ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lr 22 පරි. 117-121 පි.
  • බොරු කියන්න හොඳ නැත්තේ ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බොරු කියන්න හොඳ නැත්තේ ඇයි?
  • උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • සමාන තොරතුරු
  • බොරු කියන්න එපා - පේතෘස්ගෙනුයි අනනියස්ගෙනුයි පාඩමක් ඉගෙනගමු
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඇත්ත කතා කරන්න
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බොරු කීමට කිසිදු පදනමක් නැද්ද?
    2000 පිබිදෙව්!
  • “ඔබේ සිහිගැන්වීම්වලට මම ඇලුම් කරන්නෙමි”
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
lr 22 පරි. 117-121 පි.

22වෙනි පරිච්ඡේදය

බොරු කියන්න හොඳ නැත්තේ ඇයි?

“ඉස්කෝලේ ඇරුණු ගමන් මං ගෙදර එන්නම්” කියලා දුවෙක් අම්මාට කියනවා කියලා හිතන්න. හැබැයි එයා යාළුවොත් එක්ක සෙල්ලම් කරලා ගිහින් අම්මාට කියනවා “ඉස්කෝලේ ඇරුණාට පස්සේ ටීචර් පොඩි වැඩකට ඉන්න කිව්වා” කියලා. එහෙම කියන එක හරිද?—

ළමයෙක් බෝලෙට පයින් ගහලා ගෙදර තියෙන පහනක් පෙරළුණු නිසා තාත්තා එයාත් එක්ක කතා කරනවා

මේ ළමයා කරලා තියෙන වරද මොකක්ද?

පුතෙක් ගේ ඇතුළේ ඉඳන් බෝලයකින් සෙල්ලම් කරලා තාත්තාට කියනවා “මම ගේ ඇතුළේ බෝල ගැහුවේ නැහැ” කියලා. එහෙම කියන එකේ වරදක් නැද්ද?—

යේසුස් අපිට මෙහෙම කියලා තියෙනවා. ‘ඔව් කියලා කියන්න ඕන අවස්ථාවලදී ඔව් කියලා කියන්න. නැහැ කියලා කියන්න ඕන අවස්ථාවලදී නැහැ කියලා කියන්න. ඊට වඩා වෙනස් දෙයක් කියන්න පෙලඹෙන්නේ දුෂ්ටයාගේ බලපෑම නිසයි.’ (මතෙව් 5:37) යේසුස් ඒකෙන් අදහස් කළේ මොකක්ද?— යේසුස් කිව්වේ අපි කියන දේ අපි කරන්න ඕනෙ කියලයි.

ඇත්ත කියන එක මොන තරම් වැදගත්ද කියලා පෙන්වන සිද්ධියක් බයිබලයේ තියෙනවා. ඒකෙන් කියවෙන්නේ යේසුස්ගේ ගෝලයන් දෙන්නෙක් ගැන.

යේසුස් මැරිලා මාස දෙකක් යන්නත් කලින් හුඟක් මිනිසුන් දුර ඈත පැතිවල ඉඳන් පෙන්තකොස්ත උත්සවය පවත්වන්න යෙරුසලමට ආවා. ඒ වෙලාවේ පේතෘස් නැවත නැඟිටලා ඉන්න යේසුස් ගැන ලස්සන දේශනයක් දුන්නා. යෙරුසලමට ඇවිත් හිටිය හුඟක් අය එදා තමයි මුල්ම වතාවට යේසුස් ගැන දැනගත්තේ. තවත් විස්තර දැනගන්න එයාලාට ආස හිතුණා.

ඒ නිසා හිතුවාට වඩා වැඩි කාලයක් එයාලා යෙරුසලමේ නතර වුණා. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ සමහර අය ළඟ තිබුණු සල්ලි ඉවර වුණා. ඉතිං යෙරුසලමේ හිටිය ගෝලයන් ඒ අයට උදව් කරන්න ඉදිරිපත් වුණා. හුඟක් අය තමන්ට තිබුණු දේවල් විකුණලා ඒ සල්ලි යේසුස්ගේ නියෝජිතයන්ට ගෙනත් දුන්නා. ඊටපස්සේ නියෝජිතයන් ඒ සල්ලි උදව් ඕන කරන අයට දුන්නා.

