23වන පරිච්ඡේදය
‘ඔහු පළමුවෙන් අපට ප්‍රේම කළා’
1-3. යේසුස්ගේ මරණය ඉතිහාසයේ වෙනත් ඕනෑම මරණයකට වඩා වෙනස් වන්නේ කිනම් හේතු සාධක නිසාද?
මීට වසර 2,000කට පමණ ඉහත වසන්තයේ එක් දවසක, එක්තරා නිර්දෝෂී මිනිසෙකුට එරෙහිව තිබූ නඩුවක් විභාග කොට, ඔහු විසින් කිසි විටෙකත් නොකරන ලද අපරාධවලට වරදකරුවෙකු කර, වධ හිංසාවට ලක් කර මරා දැම්මා. එය ඉතිහාසයේ පළමු වරට කරන ලද අයුක්තිසහගත ඝාතනය නොවේ. එය අන්තිම එක නොවීමද කනගාටුවට කරුණක්. එහෙත්, එය අනෙක් මොනයම් මරණයකටත් වඩා හාත්පසින්ම වෙනස් එකක් වුණා.
2 මෙම මිනිසා තම අධික වේදනාවේ අවසන් පැය කිහිපය ගෙවද්දී, අහසේ ඇති වූ වෙනස්කම්වලින් කියා පෑවේ එම සිද්ධියේ ඇති සුවිශේෂත්වයයි. ඒ අවස්ථාව දවසේ මධ්‍යාහ්නය වුවත්, එම දේශය පුරා හදිසියේම ඝනාන්ධකාරයක් පැතිරුණා. එක් ඉතිහාසඥයෙක් ලියූ පරිදි, “හිරු එළිය නැති විය.” (ලූක් 23:44, 45, NW) අනතුරුව, එම මිනිසා තම අවසන් හුස්ම හෙළන්නට මොහොතකට පෙර, මේ අමතක නොවන වදන් පෙළ පැවසුවා. “එය ඉටු වී තිබේ!” ඇත්ත වශයෙන්ම, තම ජීවිතය පූජා කිරීමෙන් ඉතා පුදුමාකාර දෙයක් ඔහු ඉටු කළා. ඔහු කළ පූජාව, කිසියම් මිනිසෙකු විසින් මෙතෙක් කර ඇති ප්‍රේමයේ ශ්‍රේෂ්ඨතම ක්‍රියාවයි.—යොහන් 15:13; 19:30, NW.
3 ඇත්ත වශයෙන්ම, එම මිනිසා වූයේ යේසුස් ක්‍රිස්තුස්. ඔහුගේ දුක් ප්‍රාප්තිය හා මරණය සිදු වූ පො.යු. 33 නීසාන් 14 සුප්‍රකට දිනයක්. කෙසේවෙතත්, මේ හා බැඳි ඉතා වැදගත් සත්‍යතාවක් බොහෝ විට නොසලකා හරිනු ලබනවා. යේසුස් ඉතා දැඩි සේ දුක් වින්දත්, තවත් කෙනෙක් ඊටත් වඩා වේදනා වින්දා. ඇත්තෙන්ම, එම දවසේ ඊටත් වඩා මහත් පරිත්‍යාගයක් කළේ වෙනත් කෙනෙක්. ඇරත්, ඒ තමයි විශ්වයේ මෙතෙක් කර තිබෙන ප්‍රේමයේ ශ්‍රේෂ්ඨතම ක්‍රියාව. එම ක්‍රියාව කුමක්ද? මීට දිය හැකි පිළිතුරෙන් බොහෝ සෙයින් වැදගත් වූ විෂයක් ගැන කතා කිරීමට ගැළපෙන හැඳින්වීමක් අපට ලබා දෙනවා. එම විෂය නම්, යෙහෝවාගේ ප්‍රේමයයි.
ප්‍රේමයේ ශ්‍රේෂ්ඨතම ක්‍රියාව
4. යේසුස් සාමාන්‍ය මිනිසෙකු නොවූ බව දැකගැනීමට රෝම ශතාධිපතියාට හැකි වූයේ කොහොමද? තවද එම සොල්දාදුවා නිගමනය කළේ කුමක්ද?
4 යේසුස්ව ඝාතනය කිරීම අධීක්ෂණය කළ රෝම ශතාධිපතියා, ඔහුගේ මරණයට පෙර ඇති වූ ඝනාන්ධකාරයෙන් හා ඊට පසුව ඇති වූ දරුණු භූමිකම්පාවෙන් තුෂ්ණීම්භූත වුණා. ඒවා අද්දැක්කායින් පසු, ඔහු පැවසුවේ “සැබවින්ම මොහු දෙවිගේ පුත්‍රයාය” යනුවෙනුයි. (මතෙව් 27:54) යේසුස් සාමාන්‍ය මිනිසෙකු නොවූ බව පැහැදිලියි. මේ සොල්දාදුවා උපකාර කොට තිබුණේ මහෝත්තම දෙවිගේ ඒකජාතක පුත්‍රයාණන්ව ඝාතනය කිරීමටයි! මෙම පුත්‍රයාව ඔහුගේ පියාණන්ට මොනතරම් අනර්ඝ වූවාද?
5. යෙහෝවා සහ ඔහුගේ පුත්‍රයා එක්ව ස්වර්ගයේ ගත කළ අතිදීර්ඝ වූ කාල ප්‍රමාණය කෙසේ නිදර්ශනය කළ හැකිද?
