2වෙනි පරිච්ඡේදය
නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගන්නේ කෙසේද?
“දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගැනීමට උත්සාහ කරන්න.”—1 පේතෘස් 3:16.
1, 2. මාලිමා යන්ත්‍රය ප්‍රයෝජනවත් දෙයක් වන්නේ ඇයි? එය අප සතු හෘදය සාක්ෂියට සමාන වන්නේ කෙසේද?
දරුණු කුණාටුවක් මැදින් නැවක් යාත්‍රා කරනවා. වේගයෙන් හමන සුළඟ නිසා රළ පහර ඉතා ඉහළට නැඟෙනවා. නාවිකයන්ට කිසිවක් නොපෙනෙන තරමට ඒ කුණාටුව ඉතාමත් දරුණුයි. නමුත් නැවේ කපිතාන්ගේ මුහුණින් නම් බියක් දිස් නොවෙයි. මාලිමා යන්ත්‍රයක් ඔහු සතුව තිබීම ඊට හේතුවයි. ඉන් උතුරු දිශාව නිවැරදිව සොයාගත හැකි නිසා කුණාටුව කොතරම් දරුණු වුණත් නැවේ ගමන් මඟට අනුව දැන් නැව ගෙන යා යුත්තේ කුමන දිශාවටද කියා ඔහුට කිසිදු සැකයකින් තොරව තීරණය කළ හැකියි.
2 මාලිමා යන්ත්‍රය හා සමාන දෙයක් අප සතුවත් තිබෙනවා. එය නම් අපේ හෘදය සාක්ෂියයි. එය අපට යෙහෝවා දෙවිගෙන් ලැබී තිබෙන වටිනා තෑග්ගක්. (යාකොබ් 1:17) හරි දෙය කුමක්ද වැරදි දෙය කුමක්ද කියා නිවැරදිව හඳුනාගැනීමට අපට උපකාර කරන්නේ අප සතු හෘදය සාක්ෂියයි. ඒ නිසා ජීවන මඟෙහි නොයෙකුත් අභියෝග තිබුණත් එහි සාර්ථකව ගමන් කිරීමට එය අපට බොහෝ සෙයින් උපකාරවත් වෙනවා. මුලින්ම අපි හෘදය සාක්ෂිය ක්‍රියාත්මක වන ආකාරය සලකා බලමු. ඉන්පසුව හෘදය සාක්ෂිය පුහුණු කළ හැක්කේ කෙසේද, අන් අයගේ හෘදය සාක්ෂිය ගැන අප සැලකිලිමත් විය යුත්තේ ඇයි හා පුහුණු කරන ලද හෘදය සාක්ෂියකට එකඟව ක්‍රියා කිරීමෙන් අත් වන ආශීර්වාද මොනවාද කියා සලකා බලමු.
හෘදය සාක්ෂිය ක්‍රියාත්මක වන අයුරු
3. හෘදය සාක්ෂියෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවාද?
3 සතුන්ට වඩා වෙනස්ව මිනිසුන් වන අපට විවිධ දේවල් ගැන සිතා බලා හරි දේ කුමක්ද වැරදි දේ කුමක්ද කියා තීරණය කිරීමේ හැකියාව තිබෙනවා. එසේ කිරීමට අපට හැකි වන්නේ දෙවි අපට හෘදය සාක්ෂියක් ලබා දී තිබෙන නිසයි. ඉන් පැහැදිලි වන්නේ හෘදය සාක්ෂිය අපට නිවැරදි දේ කිරීමට මඟ පෙන්වන අතර වැරදි දේ නොකර සිටීමට අනතුරු ඇඟවීම් ලබා දෙන බවයි. එමෙන්ම අපේ ක්‍රියාවන්, ආකල්ප හා අප ගත් තීරණ හරිද වැරදිද යන හැඟීම අප තුළ ඇති කරන්නෙත් හෘදය සාක්ෂියයි. අප හොඳ දෙයක් කළ විට අපේ සිත තුළ හොඳ හැඟීමක් ඇති වන්නෙත් වැරදි දෙයක් කළ විට අපේ සිත අපට වද දෙන්නෙත් ඒ නිසයි.
4, 5. (අ) ආදම් හා ඒවව දෙවි නිර්මාණය කළේ හෘදය සාක්ෂියක් ඇතුව බව පැවසිය හැක්කේ ඇයි? ඔවුන් දෙවිට අකීකරු වීමේ ප්‍රතිඵලය කුමක්ද? (ආ) දෙවි කෙරෙහි ගරුබියක් තිබූ අය හෘදය සාක්ෂියට සවන් දුන් බවට තිබෙන සාක්ෂි මොනවාද?
4 මුල්ම මිනිස් යුවළ වන ආදම් සහ ඒවව දෙවි නිර්මාණය කළෙත් හෘදය සාක්ෂියක් ඇතුවයි. දෙවිට විරුද්ධව පව් කළ අවස්ථාවේදී ඔවුන්ට ඒ ගැන ලැජ්ජාවක් දැනුණේ ඒ නිසයි. (උත්පත්ති 3:7, 8) පරිපූර්ණව සිටි ඔවුන් පව් කළේ නොදැනුවත්කමින් නොවෙයි. තමන් දෙවිට අකීකරු වන බව දැන දැනම ඔවුන් එසේ කිරීමට තීරණය කළා. එය දෙවිට විරුද්ධව කළ කැරලිගැසීමක්. ඒ නිසා ඔවුන් කළ පාපයට දෙවිගෙන් කිසිම සමාවක් ඔවුන්ට ලැබුණේ නැහැ.
