14වන පරිච්ඡේදය
යෙහෝවා “බොහෝදෙනෙක් උදෙසා මිදීමේ මිලයක්” සපයයි
1, 2. මිනිස් සංහතියේ තත්වය පිළිබඳව බයිබලය විස්තර කරන්නේ කොහොමද? ඉන් මිදීමට තිබෙන එකම මාර්ගය කුමක්ද?
‘මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳියි.’ (රෝම 8:22) මේ වචන සමඟින් ප්‍රේරිත පාවුල් විස්තර කරන්නේ අප සිටින ඉතා දුක්ඛිත තත්වයයි. මිනිස් දෘෂ්ටි කෝණයෙන් බැලූ විට දුක් විඳීමට, පාපයට හා මරණයට කිසිම විසඳුමක් තිබෙන බවක් පෙනෙන්නට නැහැ. නමුත් යෙහෝවා මිනිසුන් මෙන් සීමාවන් තුළ කොටු වී නැහැ. (ගණන් කථාව 23:19) යුක්තියේ දෙවි අපේ දුක් කරදර පීඩාවලින් මිදීමට මාර්ගයක් අපට සපයා තිබෙනවා. එය හඳුන්වන්නේ මිදීමේ මිලය කියායි.
2 මිදීමේ මිලය යනු මිනිස් සංහතිය උදෙසා යෙහෝවාගේ ශ්‍රේෂ්ඨතම දීමනාවයි. පාපයෙන් හා මරණයෙන් මිදීමට අපට හැකි වන්නේ එය නිසයි. (එපීස 1:7) ස්වර්ගයෙහි හෝ වේවා පාරාදීස පොළොවෙහි හෝ වේවා සදාකාල ජීවනයේ බලාපොරොත්තුවට පදනම සපයන්නේ එයයි. (ලූක් 23:43; යොහන් 3:16; 1 පේතෘස් 1:4) එහෙත් ඇත්තටම මිදීමේ මිලය කියන්නේ කුමක්ද? යෙහෝවාගේ අතිශ්‍රේෂ්ඨ යුක්තිය පිළිබඳව ඉන් අපට උගන්වන්නේ කුමක්ද?
මිදීමේ මිලයක අවශ්‍යතාව පැනනැඟුණු ආකාරය
3. (අ) මිදීමේ මිලය අවශ්‍ය වූයේ ඇයි? (ආ) ආදම්ගෙන් පැවතෙන්නන් කෙරෙහි නියම කළ මරණ දඬුවම නිකම්ම වෙනස් කිරීමට දෙවිට නොහැකි වූයේ ඇයි?
3 මිදීමේ මිලයේ අවශ්‍යතාව පැන නැඟුණේ ආදම්ගේ පාපය නිසයි. දෙවිට අකීකරු වීම මගින්, ආදම් තමාගෙන් පැවතෙන්නන්හට අසනීප, ශෝකය, වේදනාව හා මරණය උරුම කර දුන්නා. (උත්පත්ති 2:17; රෝම 8:20, 21) ඒ අවස්ථාවේදී නිකම්ම හැඟීම්වලට වහල් වී මරණ දඬුවම වෙනස් කරන්නට දෙවිට හැකි වුණේ නැහැ. එසේ කළා නම්, “පාපයේ කුලී නම් මරණයය” යන ඔහුගේම නීතිය ඔහු විසින් නොසලකා හැරියා වෙනවා. (රෝම 6:23) තවද යෙහෝවා තමන්ගේම යුක්තියේ ප්‍රමිති අවලංගු කළා නම්, විශ්වය පුරා වියවුල හා නොපනත්කම පැතිර පවතීවි!
4, 5. (අ) සාතන් දෙවිට අපහාස කළේ කොහොමද? තවද මෙම අභියෝගවලට පිළිතුරු දීමට තමන් බැඳී සිටින බව යෙහෝවාට සාධාරණ ලෙස හැඟුණේ මන්ද? (ආ) යෙහෝවාගේ පක්ෂපාත සේවකයන් සම්බන්ධයෙන් සාතන් කළ චෝදනාව කුමක්ද?
4 අප 12වන පරිච්ඡේදය තුළ දුටුවාක් මෙන්, ඒදන් උයනේ සිදු වූ කැරැල්ලෙන් වැදගත් ප්‍රශ්න මතු කළා. සාතන් කළේ දෙවිගේ හොඳ නාමය මත අඳුරු පැල්ලමක් ඇති කිරීමයි. මෙහිදී, යෙහෝවා බොරුකාරයෙකු බවටත් තමන්ගේ මැවිලිවල නිදහස අහිමි කර දැමූ කුරිරු ඒකාධිපතියෙකු බවටත් සාතන් චෝදනා කළා. (උත්පත්ති 3:1-5) ධර්මිෂ්ඨ මිනිසුන්ගෙන් පොළොව පිරවීමට වූ දෙවිගේ අරමුණ කඩාකප්පල් වී තිබෙන බව පෙනීමට සලස්වමින්, සාතන් දෙවි අසාර්ථක වූ බව අඟවන්න උත්සාහ කළා. (උත්පත්ති 1:28; යෙසායා 55:10, 11) යෙහෝවා විසින් මෙම අභියෝගවලට පිළිතුරු නොදී හැරියා නම්, ඔහුගේ බුද්ධිමත් මැවිලි බොහොමයක් තුළ ඔහුගේ පාලකත්වය කෙරෙහි තිබූ විශ්වාසය යම් දුරකට හීන වී යන්නට ඉඩ තිබුණා.
