ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • cl 27 පරි. 270-279 පි.
  • “අහෝ, ඔහුගේ යහපත්කම කොපමණ මහත්ද!”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “අහෝ, ඔහුගේ යහපත්කම කොපමණ මහත්ද!”
  • යෙහෝවාට ළං වන්න
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දිව්‍ය ප්‍රේමයේ කැපීපෙනෙන අංගයක්
  • යෙහෝවාගේ බහුල වූ යහපත්කමට සාක්ෂි
  • යහපත්කම සමඟින් සදාකාලික ප්‍රයෝජන
  • යෙහෝවාගේ යහපත්කමේ අමතර පැති
  • ‘යෙහෝවාගේ යහපත්කම නිසා බැබළෙයි’
  • යෙහෝවඃ වහන්සේගේ අධික වූ යහපත්කම
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා යහපත්කමේ පරමාදර්ශය
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යහපත්කම - වර්ධනය කරගන්නේ කොහොමද?
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • නොනවත්වාම යහපත්කම විදහමින් සිටින්න
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙහෝවාට ළං වන්න
cl 27 පරි. 270-279 පි.

27වන පරිච්ඡේදය

“අහෝ, ඔහුගේ යහපත්කම කොපමණ මහත්ද!”

1, 2. දෙවිගේ යහපත්කම විහිදෙන්නේ කොතරම් දුරකටද? මේ ගුණාංගය බයිබලයේ අවධාරණය කර තිබෙන්නේ කෙසේද?

ඈත එපිට විනෝද සවාරියක් ගොස් සිටින්නේ කල්‍යාණ මිත්‍රයන් කිහිපදෙනෙකි. සිනාසෙමින් කතා කියමින් ඔවුන් එකට එක්ව තමන් ගෙනා ආහාර අනුභව කරන්නේ බැස යන හිරු රැස්වල උණුසුමින් නැහැවෙමින් ඒ දෙස ආශාවෙන් දෑස් දල්වාගෙනයි. වෙල් යායෙන් එහා ඉහළ අහස දෙස බලන ගොවියෙක් එකට එකතු වී ඇති කළු වලාවන් දකී. ඒ සමඟම නියඟයෙන් දිගු කලකට පසු වැහි පොද එක එක තමන් අලුත හිටවූ ගොයම් පැළවලට වැටෙද්දී ඔහුගේ මුවඟට මඳ සිනහවක් නැඟෙයි. තවත් තැනක, තම පොඩි පුතු පළමු පියවර තබා ඇවිදින්නට තතනන හැටි දරුවාගේ දෙමාපියන් බලා සිටින්නේ ඉමහත් වූ ආශාවෙන්.

2 මේ අය දන්නවා වුවත් නැතත්, ඔවුන් සියලුදෙනාම එක දෙයකින් ප්‍රයෝජන ගන්නවා. ඒ තමයි, යෙහෝවා දෙවිගේ යහපත්කම. “දෙවි යහපත්” යන යෙදුම බොහෝ විට ආගමික ශ්‍රද්ධාවක් ඇති අයගේ කියමනක්. නමුත් බයිබලය ඊටත් වඩා තදිනුයි එය අවධාරණය කරන්නේ. එය පවසන්නේ මෙහෙමයි. “අහෝ, ඔහුගේ යහපත්කම කොපමණ මහත්ද!” (සෙකරියා 9:17, NW) එහෙත්, මේ වචනවල නියම තේරුම ඇත්තටම දන්නේ ස්වල්පදෙනෙක් බව පෙනෙන්ට තිබෙනවා. යෙහෝවා දෙවිගේ යහපත්කමට ඇතුළත් වන්නේ කුමක්ද? දෙවිගේ මේ ගුණාංගය අප එක් එක්කෙනාට බලපාන්නේ කොහොමද?

දිව්‍ය ප්‍රේමයේ කැපීපෙනෙන අංගයක්

3, 4. යහපත්කම යනු කුමක්ද? යෙහෝවාගේ යහපත්කම දිව්‍ය ප්‍රේමයේ ප්‍රකාශයක් බව කීම එයට දිය හැකි හොඳම විස්තරය බව පැවසිය හැක්කේ ඇයි?

3 නූතන භාෂාවල, “යහපත්කම” යන්න යම් තරමක හිස් වචනයක්. එහෙත් බයිබලයේ හෙළි කරන පරිදි, යහපත්කම යනු ඉතා අරුත්බර වචනයක්. මූලික වශයෙන් ගත් කල, එය සුචරිතය සහ සදාචාරමය අතින් අග්‍රගණ්‍යයයි අදහස් කෙරෙනවා. එසේ නම්, යෙහෝවාගේ පෞද්ගලිකත්වය සිසාරා යහපත්කම පැතිර පවතිනවා කියා එක් අර්ථයකින් අපට කියන්නට පුළුවන්. ඔහුගේ බලය, ඔහුගේ යුක්තිය සහ ඔහුගේ ප්‍රඥාව ඇතුළු ඔහුගේ සියලු ගති ලක්ෂණ යහපතින් නැහැවී තිබෙනවා. එහෙත්, යහපත්කම යනු යෙහෝවාගේ ප්‍රේමයේ එක්තරා ප්‍රකාශ වීමක් කියා විස්තර කිරීම යෝග්‍යයි. ඒ ඇයි?