5 මුල් මිනිස් යුවළ එලෙස ඔවුන්ගේ හෘදය සාක්ෂියට සවන් නොදී කටයුතු කළත් ඔවුන්ගෙන් පැවත ආ, දෙවි කෙරෙහි ගරුබියක් ඇති බොහෝදෙනෙක් තම හෘදය සාක්ෂියට එකඟව ක්‍රියා කිරීමට උත්සාහ දරා තිබෙනවා. යෝබ් එසේ ක්‍රියා කළ අයගෙන් එක් කෙනෙක්. ඔහු එක් අවස්ථාවක පැවසුවේ මෙසේයි. “මම ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරමි. මම කිසිදා ඒ මඟෙන් ඉවතට නොයන්නෙමි. මේ දක්වා මා ගත කළ ජීවිතය ගැන මාගේ සිත මට දොස් නොතබයි.” (යෝබ් 27:6) හෘදය සාක්ෂිය ලබා දුන් මඟ පෙන්වීම්වලට එකඟව කටයුතු කිරීමට යෝබ් සැමවිටම උත්සාහ කළා. ඔහුගේ සිත ඔහුට දොස් නොතබන බව ඔහු සතුටින් පැවසුවේ ඒ නිසයි. එමෙන්ම දාවිත්ද හෘදය සාක්ෂියට සවන් දුන්නා. ඔහු එක් අවස්ථාවක දෙවි අභිෂේක කළ රජු වූ සාවුල්ට අගෞරවනීය ලෙස සැලකූ නිසා, “ඔහුගේ සිත ඔහුට වද දීමට පටන්ගත්තේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 සාමුවෙල් 24:5) තමන් කළේ වරදක් බව ඔහුගේ හෘදය සාක්ෂිය එලෙස ඔහුට පෙන්වා දුන් නිසා නැවත එම වරදම නොකිරීමට ඔහුට හැකි වුණා.
6. සෑම කෙනෙකුටම හෘදය සාක්ෂියක් තිබෙනවා කියා පැවසිය හැක්කේ ඇයි?
6 හෘදය සාක්ෂිය නමැති අනර්ඝ ත්‍යාගය යෙහෝවා දෙවි ලබා දී තිබෙන්නේ ඔහුට නමස්කාර කරන අයට පමණක්ද? ඊට පිළිතුර සොයාගැනීම සඳහා දෙවිගේ මඟ පෙන්වීමෙන් පාවුල් ලියූ මේ දේ සලකා බලන්න. “නීතියක් යටතේ නොසිටින වෙනත් ජාතීන්වල අය නීතියට ඇතුළත් දේවල් සහජයෙන්ම කරන විට ඔවුන්ට නීතියක් නොතිබුණත් තමන්ට නීතිය ගැන අවබෝධයක් ඇති බව එයින් පෙන්නුම් කරති. එයට හේතුව ඔවුන්ගේ හෘදය සාක්ෂිය ඔවුන්ට කතා කරන නිසාය. ඔවුන් ඒ හඬට සවන් දී ඒ ගැන කල්පනා කර බලන විට තමන් කළ දේ හරිද වැරදිද කියා තේරුම්ගැනීමට ඔවුන්ට පුළුවන. ඒ අනුව නීතියට පදනම සපයන ප්‍රමිති ඔවුන්ගේ හදවත්වල තැන්පත් වී ඇති බව ඔවුන්ගේ ක්‍රියාකලාපයෙන් ඔප්පු වේ.” (රෝම 2:14, 15) ඉන් පැහැදිලි වන්නේ දෙවිව නොදන්නා අය පවා සමහර අවස්ථාවලදී දෙවි පිහිටුවා තිබෙන ප්‍රමිතිවලට එකඟව කටයුතු කරන බවයි. ඔවුන් එසේ කරන්නේ ඔවුන් සතු හෘදය සාක්ෂිය නිසයි.
7. සමහර අවස්ථාවලදී අපේ හෘදය සාක්ෂිය නිවැරදි මඟ පෙන්වීම් ලබා නොදෙන්නේ ඇයි?
7 නමුත් හෘදය සාක්ෂිය අපට ලබා දෙන්නේ සැමවිටම නිවැරදි මඟ පෙන්වීම් බව අපට විශ්වාස කළ හැකිද? අප මුලින් සලකා බැලූ උදාහරණය ගැන නැවතත් සිතා බලන්න. මාලිමා යන්ත්‍රය අසල කාන්දමක් තිබුණොත් එය පෙන්වන්නේ නිවැරදි දිශාව කියා සිතිය හැකිද? කොහෙත්ම බැහැ. ඒ හා සමානව අපේ සිත ආත්මාර්ථකාමී ආශාවන්ගෙන් පිරී තිබෙනවා නම් වැරදි දෙයක් හරියි කියා අපේ හෘදය සාක්ෂිය අපට පෙන්විය හැකියි. මේ ගැනත් සිතා බලන්න. කපිතාන් ළඟ මාලිමා යන්ත්‍රයක් තිබුණත් ගමන් මඟ පෙන්වන නිවැරදි සිතියමක් ඔහු ළඟ තිබුණේ නැත්නම් නැව ගමන් කළ යුතු මාර්ගය තීරණය කිරීමට ඔහුට හැකි වෙයිද? බැහැ. ඒ හා සමානව හෘදය සාක්ෂියක් අපට තිබුණත් අපේ ජීවිතයට නිවැරදි මඟ පෙන්වීම් ලබා දෙන බයිබලය මත අප රඳා නොසිටියොත් හරි වැරැද්ද අතර වෙනස පැහැදිලිව හඳුනාගැනීමට අපට නොහැකියි. ඊට අමතරව හෘදය සාක්ෂියෙන් නිවැරදි මඟ පෙන්වීම් ලබාගැනීමට නම් අපේ සිතුවිලි පාලනය කිරීමට අප දෙවිගේ බලයට ඉඩහැරිය යුතුයි. “දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයට එකඟව ක්‍රියා කරන මගේ හෘදය සාක්ෂිය මා පවසන දේ සැබෑවක් බව සාක්ෂි දරයි” කියා පාවුල් පැවසුවේ ඒ නිසයි. (රෝම 9:1) පාවුල්ගේ මෙන් අපේ හෘදය සාක්ෂියත් දෙවිගේ බලයට එකඟව ක්‍රියා කිරීමට නම් අප අපේ හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කළ යුතුයි.
හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කරමු
8. (අ) සිතට එකඟව කටයුතු කිරීම අනතුරුදායක වන්නේ ඇයි? යම් තීරණයක් ගැනීමට පෙර අප සලකා බැලිය යුත්තේ කුමක්ද? (ආ) අප කරන දේ ගැන අපට පමණක් හොඳ හැඟීමක් තිබීම ප්‍රමාණවත් නොවන්නේ ඇයි? (පාදසටහන බලන්න.)
8 හෘදය සාක්ෂියට එකඟව කටයුතු කිරීම යනු තමන්ට හරියි කියා සිතෙන දේට අනුව ක්‍රියා කිරීම කියා සමහර අය සිතනවා. ඔවුන් තම සිතට එකඟව කටයුතු කරන නිසා ඒ ගැන ඔවුන්ට දැනෙන්නේ මහත් සතුටක්. නමුත් සිතට එකඟව ක්‍රියා කිරීම අනතුරුදායකයි. මන්ද සමහර අවස්ථාවලදී හරි දේ කුමක්ද වැරදි දේ කුමක්ද කියා හඳුනාගැනීමට නොහැකි වන තරමටම අපේ හැඟීම් හෝ ආශාවන් අපට බලපෑම් කළ හැකියි. “සියල්ලටම වඩා මිනිසාගේ සිත රැවටිලිකාරය. එබැවින් ඔහු උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ආශාව ඉටු කරගැනීමටය. ඒ රැවටිලිකාර සිත තේරුම්ගත හැක්කේ කාටද” කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි. (යෙරෙමියා 17:9) ඉන් පැහැදිලි වන්නේ අපේ සිත අපට විශ්වාස කළ නොහැකි බවයි. එය අපව නොමඟ යැවිය හැකියි. ඒ නිසා අපේ සිත හරියි කියා පවසන දේ කරනවා වෙනුවට අප උත්සාහ කළ යුත්තේ අප කරන දෙයින් යෙහෝවා දෙවි සතුටු වෙනවාද නැද්ද කියා සිතා බලා ක්‍රියා කිරීමටයි.a
9. දෙවි කෙරෙහි ගරුබියක් අප වර්ධනය කරගත යුත්තේ ඇයි?
9 යෙහෝවා දෙවි සතුටට පත් කරන ආකාරයෙන් කටයුතු කිරීමට අප පෙලඹෙන්නේ අප තුළ ඔහු කෙරෙහි ගරුබියක් තිබෙනවා නම් පමණයි. ඒ සම්බන්ධයෙන් නෙහෙමියා අපට හොඳ ආදර්ශයක්. යූදා දේශයේ ආණ්ඩුකාරයා ලෙස කටයුතු කළ ඔහුට, සෙනඟගෙන් යම් බද්දක් අය කිරීමට අයිතිය තිබුණා. නමුත් ඔහු එසේ කළේ නැහැ. මන්ද තමන් එම බද්ද අය කළොත් සෙනඟ මත මහත් බරක් පැටවෙන නිසා ඒ ගැන යෙහෝවා දෙවි කොහෙත්ම සතුටු නොවෙයි කියා ඔහු සිතුවා. “දෙවිට ගරුබිය දක්වන නිසා මම එලෙස කටයුතු නොකළෙමි” කියා ඔහු පැවසුවේ ඒ නිසයි. (නෙහෙමියා 5:15) නෙහෙමියා මෙන් අපටත් දෙවි කෙරෙහි ගරුබියක් තිබෙනවා නම් ඔහු අසතුටට පත් කරන දේවල් කිරීමෙන් අප වැළකී සිටිනවා. ඒ නිසා අප යම් තීරණයක් ගැනීමට පෙර ඒ ගැන දෙවි දී තිබෙන මඟ පෙන්වීම් මොනවාද කියා බයිබලයෙන් සෝදිසි කර බැලීමට පෙලඹෙනවා. එලෙස කටයුතු කිරීමෙන් දෙවි දී තිබෙන ප්‍රතිපත්තිවලට අනුව තීරණ ගැනීමට අපේ හෘදය සාක්ෂිය පුහුණු වෙනවා.
10, 11. මත්පැන් පානය ගැන තීරණයක් ගැනීමට පෙර සලකා බැලිය යුතු බයිබල් ප්‍රතිපත්ති මොනවාද? එම ප්‍රතිපත්ති අදාළ කරගැනීමට දෙවිගේ උපකාරය ලබාගන්නේ කෙසේද?