5 තවද සාතන් යෙහෝවාගේ පක්ෂපාත සේවකයන්හටද අපහාස කළා. එසේ කළේ ඔවුන් දෙවිට සේවය කරන්නේ ආත්මාර්ථකාමී චේතනාවෙන් යුතුව බවත්, ඔවුන්ව පීඩනයකට හසු කළොත් කිසිවෙකු දෙවිට විශ්වාසවන්තව නොසිටිනු ඇති බවටත් චෝදනා කිරීමෙන්. (යෝබ් 1:9-11) මිනිසා මුහුණ දෙමින් සිටින මොනයම් දුෂ්කර තත්වයකටත් වඩා මෙම ප්‍රශ්නවලට මහත් ගැඹුරු වැදගත්කමක් තිබුණා. සාතන්ගේ මෙම අපහාසාත්මක චෝදනාවලට පිළිතුරු දීමට තමන් බැඳී සිටින බව යෙහෝවාට දැනීම සාධාරණයි. නමුත් ප්‍රශ්නවලට පිළිතුරු දී මිනිස් සංහතිය බේරාගන්නට දෙවිට හැක්කේ කොහොමද?
මිදීමේ මිලය—සමානකමක්
6. මිනිස් සංහතිය බේරාගැනීම සඳහා දෙවි යොදා ගත් ක්‍රමය විස්තර කිරීමට බයිබලයෙහි පාවිච්චි කර තිබෙන සමහර වචන මොනවාද?
6 යෙහෝවා මීට දුන් විසඳුම අතිශයින් දයාන්විත වූද එමෙන්ම යුක්තිය ඉතා ගැඹුරට විහිදී යන්නාවූද විසඳුමක්. එය නම් කොහෙත්ම මිනිසුන්ට සැලසුම් කරන්නට බැරි දෙයක්. එහෙත් මෙහි තිබෙන සිත්ගන්නා දෙය නම්, එය ඉතා සරල දෙයක් වීමයි. එය මිදීමක්, සමගිකමක්, මුදාගැනීමක්, සමඟි කරගැනීමක්, ශාන්ති පූජාවක් යන විවිධ වචනවලින් විස්තර කර තිබෙනවා. (ගීතාවලිය 49:9; දානියෙල් 9:24; ගලාති 3:13; කොලොස්සි 1:20; හෙබ්‍රෙව් 2:17) නමුත් මෙම කාරණය සමහරවිට ඉතා හොඳම ආකාරයෙන් විස්තර කළේ යේසුස් විසින්මයි. ඔහු මෙසේ පැවසුවා. “මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවය කරන්ටද බොහෝදෙනෙක් උදෙසා මිදීමේ මිලයක් [ග්‍රීක්, ලිට්රොන්] කොට තමන්ගේ ජීවිතය දෙන්ටද ආවේය.”—මතෙව් 20:28.
7, 8. (අ) ශුද්ධ ලියවිලිවල “මිදීමේ මිලය” යන යෙදුමේ අරුත කුමක්ද? (ආ) මිදීමේ මිලයකට සමතුලිතතාවක් ඇතුළත් වන්නේ කිනම් ආකාරයෙන්ද?
7 මිදීමේ මිලයක් කියන්නේ කුමක්ද? මේ සඳහා යොදා ඇති ග්‍රීක් වචනය පැමිණෙන්නේ “මුදාහැරීම, නිදහස් කිරීම” යන අරුත් ඇති ක්‍රියා පදයකින්. මෙම යෙදුම භාවිත වුණේ යුද්ධයක සිරකරුවන් මුදාගැනීම සඳහා හුවමාරුවක් ලෙස ගෙවන මුදලක් විස්තර කිරීමටයි. එසේ නම්, මූලිකව ගත් කල, මිදීමේ මිලය යම් දෙයක් ආපසු මිල දී ගැනීමට ගෙවන යමක් ලෙස විස්තර කළ හැකියි. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල, “මිදීමේ මිලය” (කෝෆර්) යන වචනය පැමිණෙන්නේ “ආවරණය කිරීමට” යන අරුත් ඇති ක්‍රියා පදයකින්. නිදසුනක් වශයෙන්, නැවට කීල් “ගාන්න” (“ආවරණය කරන්න,” හෙබ්‍රෙව් වචනයේම තවත් ස්වරූපයක්) කියා දෙවි නෝවාට පැවසුවා. (උත්පත්ති 6:14) මිදීමේ මිලයක් කියන්නේ පව් වසා දැමීමට [හෙබ්‍රෙව්, ආවරණය කිරීමට] මාර්ගයක් ලෙස තේරුම්ගැනීමටත් මෙය අපට උපකාර කරනවා.—ගීතාවලිය 65:3, NW.
