ඔබේ මතකය දියුණු කිරීමට ඔබට හැක
මිනිස් මොළය මැවූ විට, යෙහෝවා දෙවි ඊට විස්මිත හැකියාවක් දානය කළේය. මොළයට මතක ශක්තියක් ඇත. එය විශාල තොරතුරු ගබඩාවක් වැන්න. කොතරම් විශාල තොරතුරු සම්භාරයක් එහි රැස් කළද, ඒවා නැති වී නොයන ආකාරයෙන් තබාගැනීමට මොළය සමත්ය. දෙවිගේ අරමුණට අනුව මිනිසාව නිර්මාණය කළේ සදාකල් ජීවත් වීමටය. ඇත්තෙන්ම මොළයේ සැකැස්ම දෙස බලන විට එම කාරණය සනාථ වෙයි.—ගීතා. 139:14; යොහ. 17:3.
එනමුත් ඔබේ මනසට ගන්නා තොරතුරුවලින් බහුතරයක් කෙසේ හෝ ඔබෙන් ගිලිහී යන බවක් ඔබට දැනෙනවා විය හැකිය. අවශ්‍ය විටෙක ඔබට කිසිදු දෙයක් මතක් වන්නේ නැත. එසේ නම්, ඔබේ මතක ශක්තිය දියුණු කරගැනීමට කුමක් කළ හැකිද?
උනන්දුවක් දක්වන්න
මතක ශක්තිය දියුණු කරගැනීමට නම් අප අසන දකින දේ සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වීම ඉතා වැදගත්ය. අපගේ මනස නිසි ලෙස උත්තේජනය කිරීමට නම්, දකින දේ සම්බන්ධයෙන් අපට හොඳ අවධානාත්මක ඇසක් තිබීමද, පුද්ගලයන් කෙරෙහි උනන්දුවක් දැක්වීමද අවශ්‍යය. තවද අවට සිදු වන දේවල් ගැන උනන්දුවෙන් සිටීමටද අපට පුළුවන. මෙවැනි දේවල් කිරීම අප පුරුද්දක් කරගත යුතුය. එවිට සැබෑ වටිනාකමකින් යුත් යමක් කියවීමට හෝ ඇසීමට අවස්ථාවක් උදා වන විට, ඊට උනන්දුවක් ඇතුව ප්‍රතිචාරය දැක්වීම අපට වඩාත් පහසු කාර්යයක් වනු ඇත.
සමහරවිට, වෙනත් අයගේ නම් මතක තබාගැනීම යමෙකුට දුෂ්කර වීම අසාමාන්‍ය දෙයක් නොවේ. එනමුත් අප ක්‍රිස්තියානීන් වන නිසා, සෑම කෙනෙකුම පුද්ගලයෙකු ලෙස වැදගත් කොට සැලකිය යුතු බව අපි දනිමු. සෙසු ක්‍රිස්තියානීන්, අප සාක්ෂි දරන අය සහ දෛනික ජීවිතයේ කටයුතු කරන අතරතුරේදී යම් ආකාරයකින් ආශ්‍රය කිරීමට සිදු වන පුද්ගලයන් මේ ගණයෙහිලා සැලකිය හැක. ඇත්තවශයෙන්ම අප මතක තබාගත යුතු අයගේ නම් සිහියේ තබාගැනීමට අපට උපකාර කළ හැක්කේ කුමකටද? නිදසුනකට, ප්‍රේරිත පාවුල් එක්තරා සභාවකට ලිපියක් ලියද්දී, ඒ සභාවේ සාමාජිකයන් 26දෙනෙකු නමින් සඳහන් කළේය. ඔවුන් කෙරෙහි ඔහුගේ උනන්දුව පැහැදිලි වූයේ එයින් පමණක් නොවේ. නම් සඳහන් කිරීමට අමතරව, ඔවුන්ගෙන් බොහෝදෙනෙකු සම්බන්ධව යම්කිසි තොරතුරක් හෝ විස්තරයක්ද සැපයීය. (රෝම 16:3-16) වර්තමානයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංචාරක අවේක්ෂකයන් සමහරදෙනෙකු සතියක් සතියක් පාසා අලුත් සභාවක් බැහැදැකීමට ගියද, විවිධ අයගේ නම් සිහියේ තබාගැනීම ඔවුන්ට හොඳින් කළ හැකිය. ඔවුන්ට උපකාරවත් වන්නේ කුමක්ද? පුද්ගලයෙකු මුල්ම අවස්ථාවට මුණගැසෙන විට, ඔහුගේ නම කිහිප අවස්ථාවකම පාවිච්චි කිරීමට ඔවුන් පුරුදු වී සිටිනවා විය හැක. ඒ පුද්ගලයාගේ නමට ඔහුගේ මුහුණේ හැඩහුරුකම සම්බන්ධ කිරීමටද ඔවුන් උත්සාහ දරනවා විය හැක. මීට අමතරව, ක්ෂේත්‍ර සේවයෙහි සහ කෑම ගන්නා අවස්ථාවලදී, විවිධ පුද්ගලයන් සමඟ කාලය ගත කිරීමටද අවස්ථාව ඔවුන්ට ලැබේ. එසේ නම්, ඔබ කෙනෙකුව මුල්ම අවස්ථාවට මුණගැසෙන විට, ඒ පුද්ගලයාගේ නම ඔබට මතක තබාගැනීමට හැකි වෙයිද? මුලින්ම, ඒ නම මතක තබාගැනීමට හොඳ හේතුවක් ගැන සිතා බලන්න. ඊළඟට මතු දැක්වෙන යෝජනා කිහිපය අත්හදා බලන්න.
