10වෙනි පරිච්ඡේදය
මගේ හොඳම යාළුවා තරහා වුණේ ඇයි?
“කෙරීන් මගේ හොඳම යාළුවා. වැඩ ඇරිලා යද්දී හැමදාම මං එයාවත් ගෙදරට බස්සනවා. ඒත් පස්සේ පස්සේ මට තේරුණා එයාට මාව ඕන වුණේ උදව් ගන්න විතරයි කියලා.
“එයා ගොඩක් වෙලාවට කාර් එකට නඟින්නේ ෆෝන් එකෙන් කතා කරකර නැත්නම් SMS ගගහා. මං එයාව ගිහින් ඇරලනවාට එයා කවදාවත් තැන්ක්යූ කිව්වේ නැහැ. මුලින් නම් පෙට්‍රල් වියදමට එයා ගාණක් දුන්නා. හැබැයි පස්සේ ඒකත් නතර කළා. එයා මාත් එක්ක නිතරම වගේ කතා කළේ අනිත් අයගේ වැරදි ගැනයි. මෙච්චර කල් එයාගේ මේ වැඩ ගැන කට වහගෙන හිටපු නිසා මට මාත් එක්කම කේන්තියි.
“මීටපස්සේ මට එයාව ඇරලන්න වෙන්නේ නැහැ කියලා මං දවසක් කෙරීන්ට කිව්වා. එදා ඉඳලා එයා මාත් එක්ක එච්චර හොඳ නැහැ. එයා මාව ආශ්‍රය කරලා තියෙන්නේ වාසියටයි කියලා ඒකෙන් මට හොඳටම තේරුණා. ඒ ගැන හිතද්දී මට හරි දුකයි.”—නිකෝල්.
අඹ යාළුවෝ අතර වුණත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා ඒකෙන් තේරෙනවා. කිරියි පැණියි වගේ ඉන්න දෙන්නෙක් එකපාරටම තරහා වෙන්නේ මොන වගේ දේවල් නිසාද කියලා ටිකක් බලමු.
● ජෙරමිගේ යාළුවා වෙන පළාතක පදිංචියට ගියාට පස්සේ ජෙරමිට කෝල් එකක්වත් දුන්නේ නැහැ. ඒකට ජෙරමිගේ හිත ගොඩක් රිදුණා.
● අවුරුදු පහක්ම කැරන්ගේ හොඳම යාළුවා වෙලා හිටපු කෙනා ටිකෙන් ටික වෙනස් වෙනවා කියලා කැරන්ට තේරුණා. කැරන් ඒ ගැන මෙහෙම කිව්වා. “එයාගේ ආකල්ප, එයා කතා කරපු දේවල් එච්චර හරි නැහැ කියලා මට තේරුණා. මං වැදගත් කියලා හිතපු හැම දෙයක්ම එයාට පොඩ්ඩක්වත් වැදගත් වුණේ නැහැ. එයා නිතරම දැක්කේ ඒ දේවල වැරදි පැත්තයි. මං ඒ ගැන එයාත් එක්ක කතා කරන්න හැදුවාම එයා කිව්වේ මං ඕනෑවට වඩා ධර්මිෂ්ඨ වෙන්න හදනවා කියලා. මං හොඳ යාළුවෙක් නෙමෙයි කියලත් මාව යාළුවෙක් විදිහට ආශ්‍රය කරන එක තේරුමක් නැහැ කියලත් එයා කිව්වා.”
● ග්ලෝරියාගෙයි එයාගේ යාළුවාගෙයි මිතුරුකම කැඩුණෙත් හිතපු නැති විදිහට. ග්ලෝරියා මෙහෙම කියනවා. “මුලින් අපි දෙන්නා හිටියේ ජාඩියට මූඩිය වගේ. ‘ඔයා මගේ එක කුසේ උපන් සහෝදරිය වගේ කියලා’ එයා මට කියලා තියෙනවා. හැබැයි එකපාරටම එයා මාව මඟ අරින්න පටන්ගත්තා. ඒකට හේතු ඇහුවාම එයා කිව්වේ මහ බොරු කතා.”
