පාඩම 15
මනා පෞද්ගලික පෙනුම
ඔබේ පෞද්ගලික පෙනුම ඔබ ගැන බොහෝ දේවල් කියාපායි. යෙහෝවා හදවතෙහි තිබෙන දේ දුටුවද, මනුෂ්‍යයන් සාමාන්‍යයෙන් නිගමනවලට එළඹෙන්නේ ‘පිටාතර පෙනුම’ දෙස අවධානය යොමු කිරීමෙනි. (1 සාමු. 16:7) ඔබ පිරිසිදුව හා පිළිවෙළකට සැරසී සිටින විට ඔබ ආත්ම-ගරුත්වයක් ඇති වැදගත් කෙනෙකු බව වෙනත් අය නිගමනය කිරීමට ඉඩ ඇති අතර, ඔබ කෙරෙහි ඔවුන්ගේ සවන් යොමු කිරීමටත් වැඩි කැමැත්තක් දක්වනු ඇත. උචිත ලෙස ඇඳ පැළඳ සිටීම ඔබ නියෝජනය කරන සංවිධානය ගැන හොඳ හැඟීමක් ලබා දෙන අතරම, ඔබ නමස්කාර කරන දෙවි පිළිබඳව ඔවුන් තුළ පැහැදීමක්ද ඇති වේ.
අදාළ කරගත යුතු මාර්ගෝපදේශ. පෞද්ගලික පෙනුම සම්බන්ධයෙන් නීති රැසක් බයිබලයෙහි දක්නට නොමැත. කෙසේවෙතත්, හොඳ තීරණ ගැනීමට උපකාරවත් විය හැකි සමබර වූ ප්‍රතිපත්ති එහි අඩංගු වී ඇත. මෙහිදී අප “සියල්ල දෙවිගේ ගෞරවය පිණිස” කරන බවට වූ ප්‍රතිපත්තිය ප්‍රධාන තැනක් ගනී. (1 කොරි. 10:31) මීට අමතරව, අපගේ පෞද්ගලික පෙනුමට අදාළ වන්නේ කවර ප්රතිපත්තිද?
මුලින්ම, අපගේ සිරුර සහ ඇඳුම් පැළඳුම් පිරිසිදුව තබාගැනීමට බයිබලයෙහි දිරිගන්වයි. යෙහෝවා පුරාණ ඉශ්‍රායෙලයට දුන් ව්‍යවස්ථාවෙහි පිරිසිදුකම සම්බන්ධයෙන් අවශ්‍යතා කිහිපයක්ම සඳහන් කළේය. නිදසුනකට, පූජකයන් තම යුතුකම් ඉටු කළ අවස්ථාවේදී, නියමිත වේලාවන්හිදී ස්නානය කිරීමට සහ තම ඇඳුම් සෝදාගැනීමට ඔවුන්ට සිදු විය. (ලෙවී. 16:4, 24, 26, 28) ක්‍රිස්තියානීන් මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාව යටතේ නොසිටියද, එහි අඩංගු ප්‍රතිපත්ති තවමත් වලංගුය. (යොහ. 13:10; එළි. 19:8) විශේෂයෙන් අප නමස්කාරය සඳහා යම් ස්ථානයකට යන විට හෝ ක්ෂේත්‍ර සේවයෙහි සහභාගි වන විට අපගේ සිරුර හා අපගේ ඇඳුම් පැළඳුම් පිරිසිදු විය යුතුය. අනික් අතට අපගේ මුඛයෙන් දුගඳක්ද නොහැමිය යුතුය. එසේ නොවේ නම්, අප නිසා අන් අය බාධාවට පත් වන්නට පුළුවන. සභාව ඉදිරියෙහි කතා දෙන අය හෝ නිරූපණවලට සහභාගි වන අය මේ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් තැබිය යුතුයි. අපගේ පෞද්ගලික පෙනුමට නිසි අවධානයක් දීමෙන් අපි යෙහෝවා සඳහාත් ඔහුගේ සංවිධානය සඳහාත් ගෞරවය පෙන්නුම් කරන්නෙමු.
