ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lr 7 පරි. 42-46 පි.
  • කීකරු වෙන එක ඔයාට ආරක්ෂාවක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කීකරු වෙන එක ඔයාට ආරක්ෂාවක්
  • උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • සමාන තොරතුරු
  • ‘දරුවෙනි ඔබේ දෙමාපියන්ට කීකරු වන්න’
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කීකරු වෙන්න ඔයා ලෑස්තිද?
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘ඔහු කීකරුකම ඉගෙනගත්තේය’
    “මගේ අනුගාමිකයෙක් වෙන්න”
  • දෙවියන්ගේ ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
තව තොරතුරු
උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
lr 7 පරි. 42-46 පි.

7වෙනි පරිච්ඡේදය

කීකරු වෙන එක ඔයාට ආරක්ෂාවක්

ඔයාට ඕන විදිහට හැම දෙයක්ම කරන්න ලැබෙනවා නම් ඔයා ඒකට කැමතිද? කරන්න ඕන දේ ගැන කිසිම කෙනෙක් ඔයාට කියන්නේ නැතුව ඉන්නවා නම් කොච්චර හොඳයිද කියලා ඔයාට හිතිලා තියෙනවාද? ඇත්තටම ඔයාට ඒ ගැන හිතෙන දේ මට කියනවාද?—

වැඩිහිටි කෙනෙක් කියන දේට ඇහුම්කන් දෙන දරුවෙක්

ඔයා වැඩිහිටි අයට කීකරු වෙන්න ඕන ඇයි?

වැඩියෙන්ම හොඳ හැම දෙයක්ම ඔයාට ඕන විදිහට කරන එකද? නැත්නම් අම්මායි තාත්තායි කියන විදිහට කරන එකද?— දෙවියන් ඔයාට කියලා තියෙන්නේ අම්මාටයි තාත්තාටයි කීකරු වෙන්න කියලා. එහෙමනම් ඒකට හොඳ හේතුවක් තියෙන්න ඕනේ. අපි දැන් ඒ ගැන ටිකක් බලමු.

ඔයාගේ වයස කීයද?— තාත්තාගේ වයස ඔයා දන්නවාද?— අම්මාගේ, ආච්චිගේ, සීයාගේ වයස දන්නවාද?— ඒ අය ඔයාට වඩා හුඟක් කල් ජීවත් වෙලා තියෙනවා. කෙනෙක් වැඩි කාලයක් ජීවත් වෙලා තියෙනවා නම් ඒ කෙනා හුඟක් දේවල් ඉගෙනගෙන තියෙනවා. හැම අවුරුද්දකම එයා හුඟක් දේවල් ඉගෙනගන්නවා, හුඟක් දේවල් දකිනවා, හුඟක් දේවල් කරනවා. ඒ නිසා දරුවන්ට පුළුවන් වැඩිහිටි අයගෙන් හුඟක් දේවල් ඉගෙනගන්න.

ඔයාට වඩා බාල කෙනෙක්ව ඔයා දන්නවාද?— එයාට වඩා වැඩියෙන් ඔයා සමහර දේවල් ගැන දන්නවාද?— ඒ ඇයි?— ඒ ඔයා, එයාට වඩා වැඩි කාලයක් ජීවත් වෙලා තියෙන නිසයි.

කිසිම කෙනෙක්ට වඩා වැඩි කාලයක් ජීවත් වෙලා තියෙන්නේ කවුද?— යෙහෝවා දෙවි. අපිට වඩා හුඟක් දේවල් දෙවි දන්නවා. ඒ නිසා දෙවි මොනවා හරි කරන්න කියද්දී සමහරවිට අපිට ඒක අමාරුයි කියලා හිතුණත් ඒක කරන එක තමයි හොඳම දේ. දෙවිට කීකරු වෙන එක අමාරුයි කියලා දවසක් යේසුස්ටත් හිතුණා කියලා ඔයා දන්නවාද?—

දවසක් දෙවියන් හුඟක් අමාරු දෙයක් කරන්න කියලා යේසුස්ට කිව්වා. පින්තූරේ පේන විදිහට එදා යේසුස් ඒ ගැන මෙහෙම යාච්ඤා කළා. ‘ඔබ කැමති නම් මේ අමාරු වැඩේ මගෙන් අයින් කරන්න.’ ඒකෙන් යේසුස් පෙන්නුවේ දෙවියන් කැමති විදිහට ජීවත් වෙන එක හැම වෙලාවකම ලේසි වෙන්නේ නැහැ කියලයි. හැබැයි ඔයා දන්නවාද යේසුස් එදා කරපු යාච්ඤාවේ අන්තිමට කිව්වේ මොනවාද කියලා?—

යේසුස් යාච්ඤා කරමින්

යේසුස් කරපු යාච්ඤාවෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

යේසුස් මෙහෙම කිව්වා. ‘මං කැමති දේ නෙවෙයි, ඔබ කැමති දේ කරන්න.’ (ලූක් 22:41, 42) යේසුස්ට ඕන වුණේ දෙවි කැමති දේ කරන්න. ඒ නිසා එයා තමන් කැමති දේ වෙනුවට දෙවි කැමති දේ කළා.

