හයවන පරිච්ඡේදය
අප සැම මුහුණ දිය යුතු වාද විෂය
1, 2. (අ) සාතන් ඒදන් උයනේදී ඇති කළ වාද විෂය කුමක්ද? (ආ) එවන් වාද විෂයක් මතු කළ බව ඔහු පැවසූ දෙයින් ඇඟවූයේ කෙසේද?
මිනිස්වර්ගයා මුහුණ දුන් වාද විෂයන් අතරින් වඩාත් වැදගත්ම වාද විෂයට ඔබ සම්බන්ධ වී සිටී. එහි ඔබ ගන්නා පැත්ත අනුව ඔබේ සදාකාල ජීවනය තීරණය වේ. මේ වාද විෂය පැන නැඟුණේ ඒදන් උයනේදී හටගත් කැරැල්ලෙන්ය. එදා සාතන් ඒවගෙන් මෙසේ ඇසීය. “ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවි කීවාද?” ඇය උත්තර දෙමින් දෙවි එක ගසක් ගැන සඳහන් කරමින් ‘නුඹලා නොනසින පිණිස එම ගහේ ගෙඩි කන්ට එපා’ යයි කියූ බව පැවසුවාය. එම අවස්ථාවේදී යෙහෝවා බොරුකාරයෙකැයි සාතන් කෙළින්ම චෝදනා කරමින්, ඒවගේවත් ආදම්ගේවත් ජීවිත දෙවිට කීකරු වීම මත රඳා නොපවතින බව පැවසුවේය. තවදුරටත්, දෙවි ඔහුගේ මැවිලිවලින් යම්කිසි යහපත් දෙයක් එනම්, තමන්ගේ ජීවිතයට අවශ්‍ය ප්‍රමිති පිහිටුවීමට තමන්ට තිබෙන අයිතිය දෙවි ඔවුන්ගෙන් උදුරාගෙන ඇතැයිද සාතන් පැවසුවේය. සාතන් තරයේ කියා සිටියේ මෙසේය. “නුඹලා එයින් කන දවසෙහි නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.”—උත්පත්ති 3:1-5.
2 වෙනත් විදිහකින් සාතන් කියන්නේ දෙවිගේ නීතිවලට කීකරු වෙනවාට වඩා තමන්ගේ තීරණ තමන්ම ගැනීමෙන් මිනිසුන්ට වඩා හොඳක් සිදු වන බවය. මෙසේ ඔහු දෙවිගේ ක්‍රමයට කෙරෙන පාලනය අභියෝගයට ලක් කළේය. මෙය දෙවිගේ විශ්වනීය පරමාධිපත්‍යය නැතහොත් පාලනය කිරීමට ඔහුට ඇති අයිතිය ගැන අතිවැදගත් ප්‍රශ්නයක් මතු කළේය. පැන නැඟ ඇති ප්රශ්නය නම්, මිනිසාට වඩා සුදුසු යෙහෝවාගේ පාලන ක්රමයද නැතහොත් ඔහුගෙන් බැහැරව ස්වාධීන පාලනයක් ගෙන යෑමද යන්නය. ඕනෑ නම් ඒ මොහොතේදීම ආදම් සහ ඒවව විනාශ කර දැමීමට යෙහෝවාට හැකියාව තිබුණි. එහෙත්, එසේ කිරීමෙන් පරමාධිපත්‍යය පිළිබඳ වාද විෂය සෑහීමට පත් විය හැකි ලෙස විසඳේයැයි සිතීම උගහටය. යම් සැලකිය යුතු කාලයක් පුරා මිනිස් සමාජය වර්ධනය වීමට හැරීමෙන්, දෙවි හා දෙවිගේ නීති රීතිවලින් තොරව ස්වාධීන වීමට යෑමේ ආදීනව මොනවාදැයි පෙන්වීමට යෙහෝවාට හැකි විය.
3. සාතන් ඇති කළ ද්විතීයික වාද විෂය කුමක්ද?
