යෞවනයෙනි ඔබේ ජීවිතයේ අපේක්ෂාවන් මොනවාද?
“ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන නෙළාගන්න එක මගේ එකම පැතුම” කියා එක් යොවුන් වියේ පසු වන දැරියක් පැවසුවා. ඔබේ පැතුමත් එයම වන බවට නිසැකයි. ඒත් ඔබ ඔබේ ජීවිතයෙන් “උපරිම ප්‍රයෝජන” නෙළාගන්නේ කොහොමද? විශාල ධන සම්භාරයක් හරි හම්බ කරගැනීමෙනුත් ඉහළ පැළැන්තියේ රැකියාවක් කිරීමෙනුත් එවන් ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන් කියා ජන මාධ්‍යවලින්, ඔබේ යහළු යෙහෙළියන් සහ යම්විටක ඔබේ ගුරුවරුන් පවා කියා සිටිය හැකියි.
නමුත් යෞවනයන්ට බයිබලයේ අනතුරු අඟවන්නේ මිල මුදල් ඉපයීමට වෙහෙසීම ‘සුළඟ පසුපස හඹා යෑමක්’ ලෙසයි. (දේශනාකාරයා 4:4, නව ලොව පරිවර්තනය, NW) යෞවනයන් සුළු පිරිසක් අත මිට සරු කරගෙන රටේ තොටේ හොඳ කීර්ති නාමයක් දිනාගෙන තිබෙන බව ඇත්තයි. ඒත් එවන් දේ ලබාගත් අය පවා පසුව බලාපොරොත්තුවක් නොමැති තත්වයකට පත් වී තිබෙනවා. උසස් රැකියාවක් ලබාගැනීම තම ඉලක්කය කරගත් එංගලන්තයේ යෞවනයෙකුගේ අද්දැකීමෙන් මෙය සත්‍යයක් බව වැටහෙයි. ඔහු මෙහෙම කියනවා. “මිල මුදල් හරියට හිස් පෙට්ටියක් වගෙයි. ඇතුළේ මොනවත් නැහැ.” මෙහිදී එක් දෙයක් පිළිගත යුතුයි. රැකියාවක් කිරීමෙන් මුදල් සහ යම් පිළිගැනීමක් ලැබෙන බව ඇත්තයි. නමුත් ඔබේ “ආත්මික අවශ්‍යතා [හෙවත් දෙවිගේ මඟ පෙන්වීම්]” ඉන් ඔබට ලැබෙන්නේ නැහැ. (මතෙව් 5:3) ඒ වගේම 1 යොහන් 2:17 හි පවසන ආකාරයට ‘ලෝකය පහව යනවා.’ එනම් ඔබ මේ ලෝකය තුළ යම් සාර්ථකත්වයක් අත් කරගත්තත් එය පවතින්නේ කෙටි කාලයකට පමණයි.
දේශනාකාරයා 12:1හි [NW] යෞවන අයට අගනා දිරිගැන්වීමක් දී තිබෙනවා. එහි පවසන්නේ “යෞවනයෙනි, ඔබට ජීවිතය දුන් ශ්‍රේෂ්ඨ සැදුම්කරුව ඔබේ යොවුන් වියේදීම සිහි කරන්න” කියායි. ඔව්, ඔබේ ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන නෙළාගත හැකි වන්නේ යෙහෝවා දෙවිට සේවය කිරීමෙනුයි. නමුත් එවන් සේවයක් පිරිනැමීමට ඔබ යම් සුදුසුකම් අත් කරගත යුතුයි. එම සුදුසුකම් අත් කරගන්නේ කෙසේද කියාත් දෙවිට පිරිනමන සේවයට අයත් වන්නේ මොනවාද කියාත් සොයා බලමු.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකු වීමට සුදුසුකම් අත් කරගැනීම
දෙවිට සේවය කිරීම සඳහා ඔබ තුළ ආශාවක් වර්ධනය කරගැනීම මූලික පියවරයි. ඔබේ දෙමාපියන් ක්‍රිස්තියානීන් වෙන්න පුළුවන්. ඒත් එම ආශාව ඔබ තුළ ඉබේටම ඇති වෙන්නේ නැහැ. මේ සඳහා ඔබ පෞද්ගලිකවම යෙහෝවා දෙවි සමඟ සම්බන්ධතාවක් ඇති කරගත යුතුයි. “යෙහෝවා දෙවි සමඟ හොඳ පෞද්ගලික සම්බන්ධතාවක් ඇති කරගැනීමට යාච්ඤාව උපකාරවත් වෙනවා” කියා යොවුන් දැරියක් පැවසුවා.—ගීතාවලිය 62:8; යාකොබ් 4:8.
