හත්වන පරිච්ඡේදය
දෙවි විසින් දුෂ්ටකමට ඉඩහැරීමෙන් අප ඉගෙනගන්නා දේ
1, 2. (අ) යෙහෝවා ඒදන් උයනේ සිටි කැරලිකරුවන්ව සැණෙකින් විනාශ කර දැමුවා නම්, එය අපට බලපානු ඇත්තේ කෙසේද? (ආ) යෙහෝවා අප වෙනුවෙන් සපයා ඇති ප්‍රේමනීය සැපයුම කුමක්ද?
“මාගේ ජීවිතයේ අවුරුදු ගණන ස්වල්පව දුක්ඛිතව තිබුණේය” කියා ආදිපිතෘ යාකොබ් පැවසුවේය. (උත්පත්ති 47:9) ඒ හා සමානව, යෝබ් කීවේ මිනිසා “ස්වල්ප දවසක් පවතින්නාවූ කරදරයෙන් පූර්ණ වූ කෙනෙක්ය” කියාය. (යෝබ් 14:1) ඔවුන් මෙන් අපෙන් බොහෝදෙනාද දුෂ්කරතා, අසාධාරණකම් සහ විපත්ති පවා අද්දැක ඇත. එහෙත්, අපේ උපත දෙවිගේ පැත්තෙන් වූ අසාධාරණයක්, අයුක්තියක් නොවේ. මානසික සහ කායික පරිපූර්ණත්වයත් ආදම් සහ ඒව නැති කරගත් මුල් පාරාදීසමය නිවසත් අපට අද නැති බව ඇත්තයි. එහෙත්, ඔවුන් කැරලිගැසූ සැණින්ම යෙහෝවා ඔවුන්ව විනාශ කර දැමුවා නම් තත්වය කුමක් වේවිද? එවිට අසනීප, දුක හා මරණය තියා මිනිස් සංහතියවත් ඉතිරි නොවනු ඇත. අප උපදින්නේවත් නැත. අසම්පූර්ණකම උරුම කරගත්තත් දරුවන් බිහි කිරීමට දෙවි දයාවන්ත ලෙස ආදම් සහ ඒවට ඉඩහැරියේය. එමෙන්ම, ආදම් අහිමි කරගත් පාරාදීස පොළොවක සදාකාල ජීවනය නැවත ලබාදීමට ක්‍රිස්තුස් තුළින් යෙහෝවා සැලසුම් යෙදීය.—යොහන් 10:10; රෝම 5:12.
2 අසනීප, දුක, වේදනාව, මරණය හා දුෂ්ට මිනිසුන් පවා නැති පාරාදීසමය වටපිටාවක් ඇති නව ලෝකයේ සදාකාලයට ජීවත් වීමේ අපේක්ෂාව අපට තිබීම මොනතරම් දිරිගැන්වීමක්ද! (හිතෝපදේශ 2:21, 22; එළිදරව් 21:4, 5) එහෙත්, අපේ පෞද්ගලික ගැළවීම අපටත් යෙහෝවාටත් වැදගත් වුණත්, ඊටත් වඩා වැදගත් දෙයක් තිබෙන බව බයිබල් වාර්තාවෙන් අපි ඉගෙනගන්නෙමු.
ඔහුගේ ශ්‍රේෂ්ඨ නාමය වෙනුවෙන්
3. පොළොව හා මිනිස්වර්ගයා සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ ඉටු කිරීම හා බැඳී පවතින්නේ කුමක්ද?
3 දෙවිගේ නාමය, පොළොව හා මිනිස්වර්ගයා සම්බන්ධයෙන් ඔහුගේ අරමුණ ඉටු කිරීම හා බැඳී පවතී. එම නාමය වන යෙහෝවා යන්නෙන් අදහස් කරන්නේ “ඔහු සිදුවීමට සලස්වයි” යන්නය. ඔහුගේ නාමය ඔහු විශ්වනීය පරමාධිපති, අරමුණු කරන්නා සහ සැබෑවේ දෙවි වශයෙන් හොබවන ගෞරවනීය තත්වය හා බැඳී පවතී. විශ්වයේ පරමාධිපති ලෙස යෙහෝවා සතු තනතුර හේතුවෙන්, විශ්වයේ සාමය හා සෞභාග්‍යය පැවතීමට නම් ඔහුගේ නාමයට සහ ඉන් අර්ථවත් වන දෙයට ලැබිය යුතු පූර්ණ ගෞරවය ලැබිය යුතුමය. එමෙන්ම සියලුම මැවිලි ඔහුට කීකරු විය යුතුය.