5 බයිබලයේ යේසුස්ව හඳුන්වා තිබෙන්නේ “මුළු මැවිල්ලේ කුලුඳුලා” යනුවෙනුයි. (කොලොස්සි 1:15) නිකම් හිතා බලන්න. යෙහෝවාගේ පුත්‍රයාගේ පැවැත්ම ඇරඹුණේ භෞතික විශ්වය මවන්නටත් පෙරයි. එසේ නම්, පියා සහ පුත්‍රයා කොතරම් කාලයක් එකට සිටින්නට ඇද්ද? විශ්වය වසර බිලියන 13ක් පැරණි බව ඇතැම් විද්‍යාඥයන් ගණනය කර තිබෙනවා. එතරම් කාලයක් ගැන ඔබට සිතාගන්නටවත් පුළුවන්ද? විද්‍යාඥයන් විසින් ගණනය කර ඇති පරිදි විශ්වයේ වයස වටහාගැනීමට ජනයාට උපකාර කිරීම පිණිස, එක්තරා ග්‍රහලෝකාගාරයක මීටර් 110ක් දිග කාල රේඛාවක් ප්‍රදර්ශනය කර තිබෙනවා. එය නැරඹීමට එන අමුත්තන් එම කාල රේඛාවට සමාන්තරව ගමන් කරන විට, ඔවුන් තබන සෑම පියවරකින්ම විශ්වයේ ආයු කාලයේ වසර මිලියන 75ක් පමණ එමගින් සංකේත කරනවා. එම කාල රේඛාවේ අවසානයේදී, මුළු මිනිස් ඉතිහාසය නියෝජනය වන්නේ මිනිස් හිසකෙස් ගසක් තරම් පළල වූ තිතකින්! මෙම ගණනය කිරීම නිවැරදි වීමට ඉඩ තිබුණත්, එම සම්පූර්ණ කාල රේඛාවේ දිග යෙහෝවාගේ පුත්‍රයාගේ ජීවිත කාලය නියෝජනය කිරීමට ප්‍රමාණවත් වන්නේ නැහැ! එම අතිදීර්ඝ කාලපරිච්ඡේදය පුරා ඔහු කරමින් සිටියේ කුමක්ද?
6. (අ) යෙහෝවාගේ පුත්‍රයා මිනිසෙකු වීමට පෙර පැවැත්ම තුළ කරමින් සිටියේ කුමක්ද? (ආ) යෙහෝවා සහ ඔහුගේ පුත්‍රයා අතර පවතින්නේ කෙබඳු බන්ධනයක්ද?
6 මෙම පුත්‍රයා, සිය පියාණන්ගේ “ප්‍රධාන කර්මාන්තකාරයා” ලෙස සේවය කළේ ඉමහත් ප්‍රීතියකින්. (හිතෝපදේශ 8:30) බයිබලය මෙසේ පවසනවා. “සාදන ලද කිසිවක් [පුත්‍රයා] නැතුව සාදනු නොලද්දේය.” (යොහන් 1:3) මේ අනුව, යෙහෝවා සහ ඔහුගේ පුත්‍රයා එක්ව වැඩ කරමින් අනිකුත් සියලුම දේවල් බිහි කළා. ඔවුන් කොතරම් ප්‍රීතියෙන් එක්ව කල් ගෙවන්නට ඇද්ද! දෙමාපියෙකු සහ දරුවෙකු අතර ප්‍රේමය ඉතා පුදුමාකාර අන්දමකින් ශක්තිමත් බවට බොහෝදෙනෙක් එකඟ වෙනවා. ඇරත්, ප්‍රේමය “එක්සත්කමේ පරිපූර්ණ බැම්මකි.” (කොලොස්සි 3:14, NW) එතරම් අතිමහා දැවැන්ත කාල පරාසයක් තුළ පැවති බැම්මක ප්‍රබලත්වය තේරුම්ගත හැක්කේ අප අතුරින් කාටද? පැහැදිලිවම, යෙහෝවා දෙවි සහ ඔහුගේ පුත්‍රයා, ප්‍රේමයේ ශක්තිමත්ම බැම්මෙන් එක්සත් වී සිටිනවා. එවන් බැම්මක් මෙතෙක් කිසිවෙකු අතර පැවතී නැහැ.
7. යේසුස් බව්තීස්ම වූ විට, යෙහෝවා සිය පුත්‍රයා ගැන තිබූ ඔහුගේ හැඟීම් පළ කළේ කොහොමද?
7 කෙසේවෙතත්, පියාණන් සිය පුත්‍රයාව පොළොවට එව්වේ, මිනිස් ළදරුවෙකු ලෙස ඉපදීමටයි. එසේ කිරීමෙන්, සිය පුත්‍රයා සමඟ ස්වර්ගයේ තිබූ ඉතා සමීප සම්බන්ධය දශක කිහිපයකට අත්හැරීමට යෙහෝවාට සිදු වුණා. යේසුස් පරිපූර්ණ මිනිසෙකු ලෙස හැදී වැඩෙනවා යෙහෝවා ස්වර්ගයේ සිට බලා සිටියේ හරිම ආශාවෙන්. වයස අවුරුදු 30ක් පමණ වන විට, යේසුස් බව්තීස්ම වුණා. යෙහෝවාට මේ අවස්ථාවේ සිය පුත්‍රයා ගැන හැඟුණු ආකාරය ගැන අපට හිතාගන්නට පුළුවන්. පියාම ස්වර්ගයේ සිට කතා කළේ මෙහෙමයි. “මේ මාගේ ප්‍රේමනීය පුත්‍රයාය. මම මොහුව අනුමත කළෙමි.” (මතෙව් 3:17, NW) පුරෝකථනය කර තිබූ සියල්ලත්, ඔහුගෙන් ඉල්ලා සිටි සියල්ලත් යේසුස් විශ්වාසවන්තව කළ බව දුටු ඔහුගේ පියාණන් කොතරම් සතුටු වෙන්නට ඇද්ද!—යොහන් 5:36; 17:4.
