පාඩම 6
අර්ථය නිසි ලෙස කාවැද්දීම
ශබ්ද නඟා කතා කරන විට හෝ කියවන විට, එක් එක් වචනය නිවැරදිව උච්චාරණය කිරීම පමණක් මදිය. අදහස් පැහැදිලිව ඉදිරිපත් කිරීමට දායක වන අන්දමින් ප්‍රධාන වචන සහ අදහස් ඇතුළත් වී ඇති යෙදුම් අවධාරණය කිරීමද වැදගත් වේ.
අර්ථය නිසි ලෙස අවධාරණය කිරීම යනු වචන අතළොස්සක් හෝ කිහිපයක් අවධාරණය කිරීම නොවේ. ඊට වැඩි යමක් ඇතුළත් වේ. අවධාරණය කළ යුත්තේ නිවැරදි වචනයි. කාවද්දනු ලබන වචන වැරදි ඒවා නම්, ඔබ කියන දෙයෙහි අර්ථය සබයට අපැහැදිලි විය හැකි අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ මනස එහෙ මෙහෙ දිව යන්නට පුළුවන. සමහරවිට ඉදිරිපත් කරන තොරතුරු ප්‍රයෝජනවත් විය හැකි නමුත්, තොරතුරු ඉදිරිපත් කරද්දී අර්ථය නිසි ලෙස කාවැද්දීමට අසමත් වීමෙන් ක්‍රියාවට අදාළ කරගැනීම සඳහා සබය පෙලඹවීමට ඇති ඉඩ කඩ අඩු විය හැක.
අමතර අවධාරණයක් සඳහා නොයෙකුත් ක්‍රම එකට යොදාගත හැක. ශබ්දය වැඩි කිරීමෙන්, වඩාත් තීව්‍ර හැඟීමකින් කතා කිරීමෙන්, හදිස්සි නොවී සෙමින් අදහස් ප්‍රකාශ කිරීමෙන්, යමක් කීමට පෙර හෝ පසුව (හෝ අවස්ථා දෙකේදීම) විරාම යෙදීමෙන් සහ අභිනයෙන් හා මුහුණේ ඉරියව්වෙන් එසේ කිරීමට පුළුවන. ඇතැම් භාෂාවල, කටහඬේ ස්වරය අඩු කිරීමෙන් හෝ තාරතාව වැඩි කිරීමෙන් යමක් අවධාරණය කළ හැකිය. වඩාත් යෝග්‍ය දෙය කුමක්දැයි තීරණය කිරීමේදී පියවන තොරතුරු සහ සිටින තත්වය සැලකිල්ලට ගන්න.
අවධාරණය කළ යුත්තේ කුමක්දැයි තීරණය කරන විට මතු දැක්වෙන දේ සලකා බලන්න. (1) ඕනෑම වාක්‍යයක් ගත් කල, අමතර කාවැද්දීමක් දිය යුතු වචන මොනවාදැයි තීරණය වන්නේ වාක්‍යයේ සෙසු කොටස් මගින් පමණක් නොව, නමුත් අවට පාඨ සම්බන්ධයෙනි. (2) ප්‍රධාන කරුණක් හෝ වේවා, ක්‍රමානුකූලව ඉදිරිපත් කරනු ලබන තර්කයේ වෙනසක් හෝ වේවා, අලුත් අදහසක ආරම්භය අවධාරණය කිරීමට අර්ථ කාවැද්දීම භාවිත කළ හැක. එසේ නැතහොත් ක්‍රමානුකූලව ඉදිරිපත් කළ තර්කයක නිමාවටද අවධානය යොමු කළ හැක. (3) යම් කාරණයක් සම්බන්ධයෙන් තමාට හැඟෙන ආකාරය පෙන්නුම් කිරීමටද කථිකයෙකුට අර්ථ කාවැද්දීම භාවිත කළ හැකිය. (4) කතාවක මූලික කරුණු උලුප්පා දැක්වීමට නිසි අර්ථ කාවැද්දීමක් භාවිත කළ හැකිය.
මෙවැනි ආකාරවලින් අර්ථය කාවැද්දීමට නම්, කථිකයෙක් නැතහොත් ප්‍රසිද්ධ කියවන්නෙක් තම තොරතුරු පැහැදිලිව තේරුම්ගත යුතු අතර, තම සබය එම තොරතුරු උරාගන්නවා දැකීමට අවංක ආශාවකින් සිටිය යුතුය. එස්රාගේ දවස්වලදී ලබා දුන් උපදෙස් සම්බන්ධයෙන් නෙහෙමියා 8:8හි මෙසේ සැල වේ. “ඔව්හු දෙවිගේ ව්‍යවස්ථා පොත පැහැදිලි ලෙස කියවා අර්ථය තෝරා දුන්නෝය. මිනිස්සුද කියෙවූ දේ තේරුම්ගත්තෝය.” ඒ අවස්ථාවේදී දෙවිගේ ව්‍යවස්ථාව කියවා තේරුම් කර දුන් අය, සබයට කියෙවූ දෙයෙහි අර්ථය ග්‍රහණය කරගැනීමටත්, ඔවුන්ගේ මනස්වල රඳවා තබාගැනීමටත්, අදාළ කරගැනීමටත් උපකාර කළ බවට සැකයක් නොමැත.