4 යහපත්කම යනු වෙනත් අය වෙනුවෙන් විදහාපානු ලබන ක්‍රියාකාරි ගුණාංගයක්. ප්‍රේරිත පාවුල් පෙන්නුම් කළේ එය මිනිසුන් තුළ ඇති ධර්මිෂ්ඨකමට වඩා සිත් ඇදගන්නා ගුණාංගයක් බවයි. (රෝම 5:7, NW) ධර්මිෂ්ඨ මිනිසා නීතියේ අවශ්‍යතාවන්ට විශ්වාසවන්ත ලෙස ඇලී සිටින කෙනෙක් කියා සලකන්නට පිළිවන්. නමුත් යහපත් මිනිසා ඊටත් වඩා දෙයක් කරනවා. යම් දෙයක් කිරීමට මූලික පියවර ගන්නා හෙතෙම, නිතරම උත්සුක වන්නේ අනුන්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිරිපත් වී යම් යම් දේ කිරීමටයි. අප දකින්නට යන පරිදි, යෙහෝවා මේ අර්ථයෙන් යහපත් බව සහතිකයි. මෙවන් යහපත්කමක් යෙහෝවාගේ නිම් හිම් නැති ප්‍රේමයෙන් නික්මෙන බව පැහැදිලියි.

5-7. “යහපත් ගුරුතුමෙනි” කියා ආමන්ත්‍රණය කරනු ලැබීම යේසුස් ප්‍රතික්ෂේප කළේ ඇයි? මේ මගින් ඔහු තහවුරු කළේ කිනම් ගැඹුරු සත්‍යතාවක්ද?

5 යෙහෝවා ඔහුගේ යහපත්කම සම්බන්ධයෙන්ද අතිවිශිෂ්ටයි, අද්විතීයයි. යේසුස් මිය යෑමට ටික කලකට පෙරාතුව, එක් මිනිසෙක් යේසුස් වෙතට පැමිණ “යහපත් ගුරුතුමෙනි” [NW] කියා ඇමතුවා. යේසුස් ඊට පිළිතුරු දුන්නේ මෙසේයි. “මා යහපත්යයි නුඹ මට කියන්නේ මන්ද? එක්කෙනෙක් එනම් දෙවි මිස වෙන කිසිවෙක් යහපත් නොවේ.” (මාර්ක් 10:17, 18) එම ප්‍රතිචාරය ඔබ තුළ යම් ව්‍යාකූලත්වයක් ඇති කරන්නට පුළුවන්. යේසුස් ඒ මිනිසාව නිවැරදි කළේ ඇයි? ඇත්තෙන්ම, යේසුස් ‘යහපත් ගුරුවරයෙකුව’ සිටියා නොවේද?

6 “යහපත් ගුරුතුමෙනි” කියා අමතමින් මේ මිනිසා කළේ යේසුස්ට ඉච්චා බස් දෙඩීමක් බව පැහැදිලියි. යේසුස් මෙහිදී කළේ යහපත්කමේ උපරිමයේ සිටින සිය ස්වර්ගික පියාණන් වෙතට එවන් ගෞරවයක් නිහතමානී ලෙස හරවා යැවීමයි. (හිතෝපදේශ 11:2) එහෙත් යේසුස් මෙහිදී ගැඹුරු සත්‍යතාවක්ද තහවුරු කළා. එය තමයි, යෙහෝවා පමණක් යහපත්කම සඳහා ප්‍රමිතිය බව. යහපත කුමක්ද අයහපත කුමක්ද කියා නිර්ණය කිරීමට පූර්ණ අයිතිය තිබෙන්නේ ඔහුට පමණයි. කැරලිකාර අන්දමින් යහපත හා නපුර දැනගැනීමේ ගසින් කෑමෙන් ආදම් සහ ඒව කළේ, එම අයිතිය තමන්ටම පවරාගැනීමට උත්සාහ කිරීමයි. යේසුස් ඔවුන් වගේ නෙවෙයි. ඔහු කළේ ප්‍රමිති පිහිටුවීම සිය පියාණන්ට නිහතමානි ලෙස භාර දීමයි.

7 එපමණක්ද නොවේ. යේසුස් දැන සිටියා සැබවින්ම යහපත් වූ සෑම දෙයකම උල්පත යෙහෝවා බව. “සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද” දානය කරන්නා ඔහුයි. (යාකොබ් 1:17) යෙහෝවාගේ යහපත්කම ඔහුගේ ත්‍යාගශීලීකම තුළ දැකිය හැක්කේ කෙලෙසද කියා දැන් අපි පරීක්ෂා කර බලමු.

යෙහෝවාගේ බහුල වූ යහපත්කමට සාක්ෂි

8. යෙහෝවා මුළු මිනිස් සංහතිය උදෙසා යහපත්කම පෙන්වා ඇත්තේ කොහොමද?