8, 9. (අ) පොදු යුගයේ 33 නීසාන් 14වෙනිදා යේසුස් අත්වින්දේ මොනවාද? මෙමගින් ඔහුගේ ස්වර්ගික පියාණන්ට ඇති වූ බලපෑම කොයි වගේද? (ආ) යෙහෝවා සිය පුත්‍රයාට වධ විඳ මිය යෑමට ඉඩහැරියේ ඇයි?
8 එහෙත්, පො.යු. 33 නීසාන් 14වෙනිදා යෙහෝවාට හැඟුණේ කොහොමද? යේසුස්ව පාවා දෙනු ලැබ අනතුරුව මැර පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ වේලාවේ ඔහුට හැඟුණේ කොහොමද? යේසුස්ව සිය මිතුරන් විසින් අත්හරිනු ලැබූ විටත්, නීති විරෝධී නඩුවකට ඔහුව පැටලූ අවස්ථාවේදීත් කොහොම හැඟෙන්නට ඇද්ද? ඔහුට සරදම් කොට, මුහුණට කෙළ ගසා, අත මිට මොළවා පහර දුන් අවස්ථාවේ? කසයෙන් තළනු ලැබ, ඔහුගේ පිටේ මාංස ඉරා දැමූ අවස්ථාවේ? ඔහුගේ අත් හා පාද ලී කොටයකට තබා ඇණ ගසා, එහි එල්ලා, මිනිසුන් විසින් ඔහුව සරදමට හා සමච්චලයට ලක් කළ අවස්ථාවේ? මෙලෙසින් බලවත් වේදනාවෙන් පෙළුණු තම ස්නේහවන්ත පුත්‍රයා තම ගාවිනාවේ වේදනාව උහුලාගනිමින් මහත් හඬින් තමන්ට මොර ගැසූ අවස්ථාවේදී පියාට කෙසේ හැඟෙන්නට ඇද්ද? මැවීමේ පටන්ගැන්මේ සිට ගෙවුණු කාලය තුළ, යේසුස්, එනම් තම ආදරණීය පුත්‍රයා පළමුවෙනි වරට අජීවි තත්වයට පත් වෙමින් අවසන් හුස්ම හෙළූ අවස්ථාවේදී යෙහෝවාට කොහොම හැඟෙන්නට ඇද්ද?—මතෙව් 26:14-16, 46, 47, 56, 59, 67; 27:38-44, 46; යොහන් 19:1.
9 එය විස්තර කරන්නට අපට වචන නැහැ. යෙහෝවාට හැඟීම් තියෙනවා. ඒ නිසා ඔහුගේ පුත්‍රයාගේ මරණින් ඔහු විඳි වේදනාවේ තරම කියන්නට අපගේ වචනවල බලය මදි. නමුත් අපට කියන්නට පුළුවන්, එසේ වීමට යෙහෝවා විසින් ඉඩහැරීම පිටුපස වූ යෙහෝවාගේ චේතනාව මොකක්ද කියලා. මේ පියා තමන්වම එවන් හැඟීම්වලට ලක්වීමට ඉඩහැරියේ ඇයි? මෙහි රහස අපට යෙහෝවා විසින් ඉතා වැදගත් බයිබල් පාඨයක, එනම් යොහන් 3:16හි [NW] හෙළි කර තිබෙනවා. එම පාඨයේ වැදගත්කම කොතරම්ද කිවහොත්, එය කුඩා සුවිශේෂය කියාත් හඳුන්වනවා. එහි පවසන්නේ මෙහෙමයි. “දෙවි ලෝකයට මොනතරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව ලෝකයට දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” එබැවින් යෙහෝවාගේ චේතනාව වූයේ ප්‍රේමයයි. යෙහෝවාගේ දීමනාව, එනම් වධ විඳ අප වෙනුවෙන් මිය යෑමට සිය පුත්‍රයාව එවීම, පෙන්වා ඇති ශ්‍රේෂ්ඨතම ප්‍රේමයේ ක්‍රියාවයි.
දිව්‍ය ප්‍රේමය අරුත් දැක්වීම
10. මිනිසුන්ට තිබෙන්නේ මොන අවශ්‍යතාවද? තවද “ප්‍රේමය” යන වචනයේ අරුතට සිදු වී ඇත්තේ කුමක්ද?
10 “ප්‍රේමය” යන මෙම වචනයේ නියම අරුත කුමක්ද? ප්‍රේමය වනාහි මිනිසුන්ගේ මහත්ම අවශ්‍යතාව ලෙස විස්තර කොට තිබෙනවා. තොටිල්ලේ සිට මිනීවළ දක්වා මිනිසුන් විසින් එය ලබාගැනීමට මහත් වෑයමක් දරනවා. එය ලබාගත් විට ඔවුන් ප්‍රේමයේ උණුසුමෙන් නැහැවෙනවා. එය නැති පාළුව නිසා සාංකාවෙන් පසු වෙනවා. ඒ වගේම එය නැතිකමින් මියයනවා. කෙසේවෙතත්, ප්‍රේමය යන්න අරුත් දැක්වීමට අපහසු දෙයක් වීම නම් හරි පුදුමයි. ඇත්තෙන්ම, මිනිසුන් ප්‍රේමය ගැන හුඟක් දේවල් කතා කරනවා. ප්‍රේමය ගැන ලියා ඇති පොත්, ගීත හා කවිවල නිමක් නැහැ. ඒ වුණත් ප්‍රේමයේ අරුත ඒ කිසිවකින් සෑමවිටම පැහැදිලිව නිර්වචනය කෙරෙන්නේද නැහැ. ඇත්ත වශයෙන්ම, මෙම වචනය කොතරම් භාවිත කර ඇද්ද කියතොත්, එහි සැබෑ අරුත වඩාත් ව්‍යාකූල වන බවක් පෙනෙන්ට තිබෙනවා.
