“විනිශ්චයේ පැය” ළං වී ඇත
“ප්‍රීතිමත් පණිවුඩයක් ලෙස ප්‍රකාශ කිරීම සඳහා සදාකාල ශුභාරංචියක්” අහස මැද පියාසර කරන දේවදූතයෙකු සතුව තිබෙන බව බයිබලයේ අවසාන පොත වන එළිදරව් පොත අපගේ අවධානයට ලක් කරයි. එම දේවදූතයා මහත් හඬින් මෙසේ කියයි. “දෙවිට භය ඇතිව සිටින්න. ඔහුව මහිමයට පත් කරන්න. මන්ද, ඔහුගේ විනිශ්චයේ පැය පැමිණ තිබේ.” (එළිදරව් 14:6, 7) ඒ ‘විනිශ්චයේ පැයට’ දෙවිගේ විනිශ්චය ගැන ප්‍රකාශ කිරීම මෙන්ම එය ක්‍රියාත්මක කිරීමද ඇතුළත් වෙයි. සාමාන්‍යයෙන් ‘පැයක්’ කියන්නේ කෙටි කාලයක්. එය උච්චාවස්ථාවට පත් වන්නේ ‘අන්තිම දවස්වලදීය.’ අපි දැන් ජීවත් වන්නේ අන්තිම දවස්වලයි.—2 තිමෝති 3:1.
“විනිශ්චයේ පැය” පැමිණීම, ධර්මිෂ්ඨකමට ඇලුම් කරන අයට ශුභාරංචියක්. එය දෙවි ඔහුගේ සේවකයන්ට අද පවතින සහාසික, කුරිරු ලෝකය මගින් ඇති කරවන දුක් වේදනාවලින් සහනය ගෙන දෙන කාලයක්.
වත්මන් දුෂ්ට සමාජ ක්රමයේ විනාශයත් සමඟ ‘විනිශ්චයේ පැය’ අවසන් වීමට කලින් ඉතිරිව තිබෙන මේ කාලයේදී “දෙවිට භය ඇතිව සිටින්න. ඔහුව මහිමයට පත් කරන්න” කියා අපෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඔබ මෙය කරමින් සිටිනවාද? “මම දෙවිව විශ්වාස කරනවා” කියා පවසනවාට වඩා වැඩි යමක් එයට ඇතුළත් වෙනවා. (මතෙව් 7:21-23; යාකොබ් 2:19, 20) දෙවි කෙරෙහි තිබෙන නිසි බිය ඔහු ගැන ගෞරවනීය හැඟීමක් අප තුළ ඇති කළ යුතුයි. අප නපුරු දේවලින් වැළකී සිටීමට එය හේතුවක් විය යුතුයි. (හිතෝපදේශ 8:13) යහපතට ප්‍රේම කරන්නත් නපුරට ද්වේෂ කරන්නත් එය අපට උපකාරවත් විය යුතුයි. (ආමොස් 5:14, 15) අප දෙවිව ගෞරවයට පත් කරනවා නම් අපි මහත් ඕනෑකමින් ඔහුට සවන් දෙනවා. ඔහුගේ වචනය වන බයිබලය නිතිපතා කියවීම අතපසු වෙන තරමටම අපි වෙනත් වැඩකටයුතුවල නිරත වන්නේ නැහැ. අපි සැමවිටම අපේ මුළු සිතින්ම ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් තබනවා. (ගීතාවලිය 62:8; හිතෝපදේශ 3:5, 6) අහසෙහි හා පොළොවෙහි මැවුම්කරු හැටියට මුළු විශ්වයේම පරමාධිපති වන්නේ ඔහු බව අවංකවම ඔහුට ගරු කරන අය පිළිගනී. තමන්ගේ ජීවිතය පාලනය කිරීමට අයිතිය තිබෙන තැනැත්තා හැටියට ඔවුන් ඔහුට යටත් වන්නේ ඔහුට තිබෙන ප්‍රේමය නිසයි. මේ කාරණා වැඩියෙන් සිතට ගත යුතුයි කියා අපට පෙනී යනවා නම්, ප්‍රමාද නොකර එසේ කරමු.
