7වන පරිච්ඡේදය
සුරැකීමේ බලය ‘දෙවි අපේ සරණය’
1, 2. පොදු යුගයට පෙර 1513දී ඉශ්‍රායෙලිතයන් සීනයි ප්‍රදේශයට ඇතුල්වත්ම ඔවුන්ට මුහුණ දීමට තිබුණේ කිනම් අන්තරායකටද? තවද යෙහෝවා ඔවුන්ගේ බිය සැක දුරු කළේ කෙසේද?
පොදු යුගයට පෙර 1513 මුල් අවදියේ ඉශ්‍රායෙලිතයන් සීනයි ප්‍රදේශයට ඇතුල් වන විට ඔවුන් සිටියේ භයානක තත්වයකයි. භය උපදවන ගමනක නිරත වීම දැන් ඔවුන් ඉදිරියේ තිබෙන අභියෝගයයි. මෙය “ගිනි සර්පයන් හා ගෝනුස්සන් ඇත්තාවූ, . . . ඒ මහත් භයංකර කාන්තාරය මැදින්” යා යුතු ගමනක්. (ද්විතීය කථාව 8:15) ඒ වගේම, සතුරු ජාතීන් විසින් එල්ල කරන තර්ජනවලටද ඔවුන්ට මුහුණ දීමට සිදු වුණා. යෙහෝවා සිය සෙනඟට මෙවැනි තත්වයකට මුහුණ දීමට ඉඩහැර තිබුණා. ඔවුන්ගේ දෙවි වශයෙන්, ඔවුන්ව ආරක්ෂා කිරීමට ඔහුට හැකි වේවිද?
2 මෙහිදී යෙහෝවාගේ වචන බිය සැක දුරු කරන්නට බෙහෙවින් සමත් වුණා. “මා විසින් මිසරවරුන්ට කළ දෙයද නුඹලා රාජාලීන්ගේ පියාපත් පිට උසුලා මා වෙතට ගෙනා බවද නුඹලා දුටුවහුය.” (නික්මයාම 19:4) තම සෙනඟව මිසරවරුන්ගෙන් මුදවාගෙන ආරක්ෂාව සලසා දුන්නේ හරියට ඒ සඳහා රාජාලීන්ව යොදවාගත්තාක් මෙන්යයි යෙහෝවා ඔවුන්ට මතක් කළා. නමුත් දිව්‍ය ආරක්ෂාව ගැන උපහැරණය කිරීමට “රාජාලීන්ගේ පියාපත්” යොදාගැනීම බෙහෙවින් ගැළපීමට තවත් හේතු තිබෙනවා.
3. ‘රාජාලියාගේ පියාපත්’ දිව්‍ය ආරක්ෂාව ඉතා කදිමට උපහැරණය කරන්නේ මන්ද?
3 රාජාලියා තම විශාල ශක්තිමත් පියාපත් විහිදන්නේ ඉහළ අහසේ පියාසර කිරීමට පමණක්ම නොවේ. දවසේ උණුසුම් වේලාවන්හි, රාජාලි මව තම පියාපත් මීටර් දෙකක් පමණ පළලට දිගහැර, ආරක්ෂිත සෙවණක් බඳු ආරුක්කුවක හැඩයට ඒවා විදහාගනී. එසේ කරන්නේ තම කූඩුවේ සිටින පැටවුන්ව දැඩි හිරු රශ්මියෙන් ආරක්ෂා කරගැනීම සඳහායි. වෙනත් අවස්ථාවලදී, තම පැටවුන් සීතල සුළඟින් ආරක්ෂා කරගැනීම සඳහා උන් වටා පියාපත් යවා ඒවායින් තම පැටවුන් තුරුලු කරගනී. රාජාලියා තම පැටවුන්ව ආරක්ෂා කරගන්නාක් මෙන්, යෙහෝවා අලුතින් පියාඹන්න තැත් කරන කුරුල්ලෙකු බඳු සිය ඉශ්‍රායෙල් ජාතියට ආරක්ෂාව සලසා දී රැකගත්තා. පාළුකරය තුළ සිටින ඔහුගේ ජනයා ඔහුට විශ්වාසවන්තව සිටින තාක් කල්, ඔහුගේ පියාපත් සෙවණේ සරණ දිගටම ලබනවා ඇති. (ද්විතීය කථාව 32:9-11; ගීතාවලිය 36:7) එහෙත්, අදදින අප දෙවිගේ ආරක්ෂාව අපේක්ෂා කිරීම සාධාරණද?
දිව්‍ය ආරක්ෂාව පිළිබඳ පොරොන්දුව
4, 5. ආරක්ෂාව පිළිබඳ දෙවිගේ පොරොන්දු කෙරෙහි අපමණ විශ්වාසයක් ඇතුව සිටීමට අපට හැක්කේ මන්ද?