3 පාලනය කිරීමට යෙහෝවාට තිබෙන අයිතියට එරෙහිව සාතන් දියත් කළ ප්‍රහාරය ඒදන් උයනේ සිද්ධියෙන් නැවතුණේ නැත. අනිත් අය යෙහෝවාට දක්වන පක්ෂපාතකම පිළිබඳවත් ඔහු සැක පහළ කළේය. එය මුල් වාද විෂයට ළඟින් දිවෙන ද්විතීයික ආකාරයේ වාද විෂයක් බවට පත් විය. ආදම් සහ ඒවගෙන් පැවතෙන්නන් හා දෙවිගේ සියලුම ආත්ම පුත්‍රයන් පමණක් නොව යෙහෝවාගේ සදාදර කුලුඳුල් පුත්‍රයාවද මේ අභියෝගයට ඔහු ඈඳාගත්තේය. උදාහරණයක් හැටියට, යෙහෝවාට සේවය කරන අය එසේ කරන්නේ දෙවිටත් ඔහු පාලනය කරන ක්රමයටත් ඔවුන් කැමති නිසා නොව, ආත්මාර්ථකාමී වාසි ප්‍රයෝජන නිසාය කියා යෝබ්ගේ කාලයේදී සාතන් තරයේම කියා සිටියේය. ඔවුන්ව දුෂ්කරතා මැදට අත්හළ විට, ඔවුන් සියල්ලන්ම ආත්මාර්ථකාමී ආශාවන්ට නතු වනු ඇතැයි ඔහු තර්ක කළේය.—යෝබ් 2:1-6; එළිදරව් 12:10.
ඉතිහාසය සපයන සාක්ෂි
4, 5. මිනිසා තමාගේම ගමන නියම කිරීම සම්බන්ධයෙන් ඉතිහාසය දෙන සාක්ෂි මොනවාද?
4 පරමාධිපත්‍යය සම්බන්ධ වාද විෂයේ වැදගත්ම කාරණයක් වන්නේ, තමන්ව තනියම පාලනය කරගෙන සාර්ථක වීමට දෙවි මිනිසාව මවා නොතිබීමයි. යෙහෝවා මිනිසාව සාදා තිබෙන්නේ ඔවුන්ගේම යහපත උදෙසා ධර්මිෂ්ඨ දිව්‍ය නීති මත යැපෙන ආකාරයටය. ප්‍රොපේත යෙරෙමියා එම කාරණය පිළිගත්තේය. “යෙහෝවා, මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව මම හොඳ හැටි දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ පියවර මෙහෙයවීමටවත් අයිතියක් නැත. යෙහෝවා, මා නිවැරදි කළ මැනව.” (යෙරෙමියා 10:23, 24, NW) ඒ නිසා දෙවිගේ වචනය උදක්ම මෙසේ ඉල්ලයි. “නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න.” (හිතෝපදේශ 3:5) මිනිසාගේ පැවැත්ම සඳහා දෙවි තම භෞතික නීතිවලට ඔහුව යටත් කළා සේම, අවනත වුවොත් එකමුතු සමාජයක් බිහි කෙරෙන සදාචාර නීතිද ඔහු පිහිටෙව්වේය.
5 පැහැදිලිවම, තම පාලනයෙන් තොරව මිනිස් පවුලට කිසිදාක තනියම සාර්ථක වීමට නොහැකි බව යෙහෝවා දැන සිටියේය. දෙවිගේ නීති රීතිවලින් බැහැරව ස්වාධීන වීමට යෑමේ පුහු වෑයමක් හැටියට, මිනිසා විවිධාකාර දේශපාලනික, ආර්ථික සහ ආගමික පද්ධති පිහිටුවාගෙන ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස එකිනෙකා අතර ඇති වූ වෙනස්කම් මිනිසාව නිරන්තර ගැටුම්වලටත්, ප්‍රතිඵලයක් ලෙස සැහැසියාවට, යුද්ධයට හා මරණයටත් යොමු කර ඇත. ‘මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයන් විසින් ඔවුන්ව ආණ්ඩු කර ඇත.’ (දේශනාකාරයා 8:9) මිනිස් ඉතිහාසය පුරා හරියටම සිදුව ඇත්තේ එයයි. දෙවිගේ වචනයෙහි පුරෝකථනය කර ඇති ආකාරයට දුෂ්ට මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් “වඩ වඩා නරක් වන්නෝය.” (2 තිමෝති 3:13) විසිවන සියවසේදී මිනිසා විද්‍යාවෙත් කාර්මික ලෝකයෙත් හිණිපෙත්තටම නැග්ගත් සිදු වූ දරුණුම විනාශයන් අද්දැක්කේත් එම සියවසේදීය. මෙය යෙරෙමියා 10:23හි ඇති වදන් පුන පුනා තහවුරු කිරීමකි. එනම්, මිනිසාව මවා තිබෙන්නේ තමන්ගේම ගමන නියම කිරීමට අයිතිය ඇතුව නොවන බවය.
6. මිනිසා තමාගෙන් ස්වාධීන වීම පිළිබඳ කාරණය දෙවි ඉක්මනින්ම විසඳනු ඇත්තේ කෙසේද?