අපිට ඒකෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?— දෙවි අපිට කරන්න කියන දේ ලේසි නැති වුණත් ඒක කරන එක තමයි හොඳම දේ. අපිට තවත් දෙයක් ඉගෙනගන්න පුළුවන්. ඔයා දන්නවාද ඒ මොකක්ද කියලා?— සමහර අය කියනවා වගේ දෙවියන් සහ යේසුස් කියන්නේ එක් කෙනෙක් නෙවෙයි, දෙන්නෙක් කියලා අපිට ඒකෙන් ඉගෙනගන්න පුළුවන්. යේසුස්ට වඩා වැඩි කාලයක් ජීවත් වෙලා තියෙන යෙහෝවා දෙවි, යේසුස්ට වඩා හුඟක් දේවල් දන්නවා.

අපි දෙවිට කීකරු වෙනවා නම් ඒකෙන් පේනවා අපි දෙවිට ආදරෙයි කියලා. බයිබලයේ තියෙන්නේ ‘දෙවිට ප්‍රේම කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ දෙවිගේ ආඥා පිළිපදින එකයි’ කියලයි. (1 යොහන් 5:3) ඒ නිසා අපි හැමෝම දෙවිට කීකරු වෙන්න ඕනේ. ඔයාත් කැමති දෙවිට කීකරු වෙන්න නේද?—

දෙවියන් දරුවන්ට කියලා තියෙන්නේ මොනවාද කියලා දැනගන්න අපි දැන් එෆීස 6:1, 2, 3 පද කියවලා බලමු. එතැන තියෙන්නේ මෙහෙමයි. ‘දරුවෙනි, දෙවිගේ කැමැත්තට එකඟව දෙමාපියන්ට කීකරු වෙන්න. දෙමාපියන්ට කීකරු වෙන එක දෙවි සලකන්නේ ධර්මිෂ්ඨ දෙයක් විදිහටයි. “ඔයාගේ තාත්තාටත් අම්මාටත් ගෞරව කරන්න.” පොරොන්දුවක් එක්ක දීලා තියෙන පළවෙනි ආඥාව ඒකයි.’ මේක තමයි ඒ පොරොන්දුව. ‘ඒක ඔයාගේ යහපතට හේතු වෙනවා. එතකොට පොළොවේ හුඟ කාලයක් ජීවත් වෙන්න ඔයාට පුළුවන්.’

දැක්කාද අම්මාටයි තාත්තාටයි කීකරු වෙන්න කියලා කියන්නේ යෙහෝවා දෙවිමයි. ඔයා ඒ දෙන්නාට කීකරු වෙනවා නම් ‘ඒක ඔයාගේ යහපතට හේතු වෙනවා’ කියලා දෙවි පොරොන්දු වෙලා තියෙනවා.

කීකරු වුණු නිසා ජීවිත බේරුණු කට්ටියක් ගැන දැන් මං ඔයාට කියන්නම්. හුඟක් කාලෙකට කලින් ජීවත් වුණු ඒ අය හිටියේ ලොකු නගරයක් වුණු යෙරුසලමේ. එහේ හිටිය වැඩිදෙනෙක් දෙවිට ඇහුම්කන් දුන්නේ නැහැ. ඒ නිසා යේසුස් ඒ අයට කිව්වා දෙවියන් ඒ නගරය විනාශ කරන්න තීරණය කරලයි තියෙන්නේ කියලා. ඒ වගේම ජීවිතය බේරගන්න නම් කරන්න ඕන දේ ගැන යේසුස් මෙහෙම කිව්වා. ‘සේනාවන් ඇවිත් යෙරුසලම වටේට කඳවුරු බැඳගෙන ඉන්නවා දකිද්දී යෙරුසලමේ විනාශය ළං වෙලා කියලා දැනගන්න. එතකොට යෙරුසලමේ ඉන්න අය කඳුවලට පලා යන්න.’—ලූක් 21:20-22.

යේසුස් කියපු දේට කීකරු වෙලා මිනිසුන් යෙරුසලමෙන් පිට වෙනවා

යේසුස්ට කීකරු වුණු නිසා මේ අයගේ ජීවිත බේරුණේ කොහොමද?

යේසුස් කියපු විදිහටම රෝම සේනාවන් ඇවිත් යෙරුසලම වට කළා. හැබැයි මොකක් හරි හේතුවක් නිසා ඒ අය ආයෙත් හැරිලා ගියා. හුඟක් අය හිතුවේ වෙන්න තිබුණු විනාශය නතර වුණා කියලයි. ඒ නිසා ඒ අය යෙරුසලමේම හිටියා. හැබැයි යේසුස් ඒ අයට කියලා තිබුණේ මොනවා කරන්න කියලාද?— ඒ කාලෙදී ඔයාත් යෙරුසලමේ හිටියා නම් ඔයා මොනවා කරයිද?— යේසුස් කියපු දේ විශ්වාස කරපු අය නම් යෙරුසලමේ තිබුණු ගෙවල් දාලා ඉක්මනින්ම කඳුවලට ගියා.

