දහතුන්වන පරිච්ඡේදය
යෙහෝවාගේ සිංහාසනය ඉදිරිපිට සිටින මහත් සමූහයක්
1. (අ) ක්‍රිස්තියානි සේවකයන්ට පෙර කාලයේ සිටි දෙවිගේ ඇදහිලිවන්තයන් හෝ 1,44,000දෙනා තමන්ගේ ත්‍යාගය ලැබීමට පෙර කුමක් අද්දැකිය යුතුද? (ආ) මේ කාලයේ ජීවත් වන ‘මහත් සමූහයකට’ කිනම් ප්‍රස්තාවක් තිබේද?
ආබෙල් පටන් යොහන් බව්තීස්ත දක්වා සිටි දෙවිගේ ඇදහිලිවන්ත සේවකයෝ දේවකැමැත්ත කිරීමට ඔවුන්ගේ ජීවිතයේ මුල් තැන දුන්නෝය. දෙවිගේ නව ලෝකය තුළ පොළොව මත නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ඇතුව ඒ සැවොම මිය ගියෝය. දෙවිගේ ස්වර්ගික රාජ්‍යයේ ක්‍රිස්තුස් සමඟ පාලනය කරනු ඇති 1,44,000දෙනාද ඔවුන්ගේ විපාකය ලැබීමට පළමුවෙන් මිය යා යුතුය. කෙසේවෙතත්, එළිදරව් 7:9හි පෙන්වන්නේ මේ අන්තිම දවස්වලදී, සියලුම ජාතීන්ට අයත් “මහත් සමූහයක්” නොමැරී පොළොව මත සදාකල් ජීවත් වීමේ අපේක්ෂාවෙන් සිටින බවය. ඔබ සිටින්නේ ඔවුන් අතරද?
මහත් සමූහය හඳුනාගැනීම
2. එළිදරව් 7:9හි සඳහන් මහත් සමූහයෙහි අනන්‍යතාව පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට මඟ පෑදුවේ කුමක්ද?
2 මතෙව් 25:31-46 දක්වා ඇති යේසුස්ගේ උපමාවේ එන “බැටළුවන්” කවුරුන්ද කියාත්, යොහන් 10:16හි වාර්තා කර ඇති ‘වෙනත් බැටළුවන්ගෙන්’ යොමු දක්වන්නේ කාටද කියාත් 1923දී යෙහෝවාගේ සේවකයෝ වටහාගත්හ. ඔවුන්ගෙන් නියෝජනය කරන්නේ පොළොව මත සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාව ඇති අයයි. වර්ෂ 1931දී, එසකියෙල් 9:1-11හි විස්තර කර ඇති නළලේ ලකුණක් දමා ඇති අයද භූමික අපේක්ෂාව ඇතුව සිටින අය බව දැකිය හැකි විය. ඉන්පසු, මහත් සමූහය, යේසුස් කතා කළ වෙනත් බැටළුවන්ට අයත් බව 1935දී දැනගනු ලැබීය. අදදින මේ අනුග්‍රහය ලත් මහත් සමූහය සංඛ්‍යාවෙන් දශලක්ෂ ගණනක් වී තිබේ.
3. ‘සිංහාසනය ඉදිරියේ සිටිනවා’ යන්න ස්වර්ගීය පංතියකට යොමු දැක්වීමක් නොවන්නේ මන්ද?
3 එළිදරව් 7:9වන ඡේදයෙහි මහත් සමූහය ස්වර්ගයේ සිටින බවක් පෙන්වා නැත. ‘සිංහාසනය ඉදිරියෙහි සිටගෙන සිටීමට,’ ඔවුන් අනිවාර්යයෙන්ම ස්වර්ගයෙහි සිටින්ට අවශ්‍ය වන්නේ නැත. සරලවම කියනවා නම්, ඔවුහු දෙවිට පෙනෙන ලෙස සිටිති. (ගීතාවලිය 11:4) “කිසිවෙකුට ගණන් කළ නොහැකි” මහත් සමූහය ස්වර්ගීය පංතියක් නොවන බව පෙනෙන්නේ එම සමූහයෙහි අවිනිශ්චිත සංඛ්‍යාව එළිදරව් 7:4-8 හා එළිදරව් 14:1-4හි ලියා ඇති දේ හා සන්සන්දනය කිරීමෙනි. එහි පොළොවෙන් ස්වර්ගයට ගන්නාවූ සංඛ්‍යාව 1,44,000ක් බව හෙළි කර ඇත.