දේවදූතයා කතා කළ විනිශ්චය ක්‍රියාත්මක කිරීමේ කාලය ‘යෙහෝවාගේ දවස’ කියාද හඳුන්වයි. මේ වගේ ‘දවසක්’ ක්‍රි.පූ. 607දී පුරාණ යෙරුසලමටද උදා වුණා. මෙයට හේතු වුණේ යෙහෝවා ඔහුගේ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් දුන් අනතුරු ඇඟවීම්වලට එහි වැසියන් සවන් නොදීමයි. යෙහෝවාගේ දවස එතරම් ළඟ නැහැ කියා සිතමින් එය ප්‍රමාද කළ නිසා ඔවුන් තම ජීවිත තව තවත් අනතුරේ හෙළාගත්තා. යෙහෝවා ඔවුන්ට මෙසේ අනතුරු අඟවා තිබුණා. “ඒක . . . ළං වී වහාම එන්නේය.” (ශෙපනියා 1:14) තවත් ‘යෙහෝවාගේ දවසක්’ ක්‍රි.පූ. 539දී පුරාණ බැබිලෝනියට පැමිණුණා. (යෙසායා 13:1, 6) ඔවුන්ගේ බලකොටු හා දෙවිවරුන් ගැන විශ්වාසය තැබූ බැබිලෝනිවරුන් යෙහෝවාගේ අනාගතවක්තෘවරුන් දුන් අනතුරු ඇඟවීම් නොසලකාහැරියා. එහෙත් එක් රාත්‍රියකදී මහත් නුවරක් වූ බැබිලෝනිය මේදවරුන්ගේ හා පර්සිවරුන්ගේ අතට පත් වුණා.
අද අපි ඉදිරියේ තිබෙන්නේ කුමක්ද? අප ඉදිරියේ තවත් ‘යෙහෝවාගේ දවසක්’ තිබෙනවා. එහි බලපෑම කලින් සඳහන් කළ ඒවාට වඩා පුළුල්. (2 පේතෘස් 3:11-14) මහ බැබිලෝනියට එරෙහිව දෙවිගේ විනිශ්චය ප්‍රකාශයට පත් කර හමාරයි. එළිදරව් 18:4හි සඳහන් වන ආකාරයට ස්වර්ගයේ සිට දේවදූතයෙක් මෙසේ පවසනවා. “මහ බැබිලෝනිය වැටුණාය!” මෙය දැනටමත් සිදු වී තිබෙනවා. යෙහෝවාට නමස්කාර කරන අයට වැටකඩුලු බැඳීමට ඇයට තවදුරටත් බැහැ. ඇය කරන දූෂිත දේවල් හා යුද්ධවලට හවුල් වීම සම්බන්ධයෙන් විශාල ලෙස තොරතුරු හෙළි වී තිබෙනවා. ඇයට අත් වන අවසන් විනාශය දැන් ළඟටම ඇවිත්. මේ නිසා බයිබලය සෑම තැනකම සිටින මිනිසුන්ගෙන් මෙසේ ඕනෑකමින් ඉල්ලා සිටිනවා. “ඇගේ [මහ බැබිලෝනියේ] පාපවලට ඇයත් සමඟ හවුල් වන්නවත්, ඇයට ලැබෙන පීඩාවලින් කොටසක් ලබන්නවත් ඔබ කැමති නැත්නම් ඇගෙන් ඉවත්ව යන්න. මන්ද ඇගේ පාප ස්වර්ගය දක්වාම ගොඩගැසී ඇත. දෙවිද ඇගේ අයුතු ක්‍රියා සිහි කළේය.”—එළිදරව් 18:4, 5.
මහා බැබිලෝනිය යනු කුමක්ද? මෙය ලොව පුරා ව්‍යාප්තව පවතින ආගමික ක්රමයකි. පුරාණ බැබිලෝනිය හා බැඳි සමානකම් බොහොමයක් මෙහි දකින්න තිබෙනවා. (එළිදරව් 17, 18 පරිච්ඡේද) පහත සඳහන් සමානකම් සමහරක් සලකා බලන්න.