10 උදාහරණයකට බියර්, වයින් හෝ වෙනත් මත්පැන් වර්ගයක් පානය කරනවාද නැද්ද කියා තීරණය කිරීමට සිදු වන අවස්ථාවක් ගැන සිතන්න. මුලින්ම මත්පැන් පානය ගැන යෙහෝවා දෙවි දරන ආකල්පය සම්බන්ධයෙන් අප දැනුවත් විය යුතුයි. ඒ සඳහා ඊට අදාළ බයිබල් ප්‍රතිපත්ති අප සලකා බැලිය යුතුයි. සීමාවක් ඇතුව මත්පැන් පානය කිරීම එහි හෙළාදකින්නේ නැහැ.b එමෙන්ම සිත් සතුටු කරන වයින් සපයා දීම ගැන එහි යෙහෝවා දෙවිට ප්‍රශංසා කර තිබෙනවා. (ගීතාවලිය 104:14, 15) නමුත් අධික ලෙස මත්පැන් පානය කිරීම හා ඝෝෂාකාරී උත්සවවලට සහභාගි වීම බයිබලයේ කෙළින්ම හෙළාදැක තිබෙනවා. (ලූක් 21:34; රෝම 13:13) එමෙන්ම වේශ්‍යාකම හා අනාචාරයේ හැසිරීම වැනි බරපතළ පාප අතරට බේබදුකමත් ඇතුළත් කර තිබෙනවා.—1 කොරින්ති 6:9, 10.
11 මත්පැන් පානය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදු වන අවස්ථාවලදී බයිබලයේ දී තිබෙන එවැනි ප්‍රතිපත්ති හොඳින් තේරුම්ගත් පසු මේ කාරණා ගැන සිතා බැලීම ඉතා වැදගත්. ‘මම සහභාගි වීමට යන උත්සවය මොන වගේ එකක්ද? මත්පැන් පානය සඳහා එහි සීමා පනවා තිබෙනවාද? මා මත්පැන් පානයට නැඹුරු කෙනෙක්ද? මත්පැන් පානය කිරීමට අවස්ථාවක් පැමිණෙන තුරු මම මහත් ආශාවකින් බලා සිටිනවාද? මගේ සතුට රඳා පවතින්නේ මත්පැන් මතද? සීමාවක් ඇතුව මත්පැන් පානය කිරීමට මට හැකි වෙයිද?’ බයිබල් ප්‍රතිපත්ති ගැන හා ඒවා අදාළ වන විවිධ පැති ගැන අප කල්පනා කර බලන විට දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කිරීමටද අමතක නොකරන්න. (ගීතාවලිය 139:23, 24 කියවන්න.) අප එසේ කරන විට දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වන අතර දෙවිව සතුටට පත් කරන අයුරින් තීරණ ගැනීමට අපේ හෘදය සාක්ෂිය පුහුණු වෙනවා. නමුත් යම් තීරණ ගැනීමට පෙර අප සලකා බැලිය යුතු තවත් දෙයක් තිබෙනවා.
අන් අය ගැනත් සැලකිලිමත් වෙමු
අප මත්පැන් පානය කරනවාද නැද්ද කියා තීරණය කිරීමට පුහුණු කළ හෘදය සාක්ෂිය අපට උපකාරවත් වෙනවා
12, 13. අප එක් එක් කෙනාගේ හෘදය සාක්ෂිය ක්‍රියා කරන ආකාරය එකිනෙකට වෙනස් වන්නේ ඇයි? කෙනෙකු අපට වඩා වෙනස් තීරණයක් ගන්නා අවස්ථාවකදී අප ක්‍රියා කළ යුත්තේ කෙසේද?
12 අප යම් තීරණයක් ගැනීමට පෙර එය අන් අයට බලපාන්නේ කෙසේද කියාත් සිතා බැලිය යුතුයි. අප එසේ කළ යුත්තේ ඇයි? එක් එක් කෙනාගේ හෘදය සාක්ෂිය ක්‍රියා කරන ආකාරය එකිනෙකට වෙනස් නිසයි. ක්‍රිස්තියානීන් ලෙස අප එකම බයිබල් ප්‍රතිපත්තිවලට අනුව හෘදය සාක්ෂිය පුහුණු කර තිබුණත් යම් අවස්ථාවලදී අප ගන්නා තීරණ එකිනෙකට වෙනස් විය හැකියි. උදාහරණයකට කෙනෙක් යම් සම්ප්රදායක් අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කළ හැකියි. නමුත් තවත් කෙනෙක් එහි වරදක් නොදකින නිසා එම සම්ප්රදාය අනුගමනය කිරීමට තීරණය කළ හැකියි. තවත් අවස්ථාවක් ගැන සිතන්න. කෙනෙක් යාළුවන් සමඟ විනෝද වන අවස්ථාවක මත්පැන් ටිකක් පානය කර සතුටක් ලබන්න කැමති විය හැකියි. නමුත් තවත් කෙනෙක් කිසිවිටක මත්පැන් පානය නොකිරීමට තීරණය කර තිබෙනවා විය හැකියි. ඉන් පැහැදිලි වන්නේ එකම කාරණය සම්බන්ධයෙන් අප එකිනෙකා වෙනස් තීරණ ගන්නා බවයි. එසේ වන්නේ ඇයි? එමෙන්ම එකිනෙකා වෙනස් තීරණ ගන්නා බව දැන සිටීම අප ගන්නා තීරණවලට බලපාන්නේ කෙසේද?