ගැටලුවක් ඇති විය හැකි හේතුව. සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ පවත්වන සංවාදවලදී තමන් කීමට අදහස් කරන දේ පැහැදිලිව දැක්වීමට බොහෝ අය සමත් වෙති. කෙසේවෙතත්, වෙනත් කෙනෙකු විසින් ලියන ලද යමක් කියවීමට සිදු වන විට, කාවැද්දිය යුතු වචන හෝ යෙදුම් මොනවාදැයි තීරණය කිරීම අභියෝගයක් විය හැක. ඇත්තටම එසේ කිරීමෙහි රහස රඳා පවතින්නේ තොරතුරු පැහැදිලිව තේරුම්ගැනීම මතය. ඒ සඳහා ලියන ලද දේ පරෙස්සමින් අධ්‍යයනය කළ යුතුය. එමනිසා සභා රැස්වීමකදී යමක් කියවීමට ඔබෙන් ඉල්ලා සිටින විට, ඔබ ඒ සඳහා කඩිසරව සූදානම් විය යුතුය.
ඇතැම් අය නිසි අර්ථ කාවැද්දීමක් කරනවා වෙනුවට විටින් විට යම් කාවැද්දීමක් කරති. එසේ අවධාරණය කරන දේ අර්ථවත් වුවත් නැතත්, ඔවුහු යම් වචන යම් විධිමත් රටාවකට අනුව නිතර නිතර අවධාරණය කරති. තවත් අය ව්‍යාකරණාර්ථ අවධාරණය කරති. ඇතැම්විට මෙය කරන්නේ නිපාත පද අනවශ්‍ය ලෙස කාවැද්දීමෙනි. අවධාරණය කිරීමක් අදහස පැහැදිලිව දැක්වීමට දායක නොවන විට, එය පහසුවෙන්ම අවධානය බිඳ දමන පුරුද්දක් බවට පත් වෙයි.
අර්ථය කාවැද්දීමට උත්සාහයක් ලෙස ඇතැම් කථිකයෝ ශබ්ද නඟා කතා කරති. කෙසේවෙතත්, ඔවුන් කොතරම් ශබ්ද නඟා කතා කරනවාද කිවහොත් සබයට දැනෙන්නේ ඔවුන්ට බැණ වදින බවක්ය. ඇත්තෙන්ම ඉන් හොඳ ප්‍රතිඵල ලැබෙයි කියා සිතිය නොහැක. අර්ථ කාවැද්දීම ස්වාභාවිකව සිදු නොකෙරේ නම්, කථිකයා තම සබය හෙළා දකින ආකාරයෙන් කතා කරන බවට හැඟීමක් දිය හැක. එසේ නම්, ප්‍රේමය පදනම් කරගෙන ඔවුන්ගේ හදවත්වලට තට්ටු කර, පවසනු ලබන දේ ශුද්ධ ලියවිල්ලට එකඟ දෙයක් හා සාධාරණකමින් යුක්තව පවසන දෙයක් කියා දැකගැනීමට ඔවුන්ට උපකාර කිරීමෙන් මොනතරම් යහපතක් ඉටු කරගත හැකිද!
දියුණු විය හැකි අන්දම. බොහෝ විට, අර්ථ කාවැද්දීම ගැටලුවක් කරගෙන ඇති අයෙකු තමාට ඒ ගැටලුව ඇති බව පෞද්ගලිකව තේරුම්ගෙන නැත. එය ඔහුගේ අවධානයට යොමු කරවීමට තවත් කෙනෙකුට සිදු විය හැක. මේ සම්බන්ධයෙන් යම් දියුණුවක් ලැබිය යුතු නම්, ඔබේ පාසැල් අවේක්ෂක ඔබට උපකාර කරනු ඇත. හොඳ කථිකයෙකු ලෙස නම් දරා ඇති වෙනත් ඕනෑම කෙනෙකුගේ උපකාර පැතීමටද ඔබට පුළුවන. ඔබේ කියවීමට හා කතාවට හොඳින් සවන් දී, දියුණු වීමට යෝජනා ලබා දෙන මෙන් ඔහුගෙන් ඉල්ලන්න.