4. (අ) මහත් සමූහය බේරෙනු ඇති ‘මහත් පීඩාව’ කුමක්ද? (ආ) එළිදරව් 7:11, 12හි සඳහන් කර ඇති ආකාරයට, මහත් සමූහයව නිරීක්ෂණය කරන්නේ හා ඔවුන් සමඟ නමස්කාරයේ හවුල් වන්නේ කවුරුන්ද?
4 එළිදරව් 7:14හි මහත් සමූහය ගැන මෙසේ සඳහන් කරයි. “මොව්හු මහත් [පීඩාව] මැදින් එන්නෝය.” ඉතිහාසය පුරා මිනිසා කිසිදාක අද්දැක නැති දරුණුම අවස්ථාවෙන් ඔවුන් බේරෙනු ඇත. (මතෙව් 24:21) තමන් ලද ගැළවීම ගැන දෙවිටත් ක්‍රිස්තුස්ටත් ස්තුතිය පුදද්දී, ස්වර්ගයේ සිටින සියලුම ඇදහිලිවන්ත මැවිලි ඔවුන් හා සමඟ එකමුතුව මෙසේ කියනු ඇත. “ආමෙන්. ප්‍රශංසාවද තේජසද ප්‍රඥාවද ස්තුතියද ගෞරවයද බලයද පරාක්‍රමයද සදාකාලේටම අපේ දෙවිට වේවා. ආමෙන්.”—එළිදරව් 7:11, 12.
ගැළවීම ලබන්ට වටිනා බව ඔප්පු කිරීම
5. මහත් සමූහයේ කොටසක් වීම සඳහා අවශ්‍ය කරන දේ කුමක්දැයි අප දැනගන්නේ කෙසේද?
5 මහත් සමූහය මහත් පීඩාව හරහා ගමන් කර ආරක්ෂාව ලබන්නේ යෙහෝවාගේ ධර්මිෂ්ඨ ප්‍රමිතීන්ට අනුකූලවය. ගැළවෙන්නාවූ අයව හඳුනාගත හැකි ගතිලක්ෂණ ඉතාම පැහැදිලිව බයිබලයේ සඳහන් කර ඇත. මෙසේ, ගැළවීම සඳහා සුදුසුකම් ලබාගැනීමේ පරමාර්ථයෙන් දැන් සිටම ක්‍රියා කිරීමට ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන්නාවූ අයට හැකිය. මෙවැනි අය කළ යුත්තේ කුමක්ද?
6. මහත් සමූහයව උචිත ලෙස බැටළුවන්ට සමාන කළ හැක්කේ මන්ද?
6 බැටළුවන් මුදු මොළොක් ස්වභාවයෙන් යුතු වන අතර, සුවච කීකරු සතුන්ය. ඉතින් ස්වර්ගීය පංතියට අයිති නැති වෙනත් බැටළුවන් තමන්ට සිටින බව යේසුස් කී විට, ඔහු ඉන් අදහස් කළේ පොළොවේ සදාකාලයටම ජීවත් වීමට කැමති අය ගැන පමණක්ම නොව, ඔහුගේ ඉගැන්වීම්වලට යටහත් පහත්ව අවනත වන්නාවූ අය ගැනත්ය. “මාගේ බැටළුවෝ මාගේ හඬට ඇහුම්කන් දෙති. මම ඔවුන්ව හඳුනමි. ඔවුහුද මා පසුපස එන්නෝය.” (යොහන් 10:16, 27, NW) සැබවින්ම ඇහුම්කන් දෙන, කීකරු ලෙස යේසුස් කියන දේ කරමින් ඔහුගේ ගෝලයන් බවට පත් වන්නාවූ අය මේ අයයි.
