19වෙනි පරිච්ඡේදය
සැමදා දෙවිගේ ප්‍රේමය ලබාගන්න
දෙවි කෙරෙහි අපට ඇති ප්‍රේමය පෙන්විය හැක්කේ කෙසේද?
සැමදා දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට අපට හැක්කේ කෙසේද?
සැමදා දෙවිගේ ප්‍රේමය ලබන අයට දෙවි දෙන ත්‍යාගය කුමක්ද?
මේ අනතුරු සහිත කාලයේදී ඔබ යෙහෝවා දෙවිව රක්ෂස්ථානයක් කරගන්නවාද?
1, 2. මේ අනතුරුසහිත කාලයේ අපට ආරක්ෂාව සපයන්නේ කවුද?
ඔබ පාරේ ඇවිදගෙන යන විට අහස අඳුරු වලාකුළුවලින් බර වෙනවා ඔබ දකිනවා. විදුලි කොටමින් මහ හඬින් අහස ගිගුරුම් දෙනවා. වැඩි වේලාවක් යන්න කලින් ධාරානිපාත වැස්සක් කඩා හැළෙනවා. දැන් ඔබ වැස්සෙන් නොතෙමී ආරක්ෂාසහිතව සිටිය හැකි තැනක් ඉක්මනින් සොයනවා. ඔබ කලබලයෙන් වටපිට බලන විට විශාල ගොඩනැඟිල්ලක් ඔබේ නෙත ගැටෙනවා. ඔබ ඉක්මනින් ඒ වෙතට දුවගෙන යනවා. ඒ ස්ථානය ඔබට මේ අවස්ථාවේදී කොතරම් ප්‍රයෝජනවත් වුණාද!
2 අප ජීවත් වන කාලයත් ඒ හා සමානයි. ලෝකයේ තත්වය දවසින් දවස නරක අතට හැරෙනවා. නොසිතූ මොහොතක අපටත් දරුණු දේවලට මුහුණ දෙන්න සිදු විය හැකියි. නමුත් අපට ආරක්ෂාව ලැබෙන තැනක් තිබෙනවා. ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “ඔබ මාගේ රැකවරණයය. මාගේ බලකොටුවය. මා විශ්වාසය තබන මාගේ දෙවිය.”—ගීතාවලිය 91:2.
3. යෙහෝවා දෙවිව අපේ රක්ෂස්ථානය කරගැනීමට නම් අප කළ යුත්තේ කුමක්ද?
3 ඇත්තෙන්ම කිසි දෙයකට හෝ කිසි කෙනෙකුට සම කළ නොහැකි අසීමිත බලයක් තිබෙන විශ්වයේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිට හැකියි අපට ආරක්ෂාව සපයා දෙන්න. අපට යම් හානියක් සිදු වුණත් එහි සියලුම අහිතකර ප්‍රතිඵල ඉවත් කර දමන්න යෙහෝවා දෙවිට පුළුවන්. එසේනම් යෙහෝවා දෙවිව අපේ රක්ෂස්ථානය කරගැනීම මොන තරම් ඥානවන්ත දෙයක්ද! අප එසේ කරන්නේ කෙසේද? අප ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති කරගත යුතුයි. එමෙන්ම බයිබලයේ අපට උනන්දු කරන්නේ, “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න” කියායි. (යූද් 21) අපේ පියාණන් වන යෙහෝවා දෙවිගේ ප්‍රේමය සැමදා ලැබීමට නම් ඔහු සමඟ අපට තිබෙන කිට්ටු මිත්‍රත්වය දිගටම රැකගත යුතුයි. අප එසේ කරනවා නම් ඔහු අපට රක්ෂස්ථානයක් වන බව ස්ථිරයි. දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය අපට රැකගත හැක්කේ කෙසේද?
දෙවි පෙන්වා තිබෙන ප්‍රේමය අගය කරන්න
4, 5. යෙහෝවා දෙවි අපට ප්‍රේමය පෙන්වා තිබෙන්නේ කෙසේද?