• පුරාණ බැබිලෝනියේ සිටි පූජකයන් දේශපාලනයට විශාල වශයෙන් සම්බන්ධ වී සිටියා. අද තිබෙන බොහෝ ආගම්වලත් මෙය දැකිය හැකියි.
• බැබිලෝනියේ සිටි පූජකයන් බොහෝ අවස්ථාවලදී යුද්ධවලට අනුබල දුන්නා. විවිධ ජාතීන් අතර යුද්ධ පවතින අවස්ථාවලදී අද තිබෙන ආගම්ද බොහෝවිට සොල්දාදුවන්ට ආශීර්වාද කිරීමේ කාර්යයේදී මූලිකත්වය ගෙන තිබෙනවා.
• පුරාණ බැබිලෝනියේ පැවති ඉගැන්වීම් හා චාරිත්‍ර වාරිත්‍ර එහි ආධිපත්‍යය යටතේ සිටි ජනයාව යොමු කළේ අනාචාරයේ බහුල ලෙස යෙදීමටයි. අද සිටින ආගමික නායකයන් සදාචාරය හා බැඳි බයිබල් ප්‍රමිති නොසලකාහැරීම නිසා පැවිද්දන් හා ගිහියන් යන දෙපිරිස අතරම අනාචාරමය ක්‍රියා බහුලව සිදු වෙනවා. මහ බැබිලෝනිය ගණිකාවක් මෙන් ලෝකය හා එහි දේශපාලන සංවිධාන සමඟ අයථා සබඳතා පවත්වන නිසා එළිදරව් පොත ඇයව වේශ්‍යාවක් ලෙස විස්තර කර තිබීම සැලකිල්ල යොමු කිරීමට වටින කාරණයක්.
• මහ බැබිලෝනිය “සුඛෝපභෝගී ජීවිතයක්” ගත කරන බවත් බයිබලයේ පවසා තිබෙනවා. පුරාණ බැබිලෝනියේ පැවති දේවස්ථාන විශාල වශයෙන් ඉඩම් හිමි කරගෙන තිබුණා. පූජකයෝ ව්‍යාපාරික කටයුතුවල ප්‍රමුඛයන් වී සිටියා. වර්තමානයේ මහ බැබිලෝනිය සතුව ආගමික සිද්ධස්ථානවලට අමතරව ව්‍යාපාර හා දේපොළ විශාල වශයෙන් තිබෙනවා. ඇගේ ඉගැන්වීම් හා ඇගේ ආගමික නිවාඩු උත්සව මගින් ඇයට මෙන්ම ව්‍යාපාරික ලෝකයටද විශාල ධනයක් ලබා දෙනවා.
• අද බොහෝ ප්‍රදේශවල දකින්නට තිබෙන්නාක් මෙන් පිළිම භාවිතය, මායාව හා මන්ත්‍ර ගුරුකම් පුරාණ බැබිලෝනියේද බහුලව තිබුණා. මරණය සැලකුවේ තවත් ආකාරයක ජීවිතයකට මාරු වන අවස්ථාවක් ලෙසයි. බැබිලෝනියේ දෙවිවරුන්ට ගරු බුහුමන් දක්වන සිද්ධස්ථානවලින් එය පිරී තිබුණා. එහෙත් බැබිලෝනිවරුන් යෙහෝවාගේ නමස්කාරකයන්ට විරුද්ධ වුණා. එම ඇදහිලි හා ව්‍යවහාරයන් මගින් මහ බැබිලෝනියද හඳුනාගත හැකියි.