7. යේසුස්ගේ අනුගාමිකයන් වර්ධනය කරගැනීමට අවශ්‍ය කරන ගුණාංග කවරේද?
7 යේසුස්ගේ මේ එක් එක් අනුගාමිකයා විසින් වර්ධනය කරගත යුතු වෙනත් ගුණාංග කවරේද? දෙවිගේ වචනය මෙසේ උත්තර දෙයි. ‘නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස පරණ මනුෂ්‍යයා [පෞද්ගලිකත්වය, NW] පහ කර දමා, සැබෑ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද [පක්ෂපාතකමින්ද, NW] දෙවිට සමානව මවන ලද්දාවූ අලුත් මනුෂ්‍යයා [පෞද්ගලිකත්වය, NW] පැළඳගන්න.’ (එපීස 4:22-24) ඔවුහු දෙවිගේ සේවකයන්ගේ එක්සත්කම වැඩිවර්ධනය කරන්නාවූ “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම, ආත්ම දමනය” වැනි ගුණාංගද වර්ධනය කරගනිති.—ගලාති 5:22, 23, NW.
8. මහත් සමූහය ඉතිරි කොටසට සහයෝගය දක්වන විට මුහුණ දෙනු ඇත්තේ කුමකටද?
8 දේශනා වැඩයේ පෙරමුණ ගන්නාවූ ස්වර්ගීය බලාපොරොත්තුවක් ඇති ස්වල්පදෙනාට මහත් සමූහය සහයෝගය සපයති. (මතෙව් 24:14; 25:40) අවසාන දවස්වල ආරම්භයත් සමඟම යේසුස් ක්‍රිස්තුස් හා ඔහුගේ දූතයන් සාතන්වත් ඔහුගේ භූතයන්වත් ස්වර්ගයෙන් පොළොවට හෙළුවේය. මෙයින් අදහස් කළේ, ‘ගොඩට [අත් වන] දුකයි!’ “මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේය” කියා බයිබලය පවසයි. (එළිදරව් 12:7-12) ඒ හේතුවෙන් විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්ට සිදු වන බව දැන දැනත්, වෙනත් බැටළුවෝ මේ සහයෝගය දීමට ඉදිරිපත් වී සිටිති. මේ ලෝක ක්‍රමය එහි අවසානය කරා ඇදෙද්දී සාතන් දෙවිගේ සේවකයන් මත ගෙනෙන විරුද්ධවාදිකම් තීව්ර කරයි.
9. දෙවිගේ සේවකයන් ශුභාරංචිය දේශනා කිරීම සම්බන්ධයෙන් කොතරම් සාර්ථකද? ඒ මන්ද?
9 කුරිරු පීඩා හමුවේ, දේශනා වැඩය දිගින් දිගටම වර්ධනය වේ. පළමුවන ලෝක යුද්ධය අවසානයේදී සිටි අතළොස්සක් වූ රාජ්‍ය ප්‍රචාරකයෝ දැන් දශලක්ෂ ගණනක් දක්වා වැඩි වී ඇත්තාහ. ඔවුන්ට යෙහෝවා මෙසේ පොරොන්දු වේ. “නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය.” (යෙසායා 54:17) යුදෙව් මන්ත්‍රණ සභාවේ සිටි සාමාජිකයෙක් පවා දෙවි මෙහෙයවන වැඩක් නැවැත්විය නොහැකි බව පිළිගත්තේය. ගෝලයන් ගැන මුල් සියවසේ සිටි ඵරිසිවරුන්ට ඔහු මෙසේ කීවේය. “ඔවුන්ට ඉන්ට ඉඩහරින්න. (මන්ද මේ වැඩපිළිවෙළ හෝ මේ වැඩය මිනිසුන්ගෙන් නම් එය පරාජය කිරීමට හැකි වේ. නමුත් එය දෙවිගෙන් නම්, ඔබට ඔවුන්ව පරාජය කරන්න නොහැකි වන්නේය.) නැත්නම්, ඔබ ඇත්තෙන්ම දෙවිට විරුද්ධව සටන් කරන්නන් ලෙස පෙනෙනු ඇත.”—ක්‍රියා 5:38, 39, NW.