8 මෙම වචනය (කෝෆර්) “සෑමවිටම සමතුලිතතාවක්” හෙවත් අනුරූපී බවක් හඟවනවායයි ආශ්‍රේය ග්‍රන්ථයක (Theological Dictionary of the New Testament) සඳහන් වීම විශේෂ දෙයක්. එමනිසා, ගිවිසුම් පෙට්ටිය ආවරණය කිරීමට එම හැඩයටම සරිලන ආවරණයක් තිබුණා. මේ හා සමානව, පාපය ආවරණය කිරීමට හෙවත් ඉන් මුදවාගැනීමට, පාපයෙන් සිදු වූ හානිය මුළුමනින්ම ආවරණය කරන පරිදි, ඊට සම්පූර්ණ අනුරූපී බවක් දක්වන මිලක් ගෙවිය යුතුයි. මෙසේ, ඉශ්රායෙල් කෙරෙහි දෙවිගේ නීතිය වුණේ, “ප්‍රාණය හිලව්වට ප්‍රාණයක් ගනු ලැබේ. ඇස හිලව්වට ඇසක්ය. දත හිලව්වට දතක්ය. අත හිලව්වට අතක්ය. පය හිලව්වට පයක්ය” යන්නයි.—ද්විතීය කථාව 19:21.
9. ඇදහිල්ලේ පුරුෂයන් සත්ව පූජා ඔප්පු කළේ ඇයි? යෙහෝවා එවන් පූජා සැලකුවේ කොහොමද?
9 ආබෙල්ගේ පටන් විසූ ඇදහිල්ලේ පුරුෂයන් දෙවිට සත්ව පූජා ඔප්පු කළා. එසේ කිරීමෙන් ඔවුන් නිරූපණය කළේ තමන් යම් දෙයක් පිළිගත් බවයි. එනම්, පාපය ගැන හා ඉන් මිදීමේ අවශ්‍යතාව ගැන තමන් සාවධානව සිටි බවයි. තවද දෙවි සිය “වංශය” කරණකොටගෙන පොරොන්දු වී ඇති මිදීම කෙරෙහිද තමන් ඇදහිල්ල තැබූ බවත් ඔවුන් එයින් පෙන්නුම් කළා. (උත්පත්ති 3:15; 4:1-4; ලෙවී කථාව 17:11; හෙබ්‍රෙව් 11:4) එවන් පූජා කෙරෙහි ප්රසාදාත්මක ඇස්වලින් බැලූ යෙහෝවා මෙම නමස්කාරකයන් හට හොඳ ස්ථාවරයක් ලබා දුන්නා. කෙසේවෙතත්, සත්ව පූජා කොතරම් හොඳින් ඔප්පු කළද ඒවා නිකම්ම බාහිර සංකේතයක් විතරයි. සතුන් මිනිසුන්ට වඩා පහත් බැවින් මිනිසාගේ පාප ආවරණය කරන්නට ඇත්තටම සතුන්ට පුළුවන්කමක් නැහැ. (ගීතාවලිය 8:4-8) මේ නිසා බයිබලය කියන්නේ මෙයයි. “ගොනුන්ගෙත් එළුවන්ගෙත් ලෙයින් පව් පහ කරන්ට නුපුළුවන.” (හෙබ්‍රෙව් 10:1-4) එවන් පූජා පැමිණෙන්නට තිබූ මිදීමේ මිල පූජාව පිළිබඳ සාදෘශ්‍යයක් හෙවත් සංකේතයක් වුණා පමණයි.
“අනුරූපී මිදීමේ මිලයක්”
10. (අ) මිදීමේ මිල සපයන්නා අනුරූප වීමට තිබුණේ කාටද? ඒ ඇයි? (ආ) එක් මිනිස් පූජාවක් අවශ්‍ය වූයේ ඇයි?
10 ‘ආදම් තුළ සියල්ලෝම මැරෙන්නෝය’ කියා ප්‍රේරිත පාවුල් පැවසුවා. (1 කොරින්ති 15:22) මෙසේ, මිදීමේ මිලයට ඇතුළත් විය යුතුව තිබුණේ ආදම්ට හරියටම සමාන පරිපූර්ණ මිනිසෙකුගේ මරණයක්. (රෝම 5:14) වෙනයම් කොයි ආකාර මැවිල්ලකටවත් යුක්තියේ තරාදි සමබර කරන්නට පුළුවන් වුණේ නැහැ. ආදම්ගේ මරණ දඬුවම යටතේ නොසිටින, පරිපූර්ණ මිනිසෙකුට පමණයි, ආදම්ට පරිපූර්ණ ලෙස අනුරූපී වන “අනුරූපී මිදීමේ මිලයක්” ගෙවන්න හැකි වුණේ. (1 තිමෝති 2:6, NW) ආදම්ගෙන් පැවතෙන සෑම පුද්ගලයෙකුටම අනුරූපී වන ලෙස අසංඛ්‍යාත මිලියන ගණනක් පුද්ගලයන්ව පූජා කරන්නට අවශ්‍ය වුණේ නැහැ. ප්‍රේරිත පාවුල් පැහැදිලි කළේ මෙසේයි. ‘එහෙයින් එක් මනුෂ්‍යයෙකු [ආදම්] කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල් වුණේය.’ (රෝම 5:12, අකුරු ඇල කළේ අපය.) තවද එක් “මනුෂ්‍යයෙකු කරණකොටගෙන මරණය පැමුණුණ බැවින්” මිනිස් සංහතිය උදෙසා දෙවි මිදීම සැපයුවේ එක් ‘මනුෂ්‍යයෙකු කරණකොටගෙනයි.’ (1 කොරින්ති 15:21) ඒ කෙසේද?