යෙරුසලමේ තිබුණු ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් වුණු අනනියස් සහ සෆීරා එයාලාට අයිති ඉඩමක් විකුණුවා. එහෙම කරන්න කියලා කවුරුත් එයාලාට කිව්වේ නැහැ. එයාලාගේ කැමැත්තෙන්මයි ඒ දේ කළේ. හැබැයි ඇත්තටම ඒ දෙන්නා ඒක කරලා තියෙන්නේ යේසුස්ගේ ගෝලයන්ට තියෙන ආදරේ නිසා නම් නෙවෙයි. ඒ දෙන්නාට ඕන වෙලා තියෙන්නේ අනිත් අයට වඩා ඒ දෙන්නා හොඳයි කියලා පෙන්වන්නයි. ඒ නිසා එයාලාට ලැබුණු සල්ලිවලින් කොටසක් තියාගෙන ඔක්කොම සල්ලි දුන්නා කියලා කියන්න එයාලා තීරණය කරනවා. ඒ ගැන ඔයාට මොකක්ද හිතෙන්නේ?—

අනනියස් නියෝජිතයන් ළඟට ගිහින් සල්ලි ටික භාර දුන්නා. එයාට ලැබුණු ඔක්කොම සල්ලි එයා ගෙනත් නැහැ කියලා දෙවි හොඳින්ම දැනගෙන හිටියා. ඒ නිසා අනනියස් කරන්නේ බොරුවක් කියලා දෙවි පේතෘස්ට දැනුම් දුන්නා.

අනනියස් පේතෘස්ට බොරුවක් කියනවා

අනනියස් පේතෘස්ට කියන බොරුව මොකක්ද?

පේතෘස් මෙහෙම කිව්වා. ‘අනනියස්, ඔයා මේ වගේ දෙයක් කරන්න පෙලඹුණේ ඇයි? ඇයි සාතන්ට ඔයාගේ හිත පාලනය කරන්න ඉඩ දුන්නේ? ඉඩම අයිතිව තිබුණේ ඔයාට. ඒක විකුණන්න කියලා කවුරුත් ඔයාට කිව්වේ නැහැ. ඒක විකුණුවාට පස්සෙත් කැමති විදිහට ඒ සල්ලි පාවිච්චි කරන්න ඔයාට අයිතිය තිබුණා. ඒත් ඔයා ඒකෙන් කොටසක් තියාගෙන ඔක්කොම දුන්නා කියලා කිව්වේ ඇයි? ඔයා බොරු කළේ අපිට නෙවෙයි, දෙවිටයි.’

අනනියස් බොරු කිව්වා. එයා කියපු දේ නෙවෙයි එයා කළේ. එයා කරපු දේ දෙවි සැලකුවේ ලොකු වරදක් විදිහටයි. ඊළඟට වුණු දෙයින් ඒක පැහැදිලියි. පේතෘස් කියපු දේ අහගෙන ඉද්දී එකපාරටම අනනියස් බිම වැටිලා මැරුණා. දෙවි තමයි එහෙම වෙන්න සැලැස්සුවේ.

අනනියස් මැරිලා වටිලා ඉන්න විදිහ

බොරු කියපු නිසා අනනියස්ට වුණේ මොකක්ද?

පැය තුනකට විතර පස්සේ සෆීරා එතැනට ආවා. අනනියස්ට වුණු දේ ගැන එයා දැනගෙන හිටියේ නැහැ. පේතෘස් එයාගෙන් ඇහුවා ‘ඉඩම විකුණලා ලැබුණු ඔක්කොම සල්ලි ඔය දෙන්නා අපිට දුන්නාද’ කියලා.

එතකොට එයා කිව්වා ‘ඔව්, අපිට ලැබුණේ එච්චරයි’ කියලා. එයාත් බොරු කිව්වා. ඒ නිසා දෙවි සෆීරාවත් මැරෙන්න සැලැස්සුවා.—ක්‍රියා 5:1-11.

අනනියස්ටයි සෆීරාටයි වුණු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?— දෙවි බොරු කියන අයට පොඩ්ඩක්වත් කැමති නැහැ. අපි නිතරම ඇත්ත කියනවාටයි දෙවි කැමති. හැබැයි හුඟක් අය කියනවා බොරු කිව්වාට කමක් නැහැ කියලා. ඒක හරි කියලා ඔයා හිතනවාද?— අසනීප, දුක, මරණය මිනිසුන්ට අද්දකින්න වුණෙත් බොරුවක් කියපු නිසා කියලා ඔයා දැනගෙන හිටියාද?—

යේසුස්

යේසුස් කියපු විදිහට මුල්ම බොරුව කිව්වේ කවුද? ඒකෙන් වුණේ මොකක්ද?