10. (අ) මහත් සමූහය මත තිබෙන “ලකුණ” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) ‘ස්වර්ගයෙන් පැමිණෙන හඬට’ දෙවිගේ සේවකයන් කීකරු වන්නේ කෙසේද?
10 මහත් සමූහයට අයත් අයව ගැළවීම සඳහා ලකුණු කළ අය ලෙස දක්වා ඇත. (එසකියෙල් 9:4-6) එම “ලකුණ” ඔවුන් යෙහෝවාට කැප වී, යේසුස්ගේ ගෝලයෙකු ලෙස බව්තීස්ම වී, ක්‍රිස්තුස් බඳු පෞද්ගලිකත්වයක් වගා කරගැනීමේ නිරත වන බවට සාක්ෂියකි. “මාගේ සෙනඟෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ පීඩාවලට අසු නොවන පිණිසත්, ඇගෙන් ඉවත්ව එන්න” යනුවෙන් සාතන්ගේ ලෝක ව්‍යාප්ත බොරු ආගමේ අධිරාජ්‍යය ගැන ‘ස්වර්ගයෙන් පැමිණෙන හඬට’ ඔවුහු කීකරු වෙති.—එළිදරව් 18:1-5.
11. මහත් සමූහයට අයත් අය තමන් යෙහෝවාගේ සේවකයන් බව පෙන්වන්නේ කිනම් වැදගත් ආකාරයටද?
11 මීට අමතරව, යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙසේද පැවසීය. “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහන් 13:35, NW) ඊට වෙනස්ව, මේ ලෝකයේ තිබෙන ආගම් තම තමන්ගේ සාමාජිකයන් සමඟ යුද්ධ කරමින් ඔවුන්ව මරා දමති. බොහෝවිට එසේ කරන්නේ, ඔවුන් වෙනත් ජාතියකට අයත් වන නිසාය! දෙවිගේ වචනයේ මෙසේ ප්‍රකාශ කරයි. “මෙයින් දෙවිගේ දරුවෝද යක්ෂයාගේ දරුවෝද ප්‍රකාශව සිටිති. ධර්මිෂ්ඨකම් නොකරන කවරෙක්වත් තමාගේ සහෝදරයාට ප්‍රේම නොකරන්නෙක්වත් දෙවිගෙන් නොවෙයි. . . . අප විසින් එකිනෙකාට ප්‍රේම කළ යුතුය. . . . තමාගේ සහෝදරයා මැරුවාවූද නපුරාගෙන් වූද කායින් මෙන් නොවෙමු.”—1 යොහන් 3:10-12.
12. ඉතාම ඉක්මනින් මහත් පීඩාවේදී, නොවටිනා ඵල දරන ආගමික ‘ගස්වලට’ යෙහෝවා කරන්නේ කුමක්ද?
12 යේසුස් මෙසේ ප්‍රකාශ කළේය. “සෑම හොඳ ගසක්ම හොඳ ඵල දරයි. නමුත් සෑම කුණු වූ ගසක්ම නොවටිනා ඵල දරයි; හොඳ ගසකට නොවටිනා ඵල දරන්නවත් කුණු වූ ගසකට හොඳ ඵල දරන්නවත් නොහැක. හොඳ ඵල නොදරන සෑම ගසක්ම කපා ගින්නට දමනු ලැබේ. එබැවින්, ඔවුන්ගේ ඵලවලින් ඔබ ඒ මිනිසුන්ව නිසැකවම ඇඳිනගන්නහුය.” (මතෙව් 7:17-20, NW) මේ ලෝකයේ ආගම් නිපදවන ඵල මගින් පැහැදිලි වන්නේ, ඔවුන් ඉතාම ඉක්මනින් පැමිණෙන මහත් පීඩාවේදී යෙහෝවා විසින් විනාශ කරනු ලබන කුණු වූ ‘ගස්’ බවයි.—එළිදරව් 17:16.