11. (අ) මිදීමේ මිලය ගෙවන්නා ‘සියල්ලන් උදෙසා මරණය විඳින්නේ’ කොහොමද? (ආ) ආදම් සහ ඒවට මිදීමේ මිලයෙන් ප්‍රයෝජන ලැබිය නොහැක්කේ ඇයි? (පාද සටහන බලන්න.)
11 යෙහෝවා එක් පරිපූර්ණ මනුෂ්‍යයෙකුව සූදානම් කළා. ඒ එම මිනිසා විසින් තමාගේම පරිපූර්ණ ජීවිතය ස්වේච්ඡාවෙන් පූජා කරන්නටයි. රෝම 6:23ට අනුව, “පාපයේ කුලී නම් මරණයය.” තම ජීවිතය පූජා කරමින්, මිදීමේ මිලය ගෙවන්නා, ‘සියල්ලන් උදෙසා මරණය විඳිනු’ ඇති. වෙනත් වචනවලින් කියතොත්, ඔහු ආදම්ගේ පාපය සඳහා කුලිය ගෙවනු ඇති. (හෙබ්‍රෙව් 2:9; 2 කොරින්ති 5:21; 1 පේතෘස් 2:24) මෙය නීත්‍යනුකූලව ගත් කල, ඉතා පුළුල් ආකාරයකින් බලපාවි. ආදම්ගෙන් පැවතෙන කීකරු මිනිසුන් කෙරෙහි බලපෑ මරණ දණ්ඩනය මිදීමේ මිලයෙන් අවලංගු කෙරුණා. මේ අනුව පාපයේ විනාශකාරි බලය එහි මුලින්ම උදුරා දැමීමක් මිදීමේ මිලය මගින් සිදු වුණා.a—රෝම 5:16.
12. එක ණයක් ගෙවීම මගින් බොහෝදෙනෙකුට ප්‍රයෝජන ලැබෙන ආකාරය උපහැරණය කරන්න.
12 මෙය මෙසේ නිදර්ශනය කළ හැකියි. ඔබ ජීවත් වන නගරයේ විශාල කර්මාන්ත ශාලාවක් තිබෙනවායයි සිතන්න. නගරයේ වැසියන් වැඩිදෙනෙක් රැකියාව කරන්නේ මේ කර්මාන්ත ශාලාවේ. ඔබටත් ඔබේ අසල්වාසීන්ටත් ඔබගේ ශ්රමයට මනා වැටුපක් ලැබෙන අතර, සැපපහසු ජීවිත ගෙවන්නට පුළුවන්. එසේ කළ හැක්කේ කර්මාන්ත ශාලාව විවෘතව තිබෙන තාක් කල් පමණයි. හදිසියේම කර්මාන්ත ශාලාව වසා දමන්නට සිදු වෙනවා. ඒ ඇයි? කර්මාන්ත ශාලාවේ කළමනාකාරවරයාගේ දූෂිත ක්‍රියා කලාපය නිසා එම ව්‍යාපාරය බංකොලොත්භාවයට පත් වෙලා. හදිසියේම රැකියාව අහිමි වුණු නිසා ඔබටත් ඔබගේ අසල්වාසීන්ටත් ජීවන වියදම පිරිමහගන්නට බැහැ. විවාහක කලත්‍රයන්, දරුවන් හා ණය හිමියන් මේ එක මිනිසෙකුගේ දූෂිතභාවය නිසා දුක් විඳිනවා. මීට යම් විසඳුමක් හෙවත් මිදීමක් තිබෙනවාද? ඔව්! එක් ධනවත් ව්‍යාපාරිකයෙක් මීට මැදිහත් වීමට තීරණය කරනවා. ව්‍යාපාරයේ වටිනාකම ඔහුට තේරෙනවා. ඒ විතරක් නොවේ, ව්‍යාපාරයේ සේවකයන් හා ඔවුන්ගේ පවුල්වල අය කෙරෙහිද ඔහුට හැඟීමක් තියෙනවා. එම නිසා ඔහු එම සමාගමේ ණය මුදල ගෙවා කර්මාන්ත ශාලාව යළිත් විවෘත කරන්නට පියවර ගන්නවා. එම ණය අවලංගු කළ නිසා දැන් බොහෝ සේවකයන්ටත් ඔවුන්ගේ පවුල්වල අයටත් ණය හිමියන්ටත් මොනතරම් සහනයක්ද! ඒ හා සමානව, ආදම්ගේ ණය හෙවත් පාපය අවලංගු කිරීම නිසා අසංඛ්‍යාත මිලියන ගණනකට ප්‍රයෝජන සැලසෙනවා.