දෙවනුව, අප විනීතකම හා සිහි බුද්ධිය වගා කළ යුතු බව බයිබලය අවවාද කරයි. ක්‍රිස්තියානි ස්ත්‍රීන් “ලජ්ජාවෙන් [සිහි බුද්ධියෙන්, NW] සහ විනීත භාවයෙන් යුක්තව, . . . ඉසකේ ගෙතීමෙන්වත් රනින්වත් මුතුවලින්වත් අනර්ඝ වස්ත්‍රවලින්වත් නොව දේවභක්ති නාමය දරන ස්ත්රීන්ට සුදුසු ලෙස යහපත් ක්‍රියාවලින් සැරසෙන” ලෙසට ප්‍රේරිත පාවුල් ඔවුන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේය. (1 තිමෝ. 2:9, 10) විනීතකම සහ සිහි බුද්ධිය නමැති ගුණාංග පුරුෂයන්ගේ ඇඳුම් පැළඳුම් හා සැරසීම සම්බන්ධයෙන්ද වැදගත් වේ.
තැන්පත් පුද්ගලයෙක් අන් අයව අනවශ්‍ය ලෙස බාධාවට පත් නොකිරීම ගැන සැලකිලිමත් වෙයි. අනික් අතට, ඔහු තමා වෙත අනවශ්‍ය අවධානයක් ඇදගැනීමටද යත්න දරන්නේ නැත. සිහි බුද්ධිය විදහාපෙන්වීමේ ප්‍රතිඵලයක් වශයෙන්, ස්ථානෝචිත ප්‍රඥාව නොහොත් හොඳ විනිශ්චයක් භාවිත කළ හැකි වේ. මෙවන් ගුණාංග විදහාපෙන්වන පුද්ගලයෙකු තුළ දිව්‍ය ප්‍රමිතිවලට ගරු කිරීම මත පදනම් කරගත් සමබරතාවක් දැකගත හැකි වේ. අපට සිත්ගන්නා ලෙස ඇඳ පැළඳිය නොහැකි බව මින් අදහස් කරන්නේ නැත. එනමුත්, අපගේ පෙනුම සම්බන්ධයෙන් සිහි බුද්ධියෙන් යුතුව සාධාරණ වීමටත්, ඇඳුම් පැළඳුම් හා සැරසීම සම්බන්ධයෙන් අන්තයට යෑමෙන් වැළකී සිටීමටත් ඒවා මහෝපකාරි වේ. (1 යොහ. 2:16) නමස්කාරය සඳහා යම් ස්ථානයක සිටින විට, ක්ෂේත්‍ර සේවයෙහි සහභාගි වන විට හෝ වෙනයම් කටයුතුවල නිරත වෙමින් සිටින විට මෙවැනි ප්‍රතිපත්ති අදාළ කරගැනීම අපගේ ආශාව විය යුතුය. අප එදිනෙදා සාමාන්‍යයෙන් අඳින ඇඳුම්වලද විනීතකම සහ හොඳ සිහි බුද්ධියක් පිළිබිඹු විය යුතුය. පාසැලේදී හෝ අපගේ රැකියා ස්ථානයේදී අවිධිමත් ලෙස සාක්ෂි දැරීමට ප්‍රස්තා තිබෙනු ඇත. රැස්වීම්වලට, සමුළුවලට සහ එක්රැස්වීම්වලට යන විට අඳින ආකාරයෙන්ම අප ඇඳ පැළඳ නොසිටියත්, අපගේ ඇඳුම් පැළඳුම් පිළිවෙළකට, පිරිසිදුව හා විනීතව තබාගැනීම අවශ්‍යය.
අප සැමගේ ඇඳුම් පැළඳුම් එක සමාන නොවන බව මෙහිදී සඳහන් කළ යුතුය. ඇත්තෙන්ම මෙවැන්නක් අපගෙන් අපේක්ෂා කරන්නේවත් නැත. සෑම පුද්ගලයෙකුටම එකිනෙකට වෙනස් රුචි අරුචිකම් තිබීමෙහි කිසිදු වරදක් නොමැත. කෙසේවෙතත්, තේරීම කුමක් වුවත්, බයිබලයෙහි සඳහන් මඟ පෙන්වීම් නිතරම අදාළ කරගත යුතුය.