11, 12. (අ) ප්‍රේමය ගැන බොහෝ දේ අපට ඉගෙනගත හැක්කේ කොහෙන්ද? එයින් ඉගෙනගත හැක්කේ ඇයි? (ආ) ඉපැරණි ග්‍රීක් භාෂාව තුළ කිනම් ආකාරයක ප්‍රේමයක් විශේෂයෙන් විස්තර කොට තිබෙනවාද? ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල වැඩි වශයෙන් “ප්‍රේමය” සඳහා භාවිත කර ඇති වචනය කුමක්ද? (පාද සටහනද බලන්න.) (ඇ) අගාපේ යනු කුමක්ද?
11 කෙසේවෙතත්, බයිබලයේ නම් අපට ප්‍රේමයේ අරුත පැහැදිලිව උගන්වනවා. වයින්ගේ එක්ස්පොසිටරි ඩික්ෂනරි ඔෆ් නිව් ටෙස්ටමන්ට් වර්ඩ්ස්හි සටහන් කරන්නේ මෙයයි. “ප්‍රේමය යන්න දැනගත හැක්කේ එමගින් නිපදවෙන ක්‍රියාවලින් පමණි.” යෙහෝවාගේ ක්‍රියා පිළිබඳ බයිබලයේ වාර්තාවෙන් ඔහුගේ ප්‍රේමය ගැන අපට උගන්වන දේ බොහෝයි. සිය මැවිලි උදෙසා ඔහුට තිබෙන කරුණාවන්ත ස්නේහය ගැන එය අපට උගන්වනවා. උදාහරණයක් හැටියට, කලින් විස්තර කොට තිබූ යෙහෝවාගේම ප්‍රේමයේ උසස්තම ක්‍රියාවට වඩා මෙම ගුණාංගය ගැන ඉගෙනගත හැක්කේ වෙනත් කුමකින්ද? ඉදිරියට අප විසින් සාකච්ඡා කෙරෙන පරිච්ඡේදවල, යෙහෝවා තම ප්‍රේමය ක්‍රියාවට නැංවීම පිළිබඳ උදාහරණ බොහොමයක් සලකා බලනු ඇති. මීට අමතරව, “ප්‍රේමය” යන වචනය සඳහා බයිබලයේ යොදා ඇති මුල් භාෂා වචනවලින් යම්කිසි තියුණු අවබෝධයක්ද අපට ලබාගන්නට පුළුවන්. ඉපැරණි ග්‍රීක් භාෂාවේ, “ප්‍රේමය” සඳහා වචන හතරක් භාවිත වුණා.a ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල බොහෝ විට භාවිත වී ඇති වචනය නම් අගාපේ යන්නයි. මෙය, “ප්‍රේමය සඳහා සිතාගත හැකි ප්‍රබලතම වචනය” බව එක් බයිබල් ශබ්දකෝෂයක හඳුන්වනවා. ඒ ඇයි?
12 අගාපේ යන වචනයෙන් යොමු දක්වන්නේ ප්‍රතිපත්තිවලින් මඟ පෙන්වනු ලබන ප්‍රේමයටයි. එබැවින් එය තවත් පුද්ගලයෙකුට චිත්තවේගී හැඟීම්වලින් පෙලඹී දක්වන ප්‍රතිචාරයකට වඩා වැඩි යමක්. එය විෂය පරාසය අතින් බොහෝ පුළුල්. එමෙන්ම එය බොහෝ කල්පනාකාරිව, සැලකිලිමත්ව වගේම හොඳින් හිතාමතා ගත් තීරණයක් නිසා පෙන්වන හැඟීමක්. වඩාත් වැදගත් දෙය නම්, අගාපේ යනු මුළුමනින්ම අනුන් ගැන හිතා පෙන්වන දෙයක් වීමයි. එනම් එය පරාර්ථකාමියි. නිදසුනක් වශයෙන්, යොහන් 3:16 නැවත සලකා බලන්න. දෙවි විසින් තමන්ගේ ඒකජාතක පුත්‍රයා දෙන තරම් ප්‍රේම කළ “ලෝකය” කුමක්ද? එය නම් ගළවාගත හැකි මිනිස් සංහතියෙන් සමන්විත ලෝකයයි. පාපතර ජීවිත මාර්ගයක් ලුහුබඳිමින් සිටින බොහෝ පුද්ගලයන් එයට ඇතුළත් වෙනවා. ඇදහිලිවන්ත ආබ්‍රහම්ට ප්‍රේම කළාක් මෙන් යෙහෝවා සෑම පුද්ගලයෙකුවම පෞද්ගලික මිතුරෙකු ලෙස සලකා ප්‍රේම කරනවාද? (යාකොබ් 2:23) නැහැ, නමුත් තමන්ටම මහත් පාඩුවක් කරගනිමින් සියලුදෙනා කෙරෙහි ප්‍රේමයෙන් යුතුව ඔහු යහපත්කම විදහා දක්වනවා. ඔහුට වුවමනා වනුයේ සියල්ලන්ම ඔවුන්ගේ මාර්ග වෙනස් කරගෙන පසුතැවිලි වීමයි. (2 පේතෘස් 3:9) බොහෝදෙනෙක් එසේ පසුතැවිලි වෙනවා. මේ අයව ඔහු ඉතා ප්‍රීතියෙන් තමන්ගේ මිතුරන් හැටියට පිළිගන්නවා.
