දරුවන්ට දෙමාපියන්ගෙන් ඕනෙ මොනවාද?
දරුවෙක් මෙලොවට බිහි වන විදිහ ඇත්තෙන්ම පුදුමාකාරයි. ඒ නිසාම තමයි හුඟක් අය දරු උපත අරුමයක් විදිහට සලකන්නේ. මවකගේ කුසේ දරුවෙක් පිළිසිඳගන්නා ක්‍රියාවලියට මවත් පියාත් සම්බන්ධ වුණත් කුසේ දරුවෙක් වර්ධනය වෙන්නේ කොහොමද කියලා හරියටම තේරුම්ගන්න කාටවත්ම බැහැ.
දරුවෙක්ව බිහි කරන එක දෙමාපියන්ගේ වගකීම්වල පටන්ගැන්ම විතරයි. ළදරු කාලයේදී දරුවෙක්ට දෙමාපියන්ගේ නැත්නම් වෙනත් වැඩිහිටියන්ගේ රැකවරණය ඕනේ. හැබැයි දරුවා ටිකෙන් ටික වැඩෙද්දී එදිනෙදා අවශ්‍යතා ලබා දෙන එක විතරක් ප්‍රමාණවත් නැහැ. අවබෝධය දියුණු කරගන්න, හැඟීම් පාලනය කරගන්න, හරි වැරැද්ද අතර වෙනස හඳුනාගන්න වගේම දෙවිට ළං වෙන්න දරුවාට උදව් කරන්නත් ඕනේ.
දරුවෙක් හොඳින් හැදෙන්න වැඩෙන්න නම් ඒ අයට අත්‍යවශ්‍යම දෙයක් තියෙනවා. ඒ තමයි දෙමාපියන්ගේ ආදරය. ආදරෙයි කියලා දරුවන්ට කියන එක හොඳ දෙයක් වුණත් ඒ ආදරය ක්‍රියාවෙන් පෙන්වන එක හුඟක් වැදගත්. දෙමාපියන් දරුවන්ට හොඳ ආදර්ශයක් වෙන එකත් වැදගත්. හරි වැරැද්ද කියලා දීලා දරුවන්ට හොඳ මඟ පෙන්වීම් දෙන්න ඕනේ. ඒ දේ කරන්න පටන්ගන්න ඕනෙ දරුවන් පොඩි කාලෙදිමයි. දෙමාපියන් ඒ දේ කරන්න අසමත් වුණොත් දරුවන්ට කනගාටුදායක දේවල්වලට මුහුණ දෙන්න වෙනවා. අද රටේතොටේ වෙන දේවලින් ඒක පැහැදිලියි.
දරුවන්ට හරි වැරැද්ද කියලා දෙන්න හොඳම මඟ පෙන්වීම් තියෙන්නේ බයිබලයෙයි. ඒකෙන් ලැබෙන ප්‍රයෝජන මිල කරන්න බැහැ. බයිබලයේ තියෙන මඟ පෙන්වීම් දරුවන්ට කියලා දුන්නාම ඒ අය ඒවා සලකන්නේ මිනිසුන්ගෙන් ලැබෙන උපදෙස් විදිහට නෙවෙයි. ඔවුන්ව නිර්මාණය කරපු ස්වර්ගයේ ඉන්න දෙවි පියාණන්ගෙන් ලැබෙන උපදෙස් විදිහටයි. ඒ නිසා ඒ උපදෙස් දරුවන්ගේ හිතට කාවදිනවා.
දරුවන්ගේ හිත්වලට හොඳ මඟ පෙන්වීම් කාවද්දන්න කියලා බයිබලයේ දෙමාපියන්ව දිරිගන්වලා තියෙනවා. හැබැයි දරුවන් තේරෙන වයසට ආවාම දරුවන්ගේ ජීවිතයට බලපාන වැදගත්ම දේවල් ගැන ඒ අයත් එක්ක කතා කරන්න දෙමාපියන් පසුබට වෙනවා. ඒ තත්වය මඟහරවා ගන්න උපකාරයක් විදිහට තමයි ‘උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු’ කියන මේ පොත ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඔයාටත් ඔයාගේ දරුවන්ටත් එකට එකතු වෙලා කියවලා ඉගෙනගන්න පුළුවන් වටිනා තොරතුරු මේ පොතේ ඇතුළත් කරලා තියෙනවා. හැබැයි දරුවන්ට ඇහෙන්න මේ පොත කියවනවාට අමතරව දරුවන්ටත් අදහස් දක්වන්න අවස්ථාව දීලා එයාලාවත් හවුල් කරගන්න.