8 මෙතෙක් ජීවත් වී ඇති සෑම කෙනෙක්ම යෙහෝවාගේ යහපත්කමින් ප්‍රයෝජන භුක්ති විඳ තිබෙනවා. ගීතාවලිය 145:9හි කියන්නේ “යෙහෝවා සියල්ලන්ට යහපත්ය” කියායි. (අකුරු ඇල කළේ අපය.) යෙහෝවාගේ යහපත්කම හාත්පස පැතිර පවතිනවා. මේ පිළිබඳ තිබෙන සමහර උදාහරණ මොනවාද? බයිබලය කියන්නේ මෙසේයි. “ඔහු අහසෙන් වර්ෂාව සහ සාරවත් කාලවල් [ඍතුද, NW] නුඹලාට දී, කෑමෙන්ද සන්තෝෂයෙන්ද නුඹලාගේ සිත් පුරවමින්, යහපත්කම් කළ බැවින්, තමන් ගැන සාක්ෂි නොදී නොසිටියේය.” (ක්‍රියා 14:17) ප්‍රණීත ආහාරයක් භුක්ති විඳින විට ඔබ කවදා හෝ ප්‍රීති ප්‍රමෝදයට පත් වී තිබෙනවාද? ආහාර බහුල ලෙස පොළොවෙන් නිපදවන පිණිස නිරන්තර ජල සැපයුමක්ද ‘සාරවත් කාලවල්ද [ඍතුද, NW]’ සමඟින් මේ පොළොව පිළියෙළ කිරීමේදී යෙහෝවා තම යහපත්කම නොපෙන්නුවා නම් අදදින අපට ආහාර කොයින්ද? යෙහෝවා එවන් යහපත්කමක් පෙන්වා තිබෙන්නේ තමන්ට ප්‍රේම කරන අයට පමණක් නොවේ. ඔහු සෑම කෙනෙකුටම එය පෙන්වා තිබෙනවා. යේසුස් පැවසුවේ මෙසේයි. “ඔහු නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදා කරවන්නේය. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වන්නේය.”—මතෙව් 5:45.

9. ඇපල්වලින් යෙහෝවාගේ යහපත්කම නිරූපණය වනුයේ කොහොමද?

9 නිරතුරුවම අද්දකින හිරුගේ තාපය, උණුසුම, ආලෝකය, වැස්ස මෙන්ම සාරවත් ඍතු නිසා මිනිස් සංහතිය අද්දකින උපරිම ත්‍යාගශීලිත්වය ගැන බොහෝදෙනෙක් එතරම් තැකීමක් කරන්නේ නැහැ. නිදසුනකට, ඇපල් ගැන සලකා බලන්න. පොළොවේ සෞම්‍ය කලාපවල එය ඉතා බහුල පලතුරක්. එය ඉතා අලංකාරයි, කෑමට ප්‍රණීතයි. ඒ වගේම එහි නැවුම් ජලය හා අතිවැදගත් පෝෂ්‍ය පදාර්ථත් අඩංගුයි. ලොව පුරා විවිධ ඇපල් වර්ග 7,500ක් පමණ තිබෙන බව ඔබ දැන සිටියාද? ඒවා රතු පැහැයේ සිට රන් පැහැය දක්වාත්, කහ පැහැයේ සිට කොළ පැහැය දක්වාත් විවිධ පාටවලින් යුක්ත බව ඔබ දන්නවාද? ලොවි ගෙඩියකට වඩා මඳක් විශාල ප්‍රමාණයේ සිට ජම්බෝල ගෙඩියක් තරම් වූ විශාල ප්‍රමාණයේ ඇපල් ගෙඩි තිබෙන බව ඔබ දැන සිටියාද? ඔබ ඉතා කුඩා ඇපල් ඇටයක් අතට ගෙන බැලුවොත්, එය වැදගැම්මකට නැති දෙයක් කියා ඔබට සිතේවි. නමුත් ඒ කුඩා ඇපල් ඇටයෙන් ඉතා පියකරු වූ ගසක් වැඩෙනවා. (සාලමොන්ගේ ගීතිකාව 2:3, NW) සෑම වසන්ත සමයකදීම, ඇපල් ගස ඇපල් මල්වලින් වැසී යන්නේ හරියට වට්ටියකින් වසාගත්තා වගේ. සෑම සරත් සමයකදීම, ඇපල් ගස් ඇපල් ගෙඩිවලින් බර වෙනවා. මේ සෑම ගසක්ම වසර 75ක් පමණ පවතින්නේ සෑම වසරකම එහි ඵලදාව දෙමිනුයි. ඒ කොතරම්ද යත්, වසරකට එක ගසක ඵලදාවෙන් එක පෙට්ටියක කිලෝ ග්‍රෑම් 19ක් දැරිය හැකි ඇපල් පෙට්ටි 20කට පමණ ගෙඩි පුරවන්න පුළුවන්.

10, 11. අප සතු සංවේදයන්ගෙන් යෙහෝවාගේ යහපත්කම පැහැදිලිව පෙන්වන්නේ කොහොමද?