4 යෙහෝවාට සිය සේවකයන්ව ආරක්ෂා කරගැනීමට හැකියාව තිබෙන බව සහතිකයි. ඔහු ‘සර්ව පරාක්‍රම වූ දෙවිය.’ එම පදවි නාමයෙන් අඟවන්නේ ඔහු ප්‍රබල බලයක් සතුව සිටින බවයි. (උත්පත්ති 17:1) මුහුදු රැල්ලක් නවතාලන්ට බැරුවාක් මෙන්, යෙහෝවාගේ ව්‍යවහාරික (ක්‍රියාත්මක වන) බලය කිසිවිටෙකත් නවතාලන්ට බැහැ. තම කැමැත්තට අනුව ඕනෑම දෙයක් කිරීමට ඔහුට හැකියාව තිබෙන නිසා, අප මෙසේ අසන්න පුළුවන්. ‘සිය සෙනඟව ආරක්ෂා කිරීම සඳහා සිය බලය යොදාගැනීමට යෙහෝවා කැමතිද?’
5 එක වචනයකින් කිවහොත්, පිළිතුර නම් ‘ඔව්’ යන්නයි. සිය සෙනඟව ආරක්ෂා කරන බවට යෙහෝවා අපට සහතික වෙනවා. “[දෙවි] අපේ සරණ හා ශක්තියය. දුකේදී ඉතා ළං වූ පිහිටක්ය” යයි ගීතාවලිය 46:1 පවසනවා. දෙවි “බොරු නොකියන” නිසා, අපව ආරක්ෂා කරන බවට ඔහු දී තිබෙන පොරොන්දුව කෙරෙහි අපමණ විශ්වාසයක් තබන්ට අපට පුළුවන්. (තීතස් 1:1) යෙහෝවා සිය රැකවරණය සහ සැලකිල්ල විස්තර කිරීමට යොදාගන්නාවූ විචිත්‍රවත් උපහැරණ සමහරක් ගැන අපි සලකා බලමු.
6, 7. (අ) බයිබල් කාලවල විසූ එඬේරුන් සිය බැටළුවන් සඳහා සැපයුවේ කෙබඳු ආරක්ෂාවක්ද? (ආ) සිය බැටළුවන්ව ආරක්ෂා කරගැනීමට සහ සැලකිල්ල දැක්වීමට යෙහෝවාට තිබෙන හෘදයාංගම ආශාව බයිබලයේ උපහැරණය කරන්නේ කෙසේද?
6 යෙහෝවා එඬේරෙකි. තවද ‘අපි ඔහුගේ සෙනඟය. ඔහුගේ ගොදුරුබිමේ බැටළුවෝය.’ (ගීතාවලිය 23:1; 100:3) බැටළුවන් තරම් අසරණ සතුන් සිටිනවා නම් ඒ සතුන් වර්ග ස්වල්පයක් පමණයි. බයිබල් කාලවල විසූ එඬේරුන්ට තමන්ගේ බැටළුවන්ව සිංහයන්ගෙන්, වෘකයන්ගෙන් සහ වලසුන්ගෙන් මෙන්ම සොරුන්ගෙන් ආරක්ෂා කරගැනීමට මහත් නිර්භීතකමක් අවශ්‍ය වුණා. (1 සාමුවෙල් 17:34, 35; යොහන් 10:12, 13) එහෙත්, ඇතැම් අවස්ථාවල බැටළුවන්ව ආරක්ෂා කරගැනීම සඳහා මුදු මොළොක් ස්වභාවයක් ඇතුව සිටීමත් අවශ්‍ය වුණා. ගාලෙන් ඈත්ව සිටින බැටළු දෙනක් පැටවා බිහි කළ අවස්ථාවක, එඬේරා එම ප්‍රසව කාලය තුළ බැටළු දෙන හොඳින් රැකබලා ගෙන අලුත උපන් එම බැටළු පැටවාව ගාලට රැගෙන යන්නේ හද පිරි මහත් සෙනෙහසකින්.
7 තමාවම එඬේරෙකුට සමාන කරගනිමින්, අපව ආරක්ෂා කරගැනීමට වූ සිය හෘදයාංගම ආශාව ගැන යෙහෝවා අපට සහතික වෙනවා. (එසකියෙල් 34:11-16) මෙම පොතේ 2වන පරිච්ඡේදයේ අප සාකච්ඡා කළ යෙසායා 40:11හි යෙහෝවා ගැන සඳහන් කර ඇති විස්තරය සිහියට නඟන්න. ‘එඬේරෙකු මෙන් ඔහු තමන්ගේ රැළ පෝෂ්‍ය කරයි. බැටළු පැටවුන්ද තමන්ගේ හස්තයෙන් රැගෙන, තමන්ගේ ළයේ [තුරුල්ලේ, NW] දරමින් . . . ගෙනයන්නේය.’ එඬේරාට මෙම සිඟිති බැටළු පැටවාව තම “ළයේ” හෙවත් “තුරුල්ලේ” හොවාගනිමින් ඔහුගේ පිටත සළුවෙන් ඌව ඔතාගෙන ගෙන යෑමට පෙලඹීමක් ඇති වන්නේ ඇයි? බැටළු පැටවා එඬේරා අසලට ඇවිත් ඔහුගේ පාදවල සෙමින් ඇතිල්ලෙයි. කෙසේවෙතත්, පහතට නැමී, බැටළු පැටවා ඔසවා, ඌව සුරැකිව මෘදු ලෙස තම ළයට තුරුලු කරගත යුත්තේ එඬේරායි. අපගේ ශ්‍රේෂ්ඨ එඬේරාණන්ට අපව රැකගැනීමට තිබෙන මහත් කැමැත්ත පිළිබඳව එය මොනතරම් සෙනෙහෙබර චිත්‍රයක් මවයිද!