4. පොළොව සම්බන්ධයෙන් යෙහෝවාගේ අරමුණට අයත් වූයේ කුමක්ද?
4 ආදම් සහ ඒවව මැවීමෙන් පසු, යෙහෝවා ඔවුන්ට ඉටු කිරීමට පැවරුමක් ලබා දුන්නේය. ඔහුගේ අරමුණ වූයේ ඔවුන් පාරාදීසයේ මායිම් පුළුල් කර පොළොව යටත් කරගැනීම පමණක් නොව, ඔවුන්ගේ පැවතෙන්නන්ගෙන් පොළොව පූර්ණ කිරීමය. (උත්පත්ති 1:28) ඔවුන්ගේ පාපය නිසා ඔහුගේ අරමුණ අසාර්ථක වීද? මේ පොළොවත් මිනිස්වර්ගයාත් සම්බන්ධයෙන් වූ ඔහුගේ අරමුණ ඉෂ්ට නොකළොත්, සර්වපරාක්‍රම යෙහෝවාගේ නාමයට එය මොනතරම් නින්දාවක් වේවිද!
5. (අ) ආදම් සහ ඒව යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් කෑ විට, ඔවුන් මිය ගියේ කවදාද? (ආ) පොළොව සම්බන්ධයෙන් තම අරමුණට පිටු නොපා, උත්පත්ති 2:17හි තමන් කී දේ යෙහෝවා ඉෂ්ට කළේ කෙසේද?
5 ආදම් සහ ඒව අකීකරු වී යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් කෑවොත්, ඔවුන් එයින් කෑ “දවසෙහි” මැරෙනවායැයි යෙහෝවා අනතුරු ඇඟවීය. (උත්පත්ති 2:17, අකුරු ඇල කළේ අපය.) ඔහුගේ වචන සැබෑ කරමින්, ඔවුන් පව් කළ දවසේදීම ඔවුන්ව විනිශ්චය කරමින් දෙවි ඔවුන්ගේ මරණය නියම කළේය. දෙවිගේ දෘෂ්ටිකෝණයෙන් ආදම් සහ ඒව එදාම මිය ගියෝය. කෙසේවෙතත්, පොළොව සම්බන්ධයෙන් ඔහුගේ අරමුණ ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් ශාරීරිකව මියයෑමට පෙර පවුලක් බිහි කිරීමට යෙහෝවා ඉඩහැරියේය. ඒ වුණත්, අවුරුදු 1,000ක් එක දවසක් ලෙස දෙවිට සැලකිය හැකි නිසා, ආදම් අවුරුදු 930ක් දිවි ගෙවා මිය ගියේ එම ‘දවසෙහිමය.’ (2 පේතෘස් 3:8; උත්පත්ති 5:3-5) මෙසේ, ඔවුන්ට ප්‍රකාශ කළ දඬුවම සම්බන්ධයෙන් යෙහෝවාගේ සැබෑකම තහවුරු වූ අතර, ඔවුන් මියගියද පොළොව සම්බන්ධයෙන් දෙවිගේ අරමුණට එය බාධාවක් වූයේ නැත. එහෙත් යම් කාලයකට දුෂ්ටයන් ඇතුළු අසම්පූර්ණ මිනිසුන්ට ජීවත් වීමට යෙහෝවා ඉඩහැර ඇත.
6, 7. (අ) නික්මයාම 9:15, 16ට අනුව, යෙහෝවා කලකට දුෂ්ටකම පවතින්ට ඉඩ දෙන්නේ මන්ද? (ආ) ඵාරාවෝ සම්බන්ධ සිද්ධියේදී, යෙහෝවා තම බලය පෙන්වූයේ කෙසේද? ඔහුගේ නාමය ප්‍රසිද්ධ කළේ කෙසේද? (ඇ) වත්මන් දුෂ්ට ක්‍රමය අවසන් වන විට එහි ප්‍රතිඵලය කුමක් වනු ඇද්ද?