10 සිය අනන්ත සහගත වූ යහපත්කම නිසාවෙන්, යෙහෝවා අපට දී තිබෙන්නේ ‘පුදුම ලෙස සාදන’ ලද ශරීරයක්. ඔහුගේ අපූරු කර්මාන්ත තේරුම්ගෙන ඒවායින් වින්දනයක් ලැබිය හැකි වන පිණිස නිමවා ඇති සංවේදයන් සමඟිනුයි, ඒ ශරීරය අපට දී තිබෙන්නේ. (ගීතාවලිය 139:14) මේ පරිච්ඡේදය ආරම්භයේදී විස්තර කර ඇති ඒ ජවනිකා ගැන යළිත් සිතා බලන්න. එවන් මොහොතකදී ප්‍රීතිය ගෙන දෙන්නේ කිනම් දසුන්ද? සතුට උතුරා යන දරුවාගේ ඒ රෝස පැහැති දෙකොපුල්. දුහුල් සළුවක් කඩා හැලෙන්නාක් මෙන් එක පොදියට වෙල් යායට ඇද හැලෙන වැහි බිඳු. අවර ගිරෙන් හිරු බැස යද්දී හිරුගේ රතු, රන්වන් හා පාර ජම්බුල පැහැය. මිනිස් ඇහැ නිමවලා තියෙන්නේ විවිධ පාට 3,00,000කට වඩා ඩැහැගන්නට පුළුවන් විදිහටයි! ඒ වගේම අප ආදරය කරන මිහිරි කටහඬක විවිධ තනුද, ගස් අතුරෙන් හමන සුළඟේ සිලි සිලි හඬද, දණිහෙන් බඩගා ඇවිදින්නට තතනන ළපැටියෙකුගේ උතුරා යන සිනහව අසන්නටද අපට පිළිවන්. එවන් දසුන් හා විවිධ නාදයන් භුක්ති විඳීමට අපට හැක්කේ ඇයි? බයිබලය කියන ආකාරයට “අසන කනද දකින ඇසද යන දෙකම යෙහෝවා සෑදුවේය.” (හිතෝපදේශ 20:12) නමුත් ඒවා සංවේදීන් දෙකක් පමණයි.

11 ගඳ සුවඳ දැනීමේ හැකියාවත් යෙහෝවාගේ යහපත්කමේ සාක්ෂියක්. මිනිස් නාසයට හැකියි, විවිධ සුවඳ 10,000ක් පමණ ආඝ්‍රාණය කරමින් වෙනස හඳුනාගන්නට. මේවායින් කිහිපයක් පමණක් සලකා බලමු. ඔබගේ ප්‍රියතම ආහාරය පිසින සුවඳ, මල්වල සුවඳ, පරඬැල්වල සුවඳ, ගින්නක උණුසුමින් පහස ලබද්දී ඉන් හමන දුමක ගඳ මේවා අතර වෙනවා. ඒ වගේම සුළං රැළි ඔබගේම මුව සුමුදු ලෙස සිපගැනීම, ආදරය කරන කෙනෙකුව ඉතා මුදු ස්නේහයෙන් වැලඳගැනීම මෙන්ම ඔබ අතැති පලතුරු කැබැල්ලක සුමුදු බවේ පහස යන මේ සියල්ල ස්පර්ශ කිරීමේ හැකියාව නිසා ඔබ ලද දේවල්. ඔබ යම් අහරක් අනුභව කරන විට, එය ඔබේ රස නහර පිනවනවා. ඒ වගේම පලතුරක එකට මුසු වී ඇති රසායනිකයන් ඔබේ දිවේ ගෑවෙන විට, එය ඔබගේ රස නහර පුබුදුවා තලු මරමින් එය මහත් ආශාවෙන් රස විඳින්නට ඔබට කරන ආරාධනාවක් වැනියි. ඔව්, මෙසේ මොරගසා යෙහෝවාට තුති පුදන්නට අපට තියෙන හේතු අනන්තයි, අප්‍රමාණයි. “ඔබ කෙරෙහි භය ඇත්තන්ට නිධාන කොට තැබුවාවූ, ඔබ කෙරෙහි විශ්වාසය තබන්නන්ට මනුෂ්‍ය පුත්‍රයන් ඉදිරියෙහි ඔබ කළාවූ ඔබගේ යහපත්කම කොපමණ මහත්ද!” (ගීතාවලිය 31:19) එහෙත්, යෙහෝවා තමන්ට භය වෙන අය සඳහා සිය යහපත්කම “නිධාන කොට” තිබෙන්නේ කොහොමද?

යහපත්කම සමඟින් සදාකාලික ප්‍රයෝජන

12. වඩාත් වැදගත් වන්නේ යෙහෝවාගෙන් පැමිණෙන කිනම් සැපයුම්ද? තවද ඒ මන්ද?

12 යේසුස් මෙසේ පැවසුවා. “මනුෂ්‍යයා දෙවිගේ මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත් වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේ.” (මතෙව් 4:4) ඔව්, ඇත්ත වශයෙන්ම, භෞතික සැපයුම්වලින් ලැබෙන පෝෂණයට වඩා මහත් යහපතක් අපහට සිදුවීමට සලස්වන්නේ යෙහෝවාගේ ආත්මික සැපයුම්වලිනුයි. මන්ද ඒවා සදාකාල ජීවිතයට මඟ පෙන්වයි. මෙම පොතේ 8වන පරිච්ඡේදයේදී, අප සටහන් කරගත් දෙයක් තිබුණා. එහිදී, ආත්මික පාරාදීසයක් ඇති කිරීමට මෙම අන්තිම දවස්වලදී යෙහෝවා සිය යළි පිහිටුවීමේ බලය යොදාගෙන තිබීම ගැන අප දැනගත්තා. එම පාරාදීසයේ මූලිකාංගයක් තමයි බහුල වූ ආත්මික ආහාර.