6 මිනිස් පාලන ක්‍රම කිසිදාක සාර්ථක නොවන බව දෙවිගෙන් ස්වාධීන වීමේ දුක්ඛිත වූ දිගු කාලීන ඵලවිපාක පෙන්වා දේ. සන්තෝෂයටත්, එක්සත්කමටත්, සෞඛ්‍ය සම්පන්න දිවියකටත්, ජීවනයටත් එකම මඟ දෙවිගේ පාලන ක්‍රමයයි. දෙවිගෙන් ස්වාධීන වූ මිනිස් පාලන ක්‍රම ගැන යෙහෝවා තවත් වැඩි කල් ඉවසන්නේ නැති බව දේවවචනය පවසයි. (මතෙව් 24:3-14; 2 තිමෝති 3:1-5) වැඩි කල් යන්ට මත්තෙන්, තම පාලන ක්‍රමය පොළොව මත පැතිරවීම සඳහා ඔහු මිනිස් කටයුතුවලට මැදිහත් වනු ඇත. බයිබල් අනාවැකිය මෙසේ සඳහන් කරයි. “ඒ රජුන්ගේ [දැන් පවතින මිනිස් පාලන ක්‍රමවල] දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසි කලක නැති නොවන්නාවූ රාජ්‍යයක් [ස්වර්ගයෙහි] පිහිටුවන්නේය. ඒකේ ආණ්ඩුව අන් සෙනඟකට අත්අරිනු නොලබන්නේය [නැවත කිසිදා මිනිසුන් පොළොව පාලනය නොකරනු ඇත]. . . . ඒක ඒ [දැන් පවතින] සියලු රාජ්‍යවල් පොඩි කර නැති කරන්නේය. එයද සදාකාලේටම පවතින්නේය.”—දානියෙල් 2:44, 45.
දෙවිගේ නව ලෝකය තුළට ගැළවීම
7. දෙවිගේ පාලනය මිනිස් පාලනය නවතා දමන විට බේරෙනු ඇත්තේ කවුරුන්ද?
7 දෙවිගේ පාලනය මගින් මිනිස් පාලනය නවතා දමන විට, බේරෙනු ඇත්තේ කවුරුන්ද? බයිබලය මෙසේ උත්තර දෙයි. “අවංක අයවල් [පාලනය කිරීමට දෙවිට ඇති අයිතියට සහයෝගය දෙන්නෝ] දේශයෙහි වාසය කරන්නෝය. නිර්දෝෂ අයවල්ද එහි නැවතී සිටින්නෝය. දුර්ජනයෝ [පාලනය කිරීමට දෙවිට ඇති අයිතියට සහයෝගය නොදෙන්නෝ] දේශයෙන් සිඳදමනු ලබන්නෝය. ද්‍රෝහිකම්කරන්නෝද එයින් උදුරා දමනු ලබන්නෝය.” (හිතෝපදේශ 2:21, 22) ඒ හා සමානව, ගීතිකාකරුද මෙසේ සඳහන් කළේය. “මද කලකින් දුෂ්ටයා නැති වන්නේය. . . . ධර්මිෂ්ඨයෝ දේශය [පොළොව, NW] උරුම කරගන්නෝය. එහි සදාකල් වාසය කරන්නෝය.”—ගීතාවලිය 37:10, 29.
8. දෙවි තම පරමාධිපත්‍යයේ යුක්තිසහගත බව සහමුලින්ම තහවුරු කරනු ඇත්තේ කෙසේද?
8 සාතන්ගේ ක්‍රමය විනාශ කළ පසු, දෙවි ඔහුගේ නව ලෝකයේ දොරවල් අරිනු ලැබේ. එම ලෝකය මිනිස්වර්ගයාව අවුරුදු දහස් ගණනාවක් පුරා ගැටගසා බැඳ තැබූ විනාශකාරි සැහැසියාව, යුද්ධ, දිළිඳුකම, දුක් විඳීම, අසනීප සහ මරණය සම්පූර්ණයෙන්ම නිදහස් කරන්නේය. කීකරු මිනිස්වර්ගයා වෙනුවෙන් තබා තිබෙන ආශීර්වාද ගැන බයිබලයේ ඉතාම ලස්සනට විස්තර කර තිබේ. “[දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.” (එළිදරව් 21:3, 4) ක්‍රිස්තුස් යටතේ වූ දෙවිගේ ස්වර්ගීය රාජ්‍ය ආණ්ඩුව මාර්ගයෙන් දෙවි අපේ පාලකයා වීමට තමාට ඇති අයිතියේ, එනම් දෙවිගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගත බව සහමුලින්ම තහවුරු කරනු ඇත.—රෝම 16:20; 2 පේතෘස් 3:10-13; එළිදරව් 20:1-6.