පුරාණ කාලවලදී යෙහෝවා ඔහුවත් ඔහුගේ කැමැත්තත් දිගින් දිගටම නොසලකාහැරිය අයට දඬුවම් කිරීම සඳහා දේශපාලනමය හා හමුදාමය අතින් ප්‍රබල වූ ජාතීන්ව යොදාගත්තා. මේ අනුව ක්‍රි.පූ. 740දී අෂූර්වරු සමාරිය විනාශ කළා. යෙරුසලම ක්‍රි.පූ. 607දී බැබිලෝනිවරුන් අතින්ද ක්‍රි.පූ. 70දී රෝමවරුන් අතින්ද විනාශයට පත් වුණා. පසුව ක්‍රි.පූ. 539දී මේදියවරුන් හා පර්සියානුවන් විසින් බැබිලෝනිය යටත් කරගත්තා. අපේ කාලයේදී වන මෘගයෙක් මෙන් දේශපාලනික ආණ්ඩු “ගණිකාවට” පහර දී, ඇයව නිර්වස්ත්‍ර කර ඇගේ නියම ස්වභාවය හෙළි කරන බවට බයිබලය පුරෝකථනය කරනවා. ඔවුන් සම්පූර්ණයෙන්ම ඇයව විනාශ කර දැමීමට නියමිතයි.—එළිදරව් 17:16.
ලෝකයේ ආණ්ඩු ඇත්තටම එවැනි දෙයක් කරයිද? බයිබලය පවසන්නේ ‘දෙවි ඔවුන්ගේ සිත් තුළට එම අදහස දමන’ බවයි. (එළිදරව් 17:17) මෙය සිදු වන්නේ හදිසියේමයි. පුදුමසහගත ලෙසයි. සිත් කම්පාවට පත් කරමිනුයි. කලින් දැකිය හැකි වන ලෙසවත් ටිකෙන් ටිකවත් නොවේ.
ඔබ ගත යුතු පියවර මොනවාද? ඔබෙන්ම මෙසේ අසාගන්න: ‘මහ බැබිලෝනියට අයත් කොටසක් ලෙස සැලකීමට හේතු වන ඉගැන්වීම්වලින් හා චාරිත්‍ර වාරිත්‍රවලින් දූෂ්‍ය වී තිබෙන ආගමික සංවිධානයකට මම තවමත් ගැති වී සිටිනවාද?’ ඔබ එවැනි සංවිධානයක සාමාජිකයෙකු නොවුණත් ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘එහි ආකල්පවල බලපෑමට මම යට වී සිටිනවාද?’ එහි දැකිය හැකි ආකල්ප මොනවාද? සදාචාරය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්ති අනුමත කිරීම, දෙවිට වඩා භෞතික සම්පත්වලට හා සැප සෙල්ලමට ඇලුම් කිරීම (සුළුයයි පෙනෙන කාරණාවලදී පවා) දේවවචනයේ පවසා තිබෙන දේවල් හිතා මතාම නොසලකාහැරීම හා බැඳි ආකල්ප එහි දැකිය හැකියි. ඔබේ පිළිතුර ගැන හොඳින් සිතා බලන්න.
යෙහෝවාගේ අනුමැතිය ඇතුව සිටීමට අප කැමති නම්, අපි ඇත්තටම මහ බැබිලෝනියට අයත් නැති බව අපි කරන දේවලින් මෙන්ම අපේ සිතේ ආශාවලින් පෙන්වීම අතිවැදගත්. මේ සඳහා ප්‍රමාද වීමට කාලයක් නැහැ. එහි විනාශය විගස පැමිණෙන බව අපට අනතුරු අඟවමින් බයිබලය මෙසේ පවසනවා. “මහත් නුවර වන බැබිලෝනිය [වේගයෙන් පහතට] හෙළනු ලබන්නීය. නැවත කිසිදාක ඇය සම්බ නොවන්නීය.”—එළිදරව් 18:21.