13 විවිධ හේතූන් නිසා අප එක් එක් කෙනා සිතන ආකාරය එකිනෙකට වෙනස්. උදාහරණයකට අපේ පසුබිම හා ජීවිතයේ අප ලබා තිබෙන අද්දැකීම් ඊට බලපෑ හැකියි. ක්‍රිස්තියානියෙක් වීමට කලින් කෙනෙකුට යම් දුර්වලකමක් තිබුණා කියා සිතන්න. ඔහු බයිබලයේ තිබෙන දේවල් ඉගෙනගන්නා විට ඉන් ගොඩ ඒමට මහත් සටනක් කරන්න ඇති. සමහරවිට තවමත් ඔහු එම දුර්වලකම සමඟ සටන් කරමින් සිටිනවා විය හැකියි. (1 රාජාවලිය 8:38, 39) ඔහුට තිබූ ඒ දුර්වලකම මත්පැන් සම්බන්ධයෙන් නම් මත්පැන් නොබී සිටීමට ඔහු දැඩි අධිෂ්ඨානයක් ගෙන ඇති. එවැනි කෙනෙක් ඔබේ නිවසට පැමිණියා කියා සිතන්න. ඔබ ඔහුට මත්පැන් ටිකක් සංග්‍රහ කරනවා. නමුත් ඔහු එය එකහෙළාම ප්‍රතික්ෂේප කරනවා. එවිට ඔබ ඊට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? ඔබට ඔහු සමඟ කෝපයක් ඇති වෙනවාද? නැත්නම් ඔහුට මත්පැන් ටිකක් හෝ පානය කරන්න කියා බල කරනවාද? සමහරවිට ඔහු එය ප්‍රතික්ෂේප කිරීමට හේතුව ඔබ නොදන්නවා විය හැකියි. සමහරවිට ඔබ එය දැන සිටිනවාත් විය හැකියි. තමන්ට තිබෙන දුර්වලකම ගැන අන් අයට පවසන්න ඔහු කැමති නැතුවත් ඇති. ඒ කෙසේවෙතත් ඔබට ඔහු කෙරෙහි තිබෙන ප්‍රේමය ඔහු ගත් තීරණයට ගරු කිරීමට ඔබව පොලඹවයි.
14, 15. පළමුවෙනි සියවසේ සිටි සමහරක් ක්‍රිස්තියානීන් අතර තිබූ ප්රශ්නය කුමක්ද? පාවුල් උනන්දු කළේ කුමක් කිරීමටද?
14 ඒ හා සමාන සිදුවීම් පළමුවෙනි සියවසේ සිටි සමහරක් ක්‍රිස්තියානීන් අතරද ඇති වුණා. උදාහරණයකට දේවතා රූපවලට පූජා කළ ආහාර කෑමට ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වී තිබුණා. (1 කොරින්ති 10:25) එවැනි ආහාර කෑමට ගැනීම ගැන පාවුල්ට හැඟුණේ කෙසේද? ඔහුගේ හෘදය සාක්ෂියට අනුව එවැනි ආහාරයක් වෙළඳපොළකින් මිල දී ගෙන කෑම වරදක් වුණේ නැහැ. මන්ද ඔහුගේ හෘදය සාක්ෂිය ඒ කාරණය සම්බන්ධයෙන් තර්ක කළේ මෙලෙසයි. රූපවලට කිසිම බලයක් නැහැ. ජීවයක් නැති දෙයකට පූජා පිළිගැනීමට හැකියාවක්ද නැහැ. එමෙන්ම මිනිසුන් පූජාවන් ලෙස ඔප්පු කරන සෑම ආහාරයක්ම නිර්මාණය කළේ යෙහෝවා දෙවියි. ඒ සෑම දෙයක්ම අයිතිත් ඔහුටයි. ඒ නිසා එවැනි ආහාර කෑමට ගැනීම පාවුල්ට ප්‍රශ්නයක් වුණේ නැහැ. නමුත් ඔහුගේ මතයට අනුව ක්‍රියා කළ යුතුයි කියා ඔහු සෙසු ක්‍රිස්තියානීන්ට බල කළේ නැහැ. එක් එක් කෙනාගේ හෘදය සාක්ෂිය ක්‍රියා කරන ආකාරය එකිනෙකට වෙනස් බව ඔහු තේරුම්ගෙන සිටියා. මන්ද ඔවුන්ගෙන් සමහර අය ක්‍රිස්තියානීන් වීමට කලින් රූප නමස්කාරයේ නියැලුණු අයයි. ඒ නිසා රූප හා සම්බන්ධ සෑම දෙයක් ඔවුන්ට පිළිකුල් වුණා. එසේනම් ඒ කාරණයට විසඳුම වුණේ කුමක්ද?