සමහරුන් වාද විෂයට ප්‍රතිචාරය දැක්වූ අයුරු
9. (අ) යෙහෝවාට පක්ෂපාතව සිටි අය ඔහුගේ වචනය සැලකුවේ කෙසේද? (ආ) නෝවා තම පක්ෂපාතකම තහවුරු කළේ කෙසේද? ඔහුගේ ආදර්ශයෙන් ප්‍රයෝජන ලබන්ට අපට හැක්කේ කෙසේද?
9 දෙවි පරමාධිපති හැටියට සලකා තමන්ගේ පක්ෂපාතකම යෙහෝවාට දැක්වූ ඇදහිලිවන්ත ස්ත්‍රීහු හා පුරුෂයෝ ඉතිහාසය පුරාම විසූහ. තම ජීවිත රඳා පැවතියේ දෙවිට ඇහුම්කන් දීමත්, ඔහුට කීකරු වීමත් මත බව ඔවුහු දැන සිටියහ. නෝවා එවැනි මිනිසෙකි. දෙවි නෝවාට මෙසේ කීවේය. ‘මාංසමය වූ සියල්ලන්ගේ අන්තිමය මා ඉදිරියට පැමිණ තිබේ. නුඹ නැවක් සාදාගන්න.’ නෝවා යෙහෝවාගේ මඟ පෙන්වීමට කීකරු විය. කොපමණ අනතුරු ඇඟවූවත්, එදා සිටි ජනයා කිසිදා නොවූ විරූ අසාමාන්‍ය වූ දෙයක් සිදුවීමට යන බවට වූ අනතුරු ඇඟවීම ගණන් නොගෙන තමන්ට රිසි සේ ජීවිතය ගෙවූහ. එහෙත්, නෝවා අතිවිශාල නැවක් සෑදුවේය. එපමණක්ද නොව යෙහෝවාගේ ධර්මිෂ්ඨ මාර්ග ගැන අනිත් අයට දේශනා කිරීමේ කඩිසරව නියැලී සිටියේය. ඒ පිළිබඳ වාර්තාව මෙසේ කියයි. “නෝවා එසේ කළේය. දෙවි ඔහුට අණ කළ සියල්ල ලෙස ඔහු කළේය.”—උත්පත්ති 6:13-22; හෙබ්‍රෙව් 11:7; 2 පේතෘස් 2:5.
10. (අ) ආබ්‍රහම් හා සාරා යෙහෝවාගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගත බව තහවුරු කළේ කෙසේද? (ආ) ආබ්‍රහම්ගේ සහ සාරාගේ ආදර්ශවලින් අපට ප්‍රයෝජන ලැබිය හැක්කේ කිනම් ආකාරවලින්ද?
10 යෙහෝවා තමන්ට කරන්නැයි අණ කළ ඕනෑම දෙයක් කිරීමෙන් ආබ්‍රහම් හා සාරාද යෙහෝවාගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගත බව තහවුරු කිරීම සම්බන්ධයෙන් මහඟු ආදර්ශයක් සැපයූහ. ඔවුහු කල්දිවරුන්ගේ සමෘද්ධිමත් නගරයක් වූ ඌර් දේශයේ වාසය කළහ. එහෙත් ඔහු නොදන්නා වෙනත් දේශයකට යන්නැයි යෙහෝවා ආබ්‍රහම්ට කී විට ‘යෙහෝවා ඔහුට කී ලෙස ගියේය.’ ඒ වන විට සාරා තමන්ගේම නිවසක, මිතුරන් හා නෑයින් සමඟ ඉතාම සැපපහසු ජීවිතයක් ගත කළ බව නිසැකය. සාරා තමන් මුහුණ දීමට යන අභියෝග ගැන දැන නොසිටියත්, යෙහෝවාටත් තම ස්වාමිපුරුෂයාටත් අවනත වෙමින් කානාන් දේශයට පැමිණියාය.—උත්පත්ති 11:31–12:4; ක්‍රියා 7:2-4.
11. (අ) මෝසෙස් යෙහෝවාගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගත බව තහවුරු කළේ කිනම් තත්වයන් යටතේද? (ආ) මෝසෙස්ගේ ආදර්ශය අපට ප්‍රයෝජනවත් විය හැක්කේ කෙසේද?