6 දුෂ්ටකම පවතින්ට දෙවි ඉඩහැර තිබෙන හේතුව යෙහෝවා මෝසෙස්ගේ කාලයේදී මිසරයේ පාලකයාට ප්‍රකාශ කළ දෙයින් අඟවයි. ඉශ්රායෙල් පුත්‍රයන්ට මිසරයෙන් පිට වී යෑම ඵාරාවෝ තහනම් කළද යෙහෝවා ඒ මොහොතේම ඔහුට පහර දුන්නේ නැත. දේශයට පීඩා දසයක් එවීමෙන් යෙහෝවා තම බලය පෑවේ පුදුමාකාර අන්දමකිනි. හත්වන පීඩාව ගැන අනතුරු අඟවමින්, ඵාරාවෝ සහ ඔහුගේ සෙනඟව ලෙහෙසියෙන්ම මිහිපිටින් අතුගා දමන්ට තමන්ට හැකියාව තිබූ බව යෙහෝවා පැවසුවේය. එහෙත්, “මා විසින් නුඹ ආරක්ෂා කළේ නුඹට මාගේ බලය පෙන්වන පිණිසත් මාගේ නාමය මුළු පොළොවෙහි ප්‍රකාශ වෙන පිණිසත්ය” කියා යෙහෝවා පැවසුවේය.—නික්මයාම 9:15, 16.
7 යෙහෝවා ඉශ්රායෙල්වරුන්ව ගළවාගත් විට, ඔහුගේ නාමය දසත ප්‍රසිද්ධ වෙන්ට පටන්ගත්තේය. (යෝෂුවා 2:1, 9-11) අදදින, එනම් එම සිදුවීම වී අවුරුදු 3,500ක් පමණ ගත වීත්, ඔහු එදා කළ දේ අමතක වී නොමැත. යෙහෝවා යන පෞද්ගලික නාමය පමණක් නොව, එම නාමය දරන්නා ගැන සත්‍යයද ප්‍රකාශ වී තිබේ. තම පොරොන්දු ඉෂ්ට කරන හා තම සේවකයන් වෙනුවෙන් ක්‍රියා කරන දෙවි කෙනෙක් ලෙස යෙහෝවා ඇති කරගෙන තිබෙන හොඳ නාමය මෙමගින් තහවුරු විය. (යෝෂුවා 23:14) ඔහු සර්ව පරාක්‍රම දෙවි නිසා ඔහුගේ අරමුණට බාධා කිරීමට කිසිවෙකුට නොහැකි බව එනයින් පෙන්වීය. (යෙසායා 14:24, 27) එමනිසා, සාතන්ගේ මේ මුළු දුෂ්ට ක්රමයම විනාශ කර දමා තම ඇදහිලිවන්ත සේවකයන් වෙනුවෙන් යෙහෝවා නිසි දේ ඉටු කරන බව සහතික වීමට අපට හැකිය. එලෙස, යෙහෝවාගේ බලපරාක්‍රමය විදහාපෑමත්, එහි ප්‍රතිඵලයක් හැටියට දෙවිගේ නාමය මතට පැමිණෙන මහත් ගෞරවයත් කිසිදාක අමතක නොවනු ඇත. එහි ආශීර්වාදවලට නිමක් නොතිබෙනු ඇත.—එසකියෙල් 38:23; එළිදරව් 19:1, 2.
‘අහෝ, දෙවිගේ ප්‍රඥාවේ බහුලත්වය කොපමණ ගැඹුරුද!’
8. සලකා බැලීමට පාවුල් අපෙන් උදක්ම ඉල්ලා සිටින්නේ කිනම් කාරණාද?