තවත් දේවල් සිදුවීමට නියමිතයි. එම ‘විනිශ්චයේ පැයේදී’ සිදු වන තවත් දෙයක් වන්නේ යෙහෝවා දෙවි විසින් සමස්ත ලෝක දේශපාලනික ක්‍රමය හා එහි පාලකයන්ව විනිශ්චයට පමුණුවනු ලැබීමයි. ඔවුන්ව පමණක් නොවෙයි, යේසුස් ක්‍රිස්තුස්ට භාර දී තිබෙන ඔහුගේ ස්වර්ගික රාජ්‍යය මගින් නියෝජනය කරන ඔහු සතු පාලන අයිතිය ගණනකට නොගන්න සියලුදෙනාවද ඔහු විනිශ්චයට පත් කිරීමට නියමිතයි. (එළිදරව් 13:1, 2; 19:19-21) පුරාණ බැබිලෝනියේ සිට අද දක්වා පැවතෙන පාලන ක්‍රම දානියෙල් 2:20-45 දක්වා වාර්තා කර තිබෙන අනාවැකිමය දර්ශනයෙහි දැක්වෙන රන්, රිදී, පිත්තල, යකඩ හා මැටි යනාදියෙන් සෑදුණු දැවැන්ත රූපයකින් නිරූපණය වෙනවා. අපේ කාලය සම්බන්ධයෙන් එම අනාවැකියේ මෙසේ සඳහන් වුණා. “ස්වර්ගයේ දෙවි කිසි කලකත් විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවන්නේය.” යෙහෝවාගේ ‘විනිශ්චයේ පැය’ ක්‍රියාත්මක වන කාලයේදී එම රාජ්‍යය මගින් කරනු ඇති දෙය ගැන බයිබලයේ මෙසේ සඳහන් කරනවා. “ඒ රාජ්‍යය [මිනිසුන් පිහිටුවා තිබෙන] . . . සියලු රාජ්‍යයන් කැබලි කොට නාස්ති කර සදාකාලේටම පවත්නේය.”—දානියෙල් 2:44.
“ලෝකයේ තිබෙන දේවල්වලට” ප්‍රේම කිරීමට එරෙහිව බයිබලය සැබෑ නමස්කාරකයන්ට අනතුරු අඟවනවා. ලෝකයේ තිබෙන දේවල් යනුවෙන් අදහස් වන්නේ සැබෑ දෙවිගෙන් ඈත්ව තිබෙන මේ ලෝකය මගින් දිරිගන්වනු ලබන ජීවන රටාවයි. (1 යොහන් 2:15-17) ඔබ සම්පූර්ණයෙන්ම දෙවිගේ රාජ්‍යයට පක්ෂපාත කෙනෙක් බව ඔබ ගන්නා තීරණවලින් හා ඔබ කරන දේවලින් පෙනෙන්න තිබෙනවාද? ඔබේ ජීවිතයේ මුල් තැන ඔබ ඇත්තටම එයට දෙනවාද?—මතෙව් 6:33; යොහන් 17:16, 17.
[14වන පිටුවේ කොටුව]
අවසානය පැමිණෙන්නේ කවදාද?
“ඔබ නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එන්නේය.”—මතෙව් 24:44.
“සෝදිසියෙන් සිටින්න. මන්ද, ඔබ දවසවත් පැයවත් දන්නේ නැත.”—මතෙව් 25:13.
“ඒක සැබවින් ප්‍රමාද නොවී එන්නේය.”—හබක්කුක් 2:3.
[14වන පිටුවේ කොටුව]
එය ඔබ දැන සිටියා නම් ඔබ ජීවත් වන ආකාරයේ යම් වෙනසක් වෙයිද?
ළඟදීම පැමිණීමට නියමිතව තිබෙන දෙවිගේ විනිශ්චය තව අවුරුදු කිහිපයක් යන තුරු පැමිණෙන්නේ නැහැ කියා ඔබ ස්ථිරවම දැනගන්නේ නම් ඔබ ජීවත් වන ආකාරයෙහි යම් වෙනසක් වෙයිද? පහවීමට නියමිත මේ සමාජ ක්රමයේ අවසානය ඔබ සිතුවාට වඩා ප්‍රමාද වෙනවා නම්, ඔබ යෙහෝවාට කරන සේවය අඩු කිරීමට එය හේතුවක් කරගෙන තිබෙනවාද?—හෙබ්‍රෙව් 10:36-38.