11 යෙහෝවාගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගත බව තහවුරු කළ තවත් අයෙකි මෝසෙස්. ඔහු එය කළේ ඉතාම දුෂ්කර තත්වයන් යටතේය. එනම්, මිසරයේ ඵාරාවෝ සමඟ මුහුණට මුහුණ මුණගැසීමෙනි. මෝසෙස් ආත්ම විශ්වාසයෙන් යුතුව සිටියා නොවේ. ඔහු සිතුවේ තමන්ට හොඳින් කතා කරන්ට හැකියාවක් නැතැයි කියාය. එහෙත්, ඔහු යෙහෝවාට කීකරු විය. යෙහෝවාගේ අනුබලයෙන් හා තම සහෝදරයා වූ ආරොන්ගේ ආධාරයෙන් ඔහු යෙහෝවාගේ වචනය දරදඬු ඵාරාවෝ වෙත නැවත නැවතත් ගෙන ගියේය. සමහර ඉශ්රායෙල් පුත්‍රයෝම මෝසෙස්ව රළු ලෙස විවේචනය කළෝය. ඒ වුණත්, යෙහෝවා ඔහුට අණ කළ සෑම දෙයක්ම පක්ෂපාතව ඔහු ඉෂ්ට කළේය. මෙසේ ඔහු මාර්ගයෙන් ඉශ්රායෙල්වරුන්ව මිසරයෙන් මුදාගන්නා ලදි.—නික්මයාම 7:6; 12:50, 51; හෙබ්‍රෙව් 11:24-27.
12. (අ) දෙවි නිශ්චිත වශයෙන් ලියා ඇති දේ කිරීමට වඩා වැඩි යමක් යෙහෝවාට පක්ෂපාත වීම යන්නට ඇතුළත් බව පෙන්වන්නේ කුමක්ද? (ආ) මේ ආකාරයේ පක්ෂපාතකම ගැන තේරුම්ගැනීම 1 යොහන් 2:15 අදාළ කරගැනීමට උදව් කළ හැක්කේ කෙසේද?
12 කීකරු විය යුත්තේ දෙවි ලිඛිතව සපයා ඇති දේවලට පමණක්යැයි කියා යෙහෝවාට පක්ෂපාතව සිටි අය සිතුවේ නැත. පෝතිඵර්ගේ භාර්යාව දුරාචාරමය හැසිරීමේ යෙදීමට යෝසෙප්ව වසඟ කරගැනීමට උත්සාහ කරද්දී, පරදාර සේවනය තහනම් කළ ලිඛිත ආඥාවක් දෙවි දී තිබුණේ නැත. එසේ වුවත්, ඒදන් උයනේදී යෙහෝවා පිහිටෙවූ විවාහ විධිවිධානය ගැන යෝසෙප් දැන සිටියේය. වෙනත් පුරුෂයෙකුගේ භාර්යාවක් සමඟ ලිංගිකව හැසිරීම දෙවිව අසතුටු කරන බව ඔහු දැන සිටියේය. මිසරයේ වැසියෙකු ලෙස හැසිරෙන්ට දෙවි කොතෙක් දුරට තමාට ඉඩ දෙයිද කියා දැනගැනීමට යෝසෙප් තුළ කිසිදු උනන්දුවක් තිබුණේ නැත. දෙවි මිනිස්වර්ගයා සමඟ කටයුතු කර ඇති ආකාරය ගැන මෙනෙහි කරමින් දෙවිගේ කැමැත්තයයි තමා වටහාගත් දේ ඔහු තම හෘදය සාක්ෂියට එකඟව ක්‍රියාත්මක කළේය. මෙසේ ඔහු යෙහෝවාගේ මාර්ගවල යුක්තිසහගත බව තහවුරු කළේය.—උත්පත්ති 39:7-12; ගීතාවලිය 77:11, 12.
13. සාතන් බොරුකාරයෙකු බව (අ) යෝබ්ගේ හා (ආ) හෙබ්‍රෙව් තරුණයන් තිදෙනාගේ සිද්ධියෙන් ඔප්පු වූයේ කෙසේද?