● ලෝරායි ඩොරිනුයි ගජ යාළුවෝ වෙලා හිටියා. ඒ දෙන්නා තරහා වුණේ ඩොරින් ලෝරාගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක සම්බන්ධයක් පටන්ගත්ත නිසයි. “ඩොරින් හොඳටම දන්නවා එයා මගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා. ඒත් ඩොරින් පැය ගණන් එයාත් එක්ක ෆෝන් එකෙන් කතා කරනවා. මගේ හොඳම යාළුවා මට ද්‍රෝහි වුණා. මං බඳින්න හිටපු කෙනාත් මට නැති වුණා.” එහෙම කිව්වේ ලෝරා.
හිටි ගමන් තරහා වුණේ ඇයි?
හැමෝම අතින් වැරදි වෙනවා. ඒ නිසා ඔයාගේ යාළුවා අතිනුත් ඔයාගේ හිත රිදෙන දෙයක් අනිවාර්යයෙන්ම වෙයි. හැබැයි ඔයා හිතලා බැලුවොත් අනිත් අයගේ හිත රිදෙන දේවල් ඔයාගේ අතිනුත් සිද්ධ වෙලා නැද්ද? (දේශනාකාරයා 7:22) ලීසා මෙහෙම කියනවා. “අපි හැම කෙනෙක්ම අතින් වැරදි වෙන නිසා ඉඳලා හිටලා හරි අනිත් අයගේ හිත රිදෙන දේවල් අපි අතින් වෙනවා.” පොඩි පොඩි හේතු නිසා වෙන ඒ වගේ හිත් රිදවීම් කතා කරලා විසඳගන්න පුළුවන්.
සමහර යාළුකම් කැඩෙන්නේ ඒ වගේ පොඩි හිත් රිදවීම් නිසාම නෙමෙයි. ඔයායි ඔයාගේ යාළුවායි වයසින් වැඩි වෙද්දී ඔයාලා කැමති අකමැති දේවල් වෙනස් වෙනවා. එතකොට ඉස්සර වගේ ඔයාලාට පෑහිලා ඉන්න අමාරු වෙන්න පුළුවන්. ඔයාටත් දැනෙනවා නම් ඔයායි ඔයාගේ යාළුවායි ටිකෙන් ටික ඈත් වෙනවා කියලා ඔයාට කරන්න පුළුවන් මොනවාද?
බිඳුණු මිතුදම නැති වෙන්න කලින්
ඔයාගේ ආසම ඇඳුම ඉරුණා කියලා හිතන්න. ඔයා ඒක අයින් කරලා දානවාද? නැත්නම් ඉරිච්ච තැන මහලා අඳිනවාද? ඒක කොච්චර ඉරිලාද කියලා බලලා, ඒක ඔයාට කොච්චර වටිනවාද කියලා හිතලා ඔයා ඒක මහනවාද නැද්ද කියලා තීරණය කරයි. යාළුකමක් කැඩුණාමත් ඒ වගේ තමයි. යාළුකම කැඩෙන්න හේතු වෙච්ච දේ, ඒ යාළුකම ඔයාට කොච්චර වටිනවාද කියන දේවල් මත තමයි යාළුකම ආයේ ඇති කරගන්නවාද නැද්ද කියලා තීරණය වෙන්නේ.a
ඔයාගේ යාළුවා ඔයාගේ හිත රිදෙන දෙයක් කිව්වා නැත්නම් කළා කියලා හිතන්න. ඒ වගේ වෙලාවක ඔයාට පුළුවන් ගීතාවලිය 4:4 තියෙන උපදෙස අදාළ කරගන්න. එතැන කියන්නේ, ‘කියන්න තියෙන දේ ඔයාගේ හිතේම තියාගන්න. තනිව යහනේ ඉන්න කොට ඒවා ඔයාටම කියාගන්න’ කියලයි. ඒ නිසා යාළුවා කියපු, කරපු දේ නිසා එකපාරටම තරහා වෙන්නේ නැතුව එයා එහෙම දෙයක් කළේ ඔයාගේ හිත රිදවන අදහසින්මද කියලා හිතලා බලන්න. ඔයාට ඒ ගැන සියයට සීයක්ම ස්ථිර නැත්නම් මිතුදම නැති කරගන්න හදිසි වෙන්න එපා. සිද්ධ වෙච්ච දේ අමතක කරලා දාන්න. මොකද ‘ප්‍රේමයෙන් පව් රාශියක් මකා දමන්න පුළුවන්.’—1 පේතෘස් 4:8.