පුද්ගලයන්ගේ නම් මතක තබාගැනීම වාගේම ඔබ කියවන දේ මතක තබාගැනීමද වැදගත්ය. මේ සම්බන්ධයෙන් ඔබට දියුණු වීම සඳහා කුමක් උපකාරවත් විය හැකිද? උනන්දුවක් තිබීමට අමතරව, කියවන දේ තේරුම්ගැනීමද අවශ්‍යය. පූර්ණ අවධානයක් දීමට නම්, කියවන දේ ගැන යම් උනන්දුවක් තිබිය යුතුය. කියවන අතරතුරේදී ඔබේ මනස එහෙ මෙහෙ දුවනවා නම්, තොරතුරු සිතෙහි ධාරණය කරගත නොහැකි වේ. තේරුම්ගැනීමේ ශක්තිය තවත් දියුණු කරගැනීමට, කියවන දේ ඔබ දැනටමත් දන්නා දේවලට සම්බන්ධ කරගැනීම ප්‍රයෝජනවත්ය. ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘මෙම තොරතුරු මගේ පෞද්ගලික ජීවිතයට අදාළ කරගන්නේ කෙසේද? කිනම් අවස්ථාවලද? තව කෙනෙකුට උපකාර කරන්න මම එය භාවිත කරන්නේ කෙසේද?’ අනික් අතට, වචන වෙන වෙනම කියවනවාට වඩා වාක්‍ය ඛණ්ඩ කියවීමට ඔබ පුරුදු වෙනවා නම්, ඔබේ තේරුම්ගැනීමේ හැකියාව දියුණු වේ. එවිට අදහස් තේරුම්ගැනීමටත්, ප්‍රධාන කරුණු හඳුනාගැනීමටත් හැකියාව ලැබේ. එහි ප්‍රතිඵලය නම් වඩාත් පහසුවෙන් ඒවා මතක තබාගැනීමට ඔබ සමත් වීමයි.
පුනරීක්ෂණයක් කිරීමට කාලය ගන්න
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පුනරීක්ෂණයක් කිරීමේ වැදගත්කම අවධාරණය කරති. විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු කළ අධ්‍යයනයකදී, සැණෙකින් පුනරීක්ෂණයක් කිරීමට විනාඩියක් පමණ වැය කිරීමෙන් සිතෙහි ධාරණය කරගත හැකි තොරතුරු ප්‍රමාණය දෙගුණ වන බව පෙන්වා දෙන ලදි. එමනිසා, යම් කියවීමක් නිම කළ වහාම, ප්‍රධාන අදහස් සිතින් පුනරීක්ෂණය කරන්න. එසේ කළ යුත්තේ ඒවා ඔබේ මනසෙහි නොමැකෙන සේ සටහන් කරගන්නා පිණිසය. ඔබ ඉගෙනගත් යම් අලුත් කරුණු ඇතොත්, ඒවා ඔබේ වචනවලින් පැහැදිලි කළ හැකි ආකාරය ගැනද සිතා බලන්න. ඇත්තෙන්ම යම් අදහසක් ගැන කියෙවූ වහාම, එය නැවත මතක් කිරීමෙන් එම අදහස සිතෙහි ධාරණය කරගත හැකි කාලපරිච්ඡේදය දීර්ඝ කිරීමටද ඔබ සමත් වනු ඇත.