13, 14. අගාපේ යන්නට බොහෝ විට උණුසුම් ස්නේහය ඇතුළත් බව පෙන්වන්නේ කුමකින්ද?
13 එහෙත්, ඇතමුන්ට අගාපේ පිළිබඳව වැරදි අදහස් තිබෙනවා. ඔවුන් හිතන්නේ කිසිම හැඟීමක් නැතුව ‘පොතට සීමා වූ’ ප්‍රේමයක් ඉන් අදහස් කරන බවයි. නමුත් සත්‍යය නම්, අගාපේ යන්නට බොහෝවිට උණුසුම් පෞද්ගලික ස්නේහයක් ඇතුළත් වී ඇත යන්නයි. නිදසුනක් වශයෙන්, ‘පියාණන් පුත්‍රයාට ප්‍රේම කරයි’ කියා යේසුස් පැවසූ විට, අගාපේ යන වචනයේ එක්තරා ස්වරූපයක් භාවිත කළා. එම ප්‍රේමය උණුසුම් ස්නේහයෙන් තොරද? ඒ වගේම “පියාණන්ට පුත්‍රයා කෙරෙහි සෙනෙහසක් තිබෙන” බවද යේසුස් පැවසූ බවත්, එහිදී ෆිලෙයෝ යන වචනය යොදාගත් බවත් සැලකිල්ලට ගන්න. (යොහන් 3:35; 5:20, NW) යෙහෝවාගේ ප්‍රේමයට බොහෝ විට ඇතුළත් වන්නේ මුදු මොළොක් ස්නේහයයි. කෙසේවුවද, ඔහුගේ ප්‍රේමය කිසිවිටෙකත් නිකම්ම හැඟීම්වලින් ගසාගෙන යන්නේ නැහැ. එය සෑම විටම ඔහුගේ ප්‍රඥාවෙන් හා යුක්තිසහගත ප්‍රතිපත්තිවලින් පාලනය වෙනවා.
14 අප දැක ඇති පරිදි, යෙහෝවාගේ ගුණාංග සියල්ලම උත්කෘෂ්ටයි, පරිපූර්ණයි, සිත් ළගන්නාසුලුයි. නමුත් මේ අතුරින් වඩාත් සිත් ඇදගන්නේ ප්‍රේමයයි. වෙන කිසිවක් අපව යෙහෝවා වෙතට එතරම් ප්‍රබල ලෙස ආකර්ෂණය කරන්නේ නැහැ. අනෙක, ප්‍රේමය ඔහුගේ ප්‍රධානතම ගුණාංගය වීමද සතුටට කරුණක්. අප එය දන්නේ කොහොමද?
“දෙවි ප්‍රේමයය”
15. ප්‍රේමය නමැති යෙහෝවාගේ ගති ලක්ෂණය ගැන බයිබලයේ කෙරෙන ප්‍රකාශය කුමක්ද? තවද මෙම ප්‍රකාශය අතිසුවිශේෂී වන්නේ කවර අන්දමකින්ද? (පාද සටහනද බලන්න.)
15 ප්‍රේමය ගැන බයිබලයේ කතා කෙරෙන විදිහටම යෙහෝවාගේ වෙනත් ප්‍රධාන ගති ලක්ෂණ ගැන එහි කිසිවිටෙකත් පවසන්නේ නැහැ. දෙවි බලය වේ කියා හෝ දෙවි යුක්තිය කියා හෝ දෙවි ප්‍රඥාව වේ කියා හෝ ශුද්ධ ලියවිලිවල පැවසෙන්නේ නැහැ. එම ගුණාංග ඔහු සතුව තිබෙනවා. ඒවායේ පරම උල්පත ඔහුයි. මේ ගුණාංග තුනම සම්බන්ධයෙන් ඔහු අසමසමව සිටිනවා. එහෙත්, හතරවෙනි ගති ලක්ෂණය ගත් කල, මීට වඩා ගැඹුරු යමක් බයිබලයේ පැවසෙනවා. ඒ තමයි, “දෙවි ප්‍රේමයය” යන්න.b (1 යොහන් 4:8) ඉන් අදහස් කරන්නේ කුමක්ද?
16-18. (අ) “දෙවි ප්‍රේමයය” කියා බයිබලය කියන්නේ ඇයි? (ආ) මිහිපිට සිටින මැවිලි අතුරින්, මිනිසා, ප්‍රේමය නමැති යෙහෝවාගේ ගති ලක්ෂණයේ සුදුසු සංකේතයක් වන්නේ ඇයි?