4 දෙවි සමඟ අපට තිබෙන මිත්‍රත්වය රැකගනිමින් ඔහුගේ ප්‍රේමය සැමදා ලැබීමට නම් දෙවි අපට ප්‍රේමය පෙන්වන ආකාර අප අගය කළ යුතුයි. උදාහරණයකට ඔබ මේ පොතෙන් ඉගෙනගත් බයිබලයේ සඳහන් ඉගැන්වීම් කිහිපයක් ගැන සිතා බලන්න. අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි අප වෙනුවෙන්ම මේ පොළොව සූදානම් කර ආහාර, ජලය හා වෙනත් සම්පත්වලින් එය පුරවා තිබෙනවා. මේ පොළොව කොතරම් අලංකාර තැනක්ද! එය විවිධාකාර සතුන්ගෙන්, සුන්දර ප්‍රදේශවලින් පිරී පවතිනවා. බයිබලයත් දෙවි අපට ලබා දී තිබෙන ප්‍රේමණීය සැපයුමක්. දෙවිගේ නාමය ගැනත් ඔහුගේ ගතිගුණ ගැනත් අපට එයින් ඉගෙනගත හැකියි. එමෙන්ම අප වෙනුවෙන් දුක් විඳ මිය යෑම සඳහා දෙවි තම ප්‍රේමණීය පුත්‍රයා වන යේසුස්ව මේ පොළොවට එවූ බවත් එහි සඳහන් වෙනවා. (යොහන් 3:16) යේසුස් අප වෙනුවෙන් තම ජීවිතය පූජා කළ නිසා අපට තිබෙන්නේ මොන තරම් ප්‍රීතිමත් බලාපොරොත්තුවක්ද!
5 ඒ බලාපොරොත්තුව ඉටු වන්නෙත් දෙවි අප වෙනුවෙන් කර තිබෙන තවත් දෙයක් මාර්ගයෙනුයි. එය නම් ස්වර්ගයේ දෙවි පිහිටුවා තිබෙන දේවරාජ්‍යයයි. එය ළඟදීම දුක් වේදනා සියල්ල නැති කර දමා පොළොව පාරාදීසයක් බවට පත් කරනවා. ඒ කාලයේදී අපට ප්‍රීතියෙන් මේ පොළොව මත සදහටම ජීවත් විය හැකියි. (ගීතාවලිය 37:29) එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන මඟ පෙන්වීම්ද දෙවි අපට ලබා දී තිබෙනවා. අපේ ජීවිත සාර්ථකව ගත කිරීමට ඒ මඟ පෙන්වීම් අපට උපකාරවත් වෙනවා. දෙවි අපට දී තිබෙන තවත් වටිනා දෙයක් වන්නේ ඕනෑම වේලාවක නිදහසේ ඔහු සමඟ කතා කිරීමට තිබෙන ප්‍රස්තාවයි. යෙහෝවා දෙවි මුළු මිනිස් වර්ගයාට සහ පෞද්ගලිකව ඔබට ප්‍රේමය පෙන්වා තිබෙන ආකාරවලින් ඒවා කිහිපයක් පමණයි.
6. දෙවි පෙන්වා තිබෙන ප්‍රේමයට අගය පෙන්විය හැක්කේ කෙසේද?
6 මෙතරම් ප්‍රේමයක් පෙන්වා තිබෙන යෙහෝවා දෙවිට අපේ අගය පෙන්විය හැක්කේ කෙසේද? ඒ ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.” (මතෙව් 22:37) ඉන් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවිට ප්‍රේම කිරීමෙන් අපේ අගය අපට පෙන්විය හැකි බවයි. නමුත් ඒ ප්‍රේමය නිකම්ම හැඟීමකට පමණක් සීමා නොවිය යුතුයි. ඒ වෙනුවට අප මුළු හදවතින්ම දෙවිට ප්‍රේම කළ යුතුයි. එමෙන්ම ඒ ප්‍රේමය අප ජීවත් වන ආකාරයෙන් හා අප සිතන පතන දේවලින් පිළිබිඹු විය යුතුයි.
7. දෙවි කෙරෙහි තිබෙන ප්‍රේමය හැඟීමකට පමණක් සීමා නොවිය යුත්තේ ඇයි?