කොණ්ඩා මෝස්තර සහ විසිතුරු ඇඳුම්වලට වඩා “සිතේ ඇතුල් මනුෂ්‍යයා” හා බැඳී පවතින වස්ත්‍රය වැදගත් බව ප්‍රේරිත පේතෘස් අවධාරණය කළේය. (1 පේතෘ. 3:3, 4) අපගේ හදවත් ප්‍රේමයෙන්, ප්‍රීතියෙන්, සාමයෙන්, කරුණාවෙන් සහ හොඳ පදනමක් ඇති ඇදහිල්ලකින් පිරී පවතින විට, ඒවා දෙවිට සැබවින් ගෞරවයක් ගෙන දෙන අපගේ ආත්මික වස්ත්‍ර බවට පත් වනු ඇත.
තුන්වෙනුව, අපගේ ඇඳුම් මනා පිළිවෙළකින් යුක්තව සකස් වී ඇද්දැයි සලකා බැලීමටද බයිබලය අපගෙන් උදක්ම ඉල්ලා සිටියි. “මනා පිළිවෙළකින් යුත් ඇඳුම්” යන යෙදුම 1 තිමෝති 2:9හි [NW] සඳහන්ව ඇත. මෙහිදී ප්‍රේරිත පාවුල් ස්ත්රීන්ගේ වස්ත්‍රවලට යොමු දක්වමින් සිටියද, මෙම ප්‍රතිපත්තිය පුරුෂයන්ටද අදාළ වේ. මනා පිළිවෙළකින් යුක්තව සකස් වී ඇති දෙයක් ඇසට ප්‍රියය, විනීතය. එමනිසා ද්‍රව්‍යමය අතින් අප පොහොසත් වුවත්, නැතත්, අපට මනා පිළිවෙළකින් ඇඳ පැළඳ සිටිය හැක.
අපගේ පෞද්ගලික පෙනුම සම්බන්ධයෙන් මුලින්ම අන් අයගේ අවධානයට ලක් වන දේ නම් අපගේ හිසකෙස්ය. එය පිළිවෙළකට තබාගැනීම අවශ්‍යය. පුද්ගලයන් සාමාන්‍යයෙන් තම හිසකෙස් සකස් කරන ආකාරයට ප්‍රාදේශීය සිරිත් විරිත් බලපාන අතර, ඔවුන්ට උරුම වී ඇති හිසකෙස්වල ස්වභාවයද යම් දුරකට බලපායි. ප්‍රේරිත පාවුල් කොණ්ඩා මෝස්තර සම්බන්ධයෙන් දුන් උපදෙස් කිහිපයක් 1 කොරින්ති 11:14, 15හිඅපට සොයාගත හැකිය. මෙහිදී මෙම සාධක දෙකම සැලකිල්ලට ගෙන ඇති බවක් පෙනී යයි. කෙසේවෙතත්, තමා විරුද්ධ ලිංගයේ කෙනෙකු මෙන් පෙනී සිටීමට උත්සාහ කරන බව පුද්ගලයෙකුගේ කොණ්ඩා මෝස්තරයෙන් යම් ඇඟවීමක් දෙනවා නම්, මෙය බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනිව දිව යයි.—ද්වි. 22:5.
පුරුෂයන්ගේ පෞද්ගලික පෙනුම පිළිවෙළකට තබාගැනීමට ඇතැම්විට ඇතුළත් විය හැකි තවත් දෙයක් නම් හොඳින් රැවුල කැපීමය. උඩු රැවුලක් වැවීම ගෞරවාන්විත දෙයක් ලෙස පොදුවේ සලකන ප්‍රදේශවල, උඩු රැවුලක් සහිත අය ඒවා පිළිවෙළකට කපා සකස් කළ යුතුය.
සිව්වෙනුව, අපගේ පෙනුමෙන් ලෝකයටත් එහි මාර්ගවලටත් ඇල්මක් ඇති බව පිළිබිඹු නොකළ යුතුය. ප්‍රේරිත යොහන් අවවාද කළේ මෙසේය. “ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න.” (1 යොහ. 2:15-17) මෙලොවෙහි නොයෙකුත් පව්කාර තෘෂ්ණා හාත්පස පැතිර පවතී. මේවා අතර පව්කාර මාංසයේ තෘෂ්ණාව සහ තමා සතු වස්තුව පුහු ආටෝපයකින් මෙන් ප්‍රදර්ශනය කිරීම ගැන යොහන් සඳහන් කරයි. එමෙන්ම ශුද්ධ ලියවිල්ල කැරලිකාර ආත්මයට නැතහොත් අධිකාරයට අකීකරුවීමේ ස්වභාවයටද අවධානය යොමු කරයි. (හිතෝ. 17:11; එපී. 2:2) මෙම තෘෂ්ණාවන් සහ ආකල්ප බොහෝ දුරට එළි දකින්නේ මිනිසුන් අඳින පළඳින අයුරින් හා තමන්ව සරසාගන්නා අන්දමිනි. ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ පෙනුම අවිනීතය, කාමුකය, පමණ ඉක්මවා හැඩ වැඩවලින් යුක්තය. අනික් අතට, සමහරුන්ට අපිරිසිදු, නොසැලකිලිමත් හෝ පිළිවෙළක් නැති පෙනුමක්ද ඇත. යෙහෝවාගේ සේවකයන් ලෙස මෙවන් ක්‍රිස්තියානි විරෝධී ආකල්ප පිළිබිඹු කරන විලාසිතාවලින් අපි වැළකී සිටින්නෙමු.