මිදීමේ මිලය සපයන්නේ කවුද?
13, 14. (අ) යෙහෝවා මිනිස් සංහතිය සඳහා මිදීමේ මිලය සැපයුවේ කෙසේද? (ආ) මිදීමේ මිලය ගෙවනු ලැබුවේ කාටද? එවන් ගෙවීමක් අවශ්‍ය වූයේ ඇයි?
13 “ලෝකයේ පාපය දුරු කරන දෙවිගේ බැටළු පැටියා” සැපයිය හැකි වුණේ යෙහෝවාට පමණයි. (යොහන් 1:29) එහෙත් මිනිස් සංහතිය බේරාගැනීමට දෙවි ඕනෑම දේවදූතයෙකුව එව්වේ නැහැ. ඒ වෙනුවට, ඔහු එව්වේ යෙහෝවාගේ සේවකයන්ට එරෙහිව කරන ලද සාතන්ගේ චෝදනාවට අන්තිම උපරිම පිළිතුර සැපයිය හැකි කෙනෙකුවයි. ඔව්, තම ඒක ජාතක පුත්‍රයාව එනම් ‘ඔහුගේ ප්‍රීතිය වූ’ තැනැත්තාව එවීමෙන් යෙහෝවා උත්තරීතර පරිත්‍යාගයක් කළා. (හිතෝපදේශ 8:30) දෙවිගේ පුත්‍රයා තම ස්වර්ගික ජීවිතය ‘සහමුලින්ම අත්හැරියේ’ සිය කැමැත්තෙන්මයි. (පිලිප්පි 2:7, NW) යෙහෝවා ප්රාතිහාර්යයක් මගින් සිය ස්වර්ගික කුලුඳුල් පුත්‍රයාගේ ජීවිතය සහ පෞද්ගලිකත්ව රටාව මරියා නමැති යුදෙව් කන්‍යාවකගේ ගර්භාශයට මාරු කළා. (ලූක් 1:27, 35) මිනිසෙකු ලෙස, ඔහුව යේසුස් කියා හැඳින්වෙනවා ඇති. නමුත් නීතිමය අර්ථයකින් ගත් කල, ඔහුව හඳුන්වනු ඇත්තේ දෙවෙනි ආදම් ලෙසයි. මන්ද ඔහු පරිපූර්ණ ලෙස ආදම්ට අනුරූප වුණ නිසයි. (1 කොරින්ති 15:45, 47) මෙසේ පව්කාර මිනිස් සංහතිය උදෙසා පූජාවක් ලෙස තමන්වම ඔප්පු කරන්නට යේසුස්ට හැකි වුණා.
14 මිදීමේ මිලය ගෙවනු ලබන්නේ කාටද? ගීතාවලිය 49:8හි විශේෂයෙන් පවසන්නේ මිදීමේ මිලය ගෙවනු ලබන්නේ “දෙවිට” බවයි. නමුත් ආරම්භයේදීම මිදීමේ මිලය ගෙවනු ලැබීමට කටයුතු පිළියෙළ කළේ යෙහෝවාම නොවේද? ඔව්, නමුත් මෙහිදී මිදීමේ මිලය නිකම්ම කිසි තේරුමක් නැතිව යාන්ත්‍රිකව කරන හුවමාරුවක්, හරියට සාක්කුවකින් මුදලක් ඉවතට රැගෙන එයටම ආපසු දමනවා වැනි වටිනාකමින් අඩු දෙයක් බවට පත් වන්නේ නැහැ. මිදීමේ මිලය යනු යම් දෙයක් එක් තැනක සිට තවත් තැනකට මාරු කිරීමක් නොව නමුත් නෛතික පදනමක් මත කෙරෙන හුවමාරුවක් බව අප වටහාගත යුතුයි. ඉමහත් මිලක් මේ සඳහා ගෙවන්නට තමන්ට සිදු වුණත්, මිදීමේ මිලය සැපයීම මගින් යෙහෝවා කළේ තමාගේම පරිපූර්ණ යුක්තියට නොසැලී ඇලී සිටින බව තවත් තහවුරු කිරීමයි.—උත්පත්ති 22:7, 8, 11-13; හෙබ්‍රෙව් 11:17; යාකොබ් 1:17.
15. යේසුස් දුක් විඳ මිය යන්නට අවශ්‍ය වූයේ ඇයි?