අවසානය පැමිණෙන නියමිත වේලාව අප නොදන්නා නිසා අපි දෙවිට සේවය කරන්නේ පිරිසිදු චේතනාවෙන් බව පෙන්වීමට අපට ප්‍රස්තාව උදා වී තිබෙනවා. අවසන් මොහොතේ දැඩි උද්යෝගයක් පෙන්වූ පමණින් දෙවිගේ සිත දිනාගත නොහැකි බව යෙහෝවාව දන්න අය තේරුම්ගෙන තිබෙනවා. මන්ද දෙවි බාහිරයට ඔබ්බෙන් සිත පරීක්ෂා කර බලන නිසයි.—යෙරෙමියා 17:10; හෙබ්‍රෙව් 4:13.
අවංකවම යෙහෝවාට ප්‍රේම කරන අයගේ ජීවිතවල සැමවිටම මුල් තැන හිමි වන්නේ ඔහුටයි. වෙනත් අය වගේ සැබෑ ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක්ද රැකියා කරනවා. කෙසේවෙතත් ඔවුන්ගේ ඉලක්කය වන්නේ ධනවත් වීම නොව, ප්‍රමාණවත් ලෙස ද්‍රව්‍යමය අවශ්‍යතා සපුරාගැනීම හා අනිත් අය සමඟ බෙදාගැනීම සඳහා යමක් වෙන් කර තබාගැනීමයි. (එෆීස 4:28; 1 තිමෝති 6:7-12) ඔවුන්ද ප්‍රයෝජනදායක විනෝදාංශවල නිරත වෙමින් ප්‍රීති වෙනවා. ඒ වගේම ඔවුන් ඉඳහිට තම දෛනික දිනචර්යාවෙන් බැහැරව වෙනත් දේවලද නිරත වෙනවා. එහෙත් ඔවුන්ගේ ආශාව වන්නේ යම් ප්රබෝධයක් ලැබීම මිසක් හැමදෙනාම කරන දේවල් කිරීම නොවෙයි. (මාක් 6:31; රෝම 12:2) යේසුස් ක්‍රිස්තුස් වගේ ඔවුනුත් ප්‍රිය කරන්නේ දෙවිගේ කැමැත්ත කිරීමටයි.—ගීතාවලිය 37:4; 40:8.
සැබෑ ක්‍රිස්තියානීන්ගේ ආශාව වන්නේ සදහටම ජීවත් වෙමින් යෙහෝවාට සේවය කිරීමයි. ඇතැම් ආශීර්වාද භුක්ති විඳීම සඳහා සමහරුන් අපේක්ෂා කළාට වඩා ටිකක් වැඩි කාලයක් බලා සිටීමට සිදු වී තිබුණත් එම බලාපොරොත්තුවේ අගය හීන වී නැත.
[15වන පිටුවේ කොටුව⁄පින්තූරය]
පරමාධිපත්‍යය පිළිබඳ වාද විෂය
මිනිසුන්ට බොහෝ දුක් වේදනා විඳීමට දෙවි ඉඩහැරීමට හේතුව තේරුම්ගැනීමට නම් පරමාධිපත්‍යය සම්බන්ධයෙන් ඉස්මතු වී ඇති වාද විෂය අපි තේරුම්ගැනීම අවශ්‍යයි. පරමාධිපත්‍යය යනු කුමක්ද? ආධිපත්‍යය හෙවත් බලය ඉහළම මට්ටමින් හෙබවීම ඉන් අදහස් වෙනවා.