ඔයාලා දෙන්නා අතරේ ප්‍රශ්නයක් ඇති වුණේ ඔයා කරපු දෙයක් නිසාද කියලත් හිතලා බලන්න. උදාහරණයකට කියන්න එපා කියපු දෙයක් අනිත් අයට කියලා යාළුවා ඔයාගේ විශ්වාසය කැඩුවා කියලා හිතන්න. ඒකේ සම්පූර්ණ වරද එයා පිට පටවන්න පුළුවන්ද? ඒ වගේ දෙයක් ඔයා යාළුවාට කියපු එකෙන් තේරෙන්නේ ඔයාත් දුර දිග බලලා වැඩ කරලා නැහැ කියන එක නෙමෙයිද? ඔයාගේ යාළුවා ඔයාට අපහාස කළා කියලා හිතන්න. සමහරවිට එයා එහෙම කළේ ඔයා හිතන්නේ බලන්නේ නැතුව හරිම මෝඩ විදිහට කරපු, කියපු දෙයක් නිසා වෙන්න බැරිද? (හිතෝපදේශ 15:2) එහෙමනම් යාළුවාගේ ගෞරවය දිනාගෙන ඉන්න ඔයාගේ පැත්තෙන් කරන්න පුළුවන් මොනවාද කියලා හිතලා බලන්න.
කතා කරලා විසඳගන්න
ඔයාට හිතෙනවා නම් සිද්ධ වෙච්ච ප්‍රශ්නය නිකම්ම අමතක කරලා දාන්න බැහැ කියලා හොඳම දේ තමයි කතා කරලා ඒක විසඳගන්න එක. හැබැයි එයාත් එක්ක කතා කරන්න කලින් ඔයාගේ කේන්තිය නිවෙනකම් ඉන්න. මොකද, ‘කෝපාවිෂ්ට කෙනෙක් රණ්ඩු දබර ඇති කරයි. ඒත් ඉක්මනින් කේන්ති නොගන්නා සණ්ඩුසරුවල් නතර කරයි’ කියලා බයිබලයේ කියනවා.—හිතෝපදේශ 15:18.
ඔයා යාළුවත් එක්ක කතා කරන්න යන්න ඕනේ ‘එයා මගේ හිත රිද්දුව නිසා මාත් එයාගේ හිත රිද්දන්න ඕනේ’ කියන අරමුණින් නෙමෙයි. මොකද බයිබලයේ කියන්නේ, ‘කාටවත් නපුරට නපුර කරන්න එපා’ කියලයි. (රෝම 12:17) ඒ නිසා ඔයා එයාත් එක්ක කතා කරන්න යන්න ඕනේ ප්‍රශ්නය විසඳගෙන යාළුකම ආපහු ඇති කරගන්නයි. (ගීතාවලිය 34:14) එයාත් එක්ක කතා කරද්දී ඔයාගේ හිතේ තියෙන දේවල් එයාට අවංකව කියන්න. ඕනේ නම් ඔයාට මෙහෙම කියන්න පුළුවන්. ‘අපි හුඟාක් කල් හොඳ යාළුවෝ විදිහට ඉඳලා තියෙනවා. අපිට බැරිද මේක කතා කරලා විසඳගන්න.’ කතා කරලා ප්‍රශ්නය මොකක්ද කියලා හරියටම තේරුම්ගත්තම ඒක විසඳගෙන ආයෙත් හොඳ යාළුවන් වෙන්න පුළුවන්. සමහරවිට ඔයාගේ යාළුවා ඒ ගැන ඔයාත් එක්ක කතා කරන්න කැමති නැති වෙන්න පුළුවන්. හැබැයි යාළුකම ආයේ ඇති කරගන්න ඔයා උත්සාහ කරපු එක ගැන ඔයාට සතුටු වෙන්න පුළුවන්.
බයිබලයේ කියන්නේ, ‘ද්‍රෝහිව කටයුතු කරන මිතුරෝ වගේම සහෝදරයෙකුටත් වඩා විශ්වාසවන්තව ඉන්න මිතුරොත් ඉන්නවා’ කියලයි. (හිතෝපදේශ 18:24) හැබැයි කොච්චර හොඳට ඉන්න මිතුරන් අතරේ වුණත් ප්‍රශ්න, හිත් අමනාපකම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් වුණොත් මිතුදම ආපහු ඇති කරගන්න ඔයාට කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න. ඔයා එහෙම කරනවා නම් ඒකෙන් පේන්නේ ඔයා හොඳට හිතලා මතලා වැඩ කරන කෙනෙක් කියලයි.