8 රෝමවරුන්ට ලියූ ලිපියේදී ප්‍රේරිත පාවුල් මෙවන් ප්‍රශ්නයක් අසයි. “දෙවි වෙත අධර්මිෂ්ඨකම ඇද්ද?” ඔහු ප්‍රබල ලෙස මෙසේ උත්තර දෙන්නේය. “එසේ නොවේවා.” ඉන්පසු, ඔහු දෙවිගේ දයාව ගැන කාවද්දමින් ඵාරාවෝට තව ටික කාලයක් සිටීමට ඉඩහැරීම ගැන යෙහෝවා කී දෙයට යොමු දක්වයි. මිනිසුන් වන අප කුඹල්කරුවෙකුගේ අතේ තිබෙන මැටි පිඩක් මෙන්යැයි පෙන්වා දෙන පාවුල් මෙසේ කියයි. “දෙවි තමන්ගේ උදහස පෙන්වන්ටත් තමන්ගේ බලය ප්‍රකාශ කරන්ටත් කැමතිව, විනාශයට සූදානම් කරන ලද උදහසේ භාජන ගැන බොහෝ ක්ෂාන්තියෙන් ඉවසා [බොහෝ ඉවසිලිවන්තකමින් දරාගෙන, NW], මහිමය පිණිස පූර්වයෙන් තමන් විසින් සූදානම් කරන ලද දයාවේ භාජන වූ, යුදෙව්වරුන්ගෙන් පමණක් නොව අන්‍ය ජාතීන්ගෙන්ද කැඳවන ලද අප කෙරෙහි, තමන්ගේ මහිමයේ සම්පත ප්‍රකාශ කරන්ට කැමති වූයේ නම් කිමෙක්ද?”—රෝම 9:14-24.
9. (අ) “විනාශයට සූදානම් කරන ලද උදහසේ භාජන” කවුරුන්ද? (ආ) යෙහෝවා තම සතුරන් අබියස බොහෝ ඉවසිලිවන්තකම සුවිශේෂ අන්දමකින් පෙන්වා ඇත්තේ මන්ද? අවසානය දෙවිට ප්‍රේම කරන අයගේ යහපත පිණිස වන්නේ කෙසේද?
9 ඒදන් උයනේදී සිදු වූ කැරැල්ලේ සිට යෙහෝවාට සහ ඔහුගේ නීති රීතිවලට විරෝධය පා ඇති අය “විනාශයට සූදානම් කරන ලද උදහසේ භාජන” වේ. එතැන් සිට මේ දක්වා යෙහෝවා ඔවුන් කෙරෙහි ක්‍රියා කර ඇත්තේ බොහෝ ඉවසිලිවන්තකමකිනි. දුෂ්ටයන් ඔහුගේ මාර්ග සමච්චලයට ලක් කර, ඔහුගේ සේවකයන්ට පීඩා කර, ඔහුගේ පුත්‍රයාව පවා මරා දමා ඇත. ඉමහත් සංයමයකින් යුතුව කටයුතු කරමින්, මිනිසා තමාට විරුද්ධව කැරලි ගැසීමේත් තමාගෙන් ස්වාධීනව මිනිස් පාලන ඇති කරගැනීමේත් විනාශකාරි ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම දැකීමට යෙහෝවා සෑම මිනිසෙකුට ඇති තරම් කාලය දී ඇත. මේ අතර, යේසුස්ගේ මරණය මගින් කීකරු මිනිස්වර්ගයාව ගළවාගැනීමටත්, “යක්ෂයාගේ ක්‍රියා විනාශ කර [දැමීමටත්]” දෙවි මඟ විවර කළේය.—1 යොහන් 3:8; හෙබ්‍රෙව් 2:14, 15.
10. යෙහෝවා පසුගිය අවුරුදු 1,900 පුරා දුෂ්ටකමට ඉඩහැර තිබෙන්නේ මන්ද?