13, 14. (අ) අනාගතවක්තෘ එසකියෙල් දර්ශනය තුළ දුටුවේ කුමක්ද? එයින් අපට අර්ථවත් වන්නේ කුමක්ද? (ආ) යෙහෝවා සිය විශ්වාසවන්ත සේවකයන්ට දී ඇති ජීවනදායක ආත්මික සැපයුම් මොනවාද?

13 බයිබලයේ සඳහන් යළි පිහිටුවීම පිළිබඳ ශ්‍රේෂ්ඨම අනාවැකියක, යළි පිහිටුවනු ලැබූ මෙන්ම මහිමාන්විත දේවමාළිගාවක් පිළිබඳ දර්ශනයක් අනාගතවක්තෘ එසකියෙල්ට දෙනු ලැබුවා. එම දේවමාළිගාවෙන් දිය පාරක් ගලා ගියා. එම දිය පාර කෙමෙන් කෙමෙන් පළල් වෙමින් ගැඹුරු වෙමින් අන්තිමේදී එය ‘ගංගාවක්’ බවට පත් වුණා. එය ගැලුවේ කොතැනටද, එම ගඟ එතැනට මහත් ආශීර්වාද ගෙනාවා. එම ගඟ අද්දර ආහාර හා සුවය දෙන අස්වැන්න බහුල ගස් සරුසාරව වැඩුණා. එපමණක්ද නොවෙයි, එය ලුණු සහිත ජීවය නැති මළ මුහුදටත් පණ දුන්නා. (එසකියෙල් 47:1-12) නමුත් මේ සියල්ලෙන් අදහස් කළේ කුමක්ද?

14 මෙම දර්ශනයෙන් අදහස් කළේ, යෙහෝවා සිය නිර්මල නමස්කාරය සඳහා වූ විධිවිධානය යළිත් පිහිටුවනු ඇති බවයි. එය එසකියෙල් දුටු දේවමාළිගාව මගින් නියෝජනය වුණා. දර්ශනයේ දුටු ඒ ගංගාව මෙන්, ජීවනය සඳහා වූ දෙවිගේ සැපයුම් වඩාත් ශ්‍රේෂ්ඨ වූ බහුලත්වයකින් සිය ජනයා වෙතට ගලා බසිනු ඇති. වර්ෂ 1919දී නිර්මල නමස්කාරය යළි පිහිටෙව්වායින් පසු, යෙහෝවා සිය ජනයාට ජීවනදායක සැපයුම් සමඟින් ආශීර්වාද කර තිබෙනවා. ඒ කෙසේද? බයිබල්, බයිබල් පොත් පත්, රැස්වීම් හා සමුළු මගින් මිලියන ගණනකට අතිවැදගත් සත්‍යතාවන් දැනගැනීමට ආධාර වී තිබෙනවා. එවන් මාධ්‍යයන් තුළින් ජීවනය සඳහා වූ සිය සැපයුම්වල අතිවැදගත්ම දේ ගැන යෙහෝවා සිය ජනයාට උගන්වා තිබෙනවා. ඒ තමයි, ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව. යෙහෝවා ඉදිරියේ පිරිසිදු ස්ථාවරයක්ද දෙවිට සැබවින්ම ප්‍රේම කරමින් භය වන සියල්ලන්හට සදාකාල ජීවනයේ බලාපොරොත්තුවක්ද ගෙන එන්නේ එයයි.a මෙබැවින්, මේ අන්තිම දවස්වලදී, මේ ලෝකය ආත්මික සාගතයක් විඳින අතරතුරේදී, යෙහෝවාගේ ජනයා භුක්ති විඳ තිබෙන්නේ ආත්මික මංගල්‍යයක්.—යෙසායා 65:13.

15. ක්‍රිස්තුස්ගේ සහස්‍ර පාලන කාලය අතරතුරේදී විශ්වාසවන්ත මිනිස් සංහතියට යෙහෝවාගේ යහපත්කම ගලා බසින්නේ කිනම් අර්ථයෙන්ද?

15 නමුත් එසකියෙල්ගේ දර්ශනයේ සඳහන් ඒ ගංගාව ගලන්නේ මේ පැරණි ක්‍රමයේ අවසානය දක්වා පමණක්ම නොවෙයි. ඊට පටහැනිව, එය ක්‍රිස්තුස්ගේ සහස්‍ර පාලනය අතරතුරේදී ඊටත් වඩා බහුල ලෙස ගලා බසීවි. එවිට, මෙසියානු රාජ්‍යය මාර්ගයෙන් යේසුස්ගේ මිදීමේ මිල වටිනාකම පූර්ණ ලෙස අදාළ කරමින්, යෙහෝවා කෙමෙන් කෙමෙන් විශ්වාසවන්ත මිනිස් සංහතියව පරිපූර්ණත්වයට ගෙන ඒවි. එවිට අපි යෙහෝවාගේ යහපත්කම කොතරම් ප්‍රශංසාවට ලක් කරනු ඇද්ද!

යෙහෝවාගේ යහපත්කමේ අමතර පැති

16. යෙහෝවාගේ යහපත්කම වෙනත් ගුණාංග ආවරණය කරන බව බයිබලයේ පෙන්වන්නේ කොහොමද? මේවායින් සමහරක් මොනවාද?