ඔබ ගත යුතු තවත් පියවරක් රෝම 12:2හි සඳහන් වී තිබෙනවා. එහි පවසන්නේ, “දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ පරිපූර්ණ කැමැත්ත කුමක්දැයි තමුන්ටම ඔප්පු කරගන්නා” ලෙසටයි. ඔබට උගන්වා තිබෙන දේවල් ගැන කවදා හෝ ඔබට සැකයක් ඇති වී තිබෙනවාද? එහෙමනම් ඉගැන්වීම් “තමුන්ටම ඔප්පු” කරගන්න කියා බයිබලයේ දෙන උපදෙස පිළිපැදීම හොඳයි කියා ඔබට සිතෙන්නේ නැද්ද? ඔබම යම් දේවල් පර්යේෂණය කර බලන්න. බයිබලය සහ බයිබලය මත පදනම්ව ලියා ඇති පොත් පත් කියවන්න. දෙවි ගැන ඉගෙනගන්නවා යන්නෙන් අදහස් කරන්නේ මනස නිකම්ම දැනුමෙන් පිරවීමම නොවෙයි. ඔබ කියවන දේ නැවත ගැඹුරින් කල්පනා කර බැලීමද එයට ඇතුළත් වෙනවා. එවිට එම දැනුම කිසිදා අමතක නොවන සේ ඔබේ හදවතට කිඳාබසීවි. මෙය දෙවි කෙරෙහි ඔබට තිබෙන ප්‍රේමය වර්ධනය වීමට දායක වෙනවා.—ගීතාවලිය 1:2, 3.
ඊළඟ පියවර නම් ඔබ ඉගෙනගත් දේ අන් අයට පැවසීමයි. ඔබට ඔබේ පාසැලේ මිතුරන්ට හා මිතුරියන්ට පැවසීමෙන් එය ආරම්භ කළ හැකියි. මෙවන් ක්‍රම හඳුන්වන්නේ අවිධිමත් සාක්ෂි දැරීම ලෙසයි. ඉන්පසුව ගෙයින් ගෙට සාක්ෂි දැරීමෙහි නියැලීමට ඔබට පුළුවන්. ඔබ ගෙයින් ගෙට යන විට පාසැල් මිතුරෙක් හෝ මිතුරියක් මුණගැසෙන්න පුළුවන්. මුලදී මෙය ඔබට යම් තිගැස්මක් ඇති කළ හැකියි. ඒත් ‘ශුභාරංචිය ගැන ලැජ්ජා වෙන්න’ එපා කියා බයිබලය අපට උනන්දු කරනවා. (රෝම 1:16) ඔබ රැගෙන යන්නේ ජීවිතයත් බලාපොරොත්තුවත් පිළිබඳ පණිවිඩයක්! ඉතිං ඇයි ඒ ගැන ලැජ්ජා වෙන්නේ?
ඔබේ දෙමාපියන් ක්‍රිස්තියානීන් නම් ඔබ දැනටමත් මෙම සේවයේ ඔවුන් සමඟ හවුල් වෙනවා ඇති. නමුත් දොර ළඟ නිහඬව සිටගෙන සිටීම හෝ නිකම්ම සඟරාවක් නැත්නම් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට වඩා වැඩි යමක් කිරීමට ඔබට හැකිද? ඔබට තනිවම බයිබලය යොදාගනිමින් ගෙවැසියාට යමක් කියා දීමට හැකිද? එසේ කිරීමට හැකියාවක් නැත්නම් ඔබේ දෙමාපියන්ගෙන් හෝ සභාවේ මේරූ අයෙකුගෙන් උපකාරය පතන්න. බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු ලෙස සාක්ෂි දැරීම ඔබේ ඉලක්කය කරගන්න.