10 යේසුස්ගේ නැවත නැඟිටීම සිදු වී අවුරුදු 1,900ක කාලයක් ගත වීත්, “උදහසේ භාජන” විනාශ නොකර ඔවුන් කෙරෙහි යෙහෝවා ඉවසා තිබේ. ඒ මන්ද? එයට එක් හේතුවක් නම්, ඔහු යේසුස් ක්‍රිස්තුස් සමඟ ස්වර්ග රාජ්‍යයේ පාලනය කරන අයව සූදානම් කරමින් සිටීමයි. මොවුන් ගණනින් 1,44,000ක් වන අතර, ප්‍රේරිත පාවුල් කතා කළ “දයාවේ භාජන” ඔවුන්ය. මේ ස්වර්ගීය පංතිය සෑදීමට මුලින්ම ඇරයුම් ලැබුවේ යුදෙව්වන්ය. පසුව, දෙවි අන්‍ය ජාතීන්ටද ඇරයුම් කළේය. තමන්ට සේවය කරන්නැයි යෙහෝවා ඔවුන්ගෙන් කිසිවෙකුට බල කර නැත. ඒ වෙනුවට, ඔහුගේ ප්‍රේමනීය සැපයුම්වලට කෘතඥපූර්වක ලෙස ප්‍රතිචාරය දක්වන අය අතරින් සමහරෙකුට ස්වර්ග රාජ්‍යයේ තම පුත්‍රයා සමඟ හවුල් පාලකයන් වීමේ වරප්‍රසාදය ඔහු ලබා දී තිබේ. ස්වර්ගීය පංතිය සූදානම් කිරීම දැන් බොහෝදුරට අවසන් වී ඇත.—ලූක් 22:29; එළිදරව් 14:1-4.
11. (අ) යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකම නිසා දැන් ප්‍රයෝජන ලබන කණ්ඩායම කුමක්ද? (ආ) මළවුන් ප්‍රයෝජන ලබන්නේ කෙසේද?
11 එහෙත්, පොළොවේ වැසියන් සම්බන්ධයෙන් තත්වය කුමක්ද? සියලු ජාතීන්ට අයත් “මහත් සමූහය” එක්රැස් කිරීම සඳහා, යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකම නිසා අවස්ථාව සැලසී ඇත. දැන් ඔවුන් දශලක්ෂ ගණනක් සිටී. මේ භූමික පංතිය මෙම දුෂ්ට ක්රමයේ නිමාවෙන් බේරෙන බවටත්, පාරාදීස පොළොවක සදාකාල ජීවනය ලබන බවටත් යෙහෝවා පොරොන්දු වී ඇත. (එළිදරව් 7:9, 10; ගීතාවලිය 37:29; යොහන් 10:16) දෙවිගේ නියමිත කාලයේදී, අතිවිශාල සංඛ්‍යාවක් නැවත නැඟිටීම ලබන අතර, ඔවුහු ස්වර්ග රාජ්‍යයේ භූමික යටත් වැසියන් වීමේ ප්‍රස්තාව ලබන්නෝය. ක්‍රියා 24:15හි දෙවිගේ වචනය මෙසේ පුරෝකථනය කරයි. “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත නැඟිටීමක් වන්නේය.”—යොහන් 5:28, 29.
12. (අ) යෙහෝවා දුෂ්ටකම ඉවසා තිබීමෙන් අප ඉගෙනගන්නේ කුමක්ද? (ආ) යෙහෝවා මේ කාරණා හසුරුවා තිබෙන ආකාරය ගැන ඔබට හැඟෙන්නේ කුමක්ද?
12 මේ කිසිම දෙයක අසාධාරණයක් දැකිය හැකිද? නැත. එසේ නොවන්නේ, “උදහසේ භාජන” වන දුෂ්ටයන්ගේ විනාශය ප්‍රමාද කිරීමෙන් දෙවි තම අරමුණට එකඟව අන් අයට දයානුකම්පාව පෙන්වා ඇති නිසයි. ඔහු කොතරම් දයාවන්ත සහ ප්‍රේමනීය කෙනෙක්දැයි එය පෙන්වයි. එමෙන්ම, ඔහුගේ අරමුණු එකිනෙක දිගහැරෙනවා නිරීක්ෂණය කරද්දී, අපි යෙහෝවා ගැන තව බොහෝ දේ ඉගෙනගන්නෙමු. ඔහුගේ යුක්තිය, දයාව, බොහෝ ඉවසිලිවන්තකම හා අනේකවිධ ප්‍රඥාව වැනි ඔහුගේ පෞද්ගලිකත්වයේ විවිධ පැති එළිදරව් වන විට අපි පුදුමයෙන් පුදුමයට පත් වන්නෙමු. විශ්වනීය පරමාධිපත්‍යය හෙවත් පාලනය කිරීමට තිබෙන අයිතිය තහවුරු කිරීම පිළිබඳ ප්රශ්නය ඔහු ප්රඥාගෝචරව හසුරුවන ආකාරයෙන් ඔහුගේ පාලනය හොඳම පාලන ක්රමයය යන කාරණය සදාකාලයටම සාක්ෂාත් වන්නේය. ප්‍රේරිත පාවුල් සමඟ අපිද මෙසේ කියමු. “අහෝ, දෙවිගේ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද! ඔහුගේ විනිශ්චයන් සොයා දැනගැන්මත් ඔහුගේ මාර්ගයන් තේරුම්ගැනීමත් කොපමණ අමාරුද!”—රෝම 11:33.