ඊළඟ දවස් කිහිපය තුළදී, ඔබ කියෙවූ දේ පුනරීක්ෂණය කිරීමට ක්‍රමයක් ලෙස එම තොරතුරු අන් අය සමඟ බෙදාගැනීමට උත්සාහ කරන්න. පවුලේ සාමාජිකයෙකු, සභාවේ කෙනෙකු, රැකියාවේ හෝ පාසැලේ සිටින කෙනෙකු, අසල්වැසියෙකු හෝ ක්ෂේත්‍ර සේවයෙහි ඔබ හමු වන අයෙකු සමඟ එසේ තොරතුරු බෙදාගත හැකිය. ප්‍රධාන කරුණු නැවත කීමෙන් පමණක් සෑහීමට පත් නොවන්න. ඒ සමඟ දිවයන ශුද්ධ ලියවිලිමය අදහස තේරුම්ගැනීමටද උත්සාහ කරන්න. ඔබේ මනසෙහි වැදගත් දේවල් සටහන් කරගැනීමට මෙය මහෝපකාරි වන නිසා, එය ඔබටද අන් අයටද ප්‍රයෝජනවත් වනු නියතය.
වැදගත් දේවල් ගැන මෙනෙහි කරන්න
ඔබ කියවා ඇති දෙය පුනරීක්ෂණය කිරීමටත්, ඒ ගැන අන් අයට පැවසීමටත් අමතරව යම් දෙයක් කිරීමට පුළුවන. එනම්, ඉගෙනගත් වැදගත් දේවල් ගැන මෙනෙහි කිරීම ප්‍රයෝජනදායක බව ඔබ දකිනු ඇත. බයිබල් ලේඛකයන් වූ ආසාප් සහ දාවිත් එසේ කළෝය. ‘යෙහෝවාගේ ක්‍රියා සඳහන් කරන්නෙමි; මක්නිසාද ඔබගේ පුරාණ ආශ්චර්යයන් සිහි කරන්නෙමි. ඔබගේ කර්මාන්ත සියල්ල ගැන භාවනා කරන්නෙමි, ඔබගේ ක්‍රියා ගැන මෙනෙහි කරන්නෙමි’ කියා ආසාප් පැවසීය. (ගීතා. 77:11, 12) දාවිත්ද ඒ හා සමාන අදහසක් පළ කළේ මෙලෙසය. ‘රෑ යාම්වලදී ඔබ ගැන මෙනෙහි කළෙමි.’ “පුරාණ දවස් සිහි කරමි. ඔබගේ සියලු ක්‍රියා භාවනා කරමි.” (ගීතා. 63:5; 143:5) ඔබත් එසේ කරනවාද?
මෙහිදී මනා සංයමයකින් සිත එක්තැන් කර කල්පනා කර බැලීමට සිදු වේ. එවන් අවස්ථාවකදී යෙහෝවාගේ ක්‍රියාවන් හා ගුණාංග මෙන්ම ඔහුගේ කැමැත්ත ක්‍රියාත්මක වී ඇති ආකාරය ගැන මෙනෙහි කර බැලිය හැක. මෙමගින් තොරතුරු ඔබේ සිතෙහි ධාරණය කරගැනීමට වඩා වැඩි යමක් සිදු වේ. එලෙස කල්පනා කිරීමට ඔබ පුරුදු වෙනවා නම්, සැබවින්ම වැදගත් ලෙස සැලකිය යුතු දේවල් ඔබේ හදවතෙහි පැලපදියම් වේවි. එවන් සිතිවිලි ඔබේ හදවතේ ඇතුල් මනුෂ්‍යයා ඇඹීමටද උපකාරවත් වෙයි. මෙසේ ඔබේ මතකයෙහි රැඳෙන දේවලට එකඟව ඔබේ අභ්‍යන්තර සිතුවිලි හැඩගැසෙනු ඇත.—ගීතා. 119:16.
