරණයක් හැටියට, බයිබලයෙහි ගිජුකම සහ තෘෂ්ණාව, රූප වන්දනාවට සම්බන්ධ කරනවා.—පිලිප්පි 3:18, 19; කොලොස්සි 3:5.

ඔබ වටහාගත්තේ කුමක්ද?

• ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝ, නෙබුකද්නෙශර් පිහිටෙවූ රූපයට වැඳ වැටීම ප්‍රතික්ෂේප කළේ මන්ද?

• හෙබ්‍රෙව්වන් තිදෙනා ගත් ස්ථාවරයට නෙබුකද්නෙශර් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

• හෙබ්‍රෙව්වන් තිදෙනාගේ ඇදහිල්ලට යෙහෝවා විපාක දුන්නේ කෙසේද?

• ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝගේ සැබෑ ජීවිත කතාවට අවධානය දීමෙන්, ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

[68වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]

[70වන පිටුවේ පින්තූර]

1. බබිලෝනියේ (පිරමිඩාකාර) දේවාල කොත

2. මාර්ඩුක්ගේ දේවාලය

3. මාර්ඩුක් (වම) සහ නෙබෝ (දකුණ) යන දෙවිවරුන් මකරන් මත සිටීම පෙන්වන ලෝකඩ පුවරුව

4. නෙබුකද්නෙශර්ගේ ඉදි කිරීම් ව්‍යාපෘති ගැන නම් දරා ඇති කුඩා කැටයම

[76වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]

[78වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න