අපේ භක්තිය පෙන්වීමට අවස්ථාවක්
13. අප පෞද්ගලිකව දුෂ්කරතාවන්ට මුහුණ දෙන විට, එය අපට අවස්ථාව ලබා දෙන්නේ කුමක් කිරීමටද? ඥානවන්තව ප්‍රතිචාරය දැක්වීමට අපට කුමක් උපකාර වේවිද?
13 දෙවිගේ සේවකයන් බොහෝදෙනෙක් පෞද්ගලිකවම දුක් විඳීම්වලට ලක්ව සිටිත්. ඔවුන්ගේ දුක් විඳීම දිගටම පවතින්නේ, දෙවි තවමත් දුෂ්ටයන්ව විනාශ කර නැති නිසාත්, පුරෝකථනය කර ඇති මිනිස්වර්ගයාගේ යළි පිහිටුවීම තවම සිදු කර නැති නිසාත්ය. මෙය අපව දැඩි කනස්සල්ලකට පත් කළ යුතුද? එසේ නැත්නම් එවැනි තත්වයන් යක්ෂයා බොරුකාරයෙකු බව ඔප්පු කිරීමට අපට අවස්ථාවක් සලසා දෙන බව අප දැකගත හැකිද? අප මෙම ආයාචනය මනසේ තබාගන්නවා නම්, එසේ කිරීමට අපට ශක්තියක් ලබාගත හැකිය. “මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට උත්තර දෙන පිණිස නුඹ ප්‍රඥාවත්ව සිට මාගේ සිත ප්‍රීතිමත් කරන්න.” (හිතෝපදේශ 27:11) යෙහෝවාට නින්දා කරන්නා වන සාතන් චෝදනා කළේ, මිනිසුන් ද්‍රව්‍යමය අතින් අගහිඟකම්වලට ලක් වූවොත්, කායිකව පීඩාවට පත් වූවොත් ඔවුන් දෙවිට දෝෂාරෝපණය කර ඔහුට ශාප කරන බවය. (යෝබ් 1:9-11; 2:4, 5) දුෂ්කරතාවන්ට මුහුණ දෙන විට දෙවිට පක්ෂපාතව සිටීම මගින් අප සම්බන්ධයෙන් එය සැබෑවක් නොවන බව පෙන්වීමෙන් අපි යෙහෝවාගේ හදවත සතුටු කරන්නෙමු.
14. අප පරීක්ෂාවලට මුහුණ දෙද්දී යෙහෝවා මත රඳා සිටිනවා නම්, කුමනාකාරයේ ප්‍රයෝජන අපට ලැබිය හැකිද?
14 පරීක්ෂාවන්ට මුහුණ දෙන විට අප යෙහෝවා මත රඳා සිටිනවා නම්, ඉතාම වටිනා ගුණාංග වර්ධනය කරගැනීමට අපට හැකියාව ලැබේ. උදාහරණයක් හැටියට, යේසුස් වින්ද දේවල ප්‍රතිඵලයක් හැටියට, ඔහු ඊට පෙර කිසිදාක නොදැන සිටි ආකාරයේ ‘කීකරුකමක් ඉගෙනගත්තේය.’ පරීක්ෂාවලින් ඉගෙනගන්ට අපටත් හැකිය. එහි ප්‍රතිඵලයක් හැටියට, බොහෝ ඉවසිලිවන්තකම, විඳදරාගැනීම සහ යෙහෝවාගේ ධර්මිෂ්ඨ මාර්ග පිළිබඳ වඩාත් ගැඹුරු අවබෝධයක් හා අගයක් වගා කරගත හැකිය.—හෙබ්‍රෙව් 5:8, 9; 12:11; යාකොබ් 1:2-4.