දෙවිගේ ශුද්ධාත්මයෙන් ඉටු වන කාර්යභාරය
යෙහෝවා සිදු කරන දේවල් හා යේසුස් ක්‍රිස්තුස් පැවසූ දේවල් හා සම්බන්ධ සත්‍යයන් සිහියේ තබාගැනීමට අප දරන උත්සාහයේදී අප තනි වී නොමැත. සිය මරණයට පෙර රාත්‍රියේදී, යේසුස් තම අනුගාමිකයන්ට මෙසේ පැවසීය. ‘මම නුඹලා සමඟ සිටියදීම මේ දේවල් නුඹලාට කීවෙමි. නුමුත් මාගේ නාමයෙන් පියාණන් එවන සැනසිලිකාරයා [උපකාරකයා, NW], එනම් ශුද්ධාත්මය, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියන ලද සියල්ල නුඹලාට සිහි කරවයි.’ (යොහ. 14:25, 26) යේසුස් මෙම වදන් පැවසූ විට, එහි සිටි අය අතර මතෙව්ද යොහන්ද සිටියෝය. ශුද්ධාත්මය ඔවුන්ට උපකාරයක් වීද? නිසැකවම! වසර අටකට පමණ පසු මතෙව් ක්‍රිස්තුස්ගේ ජීවිතය පිළිබඳව මුල්ම සවිස්තරාත්මක වාර්තා ලියා නිම කළේය. මෙම වාර්තාවට, කන්ද උඩ දේශනාව, ක්‍රිස්තුස් පැමිණ සිටින කාලයට හා පවතින ක්‍රමයේ අවසාන කාලපරිච්ඡේදයට අදාළ සවිස්තරාත්මක ලකුණ පිළිබඳව අනගි මතක සටහන්ද ඇතුළත් විය. ප්‍රේරිත යොහන් තම සුවිශේෂය ලිව්වේ යේසුස්ගේ මරණයෙන් වසර 65කට පසුව වුවද, තම ස්වාමීන් සිය දිවි පුද කිරීමට පෙර රාත්‍රියේදී ප්‍රේරිතවරුන් සමඟ ගත කළ අවසාන පැය කිහිපයේදී පැවසූ වදන් පිළිබඳ තොරතුරු එම වාර්තාවෙහි ඇතුළත් කර තිබිණ. මතෙව් සහ යොහන් යේසුස් සමඟ සිටි විට, ඔහු කළ කී දේවල් ඔවුන්ගේ මතකයේ විචිත්‍රවත් ලෙස කෙටී තිබුණු බව නම් නිසැකය. එනමුත් තම ලිඛිත වචනයෙහි ඇතුළත් කිරීමට යෙහෝවා අදහස් කළ වැදගත් තොරතුරු ඔවුන්ට අමතක නොවූයේ ශුද්ධාත්මය මගින් ඉතා වැදගත් කාර්යයක් ඉටු කළ නිසා බව පැවසිය යුතුය.
අදදින දෙවිගේ සේවකයන් වෙනුවෙන් ශුද්ධාත්මය උපකාරකයෙකු ලෙස ක්‍රියා කරනවාද? නිසැකවම! එනමුත් මෙහිදී යමක් සඳහන් කළ යුතුය. ශුද්ධාත්මය අපට සිහි කරවන්නේ අප කිසි කලෙකත් ඉගෙනගෙන නැති දේවල් නොවේ. ශුද්ධාත්මය උපකාරකයෙකු ලෙස ක්‍රියා කරන්නේ, අප අතීතයේ අධ්‍යයනය කළ වැදගත් දේවල් සිහි කරවීමටයි. (ලූක් 11:13; 1 යොහ. 5:14) අනතුරුව අවශ්‍යතාවක් පැන නැඟෙන විට, ‘ශුද්ධ වූ අනාගතවක්තෘවරුන් විසින් පළමුවෙන් කියන ලද වචනද . . . ස්වාමි වූ ගැළවුම්කාරයාගේ ආඥාවද මතක් වන පිණිස’ අපගේ කල්පනා ශක්තිය යළි අවදි කරනු ලැබේ.—2 පේතෘ. 3:1, 2.