16 “දෙවි ප්‍රේමයය” යන ප්‍රකාශය “දෙවි ප්‍රේමයට සමානය” යනුවෙන් ගත හැකි සරල සමීකරණයක් නම් නොවේ. ඒ වගේම එම ප්‍රකාශය අනෙක් පැත්තට හරවා “ප්‍රේමය දෙවිය” කියා කීමද හරි නැහැ. යෙහෝවා යනු නිකම්ම භාවලක්ෂණවලින් තොර ගුණාංගයක් නොවෙයි. ඔහු ප්‍රේමයට අමතරව හැඟීම් සමුදායකින් හා ගති ලක්ෂණවලින් හෙබි පුද්ගලයෙක්. එහෙත්, ප්‍රේමය කියන ගුණාංගය තමයි යෙහෝවා තුළ ඉතා ගැඹුරටම මුල් බැසගෙන තිබෙන්නේ. මේ අනුව මෙම පාඨය සම්බන්ධව එක් ආශ්‍රේය ග්‍රන්ථයක පවසන්නේ මෙහෙමයි. “දෙවිගේ මූලික ලක්ෂණය හෙවත් ස්වභාවය ප්‍රේමයයි.” සාමාන්‍යයෙන්, අපට මේ ගැන මේ විදිහට සිතිය හැකියි. ක්‍රියා කිරීමට යෙහෝවාට සලස්වන්නේ හෙවත් හැකියාව ලබා දෙන්නේ බලයයි. ඔහු ක්‍රියා කරන අන්දමට මඟ පෙන්වන්නේ ඔහුගේ යුක්තිය සහ ඔහුගේ ප්‍රඥාවයි. නමුත් ඔහුව ක්‍රියා කිරීමට පොලඹවන්නේ ප්‍රේමයයි. එමෙන්ම සිය වෙනත් ගති ලක්ෂණ යොදාගන්නා ආකාරය තුළ ඔහුගේ ප්‍රේමය සෑමවිටම දක්නට ලැබෙනවා.
17 යෙහෝවා ප්‍රේමයේ පුද්ගලාරෝපණයයයි බොහෝ විට කියැවෙනවා. මෙබැවින්, ප්‍රතිපත්ති මත පදනම් වූ ප්‍රේමය ගැන ඉගෙනගැනීමට අපට වුවමනා නම්, අප යෙහෝවා ගැන ඉගෙනගත යුතුයි. ඇත්ත වශයෙන්ම, අප මේ සුන්දර ගුණාංගය මිනිසුන් තුළද දකිනවා වෙන්නට පුළුවන්. ඒ ඇයි? මිනිසාව මවන අවස්ථාවේදී, යෙහෝවා මේ වචනවලින් ඇමතුවේ පෙනෙන විදිහට සිය පුත්‍රයාට විය හැකියි. “අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ.” (උත්පත්ති 1:26) මිහිපිට තිබෙන සියලු මැවිලි අතුරින්, ප්‍රේම කිරීමට නිදහසේ තේරීමක් කර සිය ස්වර්ගික පියාණන්ව අනුකරණය කළ හැක්කේ පුරුෂයන්ට හා ස්ත්‍රීන්ට පමණයි. යෙහෝවා සිය ප්‍රධාන ගති ලක්ෂණ සංකේතවත් කිරීමට විවිධ මැවිලි යොදාගත් බව සිහි කරන්න. එහෙත්, සිය ප්‍රධානතම ගුණාංගය වන ප්‍රේමය සංකේතවත් කිරීමට යෙහෝවා තෝරාගත්තේ සිය භූමික මැවිල්ලේ ඉතා උසස්තම මැවිල්ල වන මිනිසාවයි.—එසකියෙල් 1:10.
18 අප පරාර්ථකාමීව, ප්‍රතිපත්ති මත පදනම්ව ප්‍රේමය පෙන්වන විට, අප පිළිබිඹු කරන්නේ යෙහෝවාගේ මෙම ප්‍රධානතම ගුණාංගයයි. එය ප්‍රේරිත යොහන් ලිවූ දෙයට එකඟයි. “අප ප්‍රේම කරන්නේ, ඔහු පළමුකොට අපට ප්‍රේම කළ නිසාය.” (1 යොහන් 4:19) නමුත් යෙහෝවා අපට පළමුව ප්‍රේම කර තිබෙන්නේ කිනම් ආකාරවලින්ද?
යෙහෝවා මූලික පියවර ගත්තා
19. යෙහෝවාගේ මැවීමේ වැඩය තුළ ප්‍රේමය ප්‍රධාන කාර්යභාරය ඉටු කළායයි කිව හැක්කේ ඇයි?
19 ප්‍රේමය යනු අලුත් දෙයක් නොවේ. ඇත්තෙන්ම, මැවීම ඇරඹීමට යෙහෝවාව පෙලඹවූයේ කුමක්ද? ඔහු මැවීම සිදු කළේ තනිව සිටි නිසා හෝ යම් ඇසුරක් තමාට අවශ්‍ය වූ නිසා හෝ නොවෙයි. යෙහෝවා පරිපූර්ණ හා ස්වාධීනව තමා මතම යැපෙන්නට හැකි කෙනෙක්. වෙන කිසිවෙක් ඔහුට කිසිවක් සපයන්නට අවශ්‍ය නැහැ. නමුත් ක්‍රියාකාරි ගුණාංගයක් වන ඔහුගේ මෙම ප්‍රේමය ඔහුව යමකට පෙලඹුවා. කුමකටද? ජීවත් වීමේ ප්‍රීතිය, ජීවිතය නමැති දීමනාව අගය කළ හැකි බුද්ධිමත් මැවිලි සමඟ බෙදාගැනීමට. “දෙවිගේ මැවිල්ලේ මුල [පටන්ගැන්ම, NW] වූ තැනැත්තා” වූයේ ඔහුගේ ඒකජාතක පුත්‍රයායි. (එළිදරව් 3:14) අනතුරුව, දේවදූතයන්ගෙන් පටන්ගෙන වෙනත් මැවිලි බිහි කිරීමට යෙහෝවා මෙම ප්‍රධාන කර්මාන්තකරුව යොදාගත්තා. (යෝබ් 38:4, 6, 7; කොලොස්සි 1:16) නිදහසින්, බුද්ධිමත්බවින් හා හැඟීම් සහිතව කටයුතු කිරීමේ හැකියාවෙන් ආශීර්වාද ලැබ සිටි මෙම බලවත් ආත්ම මැවිලිවලට තමන්ගේම අය, එනම් එකිනෙකා කෙරෙහි, සියල්ලටම ඉහළින් යෙහෝවා දෙවි කෙරෙහි ප්‍රේමනීය ඇලුම්කමක් ඇති කරගන්නට ප්‍රස්තාව ලැබුණා. (2 කොරින්ති 3:17) මෙසේ, ඔවුන් ප්‍රේම කළේ පළමුව ඔවුන්ට ප්‍රේම කරනු ලැබූ නිසායි.