13 යෙහෝවාව සැබෑවටම දන්නාවූ අය මොනතරම් දරුණු පරීක්ෂාවලට මුහුණ දුන්නත් යෙහෝවාව හැර යන්නේ නැත. යෝබ්ට තිබෙන බොහෝ ධන සම්පත් හෝ යහපත් සෞඛ්‍ය තත්වය නැතුව ගියොත් යෙහෝවා එතරම් ඉහළින් කතා කරන යෝබ් පවා දෙවිව අතහැර යන බවට සාතන් චෝදනා කළේය. විපත්ති තමා පිට ගොඩගැසෙන්නේ ඇයිදැයි දැන නොසිටියත්, යක්ෂයා බොරුකාරයෙකු බව යෝබ් ඔප්පු කළේය. (යෝබ් 2:9, 10) එතැන් සිට සියවස් ගණනාවකට පසු පවා තමා ගෙනා චෝදනාව ඔප්පු කරගැනීමට දත කමින් සිටි සාතන් වියරු වැටුණු බබිලෝනීය රජුව ඒ සඳහා යොදාගත්තේය. තමා පිහිටෙවූ පිළිමයට වැඳ නමස්කාර නොකළොත්, ඇවිළෙන ගිනි උදුනකට දමන බව කියමින් හෙබ්‍රෙව් තරුණයන් තිදෙනෙකුට මේ වියරු වූ රජ තර්ජනය කළේය. රජුගේ ආඥාවට කීකරු වෙනවාද නැත්නම් පිළිම නමස්කාරයට විරුද්ධව යෙහෝවාගේ ආඥාවට කීකරු වෙනවාද යන්න අතර තේරීමක් කිරීමට මෙය ඔවුන්ට බල කෙරුණුද ඔවුහු සැමටම දැනගන්ට සැලැස්වූයේ තමන් යෙහෝවාට සේවය කරන බවත්, ඔහු උත්කෘෂ්ට පරමාධිපති බවත්ය. ඔවුන්ට වැදගත් වූයේ තම වර්තමාන ජීවිතයට වඩා දෙවි කෙරෙහි ඇදහිල්ල තැබීමයි.—දානියෙල් 3:14-18.
14. ඇත්තටම යෙහෝවාට පක්ෂපාත බව ඔප්පු කිරීමට අසම්පූර්ණ මනුෂ්‍යයන් හැටියට අපට හැක්කේ කෙසේද?
14 එවන් ආදර්ශ සලකා බැලූ පසු, යෙහෝවාට පක්ෂපාත වීමට නම්, අප පරිපූර්ණ අය විය යුතුය, නැත්නම් වැරදි කරන අයට කවදාවත් සාර්ථක වෙන්න බැහැයි කියා අප නිගමනය කළ යුතුද? එසේ සිතීම වැරදිය. ඇතැම් අවස්ථාවලදී මෝසෙස් පවා වැරදි කළ බව බයිබලය කියයි. යෙහෝවා ඒ ගැන අසතුටු වුවත්, ඔහු මෝසෙස්ව ප්‍රතික්ෂේප කළේ නැත. යේසුස් ක්‍රිස්තුස්ගේ ප්‍රේරිතයන්ටද දුර්වලකම් තිබුණි. අපේ අසම්පූර්ණ උරුමය සැලකිල්ලට ගන්නා යෙහෝවා, තම කැමැත්ත හිතාමතාම නොසලකා හරින තාක්කල් අපගේ උත්සාහයන් ගැන සතුටු වෙයි. අසම්පූර්ණකම නිසා අප වැරදි ක්‍රියාවක යෙදුණත්, අවංකවම පසුතැවිලි වීමත් එම වරද පුරුද්දක් කර නොගැනීමත් ඉතාම වැදගත්ය. මේ ආකාරයට, යෙහෝවා හරියැයි කියන දේට අප සැබවින්ම ප්‍රේම කරන බවත්, වැරදියැයි කියන දේට ද්වේෂ කරන බවත් අපි පෙන්වන්නෙමු. යේසුස්ගේ ජීවිත පූජාවේ පව් කමා කිරීමේ බලය කෙරෙහි තබන අපේ ඇදහිල්ල හේතුවෙන් දෙවි ඉදිරියේ අපට පිරිසිදු ස්ථාවරයක් ඇතුව සිටිය හැකිය.—ආමොස් 5:15; ක්‍රියා 3:19, 20; හෙබ්‍රෙව් 9:14.
15. (අ) සියලුම මිනිසුන් අතරින් දෙවිට පරිපූර්ණ අඛණ්ඩතාවක් පැවැත්වූයේ කවුද? එමගින් ඔප්පු වූයේ කුමක්ද? (ආ) යේසුස් කළ දෙය අපට උපකාරයක් වන්නේ කෙසේද?