8. (අ) දෙවිගේ ආරක්ෂාව ගැන පොරොන්දුව ඉදිරිපත් කර තිබෙන්නේ කාටද? මෙය හිතෝපදේශ 18:10හි අඟවා තිබෙන්නේ කෙසේද? (ආ) දෙවිගේ නාමය තුළ ආරක්ෂාව ලැබීමට ඇතුළත් වන්නේ කුමක්ද?
8 දෙවිගේ ආරක්ෂාව සම්බන්ධ පොරොන්දුව කොන්දේසි සහිතයි. එනම් එය අද්දකින්නේ ඔහුට ළං වී සිටින අය පමණයි. හිතෝපදේශ 18:10 මෙසේ සඳහන් කරනවා. “[යෙහෝවාගේ] නාමය බලකොටුවක්ය. ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්ෂිත වෙයි.” බයිබල් කාලවල, පාළුකර ප්‍රදේශවල ආරක්ෂිත ස්ථාන වශයෙන් ඇතැම් විට බලකොටු සාදා තිබුණා. එහෙත් ආරක්ෂාව සෙවීම සඳහා යමෙකුට එවන් බලකොටුවක් වෙතට දිව යෑමට සිදු වුණා. දෙවිගේ නාමය තුළ රැකවරණය ලැබීමත් ඒ හා සමානයි. දෙවිගේ නාමය නැවත නැවත උච්චාරණය කිරීමට වඩා වැඩි යමක් මීට ඇතුළත් වෙනවා. මන්ද දිව්‍ය නාමය නිකම්ම එලෙස උච්චාරණය කළ පළියට යම් හාස්කමක් වෙයි කියා අපි නොසිතිය යුතුයි. ඒ වෙනුවට, එම නාමය දරන තැනැත්තාව දැනගෙන ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් තැබීමත්, ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුකූලව ජීවිතය ගත කිරීමත් ඊට ඇතුළත් වෙනවා. අප ඇදහිල්ලෙන් යුතුව යෙහෝවා වෙතට හැරුණොත් ඔහු අපට ආරක්ෂිත බලකොටුවක් වෙන බවට සහතික වෙමින් ඔහු අපගේ බිය සැක දුරු කරනවා. ඒ අතින් ඔහු කොතරම් කරුණාවන්තද!
‘ගළවන්ට නම් . . . අපේ දෙවිට පුළුවන’
9. නිකම්ම ආරක්ෂාව පොරොන්දු වෙනවාට වඩා වැඩි යමක් යෙහෝවා කර තිබෙන්නේ කෙසේද?
9 ආරක්ෂාව ගැන නිකම්ම පොරොන්දු වෙනවාට වඩා වැඩි යමක් යෙහෝවා කර තිබෙනවා. බයිබල් කාලවලදී, තමාට සිය සෙනඟව ආරක්ෂා කිරීමට හැකි බව ඔහු විදහාපෙන්වූයේ ආශ්චර්යවත් ක්‍රමවලින්. ඉශ්‍රායෙල් ඉතිහාසය තුළ, යෙහෝවාගේ පරාක්‍රමවත් “හස්තය” ප්‍රබල සතුරන්ගෙන් නිරතුරුවම ඔවුන්ව ආරක්ෂා කළා. (නික්මයාම 7:4) කෙසේවෙතත්, යෙහෝවා යම් යම් පුද්ගලයන් වෙනුවෙන්ද තම සුරැකීමේ බලය යොදාගත් අවස්ථා තිබුණා.
10, 11. යෙහෝවා සිය සුරැකීමේ බලය යම් පුද්ගලයන් වෙනුවෙන් යොදාගත් බව පෙන්වන්නේ කිනම් බයිබල් උදාහරණද?