යෙහෝවා මැවුම්කරු නිසා මුළු පොළොවත් එහි වාසය කරන සියල්ලන්වමත් පාලනය කරන්න ඔහුට අයිතිය තිබෙනවා. කෙසේවෙතත් මිනිස් ඉතිහාසයේ මුල් අවදියේදී යෙහෝවාගේ පරමාධිපත්‍යය ප්‍රශ්නයට ලක් කරනු ලැබූ බව බයිබලය පැහැදිලි කරනවා. යෙහෝවා ඕනෑවට වඩා සීමා තහංචි පනවා තිබෙන බවත් අපේ මුල් දෙමාපියන් දෙවිගේ නීති නොසලකාහැර, තමන්ට ඕන විදිහට ක්‍රියා කිරීමෙන් ඔවුන්ට සිදු වනු ඇති බවට යෙහෝවා ඔවුන්ට පැවසූ දේවල් බොරු බවත් සාතන් නමැති යක්ෂයා කියා සිටියා. ඔවුන් දෙවිගෙන් ඈත් වී තමන්ව පාලනය කරගැනීමෙන් වැඩි යහපතක් සිදු වන බවද ඔහු කියා සිටියා.—උත්පත්ති 2, 3 පරිච්ඡේද.
දෙවි කැරලිකරුවන්ව විගස විනාශ කර දැමුවා නම් එයින් ඔහුගේ බලය දැකගන්න තිබුණා. එහෙත් මතු කරන ලද ප්‍රශ්නවලට විසඳුම එය නොවේ. කැරලිකරුවන්ව ඒ මොහොතේදීම විනාශ කර දමනවා වෙනුවට, කැරලිගැසීමේ ප්‍රතිවිපාක සියලුම මිනිසුන්ට මෙන්ම දේවදූතයන්ටද දැකගැනීමට යෙහෝවා ඉඩහැරියා. මේ නිසා දුක් වේදනා විඳීමට සිදු වුවත් මෙලොව එළිය දැකීමට අපට අවස්ථාව ලැබුණේ ඔහු එසේ ඉඩහැරිය නිසයි.
එපමණක්ද නොව, යෙහෝවා විශාල කැප කිරීමක් කර ප්‍රේමණීය ලෙස විධිවිධානයක්ද පිළියෙල කළා. එසේ කළේ ඔහුට කීකරු වන හා ඔහුගේ පුත්‍රයාගේ මිදීමේ මිල පූජාව කෙරෙහි ඇදහිල්ල තබන මිනිසුන්ට පාපයෙන් හා එහි ප්රතිවිපාකවලින් නිදහස් වී පාරාදීස පොළොවක ජීවත් වීමේ ප්‍රස්තාව උදා කර දීම සඳහායි. අවශ්‍ය නම් මරණයට පත් වූ අයව නැවත නැඟිටවීමෙන් ඔවුන්ටද එවැනි ජීවිතයක් ලබා දිය හැකියි.
මතු කර තිබෙන වාද විෂය විසඳීමට දෙවි කාලයට ඉඩහැර තිබෙනවා. මේ නිසා ඔහු පෙන්වා තිබෙන ප්‍රේමය තමන් අගය කරන බවත් ඕනෑම තත්වයක් යටතේ යෙහෝවාට තම විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගැනීමට තමන්ට හැකි බවත් පෙන්වීමට ඔහුගේ සේවකයන්ට ප්‍රස්තාව ලැබී තිබෙනවා. දෙවිගේ පරමාධිපත්‍යය පිළිබඳ වාද විෂය හා මිනිසුන් තම විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගනීද යන්න පිළිබඳ මතු කරන ලද ප්රශ්නය නිරාකරණය කිරීම අතිවැදගත් දෙයකි. මන්ද මුළු විශ්වය පුරාම දෙවිගේ නීතිවලට නිසි ගෞරවයක් තිබෙනු ඇත්තේ එවිට පමණයි. එසේ නොවුණොත් කවදාවත් සැබෑ සාමයක් ඇති වෙන්නේ නැහැ.a
[පාදසටහන]
a මෙම වාද විෂයන් හා ඒවායේ සැබෑ තත්වය ගැන යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන යෙහෝවාට ළං වන්න නමැති පොතේ විස්තරාත්මකව සාකච්ඡා කර තිබෙනවා.
[පින්තූරය]
සමස්ත ලෝක දේශපාලනික ක්‍රමය අවසන් වීමට නියමිතයි