කාලයක් යන විට දෙවිට සේවය කිරීමට පොරොන්දු වෙමින් ඔබේ ජීවිතය දෙවිට කැප කිරීමට ඔබ තුළ පෙලඹීමක් ඇති වේවි. (රෝම 12:1) ඔබේ කැපවීම සැඟවිය යුතු දෙයක් නොවෙයි. ‘ගැලවීම පිණිස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම’ දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. (රෝම 10:10) ජලයෙන් බව්තීස්ම වීමට මොහොතකට පෙර ඔබේ ඇදහිල්ල ගැන ඔබ අන් අය ඉදිරියේ ප්‍රකාශ කරනවා. (මතෙව් 28:19, 20) බව්තීස්මය බැරෑරුම් පියවරක් කියන කාරණය අමතක කරන්න එපා. නමුත් ඔබ බව්තීස්මයට එකඟව කටයුතු කිරීමට අසමත් වේවි යන බිය මෙම පියවර නොගැනීමට හේතුවක් කර නොගන්න. ඔබ දෙවිගේ ශක්තිය මත රඳා සිටිනවා නම් ස්ථිරව සිටීම සඳහා “සාමාන්‍ය ඉක්මවූ බලය” ඔහු ඔබට දෙයි.—2 කොරින්ති 4:7; 1 පේතෘස් 5:10.
බව්තීස්ම වූ අවස්ථාවේ සිට ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. (යෙසායා 43:10) එය ඔබේ ජීවිතය ගත කරන ආකාරයට විශාල බලපෑමක් ඇති කළ යුතුයි. කැපවීම කියන්නේ ඔබ ‘ඔබවම නොසලකා’ හැරීමයි. (මතෙව් 16:24) වෙනත් ආකාරයකින් කියනවා නම් ඔබේ පෞද්ගලික ඉලක්ක සහ ආශාවන් සමහරක් පසෙක දමා ‘දෙවිගේ රාජ්‍යයට මුල් තැන’ දීමයි. (මතෙව් 6:33) කැපවීම සහ බව්තීස්මය මගින් එසේ කිරීමට ප්‍රස්තා බොහොමයක් විවෘත වෙනවා. ඉන් සමහරක් සලකා බලමු.
දෙවිට පූර්ණකාලීනව සේවය කිරීමේ ප්‍රස්තා
● පුරෝගාමි සේවය ඉන් එක් ප්‍රස්තාවක්. ස්ථාවර පුරෝගාමි කියන්නේ මසකට අවම වශයෙන් පැය 70ක් යොදවන බව්තීස්ම ලත් ආදර්ශවත් ක්රිස්තියානියෙකුටයි. එම සේවයේ වැඩි පැය ගණනක් වැය කිරීමෙන් ඔබට සාක්ෂි දැරීමේත් ඉගැන්වීමේත් හැකියාවන් ප්‍රගුණ කළ හැකියි. පුරෝගාමීන් බොහෝදෙනෙක් බයිබල් ශිෂ්‍යයන්ට බව්තීස්ම ලත් සාක්ෂිකරුවන් වීමට අත හිත දීමෙන් ප්‍රීතියක් අද්දකිනවා. එවන් ප්‍රීතියක් සහ තෘප්තියක් ලැබෙන්නේ කුමන රැකියාවෙන්ද?
පුරෝගාමීන් තම වියදම් පියවාගැනීමට අර්ධකාලීන රැකියාවල නිරත වෙනවා. මේ සඳහා ඔවුන් පාසැලෙන් හෝ තම දෙමාපියන්ගෙන් යම් ශිල්පීය දැනුමක් ලබාගෙන තිබෙනවා. සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයෙන් පසු තවදුරටත් යම් පුහුණු වීමක් ලබාගැනීම ප්‍රයෝජනදායකයි කියා ඔබට සහ ඔබේ දෙමාපියන්ට හැඟෙනවා නම් ඔබේ චේතනාව මුදල් කන්දරාවක් හම්බ කිරීම නොව ඔබේ සේවය කරගෙන යෑමට ප්‍රායෝගික මඟක් සෙවීම බව අමතක නොකරන්න. වෙනත් ආකාරයකින් පවසනවා නම් ඔබේ ඉලක්කය විය යුත්තේ පූර්ණකාලීන සේවයේ දිගටම නියැලීමයි.
පුරෝගාමියෙකුගේ ජීවිතයේ ප්‍රමුඛත්වය ගනු ලබන්නේ ඔහුගේ රැකියාව නොව අන් අයට ජීවනය ලබාගැනීමට උපකාර කරන දේවසේවයයි. එසේනම් පුරෝගාමි සේවය ඔබේ ඉලක්කය කර නොගන්නේ මන්ද? පුරෝගාමි සේවය වෙනත් වරප්‍රසාදවලට මඟ විවෘත කර දෙයි. සමහර පුරෝගාමීන් රාජ්‍ය ප්‍රචාරකයන්ගේ අවශ්‍යතාව වැඩියෙන් තිබෙන ප්‍රදේශවලට ගොස් සේවය කිරීම නිදසුනක් ලෙස දැක්විය හැකියි. තවත් අය වෙනත් භාෂාවක් ඉගෙනගෙන එම රටේම විදේශ භාෂාවෙන් පවත්වන සභාවක හෝ වෙනත් රටක සේවය කරනවා. පුරෝගාමී සේවය ප්‍රයෝජනදායක ජීවිතයකට මඟ පාදනවා කියා ඔබට සිතෙන්නේ නැද්ද?
● ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයකට ගොස් සේවය කිරීමට කැමති, කාලයක් පුරා පුරෝගාමි සේවයේ නියැලෙන අයට හවුල් විය හැකියි. මෙම පාසැල මාස දෙකක් පුරා පැවැත්වෙනවා. “මම යන්න කැමතියි. මාව යවන්න” කියන ආකල්පය ඇතුව සිටින මේ අය ආදර්ශයට ගන්නේ කැමැත්තෙන්ම සේවය කිරීමට ඉදිරිපත් වුණු යේසුස්වයි. (යෙසායා 6:8; යොහන් 7:29) තමන් සිටි ගේදොර අත්හැර දුර පළාතකට ගොස් සේවය කිරීමේදී ඔවුන්ට ගත කිරීමට සිදු වන්නේ සරල ජීවිතයකි. සංස්කෘතිය, දේශගුණය, කෑම බීම ඇතුළු සෑම දේකටම වගේ අලුතින් හුරු වීමට සිදු වෙයි. ඇතැම්විට අලුත් භාෂාවක් ඉගෙනගැනීමටත් සිදු වෙයි. අවුරුදු 23ත් 65ත් අතර සිටින තනිකඩ සහෝදර සහෝදරියන්ට, විවාහක යුවළයන්ට මෙම පාසැලෙන් බොහෝ දේවල් ඉගෙනගත හැකියි. ඔවුන්ගේ පැවරුම තවත් හොඳින් ඉටු කිරීමට අවශ්‍ය ගුණාංග දියුණු කරගැනීමටත් සංවිධානය දෙන ඕනම පැවරුමක් කරන්න උදව් වෙන හැකියාවන් දියුණු කරගැනීමටත් මේ පාසැල ඔවුන්ට උදව් වෙයි.
● බෙතෙල් සේවය කියන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයක ස්වේච්ඡා සේවකයෙක් ලෙස සේවය කිරීමයි. බෙතෙල් පවුලේ සමහර සාමාජිකයන් බයිබල් ප්‍රකාශන නිෂ්පාදනය කිරීමෙහිලා කෙළින්ම හවුල් වෙනවා. තවන් අය එම කාර්යය කරගෙන යෑමට උපකාර කරනවා. එම උපකාරවත් සේවා නම් ගොඩනැඟිලි සහ යන්ත්‍ර නඩත්තු කිරීම බෙතෙල් පවුලේ සාමාජිකයන්ව ශාරීරිකව පෝෂණය කිරීම යනාදියයි. මේ සෑම පැවරුමක්ම යෙහෝවා දෙවිට පිරිනමන පරිශුද්ධ සේවයට සම්බන්ධයි. එමෙන්ම තමන් කුමන සේවයක් කළත් එමඟින් ලොව පුරා සිටින සහෝදරයන් වැඩි පිරිසකට ප්‍රයෝජන ලැබෙන බව දැන සිටීමත් බෙතෙල් සේවකයන්ගේ ප්‍රීතියට දායක වෙනවා.
යම් අවස්ථාවල විශේෂ කුසලතා තිබෙන සහෝදරයන්ට බෙතෙල් නිවසේ සේවය කිරීමට ඇරයුම් ලැබෙනවා. නමුත් බොහෝදෙනෙක් පුහුණුව ලබන්නේ බෙතෙල් නිවසට පැමිණි පසුවයි. බෙතෙල් නිවසේ සේවයෙහි නියුතු අය එහි සේවය කරන්නේ යම් වාසි ප්‍රයෝජන තකා නොවෙයි. තමන්ට ලැබෙන ආහාර පාන, ඉඳුම් හිටුම් සහ පෞද්ගලික වියහියදම් සඳහා දෙන සුළු මුදලින් ඔවුන් සෑහීමට පත් වෙනවා. යොවුන් වියේ පසු වන බෙතෙල් පවුලේ සාමාජිකයෙක් තම සේවය සම්බන්ධයෙන් මෙසේ පැවසුවා. “බෙතෙල් වැඩසටහනට හැඩගැහෙන එක ටිකක් අමාරුයි. හැබැයි සේවය කිරීමෙන් ලබන ප්‍රීතිය විස්තර කරන්න වචන නැහැ. මම බොහෝ ආශීර්වාද ලබා තියෙනවා.”