මුල්ම ගැහැනු කෙනා වුණු ඒවට යක්ෂයා බොරුවක් කිව්වා. එයා ඒවට කිව්වා දෙවි කන්න එපා කියපු ගහෙන් කෑවාට එයා මැරෙන්නේ නැහැ කියලා. යක්ෂයා කියපු දේ විශ්වාස කරපු ඒව ඒ ගහෙන් ගෙඩියක් කෑවා. ආදම්ටත් දුන්නා. ඒ නිසා ඒ දෙන්නාම පව්කාරයන් වුණා. ඒ දෙන්නාගෙන් පැවතෙන හැමෝටමත් පව්කාරකම උරුම වුණා. ඒ විදිහට තමයි හැමෝටම මරණය උරුම වුණේ. ඒ හැම දේකටම හේතු වුණේ මොකක්ද?— බොරුවක් කියපු එකයි.

යේසුස් යක්ෂයාව “බොරුකාරයෙක්” විදිහටත් “බොරුවේ පියා” විදිහටත් හඳුන්වපු එක ගැන අපි පුදුම වෙන්න ඕනෙ නැහැනේ. එයා තමයි මුල්ම බොරුව කිව්වේ. කෙනෙක් බොරුවක් කියනවා නම් ඒ කෙනා කරන්නේ යක්ෂයා මුලින්ම කරපු දේමයි. බොරුවක් කියන්න හිතෙන ඕනම වෙලාවක අපි ඒක මතක් කරගන්න ඕනේ.—යොහන් 8:44.

ඔයාට බොරුවක් කියන්න හිතෙන්න පුළුවන් මොන වගේ හේතු නිසාද?— ඔයා වරදක් කරපු වෙලාවකද?— සමහර වෙලාවට ඔයා අතින් මොකක් හරි කැඩෙන්න පුළුවන්. ඔයාගෙන් ඒ ගැන ඇහුවොත් වෙන කාගෙ හරි අතින් ඒක කැඩුණා කියලා කියන එක හරිද? නැත්නම් ඒක වුණු විදිහ ඔයා දන්නේ නැහැ කියලා කියන එක හරිද?—

අම්මා දුවට කියනවා ගෙදර වැඩ ඉවර කරන්න කියලා

බොරුවක් කියන්න හිතෙන්න පුළුවන් මොන වගේ වෙලාවලද?

ඔයාට දීපු ගෙදර වැඩවලින් ඔයා කළේ භාගයක් විතරයි නම් ඔයා මොකද කරන්නේ? ඔක්කොම කළා කියලා කියන එක හරිද?— අනනියස්ටයි සෆීරාටයි වුණු දේ අපි මතක තියාගන්න ඕනේ. ඒ අය ඇත්ත කිව්වේ නැති එක ගැන දෙවි පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඒ නිසයි දෙවි ඒ දෙන්නාව මැරෙන්න සැලැස්සුවේ.

අපි මොන දේ කළත් ඒ ගැන බොරු කිව්වොත් ප්‍රශ්නේ තව තවත් ලොකු වෙනවා. භාගෙට ඇත්ත කියන එකත් හොඳ නැහැ. බයිබලයේ කියන්නේ ‘ඇත්ත කතා කරන්න’ කියලයි. ඒ වගේම ‘එකිනෙකාට බොරු කියන්න එපා’ කියලත් බයිබලයේ තියෙනවා. හැම වෙලේම ඇත්ත කතා කරන යෙහෝවා දෙවි බලාපොරොත්තු වෙනවා අපිත් ඒ දේම කරයි කියලා.—එෆීස 4:25; කොලොස්සි 3:9.

අපි හැම තිස්සෙම ඇත්ත කතා කරන්න ඕන ඇයි කියලා තේරුම්ගන්න මේ බයිබල් පද කියවලා බලමු. නික්මයාම 20:16; හිතෝපදේශ 6:16-19; 12:19; 14:5; 16:6; හෙබ්‍රෙව් 4:13.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න