15. අප ඉවසිලිවන්තව දුෂ්කරතා විඳදරාගැනීම අනිත් අයට ප්‍රයෝජනයක් විය හැක්කේ කෙසේද?
15 ඒ ඒ තත්වයන්වලදී අප කරන්නේ කුමක්දැයි අන් අය බලා සිටිති. ධර්මිෂ්ඨකම සඳහා ඇති ප්‍රේමය නිසා අප දුක් විඳිද්දී, අද සිටින සැබෑ ක්‍රිස්තියානීන් කවුද කියා ඔවුන්ගෙන් සමහරෙකු තේරුම්ගන්නවාට සැකයක් නැත. එමගින් ඔවුහු නමස්කාරයේ අප හා එක්සත් වීමෙන් සදාකාල ජීවනයේ ආශීර්වාද ලැබීමටද අවස්ථාව උදා කරගන්නෝය. (මතෙව් 25:34-36, 40, 46) මිනිසුන් විසින් එම ප්‍රස්තාව ලබාගැනීම යෙහෝවාගේ සහ ඔහුගේ පුත්‍රයාගේ ආශාවයි.
16. පෞද්ගලික දුෂ්කරතා පිළිබඳ අපගේ දෘෂ්ටිය එක්සත්කම යන කාරණය හා සම්බන්ධ වන්නේ කෙසේද?
16 දුෂ්කර තත්වයන් යෙහෝවාට අපේ භක්තිය පෙන්වීමටත් ඔහුගේ කැමැත්ත කිරීමේ හවුල් වීමටත් ප්‍රස්තාවන් ලෙස සැලකීම මොනතරම් ප්‍රශංසනීයද! එසේ කිරීම, අප දෙවි සහ ක්‍රිස්තුස් සමඟ එක්සත්කම භුක්ති විඳීම කරා ගමන් කරන බවට සාක්ෂියකි. සියලුම සැබෑ ක්‍රිස්තියානීන් වෙනුවෙන් යේසුස් යෙහෝවාට මෙසේ යාච්ඤා කළේය. “මොවුන් [යේසුස්ගේ කිට්ටුම ගෝලයන්] ගැන පමණක් නොව, මොවුන්ගේ වචනය කරණකොටගෙන මා කෙරෙහි විශ්වාස කරන්නවුන් ගැනත්, ඔවුන් සියල්ලන් ඒකත්වයක් වන පිණිස, පිය වූ ඔබ මා තුළෙහිද මා ඔබ තුළෙහිද සිටින්නාක් මෙන්ම ඔබ මා එවූ බව ලෝකයා විශ්වාස කරන පිණිසත්, අප තුළ ඔවුන් ඒකත්වයක් වන පිණිසත් යාච්ඤා කරමි.”—යොහන් 17:20, 21.
17. අප යෙහෝවාට පක්ෂපාත නම්, අපට තබාගත හැක්කේ කිනම් විශ්වාසයද?