අවුරුද්දක් යනකනුත් යෙරුසලමට මුකුත්ම වුණේ නැහැ. දෙවෙනි අවුරුද්දේදීවත් තුන්වෙනි අවුරුද්දේදීවත් මුකුත්ම වුණේ නැහැ. ඒ නිසා සමහර අයට හිතෙන්න ඇති යෙරුසලම දාලා ගිය අය කළේ හරිම මෝඩ වැඩක් කියලා. හැබැයි හතරවෙනි අවුරුද්දේදී රෝම සේනාව ආයෙත් ඇවිත් යෙරුසලම වට කළා. ඒ වතාවේදී නම් යෙරුසලමේ හිටිය කිසිම කෙනෙක්ට බේරෙන්න ලැබුණේ නැහැ. රෝම සේනාව මුළු නගරයම විනාශ කළා. නගරේ හිටිය හුඟක් අය මැරුණා. ඉතුරු වුණු අයව වහලුන් විදිහට අරන් ගියා.

ඔයා දන්නවාද යේසුස්ට කීකරු වුණු අයට වුණේ මොනවාද කියලා?— ඒ අයගේ ජීවිත බේරුණා. ඒ අය හිටියේ යෙරුසලමට ගොඩක් ඈතින් නිසා කිසිම අනතුරක් වුණේ නැහැ. කීකරු වුණු නිසා ඒ අය බේරුණා.

ඔයා කීකරු වුණොත් ඔයාගේ ජීවිතෙත් බේරෙයිද?— දෙමාපියන් ඔයාට කියලා ඇති පාරේ සෙල්ලම් කරන්න එපා කියලා. ඒ ඇයි?— වාහනයකට ඔයා හැප්පෙයි කියලයි ඒ අය එහෙම කියන්නේ. හැබැයි දවසක ඔයාට මෙහෙම හිතෙන්න පුළුවන්. ‘දැන් පාරේ එක වාහනයක්වත් නැහැ. ඒ නිසා මට මුකුත් වෙන එකක් නැහැ. අනික පාරේ සෙල්ලම් කරන අනිත් ළමයිට කවදාවත් අනතුරක් වෙනවා මං දැකලත් නැහැ.’

ළමයි දෙන්නෙක් පාරේ සෙල්ලම් කරකර ඉද්දී කාර් එකක් ඉස්සරහට එනවා

අනතුරක් පේන්න තිබුණේ නැතත් ඔයා කීකරු වෙන්න ඕන ඇයි?

යෙරුසලමේ හිටිය හුඟක් අයටත් එහෙම හිතුණා. රෝම සේනාව හැරිලා ගියාට පස්සේ කිසිම අනතුරක් වෙන එකක් නැහැ කියලයි ඒ අය හිතුවේ. හුඟක් අය යෙරුසලමේම හිටපු නිසා ඒ අයත් එහෙම හිටියා. එහේ ඉන්න එපා කියලා අනතුරු අඟවලා තිබුණත් ඒ අය කීකරු වුණේ නැහැ. අන්තිමේදී ඒ අය මැරුණා.

පිරිමි ළමයෙක් ගිනි පෙට්ටියක් අරන් ගින්දර එක්ක සෙල්ලම් කරන්න හදනවා

අපි දැන් තවත් දෙයක් ගැන හිතමු. ඔයා කවදා හරි ගිනිකූරු එක්ක සෙල්ලම් කරලා තියෙනවාද?— ගිනිකූරක් පත්තු කරන එකෙන් සතුටු වෙන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ගිනිකූරු එක්ක සෙල්ලම් කරන එකෙන් අනතුරක් වෙන්න පුළුවන්. සමහරවිට මුළු ගෙදරම ගිනි අරන් අන්තිමේදී ඔයාගේ ජීවිතෙත් නැති වෙයි.

මතකයිනේ, අපි කීකරු වෙන්න ඕනෙ අපි කැමති වෙලාවලදී විතරක් නෙවෙයි. හැම වෙලේම කීකරු වුණොත් විතරයි අපේ ජීවිතේ බේරෙන්නේ. ‘දරුවෙනි, දෙමාපියන්ට කීකරු වෙන්න’ කියලා ඔයාට කියලා තියෙන්නේ කවුද?— දෙවියන් තමයි එහෙම කියලා තියෙන්නේ. දෙවි එහෙම කියලා තියෙන්නේ ඔයාට ආදරේ නිසයි කියලා අමතක කරන්න එපා.

කීකරු වෙන එක කොයි තරම් වැදගත්ද කියලා තේරුම්ගන්න අපි දැන් මේ බයිබල් පද කියවලා බලමු. හිතෝපදේශ 23:22; දේශනාකාරයා 12:13; යෙසායා 48:17, 18; කොලොස්සි 3:20.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න