10 හෙබ්‍රෙව් තරුණයන් තිදෙනා වන ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝ නෙබුකද්නෙශර් රජුගේ රන් රූපය ඉදිරියේ වැඳ වැටීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ, වියරු වැටුණ රජ ඉතා අධික රස්නයක් ඇති ගිනි උදුනකට ඔවුන්ව විසි කරන බවට තර්ජනය කළා. “මාගේ අත්වලින් නුඹලා ගළවන දෙවියෝ කවුද” යයි අසමින් එවකට පොළොවේ විසූ වඩාත් බලසම්පන්න රජෙකු වූ නෙබුකද්නෙශර් මහත් හඬින් මොර දුන්නා. (දානියෙල් 3:15) මෙම තරුණයන් තිදෙනාට ඔවුන්ව ආරක්ෂා කරගැනීමට දෙවිට ඇති හැකියාව ගැන සම්පූර්ණ විශ්වාසයක් හා නිසැකකමක් තිබුණා. නමුත් ඔහු එසේ කරනු ඇති බවක් ඔවුන් නිගමනය කළේ නැහැ. මෙබැවින්, ඔවුන් මෙසේ පිළිතුරු දුන්නා. “ඇවිළෙන ගිනි උදුනෙන් ගළවන්ට නම් අප සේවය කරන අපේ [දෙවිට] පුළුවන.” (දානියෙල් 3:17) ඇත්තෙන්ම, එම ගිනිමය උදුන, සාමාන්‍ය තරමට වඩා හත් ගුණයක් රත් කළායින් පසුව පවා, ඔවුන්ගේ සර්ව පරාක්‍රම දෙවිට ඔවුන්ව බේරාගැනීම කිසිම ප්‍රශ්නයක් වූයේ නැහැ. ඔහු ඇත්තටම ඔවුන්ව ආරක්ෂා කළා. ඒ සමඟම මෙසේ පිළිගැනීමට රජුට සිදු වුණා. “මේ ආකාරයෙන් ගළවාගන්ට පුළුවන් වූ වෙන දෙවිකෙනෙක් නැත.”—දානියෙල් 3:29.
11 යෙහෝවා සිය සුරැකීමේ බලය ආශ්චර්යවත් අන්දමින් විදහාපෑ තවත් අවස්ථාවක් තිබුණා. ඒ තමයි, තම ඒක ජාතක පුත්‍රයාගේ ජීවිතය යුදෙව් කන්‍යාවක් වූ මරියාගේ ගර්භාශයට මාරු කළ අවස්ථාව. ඇය ‘ගර්භිණීව පුත්‍රයෙකු වදන’ බව දේවදූතයෙක් මරියාට පැවසුවා. දේවදූතයා මෙසේ පැහැදිලි කළා. ‘ශුද්ධාත්මය නුඹ කෙරෙහි පැමිණ, මහෝත්තමයාණන්ගේ ආනුභාවද නුඹ වසාගන්නේය.’ (ලූක් 1:31, 35) පෙනෙන විදිහට, දෙවිගේ පුත්‍රයාගේ ජීවිතය කවදාවත් මෙතරම් අවදානම් තත්වයකට පත් වී තිබුණේ නැහැ. මිනිස් මවගේ පාපය සහ අසම්පූර්ණකම කලලය කිළිටි කරාවිද? එම පුත්‍රයා ඉපදීමට පෙරාතුව ඔහුට තුවාල කිරීමට හෝ ඔහුව මරා දැමීමට සාතන්ට හැකි වේවිද? එය කොහෙත්ම වෙන්නේ නැහැ! මන්ද යෙහෝවා හරියට මරියා වටා ආරක්ෂිත පවුරක් ගොඩනැඟුවා හා සමානව ඇයව ආරක්ෂා කළා. එමනිසා, එම කලලය පිළිසිඳගත් අවස්ථාවේ සිට කිසිම දෙයකට, එනම් කිසිම අසම්පූර්ණකමකට, කිසිම හානිකර බලවේගයකට, කිසිම මිනීමරුවෙකුට හා කිසිම භූතයෙකුට වැඩෙමින් තිබෙන එම කලලයට හානි කරන්නට හැකි වුණෙත් නැහැ. යේසුස්ගේ ළමා කාලයේදීත් යෙහෝවා නිරතුරුව ඔහුව ආරක්ෂා කළා. (මතෙව් 2:1-15) දෙවිගේ නියමිත කාලය එළඹෙන තුරු, ඔහුගේ ප්‍රිය පුත්‍රයාව මරා දැමීමට කිසිවෙකුට හැකි වූයේ නැහැ.
12. බයිබල් කාලවලදී යෙහෝවා යම් යම් පුද්ගලයන්ව ආශ්චර්යවත් අන්දමින් ආරක්ෂා කළේ මන්ද?
12 යෙහෝවා පුදුමාකාර ක්‍රමවලින් යම් යම් පුද්ගලයන්ව ආරක්ෂා කළේ මන්ද? බොහෝ අවස්ථාවලදී, යෙහෝවා යම් පුද්ගලයන්ව ආරක්ෂා කළේ ඉතා වැදගත් වූ හේතුවක් නිසයි. ඒ සිය අරමුණ ඉටු කිරීමටයි. නිදසුනක් වශයෙන්, යේසුස් ළදරු වියේදී මරණයෙන් බේරීම, දෙවිගේ අරමුණ ඉටුවීමට අත්‍යවශ්‍ය දෙයක් වුණා. එය අන්තිමේදී මිනිස් සංහතියේ සියල්ලන්ගේ ප්‍රයෝජනයට ඉවහල් වෙනවා ඇති. ‘ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියන ලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියන ලද’ දේවානුභාවය ලත් ශුද්ධ ලියවිල්ලේ, දෙවි සුරැකීමේ බලය විදහා පා ඇති අවස්ථා බොහොමයක් වාර්තා වී තිබෙනවා. (රෝම 15:4) ඔව්, මෙම උදාහරණ සියලු බලැති දෙවි කෙරෙහි අපගේ ඇදහිල්ල ශක්තිමත් කරනවා. නමුත් අදදින දෙවිගෙන් අපට අපේක්ෂා කළ හැක්කේ කිනම් ආරක්ෂාවක්ද?