ආරම්භයේදී, ඔබේ පෙරහුරුවට අඩිතාලමක් ලෙස මුරටැඹ සඟරාවේ ලිපියක් යොදාගැනීමට ඔබේ උපදේශක යෝජනා කළ හැක. අර්ථය පහසුවෙන් ග්‍රහණය කරගැනීම සඳහා අවධාරණය කළ යුතු වචන හෝ යෙදුම් මොනවාදැයි තීරණය කිරීමට එක් එක් වාක්‍යය විග්‍රහ කරන මෙන් ඔහු ඔබෙන් ඉල්ලා සිටිනවාට සැකයක් නොමැත. ඇල කර ඇති ඇතැම් වචනවලට විශේෂ අවධානයක් යොමු කරන මෙන් ඔහු ඔබට මතක් කර දිය හැක. වාක්‍යයක සෑම වචනයක්ම එකිනෙක සම්බන්ධ වී ඇති බව මතක තබාගන්න. බොහෝදුරට, අවධාරණය කළ යුතු වන්නේ එක් වචනයක් නොව, නමුත් වචන සමූහයකි. ඇතැම් භාෂාවල අර්ථය නිසි ලෙස කාවැද්දීමට බලපාන ශබ්ද දක්වන ලකුණු මොනවාදැයි වඩාත් හොඳින් සලකා බැලීමට ශිෂ්‍යයන්ට දිරිගැන්විය හැක.
අවධාරණය කළ යුත්තේ කුමක්ද යන්න ඉගෙනීමට තවත් පියවරක් ලෙස, අවට පාඨ සම්බන්ධය තේරුම්ගත යුතුය. ඒ සඳහා වාක්‍යයක් දෙස පමණක් නොබැලීමට ඔබේ උපදේශකයා ඔබෙන් ඉල්ලා සිටිය හැක. මුළු ඡේදය පුරාම ගොඩනංවනු ලබන ප්‍රධාන අදහස කුමක්ද? මේ අනුව එක් එක් වාක්‍යවල අවධාරණය කළ යුතු දෙයට මෙය බලපෑ යුත්තේ කෙසේද? ලිපියේ තේමාව දෙසත්, ඔබ කියවන තොරතුරුවලට උඩින් තිබෙන තද අකුරින් ලියවී ඇති උපමාතෘකාව දෙසත් බලන්න. අවධාරණය කිරීම සඳහා ඔබ තෝරාගන්නා කොටස්වලට ඒ තේමාව සහ උපමාතෘකාව බලපාන්නේ කෙලෙසද? මේවා සලකා බැලිය යුතු සාධක වේ. එනමුත් ඕනෑවට වඩා වචන පෙළක් අවධාරණය නොකිරීමට වගබලා ගන්න.
ඔබ හිටිවන (සූදානමක් ඇතුව නමුත් සටහන් නොමැතිව) කතාවක් දෙන විට හෝ කියවන විට හෝ, ඔබේ තර්කයන් පෙළගස්වා ඇති ආකාරයට අනුව අර්ථය කාවැද්දීමට ඔබේ උපදේශකයා ඔබට උනන්දු කළ හැක. එක්තරා තර්කයක් ගොඩනැඟී අවසන් වන අවස්ථාව හෝ ඉදිරිපත් කරන දේ එක් වැදගත් අදහසක සිට තවෙකක් දක්වා මාරු වන අවස්ථාව තේරුම්ගැනීමට ඔබ සමර්ථයෙකු විය යුතුය. මෙම අවස්ථා මොනවාදැයි ඔබේ ඉදිරිපත් කිරීමෙන් ඇඟ වේ නම්, සබය එය අගය කරනවාට සැකයක් නොමැත. මුලින්ම, ඊළඟට, අවසාන වශයෙන්, මේ අනුව සහ එමනිසා වැනි යෙදුම් අවධාරණය කිරීමෙන් මෙවැන්නක් සිදු කළ හැකිය.
විශේෂ හැඟීමක් මුසු කරමින් අවධාරණය කළ යුතු අදහස් මොනවාදැයි ඔබේ අවධානයට ලක් කරන්නටද ඔබේ උපදේශකයා වෑයම් කරනු ඇත. ඒ සඳහා ඉතා, කිසිසේත්, වැදගත්, නිතරම, සහතිකවම සහ නිසැකව වැනි වචන අවධාරණය කිරීමට ඔබට පුළුවන. එසේ කිරීමෙන් ඔබ කියන දේ ගැන සබයට ඇති වන හැඟීම කෙරෙහි යම් බලපෑමක් කිරීමට හැකිය. මේ ගැන තවත් තොරතුරු “උණුසුම්භාවය සහ හැඟීම්” නමැති 11වන පාඩමෙන් ලබාගත හැක.