මෙලොවෙහි ආකල්ප අනුකරණය කරනවා වෙනුවට, ක්‍රිස්තියානි සභාවේ ආත්මික වශයෙන් මේරූ පුරුෂයන් සහ ස්ත්රීන්ගේ කදිම ආදර්ශයට එකඟව ඔබේ ඇඳුම් පැළඳුම් පිළියෙළ කිරීමත්, හිසකෙස් ආදිය සරසාගැනීමත් මොනතරම් උචිත දෙයක්ද! මතු දිනෙක ප්‍රසිද්ධ කථිකයන් වීමේ අපේක්ෂාවෙන් සිටින තරුණයන්ට දැනටමත් ප්‍රසිද්ධ කථා දීමට සුදුසුකම් ලබා ඇති අයගේ ඇඳුම් පැළඳුම් නිරීක්ෂණය කළ හැකිය. තවද ප්‍රසිද්ධ දේවසේවයෙහි වසර ගණනාවක් පුරා විශ්වාසවන්තව නිරත වී ඇති අයගේ ආදර්ශයෙන්ද සියලුදෙනාටම යමක් උගත හැකිය.—1 තිමෝ. 4:12; 1 පේතෘ. 5:2, 3.
පස්වෙනුව, උචිත දෙය කුමක්ද කියා තීරණය කරද්දී ‘ක්‍රිස්තුස් පවා තමන්ම සතුටු කර නොගත්’ බව අප මතක තබාගත යුතුය. (රෝම 15:3) යේසුස් ප්‍රධාන වශයෙන් යොමු වූයේ දෙවිගේ කැමැත්ත කිරීම වෙතටය. අනික් අතට, තම පෞද්ගලික පහසුව තකනවාට වඩා අන් අයට උපකාර කරන්නටද ක්‍රියා කළේය. එසේ නම්, ඇඳුම් පැළඳුම් හා හිසකෙස් ආදිය සැරසීම සම්බන්ධයෙන් ඇතැම් විලාසිතා අනුගමනය කරනවාද නැද්ද යන්න තීරණය කරන විට, අප දැනටමත් සේවය කරන ප්‍රදේශයේ පුද්ගලයන් සහ අප අතර යම් බාධකයක් ඇති බව අපට වැටහෙනවා නම්, අප කළ යුත්තේ කුමක්ද? ක්‍රිස්තුස් පෙන්නුම් කළ නිහතමානී ආකල්පය අනුකරණය කිරීම ඥානවන්ත තීරණයක් ගැනීමට අපට උපකාරවත් විය හැක. “කිසිවකින් බාධාවට කිසි ප්‍රස්තාවක් [නොදීම]” ප්‍රේරිත පාවුල් සඳහන් කළ ප්‍රතිපත්තිය වේ. (2 කොරි. 6:3) ඒ හේතුව නිසා, අප සාක්ෂි දරන අයට බාධාවක් විය හැකි කොණ්ඩා මෝස්තර හෝ යම් ඇඳුම් පැළඳුම් භාවිත නොකිරීමට තීරණය කරන්නට පුළුවන.