15 පාවුල් ඒ ගැන පැවසුවේ මෙයයි. “සත්‍ය ඉගැන්වීම් ගැන පුළුල් අවබෝධයක් ඇති අප එතරම් පුළුල් අවබෝධයක් නැති අයට තම දුර්වලකම්වලින් ගොඩ ඒමට උපකාර කළ යුතුයි. එහිදී අපගේම සතුට ගැන සිතීම සුදුසු නැත. ක්‍රිස්තුස් පවා තමාගේම සතුට ගැන සිතුවේ නැත.” (රෝම 15:1, 3) ඔහු උනන්දු කළේ යම් කාරණයක් ගැන අපට හැඟෙන ආකාරයට වඩා ඒ ගැන අනික් අයට හැඟෙන ආකාරයට වැඩි අවධානයක් දිය යුතු බවයි. මතු වූ ඒ ප්රශ්නය සම්බන්ධයෙන් තවත් අවස්ථාවකදී පාවුල් පැවසුවේ තමා කෑමට ගන්නා ආහාරයක් නිසා යේසුස් තම ජීවිතය පූජා කර මිලයට ගත් එක් තැනැත්තෙකු හෝ කලකිරීමට පත් වෙනවා නම් ඔහු කිසිදාක එම ආහාරය නොකන බවයි. අපත් එලෙස අන් අයගේ සතුටට මුල් තැන දෙනවා නම් අප ආදර්ශයට ගන්නේ ක්‍රිස්තුස්වයි.—1 කොරින්ති 8:13; 10:23, 24, 31-33 කියවන්න.
16. යම් කෙනෙකු ඔහුගේ හෘදය සාක්ෂියට එකඟව තීරණයක් ගත් විට අප ඔහුව විනිශ්චය නොකළ යුත්තේ ඇයි?
16 කෙසේවෙතත් හෘදය සාක්ෂියට එකඟව තීරණ ගන්නා කාරණා සම්බන්ධයෙන් අප සමබර ආකල්පයක් දැරිය යුතුයි. අපේ හෘදය සාක්ෂියට අනුව යම් දෙයක් නොකරන්න අප තීරණය කළත් තවත් කෙනෙකුගේ හෘදය සාක්ෂිය ඒ දේ කිරීමට ඔහුට ඉඩ දිය හැකියි. නමුත් අප සමබර ආකල්පයක් දරනවා නම් ඒ පුද්ගලයාව විනිශ්චය කිරීමට කිසිවිටකත් අප පෙලඹෙන්නේ නැහැ. (රෝම 14:10 කියවන්න.) අප අපේ හෘදය සාක්ෂිය පුහුණු කළ යුත්තේ අන් අයගේ තීරණ විනිශ්චය කිරීමට නොවෙයි. දෙවි අපට හෘදය සාක්ෂියක් දී තිබෙන්නේ අපේ සිතුවිලි හා ක්‍රියාවන් විනිශ්චය කිරීමට බව අප අමතක නොකළ යුතුයි. යේසුස් පැවසූ මේ දෙයින්ද ඒ බව පැහැදිලියි. “තවදුරටත් අනුන්ව විනිශ්චය නොකරන්න. එවිට ඔබවත් විනිශ්චය කරනු ලබන්නේ නැහැ.” (මතෙව් 7:1) ඒ නිසා ක්‍රිස්තියානි සභාවේ සිටින එක් එක් කෙනා ඔවුන්ගේ හෘදය සාක්ෂියට එකඟව ගන්නා පෞද්ගලික තීරණ ගැන අප කතා කරමින් ඒවා විශාල ප්‍රශ්නයක් කරගැනීමට අවශ්‍ය නැහැ. ඒ වෙනුවට අප උත්සාහ කළ යුත්තේ සභාව තුළ ප්‍රේමය හා සමගිය ඇති කිරීමටයි. එමෙන්ම සභාව තුළ භේද ඇති නොකරන, අන් අයව දිරිගන්වන අය වීමට අප උත්සාහ කළ යුතුයි.—රෝම 14:19.
පුහුණු කළ හෘදය සාක්ෂියකින් ලැබෙන ආශීර්වාද
පුහුණු කළ හෘදය සාක්ෂියකට අනුව කටයුතු කිරීමෙන් මනසට සහනයක් ලැබෙන අතර ජීවන මඟෙහි සාර්ථකව ගමන් කිරීමටද හැකි වෙයි
17. බොහෝදෙනෙකුගේ හෘදය සාක්ෂියට සිදු වී තිබෙන්නේ කුමක්ද?
17 දෙවි ඉදිරියේ අපට නිදොස් හෘදය සාක්ෂියක් තිබෙනවා නම් බොහෝ ආශීර්වාද අත් කරගැනීමට අපට හැකි වෙනවා. “දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගැනීමට උත්සාහ කරන්න” කියා පේතෘස් පැවසුවේ ඒ නිසයි. (1 පේතෘස් 3:16) නමුත් අප ජීවත් වන සමාජයේ සිටින බොහෝදෙනෙකු සතු හෘදය සාක්ෂිය ගැන පාවුල් පැවසුවේ, ‘ඔවුන්ගේ හෘදය සාක්ෂිය යකඩයකින් හංවඩු ගසනු ලැබූ සමක් හා සමානය’ කියායි. (1 තිමෝති 4:2) සාමාන්‍යයෙන් සතෙකුව හංවඩු ගැසූ පසු ඒ කැළැල තිබෙන ස්ථානයට මොන දෙයක් කළත් ඌට එය දැනෙන්නේ නැහැ. එම ස්ථානය කිසි හැඟීමක් දැනීමක් නොදැනෙන තත්වයට පත් වෙනවා. අද සිටින බොහෝදෙනෙකුගේ හෘදය සාක්ෂියත් ඒ හා සමානයි. හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීමේ හැකියාව ඔවුන්ට නැහැ. ඔවුන් යම් වැරදි තීරණයක් ගන්නා විට එය වැරදි බව ඔවුන්ගේ හෘදය සාක්ෂිය ඔවුන්ට අනතුරු අඟවන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ ක්‍රියාවන් ගැන ඔවුන්ට කිසිම ලැජ්ජාවක් දැනෙන්නේද නැහැ.