16 යෙහෝවාගේ යහපත්කමට ත්‍යාගශීලිත්වයට වඩා වැඩි යමක් ඇතුළත් වෙනවා. දෙවි මෝසෙස්ට පැවසුවේ මෙහෙමයි. “මම මාගේ සියලු ගුණවත්කම [යහපත්කම, NW] නුඹ ඉදිරිපිටින් යන්ට සලස්වා යෙහෝවාගේ නාමය නුඹ ඉදිරිපිට ප්‍රකාශ කරන්නෙමි.” පසුව වාර්තාව පවසන්නේ මෙලෙසයි. “යෙහෝවා ඔහු ඉදිරියෙහි පසු කර යමින් මෙසේ ප්‍රකාශ කළේය: ‘යෙහෝවා, යෙහෝවා, දයාවන්ත වූ, අනුග්‍රහයෙන් යුක්ත වූ කෝපවීමට ප්‍රමාද වූ, ප්‍රේමනීය කරුණාවෙන්ද සත්‍යතාවෙන්ද බහුල වූ දෙවි කෙනෙකි.’” (නික්මයාම 33:19; 34:6, NW) මේ අනුව, යෙහෝවාගේ යහපත්කම කදිම ගුණාංග ගණනාවක් ආවරණය කරනවා. මේවායින් දෙකක් පමණක් සලකා බලමු.

17. අනුග්‍රහය යන වචනයේ අරුත කුමක්ද? තවද යෙහෝවා සාමාන්‍ය අසම්පූර්ණ මිනිසුන්ට එය විදහාපෙන්වා තිබෙන්නේ කොහොමද?

17 “අනුග්‍රහයෙන් යුක්ත.” මෙම ගුණාංගයෙන් යෙහෝවා සිය මැවිලිවලට සලකන ආකාරය ගැන බොහෝ දේ අපට කියා පානවා. බලවත් පාලකයන් සම්බන්ධයෙන් බොහෝ විට සැබෑවක් වන දෙයක් තමයි, ඔවුන් රළු, සැර පරුස, කිසිම මිත්‍රශීලී සුහද ගතියක් නැති හෝ ඒකාධිපතියන් ලෙස කටයුතු කිරීම. යෙහෝවා එසේ නොවෙයි. ඔහු මෘදුයි, කාරුණිකයි. නිදසුනක් වශයෙන්, යෙහෝවා එක අවස්ථාවක ආබ්‍රම්ට මෙහෙම කිව්වා. “[කරුණාකර, NW] නුඹේ ඇස් ඔසවා නුඹ සිටින ස්ථානයේ සිට උතුරද දකුණද නැඟෙනහිරද බස්නාහිරද දෙස බලන්න.” (උත්පත්ති 13:14) බොහෝ පරිවර්තකයන් මෙම “කරුණාකර” යන වචනය අත්හැර තිබෙනවා. නමුත් යම් ප්‍රකාශයක් අණ කිරීමකින් විනීත ආචාර සම්පන්න ඉල්ලීමකට හරවන නිපාත පදයක් මුල් හෙබ්‍රෙව් භාෂාවේ වචනවල අඩංගු බව බයිබල් විශාරදයන් සටහන් කරනවා. ඒ හා සමාන වෙනත් අවස්ථාද බයිබලයේ සඳහන් වී තිබෙනවා. (උත්පත්ති 31:12; එසකියෙල් 8:5; NW) විශ්වයේ පරමාධිපතියාණන් සාමාන්‍ය මිනිසුන්ට “කරුණාකර” කියා යමක් ඉල්ලා සිටීම ගැන නිකමට සිතා බලන්න! සැර පරුෂ, කලහකාරි සහ රළු බව මෙතරම් බහුලව තිබෙන ලෝකයක, අපගේ දෙවි වූ යෙහෝවාගේ මේ කාරුණික වූ ආචාරශීලී ගතිය ගැන කල්පනා කිරීම අපට මහත් ප්‍රබෝධයක් වන්නේ නැද්ද?

18. යෙහෝවා ‘සත්‍යතාවෙන් බහුල’ වන්නේ කිනම් අර්ථයෙන්ද? මෙම වචන අපට මහත් අස්වැසිල්ලක් වනුයේ ඇයි?