7 දෙවි සඳහා ප්‍රේමයක් අපට මුලින් ඇති වූ විට එය අපේ හැඟීම්වලට බලපාන බව ඇත්තයි. නමුත් ඒ හැඟීම ප්‍රේමයේ ආරම්භය පමණයි. උදාහරණයකට ඇපල්වලින් පිරී තිබෙන ගසක් ගැන සිතන්න. ඒ ඇපල් ගස ඇති වුණේ කුඩා ඇටයකිනුයි. ඒ ඇටය කොතරම් වැදගත් කාර්යයක් ඉටු කළත් ඇපල් ගෙඩියක් කන්න කැමති වේලාවක කෙනෙකු ඔබට ඇපල් ඇටයක් දුන්නොත් ඔබ ඒ ගැන සතුටු වෙනවාද? යෙහෝවා දෙවි කෙරෙහි ඔබට මුලින් ඇති වන ප්‍රේමයේ හැඟීම ඒ ඇපල් ඇටයට සමාන කළ හැකියි. නමුත් පලවලින් පිරුණු ගසක් මෙන් වැඩීමට නම් ප්‍රේමයෙන් පෙලඹී ක්‍රියා කිරීම අවශ්‍යයි. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය. ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.” (1 යොහන් 5:3) ඒ අනුව කෙනෙකුට දෙවි කෙරෙහි අවංක ප්‍රේමයක් තිබෙනවා නම් එය ඔහුගේ ක්‍රියාවලින් දැකිය හැකියි.—මතෙව් 7:16-20 කියවන්න.
8, 9. අප දෙවිට ප්‍රේම කරන බවත් ඔහු කර තිබෙන දේවල් අගය කරන බවත් පෙන්විය හැක්කේ කෙසේද?
8 අප දෙවිට ප්‍රේම කරන බව ඔහුගේ ආඥා පිළිපැදීමෙන් හා ඔහු දී තිබෙන ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීමෙන් පෙන්විය හැකියි. යෙහෝවා දෙවි අපට ආඥා හා ප්‍රතිපත්ති ලබා දී තිබෙන්නේ අප මත බරක් පැටවීමේ අරමුණින් නොව සතුටින් පිරී ජීවිතයක් ගත කිරීමට අපට උපකාර කිරීම සඳහායි. (යෙසායා 48:17, 18) අපේ පියාණන් වන යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වීමෙන් ඔහු අප වෙනුවෙන් කර තිබෙන සෑම දෙයක් සඳහා අපේ අගය පෙන්වීම කොතරම් වැදගත්ද! නමුත් අද එසේ කරන්නේ අතළොස්සක් පමණයි. යේසුස් පොළොවේ සිටි කාලයේදී ජීවත් වූ සමහර අයද ඔහු ඔවුන් වෙනුවෙන් කළ යහපත් දේවල් අගය කළේ නැහැ. උදාහරණයකට යේසුස් ලාදුරු රෝගීන් දසදෙනෙකුව සුව කළත් ඔහුට ස්තුති කළේ එක් කෙනෙකු පමණයි. (ලූක් 17:12-17) අපත් කැමති වන්නේ එම ස්තුතිවන්ත වූ පුද්ගලයා මෙන් වීමට මිස ස්තුතිවන්ත නොවූ නවදෙනා මෙන් වීමට නොවෙයි.
9 යෙහෝවා දෙවි අපට දී තිබෙන මඟ පෙන්වීම් මොනවාද? මේ පොත පාඩම් කරන විට ඒවායින් බොහොමයක් ගැන අපි ඉගෙනගත්තා. දැන් අපි ඉන් කිහිපයක් ගැන නැවත සලකා බලමු. මන්ද දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වීමෙන් ඔහුගේ ප්‍රේමය සැමදා ලබාගන්න අපට හැකියි.
දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න
10. දිගටම දෙවිව දැන හඳුනා ගැනීම අත්‍යවශ්‍ය දෙයක් වන්නේ ඇයි? පැහැදිලි කරන්න.
10 දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට ඔහු ගැන තව තවත් ඉගෙනගැනීම ඉතා වැදගත්. එය දිගටම කළ යුතු දෙයක්. උදාහරණයකට ඉතා සීතල රාත්‍රියක ගිනි ගොඩක් අසල ඔබ උණුසුම ලබමින් සිටිනවා නම් ඒ ගින්න නිවී යෑමට ඔබ ඉඩ නොදී එය දිගටම ඇවිළීම සඳහා තව තවත් එයට දර දමන බව නිසැකයි. මන්ද අධික සීතලෙන් ඔබේ ජීවිතය ආරක්ෂා කරන්නේ ඒ ගින්නෙන් ලැබෙන උණුසුමයි. ගින්නක් දිගටම ඇවිළීම සඳහා දර අවශ්‍ය වන ලෙසම දෙවි සමඟ අපට තිබෙන කිට්ටු මිත්‍රත්වය දිගටම පවත්වාගැනීම සඳහා දිගටම, ‘දෙවිව දැන හඳුනා ගැනීම’ අත්‍යවශ්‍යයි.—හිතෝපදේශ 2:1-5.