20, 21. යෙහෝවා ආදම් සහ ඒවට ප්‍රේම කළ බවට තිබුණු සාක්ෂි මොනවාද? එහෙත් ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ කොහොමද?
20 මිනිස් සංහතිය සම්බන්ධයෙන්ද තත්වය වූයේ එයමයි. ආරම්භයේ සිටම ආදම් සහ ඒවව මුළුමනින්ම පාහේ ප්‍රේමයෙන් නහවනු ලැබුවා. ඒදන් උයනේ තම පාරාදීසමය නිවසේ බැලූ බැලූ හැම තැනකම ඔවුන්හට දක්නට ලැබුණේ ඔවුන් සඳහා වූ සිය පියාණන්ගේ ප්‍රේමයේ සාක්ෂියි. බයිබලය පවසන මෙම දෙය සැලකිල්ලට ගන්න. “යෙහෝවා දෙවි නැඟෙනහිර දිශාවෙහි ඒදන්හි, උයනක් වවා තමන් සෑදූ මනුෂ්‍යයා එහි [තැබුවේය].” (උත්පත්ති 2:8) ඔබ ඇත්තටම සුන්දර වත්තකට හෝ උද්‍යානයකට කවදා හෝ ගොස් තිබෙනවාද? වඩාත්ම ඔබේ සිත්ගත්තේ කුමක්ද? ගසක අඳුරු සෙවණක ගහේ කොළ අතුරින් වැටෙන හිරු රැස්ද? මල් පාත්තියක විවිධ මල්වල දැකුම්කලු පැහැයන්ද? පසුබිමින් ඇසෙන ගලා හැලෙන දොළ පහරක වතුරේ දඟකාර ශබ්දයද? ගී ගයන කුරුල්ලෙකුගේ කිචි බිචි නාදයද? වේගයෙන් පියාඹන කෘමීන්ගේ ගුමු ගුමු නාදයද? ඒ විතරක් නොවේ, ගස්වල, පලතුරුවල, මල්ගොමුවල මිහිරි සුවඳ! ෂා! කොච්චර සුවඳද! කොහොම වුණත්, වත්මන් කිසිම උද්‍යානයක් ඒදන් උයනට සමාන කරන්නට නම් බැහැ. ඒ ඇයි?
21 ඒ උද්‍යානය සකස් කළේ යෙහෝවා විසින්මයි! එය වචනයෙන් විස්තර කළ නොහැකි අයුරින් මනස්කාන්ත සුන්දර උයනක් වූවා විය යුතුයි. දැකීමට ප්‍රියැති කෑමට රසැති සෑම ගසක්ම එහි තිබුණා. ඒ උද්‍යානය හරි විශාලයි. එයට හොඳ ජල සැපයුමක් තිබුණා. ඒ විතරක් නෙමේ, විවිධ මනස්කාන්ත සතුන් එහි ජීවත් වුණා. ආදම් සහ ඒවට තමන්ගේ ප්‍රීතිය උපරිම අන්දමින් භුක්ති විඳිය හැකි සෑම දෙයක්ම එහි තිබුණා විතරක් නෙවෙයි, කිරීමට තෘප්තිමත් වැඩකටයුතු වගේම පරිපූර්ණ ඇසුරක් භුක්ති විඳින්නටද ප්‍රස්තාව ලැබුණා. යෙහෝවායි පළමුව ඔවුන්ට ප්‍රේම කළේ. ඒ විදිහටම ප්‍රතිචාර දැක්වීමට සෑම හේතුවක්ම ඔවුන්ට තිබුණා. එහෙත් එසේ කිරීමට ඔවුන් අසමත් වුණා. තම ස්වර්ගික පියාණන්ට ප්‍රේමනීය ලෙස කීකරු වෙනවා වෙනුවට, ඔවුන් කළේ ඔහුට එරෙහිව ආත්මාර්ථකාමී ලෙස කැරලි ගැසීමයි.—උත්පත්ති 2වන පරිච්ඡේදය.
22. ඒදන් උයනේදී ඇති වූ කැරැල්ලට දැක්වූ ප්‍රතිචාරයේදී යෙහෝවා සිය ප්‍රේමය පක්ෂපාත බව ඔප්පු කළේ කෙසේද?
22 එය යෙහෝවාට මොනතරම් වේදනාකාරි දෙයක් වන්නට ඇද්ද! නමුත් මෙම කැරැල්ල නිසා මෙම ප්‍රේමනීය හදවතට තික්ත හැඟීම් පහළ වුණාද? නැහැ! “ඔහුගේ ප්‍රේමනීය කරුණාව [හෙවත් “පක්ෂපාත ප්‍රේමය,” පාද සටහන] සදාකල් පවතින්නේය.” (ගීතාවලිය 136:1, NW) එමනිසා, ඔහු විගස අරමුණු කළේ ආදම් සහ ඒවගෙන් පැවතෙන්නන් අතර සිටින හදවතේ නිසි නැඹුරුවාවක් ඇති පුද්ගලයන්ව ගළවාගැනීම සඳහා ප්‍රේමනීය සැපයුම් ඇති කිරීමටයි. අප දැක තිබෙන පරිදි, පියාණන්ට මහත් පාඩුවක් සිදු වූවද ඔහු සැපයූ සිය පුත්‍රයාගේ මිදීමේ මිල පූජාව මෙම සැපයුම් අතරට ඇතුළත් වුණා.—1 යොහන් 4:10.