15 කෙසේවෙතත්, යෙහෝවාගේ පරමාධිපත්‍යය වෙනුවෙන් පරිපූර්ණ කීකරුකමක් පෙන්වන්ට මිනිසුන්ට කොහෙත්ම නොහැකිද? මෙයට උත්තරය අවුරුදු 4,000ක් පුරා ‘පරිශුද්ධ රහසක්ව’ පැවතුණි. (1 තිමෝති 3:16, NW) ආදම්ව පරිපූර්ණ මනුෂ්‍යයෙකු ලෙස මැවුවත්, ඔහු දේවභක්තිය පිළිබඳ පරිපූර්ණ ආදර්ශයක් තැබුවේ නැත. ආදර්ශයක් තැබුවේ කවුද? එය කළේ ඔහුගේ පව්කාර පැවතෙන්නන්ගෙන් කවුරුත් නම් නොවෙයි. එය කළ හැකි එකම මිනිසා වූයේ යේසුස් ක්‍රිස්තුස්ය. (හෙබ්‍රෙව් 4:15) යේසුස්ට වඩා පහසු තත්වයන් යටතේ සිටි ආදම්ට උවමනාවක් තිබුණා නම්, දෙවි කෙරෙහි පරිපූර්ණ අඛණ්ඩතාව පවත්වන්ට ඔහුට හැකිව තිබූ බව යේසුස් ඉටු කළ දෙයින් ඔප්පු විය. දෝෂය තිබුණේ දෙවි මැවූ ආකාරය තුළ නොවෙයි. එමනිසා, යෙහෝවාගේ නීතිවලට කීකරු වීම පමණක් නොව, විශ්වයේ පරමාධිපති වන යෙහෝවාට පෞද්ගලිකව භක්තිය පුද කිරීම සම්බන්ධයෙන්ද ආදර්ශය හැටියට අප අනුගමනය කිරීමට වෑයම් කළ යුත්තේ යේසුස් ක්‍රිස්තුස්වය.—ද්විතීය කථාව 32:4, 5.
අපේ පෞද්ගලික පිළිතුර කුමක්ද?
16. යෙහෝවාගේ පරමාධිපත්‍යය පිළිබඳව අපේ ආකල්පය ගැන අප නිරන්තර අවධානයෙන් සිටිය යුත්තේ මන්ද?
16 අද සිටින අපි සැම විශ්වනීය පරමාධිපත්‍යය පිළිබඳ වාද විෂයට මුහුණ දෙන්නෙමු. අප යෙහෝවාගේ පැත්තේය කියා අප ප්‍රසිද්ධියේ කියා ඇත්නම්, සාතන් අපව ඉලක්කයක් කරගනියි. ඔහු හැම පැත්තෙන්ම අපට පීඩන එල්ල කරන්ට පටන්ගන්නා අතර, ඔහු එය දැන් පවතින මෙම දුෂ්ට ක්‍රමය අවසන් වන තුරුම නොනවත්වයි. අප අපේ රැකවරණය කිසිම මොහොතක ඉවත නොලෑ යුතුය. (1 පේතෘස් 5:8) යෙහෝවාගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගත බව තහවුරු කිරීම පිළිබඳ ප්‍රධාන වාද විෂයේත් එහි දෙවන වාද විෂය වන පරීක්ෂා මධ්‍යයේ දෙවිට අඛණ්ඩතාව පැවැත්වීම සම්බන්ධයෙනුත් අප සිටින්නේ කොයි පැත්තේද යන්න අප පෙන්වන්නේ අපේ හැසිරීමෙනි. පක්ෂපාතකම නොදැක්වීම ලෝකයේ ඒ තරම්ම පොදුවේ පැතිර ඇති පළියට එය සුළුවෙන් තැකිය නොහැකිය. අඛණ්ඩතාව පැවැත්වීම සඳහා ජීවිතයේ සෑම කාරණයකදීම යෙහෝවාගේ ධර්මිෂ්ඨ මාර්ග අදාළ කරගැනීමට උත්සාහ දැරීම අවශ්‍යය.
17. සොරකම් කිරීම හා බොරු කීමේ මූලාරම්භය ගත් කල, අප ඒවා එපා කිරීමට තිබෙන හේතු මොනවාද?