දිව්‍ය ආරක්ෂාව කීමෙන් අදහස් නොකරන දෙය
13. අප වෙනුවෙන් ආශ්චර්යවත් දේවල් කිරීමට යෙහෝවා බැඳී සිටිනවාද? පැහැදිලි කරන්න.
13 දිව්‍ය ආරක්ෂාවේ පොරොන්දුවෙන් අදහස් වන්නේ අප වෙනුවෙන් ආශ්චර්යවත් අන්දමින් ක්‍රියා කිරීමට යෙහෝවා බැඳී සිටිනවා යන්න නොවේ. මෙම පැරණි ක්‍රමය තුළ ගැටලුවලින් තොර ජීවිතයක් භුක්ති විඳීමට ලැබෙනවායයි දෙවි අපට සහතික කර නැහැ. යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයන් බොහෝදෙනෙක් දුප්පත්කම, යුද්ධය, අසනීප සහ මරණය ඇතුළු දරුණු පීඩාවලට මුහුණ දෙනවා. යේසුස්ගේ ගෝලයන්ට තම ඇදහිල්ල නිසා පුද්ගලයන් වශයෙන් මරණයට පවා මුහුණ පෑමට සිදු විය හැකියයි යේසුස් පැහැදිලිව පැවසුවා. අවසානය දක්වාම විඳදරාගැනීමේ අවශ්‍යතාව ගැන යේසුස් විසින් කාවද්දනු ලැබුවේ එමනිසයි. (මතෙව් 24:9, 13, NW) තම සේවකයන්ගේ ජීවිත සම්බන්ධ සෑම අවස්ථාවකදීම ඔවුන්ව බේරාගැනීම සඳහා යෙහෝවා විසින් තම බලය ආශ්චර්යවත් අන්දමින් යොදාගන්ට ගියා නම්, අපේ පැත්තෙන් දෙවිට දක්වන භක්තියේ අවංකකම ගැන යෙහෝවාට අවමන් කිරීමට එය සාතන්හට යම් පදනමක් සැපයිය හැකියි.—යෝබ් 1:9, 10.
14. යෙහෝවා සිය සේවකයන්ව සෑම අවස්ථාවකදීම එකම විදිහට ආරක්ෂා නොකරන බවට තිබෙන්නේ කිනම් උදාහරණද?
14 බයිබල් කාලවලදී පවා, තම සෑම සේවකයෙකුවම අකල් මරණයෙන් මුදවාගැනීමට යෙහෝවා තම සුරැකීමේ බලය යොදාගත්තේ නැහැ. නිදසුනක් වශයෙන්, ප්‍රේරිත යාකොබ්ව පො.යු. 44දී හෙරොද් විසින් ඝාතනය කරනු ලැබූ නමුත් ඊට ටික කලකට පසුව, පේතෘස්ව “හෙරොද්ගේ අතින්” මුදනු ලැබුවා. (ක්‍රියා 12:1-11) අනික් අතට, යාකොබ්ගේ සහෝදර වූ යොහන්, පේතෘස්ට සහ යාකොබ්ට වඩා වැඩි කල් ජීවත් වුණා. පැහැදිලිවම පෙනී යන දෙයක් නම්, දෙවිට සේවය කරන සෑම කෙනෙකුවම සෑම අවස්ථාවකදීම ආරක්ෂා කිරීම අපගේ දෙවිගෙන් අපේක්ෂා කිරීමට අපට බැරි බවයි. ඇරත්, “කාලයත් හදිසි කාරණාත්” අප සියල්ලන්ටම සිදු වෙන්ට පුළුවන්. (දේශනාකාරයා 9:11) එසේ නම්, යෙහෝවා අදදින අපව ආරක්ෂා කරන්නේ කොහොමද?
යෙහෝවා ශාරීරික උපද්‍රවවලින් ආරක්ෂාව සපයයි
15, 16. (අ) යෙහෝවා සිය නමස්කාරකයන්හට කණ්ඩායමක් වශයෙන් ශාරීරික උපද්‍රවවලින් ආරක්ෂාව සපයා ඇති බවට තිබෙන සාක්ෂිය කුමක්ද? (ආ) යෙහෝවා සිය සේවකයන්ව දැනුත් ‘මහත් පීඩාව’ අතරතුරේදීත් ආරක්ෂා කරනු ඇති බවට අපට නිසැක විය හැක්කේ ඇයි?