මේ පොත කියවද්දී දරුවන්වත් ඒකට සම්බන්ධ කරගන්න පුළුවන් විදිහටයි මේ පොත සකස් කරලා තියෙන්නේ. හිතලා උත්තර දෙන්න ඕන ප්‍රශ්න හුඟක් මේ පොතේ තියෙනවා. ඡේද කියවගෙන යද්දී ඉරක් (—) තියෙන තැන් ඔයා දකියි. ඒ තැන්වලදී ටිකකට නතර වෙලා ඒ ප්‍රශ්නයට උත්තරය දරුවාගෙන් අහන්න. ඒ ගැන කියන්න දරුවනුත් හුඟක් කැමති වෙයි. සාමාන්‍යයෙන් දරුවන්ව සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ නැත්නම් ඒ අයගේ අවධානය ඉක්මනින්ම වෙන දේවලට යන්න පුළුවන්.
දරුවාට යම් කාරණා ගැන හැඟෙන විදිහ තේරුම්ගන්න මේ පොතේ තියෙන ප්‍රශ්න උදව් වෙනවා. හැම අවස්ථාවකදීම දරුවන් හරි උත්තරයම දෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. මේ පොතේ ප්‍රශ්න සකස් කරලා තියෙන්නේ දරුවන්ට සිතීමේ හැකියාව වර්ධනය කරගන්න උදව් වෙන විදිහටයි.
මේ පොතේ පින්තූර 230කට වඩා තියෙනවා. හුඟක් අවස්ථාවලදී පින්තූරයට අදාළව ප්‍රශ්නයක් සඳහන් කරලා තියෙන නිසා ඒ ප්‍රශ්නත් දරුවන්ගෙන් අහන්න පුළුවන්. ඒ පින්තූරවල තියෙන තොරතුරු ගැන දරුවා එක්ක කතා කරන්න. ඉගෙනගන්න තොරතුරු හිතට කාවද්දන්න ඒක උදව් වෙයි.
දරුවා අකුරු කියවන්න ඉගෙනගත්තාට පස්සේ පොතේ තියෙන තොරතුරු ඔයාටත් ඇහෙන්න කියවන්න කියලා දරුවාට කියන්න. දරුවා ඒ තොරතුරු කියවන හැම වතාවකදීම ඒවා දරුවාගේ මනසටත් හිතටත් තදින් කාවදියි. ඔයායි දරුවායි එකතු වෙලා නොකඩවාම මේ පොත කියවන්න. එතකොට ඔයාලා අතර තියෙන ආදරයත් දරුවාගේ හිතේ ඔයා ගැන තියෙන ගෞරවයත් තවත් වැඩි වෙයි.
මීට දශක ගණනාවකට කලින් තිබුණු තත්වයට වඩා දැන් තත්වය හුඟක් වෙනස්. ලිංගික ක්‍රියා, භූතයන්ව සම්බන්ධ කරගෙන කරන දේවල් ඇතුළු තවත් අපවිත්‍ර දේවල් දැන් එළිපිටම සිද්ධ වෙනවා. ඒ දේවලින් ආරක්ෂා වෙන්න දරුවන් කරන්න ඕන දේවල් ගැන මේ පොතේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. හැබැයි වඩා වැදගත් වෙන්නේ ස්වර්ගයේ ඉන්න අපේ පියාණන් වගේම ප්‍රඥාවේ උල්පත වන යෙහෝවා දෙවි හිතන විදිහට හිතන්න දරුවන්ට උගන්වන එකයි කියලා අමතක කරන්න එපා. අපේ උතුම් ගුරුවරයා වන යේසුත් ඒ දේ කළා. පවුලක් විදිහට යෙහෝවා දෙවි කැමති විදිහට ජීවත් වෙන්නත් අනාගතයේදී සදාකාල ජීවිතය අත් කරගන්නත් මේ පොතේ තියෙන තොරතුරු ඔයාලාට උදව් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.