ගින්නක් දිගටම ඇවිළීම සඳහා දර අවශ්‍ය වන ලෙසම යෙහෝවා දෙවි කෙරෙහි ඔබට තිබෙන ප්‍රේමය දිගටම පවත්වාගැනීමට නම් ඔබ කළ යුත්තේ කුමක්ද?
11. යේසුස් තේරුම් කර දුන් දේවල් ඔහුගේ ගෝලයන්ට බලපෑවේ කෙසේද?
11 යේසුස් පවා කැමති වුණේ ඔහුගේ ගෝලයන් යෙහෝවා දෙවි සමඟ සැමදා කිට්ටු මිත්‍රත්වයක් භුක්ති විඳිනවා දකින්නයි. බයිබලයේ අඩංගු අනර්ඝ සත්‍යයන් කෙරෙහි ඔවුන්ට තිබුණු ඇල්ම තව තවත් වැඩි වෙනවා දැකීමටත් ඔහු කැමති වුණා. ඒ නිසයි ඔහු නැවත නැඟිටීමෙන් පසුව පවා ඔහුගේ ගෝලයන් දෙදෙනෙකුට හෙබ්‍රෙව් ලියවිලිවල තමා ගැන පවසා තිබූ කාරණා කිහිපයක් ගැන තේරුම් කර දීමට කාලය ගත්තේ. යේසුස් තේරුම් කර දුන් ඒ කාරණා ඔවුන් දෙදෙනාට බලපෑවේ කෙසේද? ඒ ගැන ඔවුන්ම මෙසේ පැවසුවා. “අප පාර දිගේ එන විට ඔහු අපට ශුද්ධ ලියවිල්ලේ දේවල් කොතරම් හොඳින් පැහැදිලි කර දුන්නාද! ඔහු කතා කළ විට අපේ සිත් මොන තරම් සතුටකින් පිරී ගියාද!”—ලූක් 24:32.
12, 13. (අ) අද සිටින බොහෝදෙනෙකු ගැන යේසුස් පැවසුවේ කුමක්ද? (ආ) දෙවි කෙරෙහි අපට තිබෙන ප්‍රේමය හීන වී යෑමට ඉඩ නොදීම සඳහා අපට කළ හැක්කේ මොනවාද?
12 බයිබලයේ සඳහන් සත්‍යයන් ඔබ මුලින්ම ඉගෙනගත් කාලයේදී ඔබටත් මහත් ප්‍රීතියක් හා උද්‍යෝගයක් ඇති වන්න ඇති. යෙහෝවා දෙවි කෙරෙහි ප්‍රේමයක්ද ඔබ තුළ ඇති වූ බවට සැකයක් නැහැ. නමුත් ඔබට ඇති වූ ඒ ප්‍රේමය දිගටම පවත්වාගනිමින් එය තව තවත් වර්ධනය කරගැනීම එතරම් ලෙහෙසි දෙයක් නොවෙයි. මන්ද මේ කාලයේ ජීවත් වන මිනිසුන්, ‘බොහෝදෙනෙකුගේ ප්‍රේමය හීන වී යන’ බව යේසුස් කලින්ම පවසා තිබුණා. (මතෙව් 24:12) නමුත් එවැනි දෙයක් අප සම්බන්ධයෙන් සිදු නොවීමට කළ හැක්කේ මොනවාද?
13 යෙහෝවා දෙවි ගැනත් යේසුස් ක්‍රිස්තුස් ගැනත් දිගටම ඉගෙනගන්න. (යොහන් 17:3) බයිබලයෙන් ඔබ ඉගෙනගන්නා දේවල් ගැන ගැඹුරින් සිතා බලන්න. එසේ කිරීම සඳහා මෙම ප්‍රශ්න ඔබෙන් අසාගැනීම ඔබට ප්‍රයෝජනවත් වෙයි. ‘මා දැන් කියෙවූ කොටසින් මට යෙහෝවා දෙවි ගැන ඉගෙනගත හැක්කේ කුමක්ද? ඔහුට මගේ මුළු හදවතින් ප්‍රේම කිරීමටත් මා ජීවත් වන ආකාරයෙන් හා සිතන පතන ආකාරයෙන් ඒ ප්‍රේමය තවත් හොඳින් පෙන්වීමටත් මේ තොරතුරු උපකාරවත් වන්නේ කෙසේද?’ (1 තිමෝති 4:15 කියවන්න.) බයිබලය නිකම්ම උඩින් පල්ලෙන් කියවනවා වෙනුවට එලෙස ගැඹුරින් සිතා බැලීමෙන් යෙහෝවා දෙවි කෙරෙහි ඔබට තිබෙන ප්‍රේමය තව තවත් වර්ධනය කරගැනීමට ඔබට හැකියි.
14. දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය දිගටම පවත්වාගැනීමට යාච්ඤාව උපකාරවත් වන්නේ කෙසේද?
14 යෙහෝවා දෙවි කෙරෙහි ඔබට තිබෙන ප්‍රේමය හීන වී නොයෑම සඳහා කළ හැකි තවත් දෙයක් නම් නිතිපතා ඔහුට යාච්ඤා කිරීමයි. (1 තෙසලෝනික 5:17) යාච්ඤාව දෙවිගෙන් ලැබී තිබෙන උතුම් වරප්‍රසාදයක් බව අපි 17වෙනි පරිච්ඡේදයේදී ඉගෙනගත්තා. යම් කෙනෙකු සමඟ අපට තිබෙන මිත්‍රත්වය ශක්තිමත් වන්නේ ඒ පුද්ගලයා සමඟ නිතිපතා කතාබහ කිරීමෙනුයි. ඒ හා සමානව යෙහෝවා දෙවි සමඟ අපට තිබෙන මිත්‍රත්වයත් ශක්තිමත් වන්නේ යාච්ඤාව මගින් ඔහු සමඟ නිතිපතා කතා කිරීමෙනුයි. යාච්ඤා කරන විට එකම දේ කිසි තේරුමක් නැතුව නැවත නැවත පැවසීම සුදුසු දෙයක් නොවෙයි. අප යෙහෝවා දෙවි සමඟ කතා කළ යුත්තේ දරුවෙකු තම ආදරණීය පියාට කතා කරනවා හා සමානවයි. අප ඔහුට ගෞරවයෙන් යුතුව අපේ හදවතේ තිබෙන දේවල් අවංකව පැවසිය යුතුයි. (ගීතාවලිය 62:8) අප ඉගෙනගත් ආකාරයට බයිබලය පෞද්ගලිකව අධ්‍යයනය කිරීම හා දෙවිට මුළු හදවතින් යාච්ඤා කිරීම අපේ නමස්කාරයේ අතිවැදගත් අංග දෙකක්. දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගනිමින් සැමදා දෙවිගේ ප්‍රේමය ලබාගන්න එය අපට උපකාරවත් වෙනවා.
සැබෑ නමස්කාරයේදී ප්‍රීතිය ලැබිය හැකි අයුරු
15, 16. ශුභාරංචිය දේශනා කිරීම වරප්‍රසාදයක් හා අනර්ඝ වස්තුවක් ලෙස අප සැලකිය යුත්තේ ඇයි?
15 අපේ නමස්කාරයට ඇතුළත් අංග දෙකක් වන බයිබලය අධ්‍යයනය කිරීම හා යාච්ඤා කිරීම අප කරන්නේ පෞද්ගලිකවයි. සැබෑ නමස්කාරයේ හවුල් වන විට අප ප්‍රසිද්ධියේ කරන දෙයක් ගැන දැන් සලකා බලමු. එනම් අප විශ්වාස කරන දේවල් ගැන අන් අය සමඟ කතා කිරීමයි. බයිබලයේ සඳහන් සත්‍යයන් ගැන ඔබ මේ වන විටත් අන් අය සමඟ කතා කර තිබෙනවාද? ඔබ එසේ කරන විට ඔබත් හවුල් වන්නේ සැබෑ ක්‍රිස්තියානීන්ට යේසුස් භාර දුන් දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමේ විශේෂ කාර්යයටයි. (මතෙව් 24:14; 28:19, 20 කියවන්න.) එය ඇත්තෙන්ම මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද!—ලූක් 1:74.