තවත් දැනගන්න 1වෙනි පොතේ 8වෙනි පරිච්ඡේදය බලන්න
ඔයාගේ වයසේ සමහරක් අය පැය ගණන් ඉන්ටර්නෙට් එකේ චැට් කරනවා ඇති. ඒගොල්ලෝ ඒකට එච්චර කැමති ඇයි?
[පාදසටහන]
a ඔයා කිට්ටුවෙන් ආශ්‍රය කරපු කෙනෙක් බයිබලයේ තියෙන ප්‍රතිපත්තිවලට විරුද්ධව ක්‍රියා කරනවා නම් එයාව දිගටම කිට්ටු මිතුරෙක් විදිහට ආශ්‍රය කරන එක නුවණට හුරු නැහැ.—1 කොරින්ති 5:11; 15:33.
බයිබල් උපදෙස
“මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට ඔබට පෞද්ගලිකව කළ හැකි උපරිමය කරන්න.”—රෝම 12:18.
යෝජනාවක්
වරද යාළුවා අතේ කියලා හිතන්න කලින් වෙච්ච දේ ගැන යාළුවාට හිතෙන දේත් දැනගන්න.—හිතෝපදේශ 18:13.
මේක දැනගෙන හිටියාද?
හොඳ යාළුවෝ එකිනෙකාගේ නිදහසට ගරු කරනවා. යාළුවා වෙන අයව ආශ්‍රය කළාට අමනාප වෙන්නේ නැහැ. (හිතෝපදේශ 25:17) ඒත් යාළුවා හැම දෙයක්ම කරන්න ඕනේ මාත් එක්ක විතරයි කියලා හිතුවොත් ඒ මිතුදම ඉක්මනින්ම කැඩෙන්න පුළුවන්.
ඔයාට වැඩක්!
යාළුවෙක් කියපු, කරපු දෙයක් නිසා මගේ හිත රිදුණොත් මං එයා ළඟට ගිහින් ඒ ගැන කතා කරන්න පටන්ගන්නේ මේ විදිහටයි ․․․․․
යාළුවෙක් කරපු දෙයක් නිසා මගේ හිත රිදුණොත් එයාත් එක්ක දිගටම හොඳින් ඉන්න මං මෙහෙම කරනවා ․․․․․
මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․
ඔයා හිතන්නේ මොකද්ද?
● හොඳ යාළුවෝ වෙලා හිටපු අය සමහරවිට ටිකෙන් ටික ඈත් වෙන්නේ ඇයි?
● සමාව දීලා අමතක කරලා දාන්න පුළුවන් ඔයාගේ යාළුවා අතින් වෙන මොන වගේ වැරදිද? හැබැයි එයාත් එක්ක කතා කරලා විසඳගන්න ඕනේ කියලා හිතන්නේ එයා මොන වගේ දෙයක් කළොත්ද?
● යාළුවෙක් අතින් හිත රිදෙන දෙයක් වුණාම ඒකට හොඳින් මුහුණ දීලා ඔයාට ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද?
● යාළුවෙක්ගේ අතින් හිත රිදෙන දෙයක් වෙන එක වළක්වගන්න පුළුවන් කොහොමද?
[95වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘‘මට ආයෙත් එයාව මගේ යාළුවා කරගන්න ලැබුණොත් මං එයා කියන දේවලට හොඳට ඇහුම්කන් දෙනවා. එයාගේ පොඩි පොඩි වැරදි ලොකුවට ගන්නේ නැහැ. එයා අතින් කවදාවත් වැරැද්දක් වෙන්නේ නැහැ කියලා බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. දැන් මට තේරෙනවා, හොඳ යාළුවෝ කියන්නේ ප්‍රශ්න ආවත් එකට ඉන්න පුළුවන් අයටයි.’’—කිනන්
[94වන පිටුවේ පින්තූරය]
ඇඳුමක තියෙන ඉරුමක් මහන්න පුළුවන් වගේම යාළුවෝ දෙන්නෙක් අතරේ ඇති වෙන අමනාපකමක් හරිගස්සන්න පුළුවන්