ඉරියව්ව. හොඳ පෙනුමකට බෙහෙවින් දායක වන තවත් දෙයක් නම් නිසි ඉරියව්වක් පවත්වාගැනීමය. අප සියලුදෙනාටම එක සමාන ඉරියව්වක් නැති බව මෙහිදී මතක තබාගත යුතුය. එමනිසා අප සැවොම එක්තරා ඒකාකාර විලාසයක් අනුගමනය කළ යුතු බව මින් අදහස් නොකෙරේ. කෙසේවෙතත්, බයිබලයේ භාවිත කර ඇති අන්දමට, සීරුවෙන් සිටගෙන සිටීමෙන් යම් පෞද්ගලික ගෞරවයක් සහ ඒකාන්ත ස්වභාවයක් පළ කරයි. (ලෙවී. 26:13; ලූක් 21:28) එනමුත්, වසර ගණනාවක් පුරා නැමී වැඩ කර ඇති නිසා හෝ වයසට යෑම නිසා හෝ යම් ශාරීරික ආබාධයක් නිසා හෝ, සහෝදරයෙකුට හෝ සහෝදරියකට සීරුවෙන් සිටගැනීම අපහසු විය හැක. එසේ නැතහොත් යමක ආධාරයෙන් හේත්තු වී සිටීමට සිදු විය හැකියි. කිසිදු අපහසුතාවක් නොමැති අය කතා කරද්දී සාධාරණ අන්දමකින් සීරුවෙන් සිටගැනීම නිර්දේශ කෙරේ. උදාසීන ලීලාවකින් හෝ සමාව භජනය කරන අන්දමකින් කතා කිරීමට අපට වුවමනා නැත. තවද ඉඳහිට කථික පුවරුව මත තම අත් තැබීමෙහි වරදක් නැතත්, කථිකයා පුවරුව මත හේත්තු වී කතාවක් ඉදිරිපත් නොකර සිටීම සබය තුළ වඩා ඒකාන්ත, ගෞරවාන්විත හැඟීමක් ජනිත කරයි.
භාවිත කරන දේ පිළිවෙළකට තබාගැනීම. අපගේ පෞද්ගලික පෙනුම පිරිසිදුව හා පිළිවෙළකට තබාගැනීම පමණක් මදිය. දේවසේවයෙහි අප භාවිත කරන දේවල්ද පිරිසිදුව හා පිළිවෙළකට තබාගැනීම අවශ්‍යය.
නිදසුනකට ඔබේ බයිබලය සලකා බලන්න. අපගේ බයිබලය පරණ වෙද්දී අප සැමෝටම අලුත් එකක් ලබාගැනීම එතරම් පහසු කාර්යයක් නොවන්නට පුළුවන. කෙසේවෙතත්, අපගේ බයිබලය කොතරම් පරණ එකක් වුවත්, එය පරෙස්සමින් පරිහරණය කර ඇති බවට පැහැදිලි විය යුතුය.
සාක්ෂි දැරීමට භාවිත කරන බෑගය සූදානම් කිරීමට ක්‍රම රැසක් තිබුණත්, වැදගත් දේ වන්නේ එය පිළිවෙළකට තබාගැනීමය. ප්‍රචාරකයෙක් නිවැසියෙකුට බයිබල් පදයක් කියවීමට සූදානම් වෙද්දී හෝ සහෝදරයෙක් සභාවෙහි කතාවක් දෙමින් සිටියදී, ඔහුගේ බයිබලයෙන් කොළ කැබලි වැටී යෑම ඔබ දැක ඇද්ද? එවිට ඔබගේ අවධානයට බාධා වූවා නොවේද? බයිබලයෙහි කොළ කැබලි තබාගැනීම බාධාවට හේතුවක් විය හැකි නම්, මෙම කොළ කැබලි වෙනත් ස්ථානයක තබාගැනීම සුදුසුය. මෙය ඔබ භාවිත කරන දේ පිළිවෙළකට තබාගැනීමට දායක වනු නිසැකය. අනික් අතට, බයිබලය හෝ වෙනත් ආගමික පොත් පත් බිම තැබීම ඇතැම් සංස්කෘතීන්වල අගෞරවනීය දෙයක් ලෙස සලකන බවද මතක තබාගන්න.
හොඳ පෞද්ගලික පෙනුම අපි සැවොම වැදගත් දෙයක් ලෙස සැලකිය යුත්තෙමු. අන් අය අපව සලකන ආකාරයටද එය බලපායි. එනමුත්, අප ඊට කිට්ටු අවධානයක් දෙන්නේ ‘අපගේ ගැළවුම්කාරයා වන දෙවිගේ ධර්මය සියලු කාරණාවලදී අලංකාර’ කිරීම අපගේ හෘදයාංගම ආශාව වන නිසාය.—තීත. 2:9.