16 පාවුල් ඒ කාර්යය සැලකුවේ අනර්ඝ වස්තුවක් ලෙසයි. (2 කොරින්ති 4:7) ඇත්තෙන්ම ඔබට කළ හැකි හොඳම සේවය වන්නේ යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් අන් අය සමඟ කතා කිරීමයි. මන්ද ඔබ එය කරන්නේ විශ්වයේ සිටින හොඳම ස්වාමියා වෙනුවෙනුයි. ඉන් ලැබෙන ආශීර්වාද කියා නිම කළ නොහැකියි. අපගේ පියාණන් සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමටත් සදාකාල ජීවනයට යන මාර්ගයට පිවිසීමටත් ජනයාට උපකාර කරන්න එමගින් ඔබට හැකියි. එමෙන්ම යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ වචනය වන බයිබලය ගැනත් අන් අයට කියා දීමෙන් ඔබේ විශ්වාසය තව තවත් ශක්තිමත් වන අතර දෙවි කෙරෙහි ඔබට තිබෙන ප්‍රේමයද තවත් වර්ධනය වෙනවා. දෙවිට සේවය කිරීමට ඔබ දරන වෑයම ඔහු කිසිදාක අමතක නොකරන බව නිසැකයි. (හෙබ්‍රෙව් 6:10) මහත් උද්‍යෝගයකින් ඒ සේවයේ දිගටම හවුල් වීමෙන් සැමදා දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට ඔබට හැකියි.—1 කොරින්ති 15:58 කියවන්න.
17. ශුභාරංචිය දේශනා කිරීම හදිසි කාර්යයක් වන්නේ ඇයි?
17 දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීම ඉතා හදිසි කාර්යයක් බව අප මතක තබාගත යුතුයි. ඒ ගැන බයිබලයේ මෙසේ පවසනවා. “දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න. . . . එම කාර්යයෙහි නොකඩවා උදාසීන නොවී උද්‍යෝගයෙන් නිරත වන්න.” (2 තිමෝති 4:2) මේ කාලයේදී එය කල් නොදමා ඉක්මනින් කළ යුතු දෙයක් වන්නේ, “යෙහෝවා දෙවිගේ මහත් දවස ළං වී තිබේ. ඒ දවස ඉතා ඉක්මනින් පැමිණෙන්නේය” කියා බයිබලයේ අපට පවසා තිබෙන නිසයි. (ශෙපනියා 1:14) යෙහෝවා දෙවි දැන් පවතින දුෂ්ට සමාජය විනාශ කර දමන කාලය ඉතා ආසන්නයි. ඒ නිසා මිනිසුන්ට ඒ ගැන ඉතා ඉක්මනින් දැනුම් දිය යුතුයි. තම පාලකයා ලෙස යෙහෝවා දෙවිව තෝරාගැනීමට කාලය දැන් බව ඔවුන් දැනගැනීම අත්‍යවශ්‍ය දෙයක්. මන්ද බයිබලයේ තවදුරටත් පවසන්නේ අවසානය, “ප්‍රමාද නොවන්නේය” කියායි.—හබක්කුක් 2:3.
18. සැබෑ ක්‍රිස්තියානීන් සමඟ එක්ව ප්‍රසිද්ධියේ අප දෙවිට නමස්කාර කළ යුත්තේ ඇයි?
18 යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වන තවත් දෙයක් වන්නේ සැබෑ ක්‍රිස්තියානීන් සමඟ එක්ව ප්‍රසිද්ධියේ නමස්කාරයේ හවුල් වීමයි. ඒ ගැන බයිබලයේ මෙසේ පවසනවා. “අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවමු. සමහරුන් පුරුදු වී සිටින ආකාරයට එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමටද අප වගබලා ගත යුතුයි. එලෙසම අපි එකිනෙකාව දිරිගන්වමු. ඒ මහත් දවස ළඟා වන බව අපට පැහැදිලිව පෙනෙන නිසා වැඩි වැඩියෙන් එසේ කරමු.” (හෙබ්‍රෙව් 10:24, 25) අප එකට රැස් වන විට අපේ සහෝදර සහෝදරියන් සමඟ එක්ව අපේ ප්‍රේමණීය දෙවිට නමස්කාර කිරීමටත් ප්‍රශංසා කිරීමටත් අපට කදිම අවස්ථාවක් ලැබෙනවා. එමෙන්ම එකිනෙකාව දිරිගැන්වීමටත් එහිදී අපට අවස්ථාව සැලසෙනවා.