18, 19. (අ) කළ වරදක් ගැන අපට ලැජ්ජාවක් දැනීම හොඳ දෙයක් වන්නේ ඇයි? (ආ) පසුතැවිලි වූ පසුව පවා අපේ හෘදය සාක්ෂිය අපට දොස් නඟනවා නම් කළ හැක්කේ කුමක්ද?
18 අප යම් වැරදි දෙයක් කළ විට ඒ ගැන අපට ලැජ්ජාවක් දැනෙනවා නම් ඇත්තෙන්ම එය හොඳ දෙයක්. මන්ද අප කළ දෙය වරදක් බව අපේ හෘදය සාක්ෂිය අපට දැනුම් දෙන්නේ එයාකාරයටයි. එවිට අප කළ ඒ වරද ගැන පසුතැවෙන්නත් එය නැවත නොකරන්නත් අප තුළ පෙලඹීමක් ඇති වෙනවා. අප අතින් සිදු වූ වරද මොන තරම් බරපතළ වුණත් ඒ ගැන පසුතැවිලි වෙනවා නම් ඊට සමාව ලබාගැනීමට අපට හැකියි. උදාහරණයකට දාවිත් රජු ගැන සිතන්න. ඔහු ඉතා බරපතළ වරදක් කළා. නමුත් ඔහු කළ දේ ගැන පසුව ඔහුට මහත් පිළිකුලක් ඇති වූ අතර නැවත දෙවිගේ ආඥා කඩ නොකිරීමට ඔහු අධිෂ්ඨාන කරගත්තා. එයින් පැහැදිලි වුණේ ඔහු කළ වරද ගැන ඔහු අවංකවම පසුතැවිලි වූ බවයි. දෙවි ඔහුගේ වරදට සමාව දුන්නේ ඒ නිසයි. “යෙහෝවා දෙවියනි, ඔබ සමාව දීමට කැමති, යහපත් දෙවි කෙනෙක්ය” කියා පැවසීමට ඇත්තෙන්ම ඔහුට හොඳ හේතු තිබුණා. (ගීතාවලිය 51:1-19; 86:5) නමුත් අප කළ වරදකට දැනටමත් අපට සමාව ලැබී තිබුණත් අප කළ දේ ගැන නිතර නිතර දුක් වෙමින් තමන් නොවටිනා පුද්ගලයෙකු යන හැඟීම අපේ මනසට නැඟෙනවා විය හැකියි.
19 අපට එවැනි හැඟීම් ඇති වන්නේ අපේ හෘදය සාක්ෂිය අප කළ වරද ගැන ඕනෑවටත් වඩා වැඩියෙන් අපට දොස් නඟන නිසයි. එවැනි තත්වයකට මුහුණ දීම ඇත්තෙන්ම වේදනාකාරීයි. සමහරවිට අප අධෛර්යයට පවා පත් විය හැකියි. නමුත් යෙහෝවා දෙවි අපට වඩා හොඳින් අපේ සැබෑ තත්වය දන්නා බව අපි අමතක නොකරමු. අපේ සෙසු සහෝදරයෙකු අධෛර්යයට පත් වූ අවස්ථාවකදී දෙවි මොන තරම් ප්‍රේමණීයද ඔහු සමාව දීමට කොතරම් කැමැත්තෙන් සිටිනවාද යන කාරණා මතක් කර දෙමින් අප ඔහුව දිරිගන්වා ඇති. ඒ හා සමානව අධෛර්යයට පත්ව සිටින විට අපත් ඒ කාරණා මතක් කරගනිමින් ඒවා කෙරෙහි අපේ විශ්වාසය ශක්තිමත් කරගැනීම මොන තරම් වැදගත්ද! (1 යොහන් 3:19, 20 කියවන්න.) ඇත්තෙන්ම දෙවිගේ අනුමැතිය අපට තිබෙනවා කියා දැනෙද්දී එය අපේ මනසට ලබා දෙන්නේ පුදුමාකාර සහනයක්. එමෙන්ම ලෝකයේ සිටින බොහෝදෙනෙකු අත් නොදකින සැබෑ සතුට අපට අද්දැකිය හැකියි. දෙවිට සේවය කරමින් සිටින බොහෝදෙනෙකු එය සත්‍යයක් බව අද්දැක තිබෙනවා.—1 කොරින්ති 6:11.
20, 21. (අ) මේ පොත ඔබට උපකාර කරන්නේ කුමක් කිරීමටද? (ආ) ක්‍රිස්තියානීන් වන අප, භුක්ති විඳින නිදහස කුමක්ද? ඒ නිදහස අප යොදාගත යුත්තේ කුමක් සඳහාද?