● ඉදි කිරීම් සේවය මගින් ශාඛා කාර්යාල සහ නමස්කාර මධ්‍යස්ථාන ගොඩනැඟීමේ කටයුතුවල නිරත වීමට ප්‍රස්තා ලැබෙනවා. ඔවුන්ව හඳුන්වන්නේ ඉදි කිරීම් සේවකයන් ලෙසයි. මෙයත් පරිශුද්ධ සේවයක්. ඔවුන් හරියට සලමොන්ගේ දේවමාලිගාව ගොඩනැඟීමේ කාර්යයට හවුල් වූ සේවකයන් හා සමානයි. (1 රාජාවලිය 8:13-18) ඉදි කිරීම් සේවකයන්ව රැකබලා ගැනීමේ සැලසුම් බෙතෙල් පවුලේ සාමාජිකයන්ව රැකබලා ගැනීමේ සැලසුම්වලට සමානයි. මහත් ක්‍රියාකාරකම් රැසක් තිබෙන මෙම සේවයෙහි යෙහෝවා දෙවිට ප්‍රශංසාව ගෙන ඒම සඳහා හවුල් වීමට ලැබීම මෙම සහෝදර සහෝදරියන්ට මොන තරම් වරප්‍රසාදයක්ද!
දෙවිගේ සේවය වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න
ඔබේ ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන නෙළාගත හැකි හොඳම මාර්ගය වන්නේ යෙහෝවා දෙවිට සේවය කිරීමයි. පූර්ණකාලීනව දෙවිට සේවය කිරීමට ඔබ ඉලක්ක කර නොගන්නේ මන්ද? පූර්ණකාලීන සේවය ගැන ඔබේ දෙමාපියන්, සභාවේ වැඩිමහල්ලන් සහ චාරිකා සේවක සමඟ කතා කරන්න. බෙතෙල්හි සේවය කිරීමට හෝ ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට යෑමට කැමැත්තක් තිබෙනවා නම් තුන්දින සමුළුවලදී ඒවා සඳහා පවත්වන රැස්වීම්වලට සහභාගි වන්න.
එක් දෙයක් පිළිගත යුතුයි. එනම් හැමෝටම පූර්ණකාලීනව සේවය කිරීමට සුදුසුකම් හෝ හැකියාව නැති බවයි. සෞඛ්‍ය ගැටලු, මුදල් ගැටලු ඒ වගේම පවුල් වගකීම් වැනි දේවල් හේතුවෙන් යම් කෙනෙකුට සේවයට දායක වීමේ හැකියාව සීමා වෙන්න පුළුවන්. තත්වය කුමක් වුවත් කැප වූ ක්‍රිස්තියානීන් සෑම කෙනෙක්ම ‘දෙවි වන යෙහෝවාට මුළු හදවතින්ද මුළු ජීවිතයෙන්ද මුළු මනසින්ද ප්‍රේම කරන්න’ යන බයිබලයේ සඳහන් ආඥාව පිළිපැදිය යුතුයි. (මතෙව් 22:37) යෙහෝවා දෙවි ඉල්ලන්නේ ඔබ සිටින තත්වය තුළ ඔබට හැකි උපරිමය කිරීමයි. එමනිසා තත්වය කුමක් වුවත් යෙහෝවා දෙවිට සේවය කිරීම ඔබේ ජීවිතයේ එකම ඉලක්කය සහ අදිටන කරගන්න. දෙවිට සේවය කිරීමේදී ප්‍රායෝගිකව අත් කරගත හැකි ඉලක්ක තබාගන්න. ඔව්, “ඔබට ජීවිතය දුන් ශ්‍රේෂ්ඨ සැදුම්කරුව ඔබේ යොවුන් වියේදීම සිහි කරන්න” එසේ කිරීමෙන් ඔබ සදාකාලයටම ආශීර්වාද ලබාගන්නා බව නිසැකයි!
බයිබල් පද රැගෙන තිබෙන්නේ ශුද්ධ බයිබලය—නව ලොව පරිවර්තනය නමැති පරිවර්තනයෙනි.