19. සභාවේ සාමාජිකයන් අතර තිබෙන ප්‍රේමයේ බැඳීම ශක්තිමත් කිරීමට අපට හැක්කේ කෙසේද?
19 යෙහෝවා දෙවිට නමස්කාර කරන අය සමඟ අප කිට්ටුවෙන් ඇසුරු කරන විට අප එකිනෙකා අතර තිබෙන ප්‍රේමය හා බැදීම් තව තවත් ශක්තිමත් වෙනවා. එසේ කරන විට යෙහෝවා දෙවි මෙන් අපත් අන් අයගේ යහපත් ගුණාංග දැකීමට උත්සාහ කළ යුතුයි. අපේ සහෝදර සහෝදරියන් පරිපූර්ණ අය නොවන බව අප අමතක නොකළ යුතුයි. දෙවිගේ කැමැත්තට එකඟව ජීවිත හැඩගස්වාගන්නා විට එක් එක් කෙනා ලබන දියුණුව එකම මට්ටමේ නැහැ. අපි සෑම කෙනෙකු අතින්ම වැරදි සිදු වෙනවා. (කොලොස්සි 3:13 කියවන්න.) කෙසේවෙතත් යෙහෝවා දෙවිට බොහෝ සෙයින් ප්‍රේම කරන අය සමඟ කිට්ටු මිත්‍රත්වයන් ඇති කරගැනීමට වෑයම් කරන්න. එසේ කිරීමෙන් දෙවි කෙරෙහි ඔබේ විශ්වාසය ශක්තිමත් කරගැනීමට ඔබට හැකියි. සැබෑ ක්‍රිස්තියානීන් සමඟ එක්ව යෙහෝවා දෙවිට නමස්කාර කිරීමෙන් සැමදා දෙවිගේ ප්‍රේමය ලබන්න ඔබට පුළුවන්. යෙහෝවා දෙවිට විශ්වාසවන්තව නමස්කාර කරමින් සැමදා ඔහුගේ ප්‍රේමය ලබන අයට ඔහු තෑග්ගක් ලබා දෙනවා. ඒ තෑග්ග කුමක්ද?
‘සැබෑ ජීවිතය තදින් අල්ලාගන්න’
20, 21. “සැබෑ ජීවිතය” යනු කුමක්ද? එය ප්‍රීතිමත් බලාපොරොත්තුවක් කියා පැවසිය හැක්කේ ඇයි?
20 යෙහෝවා දෙවි ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට ලබා දෙන තෑග්ග වන්නේ ජීවිතයයි. නමුත් අප දැනටමත් ජීවත් වන්නේ නැද්ද? අපි හුස්ම ගන්නවා. කනවා. බොනවා. ඉන් අදහස් කරන්නේ අප ජීවත් වන බවයි. ප්‍රීතිමත් වන අවස්ථාවලදී, “මේ තමයි නියම ජීවිතේ” කියාත් අප සිතනවා විය හැකියි. නමුත් බයිබලයේ පවසන්නේ අප දැන් භුක්ති විඳින ජීවිතය සෑබෑ ජීවිතය නොවන බවයි.
යෙහෝවා දෙවි කැමති වන්නේ ඔබ “සැබෑ ජීවිතය” භුක්ති විඳිනවා දකින්නයි. ඔබ එය අත් කරගනීවිද?
21 ‘සැබෑ ජීවිතය තදින් අල්ලාගැනීමේ’ අවශ්‍යතාවය ගැන බයිබලයේ අපට උනන්දු කර තිබෙන්නේ ඒ නිසයි. (1 තිමෝති 6:19) ඉන් පැහැදිලි වන්නේ, “සැබෑ ජීවිතය” අප අනාගතයේදී අත් කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින දෙයක් බවයි. ඒ කාලයේදී අපි පරිපූර්ණත්වයට පැමිණෙනවා. කිසිම අඩුවක් නැති ජීවිතයක් සදහටම භුක්ති විඳීමට අපට හැකි වෙනවා. දෙවි අප සඳහා මුලින්ම අරමුණු කළෙත් එවැනි ජීවිතයක්. ඒ ජීවිතය අපට භුක්ති විඳින්න ලැබෙන්නේ පාරාදීස පොළොවේදීයි. එහිදී අප ගත කරන්නේ නිරෝගී මෙන්ම සාමය හා සතුට පිරී ජීවිතයක්. දෙවි ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට පොරොන්දු වී තිබෙන ජීවිතය එනම්, “සැබෑ ජීවිතය” අප භුක්ති විඳින්නේ ඒ කාලයේදීයි. (1 තිමෝති 6:12) එය මොන තරම් ප්‍රීතිමත් බලාපොරොත්තුවක්ද!