15 පළමුවෙන්ම, ශාරීරික උපද්‍රවවලින් ආරක්ෂාව සැපයීම යන කරුණ සැලකිල්ලට ගන්න. යෙහෝවාගේ නමස්කාරකයන් වශයෙන්, අපට කණ්ඩායමක් හැටියට එවන් ආරක්ෂාවක් අපේක්ෂා කළ හැකියි. නොඑසේනම්, අප ඉතා පහසුවෙන් සාතන්ට ගොදුරු වේවි. මේ ගැන සිතා බලන්න. “මේ ලෝකයේ අධිපතියා” වන සාතන්ට වෙන මොනයම් දෙයකට වඩා වුවමනා වී ඇත්තේ සැබෑ නමස්කාරය අතුගා දැමීමටයි. (යොහන් 12:31; එළිදරව් 12:16ආ) මේ පොළොව මත තිබෙන බලවත් ආණ්ඩු වැඩි ගණනක් අපගේ දේශනා වැඩය තහනම් කර තිබෙන අතර, අපව මුළුමනින්ම අතුගා දැමීමට උත්සාහ කර තිබෙනවා. එහෙත්, ස්ථිරව සිට ඇති යෙහෝවාගේ ජනයා, කිසිම නැවතීමකින් තොරව දිගටම දේශනා කර තිබෙනවා! සාපේක්ෂ වශයෙන් කුඩා වූ සහ කිසිම හව්හරණයක් නැතුවා සේ පෙනෙන මෙම ක්‍රිස්තියානි ජන කොටසගේ ක්‍රියාකාරකම් නතර කිරීමට මෙම බලවත් ජාතීන්ට නොහැකි වී තිබෙන්නේ ඇයි? මන්දයත් යෙහෝවා තම සංකේතමය පියාපත්වලින් අපව ආරක්ෂා කර තිබෙන නිසයි!—ගීතාවලිය 17:7, 9.
16 පැමිණෙන ‘මහත් පීඩාව’ අතරතුරේදී ශාරීරික උපද්‍රවවලින් ආරක්ෂාව ලැබීම ගැන කුමක් කිව හැකිද? දෙවි තම විනිශ්චයන් ක්‍රියාත්මක කිරීමේදී අපට භයවීමට අවශ්‍ය වන්නේ නැහැ. ඇරත්, ‘භක්තිවන්තයන් පරීක්ෂාවෙන් ගළවන්ටත් අධර්මිෂ්ඨයන් දඬුවම යටතේ විනිශ්චය දවස දක්වා තබන්ටත් යෙහෝවා දනී.’ (එළිදරව් 7:14; 2 පේතෘස් 2:9, 10) මේ අතරතුර, කාරණා දෙකක් ගැන අපට සෑමවිටම සහතික විය හැකියි. පළමුව, යෙහෝවාගේ සේවකයන්ව පොළොවෙන් අතුගා දැමීමට ඔහු විසින් කිසිදා ඉඩ නොතබන බවයි. දෙවනුව, අඛණ්ඩතාව රකින්නන්ට සිය ධර්මිෂ්ඨ නව ලෝකයේ සදාකාල ජීවනය දීමෙන් ඔහු ඔවුන්ට විපාක දෙන බවයි. අවශ්‍ය නම් එය නැවත නැඟිටීමක් මාර්ගයෙන් හෝ වීමට පිළිවන්. මිය යන අයට, දෙවිගේ මතකයේ සිටිනවාට වඩා හොඳ සුරක්ෂිත තැනක් තවත් නැහැ.—යොහන් 5:28, 29.
17. යෙහෝවා සිය වචනය තුළින් අපව ආරක්ෂා කරන්නේ කෙසේද?
17 හදවත් සුව කිරීමට සහ ජීවිත වෙනස් කිරීමට පොලඹවනසුලු බලයක් තිබෙන සිය ජීවමාන “වචනය” තුළින් යෙහෝවා දැන් පවා අපව ආරක්ෂා කරනවා. (හෙබ්‍රෙව් 4:12) එහි ප්‍රතිපත්ති අදාළ කරගැනීම මගින්, අපට යම් ආකාරවලින් ශාරීරික උපද්‍රවවලින් ආරක්ෂා විය හැකියි. ‘ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නේ යෙහෝවා වන මමය’ කියා යෙසායා 48:17 පවසනවා. දේවවචනයට අනුව ජීවත් වීමෙන් අපගේ සෞඛ්‍යය දියුණු කළ හැකි බව හා අපගේ ජීවිතය දිගු කළ හැකි බවට කිසි වාදයක් නැහැ. නිදසුනක් වශයෙන්, වේශ්‍යාකමෙන් වැළකී සිටින ලෙසටත්, සියලු අපවිත්‍රකම්වලින් අපවම පවිත්‍ර කරගන්නා ලෙසටත් දී ඇති බයිබල් උපදෙස් අප විසින් අදාළ කරගන්නා නිසා, අභක්තික බොහෝදෙනෙකුගේ ජීවිත නැති නාස්ති කරන අපවිත්‍ර ක්‍රියා සහ හානිකර පුරුදුවලින් අපි වැළකී සිටිමු. (ක්‍රියා 15:29; 2 කොරින්ති 7:1) දේවවචනයෙන් ලැබෙන ආරක්ෂාව ගැන අප කොතරම් ස්තුතිවන්ත විය යුතුද!