23. යෙහෝවා “සන්තෝෂවත් දෙවි” වීමට තිබෙන එක හේතුවක් නම් කරන්න. ඊළඟ පරිච්ඡේදයේදී කිනම් වැදගත් ප්‍රශ්නය සාකච්ඡාවට භාජන කර තිබේද?
23 ඔව්, ආරම්භයේ පටන් යෙහෝවා මිනිස් සංහතියට සිය ප්‍රේමය පෙන්වීමට මූලික පියවර ගත්තා. ‘ඔහු පළමුකොට අපට ප්‍රේම කළේ’ අසීමිත ආකාරවලින්. ප්‍රේමය සමගියටද ප්‍රීතියටද දායක වෙනවා. එමනිසා යෙහෝවා “සන්තෝෂවත් දෙවි” කියා විස්තර කර තිබීම ගැන පුදුම විය යුතු නැහැ. (1 තිමෝති 1:11, NW) කෙසේවෙතත්, මෙහිදී වැදගත් ප්‍රශ්නයක් පැන නඟිනවා. යෙහෝවා අපට තනි පුද්ගලයන් හැටියට සැබවින්ම ප්‍රේම කරනවාද? ඊළඟ පරිච්ඡේදයේදී මේ කාරණය සැලකිල්ලට භාජන කර ඇති.
[පාදසටහන්වල]
a ෆිලෙයෝ යන ක්‍රියා පදයේ අරුත නම්, “(කිට්ටු මිතුරෙකු හෝ සහෝදරයෙකු කෙරෙහි යමෙකුට හැඟෙන්නාක් මෙන්,) ස්නේහයක්, ආදරයක්, ලෙන්ගතුකමක්, මනාපයක් හෝ කැමැත්තක් ඇතුව සිටීමයි.” මෙම ක්‍රියා පදය ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල බොහෝ විට යොදාගෙන තිබෙනවා. මෙහි තවත් ස්වරූපයක් නම්, ස්ටෝර්ජි යන්නයි. එය පවුලක සාමාජිකයන් අතර ඇති කිට්ටු ප්‍රේමයයි. දෙවන තිමෝති 3:3හි යොදා ඇතිවාක් මෙන් එම ප්‍රේමය අන්තිම දවස්වල බොහෝ සෙයින් ඌනව තිබෙනවා. තවත් වචනයක් නම් එරොස් යන්නයි. එය පුරුෂයෙක් හා ස්ත්‍රියක් අතර තිබෙන ආලවන්ත ප්‍රේමයයි. එය ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල භාවිත කොට නැහැ. නමුත් මේ ආකාරයේ ප්‍රේමය ගැන බයිබලයේ සාකච්ඡා කොට තිබෙනවා.—හිතෝපදේශ 5:15-20.
b ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙනත් ප්‍රකාශයන්ටද මේ හා සැසඳිය හැකි ව්‍යූහයක් තිබෙනවා. නිදසුනක් වශයෙන්, “දෙවි ආලෝකය බවත්” ඒ වගේම “දෙවි විනාශ කරන ගින්නක්” බවත් බයිබලයේ පවසනවා. (1 යොහන් 1:5; හෙබ්‍රෙව් 12:29) නමුත් මේවා රූපකාලංකාර යෙදුම් බව තේරුම්ගත යුතුයි. මන්ද ඒවායින් යෙහෝවාව භෞතික දේවලට සමාන කර ඇති නිසයි. යෙහෝවා ආලෝකය වගෙයි. මන්ද ඔහු ශුද්ධයි, සදාචාරමය ප්‍රතිපත්තිවලදී ඍජුයි. ඔහු තුළ කිසිදු “අන්ධකාරයක්” හෙවත් අපවිත්‍රකමක් නැහැ. ඔහුව ගින්නකට සමාන කළ හැක්කේ ඔහු සතු විනාශකාරි බලය යොදාගැනීමේදීයි.
මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න
ගීතාවලිය 63:1-11 යෙහෝවාගේ ප්‍රේමයට අප කොතරම් වටිනාකමක් දිය යුතුද? එම ප්‍රේමය අප තුළ කිනම් නිසැකකමක් ගොඩනැංවිය යුතුද?
හොෂෙයා 11:1-4; 14:4-8 ඉශ්‍රායෙල් ජාතියට (හෙවත් එප්‍රායිම්ට) තිබුණේ අකීකරුකමේ කෙබඳු වාර්තාවක්ද? එසේ වුවත් යෙහෝවා පියෙකු බඳු ප්‍රේමයක් පෙන්වූයේ කිනම් ආකාරවලින්ද?
මතෙව් 5:43-48 සමස්තයක් වශයෙන් මුළු මිනිස් සංහතිය කෙරෙහි යෙහෝවා සිය පියෙකු බඳු ප්‍රේමය පෙන්වන්නේ කෙසේද?
යොහන් 17:15-26 සිය අනුගාමිකයන් වෙනුවෙන් යේසුස් කළ යාච්ඤාව මගින් අප උදෙසා ඇති යෙහෝවාගේ ප්‍රේමය ගැන අපට සහතිකයක් සපයන්නේ කොහොමද?
[230වන පිටුවේ පින්තූරය]
‘දෙවි . . . තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නා’