17 අප යෙහෝවාට පක්ෂපාත නම්, ඔහු නොමසුරුව ආශීර්වාද කරනු ඇත. ඔහුගේ වචනය මෙසේ කියයි. “ස්වාමීන් කෙරෙහි නුඹලාගේ මෙහෙය නිෂ්ඵල නොවන බව නුඹලා දන්නා බැවින් ස්ථිරවව්, නිශ්චලවව්, නිතරම ස්වාමීන්ගේ මෙහෙයෙහි වඩ වඩා පවතිව්.” (1 කොරින්ති 15:58) එහි තවදුරටත් මෙසේ සඳහන් වේ. ‘නුඹලාගේ වැඩයද දෙවිගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතක නැති කරන්ට ඔහු අධර්මිෂ්ඨ නැත.’ (හෙබ්‍රෙව් 6:10) යාකොබ් 5:11 මෙසේ සඳහන් වේ. “ඉවසූ අය ආශීර්වාද ලද්දෝයයි [සන්තෝෂවත්යැයි, NW] අපි කියමුව. යෝබ්ගේ ඉවසීම ගැන නුඹලා අසා තිබේ. යෙහෝවාගේ තීරණයද නුඹලා දුටුවහුය. යෙහෝවා බොහෝ අනුකම්පාව ඇත්තාවූ දයාවන්ත වූ කෙනෙක්ය.” යෝබ්ට ලැබුණු විපාකය කුමක්ද? “යෙහෝවා යෝබ්ගේ පටන්ගැන්මට වඩා ඔහුගේ අන්තිමයට ආශීර්වාද කළේය.” (යෝබ් 42:10-16) එසේය, තමන්ව “[උනන්දුවෙන්, NW] සොයන්නන්ට විපාක දෙන” තැනැත්තා යෙහෝවාය. (හෙබ්‍රෙව් 11:6) එමෙන්ම, අප දෙනෙත් ඉදිරියේ තිබෙන විපාකය, එනම් පාරාදීස පොළොවක සදාකාල ජීවනය මොනතරම් උතුම් විපාකයක්ද!
18. අප සතුව තිබිය හැකි ඕනෑම වේදනාසහගත මතකයන්වලට අවසානයේදී සිදු වන්නේ කුමක්ද?
18 පසුගිය අවුරුදු දහස් ගණනාව පුරා මිනිස් පවුලට වින කළ සියලුම දේ දෙවිගේ රාජ්‍යය මගින් නැති කරනු ඇත. එදාට තිබෙනු ඇති ප්‍රීතිය දෙස බලන කල අද අප විඳින දුක් වේදනා කිසිත් නැති තරම්ය. පසු වී ගිය දුක් වේදනා පිළිබඳ කිසිම මතකයක් තවදුරටත් අපව කම්පනයට පත් නොකරනු ඇත. නව ලෝකයේදී ගොඩනංවනසුලු සිතුවිලි හා ක්‍රියාකාරකම් එහි වෙසෙන මිනිසුන්ගේ එදිනෙදා ජීවිතය පුරවාලනු ඇත. එවිට, වේදනාසහගත මතකයන් ක්‍රමානුකූලව මැකී යනු ඇත. යෙහෝවා මෙසේ ප්‍රකාශ කරයි. “මම අලුත් අහසක්ද [මිනිස්වර්ගයා පාලනය කරන අලුත් ස්වර්ගික රාජ්‍ය ආණ්ඩුවක්ද] අලුත් පොළොවක්ද [ධර්මිෂ්ඨ මිනිස් සමාජයක්ද] මවමි. පළමු දේ මතක් කරනු ලබන්නේවත් සිහි වෙන්නේවත් නැත. එසේය, මා විසින් මවන දෙය ගැන සදාකාලේටම සතුටුව ප්‍රීති වෙන්න.” එසේය, යෙහෝවාගේ නව ලෝකයේදී, ධර්මිෂ්ඨ අයට මෙසේ කියන්ට හැකි වනු ඇත. “මුළු පොළොව නිෂ්කලංකව නිශ්චලව තිබේ; මනුෂ්‍යයෝ ගී කියමින් මොර ගසති.”—යෙසායා 14:7; 65:17, 18.
පුනරීක්ෂණ සාකච්ඡාව
• දුෂ්ටකම පවතින්ට ඉඩහරින අතරතුරේ, නිසි අන්දමින් යෙහෝවා තම නාමයට ගෞරවය පෙන්වා තිබෙන්නේ කෙසේද?
• දෙවි “උදහසේ භාජන” ගැන ඉවසා තිබීමෙන් ඔහුගේ දයාව අප කරා පවා ඇදී ඒමට මඟ සැලසී ඇත්තේ කෙසේද?
• පෞද්ගලිකව දුක් වේදනා විඳීම වැනි තත්වයන්වලදී අප දැකීමට උත්සාහ කළ යුත්තේ කුමක්ද?
[67වන පිටුවේ පින්තූර]
“යෙහෝවා යෝබ්ගේ පටන්ගැන්මට වඩා ඔහුගේ අන්තිමයට ආශීර්වාද කළේය”