යෙහෝවා අපව ආත්මිකව ආරක්ෂා කරයි
18. යෙහෝවා අපට සපයන්නේ කිනම් ආත්මික ආරක්ෂාවක්ද?
18 වඩා වැදගත් දේ නම් යෙහෝවා ආත්මික වශයෙන් අපට ආරක්ෂාව සැපයීමයි. පරීක්ෂා විඳදරාගැනීමටත් ඔහු සමඟ ඇති අපේ සම්බන්ධතාව ආරක්ෂා කරගැනීමටත් අවශ්‍ය දේ සමඟින් අපව සන්නාහ සන්නද්ධ කිරීමෙන් අපගේ ප්‍රේමනීය දෙවි අපව ආත්මික හානිවලින් ආරක්ෂා කර තිබෙනවා. මෙසේ, යෙහෝවා අපගේ ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කර තිබෙන්නේ අවුරුදු ස්වල්පයකට පමණක් නොව නමුත් සදාකාලයටමය. අපව ආත්මිකව ආරක්ෂා කළ හැකි දෙවිගේ සැපයුම් සමහරක් ගැන සලකා බලන්න.
19. අප මුහුණ දෙන ඕනෑම පරීක්ෂාවක් පරාජය කිරීමට යෙහෝවාගේ ආත්මය අපව ශක්තිමත් කරන්නේ කෙසේද?
19 යෙහෝවා ‘යාච්ඤා අසන තැනැත්තා’ වෙයි. (ගීතාවලිය 65:2) අපගේ ජීවිතය පීඩාකාරි දේවලින් යටපත් වී යනවාක් මෙන් පෙනෙන්ට තිබෙන අවස්ථාවල, අපගේ හෘදයන් ඔහු ඉදිරියේ වගුරුවන විට අප මහත් සහනයක් ලබනවා. (පිලිප්පි 4:6, 7) ඔහු අපගේ පරීක්ෂා ආශ්චර්යවත් අන්දමින් ඉවත් නොකරනවා වන්ට පිළිවන්. නමුත් අපගේ හෘදයාංගම යාච්ඤාවලට ප්‍රතිචාරයක් වශයෙන්, ඒවා සමඟ කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රඥාව අපහට දානය කිරීමට ඔහුට හැකියි. (යාකොබ් 1:5, 6) ඊටත් වඩා, යෙහෝවා ශුද්ධාත්මය ඉල්ලන්නන්ට එය දානය කරනවා. (ලූක් 11:13) එම බලවත් ආත්මයේ උපකාරයෙන් ඕනෑම පරීක්ෂාවක් හෝ අප මුහුණ දෙන ගැටලුවක් පරාජය කිරීමට අපට පුළුවන්. ඉතා ළඟදීම නව ලෝකයේදී යෙහෝවා සියලු වේදනාකාරි ගැටලු ඉවත් කරන තෙක් විඳදරාගැනීමට “සාමාන්‍ය ඉක්මවූ බලය” එමගින් අපට දානය කරනවා.—2 කොරින්ති 4:7, NW.
20. අපගේ සෙසු නමස්කාරකයන් තුළින් යෙහෝවාගේ ආරක්ෂිත සැලකිල්ල කෙසේ ප්‍රකාශ විය හැකිද?
20 ඇතැම් අවස්ථාවල, යෙහෝවාගේ සුරැකීමේ බලය අපගේ සෙසු නමස්කාරකයන් තුළින් දැකගත හැකියි. යෙහෝවා සිය සෙනඟව සමස්ත ලෝක ‘සහෝදර සමාගමකට’ ආකර්ෂණය කර තිබෙනවා. (1 පේතෘස් 2:17; යොහන් 6:44) එම සහෝදරත්වයේ උණුසුම මැද, ජනයාගේ යහපත උදෙසා දෙවිගේ ශුද්ධාත්මයේ ක්‍රියාකාරිත්වයේ බලපෑම අපේ ඇස් පනා පිටම අපට දකින්ට පුළුවන්. එම ආත්මය අප තුළ නිපදවන්නේ ඉතා අලංකාර වූ ප්‍රේමය, කරුණාවන්තකම සහ යහපත්කම ඇතුළු ඉතා වටිනා ගුණාංගයි. (ගලාති 5:22, 23) මෙබැවින්, අප වේදනාවෙන් සිටින විට, සෙසු ඇදහිලිවන්තයෙක් පෙලඹී අපට උපකාරවත් වනසුලු උපදෙසක් හෝ බොහෝ සෙයින් අවශ්‍ය වී ඇති දිරිගන්වනසුලු වචනයක් අප සමඟ බෙදාගන්නා විට, යෙහෝවා මේ අන්දමින් සිය ආරක්ෂිත සැලකිල්ල අප කෙරෙහි විදහාපෑම ගැන අපි ඔහුට ස්තුති කරන්නෙමු.