‘අමතක නොකරන්න’
‘අමතක නොකරන්න’ කියා යෙහෝවා ඉශ්‍රායෙලිතයන්ට නිතරම අවවාද කළේය. සෑම දෙයක්ම අඩුවක් නැතුව මතක තබාගැනීම ඔහු අපේක්ෂා කළ බව මින් අදහස් නොකෙරේ. එනමුත් පෞද්ගලික වැඩකටයුතුවල ඇලී ගැලී සිටීමෙන්, යෙහෝවාගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔවුන්ගේ මතක සටහන් බොඳවීමේ අවදානම ඉස්මතු විය. යෙහෝවා ඔවුන්ව ගළවාගත් ආකාරය පිළිබඳ මතක සටහන් නැවුම්ව තබාගත යුතු විය. බොඳවීමට ඉඩ නොදිය යුතු වූ මතක සටහන් අතර, යෙහෝවාගේ දේවදූතයා මිසරයේ සියලු කුලුඳුලන් ඝාතනය කළ ආකාරයද, යෙහෝවා රතු මුහුද දෙබෑ කොට, අනතුරුව ඵාරාවෝ සහ ඔහුගේ මුළු හමුදාව ගිල දමමින් එය නැවත එක් කළ ආකාරයද විය. දෙවි තම ව්‍යවස්ථාව සීනයි කන්දේදී දුන් වගත්, පාළුකරය මැදින් පොරොන්දු දේශයක් වෙත ඔවුන්ව ගෙනගිය වගත් ඉශ්‍රායෙලිතයන් විසින් සිහි කළ යුතු විය. ඇත්තෙන්ම මෙම දේවල් නිතරම සිහියේ තබාගෙන සිටියා නම්, ඔවුන්ගේ දෛනික ජීවිතයට බෙහෙවින් බලපානු ඇත. ඒවා කොහෙත්ම අමතක නොකළ යුතු වූයේ එමනිසාය.—ද්වි. 4:9, 10; 8:10-18; නික්. 12:24-27; ගීතා. 136:15.
අපද අමතක වීම නමැති උගුලට හසු නොවීමට වගබලාගත යුතුය. අපගේ ජීවිතයෙහි දෛනික පීඩනවලට මුහුණ දෙන අතරතුරේදී යෙහෝවාව සිහියේ තබාගැනීම අත්‍යශ්‍යය. ඔහු කවර අන්දමේ දෙවි කෙනෙක්ද? තම පුත්‍රයාව තිළිණ කිරීමෙන් ඔහු විදහාපෙන්වා ඇත්තේ කෙබඳු ආකාරයේ ප්‍රේමයක්ද? මෙවැනි ප්‍රශ්න ගැනත්, අපගේ පව් වෙනුවෙන් මිදීමේ මිලයක් සපයමින් සදහටම පරිපූර්ණ ජීවිතයක් භුක්ති විඳීමේ ප්‍රස්තාව අපට විවෘත කර දී ඇති ආකාරය ගැනත් අප නිතරම මෙනෙහි කළ යුතු නැද්ද? (ගීතා. 103:2, 8; 106:7, 13; යොහ. 3:16; රෝම 6:23) මෙම අනගි සත්‍යයන් අපගේ මනසෙහි ජීවමානව තබාගත හැක්කේ නිතිපතා බයිබලය කියවීමෙන් හා සභා රැස්වීම්වලට මෙන්ම ක්ෂේත්‍ර සේවයට ක්‍රියාශීලීව සහභාගි වීමෙනි.
සුළු තීරණ හෝ බරපතළ තීරණ ගැනීමට සිදු වන විට, එම වැදගත් සත්‍යයන් සිහියට නඟන්න. එම සත්‍යයන් ඔබේ චින්තනයට බලපෑමක් කිරීමට සලස්වන්න. අමතක නොකරන්න. මඟ පෙන්වීම සඳහා යෙහෝවාගේ පිහිට පතන්න. කාරණය දෙස මාංසික දෘෂ්ටිකෝණයකින් නොබලන්න. අසම්පූර්ණ හදවතේ පෙලඹීම කෙරෙහි විශ්වාසය නොතබන්න. ඒ වෙනුවට ඔබෙන් මෙසේ අසාගත හැකිය. ‘මට ගන්න සිදු වන මේ තීරණයට දේවවචනයෙහි අදාළව ඇති උපදෙස් හෝ ප්‍රතිපත්ති මොනවාද?’ (හිතෝ. 3:5-7; 28:26) එනමුත්, කවදාවත්ම කියවා හෝ අසා නැති දෙයක් සිහියට නැඟීමට ඔබට නොහැක. එමනිසා, යෙහෝවා පිළිබඳව නිවැරදි දැනුමෙන් හා ප්‍රේමයෙන් දිගටම වර්ධනය වන්න. එවිට ශුද්ධාත්මයේ උපකාරය ඇතුව ඔබට මතක් විය හැකි දැනුම් සම්භාරයේ පරාසය තව තවත් පුළුල් වන අතරම, යෙහෝවා සඳහා දිනෙන් දින වර්ධනය වන ඔබේ ප්‍රේමය, එම දැනුමට එකඟව ක්‍රියා කිරීමට ඔබව පොලඹවනවා ඇත.