17 උදාහරණයක් හැටියට, “බොරුවේ පියා” වන සාතන්ව අනුකරණය කරන්ට අපට බැරිය. (යොහන් 8:44) අපේ සෑම කාරණයකදීම අප සැබෑකමින් යුතුව කටයුතු කළ යුතුය. පවතින සාතන්ගේ ලෝකය තුළ තරුණ දරු දැරියන් තම දෙමාපියන් සමඟ බොහෝවිට සැබෑව කතා කරන්නේ නැත. එහෙත්, ක්‍රිස්තියානි තරුණ තරුණියෝ මේ තත්වයෙන් වැළකී සිටිති. මෙසේ කිරීමෙන්, පරීක්ෂා යටතේ දෙවිගේ සෙනඟ තමන්ගේ අඛණ්ඩතාව අත්හරින්නේය යන සාතන්ගේ චෝදනාව අසත්‍යය බව ඔවුහු ඔප්පු කරති. (යෝබ් 1:9-11; හිතෝපදේශ 6:16-19) එමෙන්ම, කෙනෙකුව සැබෑවේ දෙවි සමඟ හඳුන්වා දෙනවා වෙනුවට, “බොරුවේ පියා” සමඟ හඳුන්වා දෙන ව්‍යාපාර කටයුතුද තිබේ. මේවා අපි හෙළා දකින්නෙමු. (මීකා 6:11, 12) සොරකම් කරන්නේ අත්‍යවශ්‍යතාවක් නිසා හෝ වේවා, ධන කුවේරයෙකුගෙන් හෝ වේවා, සොරකම සොරකමමය. එය සාධාරණීකරණය කළ නොහැකිය. (හිතෝපදේශ 6:30, 31; 1 පේතෘස් 4:15) සොරකම් කිරීම අප ජීවත් වන ප්‍රදේශවල පොදු පුරුද්දක් වුණත්, සොරකම් කරන්නේ ඉතාම සුළු දෙයක් වුණත්, සොරකම දෙවිගේ නීතියට පටහැනිය.—ලූක් 16:10; රෝම 12:2; එපීස 4:28.
18. (අ) ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය අවසානයේදී, සියලු මිනිස්වර්ගයා මත පැමිණෙන පරීක්ෂණය කුමක්ද? (ආ) දැන්ම අප වගා කරගත යුතු පුරුද්ද කුමක්ද?
18 මිනිසාට බලපෑම් කිරීමට නොහැකි වන පිණිස ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය තුළදී සාතන්වත් ඔහුගේ භූතයන්වත් පාතාලගත කරනු ඇත. එය මොනතරම් සහනයක් වේවිද! එහෙත්, දහස් අවුරුද්දෙන් පසු ඔවුන්ව ටික කාලයකට මුදාහරිනු ලැබේ. සාතන් සහ ඔහුව අනුගමනය කරන සියලුදෙනා විසින් දෙවිට තමන්ගේ අඛණ්ඩතාව පවත්වන යළි පිහිටුවනු ලැබූ අය මත දැඩි පීඩනයක් එල්ල කරනු ලැබේ. (එළිදරව් 20:7-10) එම කාලයේදී ජීවත්ව සිටීමට අපටත් වරප්‍රසාද තිබුණොත්, විශ්වනීය පරමාධිපත්‍යය පිළිබඳ වාද විෂයට අප ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? ඒ කාලය වන විට සියලු මිනිස්වර්ගයා පරිපූර්ණත්වයට පැමිණ සිටින නිසා, පක්ෂපාතකමින් තොර ඕනෑම ක්‍රියාවක් හිතාමතා කරන වරදක් වන නිසා, එහි ප්‍රතිඵලය සදාකාල විනාශය වනු ඇත. එමනිසා, යෙහෝවා අපට ඔහුගේ වචනය තුළින් හෝ ඔහුගේ සංවිධානය තුළින් හෝ දෙන ඕනෑම මඟ පෙන්වීමකට යහපත් ප්‍රතිචාරයක් දැක්වීමේ පුරුද්ද දැන් තියාම වගා කරගැනීම කොතරම් වැදගත්ද! එසේ කිරීමෙන්, යෙහෝවා විශ්වනීය පරමාධිපති බව අපේ අව්‍යාජ භක්තිය පෙන්වනු ඇත.
පුනරීක්ෂණ සාකච්ඡාව
• අප සැමටම මුහුණ දීමට තිබෙන මහත් වාද විෂය කුමක්ද? අප ඊට සම්බන්ධ වූයේ කෙසේද?
• පුරාණයේ විසූ ස්ත්‍රීන් හා පුරුෂයන් යෙහෝවාට තමන්ගේ අඛණ්ඩතාව ඔප්පු කළ ක්‍රම සහ විධිවල ඇති විශේෂත්වය කුමක්ද?
• දිනපතාම අපේ හැසිරීම මගින් යෙහෝවාට ගෞරවය ගෙන ඒම වැදගත් වන්නේ මන්ද?