15 පොදු යුගයේ 33 වසන්ත සමයේදී, යේසුස් ක්‍රිස්තුස් සිය කැමැත්තෙන්ම දැඩි පරීක්ෂණයකට මුහුණ දුන් අතර, එය මිදීමේ මිලය ගෙවීමට මඟ පෑදුවා. බොරු චෝදනා මත තමාව අත්අඩංගුවට ගැනීමටත්, වැරදිකරුවෙකු ලෙස විනිශ්චය කරනු ලැබීමටත්, වධ කණුවක් මත ඇණ ගසනු ලැබීමටත් ඔහු ඉඩහැරියා. යේසුස් මෙතරම්ම දුක් විඳීම ඇත්තෙන්ම අවශ්‍ය වූවක්ද? ඔව්, මන්දයත් දෙවිගේ සේවකයන්ගේ අඛණ්ඩතාව පිළිබඳ ප්රශ්නය විසඳන්නට තිබුණා. බිළිඳු යේසුස්ව හෙරොද් විසින් මරා දමන්නට දෙවි ඉඩ නොදීම මෙහි තිබෙන විශේෂ දෙයක්. (මතෙව් 2:13-18) නමුත් යේසුස් වැඩිහිටියෙකුව සිටින විට, වාදයට බඳුන් වී ඇති ප්රශ්නයේ අරුත මුළුමනින්ම වටහාගෙන සාතන්ගේ ප්‍රහාරවලට සම්පූර්ණයෙන්ම එරෙහිව සිටින්නට ඔහුට හැකි වුණා.b දරුණු ප්‍රහාර හමුවේ “ශුද්ධ වූ [පක්ෂපාත වූ, NW], නිවැරදි වූ, නොකිලුටු වූ, පව්කාරයන්ගෙන් වෙන් වූ,” කෙනෙකු ලෙස සිටීමෙන්, යේසුස් ඉතා චමත්කාරජනක ලෙස පෙන්නුම් කළේ පරීක්ෂා යටතේ විශ්වාසවන්තව සිටින සේවකයන් යෙහෝවාට ඇත්තෙන්ම සිටින බවයි. (හෙබ්‍රෙව් 7:26) තමාගේ මරණයට මොහොතකට පෙර “එය ඉටු වී තිබේ!” කියා ජයග්‍රාහී ලෙස හඬ නඟා කියන්නට යේසුස්ට හැකිවීම පුදුමයක් නොවේ.—යොහන් 19:30, NW.
ඔහුගේ මිදීමේ කර්තව්‍යය නිම කිරීම
16, 17. (අ) යේසුස් සිය මිදීමේ කර්තව්‍යය දිගටම කරගෙන ගියේ කෙසේද? (ආ) යේසුස් ‘අප උදෙසා දෙවිගේ අභිමුඛයෙහි පෙනී සිටීම’ අවශ්‍ය වූයේ ඇයි?
16 යේසුස් මිය ගිය සැණෙකින් මිදීමේ කර්තව්‍ය නිම වුණේ නැහැ. යේසුස්ගේ මරණයෙන් දවස් තුනකට පසුව, යෙහෝවා ඔහුව මරණයෙන් නැඟිට්ටෙව්වා. (ක්‍රියා 3:15; 10:40) මේ භාරදූර ක්‍රියාව මගින්, යෙහෝවා සිය පුත්‍රයාගේ විශ්වාසවන්ත සේවය උදෙසා ඔහුට විපාක දුන්නා පමණක් නොව නමුත් දෙවිගේ උත්තම පූජකයා ලෙස මිදීමේ කර්තව්‍යය අවසන් කරන්නටද ප්‍රස්තාව දුන්නා. (රෝම 1:5; 1 කොරින්ති 15:3-8) ප්‍රේරිත පාවුල් එය පැහැදිලි කළේ මෙසේයි. “ක්‍රිස්තුස් . . . උත්තම පූජකයෙක්ව පැමිණ, . . . එළුවන්ගෙත් වස්සන්ගෙත් ලේ කරණකොටගෙන නොව තමන්ගේම ලේ කරණකොටගෙන, අප උදෙසා සදාකාල මිදීම ලබාගෙන එකම වරක් ශුද්ධස්ථානයට ඇතුල් වූයේය. මක්නිසාද ක්‍රිස්තුස් සැබෑ ශුද්ධස්ථානයේ ආදෘශය වන, අතින් සෑදූ ශුද්ධස්ථානයකට නොව අප උදෙසා දෙවිගේ අභිමුඛයෙහි දැන් පෙනී සිටින පිණිස ස්වර්ගයටම ඇතුල් වූයේය.”—හෙබ්‍රෙව් 9:11, 12, 24.
17 තම රුධිරය ස්වර්ගයට ගෙන යෑමට ක්‍රිස්තුස්ට හැකි වුණේ නැහැ. (1 කොරින්ති 15:50) ඒ වෙනුවට, ඔහු රැගෙන ගියේ රුධිරයෙන් සංකේතවත් කළ දෙයයි. එනම්, තමා යාගයක් ලෙස ඔප්පු කරන ලද පරිපූර්ණ මිනිස් ජීවිතයේ නෛතික වටිනාකමයි. අනතුරුව, දෙවිගේ අභිමුඛයෙහි, ඔහු තමාගේ එම ජීවිතයේ වටිනාකම මිදීමේ මිලයක් වශයෙන් පව්කාර මිනිස් සංහතිය උදෙසා නිල වශයෙන් ඉදිරිපත් කළා. යෙහෝවා එම යාගය පිළිගත්තාද? ඔව්. මෙය පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී පැහැදිලිව පෙනෙන්නට තිබුණා. ඒ යෙරුසලමේ ගෝලයන් 120දෙනෙකු පමණ මත ශුද්ධාත්මය වැගිරෙවූ වේලාවේදීයි. (ක්‍රියා 2:1-4) එය කොතරම් කුතුහලය දනවන සිද්ධියක් වුවද, එය මිදීමේ මිලයේ පුදුමාකාර ප්‍රයෝජන ලබා දීමේ පටන්ගැන්ම පමණයි.