18 ‘සත්‍යතාවෙන් බහුල වූ.’ අදදින වංකකම මේ ලෝකයේ සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබෙනවා. නමුත් බයිබලය අපට සිහිගන්වන්නේ මෙයයි. “බොරු කියන්ට දෙවි මනුෂ්‍යයෙක් . . . නොවේ.” (ගණන් කථාව 23:19) ඇත්ත වශයෙන්ම, තීතස් 1:1හි දෙවිව හඳුන්වා ඇත්තේ, “බොරු නොකියන දෙවි” ලෙසයි. (අකුරු ඇල කළේ අපය.) යෙහෝවාගේ යහපත්කම කොතෙක්ද යත් ඔහුට කිසි විටෙකත් බොරු කියන්නට බැහැ. මේ අනුව, යෙහෝවාගේ පොරොන්දු කෙරෙහි සම්පූර්ණයෙන්ම රඳා පැවතිය හැකියි. ඔහුගේ වචනද එලෙසින්ම ඉටු වෙනවා නියතයි. “සැබෑකමේ දෙවි” කියාද යෙහෝවාව හඳුන්වා තිබෙනවා. (ගීතාවලිය 31:5) බොරු කීමෙන් ඔහු වැළකී සිටිනවා පමණක් නොව, නමුත් සත්‍යතාවන් බහුලව ඔහු බෙදා දෙනවා. ඔහු දේවල් ඉතා රහසිගතව තබාගන්නාවූ හෝ සඟවාගන්නාවූ පුද්ගලයෙක් නොවෙයි. ඒ වෙනුවට, යෙහෝවා තමා සතු අසීමිත ප්‍රඥා ගබඩාවෙන් සිය විශ්වාසවන්ත සේවකයන්ට කාරණා හෙළි කරන්නේ ඉතා ත්‍යාගශීලී ලෙසයි.b එපමණක් නොවෙයි, තමා බෙදා දෙන සත්‍යතාවන්ට අනුකූලව ජීවත් වන සැටිත් ‘දිගටම සැබෑවෙහි ගමන් කරන’ සැටිත් ඔහු ඔවුන්ට උගන්වනවා. (3 යොහන් 3, NW) සමස්තයක් වශයෙන් ගත් කල, යෙහෝවාගේ යහපත්කම අප එක් එක් පුද්ගලයන්ට බලපෑ යුත්තේ කොහොමද?

‘යෙහෝවාගේ යහපත්කම නිසා බැබළෙයි’

19, 20. (අ) යෙහෝවාගේ යහපත්කම ගැන ඒව තුළ වූ විශ්වාසය බිඳ දැමීමට සාතන් ක්‍රියා කළේ කෙසේද? කුමන ප්‍රතිඵලයක් ඇතිවද? (ආ) යෙහෝවාගේ යහපත්කම අප කෙරෙහි කිනම් බලපෑමක් ඇති කළ යුතුද? ඒ මන්ද?

19 ඒදන් උයනේදී සාතන් ඒවව පරීක්ෂා කිරීමට ආරම්භ කළේ යෙහෝවාගේ යහපත්කම ගැන ඇය තුළ වූ විශ්වාසය බිඳ දැමීමට ඉතා කපටි ලෙස උත්සාහ කරමිනුයි. යෙහෝවා ආදම්ට කියා තිබුණේ මෙසේයි. “නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන.” උයනේ තිබූ ගස් දහස් ගණනකින් එම උයන අලංකාර වී තිබුණා විය යුතුයි. නමුත් යෙහෝවා විසින් ආදම්ට සීමා පනවා තිබුණේ එක ගසකින් පමණක් නොකන ලෙසයි. එහෙත්, සාතන් ඒවගෙන් ඇසූ පළමු ප්‍රශ්නයේ වචන ගැළපූ අන්දම සැලකිල්ලට ගන්න. “ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවි කීවාද?” (උත්පත්ති 2:9, 16; 3:1) යෙහෝවාගේ වචන විකෘති කළ සාතන්, යෙහෝවා යම් යහපත් දෙයක් නොදී සඟවා තබාගෙන සිටිනවාය යන හැඟීමක් ඒව තුළ ඇති කළා. කනගාටුවට කරුණක් නම්, ඔහුගේ උපාය සාර්ථක වීමයි. තමාට පසුව විසූ බොහෝ පුරුෂයන් හා ස්ත්‍රීන් මෙන්ම ඒවද තමාට සියලු දේවල් දී තිබූ දෙවිගේ යහපත්කම ගැන සැක කරන්නට පටන්ගත්තා.

20 එවන් සැකයන් ඇතිවීම හේතුවෙන් ඇති වී තිබෙන ශෝකයේ හා දුක්ඛිතබවේ ගැඹුර අපි දන්නවා. එමනිසා, යෙරෙමියා 31:12හි [NW] වචන අපි අපේ හෘදයට ගනිමු. “ඔවුහු . . . යෙහෝවාගේ යහපත්කම නිසා බැබළෙන්නෝය.” යෙහෝවාගේ යහපත්කම නිසා අප ප්‍රීතියෙන් බැබළිය යුතුයි. අපගේ දෙවිගේ චේතනාවන් අප කිසි විටෙකත් සැක නොකළ යුතුයි. මන්ද යෙහෝවා යහපත්කමින් එතරම්ම පූර්ණයි. අපි ඔහු කෙරෙහි මුළුමනින්ම විශ්වාස කරමු. මන්ද, ඔහුට වුවමනා කරන්නේ ඔහු ප්‍රේම කරන අයට යහපතක්ම සිදු වෙනවා දකින්නයි.

21, 22. (අ) යෙහෝවාගේ යහපත්කමට ඔබ ප්‍රතිචාර දැක්වීමට කැමති ආකාර සමහරක් මොනවාද? (ආ) ඊළඟ පරිච්ඡේදයේදී අප සාකච්ඡා කරනු ඇත්තේ කිනම් ගුණාංගය ගැනද? මෙය යහපත්කමින් වෙනස් වනුයේ කොහොමද?