අර්ථය නිසි ලෙස කාවැද්දීම තවත් දියුණු කරගැනීම සඳහා සබය මතක තබාගන්නවාට ඔබ කැමති මූලික කරුණු මොනවාදැයි ඔබේ මනසෙහි පැහැදිලිව තබාගන්නා මෙන් ඔබට දිරිගන්වනු ලැබේ. මෙම කාරණය ප්‍රසිද්ධ කියවීම හා කතා කිරීම නමැති දෘෂ්ටිකෝණ දෙකට අනුව තවදුරටත් සලකා බලනු ඇත. ඒවා පිළිවෙළින් “ප්‍රධාන අදහස් අවධාරණය කිරීම” යන 7වන පාඩමේදී සහ “මූලික කරුණු උලුප්පා දැක්වීම” යන 37වන පාඩමේදී සාකච්ඡා කෙරේ.
ඔබේ ක්ෂේත්‍ර සේවය තවත් දියුණු කිරීමට ඔබ වෑයම් දරනවා නම්, ශුද්ධ ලියවිල්ලෙන් පද කියවන ආකාරයට විශේෂ අවධානයක් දෙන්න. ‘මේ බයිබල් පදය මා කියවන්නේ මොන හේතුවකටද’ කියා ඔබෙන්ම ඇසීමට පුරුදු වන්න. ගුරුවරයෙකු නිකම්ම වචන නිවැරදිව ශබ්ද කිරීමෙන් සෑහීමට පත් වන්නේ නැත. අදාළ කොටස හැඟීමෙන් කියවීම පවා ප්‍රමාණවත් නොවිය හැක. ඔබ යම් කෙනෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරක් සපයනවා නම් හෝ මූලික සත්‍යයක් උගන්වනවා නම්, සාකච්ඡා කරනු ලබන දේට ආධාරක වන ශුද්ධ ලියවිලි පදයේ වචන හෝ යෙදුම් අවධාරණය කිරීම යහපති. එසේ නොවන්නට, ඒ පදය කියවන පුද්ගලයාට නියමිත කරුණ නොවැටහිය හැක.
ඇතැම් වචන සහ යෙදුම් අමතර ලෙස අවධාරණය කිරීම අර්ථය කාවැද්දීමට සම්බන්ධ නිසා, අද්දැකීම් අඩු කථිකයෙකු එම වචන සහ යෙදුම් අනවශ්‍ය ලෙස අවධාරණය කළ හැක. මෙය යම් දුරකට පැහැදිලි කිරීමට සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට අලුත පුහුණු වන කෙනෙකු සලකා බලන්න. ඔහුගේ භාණ්ඩයෙන් ස්වර මුලින් නිකුත් වන විට ඇසෙන ශබ්දය රළුය. කෙසේවෙතත්, පෙරහුරු වීමේ ප්‍රතිඵලයක් ලෙස, මුලින්ම වෙන වෙනම නාද වන “ස්වර” ක්‍රමක්‍රමයෙන් ඉතා මිහිරි වූ “සංගීත වාදනයක” අංගයක් බවට පත් වනු ඇත.
අර්ථය කාවැද්දීමේ මූලික අංග කිහිපයක් ඉගෙනීමෙන් පසු, අද්දැකීම් ලත් කථිකයන් නිරීක්ෂණය කිරීමෙන් ප්‍රයෝජන ලබාගැනීමට ඔබට හැකියාවක් ලැබේ. අවධාරණය ඉතා පුළුල්ව යොදාගැනීමෙන් ඉටු කරගත හැකි දේ කුමක්ද කියා ඔබට කෙමෙන් කෙමෙන් වැටහෙනු ඇත. තවද පවසනු ලබන දෙයෙහි තේරුම පැහැදිලි කරගැනීමට අවධාරණය විවිධාකාරව භාවිත කිරීමේ වටිනාකම අගය කිරීමට ඔබට හැකි වේ. අර්ථය නිසි ලෙස කාවැද්දීමට ඉගෙනීම ඔබේ කියවීමෙන් සහ කථිකත්වයෙන් නෙළාගත හැකි ප්‍රතිඵල බෙහෙවින් දියුණු කරගැනීමට මඟ සලසයි.
අර්ථ කාවැද්දීම සම්බන්ධයෙන් මූලික දේ පමණක් ඉගෙනගැනීමෙන් සෑහීමට පත් වන්න එපා. දක්ෂ ලෙස කතා කිරීමට එය දිගින් දිගට දියුණු කරගැනීමට වෑයම් කරන්න. එවිට අර්ථ කාවැද්දීමේදී නිපුණයෙකු වීමට හැකි වන අතර, අන් අයගේ සවනට අමුත්තක් නොදැනෙන අන්දමකින් එය භාවිත කළ හැකි වේ.