21. (අ) යෙහෝවා “විශ්වාස වූ නුවණ ඇති දාසයා” තුළින් කිනම් කාලෝචිත ආත්මික ආහාර සපයා තිබෙනවාද? (ආ) අපව ආත්මිකව ආරක්ෂා කිරීම සඳහා යෙහෝවා දී ඇති සැපයුම්වලින් ඔබ පෞද්ගලිකව ප්‍රයෝජන ලබා ඇත්තේ කෙසේද?
21 යෙහෝවා අපව ආරක්ෂා කරගැනීම සඳහා තවත් දෙයක් සපයනවා. එය තමයි, කාලෝචිතව ලැබෙන ආත්මික ආහාර. සිය වචනයෙන් ශක්තිය ඇදගැනීමට අපට උපකාර කරන පිණිසයි, යෙහෝවා නිසි වේලාවට අපට ආත්මික ආහාර බෙදා දීම සඳහා “විශ්වාස වූ නුවණ ඇති දාසයා” පත් කොට තිබෙන්නේ. එම විශ්වාස නුවණැති දාසයා මුරටැඹ සහ පිබිදෙව්! ඇතුළු මුද්‍රිත ප්‍රකාශන මෙන්ම රැස්වීම්, එක්රැස්වීම් සහ සමුළුද යොදාගන්නවා. එම සැපයුම් පිළියෙළ කර ඇත්තේ “නියම වේලාවට කෑම” අපට ලබා දීමටයි. එනම් අපට අවශ්‍ය දෙය අවශ්‍ය වේලාවට ලබා දීමටයි. (මතෙව් 24:45) ක්‍රිස්තියානි රැස්වීමකදී ප්‍රකාශ වන අදහසක් තුළින්, කතාවක් තුළින් හෝ යාච්ඤාවක් තුළින් පවා හරියටම අවශ්‍ය වූ ශක්තිය සහ දිරිගැන්වීම ඔබට ලැබී තිබෙන බව කවදා හෝ ඔබට හැඟී ගොස් තිබෙනවාද? අපගේ සඟරාවක පළ වූ සුවිශේෂී ලිපියක තොරතුරු, ‘හරියටම මේ නම් මටමමයි’ කියා ඔබට සිතී තිබෙනවාද? යෙහෝවා මේ සියලු සැපයුම් දී ඇත්තේ අපව ආත්මික වශයෙන් ආරක්ෂා කිරීමට බව මතක තබාගන්න.
22. යෙහෝවා සෑම විටම තම බලය යොදාගන්නේ කිනම් අන්දමින්ද? ඔහු එසේ කිරීම අපගේ උපරිම යහපතට හේතු වනුයේ මන්ද?
22 යෙහෝවා, “තමන් සරණ කොට ගන්න සියල්ලන්ට පලිහක්” වන බව සහතිකයි. (ගීතාවලිය 18:30) අප මත එල්ල වන සියලු උපද්‍රවවලින් ආරක්ෂා කිරීමට යෙහෝවා දැන් සිය බලය යොදා නොගන්නා බව අපි වටහාගෙන ඇත්තෙමු. කෙසේවෙතත්, සිය අරමුණ ක්‍රියාත්මක වන බවට තහවුරු කිරීම සඳහා ඔහු සිය සුරැකීමේ බලය සෑම විටම යොදාගන්නවා. දිගු කාලීනව ගත් කල, ඔහු එසේ කරන්නේ සිය ජනයාගේ උපරිම යහපත උදෙසායි. අප ඔහුට ළං වී ඔහුගේ ප්‍රේමය තුළ රැඳී සිටිනවා නම්, සදාකාලික වූ පරිපූර්ණ ජීවිතයක් ඔහු අපට දෙනවා ඇති. එම අරමුණ පෙරදැරි කරගෙන, පවතින මේ ක්‍රමය තුළ අපට විඳීමට සිදු වන ඕනෑම වේදනාවක් “මොහොතකට පවතින . . . සැහැල්ලු වූ දුකක්” ලෙස සලකමු.—2 කොරින්ති 4:17.
මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න
ගීතාවලිය 23:1-6 ශ්‍රේෂ්ඨ එඬේරාණන් වශයෙන්, යෙහෝවා සිය බැටළු ගුණැති ජනයාව ආරක්ෂා කොට රැකබලා ගන්නේ කෙසේද?
ගීතාවලිය 91:1-16 යෙහෝවා අපව ආත්මික උපද්‍රවවලින් ආරක්ෂා කරන්නේ කෙසේද? තවද ඔහුගේ ආරක්ෂාව යටතට පැමිණීමට නම් අප කුමක් කළ යුතුද?
දානියෙල් 6:16-22, 25-27 යෙහෝවා පුරාණ රජ කෙනෙකුට තම සුරැකීමේ බලය ගැන ඉගැන්වූයේ කෙසේද? මෙම උදාහරණයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
මතෙව් 10:16-22, 28-31 අපට කිනම් විරුද්ධවාදිකම් අපේක්ෂා කළ හැකිද? නමුත් අප විරුද්ධවාදීන්ට භය නොවිය යුත්තේ මන්ද?
[69වන පිටුවේ පින්තූරය]
‘ඔහුගේ තුරුල්ලේ ඔහු ඔවුන් ගෙන යන්නේය’