13. යෙහෝවාගේ ‘සිංහාසනය ඉදිරියේ [එක්සත්ව] සිටගෙන සිටින’ බව මහත් සමූහය නිරූපණය කරන්නේ කෙසේද?
13 මහත් සමූහයේ ගැළවීම සඳහා මඟ පාදන්නාවූ සාධකවලට එළිදරව් 7:9-15හි අවධානය යොමු කරයි. ඔවුහු එක්සත් ලෙස යෙහෝවාගේ ‘සිංහාසනය ඉදිරියේ සිටගැනීමෙන්’ තමන් ඔහුගේ විශ්වනීය පරමාධිපත්‍යය තහවුරු කරන බව පෙන්වති. ඔවුන් “තමුන්ගේ සළු බැටළුපැටවාණන්ගේ ලෙයින් සෝදා සුදු [කරගැනීමෙන්]” පෙන්වන්නේ, යේසුස්ගේ ජීවිත පූජාවේ පව් කමා කිරීමේ බලය ඔවුන් පිළිගන්නා බවය. (යොහන් 1:29) ඔවුන් පෞද්ගලිකව දෙවිට කැප වී, වතුර බව්තීස්මයෙන් ඒ බව සංකේතවත් කර ඇත. මෙසේ සුදු සළුවලින් නියෝජනය කරන පිරිසිදු ස්ථාවරයක් ඔවුන් දෙවි ඉදිරියේ භුක්ති විඳින අතර, ඔවුහු “රෑ දාවල් ඔහුට සේවය කරති.” මෙහි විස්තර කර ඇති දේවලට ඔබේ ජීවිතය එකඟ කිරීමට ඔබට තව කුමක් කළ හැකිද?
දැන් තිබෙන ප්‍රයෝජන
14. යෙහෝවාට සේවය කරන අයට දැන් පවා ලැබෙන අද්විතීය ප්‍රයෝජන සමහරක් සඳහන් කරන්න.
14 යෙහෝවාට සේවය කරන අයට දැන් පවා ලැබෙන අද්විතීය ප්‍රයෝජන ඔබ නිරීක්ෂණය කර තිබෙනවාට සැක නැත. උදාහරණයක් හැටියට, ඔබ යෙහෝවාගේ ධර්මිෂ්ඨ අරමුණු ගැන ඉගෙනගත් විට, අනාගතය සඳහා දීප්තිමත් බලාපොරොත්තුවක් තිබෙන බව ඔබට තේරුම් ගියේය. එමනිසා, පාරාදීස පොළොවක සදාකාල ජීවනය ලැබීමේ ප්‍රීතිමත් අපේක්ෂාව සමඟ සැබෑ දෙවිට සේවය කිරීම ඔබේ ජීවිතයේ සැබෑ අරමුණ බවට පත්ව තිබේ. එසේය, රජ වන යේසුස් ක්‍රිස්තුස් “ජීවන දිය උල්පත්වලට [මහත් සමූහය] ගෙන යන්නේය.”—එළිදරව් 7:17.
15. දේශපාලනික හා සදාචාරමය කාරණා සම්බන්ධයෙන් බයිබලයේ ඇති ප්‍රතිපත්තිවලට ඇලී සිටීමෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ප්‍රයෝජන ලබා තිබෙන්නේ කෙසේද?
15 මහත් සමූහය විසින් භුක්ති විඳින පුදුමාකාර ප්‍රයෝජන සමහරක් නම්, ලෝකය පුරා සිටින යෙහෝවාගේ සේවකයන් අතර පවතින ප්‍රේමය, එකමුතුකම හා සමගියයි. එකම ආත්මික ආහාරවලින් පෝෂණය වන්නන් නිසා, අපි සැවොම දෙවිගේ වචනයේ ඇති එකම නීති හා ප්‍රතිපත්තිවලට කීකරු වන්නෙමු. අප දේශපාලනික හා ජාතික අදහස් උදහස් නිසා බෙදී නැත්තේ ඒ නිසාය. දෙවි ඔහුගේ සෙනඟගෙන් අපේක්ෂා කරන උසස් සදාචාර ප්රමිතීන්ද අපි රකින්නෙමු. (1 කොරින්ති 6:9-11) මෙසේ, ලොව පැතිර පවතින ගැටුම්, අසමගිය හා දුරාචාරය අද්දකිනවා වෙනුවට, යෙහෝවාගේ සෙනඟ ආත්මික පාරාදීසයක් ලෙස හැඳින්විය හැකි තත්වය භුක්ති විඳිති. යෙසායා 65:13, 14හි මේ ගැන විස්තර කර ඇති දෙය සලකා බලන්න.