20 ජීවත් වීමට අසීරු මේ අවසාන කාලයේදී දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගනිමින් සැබෑ සතුට අත් කරගැනීමට ඔබට උපකාර කිරීම මේ පොතේ අරමුණයි. බයිබලයේ සඳහන් සියලුම නීති හා ප්‍රතිපත්ති ගැන මේ පොතේ සාකච්ඡා කරන්නේ නැහැ. එමෙන්ම අප එදිනෙදා ජීවිතයේ ගත යුතු තීරණ මොනවාද කියා මෙහි කෙළින්ම පවසන්නේ නැහැ. ඒ වෙනුවට විවිධ අවස්ථාවලදී අදාළ වන බයිබල් ප්‍රතිපත්ති ගැන හොඳින් කල්පනා කර බලා හෘදය සාක්ෂිය මත පදනම්ව තීරණ ගත හැක්කේ කෙසේද කියා තේරුම්ගැනීමට මෙම පොත උපකාර කරනවා. එලෙස ක්‍රියා කරන විට දෙවි සිතන ආකාරයට සිතන්න ඔබ ඔබේ හෘදය සාක්ෂිය පුහුණු කරනවා. ඇත්තෙන්ම “ක්‍රිස්තුස්ගේ නීතිය” යටතේ ජීවත් වීම එදා ඊශ්‍රායෙල්වරුන්ට දෙවි දුන් නීතිය යටතේ ජීවත් වීමට වඩා වෙනස්. එදා ඊශ්‍රායෙල්වරුන්ට සෑම කාරණයක් සම්බන්ධයෙන්ම නීති පනවා තිබුණා. නමුත් ක්‍රිස්තියානීන් වන අප, යම් කාරණා සම්බන්ධයෙන් තීරණ ගන්නේ බයිබල් ප්‍රතිපත්ති ගැන හොඳින් සිතා බලා තම හෘදය සාක්ෂියේ මඟ පෙන්වීමට අනුවයි. (ගලාති 6:2) ඒ අනුව ඊශ්‍රායෙල්වරුන්ට වඩා වෙනස්ව අප විශේෂාකාර නිදහසක් භුක්ති විඳිනවා. නමුත් දෙවිගෙන් අපට ලැබී තිබෙන ඒ නිදහස, “නපුරු ක්‍රියා වසං කිරීමට” යොදා නොගන්න කියා අපට සිහිගන්වා තිබෙනවා. (1 පේතෘස් 2:16) ඇත්තෙන්ම අපට දී තිබෙන ඒ නිදහස අප දෙවිට කොතරම් ප්‍රේම කරනවාද කියා ඔප්පු කර පෙන්වීමට කදිම අවස්ථාවක්!
21 යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව සෑම දවසක්ම බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ගත කිරීමට උත්සාහ දරන්න. එසේ කිරීමෙන් ඔබේ “වටහාගැනීමේ හැකියාව” දියුණු කරගැනීමට ඔබට හැකි වෙයි. (හෙබ්‍රෙව් 5:14) ඇත්තෙන්ම බයිබල් ප්‍රතිපත්තිවලට අනුව තීරණ ගැනීමට පුහුණු කළ හෘදය සාක්ෂියට එකඟව ජීවත් වීමෙන් ඔබට බොහෝ ආශීර්වාද ලබාගත හැකියි. ඔබ ජීවත් වන ආකාරයෙන් දෙවි සතුටට පත් වන බව දැන සිටීමම මොන තරම් ආශීර්වාදයක්ද! ඔබ එසේ ජීවත් වන විට දෙවිගේ ප්‍රේමය සැමදා ලැබීමට ඔබ සුදුසුකම් ලබනවා.
a අපේ හැඟීම් හෝ ආශාවන් මත විශ්වාසය තබා ඒ අනුව කටයුතු කිරීම අඥාන දෙයක් කියා බයිබලයේ පෙන්වා දෙනවා. උදාහරණයකට පාවුල් පැවසූ මේ දේ සලකා බලන්න. “දැනුවත්ව මා අතින් කිසි වරදක් සිදු වී නැති බව මට ස්ථිරයි. මා එසේ සිතුවත් එයින් මා ධර්මිෂ්ඨයෙකු බව ඔප්පු වන්නේ නැත. මන්ද මාව සෝදිසි කර බලන්නේ යෙහෝවා දෙවිය.” (1 කොරින්ති 4:4) පාවුල් ක්‍රිස්තියානියෙකු වීමට කලින් යේසුස්ගේ අනුගාමිකයන්ට බොහෝ සෙයින් පීඩා කළා. එසේ කරද්දී ඔහුගේ සිත ඔහුට වද දුන්නේ නැහැ. මන්ද ඔහු සිතුවේ තමන් දෙවි ඉදිරියේ හරි දේ කරන බවයි. අදත් බොහෝදෙනා සිතන්නේ තමන් කරමින් සිටින්නේ හරි දේ කියායි. එසේත් නැත්නම් තමන් කරන දේවල් දෙවි අනුමත කරනවා කියායි. නමුත් තමන් කරන දේ ගැන තමන්ට පමණක් හොඳ හැඟීමක් තිබීම ප්‍රමාණවත් නොවෙයි. ඒ දේ දෙවි අනුමත කරනවාද නැද්ද කියා ස්ථිර කරගත යුතුයි.—ක්‍රියා 23:1; 2 තිමෝති 1:3.
b නමුත් මත්පැන්වලට ඇබ්බැහි වී සිටින කෙනෙකු ඒ ගැන කල්පනාකාරී විය යුතුයි. මන්ද බොහෝ වෛද්‍යවරුන් පවසන්නේ සීමාවක් ඇතුව පවා එවැනි කෙනෙකු මත්පැන් පානය කිරීම අනතුරුදායක බවයි. ඒ නිසා කළ හැකි හොඳම දේ වන්නේ සම්පූර්ණයෙන්ම මත්පැන්වලින් වැළකී සිටීමයි.