මිදීමේ මිලයේ ප්‍රයෝජන
18, 19. (අ) ක්‍රිස්තුස්ගේ රුධිරය මගින් කෙරෙන සමගිකමින් ප්‍රයෝජන ලබන කණ්ඩායම් දෙක කුමක්ද? (ආ) ‘මහත් සමූහයට’ අයත් අයට මිදීමේ මිලයෙන් ලැබෙන වර්තමාන සහ අනාගත ප්‍රයෝජන සමහරක් මොනවාද?
18 කොලොස්සිවරුන්ට ලියන ලද තම ලිපිය තුළ පාවුල් පැහැදිලි කරන දෙයක් තියෙනවා. ඒ තමයි යේසුස් විසින් වධ කණුව මත වගුරුවන ලද රුධිරය කරණකොටගෙන වෙනත් දේවල් තමන්ටම සමඟි කරගැනීමට දෙවි, ක්‍රිස්තුස් තුළින් කැමති වූවාය යන කාරණය. තවද එකිනෙකට වෙනස් වූ කණ්ඩායම් දෙකක්, එනම් “ස්වර්ගවල තිබෙන දේවල්” සහ “පොළොවෙහි තිබෙන දේවල්” මේ සමගි කිරීමට ඇතුළත් බවද පාවුල් පැහැදිලි කරනවා. (කොලොස්සි 1:19, 20; එපීස 1:9) මෙම පළමු කණ්ඩායමට ඇතුළත් වන්නේ, ස්වර්ගික පූජකයන් හැටියටත් ක්‍රිස්තුස් යේසුස් සමඟ පොළොව කෙරෙහි පාලනය කරන රජවරුන් හැටියටත් සේවය කිරීමේ බලාපොරොත්තුව ඇති ක්‍රිස්තියානීන් 1,44,000දෙනෙකුය. (එළිදරව් 5:9, 10, NW; 7:4; 14:1-3) වසර දහසක කාලපරිච්ඡේදයක් පුරා කීකරු මිනිස්වර්ගයාහට එම මිදීමේ මිලයේ ප්‍රයෝජන ක්‍රමානුකූලව අදාළ කරනු ලබන්නේ ඔවුන් තුළිනි.—1 කොරින්ති 15:24-26; එළිදරව් 20:6; 21:3, 4.
19 “පොළොවෙහි තිබෙන දේවල්” යනු පාරාදීස පොළොවේ පරිපූර්ණ ජීවිතය භුක්ති විඳීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයනුයි. එළිදරව් 7:9-17හි ඔවුන්ව විස්තර කරන්නේ මතු පැමිණෙන ‘මහත් පීඩාවෙන්’ බේරී ජීවත් වන “මහත් සමූහයක්” ලෙසයි. නමුත් මිදීමේ මිලයෙන් ප්‍රයෝජන ගැනීමට ඔවුන්හට එතෙක් බලා සිටින්නට අවශ්‍ය නැහැ. ඔවුන් දැනටමත් ‘තමන්ගේ සළු බැටළුපැටවාගේ ලෙයින් සෝදා සුදු කරගෙන’ තිබෙනවා. මිදීමේ මිලය කෙරෙහි ඔවුන් ඇදහිල්ල දක්වන නිසා, ඔවුන් දැන් පවා සිටින්නේ එම ප්‍රේමනීය ආත්මික සැපයුමෙන් ප්‍රයෝජන ලබමින්. ඔවුන්ව දෙවිගේ මිතුරන් වශයෙන් ධර්මිෂ්ඨ බවට ප්‍රකාශ කරනු ලැබ සිටිනවා. (යාකොබ් 2:23) යේසුස්ගේ මිදීමේ මිල පූජාවේ ප්‍රතිඵලයක් වශයෙන්, ‘නිසැකකමින් [මහත්, NW] කරුණාවේ සිංහාසනයට ළඟාවීමට’ ඔවුන්ට පුළුවන්. (හෙබ්‍රෙව් 4:14-16) ඔවුන් වැරදි කරන විට, ඔවුන්ට සැබෑ සමාවක් ලැබෙනවා. (එපීස 1:7) අසම්පූර්ණ වුවත්, ඔවුන් පිරිසිදු හෘදය සාක්ෂියක් භුක්ති විඳිනවා. (හෙබ්‍රෙව් 9:9; 10:22; 1 පේතෘස් 3:21) එබැවින් දෙවි සමඟ සමගි වීම, ඉදිරියේ බලාපොරොත්තු වීමට තිබෙන දෙයක් නොව, නමුත් වර්තමානයේ අද්දැකිය හැකි යථාර්ථයක් හෙවත් දැන් සැබවින්ම කළ හැක්කක්! (2 කොරින්ති 5:19, 20) සහස්‍රය අතරතුරේදී, ඔවුන් ක්‍රමානුකූලව “ජරාවේ වහල්කමින් නිදහස් වී” අවසානයේදී “දෙවිගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිණෙන්නේය.”—රෝම 8:20, 21.