16. ජීවිතයට ආවේණික ගැටලු හමුවේ, මහත් සමූහයට අයත් අය සතු බලාපොරොත්තුව කුමක්ද?
16 යෙහෝවාගේ මිනිස් සේවකයන් පරිපූර්ණ අය නොවන බව මතක තබාගන්න. මේ ලෝකයේ ජීවිතයට ආවේණික ගැටලුවලට ඔවුහුද ගොදුරු වෙති. ඔවුන් ආර්ථික අපහසුතාවලට මුහුණ දීම හා ජාතීන්ගේ යුද්ධවල අහිංසක ගොදුරු බවට පත්වීම මීට උදාහරණයි. ඔවුහු අසනීප වෙති, දුක් විඳිති, මරණයටද පත් වෙති. එහෙත්, “ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණය තවත් නොවන්නේය. වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය” යන නව ලොවේදී ඉටු වනු ඇති දෙවිගේ පොරොන්දුව කෙරෙහි ඔවුහු ඇදහිල්ල තබති.—එළිදරව් 21:4.
17. අපට දැන් කුමක් සිදු වුණත්, සැබෑ දෙවිට නමස්කාර කරන්නන් උදෙසා සූදානම් කර ඇත්තේ කිනම් පුදුමාකාර අනාගතයක්ද?
17 මහලු වයස, අසනීප, හදිසි අනතුරු හෝ පීඩා නිසා ඔබේ ජීවිතය නැති වුණත්, යෙහෝවා ඔබව පාරාදීස පොළොවකට නැවත නැඟිටුවනු ඇත. (ක්‍රියා 24:15) එවිට ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය තුළදී, ආත්මික මංගල්‍ය භෝජනයක් දිගටම භුක්ති විඳීමට ඔබට හැකි වනු ඇත. දෙවිගේ අරමුණු ඒවායේ තේජාන්විත ඉටුවීම කරා පැමිණෙන විට ඔහු කෙරෙහි ඔබ තුළ ඇති ප්‍රේමය ලියලා විශාල ගසක් සේ වැඩෙනු ඇත. යෙහෝවා ඒ කාලයේදී සපයන භෞතික ආශීර්වාද හේතුවෙන්ද ඔහු කෙරෙහි ඔබ තුළ ඇති ප්‍රේමය වඩ වඩා ගැඹුරු වනු ඇත. (යෙසායා 25:6-9) දෙවිගේ සෙනඟ වෙනුවෙන් සූදානම් කර ඇත්තේ කොතරම් පුදුමාකාර අනාගතයක්ද!
පුනරීක්ෂණ සාකච්ඡාව
• බයිබලය මහත් සමූහය සමඟ සම්බන්ධ කර ඇත්තේ කුමන අසාමාන්‍ය වූ සිදුවීමද?
• දෙවිගේ අනුග්‍රහය ඇති මහත් සමූහයට ඇතුළත් වීමට අපට ඇත්තටම ඕනෑ නම්, අප දැන්ම කුමක් කළ යුතුද?
• මහත් සමූහය දැනුත් අනාගතයේදී දෙවිගේ නව ලොවෙහිත් භුක්ති විඳින ආශීර්වාද ඔබට කොතරම් වැදගත්ද?
[123වන පිටුවේ පින්තූරය]
දශලක්ෂ ගණන් මහත් සමූහයා සැබෑ දෙවිට එක්සත්ව නමස්කාර කරති