21 තවදුරටත්, දෙවිගේ යහපත්කම ගැන වෙනත් අයට කතා කිරීමට අපට අවස්ථාවක් ලැබෙන විටද, අපි ඉතා සතුටු වෙනවා. යෙහෝවාගේ ජනයා සම්බන්ධව ගීතාවලිය 145:7හි කියන්නේ මෙයයි. “ඔවුහු ඔබගේ මහත් යහපත්කමේ සිහිවීම ප්‍රකාශ කරමින්, ඔබගේ ධර්මිෂ්ඨකම ගැන ගී කියන්නෝය.” අප ජීවත් වන සෑම දිනකම, යෙහෝවාගේ යහපත්කමින් අපි යම් අන්දමක ප්‍රයෝජනයක් ලබනවා. එම නිසා, යෙහෝවාගේ යහපත්කම ගැන සෑම දවසකම ඔහුට ස්තුති කිරීම පුරුද්දක් කර නොගන්නේ ඇයි? හැකි තරමින් සුවිශේෂී යහපත්කම් ගැන සඳහන් කරමින් අපි ඔහුට ස්තුති කරමු. යහපත්කම නමැති ඒ ගුණාංගය ගැන සිතන්න. යෙහෝවාට ඒ ගැන දිනපතා ස්තුති කරන්න. ඒ වගේම ඒ ගැන අනුන්ට කතා කරන්න. අපගේ යහපත් දෙවිව අනුකරණය කරන්නට මේ සියල්ල අපට මහෝපකාරි වේවි. යෙහෝවා මෙන් අපත් යහපත්කම් කිරීමට මාර්ග සොයන විට, අප ඔහුට තව තවත් ළං වෙමු. වයෝවෘද්ධ ප්‍රේරිත යොහන් ලීවේ මෙයයි. “ප්‍රේමවන්තය, නපුර නොව යහපත ආදර්ශයට ගන්න. යහපත්කම් කරන්නා දෙවිගෙන්ය.”—3 යොහන් 11.

22 යෙහෝවාගේ යහපත්කම තවත් ගුණාංග සමඟද බැඳී තිබෙනවා. නිදසුනක් වශයෙන්, දෙවි “ප්‍රේමනීය කරුණාවෙන්” එනම් පක්ෂපාත ප්‍රේමයෙන් බහුලයි. (නික්මයාම 34:6, NW) මෙම ගුණාංගය විදහාපානු ලබන්නේ යහපත්කමට වඩා අතිසුවිශේෂී ආකාරයකටයි. මන්ද විශේෂයෙන්ම යෙහෝවා එය පළ කරන්නේ තමන්ගේ විශ්වාසවන්ත සේවකයන් කෙරෙහි පමණක් වන බැවිනුයි. ඔහු එසේ කරන ආකාරය අපි ඊළඟ පරිච්ඡේදයේදී ඉගෙනගන්නෙමු.

[පාදසටහන්වල]

a යෙහෝවාගේ යහපත්කම සම්බන්ධයෙන් බලද්දී, මිදීමේ මිලය තරම් ශ්‍රේෂ්ඨ උදාහරණයක් තවත් නැහැ. ආත්ම මැවිලි මිලියන ගණනකින් සමන්විත සියල්ලන් අතුරින්, අප වෙනුවෙන් මිය යෑම සඳහා යෙහෝවා තෝරාගත්තේ තමන්ගේම ප්‍රේමවන්ත ඒක ජාතක පුත්‍රයාවයි.

b බයිබලය සත්‍යතාව ආලෝකය සමඟ සම්බන්ධ කරන්නේ හොඳ හේතු ඇතුවයි. “ඔබගේ එළියත් සැබෑකමත් එවුව මැනව” කියා ගීතිකාකරු ගායනා කළා. (ගීතාවලිය 43:3) තමන්ගෙන් ඉගෙනගැනීමට හෝ කාරණා මුළුමනින්ම අවබෝධ කරගනු ලැබීමට කැමැත්තෙන් සිටින අයට යෙහෝවා ඉතා බහුල ලෙස ආත්මික ආලෝකය වගුරනවා.—2 කොරින්ති 4:6; 1 යොහන් 1:5.

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න

1 රාජාවලිය 8:54-61, 66 සාලමොන් යෙහෝවාගේ යහපත්කම කෙරෙහි කෘතඥතාව පළ කළේ කොහොමද? තවද මෙය ඉශ්‍රායෙලිතයන් කෙරෙහි කිනම් බලපෑමක් ඇති කළාද?

ගීතාවලිය 119:66, 68 අපගේ යාච්ඤා තුළින් යෙහෝවාගේ යහපත්කම අනුකරණය කිරීමට ආශාවක් පිළිබිඹු කළ හැක්කේ කොහොමද?

ලූක් 6:32-38 යෙහෝවාගේ ත්‍යාගශීලී ස්වභාවය අනුකරණය කිරීමට අපව පෙලඹවීමට කුමකට උපකාර කළ හැකිද?

රෝම 12:2, 9, 17-21 අපගේ එදිනෙදා ජීවිතය තුළ යහපත්කම නිරූපණය කිරීමට අපට හැක්කේ කොහොමද?

[272වන පිටුවේ පින්තූරය]

යෙහෝවා ‘ඔබට අහසෙන් වර්ෂාවද සාරවත් ඍතුද’ දෙනවා

[273වන පිටුවේ පින්තූර]

දශක ගණනාවක්ම මිනිසුන්ව පෝෂණය කරමින් ඔවුන්ව අමානන්දයට පත් කළ හැකි ගසක් මේ කුඩා බීජයෙන් වැඩෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න