20. මිදීමේ මිලය ගැන මෙනෙහි කිරීම ඔබට පෞද්ගලිකව කෙසේ බලපායිද?
20 මිදීමේ මිලය වෙනුවෙන් ‘ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් කරණකොටගෙන දෙවිට ස්තුති වේවා!’ (රෝම 7:25) ප්‍රතිපත්තියෙන් සරලයි, එහෙත් අපව ගරුබියෙන් පුරවන්නට තරම් එය ගැඹුරුයි! (රෝම 11:33) අප විසින් මිදීමේ මිලය ගැන ගැඹුරින් මෙනෙහි කරන විට එය අපගේ හදවත් ස්පර්ශ කරන අතර, යුක්තියේ දෙවි වෙතට අපව වඩ වඩාත් ළං කරවනවා නොඅනුමානයි. ගීතිකාකරු පැවසුවාක් මෙන්, “ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රිය” යෙහෝවාට ප්‍රශංසා කිරීම සඳහා අපට සෑම හේතුවක්ම තිබෙනවා.—ගීතාවලිය 33:5.
[පාදසටහන්වල]
a ආදම්ට සහ ඒවට මිදීමේ මිලයෙන් ප්‍රයෝජන ලැබීමට හැකි වුණේ නැහැ. හිතාමතා මිනීමරන්නෙකු පිළිබඳව මෙම ප්‍රතිපත්තිය මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් වුණා. “මරනු ලබන්ට සුදුසු වරදකාරයෙක්ව සිටින මිනීමරන්නාගේ ප්‍රාණය උදෙසා මිදීමේ මුදලක් භාර නොගන්න. මක්නිසාද ඔහු සැබවින්ම මරනු ලැබිය යුතුය.” (ගණන් කථාව 35:31) පැහැදිලිවම, ආදම් සහ ඒව මරණයට සුදුසු වුණා. මන්ද ඔවුන් දෙවිට අකීකරු වුණේ හිතාමතාම සහ දැන දැනමයි. මෙසේ, ඔවුන් තමන්ට තිබූ සදාකාල අපේක්ෂාවන් අතහැරියා.
b ආදම්ගේ පාපයේ බලපෑම තුලනය කිරීමට යේසුස්ට මිය යෑමට සිදු වුණා. ඒ පරිපූර්ණ ළදරුවෙකු ලෙස නොව නමුත් පරිපූර්ණ මිනිසෙකු හැටියටයි. ආදම්ගේ පාපය හිතා මතා කැමැත්තෙන් කරන ලද්දක් බවත්, එම ක්‍රියාවෙහි බරපතළකම හා එහි ඵලවිපාක පිළිබඳ සම්පූර්ණ දැනුමක් ඇතුව කරන ලද්දක් බවත් මතක තබාගන්න. එම පාපය ආවරණය කරන “අන්තිම ආදම්” බවට පත්වීම පිණිස, යෙහෝවා කෙරෙහි වූ සිය අඛණ්ඩතාව රකිමින් මේරූ, දැනුම් තේරුම් ඇති බුද්ධිමත් තේරීමක් කිරීමට යේසුස්ට තිබුණා. (1 කොරින්ති 15:45, 47) මෙසේ, යේසුස්ගේ යාගික මරණය ඇතුළු ඔහුගේ මුළු විශ්වාසවන්ත ජීවිත මාර්ගය “එක ධර්මිෂ්ඨ ක්‍රියාවක්” බව ඔප්පු වුණා.—රෝම 5:18, 19.
මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න
ගණන් කථාව 3:39-51 මිදීමේ මිලය හරියටම සමාන වන අනුරූපී දෙයක් වීම අත්‍යවශ්‍ය කරුණක් වනුයේ ඇයි?
ගීතාවලිය 49:7-9 මිදීමේ මිලය සැපයීම ගැන අප දෙවිට ණයගැති විය යුත්තේ ඇයි?
යෙසායා 43:25 යෙහෝවා මිදීමේ මිලය සැපයූ මූලිකම හේතුව මිනිසාගේ ගැළවීමම නොවන බව දැකගැනීමට මෙම ශුද්ධ ලියවිලි වගන්තිය අපට උපකාර කරන්නේ කෙසේද?
1 කොරින්ති 6:20 මිදීමේ මිලය අපගේ හැසිරීම හා ජීවිත රටාව කෙරෙහි කිනම් බලපෑමක් ඇති කළ යුතුද?
[140වන පිටුවේ පින්තූරය]
‘එය සියල්ලන් උදෙසා අනුරූපී මිදීමේ මිලයකි’