22. ‘සැබෑ ජීවිතය තදින් අල්ලාගන්න’ ඔබට හැක්කේ කෙසේද?
22 ‘සැබෑ ජීවිතය තදින් අල්ලාගන්න’ අපට හැක්කේ කෙසේද? පාවුල් ක්‍රිස්තියානීන්ට, “යහපත් දේවල් කිරීමටත් යහපත් ක්‍රියාවලින් පොහොසත් වීමටත්” උනන්දු කළා. (1 තිමෝති 6:18) ඉන් පැහැදිලි වන්නේ සැබෑ ජීවිතය අල්ලාගැනීම සඳහා අප බයිබලයෙන් ඉගෙනගන්නා දේවල් අදාළ කරගැනීමට උත්සාහ කළ යුතු බවයි. නමුත් යහපත් දේවල් කර අපේම උත්සාහයෙන්, “සැබෑ ජීවිතය” අත් කරගන්න අපට නොහැකියි. මන්ද එය අපට දෙවිගේ “මහත් කරුණාව” නිසා ලැබෙන ත්‍යාගයක්. දෙවි තම මහත් කරුණාව පෙන්වූයේ නැත්නම් කිසිවෙකුට එවැනි ජීවිතයක් අත් කරගත නොහැකියි. (රෝම 5:15) කෙසේවෙතත් යෙහෝවා දෙවි ඔහුට විශ්වාසවන්තව සේවය කරන අයට එම ත්‍යාගය ලබා දෙන්නේ ඉමහත් සතුටකිනුයි. ඔහු කැමති වන්නේ ඔබ අනාගතයේදී “සැබෑ ජීවිතය” භුක්ති විඳිනවා දකින්නයි. දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගනිමින් සැමදා දෙවිගේ ප්‍රේමය ලබන අය ඉදිරියෙහි තිබෙන්නේ සාමකාමි හා සතුටින් පිරී සදාකාල ජීවිතයක්.
23. සැමදා දෙවිගේ ප්‍රේමය ලැබීම වැදගත් වන්නේ ඇයි?
23 අපි සෑම කෙනෙකුම දෙවිගේ ප්‍රේමය ලබන්න කැමැත්තෙන් සිටින නිසා මේ වැදගත් ප්‍රශ්නය ගැන හොඳින් සිතා බැලිය යුතුයි. ‘මම දෙවිට නමස්කාර කරන්නේ ඔහු බයිබලයෙන් අපට පෙන්වා දී තිබෙන ආකාරයටද?’ සෑම දවසකම අප අපවම සෝදිසි කර බලන විට අප දෙවිට නමස්කාර කරන්නේ බයිබලයේ පෙන්වා දී තිබෙන ආකාරයට කියා පැහැදිලි වෙනවා නම් අප ගමන් කරන්නේ හරි මාර්ගයේයි. අප යෙහෝවා දෙවිට නමස්කාර කරන්නේ බයිබලයේ පෙන්වා තිබෙන ආකාරයට නම් ඔහු අපේ රක්ෂස්ථානය වන බවට ස්ථිර විය හැකියි. දෙවි ඔහුට විශ්වාසවන්තව සිටින අයව මේ දුෂ්ට සමාජයේ හානිකර බලපෑම්වලින් ආරක්ෂා කරනවා. එමෙන්ම ළඟදීම මේ දුෂ්ට සමාජය විනාශ කර දමා ඔහු පිහිටුවන අලුත් සමාජයට ඔහු අපව සුරක්ෂිතව ගෙන යන බව නිසැකයි. ඒ කාලය දැකගැනීමට අප බලා සිටින්නේ මොන තරම් ආශාවකින්ද! මේ අවසාන කාලයේදී අප කළ නිවැරදි තේරීම ගැන ඒ කාලයේදී අප කොතරම් සතුටු වෙයිද! ඔබත් දැන් නිවැරදි තේරීමක් කරනවා නම් යෙහෝවා දෙවි අරමුණු කර තිබෙන ආකාරයට “සැබෑ ජීවිතය” සදහටම භුක්ති විඳින්න ඔබටත් හැකියි.